Home » දෙස් විදෙස් පතළ රංජිත්ගේ සමුගැනීම

දෙස් විදෙස් පතළ රංජිත්ගේ සමුගැනීම

by Thanushika
February 6, 2025 10:57 am 0 comment

මෙරට ප්‍රවීණ අංග රචනා ශිල්පියෙකු මෙන්ම ජනපි‍්‍රය රංගවේදියකු වූ රංජිත් වික්‍රමසිංහ මහතා ඉකුත් 29 වැනිදා සදහටම දෙනෙත් පියාගනු ලැබුවේ දෙස් විදෙස් කලා නිර්මාණයන් රැසකට රික්තයක් ඉතිරි කරමිනි. මෙරට සේම විදේශ රටවල සිනමා ක්ෂේත්‍රයේ නම් දැරූ ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියෙකු වූ ඒ මහතා මිය යන විට 65 වන වියේ පසුවිය.

ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතාගේ සමීපතම මිත්‍රයකු වූ රංජිත් වික්‍රමසිංහයන් 1979 දී කලාක්ෂේත්‍රයට එක් විය. ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මුල්වරට අධ්‍යක්ෂණය කළ දෙවියෝ තැතිගෙන මහපොලොවට වඩිති. කෙටි නාට්‍යයේ වේෂ නිරූපණ ශිල්පියා ලෙස කලා ක්ෂේත්‍රයේ ඇසු පිරූ තැන් සොයන්ට මූලික අඩිතාලම දමන රංජිත් තමන්ගේ ප්‍රථම කාර්ය සඳහා මෙහිදි හොඳම වේශ නිරූපණය වෙනුවෙන් සම්මානය ලබාගැනීම ද විශේෂත්වයක් විය. හොරණ විද්‍යාරත්නයේ පැවති හොරණ රංගන කෙටි නාට්‍ය උලෙළ සඳහා දෙවියෝ තැතිගෙන මහපොළොවට වඩිති නාට්‍ය ඉදිරිපත්කොට තිබිණි. එහිදී එම නාට්‍යය තෙවැනි ස්ථානය දිනාගනු ලැබීය.

නාරම්වල ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු රංජිත් නාරම්වල මයුරපාද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. වාණිජ විෂය දහරාවෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබු රංජිත් චිත්‍ර ඇඳීමේ උපන් හැකියාවකින් පසුවිය. කුඩා කල පටන් කලාවට අසීමිත ආදරයක් දැක් වූ ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ කරනු ලැබුවේද ඔහුගේ සමීප මිත්‍රයා වූ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුය. ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියෙකු වූ ශේෂා පලිහක්කාර මහතාට සහය අංග රචනා ශිල්පියෙකුගේ අවශ්‍යතාවයක් පැන නැඟී තිබු අවධියක ශේෂාට රංජිත්ව හඳුන්වා දෙනු ලැබුවේ ක්‍රිෂ්ටි ෂෙල්ටන්ය.

රංජිත් වික්‍රමසිංහ මහතාගේ අංග රචනා ශිල්පයේ ගුරුවරයා වූයේ ශේෂා පලිහක්කාරයන්ය. එතුමන්ගේ මඟ පෙන්වීම අභාසය තුළ නිර්මාණ කාර්යයට එක් වූ රංජිත් ශේෂා පලිහක්කාරගේ සහාය අංග රචනා ශිල්පියා බවට පත්විය.

ශේෂා පලිහක්කාරගේ සහාය වේශ නිරූපණ ශිල්පියා ලෙස හා පුරා කියා සක්විති සුවය චිත්‍රපටයට සම්බන්ධවන රංජිත් හිමකතර චිත්‍රපටයේ සහාය අංග රචනා කලාවේ නිරතවන අයුරු දකින එහි රඟ පෑ අයිරංගනී සේරසිංහ මහත්මිය තම ගුරුවරයා වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන අංග රචනා ශිල්පියා වශයෙන් කටයුතු කළ ශේෂා පලිහක්කාරගෙන් කරන ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස එම චිත්‍රපටයේ රඟ පෑ ගීතා කුමාරසිංහ රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් තනිවම අංග රචනය කරන්නට රංජිත්ට අවකාශ උදාවන්නේ තමන් තුළ දකින්නට තිබු දක්ෂතාවය නිසාමය.

සහාය අංග රචනා ශිල්පියෙකු ලෙස කටයුතු කරන අතරේ රංජිත් රංගනයට ද අවතිර්ණ වුයේ කුඩා චරිතවලට දායකවෙමිනි. යසපාලිත නානායක්කාරගේ රෝසි චිත්‍රපටයේ කුඩා දර්ශනයකට පෙනී සිටිමින් රංගන දිවිය ආරම්භ කළ ඔහු සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ද චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගණනාවක ද කටයුතු කරනු ලැබීය.

වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස ජාත්‍යන්තර චිත්‍රපට රැසක් සඳහා දායක වන රංජිත් ලංකාවේ අධ්‍යක්ෂණය කල ජාත්‍යන්තර චිත්‍රපටයක් වූ තවුසන් ෆ්ලවර්ස් චිත්‍රපටයෙන් ප්‍රධාන අංග රචනා ශිල්පියා බවට පත්විය.

අනූව දශකයේ මුල පටන් වැඩි වශයෙන් විදෙස් චිත්‍රපට සඳහා වේශ නිරූපණයෙන් දායක වීමට අවස්ථාව ලැබු රංජිත් කලාතුරකින් අතළොස්සක් දෙනාට ලැබෙන මෙම විශේෂ අවස්ථාවට තමන්ටත් දායකවන්නට හැකිවීම භාග්‍යයකොට සලකනු ලැබිය.

එම භාග්‍යමත් අවස්ථාව ඔහුට උදාකර දෙනු ලැබුවේ ඔහුගේ ප්‍රංශ ජාතික මිතුරෙකු වූ ප්‍රැන්සිස් ජෙල් ටියර්ය.

ෆිල්ම් ලොකේෂන් සර්විස් ආයතනය හරහා විදෙස් චිත්‍රපට රැසක් වෙනුවෙන් සහාය වේශ නිරූපණයෙන් සිය දක්ෂතා එක් කළ රංජිත් තමන්ගේ දක්ෂතා නිසා විදෙස් රටවල අංග රචනා ශිල්පීන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතරේ ජනපි‍්‍රය පුද්ගලයෙක් විය.

කමල හසන් රඟ පෑ ඉන්දියාවේ රූපගත කළ ඉන්දියන් චිත්‍රපටයේ අංග රචනා ශිල්පියා වූයේ ද රංජිත් වික්‍රමසිංහයන්ය. ලොස් ඇන්ජලීස් හි පිහිටි වෙස්ටෝ කම්පැණියේ සේවය කළ අංග රචනා ශිල්පිනියක වූ කැමිල් කැල්වට් රංජිත්ව ඒ සඳහා යෝජනා කර තිබිණි.

සහාය වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත්‍රයට එක්වන රංජිත් අහම්බෙන් ටෙලි නාට්‍ය රංගනයට එක්වන්නේ ධර්මසේන පතිරාජගේ හිරු දරුවෝ ටෙලි නිර්මාණයත් සමඟය. බර්ට්‍රම් නිහාල්ගේ රුපියල් සත ටෙලි නාට්‍යයේ දොස්තර ධනංජය ගේ චරිතයත් සමඟ ප්‍රේක්ෂකයන්ගේ සිත් අතරට එක් වූ රංජිත් වෙස්ගත්තෝ පොලිස් පරීක්ෂක දඩබිම රොමියෙල් හා මිගෙල් ද්විත්ව චරිතය. කඩවර මැණික් මුදලාලි උඩුගං බලා – සිරිපාල චරිත වලින් රූපවාහිනි පේ‍්‍රක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය විය.

රුපියල් සත, ධවල කේතු, නිම නොවු වසන්තය, ඉඳුරු දොර, ර්උඉධ්ඛ් ට්ර්‍ණඅච්ඉ, දඩබිම, කඩවර, උඩුගංබලා, ඇල්ල ළඟ වලව්ව, සුභ අනාගතයක්, මාලීනිගේ සිහිනය, නැවුම් පොළොව, වෙස්ගත්තෝ, රංජිත් රඟපෑ ටෙලි නිර්මාණ ගොන්නේ කැපි පෙනෙන නිර්මාණ විය.

රුපියල් සත ඔහු රඟපෑ ප්‍රථම ප්‍රසංගික ටෙලි නිර්මාණය වූ අතර එයින් ඔහු ජනපි‍්‍රය නළුවකු බවට ස්ථාවරත්වයක් ඇති කරගත්තද දඩබිම ටෙලි නාට්‍යයේ රොමියෙල් හාමිගෙල් ද්විත්ව චරිත නිරූපණයන් සමඟ ඔහු රංගනයට උපන් රංග වේදියෙක් බව ජනතාවට පසක් කොට සිටියේය.

මදර් තේරේසා, ක්‍රිස්තු චරිතය, ලව් වැන්වෝ, පොරොන්දුව, අරගලය ආදී චිත්‍රපට රැසක් වෙනුවෙන් වේශ නිරූපණයෙන් දායක වූ රංජිත් වික්‍රමසිංහ සරසවිය, ජනාධිපති, ඕ.සී. අයිසි. සිනමා සම්මාන රැසකින් පිදුම් ලැබු කලා ශිල්පියෙක් විය.

වේශ නිරූපණ කටයුතු වලට වඩා බොහොම බැරෑරුම් කාර්යයක් තමයි චරිතයක් රඟපෑම වේශ නිරූපණයෙන් වගකීමක් නැතුව නොවෙයි. වේශ නිරූපණ ශිල්පියාගේ කාර්යය යම් තැනකදී අවසන් වෙනවා. නමුත් චරිතයක රංගනය ඒ නිර්මාණයේ අවසානය දක්වාම නොබිඳී පැවතිය යුතු වෙනවා.

වේශ නිරූපණ ශිල්පියාගේ වගකීම සුළුපටු දෙයක් නොවෙයි. යම් චරිතයක පැවැත්ම රඳා පවතින්නට වේශ නිරූපණය ඇඳුම් වැනි අංගයන් ඉතාම වැදගත් මෙහෙවරක් ඉටු කරනවා යන්න ඔහු රංගනය හා වේශ නිරූපණය පිළිබඳ දරන ලද මතය විය.

හදිසියේ හෘදයාබාධයක් හේතුවෙන් කලාවෙන් සමුගත් රංජිත් වික්‍රමසිංහයන් මේ දිනවල ඉරාන් චිත්‍රපටයක සහාය වේශ නිරූපණ කාර්යේ නියැළී සිටි අතර ඉකුත් 31 වැනිදා සවස මළ හිරු බැස යන සැන්දැවේ නාරම්වල අදාහනාගාරයේදී ඔහුගේ අවසන් කටයුතු සිදුකරනු ලැබීය.

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT