අතීතයේ කාන්තාවට, තරුණියට සමාජය ඉදිරියට විත් තම හැකියාවන් පෙන්නුම් කිරීමට අවස්ථාව ලැබුණේ නැත. ඔවුන්ට උරුම වූයේ නිවසේ වැඩකටයුතු කරමින් තම දෙමව්පියන්ගේ, ස්වාමිපුරුෂයන්ගේ අණසකට යටත් වෙමින් ජීවත්වීමටයි.
එහෙත් වර්තමානයේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්වී ගොසිනි. වත්මන් කාන්තාව සාක්ෂරතාවය අතින් පොහොසත්ය. හැකියාවන් අතින් පොහොසත්ය. සමාජයේ ඉහළ නිලයන් දරන්නට තරම් වත්මන් කාන්තාව ප්‍රබල චරිතයක් වී හමාරය. සමාජයක්, රටක් දියුණුවීමට නම් කාන්තා දායකත්වය, කාන්තා ශ්‍රමය අවශ්‍යයමය.
විශේෂයෙන් අතීතයේ විසූ කාන්තාවන්ට රඟපෑම, නර්තනය, ගායනයට සම්බන්ධ වීමට මව්පියන්ගෙන් අවසර ලැබුණේ නැත. මව්පියන් තම දූවරුන්ට එවැනි කටයුතුවලට යොමුවීම කෙරෙහි තහංචි දමා තිබුණි.
එහෙත් වර්තමානයේ කාන්තාවට කලාවේ තමාට රිසිසේ දස්කම්පාන්නට ඉඩහසර සැලසී ඇත. තමා නියැළෙන වෘත්තියෙන් කෙතරම් ඉහළට ගියත් කලාවට පෙම්බැඳී සුන්දර කාන්තාවන් සමාජයේදී අපට නිතර මුණගැසේ.
එසේ කලාවට, ලේඛන කලාවට පෙම්බැඳී අපූරු සුන්දර යුවතියක් පසුගියදා සරසවිය හමුවට පැමිණියාය.
දුටු සැණින් නිළියක් යැයි කිවහැකි රූ සපුවකට හිමිකම් කියන ඇය අනූ මධුභාෂිණීය.ඇය ගායිකාවකි, නර්තන ශිල්පිනියකි, ලේඛිකාවකි.මේ තුන් භූමිකාවන්ට ප්‍රවිෂ්ට වීමට පෙර ඇය විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි.
ඇය ඉතාමත් ළෙන්ගතුව තමාගේ කලා හැකියාවන් පිළිබඳ තොරතුරු එකිනෙක සරසවිය හමුවේ මෙසේ පෙළගැස්වූවාය.
මම අනූ මධුභාෂිණී. කවුරුත් ඒ නමින් තමයි මට කතා කරන්නේ. කලාවට සම්බන්ධ වෙන්න, කලාකාරිනියක් වෙන්න ඕන කියන හැඟීම පොඩි කාලේ හිතේ තිබුණේ නැහැ. මගේ පවුලේ ඉන්නේ අධ්‍යාපනය පැත්තෙන් ඉහළට ගිය උදවිය. අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක් විවිධ වෘත්තිය මට්ටම්වල නියතු අය. ඒ නිසා මමත් කුඩා කාලේ පටන් අධ්‍යාපනය පැත්තට තමයි නැඹුරු වුණේ. මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ කොළඹ සිරිමාවෝ බාලිකාවේ. පසුව කොළඹ දේවි බාලිකාවේ අධ්‍යාපනය ලැබුවා.
මට අවුරුදු හතරේ සිටම මගේ අම්මා මාව නර්තනය පැත්තට යොමු කළා. හරිම ආසාවෙන් තමයි නර්තනය ඉගෙන ගත්තේ. පාසැලේදී මම විෂයක් විදිහට නර්තනය හැදෑරුවා. ඒ අතරතුර සංගීතය ඉගෙන ගත්තා පාසැලෙන් බාහිරව. පාසැලේ තූර්‍ය වාදක කණ්ඩායමේත් සමාජිකාවක් විදිහට කටයුතු කළා.
උසස් පෙළින් පසු මට විශ්වවිද්‍යාලයට යාමට වරම් ලැබුණා. මම මගේ උපාධිය ලබාගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. මානව ශාස්ත්‍ර පීඨයට සම්බන්ධ උපාධිය. පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගත්තා. වසර හතක් මම විශ්වවිද්‍යාලයේ සේවය කළා. පසුව සිතුණා පූර්ණ කාලීනව කලාවට යොමු වෙන්න.
මම mzys නර්තන කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටියා. විවිධ නර්තන වැඩසටහන්වලට සම්බන්ධ වුණා. මට උඩරට, භරත, කථක්, බෝල්රූම්, හිපොප්, වගේ හැම අංශයක් ගැනම දැනුමක් තියෙනවා.
මම උඩරට නැටුම් හැදෑරුවේ දයා ජයතුංග ගුරුතුමියගෙන්. ඇය මගේ පාසැලේ උඩරට නැටුම් උගන්වපු ගුරුතුමිය. ප්‍රවීණ භරත නාට්‍යම් නර්තනාචාරිනී වාසුගී ජගදීස්වරන්ගෙන් පුංචි කාලේ සිටම භරත නාට්‍යම් හැදෑරුවා. මෝක්ෂා සමරසූරිය මහත්මිය යටතේ කථක් නර්තනය ඉගෙන ගත්තා. බටහිර නර්තනය කෙරෙහිත් මගේ හිතේ ආශාවක් සහ උනන්දුවක් තිබුණා. ඒ නිසා කෙවින් නුගේරාගෙන් සහ ලතින් ඇමෙරිකානු නර්තනය සහ බාස්කර් යටතේ හිපොප් ඉගෙන ගත්තා. නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කරන විට මේ හැම අංශයක් ගැනම දැනුමක් තිබීම වැදගත්.
මම දැනටත් විශේෂ අවස්ථාවන්වලදී නර්තනයෙන් දායක වෙනවා. මම විශේෂයෙන් කැමැති Choreography වලට. බොහෝ දෙනෙක්ට නටන්න පුළුවන්. දක්ෂ ශිල්පීන් අපේ රටේ ඉන්නවා. ඒත් නර්තන අධ්‍යක්ෂණය කරන අය අඩුයි. මම කැමතියි මගේ දැනුම, හැකියාව උපයෝගි කරගනිමින් නර්තන අධ්‍යක්ෂවරියක් විදිහට කටයුතු කරන්න. ඇතැම් ප්‍රසංගවලදී අපි දකිනවා දැනුමකින් තොරව නර්තනාංග ඉදිරිපත් කරන ආකාරය. නර්තනයේ යෙදෙන ශිල්පීන්ට ඒ ගැන දොස් කියල පළක් නැහැ. ඔවුන්ට ඒ ගැන නිසි දැනුමක් දීමට කෙනෙක් නොමැති වීම තමයි ගැටලුව.
මම 2014 වසරේදී Dance with Anu නමින් නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්න පටන් ගත්තා.
මම නර්තන පන්ති පැවැත්වූවා. නර්තන අධ්‍යක්ෂණ කටයුතු කළා. මේ අවුරුද්දට Dance with Anu පටන් අරගෙන අවුරුදු එකොළහක් වෙනවා. ඒත් 2022 දී නර්තන කටයුතුවලට විරාමයක් දෙන්න සිදුවුණා. ඒ 2022 දී මගේ විවාහය සිදුවීම නිසා. ඉදිරියේදී නැවතත් ඒ කටයුතු ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ. 2023 අවුරුද්දෙ මම සම්පූර්ණයෙන් සංගීතය, ගායනය පැත්තට යොමුවුණා. ඒ නිසා පසුගිය අවුරුද්ද අතිශයින් කාර්‍යබහුල වුණා.
අනූ මධුභාෂිණී තම කලා කටයුතු සහ වෘත්තිය ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සරසවිය හමුවේ හෙළිකළාය. ඇය කලාවට පෙර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් යනවග මුලින්ම සඳහන් කරන ලදි. සමාජයේ කෙතරම් ඉහළ නිලයක් දැරුවත් ඇය සතු සහජ හැකියාවන් යටපත්වීමට ඉඩ නොදුන්නාය. අනූ තම කලා දිවියේ වැදගත් සිදුවීම් පිළිබඳ කතාබහ කරන්නට නැවතත් හඬ අවදි කළාය.
මගේ ස්වාමිපුරුෂයා රම්ලි රාබන්. ඔහු දක්ෂ කලාකරුවෙක්. ඔහු ගේ ගම නුවර. ඔහු චිත්‍ර ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා. ඔහුගෙන් මට හොඳ සහයෝගයක් සහ දිරිගැන්වීමක් ලැබෙනවා. රම්ලි මට වැදගත් යෝජනාවක් ගෙන ආවා. ” ආරාම්” නමින් අපේම කොන්සට් එකක් කරන්න. ආරාම් කියන වචනයේ තේරුම විවේකය. අද සමාජයේ ජීවත්වන බොහෝ දෙනා අතිශයින් කාර්‍යබහුලයි. ඔවුන්ට විවේකයක් නැහැ. මම හිතනවා සංගීතයෙන් එවැනි මිනිස්සුන්ගේ මනස සුවපත් කරන්න පුළුවන් කියල. අපේ ආරාම් කොන්සට් එකෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ගේ මනසට විවේකයක් ගෙන දෙන්න. අපේ කොන්සට් එකේ ඝෝෂාකාරී සංගීතය නැහැ. බොහෝම සන්සුන්, ලයාන්විත නාදමාලා වලින් සමන්විත ගීත තමයි එහි ඇතුළත් වෙලා තියෙන්නේ. ඇන්ජලෝ ගමගේ ඇතුළු දක්ෂ වාදකයන් කිහිපදෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.
අපි අපේ ආරාම් කොන්සට් එක තුන්වතාවක් කළා. ඉදිරියේදී වෙනස්ම විදිහකට ආරාම් කොන්සට් එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා .
මේ වැඩ කටයුතුවලට අමතරව මම රිද්ම වීරවර්ධනගේ කොන්සට් එකකටත් සම්බන්ධ වුණා.
විශේෂයෙන් කියන්න ඕන, ගිය අවුරුද්දෙ මම දැවැන්ත ව්‍යාපෘතියකට සම්බන්ධ වුණා. සංගීතය පැත්තෙන්. අකිල සපුමල් සර්ගේ ” අසම” කියන වේදිකා නාට්‍ය දැක්මට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. එය එක්දින නාට්‍ය උලෙළක්. විවිධ ශෛලීන්ගෙන් යුත් නාට්‍ය දහයක් එක දිගටම පෙන්වීම තමයි “ආසමා” හි විශේෂත්වය. මම සපුමල් සර්ට මගේ අදහස ඉදිරිපත් කළා. මගේ ආරාම් එකෙනුත් අංග කිහිපයක් අසම සමඟ සම්බන්ධ කරමු කියල. ඔහු ඒ අදහසට එකඟ වුණා. නාට්‍ය පෙන්වන අතරතුර අපි ඔපෙරා ගායනා ඉදිරිපත් කළා. විවිධ රටවලට අයත් විවිධ ශෛලීන්ගෙන් යුත් ඔපෙරා ඉදිරිපත් කරන්න අපිට හැකිවුණා. අමුතුම ආකාරයේ අත්දැකීම්ක් ලබාගන්න මට හැකිවුණා ඒ තුළින් . “ආසමා” තමයි මම මේතාක් සම්බන්ධ වුණ දැවැන්තම කොන්සට් එක.
අනූ මධුභාෂිණී ගායනයට, නර්තනයට උපන් හපන්නියකි. ඇය සතු දක්ෂතා අතු විහිදී ගිය දැවැන්ත වෘක්ෂයක් වැනිය. සංගීතය, ගායනය, නර්තනය හැරුණුකොට ඇය දක්ෂ ලේඛිකාවකි. ඇය විසින් රචිත ග්‍රන්ථය පිළිබඳව ඇය තොරතුරු හෙළි කළේ මහත් උනන්දුවකිනි.
මට ලිවීමේ හැකියාව තියෙනවා. මම 2023 දී පොතක් එළිදැක්වූවා. ඉංග්‍රීසි භාෂාවෙන්. Healing through the Arts නමින් තමයි එය නම් කළේ. කලාව නිසා මම, මගේ මනස සුවපත් වූ ආකාරය පිළිබඳ තමයි ඒ පොතෙන් කතා කෙරෙන්නේ. මගේ මහත්මයා තමයි එහි සියලු චිත්‍ර නිර්මාණය කළේ. මේ අවුරුද්දේ එහි දෙවෙනි කොටස එළිදක්වන්න සූදානම් කරගෙන යනවා.
මම නිදහස් ලේඛිකාවක් ලෙසත් කටයුතු කරනවා. විවිධ ආයතනවලට සම්බන්ධ වෙලා දැන්වීම් රචනය කරනවා. ඉදිරියේදී තව තවත් ලේඛන කලාවට යොමු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
කථිකාචාර්යවරියක් ලෙස ගතකළ භූමිකාව අතහැර පූර්ණ කාලීනව කලාකාරිනියක් වූ අනූ තම කාලයෙන් වැඩි කොටසක් වෙන්කර ඇත්තේ කලා කටයුතුවලටය. ඇයත් ඇගේ ස්වාමිපුරුෂයාත් එක්ව ආරම්භ කළ “ආරාම්” ප්‍රසංග මාලාව සඳහා අනූ මේ දිනවල සැලසුම් සකස් කරමින් සිටින්නීය. ඇය තම ඉදිරි කටයුතු ගැන තොරතුරු සරසවිය හමුවේ මෙසේ හෙළිදරව් කළාය.
මේ දිනවල මම සූදානම් වෙන්නේ ඉදිරියට පවත්වන්න සිතාගෙන සිටින ආරාම් කොන්සට් එක සැලසුම් කරන එක. අපි කලින් කළාට වඩා වෙනස්ම ආකාරයකින් ඉදිරි කොන්සට් එක පවත්වන්න තමයි බලාපොරොත්තුව.
රිද්ම වීරවර්ධන සමඟ ගීත කිහිපයක් කරන්න සැලසුම් කරල තියෙනවා. ඔහුගේ ප්‍රසංගවලටත් දායක වෙන්න සූදානමින් ඉන්නවා.
මගේ කලා කටයුතු සඳහා මගේ පවුලේ උදවියගෙනුත් මට හොඳ සහයෝගයක් ලැබෙනවා. මට ඉන්නෙ නංගි සහ මල්ලි කෙනෙක්. නංගිටත් හොඳට ගායනා කිරීමේ හැකියාව තියෙනවා. ඇය සමිත්‍රී කාංචනා. මල්ලි කුෂාන් චමුපති. ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙක්.
මල්ලි මගේ ගීතවලට සංගීත අධ්‍යක්ෂණය කරල තියෙනවා. ඒ වගේම තමයි මගේ මහත්මයගෙන් ලැබෙන සහයටත් මම මේ අවස්ථාවේ ස්තුති කරනවා. ඔහු මගේ මියුසික් වීඩියෝවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
සංසාරයේ කියන මම ගායනා කරන ගීතය මිලියන හයක් පමණ අසා තියෙනවා. එහි මා සමඟ ගායනයෙන් සම්බන්ධ වුණේ රිද්ම වීරවර්ධන. මම ගායනා කළ මා සඳා, හිමි සඳුනේ, නීල තාමර, මිදුණා යන ගීතවලට ඉහළ ප්‍රතිචාර ලැබී තිබෙනවා. ඉදිරියේදී දෙමළ බසිනුත් ගීතයක් ගායනා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
මම මුලින් සඳහන් කළා නර්තනය පැත්තෙන් Choreography කරන්න ආසාවෙන් සිටින බව. Choreography කරන අය ලංකාවේ අඩුයි.. සිනමාවේත් ඒ අඩුව මම දකිනවා. සිනමාව කියන්නේ වෙනම නර්තනය ශෛලියක් තියෙන ක්ෂේත්‍රයක්. සිනමාවේ අවස්ථාවක් ලැබුණොත් හරි ආසාවෙන් භාර ගන්නවා. නර්තනය අධ්‍යක්ෂණය කරන්න. මගේ ක්‍රමය වෙනස්. මම නර්තනය අධ්‍යක්ෂණයේදී ශිල්පීන්ට මඟ පෙන්වා ඔවුන්ගේ හැඩතල හදන එක පමණයි. සෑම ශිල්පියෙක්ටම තියෙනවා ඔවුන්ටම ආවේණික වූ නර්තන ශෛලියක්. නිසි මඟපෙන්වීමක් කළොත් ඔවුන්ට ඔවුන්ගේ හැකියාව දියුණු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා සිනමාවේත් මට ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි කියල නර්තන අධ්‍යක්ෂණයෙන්.
කුමන දේ කළත් මම කලබලයෙන් කරන කෙනෙක් නෙවෙයි. මම බොහෝම සීරුවට, හදිසි නොවී ගුණාත්මක නිර්මාණ කරන කෙනෙක්. මම විශ්වාස කරන දෙයක් තියෙනවා. අවස්ථාව ලැබෙනකල් බලා සිටීම නොවෙයි කළ යුත්තේ. අපි අපේ හැකියාවන් ලෝකයට දෙන්න ඕන. පෙන්වන්න ඕන. ඒ වගේම ලැබෙන්න දෙයක් තියෙනවා නම් එය ලැබෙනකල් මම එයට පෙර සිටම සූදානම් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත්, සිනමා නිර්මාණයක නර්තනය අධ්‍යක්ෂණය කරන්න අවස්ථාවක් ලැබුණොත් එය ලැබුණ අවස්ථාවේ සිට පුහුණුවීම්, සැලසුම් කිරීම් කරන්නේ නැතුව සිනමාවට අදාළ නර්තන ක්‍රම මම කලින්ම පුහුණුවීම් කරල එයට සූදානම් වෙනවා. පසුව ඒ කටයුතු ලැබුණොත් එයට අවතීර්ණ වෙන්න පෙර කළ පුහුණුවීම් ප්‍රයෝජනවත් වෙන නිසා.
අපි කවුරුත් දන්න Sound of Music චිත්‍රපටයේ රඟන රංගන ශිල්පිනිය මෙසේ ප්‍රකාශ කරල තියෙනවා මම අහල තියෙනවා.
” වාසනාව එන්නේ දොරට තට්ටු කරල නෙවෙයි. එය හදිසියේ ලැබෙන්න පුළුවන්.”
ඉතින් මමත් විශ්වාස කරන්නේ ඒ කියමන. මම නිතරම ගායනය, නර්තනය පුහුණුවීම් කරන්නේ ඒ කාරණය නිසයි. පෙර පුහුණුවක්, පෙර සූදානමක් අවශ්‍යයි විශේෂයෙන් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින විට. එය මට බොහෝ උපකාරී වෙලා තියෙනවා. රූපවාහිනී වැඩසටහන්වලට මට නිතර ආරාධනා ලැබෙනවා. ඒවාට සහභාගී වීමේදී මට විශේෂයෙන් පෙර පුහුණුවීම් කළ යුතු නැහැ. මම නිතරම ඉන්නෙ පුහුණුවීම් සමඟ.
ඉතින් මමත් විශ්වාස කරන්නේ ඒ කියමන. මම නිතරම ගායනය, නර්තනය පුහුණුවීම් කරන්නේ ඒ කාරණය නිසයි. පෙර පුහුණුවක්, පෙර සූදානමක් අවශ්‍යයි විශේෂයෙන් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින විට. එය මට බොහෝ උපකාරී වෙලා තියෙනවා. රූපවාහිනී වැඩසටහන්වලට මට නිතර ආරාධනා ලැබෙනවා. ඒවාට සහභාගී වීමේදී මට විශේෂයෙන් පෙර පුහුණුවීම් කළ යුතු නැහැ. මම නිතරම ඉන්නෙ පුහුණුවීම් සමඟ.
අනූ මධුභාෂිණී කලා ශිල්පිනියගේ කතාබහ අපූරුය. කාගේත් ආකර්ෂණය ලැබෙන පරිදි වචන හැසිරවීමට ඇය ඉතා දක්ෂය. කලාව කෙරෙහි ඇති ලැදියාව, උනන්දුව ඇයගේ කතාව පුරාම විසිරී විහිදී තිබීම විශේෂත්වයකි.
ගායනය, සංගීතය, නර්තනය පිළිබඳ නිසියාකාරව දැනුමක් නොමැතිව හරසුන් දේ ජනගත කරමින් රඟන චරිතවලට වඩා ඉහළින් තැබිය හැකි හඬ පෞරුෂයක, නර්තනය ලීලාවකින් හෙබි අනූ මධුභාෂිණී වත්මන් තරුණ කලා ශිල්පීන්ට මහත් ආදර්ශයකි. ඇය ජනප්‍රියත්වය හඹා නොවන චරිතයකි. එහෙත් ඇය සතු දැනුම ඉහළය. වත්මන් කලා ක්ෂේත්‍රයට අවශ්‍ය මෙවැනි චරිතයි. නිහඬව සිට දස්කම් දක්වන මෙවන් වටිනා චරිත රටට හඳුන්වාදීම සරසවිය පුවත්පතේ යුතුකමකි.
මධුර ස්වරයෙන් මනස පිනවන, නර්තනයෙන් ලොවම හැඩ කරන අනූ මධුභාෂිණී ඔබට සරසවියෙන් සුබ පැතුම් !
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය