නිවස විශේෂාංග දෙහිවල ‘පුෂ්පා’ සිනමාහලේ පෙන්වූ හැම චිත්‍රපටයක්ම බැලුවා

දෙහිවල ‘පුෂ්පා’ සිනමාහලේ පෙන්වූ හැම චිත්‍රපටයක්ම බැලුවා

ජ්‍යේෂ්ඨ ලේඛක රූපසේන සිල්වා

by Thanushika
October 10, 2024 12:30 am 0 comment

1925 වර්ෂයේ සිට 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා මෙරට ජාතික චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කරමින් සම්පාදිත ශ්‍රී ලාංකේය චිත්‍රපට නාමාවලිය පසුගියදා නිකුත් වූයේය. මෙම ග්‍රන්ථයේ ගෙවුණු වසර 99ක් පුරා මෙරට තිරගත වූ සියලුම ප්‍රමාණයේ හා වර්ගයේ චිත්‍රපට ප්‍රදර්ශිත අනුපිළිවෙළට පෙළ ගස්වා තිබේ. අතිරේක ප්‍රදර්ශනයෙන් තොරව සිනමා ශාලාවල ඒකීය වශයෙන් ප්‍රදර්ශනය කළ වාර්තාමය වෘත්තාන්තයන්ද මීට අන්තර්ගතය. මෙහිදි ශ්‍රී ලාංකේය චිත්‍රපට නාමාවලිය, චිත්‍රපට නාමය, ප්‍රදර්ශිත දිනය, අධ්‍යක්ෂවරයා සඳහන් කරමින් කෙටි සටහනක ආකාරයෙන් සඳහන් කර ඇත. මෙම ග්‍රන්ථය ඇතුළත ඉපැරැණි චිත්‍රපට පෝස්ටර් කිහිපයක්ද ඡායාරුප වශයෙන් ඇතුළත් කර ඇත.

ලාංකේය සිනමා ඉතිහාසයේ සිනමා සාහිත්‍යයක් වෙනුවෙන් හැමදාමත් කැපවුණු ජ්‍යෙෂ්ඨ සිනමා ලේඛකයෙකු වන රූපසේන සිල්වා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මේ නිමිති කරගෙන මෙවර අපගේ කතා බහ යොමු වූයේ රූපසේන සිල්වාගේ මෙම ග්‍රන්ථය සහ ඔහුගේ සිනමා සාහිත්‍යකරණය දෙසටය.

රූපසේන සිල්වා ගේ පික්චර් පිස්සුව ඇරඹෙන්නේ ඔහු පාසල් ශිෂ්‍යයකුව සිටි අවදියේදීය. ඒ කාලයේ සිනමා ශාලාවට එන සියලුම චිත්‍රපට නැරඹීම ඔහුගේ විනෝදාංශය විය. සිනමාව පිළිබඳ වූ මේ කැමැත්ත සේම වයසින් මුහුකුරා යත්ම ඔහුට ලේඛකයකු වීමේ වුවමනාවද ඇති වෙන්නට විය.

‘‘මම මුලින්ම ලේඛකයෙක් විදියට දොරට වඩින්නේ ‘වනිතා විත්ති’ පුවත්පතේ ‘ළපටි පෙළ’ පිටුවේ ළමා ලේඛකයකු ලෙසින්. ඒ කාලෙම පළවුණ ‘කලා, ලංකා චලන චිත්‍ර, චිත්‍රවාහිනි වැනි පුවත්පත් හා සඟරා වලටත් මම ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ ක්‍රම ක්‍රමයෙන් මගේ වැඩි නැඹුරුව සිනමාව පැත්තට යොමු වුණා. මම සිනමා ලේඛකයෙක් වුණේ එහෙම.”

සිනමා ලේඛකයකු වීම ලෙහෙසි පහසු කාරණයක් නොවේ. ඊට අවැසි දැනුම, අත්දැකීම, පරිචය ලබා ගැනීම දවසකින් දෙකකින් කළහැකි කාර්යයක් නොවේ. කාලාන්තරයක් තිස්සේ චිත්‍රපට නැරඹීමෙන් සහ ඒ පිළිබඳ අධ්‍යයනයෙන් වන දැනුම් සම්භාරය ඊට බෙහෙවින්ම උපකාරී වෙයි. රූපසේනගේ විනෝදාංශය චිත්‍රපට නැරඹීම වූ හෙයින් ඔහුට මේ දැනුම ලබා ගැනීම අසීරු කරුණක් වූයේ නැත. රූපසේන චිත්‍රපට නැරඹුවේ හුදු විනෝදාස්වාදය ලබා ගැනීම පමණක් සඳහා නොවේ. ඔහුට එම චිත්‍රපටයන්හි තිරගතවූ දින, කාර්මික තොරතුරු, ගීත පිළිබඳ හොඳ මතකයක් තිබුණි. එසේම ඔහු පික්චර් පිස්සෙක් වූ නිසාවෙන් මෙම චිත්‍රපට තොරතුරු වටිනා ධන නිධාන සේ එක් රැස් කිරීමටද පෙලඹිණ. මේ නිසාම වර්තමානය වනවිට ඔහු සතුවන චිත්‍රපට පිළිබඳ වන තොරතුරු සමුදාය කොතෙක්දැයි කිව නොහැකිය. අද මේ මොහොත වනවිටත්, හෙට දිනයේත් තිරගතවන චිත්‍රපටයක තොරතුරු වුවද ඔහු සතුව පැවතීම සිනමා ක්ෂේත්‍රයට ඔහු විසින් කරන්නාවු මහඟු මෙහෙයකි.

‘‘ මම සිනමාව පිළබඳ උනන්දුවෙන් කටයුතු කළා සේම ඒ කාලේ මම මුද්‍රණ ශිල්පය පැත්තටත් හරියට උනන්දු වුණා. මුද්‍රණ ශිල්පය මම ඉගෙන ගත්තා. මගේ ජීවන වෘත්තීය විදියට මම තෝර ගත්තේ මුද්‍රණ ශිල්පය. එය අතරතුර තමයි මට 1963 දී ‘සිංහල සිනමා ප්‍රදීපය සඟරාවේ සහාය සංස්කාරකවරයා බවට පත්වෙන්න අවස්ථාව ලැබෙන්නේ. එතැන් පටන් මම විවිධ අවස්ථාවල විවිධ සඟරා සහ පුවත්පත්වල සංස්කාරක පදවි දරන්න අවස්ථාව ලැබුණා. 1967දී ‘තිරේ, සඟරාව, 1971 දි ‘සිනේරූ’ සඟරාවද 1973 දී ‘රිදීතිරේ‘ සඟරාවේත් මම ප්‍රධාන සංස්කාරක විදියට වැඩ කළා. ඊට පස්සේ මම 1975 දී ‘ගීතා, විකසිත සහ 2018 දී ‘ජෝතිමත් ජෝති’ යන පුවත්පත් ත්‍රිත්වයේ ප්‍රධාන කතුවරයා වීමටත් අවස්ථාව ලැබුණා. සිනමාව කෙරහි මගේ හිතේ තිබුණ අසීමිත ආදරය සහ කැමැත්ත තමයි මාව මේ තැන් කරා ගෙන එන්න හේතුවෙන්න ඇත්තේ.” කෙනෙකු යම් දෙයක් අසීමිත කැපවීමකින් සහ ආදරයකින්, භක්තියකින් කරයිද එය අතිශයින්ම සාර්ථක වන බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවෙයි. රූපසේන සිල්වාටද උදා වූයේ ඒ අවස්ථාවය.

රූපසේන ග්‍රන්ථකරණයට පිවිසෙන්නේ 1970 දශකයේ අගභාගයේදිය. ඒ 1978 සිට වසර හත අටක කාල පරාසයක දී ඔහු ග්‍රන්ථ සම්පාදකවරයකු ලෙස ජනකාන්ත ගායක ගායිකාවන්ගේ ගීත රැගත් පිටු 16 ගීත පොත් 60ට ආසන්න සංඛ්‍යාවක් එළිදක්වමිනි. මෙම කාලය ඇතුළත ප්‍රකාශකයන්ගේ බලවත් ඉල්ලීම මත ඔහු ‘තරුණිය’ හා ‘රති ක්‍රිඩා’ නමින් ග්‍රන්ථ දෙක්ක රචනා කළේය. ඉන්පසු අටවිසි බෝධි පූජා, ප්‍රථමාධාර, සිනමා සිද්ධි (1997), සිනේ ලංකා දිනපොත (1998), සටන් කලාවක රුව සහ පුරාණය (1999) සසල රූ නිසල වූ (2008), සිනෙ ලංකා (2008-2009), සැඟව ගිය අපේ සටන් කලාව (2011), ලෙස්ටර් චිත්‍රපට ගීතාවලිය (2012), දේශීය චිත්‍රපට නාමාවලිය (2016) වැනි ග්‍රන්ථ මුද්‍රණ ද්වාරයෙන් එළිදැකීම ඔහුගේ ලේඛන දිවියේ අමරණීය ප්‍රයත්නයන්ය.

“ඇත්තටම මගේ සාහිත්‍යකරණයට අත්වැල සැපයෙන්නේ මගේ පාසල් දිවියෙන්මයි. මම පුංචි පුංචි ලිපි ලියන්න පටන් ගත්තේ ළමා කාලයේදීමයි. අපේ ගම මොරටුව වුණාට ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ දෙහිවල. දෙහිවල තිබුණා ඒ කාලේ ‘පුෂ්පා’ කියලා සිනමා ශාලාවක්. ඒකේ තමයි අපි පුංචි කාලේ ඉඳන් චිත්‍රපට බැලුවේ. ඒකට දවස් දෙකෙන් දෙකට චිත්‍රපට එනවා. හින්දි, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපට හැම එකක්ම බලන්න පුරුදු වුණේ මෙතනින්. මම පාසල් ගියේ දෙහිවල ඇලිටියා විද්‍යාලයට. ලංකාවේ හිටපු ප්‍රකට සිනමා විචාරකයකු වුණු චන්දන සිල්වයි මමයි දෙන්නම මේ විද්‍යාලයේ එකම පංතියේ හිටියේ. කොහොම වුණත් මගේ ජිවිතේ මට හීනයක් තිබුණා. ලේඛකයෙක් වෙන්න. ඒ එක්කම මට මගේ නම ජනප්‍රිය වෙන්න ඕන වුණා වගේම මගේ මුහුණ ජනප්‍රිය නොවී තියා ගන්නත් ඕන වුණා. ඒ දේ මම කොහොම හරි කර ගත්තා. අදටත් මගේ නම කිව්වම ඕනම කෙනෙක් දන්නවා. හැබැයි බොහෝ දෙනෙක් මම පාරේ ගියාට අහවලා කියලා අඳුරන්නේ නෑ. ඒක තමයි මට කර ගන්න ඕන වුණේ. ඒකෙන් මම ලොකු නිදහසක් විඳීනවා. පාර අයිනේ පෙට්ටි කඩයකින් ප්ලේන්ටියක් බීලා මට නිදහසේ ගමනක් බිමනක් යන්න පුළුවන්. ඒකට මම හරි ආසයි.”

සැබවින්ම රූපසේන ගේ රූපය බොහොමයක් පිරිසක් නොදැන සිටියා වුවද ඔහුගේ නාමය නොදන්නා සිනමාවට සම්බන්ධ වූවෙක් ඇතැයි විශ්වාස තළ නොහැකිය. රූපසේන පසුකලෙක ලේඛකයකු වශයෙන් පමණක් නොව, සංගීතය, චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදන කළමණාකරුවෙකු බවටද පත් වූයේය. එවකට අතිශයින්ම ජනප්‍රිය වූ කැසට් නිෂ්පාදන ආයතනයක් වූ ජයනන්ද ලේබලයෙන් පළ වූ ‘ජොලි ගුඩ් ෆෙලෝ, ජෝතිමත් ගී, බයිලා හටන, කිරි ඉතිරේවා, මගේ නාමලී, උම්බෑ කියකියා, කිරි මුහුද, බෝධි පුජා මෙන්ම, වෙනත් ලේබල් සඳහා ‘පෙම් හදවත, හංසියක සේ, ශ්‍රී ලංකා විනෝද චාරිකා, වැනි ගීත කැසට් පට ඔහුගේ කළමණාකාරිත්වයෙන් නිකුත් කෙරිණ.

එසේම ‘කවුළු දොර (1992), සුර යහන ගිනි ගනී (1999) ගිනිගත් මධු සමය(2000), රෝස පැටික්කි(2002), යුරේකා, ධවල බන්ධන, මායා ඇවනිවි, රෑණගල වත්ත, හිරු සොයා, සැළමුතු සෙනෙහස, අහසින් වැටුණු ගැහැනියක්, පුරසද පුර යන චිත්‍රපට හා ටෙලි නාට්‍ය සදහා ඔහු නිෂ්පාදන කළමණාකාරිත්වයෙන් දායක විණ.

1988 ස්වාධීන රූපවාහිනිය මින් විකාශය කරන ලද කේතුමතී රජ දහන ටෙලි නාට්‍යයේ සම නිෂ්පාදකවරයා වශයෙන්ද ඔහු කටයුතු කළේය.

ඔහු 1978 දි ප්‍රථම ඡායාරූප කතා පොත ‘නදිකා’ නමින් නිකුත් කළේය. එසේම 1993 දි ප්‍රථම සති දින දසුන 1989 දී ඇරඹුණ සරසි මුද්‍රණාලය වෙනුවෙන්ද, 1997 ප්‍රථම සාක්කු ගිත පොත චාරිකා ගීත නමින්ද, 1998 දි ප්‍රථම සාක්කු දැනුම පොත ‘ස්වර්ණ ලංකා’ නමින්ද වසර 200 දී මෙතෙක් ප්‍රකාශිත කුඩාම 9 සාක්කු ප්‍රමාණයේ) චිත්‍රපට සමරු කලාපය ‘ගිනිගත් මධු සමය’ වෙනුවෙන්ද නිර්මාණය කරමින් වාර්තා කිහිපයකට උරුමකම් කීවේය.

රූපසේන සිල්වා මෙරට ප්‍රථම දේශීය චිත්‍රපට පෝස්ටර් ප්‍රදර්ශනය සංවිධානය කළ තිදෙනාගෙන් එක් අයෙකි. ඒ 1973 දී චන්දන සිල්වා හා එච්. එම්. පී. ප්‍රනාන්දු හා එක්වීමෙනි. වසර 200 දී මෙරට වෙසක් තොරන් ඉතිහාසයට ඔහු අලුත් අත්දැකීමක් එක් කරන්නට සමත් වූයේය. ඒ සිනමා ශීල්පින් ගේ පසුබිම් කටහඩින් කිසා ගෝතමී චරිත කතා නාටකය මෙහෙයවීමෙනි. 2008 වර්ෂයේ ජුනි මාසයේ සිට පුරා වසර දෙකක් සිනමා කවුළුව නම් විකල්ප පත්‍රිකාව ප්‍රථම වරට අන්තර්ජාලයට එක්කිරීමේ ගෞරවය හිමි වන්නේද ඔහුටය.

ශ්‍රී ලාංකේය සිනමාවට, සිනමා ශිල්පින්ට, සිනමා සාහිත්‍ය පෝෂණයට ඔහු විසින් දෙනු ලැබු දායකත්වය අපරිමිතය. මෙසේ දශක ගනණාවක් තිස්සේ ඔහු විසින් කරනු ලැබූ මෙහෙය අගයනු වස් වසර 2008 දී සිනේ මිඩියා විෂන් සිනමා ලේඛක උපහාර උළෙලේදී සම්මානයකින්ද ඔහු පිදුම් ලැබුවේය.

එකල ඔහු ලක්බිම, සරසවිය, ජනයුගය, මවිබිම හා තරුණි වැනි පුවත්පත් ඔස්සේ ඉදිරිපත් කළ පැරැණි නළු නිළි තොරතුරු පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය විය. අතීත සිනමාවේ සැගවුණු තොරතුරු ගෙන ඒමට ඔහුට සුවිශේෂ හැකියාවක් තිබිණ. කවදත් නව සංකල්පනා ඔස්සේ නිර්මාණකරණයේ නියුතු වූ ඔහු කලකට ඉහතදි ඩිවිඩි තැටි සහිත ගීත පොත් පෙළක් නිකුත් කිරීමටද කටයුතු කළේය. එහි මුල් පියවර වූයේ සදාතනික ගායක එච්. ආර්. ජෝතිපාලයන් වෙනුවෙන් ග්‍රන්ථයක් සමඟ සංයුක්ත ගීත තැටියක් නිකුත් විමයි. මුද්‍රිත හා ශ්‍රව්‍ය මාධ්‍යයේ සංකලනයක් ලෙසින් ඉදිරිපත් වූ මෙම නිර්මාණයෙන් පසුව සිංහල සිනමාවේ සමාරම්භක සින්දු(2017) සිතේ සිසිල සදන සදහම් ගී වරුසා (2017) කිරි ඉතිරෙන කොවුල් ගී සර ( 2017) ආදිය ප්‍රකාශයට පත් කෙරිණ.

සිංහල දෙබස් කවා 1957 දි තිරගත වූ ‘පතිවත’ චිත්‍රපටයේ පිටපතක් සොයා ගැනීමට නොතිබුණු අවස්ථාවක තිස්ස නාගොඩවිතාන චිත්‍රපට සමාගමට එය ප්‍රති නිර්මාණය කරදෙනු ලැබුවේද ඔහු විසිනි.

වර්තමානය වනවිට සිනමා සාහිත්‍යකරණයම සිය ජිවිතය කර ගත් ඔහූ මෙවර ශ්‍රී ලාංකේය චිත්‍රපට නාමාවලිය රැගෙන ආවා සේම නුදුරු දිනයකදි තවත් සිනමා ග්‍රන්ථයක් සිනමා සාහිත්‍යයට තිළින කරන්නට සූදානමින් සිටියි. ඒ ඔහු මේ දිනවල ලියමින් සිටින ‘නව සිංහල සිනමා වංශයයි.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT