පැන්සලක්, පින්සලක් ගෙන කැන්වසයක් මත, කඩදාසියක් මත සිත්තම් කිරීම භාවනාවක් වැනිය. එයින් මනසට ලැබෙන සුවපත් භාවය පිළිබඳව අමුතුවෙන් පැහැදිලි කිරීම අවශ්‍ය නැත. චිත්‍ර කලාව සෑම දෑතකටම හුරු නැත. සෑම කෙනෙක්ම ඒ පිළිබඳව දක්ෂයෝද නොවෙති. සෑම කෙනෙකුටම එම කලාව පිහිටන්නේද නැත. සිත්තම් කිරීමේ දක්ෂතාවය උපතින්ම උරුම කරගෙන ආ විශිෂ්ට ශ්‍රී ලාංකීය චිත්‍ර ශිල්පියෙක් ගැන කතාබහ මෙතැන් සිට අරඹමු.
සොඳුරු සිතැත්තෙක්, සොඳුරු සිත්තරෙක්, එතුමා නමින් ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී ගුණසිරි කොළඹගේ මහතාය. ජීවිතයේ සැදෑ සමය ගෙවමින් සිටියත් එතුමා තවමත් තරුණයි. හදවතේ සිතිවිලි තරුණයි. දෑත් ජවසම්පන්නයි. ඇඟිලි තුඩු නිර්මාණශීලියි. ඒ ඇඟිලි තුඩු අතර පින්සල රඳවාගෙන කැන්වසය මත මවනා සිතුවම් අතිශයින්ම තරුණයි, සුන්දරයි, ඇසට ප්‍රිය ජනකයි.
රඹුක්කන වැනි සුන්දර ගමක උපත ලබා එහි හැදී වැඩුණු ගුණසිරි මහතා ඉගෙනුම ලැබුවේ ගමේ පාසලේය.ගුණසිරි කොළඹගේ මහතා තරුණ කළ මහත්සේ පරිසරයට, සොබාදහමට, සතාසිව්පාවාට ආදරය කළ චරිතයකි. ඒ නිසාම කලාවට එතුමන්ගේ සිත ඇදී ගොස් ඇත්තේ නිරායාසයෙනි.
ගමේ පාසලෙන් ජ්‍යෙෂ්ඨය සමත් වූ ගුණසිරි තරුණයා රජයේ ලලිත කලායතනයට ඇතුළත් වන්නේ චිත්‍ර කලාව ප්‍රගුණ කිරීමටය. ඒ 1954 – 1959 වකවානුවලදී. කුඩා සන්දියේ සිටම චිත්‍ර කලාව කෙරෙහි දක්ෂතාවයක් නැඹුරුවක් තිබූ නිසාම සහජයෙන් උරුම කරගෙන ආ චිත්‍ර ඇඳීමේ කලාව දියුණු කරගැනීමට මෙම සිත්තරාට එතරම් අපහසු වී නැත. ලලිත කලායතනයේදී ඩේවිඩ් පෙන්ටර්, ස්ටැන්ලි අබේසිංහ, එච්. බී පෙරේරා වැනි විශිෂ්ට චිත්‍ර ශිල්පීන් යටතේ චිත්‍ර කලාව ඉගෙන ගැනීමට ඔහුට හැකිවිය.
එවැනි විශිෂ්ට චිත්‍ර ශිල්පීන් යටතේ ආලේඛ්‍ය චිත්‍ර කලාව, මූර්ති ශිල්පය, නිරූපණ ශිල්පය මැනෙවින් ප්‍රගුණ කළ මේ අපූරු දක්ෂයා ඉන්පසුව ජී. එච්. පෙරේරා, සුසිල් ප්ර්රේමරත්න වනි ශිල්පීන් යටතේ දිය සායම්, තෙල් සායම්, ඇක්රලික්, සෙරමික් පින්තාරු සහ බතික් කලාව ද චිත්‍ර විෂය ධාරාවට ඇතුළත් කර ගත්තේය. ඒ අනුව තම හැකියාව තව තවත් වර්ධනය කර ගැනීම ඔහුගේ එකම අරමුණ විය.
ලලිත කලායතනයෙන් දැනුම් සම්භාරයක් ලද ගුණසිරි කොළඹගේ මහතා තම කුලුඳුල් සිත්තම් ප්‍රදර්ශනය 1961දී කොළඹ දී පවත්වන ලදි.Some poems I have read” යන තේමාව යටතේ තවත් සිතුවම් ප්‍රදර්ශනයක් කොළඹ දී 1966 වසරේ දී පවත්වන ලදි. මෙසේ සිතුවම් අතරම සැරිසරද්දී තම රටේ මෙන්ම ජාත්‍යන්තරයද ජය ගැනීමට ගුණසිරි කොළඹගේ මහතා සමත් විය.
ලෝ පුරා සංචාරය කරමින් චිත්‍ර කලාව විෂයයයේ විවිධ වූ පැතිකඩ ගැන විශේෂ දැනුමක් ලබාගත් එතුමා ස්පාඤ්ඤය සහ ප්‍රංශය වැනි රටවල පැවති චිත්‍ර ප්‍රදර්ශන වලටද තම සිතුවම් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. එපමණක්ද නොව ගුණසිරි කොළඹගේ මහතා 1978 දී බල්ගේරියාවේ ආරාධනයෙන් එහි පැවති සිතුවම් දැක්මටත්, 1981 දී ජපානයේ ෆුකෝකා හිදී ද, 1981 දී බංග්ලාදේශයේ ඩකා හිදී ද පැවති ප්‍රදර්ශන සඳහා සහභාගී වී ලක්මව වෙනුවෙන් ජාත්‍යන්තරයේද නම රැන්දූ විශිෂ්ට ගණයේ චිත්‍ර ශිල්පියෙකි. එමෙන්ම දේශ දෙශාන්තර වලින් ඇගයීමට මෙන්ම සම්මාන වලින් පුද ලද අගනා චරිතයකි.
ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සඟරාව (2009) සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීමද එතුමා ලද ජයග්‍රහණයකි.
2012 වසරේ දී කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වූ ” බුද්ධරාජ” සිතුවම් දැක්ම, එම වසරේ දීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති “බුද්ධ රාජ” සිතුවම් දැක්ම , 2014 දී එම්.බී පෙරේරා අනුස්මරණ ශාලාවේදී පැවති ” ඹ්ඪටඥ’ ඵ ර්ධපබඪටඵ” , 2018 දී ” එචබඥප ර්චපණඪද 2 ” වැනි චිත්‍ර ප්‍රදර්ශන එතුමාගේ කලා ජීවිතයේ අමරණීය සිහිවටනයක් ලෙස හැඳීන්විය හැකිය. ඊට අමතරව පිළිවෙළින් 2017 වසරේදී ඉතාලිය වැනි රටවල චිත්‍ර ප්‍රදර්ශන සඳහා සහභාගී වීමෙන් එතුමන්ගේ චිත්‍ර කලාවට මහඟු වටිනාකමක් එක් වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
සුපුරුදු ලෙසින් මෙම වර්ෂයේ ද (2024) ගුණසිරි කොළඹගේ මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පසුගිය දා කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී පවත්වන ලදි. එය ඉතා චාම්වූත්, එහෙත් ගරු ගම්භීර ලෙස පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනයක් විය.
එය නම් කර තිබුණේ ” දිය සායමේ ගීතය යනුවෙනි.(Songs of the water colour).
ශාලාවේ බිත්ති පුරා හැඩකර තිබුණේ එතුමා අතින් නිර්මාණය වූ ඇස පිනවන, මනසට මිහිරක් ගෙනදෙන සිතුවම් රාශියකිනි. බොහෝ චිත්‍ර පරිසරය මූලික කරගත් නිර්මාණ වීම විශේෂත්වයක් ගෙන දෙන්නක් විය. විවිධ වර්ගයේ මල් වර්ග, දියඇලි, සොබාදහම ආදිය දියසායමෙන් වර්ණ ගන්වා තිබුණේ තාරුණ්‍යයේ ජීවත්වන සිත්තරෙකුගේ අතින් නිර්මාණය වූ ඒවා පරිද්දෙනි. ඒව එතරම්ම සුන්දරයි. වර්ණ ගැළපීම අතින් එකිනෙකට නොදෙවෙනි චිත්‍ර නිර්මාණ ප්‍රදර්ශනයට තබා තිබුණි.
එතුමන්ගේ සමකාලීන චිත්‍ර ශිල්පීන්, විද්වතුන්, එතුමන්ගේ සමීපතම මිතුරු කැල, හිතවතුන්, දූදරු මුනුබුරු පිරිස එතුමන් වටා එක්රැස් වීම එදින එතුමන්ට මහත් පී‍්‍රතිය දන්වන්නක් වූයේය .
” දිය සායමේ ගීතය” සිතුවම් දැක්ම විවෘත කිරීමට පැමිණි ප්‍රධාන ආරාධිතයන් වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරසවිය, සිළුමිණ පුවත්පත්වල් හිටපු කතුවරයෙක් වූ තිලකරත්න කුරුවිට බණ්ඩාර, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ප්‍රවීණ චිත්‍රපටි අධ්යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා අංශයේ පීඨාධිපති මහාචාර්ය ජගත් රවීන්ද්‍ර යන විද්වතුන්ය.
උත්සව සභාව කෙටි දේශන තුනකින් සමන්විත විය. සෑම දේශනයකින්ම සඳහන් වූයේ ගුණසිරි කොළඹගේ මහතාගේ අතීතයේ සිට චිත්‍ර කලාව පිළිබඳව තිබූ දක්ෂතාවය පිළිබඳවයි. තවද එතුමන්ගේ ඒ විස්මිත දක්ෂතාවය අගය කිරීමද කැපී පෙනුණි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පැවසූ අන්දමට, අවශ්‍ය වූ විට වේලාවක් නොතකා තමන්ගෙන් යම්කිසි කටයුත්තක් කර ගැනීමට එන පිරිසට එය අකුරටම ඉටුකර දීමට සැදී පැහැදී සිටින චරිතයක් බවයි. එයින් අදහස් වන්නේ ගුණසිරි කොළඹගේ මහතා ඉතාමත් නිහතමානී කලාකරුවෙක් බවයි.
වර්තමානයේ ඒ මහතා සිතුවම් අතරේම කල් ගෙවූවත් කොළඹගේ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනවල කැපී පෙනුණ, දක්ෂ කලා අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇත. රටේ නමගිය වෙළෙඳ නිෂ්පාදන නාම බොහෝමයක් එතුමන් අතින් නිර්මාණය වූ ඒවා වීම එකල කැපී පෙනුණි.
ගුණසිරි කොළඹගේ මහතා දියණියකට සහ පුතෙකුට ආදරණීය පියෙකි. එතුමන්ගේ කලා කටයුතුවලට තම දියණිය සහ පුතණුවන්ගෙන් ලැබෙන්නෙ අගනා සහයක් බව කොළඹගේ මහතා නිතර පවසන කරුණකි.
එතුමන් කෙතරම් වියපත් උවත් එතුමන්ගේ මුහුණේ ඇත්තේ පියකරු සිනහවකි. කලාකරුවෙක්ට ගැළපෙන රූපකායක් එතුමන් සතුයි.
ශ්‍රී ලංකා මාතාවට වටිනා කලාකරුවෙක් වන ගුණසිරි කොළඹගේ මහතාට තව බොහෝ කාලයක් චිත්‍ර නිර්මාණ අතරම කාලය ගත කිරීමට හැකිවේවා යැයි අප කාගේත් ප්‍රාර්ථනාව කර ගනිමු.
ගුණසිරි කොළඹගේ සිත්තරාණේනි, ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා ! තවත් දිය සායමේ ගීතයක් සමඟින් යළින් අපි හමුවෙමු
නයනාංජලි දෙහිපිටිය