මම තාමත් ඉස්කෝලෙ යන පුංචි කෙල්ලක් වුණාට ජිවිතේ හුගාක් දේවල් ජිවත් වීමෙන්ම ඉගෙන ගත්තා. පවුලේ වැඩිමලී විදියට මගේ පිට ලොකු වගකීම් ගොඩාක් පැවරෙන බව මට දැනෙන්න ගත්තා. නංගි මල්ලි ගැන බලන්න වගේම අම්මගේ දෙවැනි විවාහයේ දරු දෙදෙනා වූ විද්‍යා නංගි සහ යමුනා නංගි ගැනත් මගේ හිතේ ඉපදුණ ආදරේ හරියට අම්මා කෙනෙකුට දරුවෝ ගැන ඇතිවන ආදරය වගේමයි. මම ඒ ලෙවල් කරන්න මුල්ගම්පොල බෝඩිමට එනකොට අම්මා විද්‍යා නංගිවත් මාත් එක්ක ඒ බෝඩිමේ නවත්වනවා. එයාට එතකොට අවුරුදු පහයි. මගේ බෝඩිමට පේන නොපෙනෙන දුරින් පිහිටි ස්වර්ණමාලි බාලිකාවේ පළමු පන්තියට විද්‍යා නංගිව ඇතුළත් කරනවා. මම එයාවත් බලාගෙන තමයි බෝඩිමේ හිටියේ. උදේට එයාව ලැස්ති කරලා එයා පාර අයින දිගේ ඉස්කෝලේ ඇතුළට යනකම් මම බලාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි මම ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්නේ. ඉස්කෝලේ ඇරුණම එයා ආපහු පාර අයින දිගේම බෝඩිමට එනවා. මම ඉස්කෝලේ ඇරිලා ආපු ගමන්ම කරන්නේ චූටි නංගිගේ යුනිෆෝම් සෝදන එක. එයාට ඒ කාලේ යුනිෆෝම් දෙකයි තිබුණේ. ඉස්කෝලේ ඇරිලා එන්නේ මඩ නාගෙන. රෑට තමයි මම පාඩම් කරන්න පටන් ගන්නේ. බොහෝ රාත්‍රීන් වල මට දන්නෙම නැතුව නින්ද ගිහින් . ඒ වුණාට පාසලේ වැඩ මම කවදාවත් අතපසු කළේ නෑ.මහාමායාවට ඇවිත් අවුරුද්දක් ඇතුළත හොඳම ශිෂ්‍යාව විදියට මම ත්‍යාග දිනා ගත්තා. මේ කාලයේ අම්මා සෑම සති අන්තයකටම මාව බලන්න එනවා. විද්‍යා නංගිත් මාත් එක්ක ඉන්න නිසා. ඒ වගේ දවසක අම්මා මාව බලන්න එත්දි හමුවුණ පුද්ගලයෙක් නිසා මගේ ඉරණම වෙනස් කරන තීන්දුවකට එන්න සිද්ධ වෙනවා.
දවසක් අම්මා මාව බලන්න මහනුවරට ආපු වෙලාවක චිත්‍රපට නිෂ්පාදක එම්. ඒ සංඝදාසව මුණ ගැහෙනවා. ඒවනවිට අම්මා චිත්‍රපට නිළියක වශයෙන් ජනප්‍රියත්වයක් දිනාගෙන හිටියා. අම්මයි තාත්තායි විවාහ වෙලා ඉස්ඉස්සරලම පදිංචියට යන්නේ මේ චිත්‍රපට නිෂ්පාදක තුමාගේ තාත්තාගේ නිවෙසකට. අපි ඉපදෙන්නෙත් අම්මලා ඒ නිවෙසේ ඉන්න අතරතුර.
ආගිය තොරතුරු කතා බහෙන් පසුව සංඝදාස මහත්මයා විමසලා තියෙන්නේ අපි ගැන.
තලතා අක්කා…. ඒ දවස්වල අර පුංචියට හිටපු අය දැන් ලොකු ඇති නේද?
ඔව් මල්ලි ලොකු දුව මහාමායා එකේ උසස්පෙළ කරනවා. මම මේ දැන් යන්නේ එයා බලන්න තමයි.
අනේ ඇත්තද?
ඇයි මල්ලි…
නෑ මම අලුත් චිත්‍රපටයක් කරනවා. ඒකට මට අලුත් මූණක් ඕන. ඒකයි.බැරිද ලොකු දුවව අපිට මුණ ගස්වන්න.
අම්මගේ හිතෙත් කෙදිනක හෝ මාව නිළියක් කරන බලාපොරොත්තුව තිබුණ නිසා මේ පණිවිඩයෙන් ඇයගේ හිසේ මලක් පිපෙන්න ඇති. ඇය සිය ජිවිතයේ බොහෝ දේ නැති කර ගත්තේ සිනමාව නිසා. ඒ සිනමාවට ඇය බොහෝ ආදරය කළ නිසයි. තමන්ගේ දියණියක මේ ක්ෂේත්රයට දායාද කරන්නට ඇත්නම් එය කෙතරම් ආශ්චර්යයක් දැයි ඇයට සිතෙන්නට ඇති.
ඇය මාව සංඝදාස මහත්මයාට මුණ ගැස්සවීමේ පොරොන්දුව පිට මාව බැලීමට බෝඩිමට පැමිණියා.
සුදූ……. මට සංඝදාස මහත්මයා හමුවුණා නුවරදී
ඉතිං අම්මා…..
එයා අලුත් චිත්‍රපටයකට ඔයා ගැන අහනවා…
මේ මම….
ඔව්….. අපි යමුද එයාව ටිකක් මුණ ගැහෙන්න…
අනේ අම්මා…. විභාගෙට තව මාස තුනයි…. මට පාඩම් කරන්නත් තියෙනවා….
අනිත් එක තාත්තා කැමැති වෙයිද දන්නෙත් නෑනේ…..‘
නෑ සුදූ… අපි ගිහින් බලමු…..
මම අදිමදි කළාට අම්මා මාව සංඝදාස මහත්මයා ළඟට රැගෙන ගියා. මට අදටත් මතකයි අපි ඔහු හමුවුණේ එකල අමරසිරි කලංසුරිය මහනුවර පවත්වාගෙන ගිය මයින්ඩ්ස් නම් ඩෙනිම් කඩය තුළදියි.
සංඝදාස මහතා හමුවී පැමිණෙත්දිත් මම අම්මාට කියමින් ආවේ චිත්‍රපටයට සම්බන්ධ විය නොහැකි බවයි. එක පැත්තකින් පාසලේ ඇති විනය නීති සංග්‍රහයත්, තාත්තා කුමක් කියාවිදැයි යන සැකයත් නිරන්තරයෙන් මගේ සිතු තුළ තිබුණා.
මගේ හිතේ ඒ ගැන ලොකු බියක් තිබුණා. ඒකට විශේෂම හේතුව තමයි අම්මයි තාත්තායි වෙන්වීමට විශේෂම හේතුව සිනමාව වීම. එහෙම මාධ්‍යයකට තාත්තා මාව යවයිද කියන සැකය හැමවෙලේම මගේ හිත තුළ තිබුණා.
නමුත් අම්මගේ එකම බලාපොරොත්තුව වුණේ මා සිනමා පටයකින් දැකීම.
මේ දෙදෙනාගේ සිතුවිලි අතර මම අතරමං වුණා.
‘ නෑ සුදූ….. එක චිත්‍රපටයක් කරලා බලන්න…
මමත් තාත්තට කියන්නම්‘‘
අම්මා නම් බොහොම සැහැල්ලුවෙන් එහෙම කිව්වා.
ඒ වුණාට මගේ හිත දෙගිඩියාවකින් ලත වෙනවා. එක පැත්තකින් තාත්තාගේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියන එක. අනිත් පැත්තෙන් උසස් පෙළ විභාගය. මේවනතුරු පාසලේදි හෝ කිසිම විටෙක රංගනයකට සම්බන්ධ වී හෝ නොතිබීම
අඩුම තරමින් සිංදුවක් වත් කියලා තිබුණේ නෑ. මේ වගේ දේකට සම්බන්ධ වෙන්න පාසලෙන් කිසිම අවසරයක් දෙන්නේ නෑ. හිතුවක්කාරකමට ගිහින් බැරිවෙලා හරි ඉස්කෝලෙට ආරංචි වුණොත් කිසිසේත්ම සමාවක් නම් නෑ. උසස්පෙළ විභාගය ලියා ගන්න විදියකුත් නැති වෙනවා.
ඒ වුණාට දෛවය හරි පුදුම විදියට මට මේකට අවස්ථාව හදලා දෙනවා. මම නිවාඩුවට තාත්තා ළඟට ගිහින් බයෙන් බයෙන් මේ විස්තරේ තාත්තාට කියනවා.
මම බලාපොරොත්තු වුණේ හරිම සැර උත්තරයක්.
‘ පුතේ මොන දේ කළත් හරියට කෙරුවොත් වරදින්නේ නෑ පුතේ….. ඔයා කැමැති දේ කරන්න…. ‘‘
තාත්තාගේ මේ උත්තරය උණුසුම් වෙලා ගැහෙමින් තිබුණු මගේ හදවත කූල් ඩවුන් කළා. ඒ කියන්නේ මම සිනමා පටයේ රගපානවට තාත්තාගේ විරුද්ධත්වයක් නෑ කියන එකයි.
තාත්තාගේ අවසරයත් එක්කම අම්මා සංඝදාස මහත්මයාට ඕ.කේ එක දෙනවා.
ඊළගට මට තිබුණු ප්රශ්නය තමයි ඉස්කෝලෙන් බේරෙන්නේ කොහාමද කියන එක. මගේ ඉතිහාස ගුරුවරිය වුණු රණතුංග ටීචර්ට මම මේ ගැන කිව්වා. ඇය කිව්වේ සද්දකරන්නේ නැතුව , කාටවත් කියන්නේ නැතුව කරන්න කියලයි. මේ කාලේ වෙනකොට උසස් පෙළ විභාගයට මාස තුනයි තිබුණේ. ඉස්කෝලේ වාර විභාගේ ඉවරවෙලා අපට අධ්‍යයන නිවාඩු ලැබුණා. ඒ කාලේ තමයි මට චිත්රපටයේරූ ගත කිරිම් වැටුණේ.
ඒවනතුරු ජීවිතේ කිසි දවසක කැමරාවක් ඉස්සරහට ගිහින් නොතිබුණු මට රෙඩි, ඇක්ෂන් , කට් සමග වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන මම දස අතේ කල්පනා කළා.
ලබන සතියේ….
පළමු සිනමා රංගනය
කාංචනා රූ ගත වේ
හේමාලි විජේරත්න