” මහත්තයා ..ආයෙත් අහන්න දෙයක් නැහැ…මේ ගුලි එකගානෙ ගත්තාම ඇති..බලා ඉද්දි ශරීර ශක්තිය වඩවන බෙහෙතක් ..කියල ඒ වෙද මහත්තයා දුන්න ගුලි මමත් ක්ලීටස් මෙන්ඩිස් එක්ක අපේ ෆ්‍රෙඩිත් කෑවයි කියමුකෝ…අන්තිමේදි ෆ්‍රෙඩි අපි හිටපු හෝටලේ පිළිකන්නෙ කළුවරේ පේර ගහට නැගල අත්තක් උඩ ඉඳගෙන පේර කොළ කඩ කඩා කනවා..”
අපේ ජනකාන්ත රංගන ශිල්පි ජීවන් කුමාරතුංගයන් එසේ කියමින් සමීපයේ තිබූ මේසයටද පහරක් ගසා මුව අයා සිනාසෙන්නට වන්නේය..
අපේ හෙළ සිනමාව සිරිමත් කළ අපේ නළුනිළියන් රටපුරා යමින් චිත්‍රපට රූපගතකිරීම් කරන අතරේදි කැමරාවට හසුනොවනා අපූරු සිද්ධින් බොහෝ විට කටකතාවෙන් වාර්තා වෙයි…ඇතැම් පුවත් ශෝචනීයය..බොහොමයක් පුවත් රසනහර පිනායන තරමේ කතන්දරය…ඒ අමුතු මාදිලියේ අප්‍රකට රසබර සිදුවීම් දැනගැන්මේ නොතිත් ආශාව අපේ ආදරණිය සරසවිය පාඨකයා තුළද නොඅඩුව ඇති තරම සුළුපටු නොවන තරමි.
එවන් අතීත සැඟවුණු පුවත් අලළා සරසවියේ අදින් ඇරඹෙන “අමතක නොවන රස මතක” විශේෂාංගය ආදරණිය ඔබ වෙනුවෙන් ම තිළිණ කෙරෙයි…මෙම විශේෂංග තුළින් හාපුරා කියා අපට හමුවූයේ 1978 දී සිනමාවට පිවිස එහි දුෂ්ටයා සහ වීරයා වෙමින් සිනමා සිත්තම් සියයකට අධික සංඛ්‍යාවක රඟපෑ අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජීවන් කුමාරතුංගයන්ය..
සරසවිය ඡායාරූප ශිල්පී නිශ්ශංක විජේරත්නයන් සිය කැමරාවද ඔහු දෙසට හසුකරගනිමින් යුහුසුලුව පසුවෙයි…අපේ ජීවන් සිය කටහඬ අවදි කරන්නේය..
” චිත්‍රපට කතාව අස්සේ කැමරාවට හසුනොවුණු කතන්දර නම් එමටයි..තෝරල බේරල එපායැ කියන්ඩත්…” යි කී අපේ ජීවන් යළි මුවට සිනාවක් නඟා ගන්නේය.
” ඔබට රහසක් කියන්නම්… චිත්‍රපටය නරඹද්දී අපි තුන්දෙනා ඒ කියන්නෙ ක්ලීටස්..ෆ්‍රෙඩි සහ මම නැවතී උන්නෙ වෙද මැදුරක් ඉදිරිපිට තිබුණු හෝටලයකනෙ..අපිවත් හොඳට දන්න වෙද මහත්තයා අනේ ඉතින් ..මේ බෙහෙත් ගුලි ඇගට මාර ෆිට් කියල දුන්නාම මමයි ක්ලීටසුයි ගුලි එක එක ගිල්ලා…මොනාද බන් උඹල මට නොදී කන්නෙ කියල අහපු අපේ ෆ්‍රෙඩී සිල්වාටත් මං මෙන්න බඩු හම්බ වුණා..කියල..ඒ එක ගුලියක් දුන්නා..මේක ශරීර ශක්තිය වර්ධනය බෙහෙතක් කීවාම එක ගුලියක් ගිලල හිටිය ෆ්‍රෙඩී ” කෝ..බන් කිසි ගතියක් නැහැනෙ..” කියල තව ගුලියක් ඉල්ලාගෙන ගිල්ලා..ආයෙත් ටික වෙලාවකින් ම්හු…මුකුත් දැනෙන්නෙ නැහැ බන් කියල තව එකක් ගිල්ලා ..අපි ..එයාට දැන් ඇති කියද්දි ” උඹල නිකා හිටපල්ලා..මට තව එකක් දීපන් කිව්වා…මමත් දුන්නා. දැන් ගුලි හතරක් ෆ්‍රෙඩීගෙ බඩේ…”
ටික වේලාවකින් ෆ්‍රෙඩී ඇඳමත දිගාවූයේය..රාත්‍රිය එළැඹිනි…ෆ්‍රෙඩි බෙරිහන් දෙන්නට පටන් ගත්තේය..ජීවන් හා ක්ලීටස් තොලකට සිඳීණි..
මොනවාදෝ කියමින් කෙඳීරිලි නගන ෆ්‍රෙඩීගේ මුහුණ ද ගතද මලානිකය..
” යකෝ..අද රෑ මං මැරේවි යකෝ..මට මොකක්ද වෙලා යකෝ..මාව බේරාගනින්..මං මැරිල යාවි…”
” ඉතිං ෆ්‍රෙඩීගෙ කෑගැහිල්ලත් අමුතුයි..නැගිටුවන්නත් බැහැ..ඇඳෙන් බහිනනෙත් නැහැ…ඇත්තටම අපිත් හරි බයවුණා…තවත් බලන් ඉන්න බැහැනෙ..ඔන්න අපි ෆ්‍රෙඩීව දෙපැත්තෙන් උස්සගෙන වෙද මහත්තයා ගාවට අරන් යද්දී එයා නිදි..එයාවත් ඇහැරවගෙන වෙච්චි කතාව එහෙමම කිව්වා..ෆ්‍රෙඩි හිනා.. කතා නැහැ..වෙද මහත්තයා මිදුලට ගිහින් පේර ගහක කොළ ටිකක් අරන් කොටලා ඒ කොළ යුෂ ප්‍රෙඩීට පොවල කිව්ව…හා බයවෙන්න එපා ..දැන් එක්ක යන්න කියලා..ඒත් ෆ්‍රෙඩී නෙමෙයි කතා ..දැන් ඉතින් අපිත් රෑ නිදාගත්තා..මහ රෑ ක්ලීටස් මට කියනව…” ඒයි අපෙ කාමරේ පිළිකන්නෙ සතෙක් පහුරු ගානවා කියලා…එන්න එන්නම කරුවලේ සදදෙ වැඩියි..
” මම හෙමින් ඇඳෙන් බැහැල ක්ලීටස් එක්ක ගිහින් පිලිකන්න පැත්ත බැලුවා.. අපි අදහාගන්න බැරිවුනා…අපේ ෆ්‍රෙඩී පේර ගහක් දිගේ බඩගාල අත්තක් උඩ වාඩිවෙලා පේර අතු ඇද ඇද මෙන්න බොලේ පේර කොළ අහුරු පිටින් කටේ දාගෙන කනවා. වෙද මහත්තයා ඒක දෙනහැටි එයා බලන් හිටිය…
” ඒයි..ඔහොම පේර කොළ කාල උඹට වෙන දේ දන්නවද…කියල මං ඇහුවාම ප්‍රෙඩී කියනව අද රෑ මැරෙනවට උඔල කැමති නැත්නම් සද්ද නැතිව හිටපන්…උඹල කනව දැකලනෙ මමත් කෑවෙ…යි කියමින් හෙතෙම පේර ගහේ අත්තක් ඇද කොළ කඩ කඩා කන්නට වූයේය..ඉතින් අපිට හිනා..අපිත් ඉතින් බලා උන්නා…”
අපේ ජීවන් සිනාසුණු ගමන්මය…
හිඳසිටි අසුනෙහි තවත් හරිබරි ගැහෙන්නට වූ අපේ ජිවන්…මදෙස බලන්නේය..
” දන්නවද අමල් …ඔය කතරගම රූමතිය වේදිකා නාට්‍යයක් විදිහට රටපුරා අරන් ගියානෙ..මට මතක හැටියට අපි දර්ශන වාර 200කට එහා පෙන්නුවා..අපේ මර්වින් ජයතුංග අයියත් ඒකෙ රඟපෑවනෙ..ඒ නාට්‍යයට යද්දී හරිම විමෝදයි..අපි ඉතින් එක බස් එකක නැගල එකට යන ගමන…දවස් දෙක ගාණේ අපට ෂෝ තියෙනවා..දැන් මර්වින් අයියාට තියෙන්නෙ තුවක්කුව අමෝරල තියෙන දෙබස් ඛාණඩය කියල ඉවර වුණ ගමන් අතේ තුවක්කුවෙ කොකා ගස්සන්ඩ…හැබැයි කොකා ගස්සනවත් එක්කම වෙඩි ශබ්දයට යොදාගෙන තිබුණෙ තරමක දිග ලීයක් තව කෙනෙක් කවර් එකේ ඇදගෙන ඉන්නවා..වෙඩි තියන ඉරියව්ව පෙන්වපු ගමන් එයා ඒ ලීය අතහරින්න ඕනා..එතකොට ඒක පොළවෙ වැදිල සද්දයක් එනවා..ඒ එක්කම වෙඩි වැදුණු කෙනා බිම වැටෙනවා..ඕක තමයි දැන් වෙන්න යන්නෙ…
“අපේ මර්වින් අයියා රෞද්‍ර වේශයක් මවාගෙන තුවක්කුවත් එල්ල කරගෙන වෙඩිල්ල තියන්නඩයි ලෑස්තිය…අර කෙනා ඇදගෙනම ඉන්න අර ලීය අතහරින්නයි දැන් සූදානම…මර්වින් අයියා සැර සද්දෙන් දෙබස් ටික කියෝනව…වෙඩිල්ලත් තියනවා..වෙඩි සද්දෙ නැහැ…මොකද දන්නවද ලීය අතහරින්න ඉන්න එකාට ලීය අතහරින්න නොදී ඒකාව අපි බදල අල්ලගෙන…ඒකා තමන්ගෙ වැඩේ කරන්න දඟලනවා..අරෙහෙන් මර්වින් අයියා දෙබස් ටික කියලා වෙඩි තියද්දි වෙඩි වැදුණු කෙනා බිමත් වැටිලා ..ඒත් වෙඩි සද්දෙ ආවෙ නැති එකට ඌරු ජුවල් නැගල…සැර දෙබසුත් කියල..වෙඩිත් තියල…මිනිහත් මැරිල බිම වැටුණාට පස්සෙ ….වෙඩි සද්දෙ ආවෙ…මේකට මර්වින් අයියට මරු නැගලා…ලීය අතහරින එකාට බැනගෙන බැනගෙන ගියාම ඒ යකා කිව්වා…මං කොහෙ සද්දෙ දාන්ඩද…මේ මුන් ටික ලීය අතහරින්න නොදී මාව බදාගෙන හිටියනෙ කියලා..”
ජීවන් මොකක්දෝ මතක් කරන්නේය…මම නිහඬව ම ඔහු දෙස බලා හිඳීමි..යමක් මතක් වූවාක් මෙන් මේසයට යළි තට්ටුවක් පෑ ඔහු පළමුවෙන් මුවගට සිනාවක් නගා ගන්නේය..
” මහින්දාගමනය චිත්‍රපටය කරන්න ගිය දවස්වලදි මම ඇමතිවරයෙක්නෙ..නුවරට එහා ෂූටින් වලට ගියා විතරයි..කොළඹින් පණිවුඩයක් ආවා ඉක්මනින් කොළඹට ඇවිත් යන්න කියලා…ඉතින් මම අධ්‍යක්ෂ සනත් අබේසේකරට දැනුම් දීල කොළඹ ආවා…ඒ අතරේ අපේ දිල්හානි අශෝකමාලා දුරකනයෙන් මට කියනව ජීවන් අයියෙ ..අනේ මෙහෙට ආයෙ එනකොට මට වරකාපොල ජිනදාස රසකැවිලි කඩෙන් කිරි අලුවයි…තලගුලියි…එහෙම අරන් එන්න කියලා..මමත් හා ගේන්නම් කියල කොළඹ වැඩ ටික අහවර කරල ආපසු යද්දි ඒවත් අරන් ගියේ…”
අපේ ජීවන් රූගතකිරීම් ස්ථානයට ගොස් වාහනයෙන් බසින අතරේ දුටුවේ නයි දෙන්නකු සහ උන් රැගෙන ආ පනික්කියාය.. දුටුවනම ජීවන් කීයේ ඔය නයාව මල්ලක දාල තියනවකො කියාය..මේක් අප් කරන වෙලාවෙත් එළිමහනේ ඉන්නවා දුටු නයා දුටු ජීවන් නැවත ඔහුට කීවේ නයා මල්ලක දමා තබන ලෙසටය..
තමන් බලාපොරොත්තුව සිටි රසකැවිලි පිළිබඳව ජීවන්ගෙන් විමසූ දිල්හානිට ජීවන් කීයේ එම රසකැවිලි ගෙනා බවත් හැමටම සෑහෙන බවත්ය…
” දැන් ඉතින් දිල්හානි රසකැවිලි බෙදනකොට මම කිව්ව අර තව බෑග් එකක් පුරවල ගෙනැත් තියනව..බෙදන්න කියලා..දිල්හානිටත් සතුටුයි…”
දැන් අපේ දිල්හානි ඇතුළට ගියාය…ආපසු ආවේ දෙවන බෑගයත් අරන් පපුවට තුරුලු කරගෙනය…
“තව කාටද ..තව කාටද රසකැවිලි ඕනා..කියමින් ඒ මේඅත ඇවිද යමින් තුරුලේ තබා සිටි බෑගයට ඇය අත දැම්මා පමණි…ඉන් එළියට ආවේ නාගයාය…රසකැවිලි බෑගයද අතැර දැමූ දිල්හානි මරලතෝනි නගා සිහියක් කටක් නැතිවාක් මෙන් දිව යන්නීය..දෑස් ලොකු මහත් වී පෙනෙන්නීය…කතාකරගත නොහැකිවාක් මෙන් බලා සිටින්නීය…පනික්කියා නාගයා දමා සිටි බැගය ගෙනැවිත් තිබුණේ ජිවන් ගෙනා රසකැවිලි බෑගය යැයි සිතාය…
“පස්සෙ දිල්හානි රැට හීනෙන් බයවෙලත් තියෙනවා…සාස්තරේකට කීවලු නයි දෙන්නෙක් නිදහස් කරන්න කිව කියල මගෙන් රුපියල් පන්දහක් ඕනයි කියලත් කිව්වා..”
පෙම් රජ දහන චිත්‍රපටයේ රූපගතකිරිම් සිදුකෙරුණේ තංගල්ලේ සුඛෝපභෝගී හෝටලයකය ..එකල රටතොට කලබල තත්ත්වයක්ද නිර්මාණය වි තිබිණි..මේ රූපගත කිරීම් සඳහා විශාල පිරිසක්ද හොටලයේ සිටියහ..අපේ කලංසූරිය…ක්ලිටස්..ආදී තවත් අයද එහි සිටියහ.
රාත්‍රියේ හෝටලයේ පහළ පිහිටි පිහිනුම් තටාකයේ අපේ ලිලියන් සමඟ මියුරි සමරසිංහ නාමින් සිටින බව දුටුවේ අමරසිරි කලංසූරියය.. කලං එය තවත් අයට කීයේ මුන්ගෙ විෂබීජ මේ තටාකයට ගියහොත් කාටවත් ම නාගන්නට බැරිවන තරමේ කවට කතාවක්ද කියමිනි..
” කලංටත් ඕන මොකක් හෝ කරල විමෝද වෙන්නනෙ…ඕං ඉතින් කලං හෙමින් සීරුවේ ගිහින් කොහේදෝ කාමරේක මුල්ලක තිබිච්ච ලොකු බැරල් එකක් අරන් ඇවිත් පිහිනුම් තටාකයට හොරෙන් ම හැලුවයි කියමුකො.. බැලින්නම් ඒකෙ තිබුණෙ ක්ලොරෆෝම් … පමණටත් වැඩියෙන් ක්ලොරෆේම් තටාකයට ගිහිල්ලා නිසා ඔරොත්තු දෙන්නෙත් නැහැනෙ..මේ වගක් දෙන්නම දන්නෙත් නැහැනෙ. ලිලියන්ට මියුරිට තවත් නනා ඉන්න බැරිව වතුරෙ ඉන්න බැරිව කලබලේ ගොඩට ඇවිත් මෙන්න බොලේ මගෙ මුළු ඇඟම කසමෝ..කසමෝ කිය කියා හතර අතේ කෑ ගගහා දුවන්න පටන් ගත්තා….මේ වගක් නොදන්න අනික් අයත් කලබල වෙලා..මේ මොකක්ද හිටිගමන් වුණේ කියලා..ඕං පස්සෙ එළිවුණා මේ වැඩේ කළේ කලං කියලා…ලිලියන්ට මියුරිට යකා වැහිලා..ඕකව අද ඉතුරු කරන්නෙ නැහැ කිය කිය ලිලියන් ඇන්ටිත් බෙරිහන් දෙනවා..වැඩේ පත්තු වුණ නිසා කලං දවස් දෙක තුනක් හැංගි හැංගි හිටියෙ එයාලට අහුවෙයි කියලා.. ”
ජීවන් මඳ වෙලාවක් නිහඬව සිට නැවත අප හා කතාබහට වැටුණේය..
” මම නළුවෙක් නොවුණානම් පිටරට රස්සාවකට යන්න ඉඩ තිබුණා.. පාස්පෝට් පවා ඒ වෙනුවෙන් හදාගෙන තිබුණෙ..ඒත්…කොහොම හරි නළුවෙක් වෙනව කියන එකත් එක්ක චිත්‍රපටවලට සම්බන්ධ වෙලා දුෂ්ට චරිතවලටම කොටු වෙලා ඉන්නකොටත් මට එපාවුණා..”
එක්තරා පුවත්පතක නළුනිළියන් බඳවා ගැනිමේ දැන්වීමක් දුටු අපේ ජිවන් සුදර්ශියට සම්මුඛ පරීක්ෂණය සඳහා ගියේය..එය විජය ධර්ම ශ්‍රී ගේ චිත්‍රපටයකටය..
” මාව එතැනට එක්ක ගියේ සෝමපාල ලැනරෝල් අයියා..ඔයා මේ ඉන්ටර්විව් එකට ආවාට වෙන කෙනෙක්ව මේ චිත්‍රපටයට සිලෙක්ට් කරන් තියෙන්නෙ කියලත් දැනගන්න ලැබුණා. ඒ තෝරාගෙන තිබුණෙ සනත් ගුණතිලකව. ඉතින් මට දුෂ්ටයාගෙ චරිතය පැවරුණා විතරක් නෙවි එතැන් පටන් චිත්‍රපට 12 කම මට දුෂ්ටයා වෙන්නයි සිද්ද වුණේ..
මම සුදර්ශියට එන්න හේතු වුණේ රංගනය පිළිබඳව මා තුළ තිබුණු කුසලතාව මම හොඳීන් දැනසිටිය නිසයි. පාසල් කාලයේ මම බාලදක්ෂ කළා..ජම්බෝරියෙදි මම මගේ නාට්‍ය ඉදිරිපත් කළා. පාසල් වේදිකාව තුළින් මම කුසලතා පෙන්නුවා..ඒ විතරක් නෙවි සටන් ශිල්ප වගේම ක්‍රීඩා වලදිත් මම දක්ෂතා පෙන්නුම් කර තියෙනවා..පිහිනුම් වගේම ට්‍රේල් බයික් පැදවීම .. ආදිය පසුකලෙක රංගන ජිවිතයේ දි මට ඒවා ලොකු රුකුලක් වුණා..ආදේශකයකු නැතිවම ඕනැම අවදානමකට අවතීර්ණ වෙන්නට තරම් මා තුළ ලොකු උවමනාවක් සහ කැපවීමක් තිබුණා ..ඔය සීදුව පල්ලියවත්ත මට හොඳට පුරුදු තැනක්..බොහොම සමීප තැනක්..සීදුවෙ තරුණ පිරිස එක්ක එකතු වෙලා අපි පොල්කොට උඩ වේදිකාව හදල නාට්‍ය පෙන්නුවා..රන් මැණිකේ නුඹ නාඬන්..පිට්ටු බම්බුව වගේ තව නාට්‍ය පෙන්නුවා.
ඔය ශ්‍රියා අතුකෝරලගෙ මහත්තයා වසන්ත ජයකොඩි අයියා තමයි මාව සුදර්ශියට ගෙනාවේ. මම සුදර්ශියට උදෙන් ඇවිත් කල් මරනවා.. වේදිකා නාට්‍යයකට ඇතුළත් වෙන්න..ඔහොම අවුරුදු ගාණක් යනකම් ලැබුණේම නැහැ.. ඒත් සමහර දාට අදාළ නළුවා ආවෙ නැතිදාකදි ඔන්න චාන්ස් එකක් මට ලැබෙනවා..”
තමන් පැමිණි ගමන් මඟ පිළිබඳව ද අනාවරණය කළ ඔහු තම පළමු චිත්‍රපටය වන තනි තරුව ලැබෙනාතුරු තමන් කෑ කට්ට සුළුපටු නොවන බවද කීයේ පැමිණි බාධා අපමණ බවද අවධාරණය කරමිනි..
” ඔහ්..මට කියන්න අමතක වුණානෙ අමල්…” යි තවත් කතාවකට මුලපිරූ ජීවන් හරිබරි ගැසෙන්නේය.
“සූරවීර චණ්ඩියෝ චිත්‍රපටය කරද්දි සටන් සගයාට මට හිටියෙ අපේ විල්සන් කරු..සහයෝගයෙන් වැඩකරන හොඳ මනුස්සයා…මෙය රූපගත කළේ ඉන්දියාවේ මැඩ්‍රාස්වල… උස ගල් පර්වතයක් උඩ සටන.. මේ වැඩේ අවදානම වැඩි නිසා ඉන්දියාවේ චිත්‍රපටවලදි මේ වගෙ වැඩවලට ගන්න වැඩකාරයො දෙතුන් දෙනකුත් ඇවිත් හිටියා. ජීවන් මල්ලි උඹ මට ඇත්තටම ගහපන්.. අපි ඇත්තටම ගහගනිමු හරිද..අපට මෙහෙ ඉන්න ස්ටන්ට්ල (ආදේශකයන්) ඕන නැහැ කියල කරු මට පහර දුන්නා ඇත්තටම. මාත් එහෙමයි..ෆයිට් එක නියමෙට ගියා…පස්සෙ අපි අර ගල මුදුනෙ ඉඳන් අඩි සියගාණක් පහළට පෙරැළීගෙන ආවා…එහෙන් මෙහෙන් අමාරුව අපටත් තිබුණා ..ලස්සනට ෂූට් එක කෙරුණා ..මවිත වෙලා වගෙ මේක බලන් හිටපු ඉන්දියාවේ ස්ටන්ට්ලා ඇවිත් අපට කියනව..සටන් දර්ශන වලදි අපේ රටේ නළුවන්ගෙ මුහුණ ළඟින් අතක් යනවටවත් කැමති නැහැ..ඒත් ඔයාලා සුපිරියට කළානෙ කියලා. කරු දුන් සහය කියල නිමකරන්න බැහැ…”
ජීවන් මඳක් නිහඬ ය..
හෙතෙම යළි කතාවකට මුල පිරුවේය…
“එක චිත්‍රපටයකදි මමයි රන්ජනුයි සරතුයි ෂූටිං ඉවර වෙලා හෝටලේ කාමරේට ආවා…රන්ජන් එක එක කෑම ජාති හෝටලෙන් ඕඩර් කරල ටොයිලට් එකට ගියා..කෑම පරක්කුයිනෙ බන්..ඕඩර් කරපන්කො..කියල රන්ජන් ටොයිලට් එකේ ඉඳන් කැ ගහල කියනවා. අපේ සරත් ආපහු කෑම ඕඩර් කළා…අපි එක්ක හිටිය තව එකෙක් එයත් කෑම ඕඩර් කළා..මළා…මට පේනව කොරිඩෝවෙ ඈත ඉඳන් අපෙ කාමරේ පැත්තට එක එක කෑම ජාති පුරවපු ට්‍රොලි තුනක් එනවා..ඒක දැක්ක මම රන්ජන්ට කිව්ව යකෝ අන්න ඕඩර් තුන හතරක බඩු එනවා..ප්‍රොඩියුසර්ට මේ බිල කොහොමද කියන්නෙ කියලා..මම ෂේප් එකේ වෙන කාමරේකට ගිහින් තනිවම හිටියා..උඹල ඕනදෙයක් කරගනිල්ලා කියලා”
හේ ඒ දවස් යළි මතක් වි සිනාසෙන්නේය..
මේ සිදුවීම සිදු වූයේ අපේ ජීවන් දයා විමලවීරයන්ගේ රජ දරුවෝ චිත්‍රපටය කරද්දීය..
එතකොට රටේ හැමතැනම කලබල..ඒත් ෂූටිං යොදාගෙන..එක් තැනෙක කරලා දැන් තවත් තැනකට යන්න වෙලත් තියෙනවා…මටත් හදිසි වැඩක් යෙදිලා ..මම ඒකත් කිව්ව මට දැන් යන්න හදිසියි කියලා..නිෂ්පාදන කළමනාකරු එකපාරටම කිව්වෙ..බැහැ..බැහැ..අද ෂූටිං කරලම ඉවර කරමු කියලා..මට මෙතැනින් යන්නත් හදිසියි..ඒකට අවසරයකුත් නැහැ..මං කල්පනා කළා මොකද දැන් කරන්නෙ කියලා..
මම හෙමින් සැරේ පාරට ඇවිත් පොඩි කොල කෑල්ලක වචන පේලි දෙක තුනක් ලිව්වා.. දැන් තුණ්ඩු කෑල්ල ලියාගෙන පාරෙ ගිය පොඩි කොල්ලෙකුට කතා කළා..ඒ කොලුව අතට තුණ්ඩු කෑල්ල දීල මම කිව්ව මල්ලි මේක අර අතන ඉන්න සිකුරිටි මහත්තයාගෙ අතට දෙන්න..මං දුන්න වගක් කියන්න එපා කියලත් කිව්වා…කොලුවත් හරියට වැඩේ කරල යන්න ගියා කියමුකෝ..
තුණ්ඩු කෑල්ල බලාපු සිකුරිටි කලබල වුණා පෙනුණා..කළමනාකරු ළඟට දුවනව පෙනුනා..පස්සෙ හැමෝම කලබල වෙලා පේනකොට මමත් එතැනට ගියා..සිකුරිටි තුණ්ඩු කෑල්ල මටත් පෙන්නුවනෙ.
” අණට කීකරු නොවී තවත් චිත්‍රපටවල වැඩ කරනවානම් ඒක උඹලාගෙ විනාශය..ඒකට සුදානම් වෙයන්..”
චිත්‍රපටයේ රූගත කිරීම් එතැනින්ම නැවතුණා.
ඒවා ලියන්න බැරි නිසා
පස්සෙ දවසක කළමනාකරු දැනගෙන තියෙනව ඒ වැඩේ කළේ මමයි කියලා ..”
තව දවසක් මම බයික් එකේ ගමනක් යද්දී අත්තම්මා කෙනකුයි පොඩි ළමයෙකුයි පාර හරහා මාරුවෙනව දැකලා මම බයික් එක නැවැත්තුවා.. අර පොඩි එකා අත්තම්මා ව අතහැරල මං ගාවට දුවගෙන ඇවිත් මගෙ කමිස කොලරයෙන් අල්ලලා ඇද්දා..ඒකා මාර තරහින් වගේ..උඹ නේද අපේ විජේ අන්කල්ට පිහියෙන් ඇන්නෙ..කියල මගෙ ඇඟටම ආවනෙ..විජය බාප්පාට ඒ දරුවා ගොඩක් ආදරේ ඇති.. මේකා මාව අතහරින්නේම නැහැ..පස්සෙ වටපිට කිපදෙනකුත් ඇවිත් කොලුව සන්සුන් කරල අහකට ගත්තා…”
“තව ඉතින් තියෙනවා…ඒව මං කියන්නෙ නැහැ..ඉතින් මාව බලන්නට ආවාට ඔයාලාට බොහොම ස්තුතියි”
නිශ්ශංකත් මමත් ඔහුට සමුදී පිටව ආයෙමු.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
අමල් යශෝමන් ජයසිංහ