Home » දුෂ්ට චරිත කළත් ඔහු දුෂ්ටයකු ලෙස ප්‍රේක්ෂකයා සැලකු‍ෙව් නැහැ

දුෂ්ට චරිත කළත් ඔහු දුෂ්ටයකු ලෙස ප්‍රේක්ෂකයා සැලකු‍ෙව් නැහැ

-ප්‍රවීණ රූපණවේදී සනත් ගුණතිලක

by Thanushika
May 30, 2024 1:42 pm 0 comment

ජුනි මස 5 වැනිදා තම සිනමා දිවියේ අඩසියවසක් සම්පූර්ණ කරන, සුවිශේෂි රංගන ශිල්පි රවීන්ද්‍ර රන්දෙණිය පිළිබඳ කිසියම් සටහනක් කරන්නට යැයි සරසවිය පුවත්පත මගෙන් කළ ඉල්ලීමේදී, මට එක්වරම මතකයට ආවේ ඔහුත් මමත් දෙදෙනාම ප්‍රිය කරන සනත් නන්දසිරිගේ ගීතයකි. ‘මුළු ලොව මගෙන් අසාවි ඔබ ගැන කුමක් කියම්දෝ…. ඒ සමඟම ‘මගෙ සිත මගෙන් අසාවි ඔබ ගැන කුමක් කියම්දෝ යන්නයි.. කියන්න දේවල් නැතුව නොවෙයි. කියන්න දේවල් වැඩි හින්දා මේක කොහොමද සංක්ෂිප්ත කරන්නේ කියන ගැටලුවයි මට ආවේ.

රවින්ද්‍ර ගේ කලා කුසලතා පිළිබඳ, ඔහුගේ රංගන පරාසයන් පිළිබඳ. මේ වකවානුව තුළබොහෝ දේවල් ලියවිලා තියෙනවා කියලා මම හිතනවා.ඒ නිසා මම හිතුවා වෙනම දෙයක් ඔහු පිළිබඳ සඳහන් කරන්න.

රවීන්ද්‍ර තමාගේ උසස් අධ්‍යාපනය නිම කළත්, ඔහුගේ අවධානය වැඩියෙන්ම යොමු වෙන්නේ කලා අංශයට. ඒනිසා තමයි ඔහු කලා නිර්මාණ සඳහා යොමු වීමට පසුකාලීනව ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට සම්බන්ධව අභ්‍යාසයේ නිරත වෙන්නේ. නමුත් ඒ එක්කම ඔහුට සිනමාව, නාට්‍ය, සාහිත්‍යය පිළිබඳ සුවිශේෂ ආදරයක් උත්පත්තියෙන්ම ඇතිවෙලා තියෙනවා. පියාගේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වූවා නම්, (ඔහු සම්බන්ධ නොවි සිටියෙ නෑ.) ජිවත්විම සඳහා ප්‍රමාණවත් ආදායමක් ලබා ගතහැකි අවස්ථාවක වෙනත් රැකියාවක නිරත වෙනවාට වඩා පියාගේ ඒ කටයුතුවලට උදව් විම, සහෝදරයනුත් සමඟ ඔහු කළයුතු දෙයක් ලෙස ඔහු තීරණය කරගෙන සිටියා. මෙන්න මේ වකවානුවේ තමයි, මම හිතන්නේ 1960 දශකයේ මැදභාගයේ, එතකොට මම හිතන්නේ රවීන්ද්‍ර භද්‍ර යෞවනයේ සිටින තරුණයෙක්. වයස අවුරුදු 20 ක් විතර ඇති. පරසතු මල් චිත්‍රපටය සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවාට පසුව තිබෙන ප්‍රිය සාදයට යාමට ඔහුට අවස්ථාව ලැබෙනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන චිත්‍ර බාලසුරියත් සමඟ ගාමිණී ෆොන්සේකාගේ හමුවිම තමයි ඔහුගේ සිනමා ගමන් මඟේ සන්ධිස්ථානය. අපි දන්නවා රවින්ද්‍ර ගේ පාසල් කාලයේ නම ‘බොනිෆස් පෙරේරා. එදා ගාමිණිගෙන් විචාරනවා ඔහුගේ නම කුමක්ද කියලා. ‘බොනි‘ කියපුවම ආ. මම අර සම්මානය දිනුවෙත් ඒ නමටමයි. කියලා ඔහු කියනවා. ඒ වනවිට ගාමිණි ෆොන්සේකා මැතිතුමා ඔහුගේ සිනමා අභ්‍යාසයේ යෙදෙමින් බොහෝ ඇසු පිරු තැන්වල කටයුතු කරමින් දෙස් විදෙස් අධ්‍යක්ෂවරු සමඟ කටයුතු කරමින් , මම එහෙම සඳහන් කළේ මස්තාන් වැනි අධ්‍යක්ෂවරුන් සමඟ වැඩ කරමින් සුවිශාල පරිචයක් ලබාගනිමින් විශාල ගමනක් යන ගමන් හිටියේ. ඉතින් මේ රවින්ද්‍ර කියන තරුණයාටත්, මේ ගාමිණි ෆොන්සේකා සතු පෞරුෂත්වය, හැසිරීම, ඔහුගේ තිබෙන්නාවූ සිත් ඇද ගන්නා සුලු කතා බහ වැනි දේවල් පිළිබඳ ගැටවරයෙක් විදියට යම්කිසි ආකාරයට සිතුවිල්ලක් පහළ වෙන්න ඇති . එය නළුකම ආභරණයක් විදියට සලකගෙන ජීවත්වෙන්න ඕන කියන දෙයක් නොවේ.

