Home » දේශපාලනිකව ව්‍යවච්ඡේද කළ හැකි වාලම්පූරි

දේශපාලනිකව ව්‍යවච්ඡේද කළ හැකි වාලම්පූරි

by Thanushika
June 12, 2025 1:01 pm 0 comment

සිතූ පැතූ සම්පත් ගෙන දෙන යමක් තමන් සතු කර ගනු පිණිස වෙහෙස නොවන කිසිවකුත් මෙලොව වසන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. මෙම වෙහෙස අහම්බයකින් උපදින අවස්ථාවක් වීමට ඇති ඉඩකඩ අපමණය. වාලම්පූරිය යනු මෙසේ සිතූ පැතූ සම්පත් ගෙන දෙන්නක්ය යන චිරකාලීන අදහස සමඟ ඇයි හොඳයිකම් පවත්වන ලක්මාල් ධර්මරත්න, ‘වාලම්පූරි හෙවත් හීන හතහමාරක්’ සිනමාපටය ගෙන එන්නේ එකරුණ සේම ඒ වටා පවතින නොයෙකුත් තතු හසු කර ගැනීමද අරමුණු කොට ගෙනය. නිසැක වශයෙන්ම මෙය ජය ගැනීම පහසු ඉලක්කයක් නොවන වග පෙනේ. වෙසෙසින්ම සිනමාකරණයට අලුතෙන්ම එක්වන්නකුට මෙහිදී මුහුණ පාන්නට සිදුවන්නේ බැහැර කළ නොහැකි අභියෝගයකටය.

සිනමාකරු ලක්මාල් රූප මාධ්‍ය තුළ බොහෝ දුරක් ගමන් කළ අයකු නොවේ. ඔහුට පිටිවහලක් වී ඇත්තේම වසර දෙක තුනකට ඉහතදී නිර්මාණය කළ ‘කූඹියෝ’ නමැති ප්‍රාසංගික ටෙලි නාටකය පමණි.

එක් රසික අරමුණක් වන්නේ ‘වාලම්පූරි හෙවත් හීන හතහමාරක්’ යනු ‘කූඹියෝ’ හි දිගුවක් වනු දැකීමය. නොඑසේනම් මෙය ‘කූඹියෝ’හි සිනමාත්මක ප්‍රකාශනය වනු දැකීමය. එසේම ‘කූඹියෝ’ හි තේමාව හෝ ප්‍රකාශන සමත්කම අබිබවා යන සිනමාපටයක් වනු දැකීමය. ‘කූඹියෝ’ වෙති බැහැරව සිනමාපටය විනිවිදීමේ ප්‍රයත්න ප්‍රකාශයට පත්වන්නේ ක්‍රමිකවයි.

උත්ප්‍රාසාත්මක පිවිසුමකින් සිය පළමු සිනමාපටය වන ‘වාලම්පූරි හෙවත් හීන හතහමාරක්’ අරඹන්නට සිනමාකරු ලක්මාල් තීන්දු කරන්නේ රසිකයා වහා සිය අත්අඩංගුවට පත් කරලන අපේක්ෂාව සහිතවය. පුස්තකාල චලන දසුන් පෙළකින් සිරිලක අතීත පාලන තන්ත්‍ර පිළිබඳ කිසියම් අදහසක් මෙයින් අවධාරණය කෙරේ. සියලු රූප කළු සුදුය. නයුවන් දොඩන්නේ තරුණ පෙළ මූලික කර ගත් අදහස්ය. ජන දිවියට නිසි අරුතක් සපයා ගනු වස් දක්වන තම තමන්ගේ කැපවීම ගැනය. සිනමාපටය සපුරාම දේශපාලන සිනමාපටයක් වනු ඇතැයි යන හැඟීම මෙතැනදී උපදින්නේ කිසිදු බාධා කිරීමකින් තොරවයි.

කෙසේ නමුදු සිනමාපටය සෘජු දේශපාලනික සිනමාපටයක් සේ ඔසවා තැබීම සඳහා වූ පුළුල් උනන්දුවක් සිනමාකරු වෙතින් පළ නොවේ. මෙයට තිරනාටකයේ සංයුක්ත බව හේතු වී ඇත්තේ ප්‍රබලාකාරයෙනි. තිරනාටකය රචනයට ඔහු සමඟ එක්වූ දමිත චන්ද්‍රසිරි සගයා හා මත ගැටුමකට යාමේ වුවමනාවක් ගම්‍ය නොවන්නේ මෙනිසාය. එහෙත් දේශපාලනික සහභාගීත්වය එහෙම පිටින්ම බැහැර කිරීමට සිනමාකරු ලක්මාල් අපොහොසත් වන සැටියකි. ඊට හේතු වන්නේ පෙර කී උත්ප්‍රාසාත්මක එළැඹුම සිනමාපටය තුළ සැඟවෙන්නේද යන්න සොයා බැලීමට දරන වෑයම නිසාය. සෘජු දේශපාලනික සිනමාපටයක් සේ ‘වාලම්පූරි හෙවත් හීන හතහමාරක්’ ඔසවා තැබීම වෙනුවට දේශපාලනික කාරණා උචිත පරිදි හා වක්‍රාකාරයෙන් සනිටුහන් කරලීමට සිනමාකරු ලක්මාල් අවසනදී සාපේක්ෂව හෝ සමත්වෙයි. මෙය සිරිලක සිනමා කලාපයේ තවත් කලක් නිරුපද්‍රිතව රැඳී සිටීම සඳහා ඔහු සපයා ගත් අවස්ථාවක් සේ පෙනේ.

සිනමාපටයේ පළමු අඩ නිමා වන්නේ ප්‍රසාංගික ටෙලි නාටක ලකුණු පරයා සිනමානුරූපී ලකුණු සපුරා ගනු සඳහා සිනමාකරු ලක්මාල් සමත්වන්නේය යන අදහස උද්දීපනය කරමිනි. මෙතැන කිසියම් අදිසි පර්යේෂණාත්මක හැසිරීමක්ද දක්නට ලැබේ. එසේම සැබෑ ලොව එලෙසින්ම ප්‍රතිනිර්මාණය වෙනුවෙන් ඔහු පෙනී නොසිටින බවක්ද දැක ගත හැකිය. ඒ වෙනුවට යම් කල්පිත ලකුණු සමහරක් එක් කරලීම ඔහුගේ කාර්යයක් වී තිබේ. කෙසේ වුවද අභව්‍ය ලකුණු සඳහා අවස්ථාවක් ලබා නොදීම පිණිස ඔහු දිගින් දිගටම වෙහෙස වන අන්දම අවතක්සේරු නොකළ යුත්තක් වේ.

නිශ්චිත චරිත සමුච්චයක් සමඟ සිදුවීම් බහුල පුවතක් මුල, මැද, අග යන සම්මත පෙළගැසීම් යටතේ ගෙන හැර පෑමේදී සිනමාකරු ලක්මාල් පිළිවෙත් කිහිපයක් මතම රැඳී සිටින අයුරු දැක ගත හැකිය. සැබැවින්ම ‘වාලම්පූරි හෙවත් හීන හතහමාරක්’ නවමු ලකුණු සහිතව ඉදිරිපත් කෙරෙන්නේ මේ නිසාවෙනි. මේවා සමකාලීනව ප්‍රදර්ශිත වෙනත් සිනමාපට වෙතින් දක්නට නොලැබෙන තරම්ය. ලක්මාල් හෝ රසික ප්‍රජාව මෙහි ඇතුළාන්තය පිරික්‌සීමට තැත් නොකරන්නේ එබන්ඳකින් සිනමාපටයේ මුහුණුවර අගතියට යාමේ ඉඩක් විවර වීමට අවකාශ සැලසෙනු ඇතැයි යන සැකය නිසා වන්නටද පුළුවන.

සිනමාපටය පෙළ ගස්වන්නේ පුරුෂ මූලිකව වීම පළමු ලකුණයි. ඈත පිටිසර ගම්පියසක වෙසෙන සිව්දෙනෙකු පුරුෂ පක්ෂයේය. නගරයේ සිට යන හිතවතාද එතැනමය. පොලිස් නිලදරුවාද පුරුෂ පක්ෂය නියෝජනය කරයි. මේ පුරුෂරූපී ලකුණ එක් විටම කඩා බිඳ දමන රුවැති නාගරික සුරූපිනිය නොපමාව පළමු පෙළ චරිතයක් බවට පත් කෙරේ.

කුඩා චරිත එකක් දෙකක් හැර සෙසු සියලු චරිත අනීතිකව ධනය එක්රැස් කිරීමට සූදානම් වීම දෙවන ලකුණයි. ගම්පියසේ පිරිස විසුළු සහගත හා ව්‍යාජ නාටක රඟ දක්වමින් පුරාවස්තු ඇතුළු වටිනා භාණ්ඩ සොරකම් කරති. වාලම්පූරිය වෙනුවෙන් මරාගෙන මැරෙන සෙස්සන්ද එසේමය. නීතිය සුරකින්නට දිවුරුම් දෙන පොලිස් නිලදරුවාද ,පූජක තැනද මෙහිදී හමුවේ.

මේ සියලු දෙනාගේම ඇතුළාන්තය, යටගියාව හා සිතුම් පැතුම් විදාරණයට ලබා දෙන ඉඩකඩ තෙවන ලකුණයි. මෙහිලා ඔවුන් අරභයා මතු කරන දයානුකම්පාව රසික සිත් සසල කරන වග පෙනේ. සිනමාපටයේ දේශපාලනික නැමියාව හසු කරගත හැකි පහසුම අවස්ථාවක් මෙතැනදී උදාවෙයි . එනම් පෙර සිටි පාලක පාර්ශ්ව ජන දිවි සුරැකුමට ගත් පියවර බොහොමයක් යටපත් වී ඇතැයි යන්නය. එසේ නොවන්නේ නම් ඔවුන් ඊට අදාළ වෙනත් පියවරක් අනුගමනය නොකළ බවය.

මේ ලකුණු අතරින් වෙසෙසින්ම පෙරට එන්නේ රූපණ කාර්යයයි. පළමු පෙළ චරිත සඳහා එක්කර ගන්නේ පෙරදී නන් අයුරින් රූපණ සමත්කම් පෙන්නුම් කළ අයවලුන්ය. සිනමාකරු ලක්මාල්ට ඇවැසිවන්නේ තාත්වික ලකුණු මතම දිවෙන රූපණ විලාසයක් නොවේ. තාත්වික ලකුණුද, සිනමාපටයේ දැක්මද අන්තර්ගත යථා තතු හා කල්පිතය අතර සැරිසරන ආකාරයේ රූපණ විලාසයකි. වැඩි රූපණ ඉඩක් ලැබුණද කිසිදු විටෙක සෙස්සන් පරයා යන්නට ප්‍රියන්ත සිරිකුමාර උත්සාහ නොකරයි. සිනමාකරු ලක්මාල්ද ඊට ඉඩක් ලබා නොදෙයි.මෙනිසාම ප්‍රියන්ත සේම සරත් කොතලාවල, අශාන් ඩයස්, තුමිඳු දොඩන්තැන්න,අංජන ප්‍රේමරත්න, දර්ශන් ධර්මරාජ්, වසන්ත මොරගොඩ හා දිල්හානි අශෝකමාලා උනුන් පරයා නොයමින් සිනමාපටයේ ඒකමිතිය වඩා අරුත් සරු කරනු සඳහාම සිය රූපණ දායකත්වය දක්වති.

සිනමාකරු ලක්මාල් සිනමාපටය දිග හරින්නේ කෙමෙන් නැඟ එන සදය උපහාසයක් සහිතවය. තමන් පෙළන නොයෙකුත් ගැහැට බැහැර කළ හැක්කේ එක්විටම මහා ධනයක් සතු කර ගැනීමෙන් බවයි සියලු දෙනාම කල්පනා කරන්නේ. අහම්බෙන් මොවුන’තට පත්වන වාලම්පූරිය එය හඟවන එක්තරා සංකේතයක් බඳුය. එක් අයකු වාලම්පූරි හබය නිසා පහර කා සිටියදී මහ හඬින් පවසන්නේ ‘මේක මාරකයක් දෙයියෝ’ යන්නය. වාලම්පූරියෙන් වාසනාව උදා කර ගැනීමට මේ කිසිවකුටත් හැකි නොවේ. අතින’තට ගිය වාලම්පූරිය යළි ගැමි පිරිස වෙතටම ලැබුණද නැවත මාරාන්තික හබයක් ඇති නොවන බවට කිසිදු සහතිකයක් නිකුත් කිරීමට ඉඩක් නොමැත. වාසනාව යනු අවාසනාවේ අනෙක් පසය යන්න සිනමාකරු ඉඟි කරයි. එසේම වාසනාව හුවා දක්වන වාලම්පූරිය අවාසනාව ගෙන දෙන බව පසක් වුවද එය අතහැර දැමීමට ඔවුන් තීන්දු කරන බවක් නොපෙනේ.

හෝරා දෙක හමාරකට පසු සිනමාපටය නිම කෙරෙන්නේ තව මොහොතක් සිනමාශාලාවේ රැඳී සිටින්නට රසිකයා පොලොඹවමිනි. ගෙවී ගොස් ඇත්තේ එක් අවධියකි. මීළඟ අදියරට පෙර තිරයේ දැක්වෙන්නේ නාමාවලියයි. පසුබිමේ සිරිලක පරිසරයේ එන ස්ථාන සමුච්චයකි. මේ හැම තැනකම වාලම්පූරියක් දක්නට ලැබේ. එනම් වාලම්පූරිය යනු වාසනාව ගෙන එන ශුද්ධ වස්තුවක් නොවන්නටද ඉඩ ඇති බවය. අවාසනාව කැඳවන වස්තුවක් පමණක්ම නොවන බවය.කිසිවකුගේ සැලකිල්ලට බඳුන් නොවන හුදු මුහුදු බෙල්ලකුගේ පිටවැස්මක් වන්නටද ඉඩ ඇති බවය.පෙර පාලක පාර්ශ්ව මෙසේ උදා කර දී ඇත්තේ වාසනාව මාරකයක්ද විය හැකි ලොවක්‌ය යන්නය.

සිනමාපටයේ එන සියලු දෙනාගේම සිහින බොඳ වන වග හෝරා දෙකහමාරක් තිස්සේ හඬ නොනගා තිරය දෙස නෙත් යොමා ගෙන සිටි රසික පිරිස වටහා ගන්නේ තරමක වෑයමකින් අනතුරුවයි. ගම්පියසේ සිව්දෙනාගේම සිහින බොඳ වී ඇත. වාලම්පූරිය යළි අතට ලැබුණද ඉන් වාසනාව උදාවනු ඇතැයි යන්න සැක සහිතය. මාරාන්තික ගැටුම් පැන නඟින්නට ඉඩ තිබේ. නගරයේ සිට පැමිණි හිතවතාගේද සිහිනය බොඳ වී යයි. වාලම්පුරි ධනයෙන් දිවි සරු කර ගනු වස් තැත් කරන පොලිස් නිලදරුවාගේ සිහිනයේ ඉරණමද එසේමය. සුරංගනාවියක් බඳු නාගරික සුරූපිනියගේ රුපියල් මිලියන ගණනක සිහිනය බොඳ වෙයි. මේ සිහින සතට එක්වන අඩ සිහිනය වාලම්පූරි අරගලය මැද දිවි අහිමි කර ගන්නා පූජක තැනගේය.

රූපණය ප්‍රබල වීමද නිසා ප්‍රමුඛ අනුශාංගික අංග සතු සමත්කම් සේම පසුබෑම් සැඟවෙන අයුරු දැක ගත හැක්කේ සිනමාපටය පිළිබඳ මතකය අවදි කරන විටයි. එනම් රූපණය හැරුණු කොට අන් අනුශාංගික අංගයක් උද්දීපනය නොවන නිසාවෙනි. කෙසේ වුවද පශ්චාත් විමසුමකදී පෙනී යන්නේ සංස්කරණ කාර්යයේදී තවදුරටත් සැලකිලිමත් වූයේ නම් මැනවිය යන්නය. සියලු දසුන් සිනමාකරුට අවැසි බව සැබෑවකි. නමුත් සියුම්ව දසුන් ද්විත්වයක් හෝ කිහිපයක් සිනමාපටයේ රිද්මයට හානි නොකොට එක්‌ දසුනක් කරා රැගෙන ඒමේ වෑයමක් දරන්නට සංස්කරණයේදී උත්සාහ කළ යුතුව තිබිණි. සංගීතය ඒ ඒ අවස්ථා කුළුගන්වනු පිණිස භාවිත කරලීමට දරු වෑයමද කැපී පෙනේ. එනමුදු සංගීතය වරෙක යම් වෙහෙසක්‌ ගෙන දුන් අවස්ථාද පවතී. ඒ අදාළ අවස්ථා කුළු ගැන්වීමේ වෙසෙස් වෑයමක් අවැසි නොවූ තැන් හිදීයි. සිනමාපටය පුරාම කලා අධ්‍යක්ෂවරයාගේ තාර්කික මැදිහත්වීම දැක ගත හැකිය. ඔහු කවර මොහොතකදීවත් සිනමාපටය හැර දමා නොයයි.සැබෑව හා ඊට සමීප කල්පිතය රූප රාමු මත සටහන් කරලන අවස්ථා සමුච්චයේදී කලා අධ්‍යක්ෂණයේ ප්‍රතිභාව පිළිබද වඩා නිවැරදි තක්සේරුවක් කළ හැකිය.

සිනමාපටය මුළුමනින්ම නැරඹීමෙන් අනතුරුව සිනමාශාලාවෙන් නික්මෙන විද්වත් රසිකයා එහි අතීතය හා වර්තමානය සැසඳීමේ වුවමනාව මතු කරනු ඇත. අතීතය යනු පෙර සිටි පාලක නයුවන්ගේ දැක්ම හා භාවිතයයි. වත්මන යනු මාරකයක් බඳු වාසනාවක් සමඟ පොර බදින නිෂ්ප්‍රභූ ජනයාගේ දිවියයි. මෙයින් කියැවෙන්නේ ‘වාලම්පූරි හෙවත් හීන හත හමාරක්’ යනු නොගැලවිය හැකි සිනමාපටයක් වන බවය. දේශපාලනිකව වුව ව්‍යවච්ඡේදනය කළ හැකි සිනමාපටයක් වන බවය.

[email protected]

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT