නිවස සංවාද නර්තනය කියන්නේ භාවනාවක්

නර්තනය කියන්නේ භාවනාවක්

- නර්තන ශිල්පී ‍දුලිප් ජයසිංහ

by Thanushika
September 12, 2024 9:33 am 0 comment

නර්තන ශිල්පියකු, නර්තන උපදේශකවරයකු, නර්තන නිර්මාණ ශිල්පියකු මෙන්ම රංගන හා මෝස්තර නිරූපණ ශිල්පියකු ද වන දුලිප් ජයසිංහ සිය නිර්මාණකරණය පිළිබඳ කතා කිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්විය.

කලා ලොවට පැමිණීමේ ආරම්භක අවධියට ගියොත් ….?

පාසල් සමයේ සිටම රංගනයට ආසාවක් තිබුණා. ඒ කාලයේ වේදිකා නාට්‍ය කිහිපයක් රඟපෑවා. නර්තනයටත් ආසාව තිබුණා. ඊට අමතරව නර්තනයත් හැදෑරුවා. යටියන්තොට ගනේපල්ල විද්‍යාලයේ 09 වසර දක්වාත් ඉන්පසු ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයේත් ඉගෙනගත්තා. පාසල් අවධියේමයි නර්තනයත් හැදෑරුවේ.

නර්තනයට අඩිතාලම වැටුණු ආකාරය පැවසුවොත්…..?

පාසල් සමයේ නර්තනය හැදෑරුවා.පසුකාලීනව විවිධ නර්තන සම්ප්‍රදායන් මම ඉගෙනගත්තා. උඩරට, පහතරට, සබරගමු ආදී වශයෙන් හා විදෙස් නර්තන ලෙස ඉන්දියානු, බැලේ, සුම්බා, ලතින් ඇමරිකන් ඩාන්සින් වැනි දේත් ඉගෙනගත්තා. මම උඩරට වෙස් නර්තන ශිල්පියෙක්. ඒ අතර නර්තනය පිළිබඳ උපදේශක පාඨමාලාවකුත් හැදෑරුවා. ලතින් ඇමරිකන් නර්තනය කෙවින් නුගාරා සර්ගෙන් ඉගෙනගත්තේ. ඒ අතර මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් මනෝ විද්‍යාව පිළිබඳ පාඨමාලාවකුත් කළා. ඒ නර්තන උපදේශක පාඨමාලාවට අවශ්‍ය නිසා.a

නර්තන ශිල්පියකු ලෙස විදෙස් රටවලත් නොයෙක් අත්දැකීම් ලබන්න ඇති…..?

ඔව්, 2019දී මම නර්තන ශිල්පියකු ලෙස විදෙස් සංචාරවල යෙදුණා. ඒ බෙල්ජියම හා ප්‍රංශය යන රටවල. බෙල්ජියමේදී අපේ රටේ දේශීය නර්තන සම්ප්‍රදාය කුමක්ද යන්න පැහැදිලි කරමින් එකී නර්තනයන් රඟදැක්වුවා. ඒ තුළින් අපේ දේශීය නර්තන හැකියාව ලෝකයාට පෙන්වන්න පුළුවන් වුණා. ලංකාවේ නිදහස් සැමැරුම් දිනයේදීම ප්‍රංශයේ නිදහස් සැමරුමට සහභාගී වුණා. එහිදී සිංහල ජාතීන් එකතුවී නිදහස සැමරුවා. එයට අදාළ උත්සවයකට එහිදී එක්වුණා. එහිදී අපට විවිධ රටවල නර්තන ශිල්පීන් මුණගැසුණා. එයින් විවිධ අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා. එහිදී අපට නර්තනය පිළිබඳ දැනුම හුවමාරු කරගන්න හැකිවුණා. එක් එක් රටවල නර්තන සම්ප්‍රදායන් ගැන එහිදී සාකච්ඡා කිරිමත් අපට දැනුම වර්ධනයට හේතුවුණා. අපි අත්දැකීම් බෙදාගත්තා. එකී විදෙස් සංචාර තුළින් විශාල අත්දැකීම් රැසක් නර්තන විෂයය පිළිබඳ ලබාගැනීමට හැකිවීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා.

විදෙස් නර්තන සමඟ සැසැදීමේදී අපේ රටේ නර්තනයට තිබෙන ස්ථානය කෙසේද ඔබට දැනෙන්නේ….?

විදෙස් රටවල් හා සැසැදීමේදී අපි නර්තනයෙන් බොහෝ ඉදිරියෙන් සිටිනවා. මේ රටේ ආර්ථික තත්ත්වයත් එක්ක නර්තනයේදී අපි අන්තර්ජාතික තලයට විවර වුණා මදි වගේත් දැනෙනවා.ප්‍රවීණ නර්තනාචාර්යවරුන් වන චන්න විජේවර්ධන, චන්දන වික්‍රමසිංහ සර්ලා වගේ අය විදෙස්ගතව සිදුකරන නර්තනාංගවලින් තමයි ලෝකයා අපිව හඳුනාගන්නේ. එතැනදී අපට තිබෙන ප්‍රචාරණ ක්‍රමවේදය ප්‍රමාණවත් මදි. ලාංකේය නර්තනය සඳහා වර්තමානයේ අපට යම් සහනයක් ලැබුණොත් එය වටිනවා. අපිට ඇත්තෙන්ම දක්ෂ නර්තන ශිල්පීන් ඉන්නවා. අපේ සංස්කෘතිය, සම්ප්‍රදාය ආදිය ඉදිරියට ගෙනගිය අවස්ථා නැතුවා නොවෙයි. එය තවත් ලෝකයට විවර කරන්න පුළුවන් නම් එයට රාජ්‍ය මට්ටමින් හෝ අපට තල්ලුවක් අවශ්‍යයි. වෙනත් රටවල් හා බලද්දි නර්තනයෙන් ලාංකේය අනන්‍යතාව ඉදිරිපත් කිරීම අතින් පළමු තැන වගේ අපි ඉන්නවා. විදෙස් ජාතිකයන් පවා ලංකාවේ දේශීය නර්තන සම්ප්‍රදායන්ගේ වටිනා දෑ උකහාගන්නවා. අපේ ඇදහිලි, විශ්වාස, නර්තන සම්ප්‍රදායන් අන්තර්ගත දෑ පිළිබඳ අධ්‍යයනයන් ඔවුන් සිදුකරනවා. පර්යේෂණ සිදුකරනවා.

අද පවතින නර්තන රියැලිටි තරගවලින් නවකයන්ට යම් ප්‍රයෝජනයක් වේද…..?

අනිවාර්යයෙන් ඒවා නවකයන්ට වටිනවා. ටැලන්ට් ෂෝස් අපේ රටේ සැඟවී සිටින දක්ෂයන්ට විශාල සහනයක් වෙනවා.

නර්තන ශිල්පය හදාරන නවකයන් ගැන මොකද සිතෙන්නේ….?

නර්තන අංශයෙනුත් හුඟක් දක්ෂයෝ මේ රටේ ඉන්නවා. ඒත් නර්තනය කරලා හරියන්නේ නැහැ යන මතයක් සමාජය තුළ මතුවී තිබෙනවා. එනිසා මේ ක්ෂේත්‍රයට නවක පිරිසේ දායකත්වයේ අඩුවක් තිබෙනවා. අපි නවකයන්ටත් කියාදෙන්නේ අපේ දේ ආරක්ෂා කරගත යුතුයි කියන දේ. නර්තනයට ඇබ්බැහිවූ පිරිසක් ඉන්නවනේ. ඔවුන්ව හෝ ධෛර්යවත් කරලා ඉදිරියට ගේන්නයි අපි උත්සහ කරන්නේ .

නර්තන අංශයේ ඉදිරි සැලසුම් ගැන කීවොත්…..?

දැනට මම විශාල ගෝලයන් පිරිසක් බිහිකර තිබෙනවා. ඉදිරියට බලාපොරොත්තු වෙනවා නර්තනය පිළිබඳ මගේම ඇකඩමියක් නිර්මාණය කර ළමයින්ට විවිධ නර්තන සම්ප්‍රදායන් ගැන උගන්වන්න. අපේ රටේ විදෙස් නැටුම් පිළිබඳ යම් ඇල්මක් තිබෙනවනේ නවක පරපුරට. ලතින් ඇමරිකන් නර්තනයන් වැනි අංශයන් පිළිබඳ වැඩිදුර උගන්වන්න බලාපොරොත්තු වෙනවා…

නර්තන උපදේශකවරයකු ලෙස නර්තන ශානරයන්ගේ වෙනස්කම් ඔබ දකින්නේ කෙසේද…..?

අපේ සංස්කෘතියට අනුව තමයි උඩරට, පහතරට, සබරගමු යනුවෙන් හදාරන්නේ. විදෙස් රටවලත් බැලේ කිව්වොත් ඒක තමයි ඔවුන්ගේ සම්ප්‍රදාය. ලතින් ඇමරිකාවේත් එහෙමයි. රුසියාව පැත්තට ගියොත් බෝරූන්, බැලේ ආදිය ජනප්‍රියයි. ඉන්දියාව ගත්තොත් භාරත, කථක්, කථකලි ජනප්‍රියයි.එසේ සෑම රටකම ඔවුන්ට ආවේණික නර්තන සම්ප්‍රදායන් තිබෙනවා. සුම්බා වැනි නර්තනයක් ගත්තොත් ඒක ව්‍යායාමයත් සමඟ ගමන් කරන දෙයක්. නර්තන රිද්මයක් නොදන්නම කෙනෙක්ට මියුසික් එකක් දාලා ඔහුට හෝ ඇයට ආස විදිහට එයාගේ ඇඟේ චලනයන් අපි ලබාගන්නවා. ඒකෙන් එයාට කම්මැළිකමකින් තොරවම ශරීරයත් ඒකට හුරුවීමක් වෙනවා. මහත කෙනෙක් නම් එහිදී ඇඟ ෂේප් වෙනවා. සුම්බා කියලා කරන්නේ ඒවගේ දෙයක්. බැලේ නර්තනයේදී එයට බොහෝ ව්‍යායාම් තිබෙනවා. “බැලේ” යනුවෙන් බෝරූම් නර්තන තිබෙනවා. එතැන තියෙන්නේ සමාජීය නැටුම්. ඔවුන්ගේ එක් එක් පන්තිවලට, ස්ථානවලට ගැළපෙන සේ ඒ නැටුම් නිර්මාණය වී තිබෙනවා. උත්සවයක් අවස්ථාවකදී ඔවුන්ගේ සම්ප්‍රදායක් වශයෙන් යුගල නර්තන ඉදිරිපත් කරනවා.

නර්තනයේදී ගුරුවරුන් ලෙස සලකන පිරිස සිහිපත් කළොත්……?

මම මුලින්ම වෙස් පැලඳුවේ පාසල් කාලයේදීමයි…එහිදී මට සිටි මුල් ගුරුතුමා වුණේ ජයසේන සර්. ගම්පොළ මල්වත්තගම රංගායතනය භාරව ඔහු සිටියේ… ඔහු දැන් මධ්‍යම පළාත් නර්තන උපදේශක ලෙස සේවය කරනවා. පාසල් කාලයේ සිටි කුසුම් රේණු මිස්, රත්නාලංකාර සර් මෙහිදී සිහිපත් කරන්න කැමැතියි. පසුකාලීනව වෙස්‍ටන් ඩාන්සින් සඳහා කෙවින් නුගාරා සර් ළඟට ගියා. ඔහුවත් මෙහිදී මතක් කරනවා. ඊට අමතරව තවත් ගුරුවරුන් කිහිපදෙනෙක් යටතේත් නර්තනය හැදෑරුවා

නර්තනය වැනි කලාවක් තුළින් මානසික ඒකාග්‍රතාව ඇතිවන අයුරු පැහැදිලි කළොත්……?

ඇත්තෙන්ම නර්තනය යනු භාවනාවක්. නර්තනයේදී අපි මනස එක තැනක රඳවාගත්තේ නැත්නම් හරියට ඒ කාර්යය කරන්න බැහැ. එහිදී මානසික ඒකාග්‍රතාව අත්‍යවශ්‍යයි.. අපි ප්‍රශ්න ගොඩාක් ඔළුවේ තියාගෙන නර්තනයට ආවොත් වේදිකාවට නඟින්න පෙර එකී ප්‍රශ්න මනසින් ඉවත් කරගන්න ඕන. ඒ මානසිකත්වයට ආවේ නැත්නම් අපේ ඇඟෙන් හරියට නර්තනය එළියට එන්නේ නැහැ. නර්තනයේදී සුළු හෝ දෙයකින් සිත වෙනස් වුණොත් ඒ නිර්මාණය අපට කරගන්න බැහැ. ඒවගේම ස්ටෙප් චේන්ජ් වෙද්දී ඒවාට අවතීර්ණ වෙන්න මනස සූදානමින් තියෙන්න ඕනේ. එහෙම නර්තනයට මනස සමබර කරගත හැකිනම් අපට වෙනත් ඕනෑම දෙයක් කළ හැකියි කියා මම විශ්වාස කරනවා. අනෙක් අයගේ ජීවිතවලට සාපේක්ෂව නර්තන ශිල්පියකුගේ ජීවිතය සාර්ථකයි කියා මම සිතනවා. අපි ගැහැනු ළමයෙකුව අල්ලගෙන කපල් ඩාන්ස් එකක් හරියට කරද්දි කවදාවත්ම වෙනත් හැඟීමක්, ආසවක් ඒ තරුණිය කෙරෙහි ඇතිවෙන්නේත් නැහැ .වෙනත් දේවල් ගැන සිතමින් ඒ කපල් ඩාන්ස් එක කළොත් එය සාර්ථක වෙන්නෙත් නැහැ .

රංගන ශිල්පියෙක් ලෙස ඔබේ ආරම්භය මොනවගේද ……?

පාසල් සමයේ වේදිකා නාට්‍ය කිහිපයක් කළා. ඒ කරන අතර මට ප්‍රවීණ පිරිසක් ද හමුවුණා .ඔවුන්ගෙන් බොහෝ දේ මම ඉගෙනගත්තා. රංගනයට ආසාව ටිකටික ඒ කාලයේ වර්ධනය වුණා. එහෙත් මගේ රැකියාව සමඟ රංගනයට පූර්ණකාලීනව යොමුවෙන්න අපහසු වුණා

මේ දිනවලත් ඔබේ රංගනයන් අප රූපවාහිනියෙන් දකිනවා….?

ඔව්, ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “ආයාචනා”: ටෙලිනාට්‍යයේ චරිතයක් නිරූපණය කළා. එහි සහය අධ්‍යක්ෂ අකිල ගරුසිංහ මල්ලි තමයි මට ඒ අවස්ථාව ලබාදුන්නේ… එහි අධ්‍යක්ෂ පසිඳු නූපෙආරච්චි සහ නිෂ්පාදක රංජිත් ජයසේකර යනාදීන්වත් සිහිපත් කරනවා. ඒවගේම “ආයාචනා” හි රඟපෑ මිචෙල් දිල්හාරා, සංජය මුරමුදලි, සුලෝචනා වැනි නළුනිළියන්ව මතක් කරනවා…ඔවුන්ගෙනුත් මට හොඳ සහයක් ලැබුණා. මේක තමයි මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා. මෙහි රංගනයේදී මගේ නවකභාවයක් තිබුණේ නැහැ කියලා බොහෝඅය කිව්වා.

ටෙලිනාට්‍ය-චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයට ආරාධනා ලැබුණේ නැද්ද……?

ආරාධනා නම් ලැබුණා. එහෙත් මගේ රැකියාව සමඟ ඒවාට දායකවෙන්න බැරිවුණා. “අශෝකමාලා” පැරණි චිත්‍රපටය නැවත අලුත් නිෂ්පාදනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහි නර්තන අධ්‍යක්ෂණයට කතා කළා

මෝස්තර නිරූපණ ශිල්පියකු ලෙස ඔබේ භූමිකාව මොනවගේද……?

මෝස්තර නිරූපණ ශිල්පියකු වීමත් කුඩා කල සිටම තිබූ මගේ සිහිනයක්, ආසාවක්. මොඩ්ලින්වලදී බොහෝ අය කියූ දේ තුළින් සතුටුදායක දේවල් අසන්න ලැබුණේ නැහැ.නැත්නම් මීට කලින් මම මොඩ්ලින්වලට එන්නේ. මොඩ්ලින් ඉගෙනීමට හොඳම කෙනාව මම තෝරාගත්තා. ඒ තමයි ත්‍රිකලා ධරණි මිස්. ඇගෙන් තමයි මොඩ්ලින්වල බොහෝදේ මම ඉගෙනගත්තේ. යාළුවෝ මාර්ගයෙන් ඇයව මුණගැසුණා. ඇගේ පාඨමාලාවකට මම ඇතුළත් වුණා. ඒ පාඨමාලාව අවසානයේ ඕඥඵබ අචදඬ ර්ධඤඥත නමැති ඉවෙන්ට් එකෙන් මම ජයග්‍රහණය කළා. එය මම ජීවිතයේ ලද ලොකුම ජයග්‍රහණයක්. මොඩ්ලර් කෙනෙක් කීවාම මිනිස්සුන්ගේ සිතේ තිබෙනවනේ බොහෝදුරට වැරදි ආකල්ප. ඒ ආකල්ප නැතිකර මේ මෝස්තර නිරූපණය කියන්නේ මොකද්ද කියලා මම ඉගෙනගත්තේ ත්‍රිකලා ධරණි මිස්ගෙන්. කැමරාවට මුහුණදෙන්නේ කොහොමද, වේදිකාව භාවිත කරන්නේ කොහොමද, ඇවිදින විදිහ කොහොමද, සමාජයට ගියාම කොහොමද අපි හැසිරෙන්නේ, ඇඳුම අඳීන විදිහ, කතාබහ කරන විදිහ, පෞරුෂත්වය ගොඩනහාගන්නේ කොහොමද ආදී සියල්ලම මම ඇගෙන් ඉගෙන ගත්තා. මොඩ්ලින්වල එක් එක් කැටගරීස් තිබෙනවා, කොමර්ෂල් මොඩ්ල්, බ්‍රයිඩ්ල් මොඩල් ආදී ලෙස. මුල් ඇඳුමක් ඇඳගෙන ඇවිදින්නේ කෙසේද, ෆුල් කිට් ඇඳලා ඇවිදින කැමරාවට මුහුණ දෙන විදිහ බ්‍රයිඩල් ශූට් එකේදී සරමක්, ෂර්ට් එකක්, ජාතික ඇඳුමක් ඇඳලා ඒක ඉදිරිපත් කරන අයුරු, ඇවිදින අයුරු ආදී ලෙස එක් එක් ඇඳුම්වලට එක් එක් ගමන් විලාස ඉරියව් තිබෙනවා. මේ සියල්ල ත්‍රිකලා ධරණි මිස්ගේ පාඨමාලාවෙන් ඉගෙනගත්තා. ඇයට විශේෂයෙන් ස්තුති කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා

නව පරපුරට ඔබට දෙයක් කියන්න ඇති ….?

මේ කලාව අතහරින්න එපා. මේකෙන් අපට ලොකු ගමනක් යා හැකියි. අපේ දේ රැකගෙන ඉදිරියට ගෙනියන්න. මේ තුළින් අපට අන්තර්ජාතික තලයට යා හැකියි කියා මම කියනවා.මෙරට තිබෙන රියැලිටි තරගවලිනුත් අපේ නර්තන, රංගන දක්ෂතා පෙන්වන්න පුළුවන්. ඒවගේම මවුපියන්ටත් කියනවා නර්තන කලාවට ඔබේ එක් දරුවෙක්වත් යොමුකරන්න කියලා. කවදාවත්ම ඒක අපතේ යාමක් නෙවෙයි

ඔබ ලැබූ සම්මාන හා සහතික ගැන කතා කරනවා නම් …..?

පාසල් කාලයේ නම් සමස්ත ලංකා නර්තන ජයග්‍රහණ ලැබුවා. නාට්‍යවලිනුත් ජයග්‍රහණ ලැබුවා. නර්තන අංශයෙන් විවිධ ඉවෙන්ට් තුළින් ජයග්‍රහණ ලැබුවා…හොඳම නර්තන ශිල්පියා ලෙස විශිෂ්ටතා සම්මාන ලැබුවා. මා සේවය කළ ආයතනයෙන් පවා සම්මාන ලැබුණා

ඔබට මේ මොහොතේ සිහිපත් කළයුතු පිරිසකුත් ඇති….?

මගේ මව, පියා ජීවතුන් අතර නැහැ. අක්කලා දෙන්නයි මල්ලියි මට ඉන්නේ. ඔවුන් තමයි මගේ ශක්තිය. මා සේවය කළ ආයතනයේ ප්‍රධානියා මට මේ කලා කටයුතු වෙනුවෙන් විශාල සහයක් ලබාදෙනවා. ඊට අමතරව අමිල නුවන් මධුසංඛ මිතුරාත් මට කලා ලොවට එන්න විශාල ලෙස උදව් කළ කෙනෙක්. ගයේෂා ලක්මාලි නංගිවත් මතක් කරනවා. ඊට අමතරව මතක් කරන්න තව යහළුවෝ බොහෝමයක් ඉන්නවා

අද වෙද්දි ඔබේ කලා කටයුතු මොනවද….?

රූප රචනා කිහිපයකට ආරාධනා ලැබුණා. ටෙලිනාට්‍ය කිහිපයක රංගනයට ආරාධනා ලැබුණා. නර්තන උපදේශකවරයකු ලෙස නර්තනය ඉගැන්වීම් සිදුකරනවා. දැනටමත් ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල්වල, ආරක්ෂක අමාත්‍යාංශයේ නර්තන පාඨමාලා කරගෙන යනවා.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT