2024 වසරට අදාළව තිරගත වූ ‘Conclave’ හොලිවුඩ් චිත්‍රපටය ආගමික කතා තේමාවක් සහිත දේශපාලනික චිත්‍රපටයක් ලෙස හැඳීන්වීම උචිත වේ. වතිකානුවේ රාජ්‍ය නායකයා හෙවත් පාප්වහන්සේ පත් කර ගැනීමේ සමුළුවක් පිළිබඳ ‘කොන්ක්ලේව්’ චිත්‍රපටයේ කියැවෙයි. චිත්‍රපටයේ කාල අවකාශය බවට පත්වන්නේ වතිකානු රාජ්‍යයයි. වතිකානුව පිහිටීම සිතියමි ගතවනුයේ ඉතාලියේ රෝම අගනුවර තුළ ය. ලෝකයේ ක්‍රිස්තියානි ආගම අදහන බැතිමතුන්ගේ ආධ්‍යාත්මික නායකයා වන ශුද්ධෝත්තම පාප්වහන්සේ අනපේක්ෂිත ලෙස හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වෙයි. පාප් ධූරය හිස් වෙයි. ලොව පුරා පිහිටි රටවල්වල සිටින කාදිනල්වරුන්ගේ බහුතර ජන්දයෙන් නව පාප්වහන්සේකෙනෙකු තෝරාගත යුතුව තිබේ. මෙම භාරදුර කරතව්‍යය සිදු කළ යුත්තේ සිස්ටයින් දෙවිමැදුරේ පීඨාධිපති විසිනි. ඔහු කාදිනල් තෝමස් ලෝරන්ස් ය.
අභිනව පාප් ධුරය සඳහා කාදිනල්වරු කිහිපදෙනකු තරඟ කරති. ඒක ජන්දයෙන් පාප්වහන්සේ කෙනෙකු තෝරා ගන්නට අසීරු ය. වට ගණනාවකදි කිසිදු කාදිනල්වරයෙකු බහුතරට ලබා ගැනීමට නොහැකි වෙයි. ඒතරමට මැතිවරණය තරඟකාරී වෙති. මැතිවරණය සංවිධානය කරන කාදිනල් තෝමස්ගේ හිස ගිනියම් වෙයි. පාප් ධූරයට තරඟ කරන බොහෝ කාදිනල්වරුන් පිරිසිදු චේතනාවකින් හෝ පවිත්‍ර ජීවිතයක් ඇති අය නොවේ. ඊට චිත්‍රපටයේ එන එක් නිදර්ශනයකි මේ.
“මේක යුද්ධයක්…හැම කාදිනල්වරයෙක්ටම පාප් පදවිය දරන්න ආසාවක් තියෙනවා. ” කාදිනල් බෙලීනිගේගේ ඇස් දිලිසුණේ උතුමි පාප් පදවිය දැරීමේ තදබල තෘෂ්ණාවෙනි.
”හැබැයි මට එහෙම නෑ” කාදිනල් ලෝරන්ස් පැවසුවේ සැහැල්ලු ස්වරයෙනි.
තෘෂ්ණාව උතුරා යන නිමේෂයකි. ඇතැම් කාදිනල්වරුන්ට ලිංගික අපචාර චෝදනා තිබේ. ඇතැම් කාදිනල්වරුන්ට වංචා, දූෂණ පිළිබඳ චෝදනා තිබේ. ඇතැම් කාදිනල්වරු දැඩි සේ අන්තගාමී වෙති. දූෂණය, අන්තගාමී බව පිටුදකින කාදිනල් තෝමස්ට අවශ්‍ය වන්නේ කිසිදු චෝදනාවක් නොමැති ආධ්‍යාත්මික ශක්තියෙන් පරිපූර්ණ පවිත්‍ර සිතුවිලිවලින් යුතු පාප්වහන්සේ කෙනෙකු පත්වනවා දැකීමයි.
2016 වසරේදී ‘රොබට් හැරිස්’ නම් ඇමරිකානු ලේඛකයා විසින් රචනා කරන ලද ‘Conclave’නවකතාව චිත්‍රපටයට පදනම් වූ කෘතියයි. ‘Conclave’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘එඩිවඩ් බර්ගර්’ විසින්. ඔහු 2022 වසරේදී තිරගත වූ ‘All Quiet on the Western Front’ නමැති සම්මානනීය යුධ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් මහත් අවධානයක් දිනා ගත්තේ ය. එඩ්වඩ් බර්ගර් විසින් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය ලෙස ‘Conclave’ විචාරකයන්ගේ බොහෝ පැසසුම් හිමිවිය. ජාතික සමාලෝචන මණ්ඩලය සහ ඇමරිකානු චිත්‍රපට ආයතනය විසින් 2024 වසරට අදාළව තිරගත වූ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස නම් කරන ලද ‘Conclave’ චිත්‍රපටය ‘ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල’ සඳහා නිර්දේශ හයක් ලබා ගත් අතර එහිදි හොඳම තිර රචනය (Best Screenplay) සඳහා හිමි සම්මානය දිනා ගත්තේය. මාර්තු මස 2 වැනිදා පැවැත්වීමට නියමිත ලෝක සිනමාවේ අග්‍රගණ්‍ය සිනමා උළෙල සේ සැලකෙන 97වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී ‘Conclave’ හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම සහය නිළිය, හොඳම පසුතල නිර්මාණය, හොඳම අනුවර්තිත තිරරචනය, හොඳම පසුබිම් සංගීතය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම සංස්කරණය ඇතුළුව සම්මාන අටක් සඳහා මේවනවිට නිර්දේශ වී තිබේ. එමෙන්ම 30 වැනි විචාරක තේරීම් සිනමා සම්මාන (Critics’ Choice Movie Awards) උළෙලේ ප්රමුඛ නාමයෝජනා එකොළහක් ද මේ වනවිට නිර්දේශ වී තිබේ.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කාදිනල් තෝමස් ලෝරන්ස් වෙනුවෙන් පණපොවන්නේ හොලිවුඩයේ සම්මානනීය නළුවකු වන ‘රැල්ෆ් ෆයින්ස්’ විසිනි. ඔහු මෙම චිත්‍රපටය වෙනුවෙන් සිදු කරන දැඩි සංයමයකින් යුතුව සිදු කරන අද්විතීය රඟපෑම ප්‍රේක්ෂකයාගේ වඩාත් අවධානයට ලක්වන්නකි. චිත්‍රපටයේ පසුබිම් සංගීතය සඳහා යොදා ඇති කෙටි වයලීන් වාදනය විසින් සමුළුවේ ඇති කුමන්ත්රණකාරී බව සහ අවුල්කාරීබව ඉස්මතු කරයි. කැමරා අධ්‍යක්ෂණය යටතේ ගොඩනඟන සමීප රූප සහ දුර රූප විසින් චරිත වෙත පල්ලිය විසින් අත්කර දී ඇති ආධිපත්‍යය සංකේතවත් කරයි. සමුළුව ඇරඹෙන්නට පෙර කාදිනල්වරු පල්ලියේ තැන තැන එක්රැස්ව කතාබහ යෙදෙන දර්ශන, ඇතැම් කාදිනල්වරු දුම්වැටි බොමින් සිටින දර්ශනද, ජංගම දුරකතනයේ කාලය ගෙවා දමන දර්ශන ද සමෝධානිතව සංස්කරණය වෙයි. විසල් බිත්ති මත තෙල්සායමින් ඇඳී කිතුනු කතා තේමාවන් රැගත් බිතු සිතුවම්වල ඇති දේව රූප රහසිගත ජන්ද විමසීම දෙස බලා සිටීහ පිළිබඳ ප්‍රබල උත්ප්රාසයයක් ජනිත කරන්නට සමත් වේ. බිතුසිතුවම්වල ඇඳී අජීවි රූපවල සමීප රූප ඔවුන්ගේ මෙම රහසිගත ක්‍රියාදාමය වෙත සංස්කරණය වෙයි. රූප සංවිධානය හෙවත් මිසෝන් සේන් ශිල්ප ක්‍රමය චිත්‍රපටයේ කතාව සහ සිදුවීම් දාමයේ විශ්වසනීයත්වය ඇති කරන්නට සමත් වී ඇත.
සිනමාත්මක චිත්‍රපටයක් ලෙස පෝෂණයවන්නට ආලෝකකරණය, වස්ත්රාභරණ, පසුතල නිර්මාණය යන අංශ චිත්‍රපටයේ කැපී පෙනෙන අංශ වෙති. ආලෝකකරණයේ තීව්ර බවට නිදර්ශනයක් ලෙස පල්ලිය අභ්‍යන්තරයේ ශාලාවක පැවැත්වෙන මෙම මැතිවරණයේ අතිශය රහසිගත බව පෙන්වන්නේ කුඩා කවුළුවක් හරහා ශාලාව තුළට කා වදින කුඩා ආලෝක ධාරාවක් යටතේයි. චිත්‍රපටයේ අපුරු සංකේතයක් ප්‍රේක්ෂකයා වෙත සම්මුඛ වෙයි. ඒ පල්ලිය තුළ ඇවිදින ඉබිබාගේ රූපයයි. පාප්වහන්සේගේ තෝරාගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් වූ පසුව කාදිනල් තෝමස් හට මෙම පල්ලියේ අතරමංව ඇවිදින ඉබ්බා ඔසවාගෙන ගෙන ගොස් වතුර පිරී පොකුණට දමයි. ඉන් ජනිත වන අදහස කාදිනල් තෝමස් මනසේ රැඳුණු දෙවියන්වහන්සේගේ මනුෂ්‍ය ඒජන්ත වන පාප්වහන්සේවරයකු තේරීමේ බර නිදහස්වීම පිළිබඳ අරුතයි.
අනාදිමත් කාලයක සිට ක්‍රිස්තියානි ආගම තුළ ප්‍රබල දේශපාලන අර්බුදයන් ගණනාවක් තිබේ. ප්‍රංශයේ ක්ලෙමන්ට්හි දෙවැනි අර්බන් පාප් වහන්සේ කුරුස යුද්ධ මාලාව ආරමිභ නොකළා නමි අද යුරෝපයක් කියා එකක් නොමැත. යුරෝපය යුරෝපයක් විදියට එක්සත්ව ගොඩ නැඟුණේ ලේ වගුරුවන ලද කුරුස යුද්ධ මාලාව නිසා ය. කුරුස යුද්ධය හි අරමුණ වූයේ කතෝලිකයන්ගේ ශුද්ධ භුමිය වූ ජෙරුසලම අත්පත් කර ගැනීම ය. පාප් වහන්සේ කෙතරමි බලවත්ද? යන්න කුරුස යුද්ධයට අණ දීම පවා සිදු කළේ ඔහු. ජනප්‍රිය සංස්කෘතිය තුළ පාප්වහන්සේ යනු ලෝකයට දැඩි බලපෑමක් සිදුකිරීමට දැඩි ශක්‍යතාවයක් ඇති පුද්ගලයෙකි. පල්ලිය අතර පාප්වහන්සේ වීමට දරන අපවිත්‍ර චෙිතනාවලින් සමන්විත ක්‍රියාවන් පිළිබඳ චිත්‍රපටය විසින් ගොඩනඟන සියුමි කතිකාවත වැදගත් ය. ලෝගුවෙන් වසාගත් පූජක මණ්ඩලයේ වියවුල චිත්‍රපටය විසින් ප්‍රශ්නයට නඟයි. ආගමෙි පවිත්‍ර අදහස්වලට නූතන දේශපාලනික බල ලෝභී අදහස් ද පෙරට පැමිණ තිබෙන බව චිත්‍රපටය විසින් සංඥා කරයි.
පාප් ධූරය සඳහා කළු – සුදු වර්ණභේදවාදය ද බලපෑමි කරයි. කළුබව (Blackness) පාප්වහන්සේ තෝරා ගැනීමට ද දැඩිව බලපෑම් කිරීම චිත්‍රපටය විසින් ගොඩනඟන උපහාසය දනවනසුලු අවස්ථාවකි. අප්‍රිකානු කලාපයෙන් කළු ජාතික කාදිනල්වරයකුට පාප්වරයෙකු තේරීපත්වන්නට සමුළුවේ සුදු ජාතික කාදිනල්වරු අකැමැතිවන්නේ ඔවුන් සතු වර්ගවාදය සම්බන්ය දෘෂ්ටිවාදී අදහස් නිසාය. සමුළුව සඳහා අප්‍රිකානු කලාපයේ පිහිටි නයිජීරියාවෙන් ඉදිරිපත් වන කළු ජාතික කාදිනල්වරයකු වන ‘ඇඩයේමි’ ලිංගික අපචාර චෝදනා ලැබ සිටින පූජකයෙකි. නමුත් කාදිනල් ‘ඇඩයෙමි’ පාප්වරයකු වීමට ඉතා ඉහළින් සිහින දකින්නෙකි. නමුත් ඔහු වෙත චෝදනා එල්ල කරමින් ඔහු වරදකාරී පුද්ගලයකු බවට පත්කරන්නට තැත් කරයි. ආගමික යුද්ධය, පිරිසුදු ආධ්‍යාත්මයක් රහිත පුජකයන්ගේ තෘෂ්ණාධික බල අරගලය චිත්‍රපටයේ පෙරබිමින් සංඥා කරන දෑ වෙති. ‘කොන්ක්ලේව්’ යනු බුද්ධිමත් ප්‍රේක්ෂකාගාරයේ සිටින ප්‍රේක්ෂකයන් සඳහා වෙන් කළ දේව වරප්‍රසාදයක් වැන්න. බලය පිළිබඳ දැඩි අන්තගාමී සිතුවිලිවලින් ගහණ පූජක මණ්ඩලයක් ඇති කතෝලික පල්ලියේ අනාගතය සහ එහි අභ්‍යන්තර දේශපාලනය පිළිබඳ සූක්ෂම ගවේෂණය කරමින් දෘෂ්ටිවාදී කතිකාවතකට ප්‍රේක්ෂකයා තල්ලු කරන්නේ නිරායාසයෙන්මයි.
ඉමල්ක විතානගේ