කෙසේ වෙතත් වැදගත්ම දේ වෙන්නේ පසුකාලීනව ‘මූදු පුත්තු‘ වැනි නාට්‍ය වලට සම්බන්ධ වෙලා වේදිකාව ජය ගන්නා ඔහුට ‘කළුදිය දහර‘ වැනි චිත්‍රපටයක රඟපෑම සඳහා ජෝ අබේවික්‍රමත් මනික් සන්ද්‍රසාගරත් ආරාධනාවක් කිරීම. එය මම හිතන්නේ ඔහුගේ වාසනාවට වඩා දෛවය විසින් ශී‍්‍ර ලාංකික සිනමාවේ වාසනාවට සිදුවුණු දෙයක් කියලයි. මොකද තරු ගොන්නක්, සිනමා නළුවන් රාශියක් ඉන්න මොහොතක මේ තරුණයා සිනමාවට ප්‍රවිෂ්ට වෙලා, ඒ තුළින් වෙනම ආකාරයේ රංගන කෞශල්‍යයක් ඉදිරිපත්කරනවා. ඒ පිළිබඳ සවිස්තරව මම මෙහිදි විස්තර කරන්නේ නෑ. ගාමිණි ෆොන්සේකා වරක් සඳහන් කරනවා ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නළු පරම්පරාවේ නළුවන් අතරින් ලැඩී රණසිංහගේ රඟපෑම් පිළිබඳ ඔහු තුළ තිබෙන ප්‍රසාදය. ඒ වකවානුවෙ හිටපු නළුවන් ගෙන් ලැඩී රණසිංහගේ රඟපෑම්වල කිසියම් ආකාරයක යථාර්ථවාදි බවක්, එහෙම නැත්නම් චරිතයේ ජිවත්වන ස්වභාවයක් තියෙනවා. ඒක දැකලා ගාමිණි ෆොන්සේකා මැතිතුමා ඒක අගය කරනවා. එවැනි අගය කරන ශිල්පියකුගේ සිතුම් පැතුම් රවීන්ද්‍ර වැනි බුද්ධිමත් තරුණයෙකුට වටහා ගන්න අපහසු වෙන්නේ නෑ.

මට හොඳීන්ම මතකයි මම සිනමාවට ප්‍රවිෂ්ට වුණු මුල් කාලය තුළ ගාමිණි ෆොන්සේකා වරක් සඳහන් කරනවා ඉදිරි අනාගතයේ දී ඔහු නැතත්, ඒ හිස්තැනට කවදහරි දවසක රවීන්ද්‍ර රන්දෙණිය එනවා කියලා. ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. මොකද මම හිතනවා රවීන්ද්‍ර, සිනමාවේ ත්‍රිමුර්තිය වන ගාමිණී, ජෝ, ටෝනි සහ සිනමාවේ කඩවසම්ම නළුවා වන විජය, ඒවගේ ම අදටත් ජිවත්වන චරිතාංග නළුවා වන අපේ ජ්‍යෙෂ්ඨයා සිරිල් වික්‍රමගේ යන සියලු දෙනාගෙම සංකලනයක් කියලා. අන්න ඒ සංකලනයට තමයි මට විශාල ආදරයක් ඇතිවෙන්නේ. අපේ සිනමාව යම් ආකාරයකට නිෂ්පාදකයාගේ දැඩි ග්‍රහණයට ලක්වෙලා සිටිය මොහොතවල්වල, එහෙම නැත්නම් අපි මෙහෙම කියමුකො, නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් සඳහා හරියාකාරව සැලකීමක්, වටිනාකමක් නොලැබුණු යුගයක ගාමිණී ෆොන්සේකා මහතා තමාගේ කටහඬ අවදි කරලා ඒ දේවල් ලබා ගන්න විශාල මෙහෙවරක් කළා කියලා මම අහලා තියෙනවා. අන්න ඒ කටයුත්තම ඊට පස්සේ කරගෙන ගියානම්, ඒ පිළිබඳ අවධානය යොමුකළා නම්, ඒ කරපු තැනැත්තා තමයි රවින්ද්‍ර රන්දෙණිය. විවිධ හේතු මත අනික් පුද්ගලයන්ට සාධාරණව කල්පනා කළත් නැතත් එවැනි හඬක් නැඟීමේ හැකියාවක් තිබුණේ නෑ. ඒ හඬ තමයි අදටත් අපිට පිටුවහලක් වුණේ. අපි යම් අවස්ථාවක ඔහුව ආඩම්බරකාර පුද්ගලයෙක් විදියට සමහර වෙලාවට සිනමා සමාජයේ ඉන්න අතැමුන් හිතන්න ඇති. නමුත් ඔහු ආශ්‍රය කළා නම් අපිට හොඳීන්ම අවබෝධ කරගත හැකියි, ඔහු පොඩි දරුවෙක් වාගේ සැහැල්ලු සිතක් තිබෙන, නමුත් අසාධාරණය, බලපුළුවන්කාරකම්වලට, එහෙමත් නැත්නම් වැරැද්දකට යට නොවෙන සුවිශේෂ චරිතයක් කියලා රවින්ද්‍ර රන්දෙනිය.

මම මෑතකදි ඇසුව සම්මුඛ සාකච්ඡාවකදී ඔහු රවීන්ද්‍ර රන්දෙණිය කියන නළුවාගෙන්ඈත් වෙලා ප්‍රේක්ෂකයෙක් විදියට තමන්ගේ චරිත පිළිබඳ කිසියම් ආකාරයක සමාලෝචනයක, විග්‍රහයක යෙදෙනවා. ඒක මම දන්නේ නෑ අපේ තරුණ නළුවන්ට කොයි තරම් අධය්‍යනය කරන්න ආසාවක් තියෙනවද කියලා. , මම එක දෙයක් පමණක් සඳහන් කරන්නම්, ඔහු ‘දඩයම‘ චිත්‍රපටය ගැන සඳහන් කරලා, ඔහු කියනවා, ඇත්තටම ජයනාත් ගේ චරිතය, මම අද කරයිද කියලා මට හිතෙනවා. මම රත්මලී, එහෙම නැත්නම් ස්වර්ණාව කාරෙකට යට කරලා මරලා දාන අවස්ථාවෙත් ඇය ගැබිනියක්. ඇයගේ කුසේ ඉන්න දරුවාගේ පියා මම. ඒක හරියටම ඒ මොහොතේ ප්‍රේක්ෂකයා වෙත සන්නිවේදනය වෙනවද නැත්ද කියන එක වෙනම දෙයක්. නමුත් චරිතය තේරුම් ගැනීමේදී මම එය හොදින් තේරුම් අරගෙන හිටියේ. මිටත් වඩා මනුස්සයෙකුට දුෂ්ට වෙන්න පුළුවන්ද? කියලා ඔහු කියනවා

නමුත් කවදාවත් මේ දුෂ්ටයා දුෂ්ටයෙක් විදියට හංවඩු ගහන්න ප්‍රේක්ෂකයින් නොහිතුවේ ඇයි?. ඒ ඔහුගේ දුෂ්ටකම අකාමකාගෙන චරිතය ඉදිරිපත් කරන්න හැකි දක්ෂතාවය නිසා බව අපේ තරුණ නළුවන්ට මතක තියා ගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඔවුන්ට අද ඉගෙන ගන්න පාසලක් නැහැ. ක්‍රමවේදයකූත් කියලා කියද්දි මෙම ක්‍රමවේද අනුගමනය කරනවා නම් පිටුවහලක් වෙයි. ඒක රවීන්ද්‍ර රන්දෙණියට කරන උපහාරයක් ලෙස මම සලකනවා. මමත් යම් යම් අවස්ථාවල දි ඔහු දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව ඔහුගෙන් යම් යම් අභ්‍යාසයන්, අහගෙන තිබෙන බව මම ඉතාම නිහතමානීව, ඉතාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නත් කැමැතියි.

ඔහුගේ චරිත නිරූපණ දිහා බලත්දි කල්පනා කරලා බලන්න චරිත දෙකක් පමණක් මම සඳහන් කරන්නම්. ‘මායා‘ සහ ‘ජනේලය‘. මේ මායා සහ ජනේලය කියන චිත්‍රපට දෙකේම කතා වස්තුවට අනුකුලව ඔහු විසින් කරන්නේ ඉතා කුඩා දරුවන් දෙදෙනෙක්, මායා එකේ දැරියක්, ජනේලයේ කුඩා දරුවෙක් පිටුපස හඹා යනවා එවුන්ව ඝාතනය කිරිම පිණිස. ඔවුන්ව මේ සමාජයෙන් තුරන් කිරීම පිණිස. මොකද ඔවුන් විසින් රවින්ද්‍ර රඟපාපු චරිතය පිළබඳ සමාජයට යම්කිසි ආකාරයට ප්‍රකාශයක් හෝ ඉදිරිපත්වීමක් කළහොත් එය සම්පූර්ණයෙන්ම ඔහුගේ අභිමානය, එහෙම නැත්නම් ඔහුගේ තරාතිරම සියල්ලම කඩාවැටෙන අවස්ථාවක් නිසා, ඒ පැත්තෙන් ඔහු සාධාරණ වෙන්න පුළුවන්, නමුත් කිසිම මොහොතක මේ ජනේලය චිත්‍රපටයේ රඟපාපු නළුවමද මායා චිත්‍රපටයේ චරිතය නිරුපණය කරන්නේ කියන එක අපිට තේරෙන්නෙ නෑ. රවින්ද්‍ර රන්දෙණිය බව අපි දන්නවා. නමුත් ඒ චරිත දෙක පිළිබඳ අවබෝධයක් තියාගෙන, ඒ පරිසර දෙක පිළිබඳ යම් ආකාරයක වෙනසක් පෙන්වමින් එකම නළුවා එකම ආකාරයේ සිතුම් පැතුම් තියන මිනිස්සු දෙන්නෙක් බවට පත්වෙලා තිබීමම එක්තරා ආකාරයකට විශිෂ්ට දෙයක්.

මම කැමැතියි මේ මොහොතේ මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්න. රවින්ද්‍ර රන්දෙණිය ව ලෙස්ටර් ජේමිස් පීරිස් මැතිතුමාගේ සිට ලංකාවේ සියලුම අති දක්ෂ අධ්‍යක්ෂවරු, වාණිජත්වයට බර වෙලා හිටපු දයා විමලවීර ලෙනින් මොරායස් ඇතුළු ඒ පිරිසත් විටෙන් විට අධ්‍යක්ෂණය කරලා තියෙනවා. සුනිල් සෝම පීරිස් ඇතුළු පිරිස.නමුත් කිසියම් කරුණක් නිසා ‘මංගල තෑග්ග‘ චිත්‍රපටයේ දෙවැනි කොටස චිත්‍රපටයක් කරන්න අපට අවස්ථාව නැතිවුණත්, කෙටි ටෙලි නිර්මාණයක්, ටෙලිනාට්‍ය මාලාවක් එපිසෝඩ් 12ක විතර කරන්න මට අවස්ථාව ලද විට මම මුලින්ම ගියේ රවි ගාවට. මොකද එහි දෙවැනි කොටස කිරිමට ඉතා විශාල උනන්දුවක් එච්.ඩී ප්‍රේමරත්න මහතාට තිබුණත්, ඔහුගේ අකල් වියෝව නිසා එය කළ නොහැකි වුණා. එය නැවත වතාවක් කරන්න තිබුණොත් කොච්චර හොඳ දෙයක්ද කියලා රවි, මම, ශ්‍රියන්ත, මනෝ විතරක් නොවෙයි සිරිල් අයියා පවා කල්පනා කළා. එය හැමවෙලේම සාකච්ඡාවට බඳුන් වෙලා අපි කවුරුහරි කරමු කියලා කියනකොට කීප අවස්ථාවකදිම රවි තදබල ලෙස කිව්වා ‘ ඔයා ඕක පටන් ගන්නකො කියලා. මේ ලැබුණු අවස්ථාව මම ප්‍රයෝජනයට ගන්නවා. නමුත් මේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන මේ කටයුත්ත කිරීමේදි, ඒ මොහොතේ මේ ප්‍රධාන චරිත අතර ඉන්න ජ්‍යේෂ්ඨතම නළුවා වන රවින්ද්‍ර රන්දෙණියව මම හමුවෙලා ඔහුට කියනවා. මගේ අධ්‍යක්ෂණය යටතේ රඟපෑමට ඔහු කිසිම මැළිකමක් දක්වන්නේ නෑ. ඔයා කතාව විතරක් හදාගෙන එන්නකෝ කියලා ඔහු කියනවා. මම කතාව හදාගෙන ගිහින් ඔහුත් සමඟ කතා කරනවා. කතාවේ දුර්වලතැන්, විශ්වාසය භංග වෙන තැන් අපි දීර්ඝව සාකච්ඡා කරනවා. ඔහුගේ ගෙදරදි. ඊට පස්සේ අපි මේක එපිසෝඩ් 12ට හදනවා. ‘මංගල තෑග්ගේ දෙවැනි ගමන‘ කියලා මේක ඩයලොග් ඇප් එකේ අදත් තියෙනවා. නමුත් ඒ පිළිබඳ නියමිත ප්‍රචාරයක්, මම කොච්චර උත්සාහ කළත් ලබා ගැනීමට නොහැකි වීම මං හිතන්නේ ඒ නිර්මාණයේ නිෂ්පාදකවරුන් වන එම ආයතනයට සිදුවුන අතපසුවිමක් කියලයි මට කියන්න තියෙන්නේ. කෙසේ වෙතත් රවීන්ද්‍ර රන්දෙණිය මෙහි ඒ චරිතය නිරෑපණය කිරීමෙදි මට දක්වපු සහයෝගය අනන්තයි අප්‍රමාණයි. ඔහු ඒ දර්ශන ගත කිරීම්වලට ප්‍රථම තිර රචනය පිළිබඳ සාකච්ඡා කිරිම , දර්ශන ගත කිරීමේදී, එයින් පසුව ඔහු තුළ තිබුණු කැපවීම, කනගාටුවෙන් වුණත් කියන්න ඕන දර්ශන ගැනීමේදී නිෂ්පාදනය ඉවර වුණාට පස්සේ සමහර ශිල්පින්ගෙන් මට ලැබුණු කුඩම්මාගේ සැලකිලි ඇත්ත වශයෙන්ම ඔහුත් දැක්කා. ඔහුට ඒකට කරන්න දෙයක් තිබුණේ නෑ. මම මේක සඳහන් කරන්නේ මගේ හිතෙන් ඒ වේදනාව කවදාවත් තුරන් වෙන්නෙ නැති නිසා. නමුත් රවී ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් ලෙස ඒ දර්ශන තලය තුළ හැසිරුණේ පුදුමාකාර ආදරයකින්, සැලකිල්ලකින්. ඔහු සමඟ රඟපාන්නට පැමිණි සරත් කරුණාරත්න, වොල්ගා කල්පනී වැනි අපේ අති දක්ෂ තරුණ නළු නිළියන්ට ඔහු කදිම ආදර්ශයක් වුණා. ඒ නළු නිළියන් ඔහුගෙ රංගනයන් පිළිබඳ ආදරයක් ඇති කර ගත්තා. ඔවුන් මට ස්තුති වන්ත වුණා අපිට රවි අයියා වගේ කෙනක් සමඟ රඟපාන්න අවස්ථාව සලසා දීම ගැන. ඔහුට වවා ජ්‍යෙෂ්ඨ නළුවන් වන සිරිල් වික්‍රමගේ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වැනි අයත් සමඟ ඔහු හැසිරුණේ වෙනම ආකාරයකට. ඒමොහොත් මම දන්නවා සිරිල් අයියා හෘද සැත්කමකට භාජනය වෙලා හිටියේ. ඒ නිසා රඟපෑම පීළිබඳ තිබුණේ අවිනිශ්චිත බවක්. ඔහුව දර්ශන තලයට ගෙන්වා ගත් පසු, පැය දෙකකට පමණක් ඇවිත් රවි සමඟ අතීත කතා කතා කරමින් කෙලිලොල් වුණු සිරිල් අයියා දර්ශන තලයේ දර්ශනය ඉවරවෙලාත් ආපහු ගෙදර යන්න බෑ කිව්වා. එවැනි ආකර්ෂණයක් රවි තුළ තිබුණා. ඇලෙක්ස් අයියා අපි සියල්ලට වඩා රවි, විජයට සමකාලීන වෙන්න පුළුවන්. . ප්‍රධාන කතා නායකයාගේ චරිතය රඟපාපු පුද්ගලයෙක්. විවිධ හේතුන් නිසා ඔහුට ඉන් පසුව ඒ කතා නායකයාගේ චරිතය ලැබුණේ නෑ. ඊට පස්සේ, ඔහුට රඟපාන්න වු‍ණේ දුෂ්ටයාගේ චරිතය. පසුවත් ඔහුට රඟපාන්න වුණේ චිත්‍රපටවල දුෂ්ට චරිත. සමහර වෙලාවට ඒක ඔහුට මානසිකව තදින් බලපාපු නිසා හෝ එකල හිටපු සමහරුන් ඔහු අවතක්සේරු කරපු අවස්ථා තිබුණා. නමුත් රවි ඒ ගැන නොතකා සිටපු නිසා රවි සමඟ ඉතාම ආසාවෙන් රඟපෑවා. මේ මනුස්ස ධර්මතා ඈත ඉඳන් මම බලාගෙන හිටියා., බොහෝ අවස්ථාවන් වලදි මම උත්සාහ කළේ මගේ චරිතය පුළුවන් තරම් අඩු කරමින් මේ අති දක්ෂ නළුවන් ගෙන් යම්කිසි ආලෝකයක් ඒ නිර්මාණයට ලබා ගන්න. ඒ නිර්මාණය ට සුවිශේෂ ආලෝකයක් ලැබුණා. මොකද ඒ ටෙලිනාට්‍යය අවසානයේදි රවින්ද්‍ර රන්දෙණිය යම්කිසි තරුණ දාමරික පිරිසක් අතින් මිය යනවා. බොහෝ දෙනා මගෙන් ඇසුවේ ඇයි රවින්ද්‍රව මැරුවේ කියලයි. මම ඇහුවා ඇයි එහෙම අහන්නේ? ඇයි ඒක වෙන්ඩ බැරිද ? කියලා , නෑ වෙන්ඩ පුළුවන්. හැබැයි ඉතින් අපිට නිකම් මොකක්දෝ දැනුණා. කියලා. අන්න ඒ මොකක්දෝ දැනුම දැනිච්ච දේ හැම වෙලේම සිද්ධ වෙන්නේ නෑ. රවින්ද්‍ර රගපාපු හැම චරිතයකින්ම ප්‍රේක්ෂකයාට මොකක්දෝ දැනෙන්න ඔහු ඔහුගේ චරිත නිරූපණය, අපි අපේ වචන වලින් කියනවා නම් බොක්කෙන්ම ඉදිරිපත්කළා. කනිෂ්ඨ සිනමා කාර්මික ශිල්පින් ඔහුගේ දායකත්වය පිළිබඳ පුදුම වුණා. කැමරා ශිල්පියා, වේශ නිරූපණ ශිල්පියා, එතනින් ගියාම කලා අධ්‍යක්ෂවරයා ඔහු කොහොමද ඔහුත් සමඟ සම්බන්ධිකරණය තියාගන්නේ, ඔහුත් සමඟ කතා කරන්නේ, ඔවුනට තමාගේ සහයෝගය දෙන්නේ, සමහර වෙලාවට චිත්‍රපටයේ කන්ටිනියුටි මතක තබා ගන්නේ.

අනිත් එක මුලින් සාකච්ඡා කරලා ඉවර වුණාට පස්සේ ඔහු එකල එක්තරා රූපවාහිනි නාළිකාවක ප්‍රධාන වැඩසටහනක නිරන්තරයෙන් සහභාගි වුණු තැනැත්තෙක්. එතකොට ඒ දවස් විතරක් මම මඟහරවා ගනිමින් ඔහු ගෙන්වා ගත හැකි උපරිම සේවය මම ගත්තා. ඒ හැම දවසකම ඔහු මගෙන් අහනවා ඊට කලින් දවසේ කතා කරලා, සනත් හෙට සීන්ස් මොනවද කියලා. ඔහු ඒවා බලාගෙන ඉන්නේ. නැත්නම් මගෙන් උපදෙස් ගන්න නොවෙයි. ඕනෑම අවස්ථාවක ඔහුත් සමඟ සාකච්ඡා කරන්න පුළුවන්. ඔහුට සමහර දේවල් කියලා ‘රවි මේ චරිතය අපි පොඩ්ඩක් මේ පැත්තට ගෙනියමුද? කියපුවම ඔහුගේ අදහස ඔහු කියනවා. ඒ පිළිබඳ නම්‍යශිලිත්වයක් දක්වනවා. එහි රඟපෑ ක්ලීටස් මෙන්ඩිස් අති දක්ෂ රංගනයක් කරනවා. රවි හැමදාම දුක්වුණා මේ නිර්මාණයට නිවැරැදි ප්‍රචාරයක් නොලැබීම ක්ලීටස් මෙන්ඩිස්ට සිදුවුණ අසාධාරණයක් කියලා.

මට රවි ගැන කියන්න තියෙන්නේ ඔහු මං හිතන්නේ කිසිම අවස්ථාවක තමන්ට ගැළපෙන චරිතය ලොකුද , කුඩාද එහෙම නැත්නම් ඒකෙන් ස්කෝර් කරන්න පුළුවන්ද, බැරිද කියලා බලපු මිනිහෙක් නොවෙයි. උදාහරණයක් විදියට අපේ සිනමාවේ මහා නළුවෙක් වන ගාමිණි ෆොන්සේකා මහත්මයා සමඟ ‘සීතාදේවි‘ චිත්‍රපටයේ හෝ ‘යකඩයා‘ චිත්‍රපටයේ හෝ ‘රිදි තැල්ල‘ චිත්‍රපටයේ ඔහු රඟපාද්දි, තිර රචනය කියවනකොටම ඔහු දන්නවා මෙහි ප්‍රධාන භුමිකාව ගාමිණි ෆොන්සේකා මැතිතුමා විසින් කරනවා. අවධානය යොමු වෙන්නේ ඒ චරිතයට කියලා. ඒ අවධානය කෙසේ වෙතත්, ගාමිණි ෆොන්සේකා මහතා ලබා ගන්නවා කියලා, ගාමිණී ෆොන්සේකා මහතා ඉතා කිටටුවෙන් ඇසුරු කරපු පුද්ගලයෙක් විදියට රවින්ද්‍ර රන්දෙණිය මහත්තයා හොඳීන්ම දන්නවා. නමුත් ඒ චරිත රඟපාන්න ඔහු පුසබට වුණේ නෑ. ඉතාම පසුකාලීනව ‘කොටි වලිගය‘ වගේ චිත්‍රපටයකත් ඔහු රගපානවා. ගාමිණී ෆොන්සේකා කියන්නේ පොලිස් නිලධාරියෙක්, ඔහු ඉන්නේ දෙමළ වෛද්‍යවරයෙක් විදියට , ගාමිණි ෆොන්සේකාගේ විවාහක බිරිද ගීතා කුමාරසිංහ සමඟ අනියම් සබඳතාවයක පැටලිලා ඔහු ඇය ගාමිණීගෙන් වෙන්කර ගන්නවා. එය එක්තරා අන්දමක නිවැරැදි ක්‍රියාවක් නොවෙයි. කෙනෙකුට ඒක දුෂ්ට ක්‍රියාවක් විදියට අර්ථ දක්වන්න පුළුවන්

නමුත් ඒ චරිතය රඟපාන්න ඔහු පසුබට වුණේ නෑ. හැම අවස්ථාවකදිම චරිත නිරුපණයට ඔහු දුන්න ඒ නිසි සැලකිල්ල නිසා කොයි තරම් ඔහු දුෂ්ටයෙක් වුණත්, බොහෝ චිත්‍රපටවල මිනීමරුවෙකුගේ ක්‍රියාවලිය රඟපාන්න ඔහු කැමති වෙලා තිබුණ. කවදාවත් රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ සිනමාවේ දුෂ්ටයෙක් විදියට හැඳීන්නුවේ නෑ. ඒක එක්තරා විදිහක ප්‍රාතිහාර්යයක්. ප්‍රාතිහාර්යය කියන වචනය මම පාවිච්චි කිරීම සුදුසු ද නැත්ද කියන එක වෙනම දෙයක්. නමුත් ඉතාම හොඳීන් සිනමා රංගනය පිළිබඳ හදාරන කෙනෙකු මම මේ කිව්ව දෙයට විරුද්ධවෙනවා නම්, විරුද්ධ වෙන්නේ මොන මතය මතද කියලා මම දැන ගන්න කැමැතියි. එතකොටත් මට යමක් ඉගෙන ගන්න පුළුවන් නිසා. ඒනිසා මම මේ ලිපිය මිට වඩා දිර්ඝ කරන්නේ නෑ.

නමුත් මෙහෙම දෙයක් මම අවසානයේ කියන්න කැමැතියි. අපේ සිනමාව දැවැන්ත සිනමා කර්මාන්තයක් නොවෙයි. ඉන්දියාව හරි වෙනරටකට සාපේක්ෂව හරි බලත්දි දැන් ඒ දැවැන්ත කම හුඟාක් සංකෝචනය වෙලා තියෙන්නේ. අපි සිනමාවේ මහා නළුවන් තුන්දෙනා විදියට හඳුන්වන ගාමිණි, ජෝ, ටෝනි දිහා බැලුවත්, ඔවුන් වියපත් වුණාට පසුව ඔවුන්ට ලැබුණු චරිත නිරෑපණයන් මොනවද ‘අන්තිම රැය’ චිත්‍රපටයෙන් පස්සේ ගාමිණි රඟපෑවේ නෑ. පවුරු වළලු ටෝනිගේ අවසන් වැදගත්ම චිත්‍රපටය. නමුත් ටෝනි රඟපෑමේ පුදුමාකාර පිපාසාවකින් පෙළුන කෙනෙක්. ඔවුන් ජිවත් කෙරෙව්වේ රඟපෑම. ජෝ අබේවික්‍රමට ‘පුරසඳ කළුවරෙන්‘ පස්සේ තිබුණේ හැම වෙලේම අමාවක. නමුත් මෙරිල් ස්ටීප් ගත්තත්, රොබට් ඩිනීරෝ ගත්තත් අමිතාබ් භච්චන් ගත්තත් ඔවුන්ගේ පරිණත වියේ රංගනයන් තාමත් අපි දකිනවා. ඔවුන් ඒ රංගනයන්ට සාධාරණය ඉෂ්ට කරනවා. රවින්ද්‍රට ඒක කරන්න බැරි කමක් නෑ. බැරිකම තියෙන්නේ අපේ. මම හිතන්නේ අදින් පසුවයි අපි රවින්ද්‍රව එකතු කර ගත යුත්තේ කුමන හෝ නිර්මාණයකට ඔහුගේ දායකත්වය ලබා ගන්න. මොකද ඒක අපි රවින්ද්‍රට කරන මෙහෙයක් නොවෙයි. ඒක මේ දේශිය සිනමාවේ අනාගතයට තව අවුරුදු 100ක් ගිහින් හෝ ඒ පිළිබඳ අධ්‍යයනයක්, නිරීක්ෂණයක්, ගවේෂණයක් කරන කෙනෙක් රවි විසින් මෙතෙක් සිනමාවට එකතු කර තිබෙන රංග කුසලතා වලට මේ අඩසිය වසෙන් පසුත් එකතු කරන රංග කුසලතා සමහර විට විනාඩි10 -15 රංග කුසලතාවයක් වෙන්න පුළුවන් ඒ ගැන කතා කරාවි. එහෙම කතා කරන්න මේ උදාර පුද්ලගලයා ගෙන් නැවත නැවත සේවයක් ලබා ගන්න තරම් අපේ සිනමා කර්මාන්ත යම් ආකාරයක පිබිදිමක්, ඇති කරනවා නම් ඒක විශාල වටිනාකමක්. විශාල මෙහෙයක්. මොකද සිනමාවේ පිබිදිම පිළිබඳ, සිනමාවෙ අලුත් ගමනක් පිළිබඳ නිරන්තරයෙන්ම හඩ නැඟු පුද්ගලයෙක් රවි. සමහර වෙලාවට ඒවා මතභේදයට ලක් වෙන්න ඇති. නමුත් ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වුණේ, ඔහුගේ යෝජනාවල යම්කිසි ආකාරයකට පරස්පර විරෝධීතා තිබුණත්, ඒකායන බලාපොරොත්තු වුණේ ඔහුව රවින්ද්‍ර රන්දෙණිය කරපු මේ සිනමාව පෝෂොණය කිරීම පිණිස යම්කිසි මෙහෙයක් කරන්න. එවැනි තැනැත්තෙක්ව තව තවත් ජීවත් කරන්න තරම් අපිට හැකියාවක්, අපිට ශක්තියක් තිබෙන්න ඕන. ඒ නිසා මම මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා,

රවි ඔබට නිරෝගි සුවය චිරං ජයතු !

සේයාරුව – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT