Home » දිය නොවූ ප්‍රේමය

දිය නොවූ ප්‍රේමය

අයිස් ක්‍රීම්

by Mahesh
January 23, 2025 12:30 am 0 comment

කල්පාන්විත ලෝකයත් යථාර්ථයත් අතර අතරමං වූ “දුදූ” නමැති චරිතයක් කේන්ද්‍ර කර ගනිමින් දිගහැරෙන “අයිස් ක්‍රීම්” ප්‍රධාන චරිතයට අමතරව අතුරු චරිත රැසකින් සමන්විත වූවකි. පැල්පත් නිවාස සංකීර්ණයක ජීවත්වන දුදූ ස්ථීර රැකියාවක් රහිත එදා වේල සොයාගන්නා පුද්ගලයෙකි. සොරකම ඔහුට ක්‍රීඩාවකි. කලහකාරී අවස්ථාවලදී රජිනිකාන්ත් මෙන් සටන් වදින මුත්, යථාර්ථයට පත්වන විට අසීමිතව ප්‍රහාරයට ලක්වෙයි. දුදූ එදිනෙදා ජීවිතයේදී   මුහුණපාන සුවිශේෂී වූ සිදුවීම් චිත්‍රපටයක දිස්වෙන රූපපෙළක් සේ ඔහුගේ චිත්ත අභ්‍යන්තරයේ මැවේ. එසේම ඔහුගේ සිහින රැජිනිය වූ වෙරෝනිකා නෙත ගැටෙන විටදී ඉන්දීය රොමෑන්තික ප්‍රේමවන්තයෙකු මෙන් නර්තනයේ යෙදේ. ජොනී ඩෙප්, බෲස්ලි මෙන් ක්‍රියාදාම ජවනිකාද ඔහුගේ සිහින ලෝකය තුළ දිග හැරේ. මෙලෙසින් කල්පාන්විත ලෝකයත් යථාර්ථයත් අතර සිදුවන ගනුදෙනුවේදී ඔහුගේ සිනමා වීරයන් කිහිප දෙනෙකුගේ චරිත ආරූඪ කර ගනිමින් සිහිනයත් සැබෑවත් අතර ඔහු නිතර අතරමං වෙයි. සටකපට චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන මාරියෝ සැලසුම් කළ එක්තරා කුමන්ත්‍රණයකට දුදූ හසුවන්නේ, ඔහුගේ ප්‍රාණ සම මිතුරු රයිනා නිසාවෙනි. මේ අයගේ කතාවයි “අයිස් ක්‍රීම්”
ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙකු ලෙස ප්‍රකට වූ ප්‍රදීප් ධර්මදාස, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු, රූපවාහිනී නිවේදකයෙකු මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වෙයි. “අයිස් ක්‍රීම්” ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. 2000 වසරේදී සහය නිෂ්පාදකවරයෙකු ලෙසින් විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට එක්ව, පසුකාලීනව දේශපාලන හා කාලීන සිදුවීම් අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස 2005 වසර දක්වා කටයුතු කළ ඔහු, රිදී නිම්නය වැනි සිනමා වැඩසටහන් මෙන්ම, මුතු පලස වැනි සති අග උදෑසන වැඩසටහන් හා සම්මාන උළෙල ඇතුළු විවිධ ජනප්‍රිය වැඩසටහන් රැසක නිවේදකයෙකු ලෙස කටයුතු කළ අතර, රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙසින්ද කැපී පෙනුණ චරිතයකි. “අම්මාවරුනේ”, “රෝසමල් සයනය”, “සිනාසුණා ආදරෙන්” වැනි චිත්‍රපට සඳහාත් “අයාල්”, “නිල් අහස වගේ”, “සඳගලතැන්න”, “මයුමි”, “හිරු සඳු මායිම”, “හංස ගීතය”, “නීල පබලු”, “රොන්” ඇතුළු ටෙලි නාට්‍ය රැසකටත් ඔහු රංගනයෙන් දායකව ඇත. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසින් “සමනළුන්ට වෙඩි තියන්න”, “ඇහිපිල්ලමක් යට”, “හිරු තනිවෙලා”, “සික්කා ටීම්”, “දෙයියන්ගේ රටේ”, “කිරුළි”, “බොංචි ගෙදර ඉන්ද්‍රජාල”, “තෛ‍්‍රලෝකා”, “අත්තටුවක පිහාටුවක”, “කිඳුරාදරී”, “අත්තම්මයි මමයි”, “දිව්‍යාදරී” සහ “රොන්” වැනි නිර්මාණ පුංචි තිරය තුළින් ප්‍රේක්ෂකයා වෙත සමීප කර ඇත. “අයාල්” ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් 2014 වසරේ හොඳම නළුවා ලෙස රාජ්‍ය සම්මාන දිනූ ඔහු, සික්කා ටීම් සඳහා හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයත්, සඳගලතැන්න රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයත් සුමති සම්මාන උළෙලින් හිමිකරගෙන ඇත.

රංගන දායකත්වය
හේමාල් රණසිංහ, සරත් කොතලාවල, අයිශාරා අතුකෝරාල, රුක්මල් නිරෝෂ්, බිමල් ජයකොඩි, චමිලා පීරිස්, දමිතා අබේරත්න, ජයලත් මනෝරත්න, රොෂාන් රණවන, වීණා ජයකොඩි, මධුශාන් නානායක්කාර, චින්තක වාස්, ඩී.බී. ගංගොඩතැන්න, දයා තෙන්නකෝන්, රොෂෙල් ඩැනියෙල්, ශෙනුල්‍යා දන්තනාරායන, ආනන්ද කුමාර උන්නැහේ, කෝරළගේ සමන්, අංජන ප්‍රේමරත්න, ලසන්ත ෆ‍්‍රැන්සිස්

කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය – ප්‍රදීප් ධර්මදාස
නිෂ්පාදනය – කෝකිලා විතානගේ, දුමින්ද පියරත්න
තිර රචනය – කලණ ගුණසේකර
කැමරා අධ්‍යක්ෂණය – චින්තක සෝමකීර්ති
සංස්කරණය – රුක්මල් නිරෝෂ්
සහය අධ්‍යක්ෂණය – චාමර සේලාර
දෙවන සහය අධ්‍යක්ෂණය – සුසන්ත ප්‍රේමචන්ද්‍ර, හසිත රාජපක්ෂ
තෙවන සහය අධ්‍යක්ෂණය – ඉසිර කෝස්තා
කලා අධ්‍යක්ෂණය – රුවන් මලිත් පීරිස්
අංග රචනය – නාරද ධනංජි තොටගමුව
වර්ණ සංයෝජනය – දිනිඳු ජාගොඩ
ශබ්ද සැලසුම්කරණය – තරුපති මුණසිංහ
ශබ්ද පරිපාලනය – සුනන්ද මෙත්තසිංහ
සංගීත අධ්‍යක්ෂණය – කසුන් කල්හාර
ගීත රචනය – මංජුල වෙඩිවර්ධන
ගීත ගායනය – කසුන් කල්හාර, කුෂාණි සඳරේකා , ශේන් සිං
නිෂ්පාදන කළමනාකරණය – ජීවන මනරම් කෝදාගොඩ
සටන් අධ්‍යක්ෂණය – සමන් ඔසඳ බණ්ඩාර
ඇඳුම් නිර්මාණය – ලයිෆ් ඇන්ඩ් ඉන්ක්
නැටුම් නිර්මාණය – අවන්ත ආටිගල
පරිගණක සජීවීකරණය – කසුන් මලින්ද
පරිගණක සජීවීකරණ නිෂ්පාදනය – ග්‍රේෂන් ආර්. කුලරත්න
නිෂ්පාදන කළමනාකරණ සහය – රොෂාන් විමලසේන, ලසන්ත ප්‍රැන්සිස්
කැමරා සහය – මෙවන් නිශාන්ත, අසංක මුණසිංහ, දිලීප රංගන, රනිල් වසන්ත
ආලෝකකරණ ශිල්පීන් – කෝසල මනෝජ්, හිරාන් ඉන්දික, බී.ඩබ්.ජී. සමුදුර නිලන්ත සුදර්ශන, නිරෝෂ් චමින්ද, ලක්ෂිත

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT