බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගවලෙන්
ඔරුව තුළේ සිසිලේ හිදියි ජේසු බිළින්දා
ගීතය ගායනා කරමින් මෙරට ගීත ලෝලීන් අතර ජනාදරය දිනා සිටි ශ්‍රී ලංකාවේ නත්තල් ගීත ගායකයා ලෙස ප්‍රසිද්ධියට පත්වී සිටි ප්‍රකට ගායකයකු වූ අනිල් භාරතී ඉකුත් 22 වැනිදා සුවහසක් මෙරට රසික රසිකාවන්ගෙන් සදහටම නික්ම යනු ලැබුවේ සිය ජීවන ගමනට සමුදෙමිනි.
අතිශයින් ජනපි‍්‍රය වූ මියුරු ගී රැසක් මෙරට ගීත ක්ෂේත්රයට තිළිණ කළ අනිල් භාරතී මියයන විට 75 වන වියේ පසුවිය. 1950 වසරේ ජනවාරි 08 වැනිදා පානදුරේදී උපත ලැබු අනිල් භාරතී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයන් ගෙන් අධ්‍යාපනය ලැබීය. පාසල් කාලයේ පටන් ගී ගායනයට එක්ව සිටි ඔහු 1970 දී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායම බටහිර ගී ගායකයකු ලෙස එක්විය. ඉංගි්රසි ගීත ගායනයෙන් ලොව ප්‍රකට ගායකයකු වූ එල්විස් ප්‍රේස්ලි, එංගල්බර්ඩ් ටොම් ජෝන්ස් වැනි ගායකයන්ගේ ගීත වැඩිපුර ඔහු එවක ගායනා කරනු ලැබීය.
ක්ලැරන්ස්ගේ ඉල්ලීම පරිදි සිංහල ගීත ගායනයට අත්පොත් තබන අනිල් ක්ලැරන්ස් විජේවර්ධන පද රචනා කොට සංගීතවත් කළ අද වෙයි ඉරු දින ගීතය ගායනා කරමින් 1972 දී සිය පළමු සිංහල ගීත ගායනය ඉදිරිපත් කරනු ලැබීය.
ගායන ශිල්පියෙකු ලෙස මෙරට ගී රසකාමීන් ගේ හදවත් ඇදබැද ගත් අනිල් භාරතී වැඩි වශයෙන් ගායනා කරනු ලැබුවේ නන්තල් ගීතයන්ය. මේ නිසාම ඔහු ශ්‍රී ලංකාවේ නන්තල් ගී ගායකයා ලෙස ද ප්‍රසිද්ධ විය. ඔහු ගායන කළ නන්තල් ගීත අතුරින් ප්‍රවීණ ගී පද රචකයකු වූ කරුණාරත්න අබේසේකරයන් රචනා කළ ක්ලැරන්ස් විජේවර්ධනන් සංගීතවත් කළ බෙත්ලෙකහම් පුරේ ගීතය තුළින් මෙරට ගීත ලෝලීන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්විය. දශක පහක් පුරාවට මෙරට කිතුනු බැතිමතුන්ගේ හදවත් තුළ අමරණීය මතක සැමරුමක් තැබූ මෙම ගීතය නත්තල් සමයට එක්කළ මතුවටත් නොනැසී පවතින චමත්කාර ගීතයක් විය.
නත්තල් ගීත පණහක් පමණ අනිල් භාරතී විසින් ගායනා කර ඇති අතර එයින් තෝරාගත් ගීත ඇතුළත් සංයුක්ත තැටියක් 2013 වසරේදී Selectipn of Orijinal Christmas Songs with Anil Bharethi නමින් නිකුත් කරනු ලැබීය. ඊට අමතරව නත්නල ආවා. නත්තල් ගී සර නමින්ද ගීත ඇල්බමයක් රසික දෝතට තිළිණ කරන්නට අනිල් භාරතී උත්සුක විය. බයිලා ගීත ගායනා ශිල්පියෙකු ලෙසින් ද ගීත ගායනයේ නියැළී අනිල් භාරතී සීතල සඳ එළියේ, අදවෙයි ඉරුදින, සුළඟ සමඟ, හිරු ඉපදෙන විට, ඉරුදින පමණක්, ටිකිරි මලී, මා ආදරෙයි නංගියේ, මගේ රෝසි, පුන්සඳ පායා, සඳයි තරුයි, පුළුන් වගෙයිනේ, නත්තල් දා, බිසෝමැණිකේ, දේව පූජා, පුංචි ගිරවෝ, මිනිසාම තමයි, නුවර වැව, ඔබ දුටු මුල් දිනේ, ඔබේ සිනා, බඹරෙකු ආවයි, පෙම් හසුන, රන්මලියයි සිරිමලියයි, තරුවක් පායල ආදී ගීත සියයකට අධික ප්‍රමාණයක් ගායනා කරනු ලැබීය.
කලක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්යක්ෂවරයකු ලෙස ද කටයුතු කළ ඒ මහතා වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ප්රවෘත්ති නිවේදකයකු ලෙස ද කටයුතු කරනු ලැබීය.
දමයන්ති, සිහසුන චිත්‍රපට සඳහා පසුබිම් ගීත ගායනයට ද එක් වූ අනිල් භාරතී අද වෙයි ඉරු දින, ටිකිරිමලී නමින් හා ටිකිරි මලී 2,3 නමින්ද වීනා නාදය. සරෝජිනි, සතුටු පැය, අනිල් භාරතී ඉන් කොන්සට් නමින් කැසට් පට සංයුක්ත තැටි බොහොමයක් ද තම රසික ප්‍රජාවට තිළිණ කරනු ලැබීය.
70 දශකයේ මුල් භාගයේ බිහි වූ ක්ලැරන්ස් විජේවර්ධන ප්රමුඛ ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමට අනිල් භාරතී හඳුන්වා දෙනු ලැබුවේ ඔහුගේ ඥාති සොහොයුරෙකු වූ ගෝල්ඩන් චයිමිස් සංගීත කණ්ඩායමේ කටයුතු කළ ශානක පෙරේරාය. ඊට පෙර අතුව බටහිර සංගීත කණ්ඩායම් ගණනාවක ගීත ගායනා කළ අනිල් භාරතී හා පුරා කියා ගීත පටිගත කිරිමක් සිදු කරනුයේ අද වෙයි ඉරුදින ගීතයයි. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායනා ශිල්පියෙකු වූ අනිල් භාරතී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ තනු සහ පද රචනයෙන් යුත් ගීත තුළින් කොතරම් ජනපි‍්‍රයත්වයක් ලැබුවේද කිවහොත් එවක කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ සිටි ජනප්‍රිය ගායන ශිල්පීන් අතළොස්සක් අතරට එක්වන්නට ඔහුට ද හැකිවිය. ඔහු සරල ගී ගායන ශිල්පියෙක් වූවද ශ්රාවකයා අනිල් භාරතීව වඩාත් ප්‍රියකළේ ඔහුගෙන් වේග රිද්මයේ ගී ගායනයන්ය. ඒ නිසාම ඔහුට ප්‍රසංග වේදිකාවට වේග රිද්ම ගායකයෙකු ලෙසින් පැමිණිමට එතරම් කාලයක් ගත නොවිණි. අනිල්ගේ ගීතවලට ප්‍රසංග වේදිකාවේ ද විශාල ඉල්ලුමක් ගොඩනැගෙන්නට විය.
ප්‍රේමකීර්ති අල්විස් ලියූ හිරු ඉපදෙන විට… වර්නන් පෙරේරා ලියූ බඹරෙකු ඇදුණා…. කේ.ඩී.කේ ධර්මවර්ධන ලියූ සුළඟ සමඟ එකතුවෙලා ආදී ගීත ගායනයන් තුළින් ද ඉමහත් ජනපි‍්‍රයත්වයක් ලැබු අනිල් භාරතී ගෝලඩන් චයිම්ස් කණ්ඩායමෙන් ඉවත්ව ස්වාධීන ගායකයෙකු ලෙස සංගීත ක්ෂේත්රයේ ස්ථාවරත්වයක් ගොඩනගනු ලැබීය.
ශ්‍රී ලාංකික ගීත ලෝලීන් මෙන්ම විදෙස් රටවල වෙසෙන ගීත ලෝලීන් ද සිය ගීත තුළින් සනසාලන්ට අමතක නොකළ අනිල් භාරතී මැද පෙරදිග, එංගලන්තය, ඕස්ටේ්රලියාව, අමෙරිකාව, ජපානය, ඉතාලිය, මාලදිවයින, ඩුබායි, බහරේන්,ලෙබනන් ආදී රටවල් රැසක සංචාරය කරමින් ද සිය ගායන පෞරුෂය ප්‍රදර්ශනය කරනු ලැබීය.
තම සංගීත දිවියට වසර තිහක් සපිරිම නිමිතිකොට ඔහු Anil Bharethi in Concert නමින් සංගීත ප්‍රසංගයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ අතිවිශාල රසික ප්රජාවකගේ සහභාගිත්වයෙන් පැවැත් වූ අතර මොරටු පුරවරයෙන් බිහි වූ කලා ශිල්පියෙකු වශයෙන් මොරටු පුරයේ තම දයාබර රසිකයන් වෙනුවෙන් බෙත්ලෙහෙම්පුරේ නමින් ප්‍රසංගයක් පැවැත්විමට ද කටයුතු කරනු ලැබීය.
සාමයේ නත්තල් ගී කුමරා ලෙසින් ශ්‍රාවක හදවත් ඇද බැද ගත් මෙරට සංගීත ක්ෂේත්රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙකු වූ අනිල් භාරතී දශක පහකටත් අධික කාලයක් සංගීත ක්ෂේත්රයේ ගායකයකු ලෙස කටයුතු කරනු ලැබීය. කලාභූෂණ, පානදුර අභිමානී ඇතුළු සම්මාන රැසකින්ද ඇගැයුමට පාත්රව සිටි අනිල් භාරතී මහතා රුචින්ද්රා හා ලක්ෂාන් පුතුන් දෙපළගේ ආදරණීය පියාණන් විය. සහජයෙන් ලද ගායනා හැකියාවෙන් පිරි රූපා භාරතී මහත්මියගේ ආදරණීය ස්වාමි පුුරුෂයා වූ අනිල් භාරතී මහතා ටික දිනකින් රෝගාතුරව සිට පානදුර මුලික රෝහලේදී ඉකුත් 22 වැනිදා පෙරවරුවේ සංගීත ලෝලීන්ගෙන් සදහටම වෙන් වී දෑස් පියාගනු ලැබීය.
ඉකුත් 26 වැනිදා
මළහිරු බැසයන සැදෑ සාමයේ පානදුර මිනුවන්පිටිය පොදු සුසාන භූමියේදි අනිල් භාරතී යුග ගණනක් ගැයූ ගී අප අතර ඉතිරිකොට සදහටම වෙන්ව ගියේ මෙරට සංගීත සහෘදයන්ගේ දෙනෙතේ කඳුළු බිඳක් ඉතිරි කරමිනි.
චන්දන දයාසිරිවර්ධන