සිංහල සිනමාවට එක් වූ නවතම චිත්‍රපටය වනුයේ චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආයු චිත්‍රපටය ය. ආලෝකෝ උදපාදී චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් චත්‍ර මින් පෙර සිනමාවේ කිසියම් වූ ආකර්ෂණීය සලකුණක් සනිටුහන් කළ අයෙක් වූයේය. මෙවර ඔහුගේ සිනමාත්මක ප්රකාශනය සංකීර්ණ මනෝභාවයන් සමඟ දිවෙන අපූරු තේමාවකින් දිවෙන්නකි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය මෙකී කතාවේ මූලය වන අතර ආයු හරහා චක්‍ර මෙවර නවතම සිනමා නිළියක ලාංකේය සිනමාවට හඳුන්වා දෙන්නේය.
ඇය සැන්ඩ්‍රා මැක් නම් වන්නීය. සිනමා මාධ්‍යයට ඇය අලුත් මුහුණක් වුවද ලාංකේය කලා භාවිතය තුළ ඇය විවිධ අයුරින් තම හැකියාවන් දක්ෂතාවයන් ප්‍රකට කළ තැනැත්තියක වූවාය. මෙවර අපගේ කතාබහ යොමු වූයේ සැන්ඩ්‍රා සමග “ආයු” පිළිබඳවය.
මේ දිනවල තිරගත වීම ආරම්භ වුණු ඔබේ පළමු සිනමා නිර්මාණය වන ආයු වලින්ම අපි අපේ කතාබහ ආරම්භ කරමු නේද?
චත්‍ර වීරමන් විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු ආයු චිත්‍රපටයේ මම රඟපාන්නේ නිශ්මි නමින් යුත් වෛද්‍යවරියකගේ චරිතය. නිශ්මි කියන්නේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්. එයා සමාජ බලපෑම් මත ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම ඇය සමාජය ගැන තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙක්. එයා විවාහකයි. එයාගේ ස්වාමිපුරුෂයා රවි. මේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී අශාන් ඩයස්. නිශ්මි විවාහ වෙලා හිටියට ඒ වනතුරු ඇයට දරු සම්පතක් ලැබිලා තිබුණේ නෑ. දරුවෙක් ලැබෙනවටත් එයාගේ ලොකු කැමැත්තක් තිබුණා. මේ වගේ සරල ජීවිතයකට හුරු වෙලා හිටපු නිශ්මිට එක කාල පරිච්ඡේදයකදී ඇය කිසිසේත්ම නොසිතපු ආකාරයේ ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයාගේ ජීවිතේ වෙනත් පැත්තකට යොමු වෙනවා. ඊට පස්සේ ඒ සිද්ධියත් එක්ක එයා හොයනවා එයා කවුද කියලා. ඉතින් මේ චරිතය ඇතුළේ තියෙන චරිතයකුත් කොහේ හරි තියෙනවා කියලා මට දැනුණා. එතකොට තමයි නිශ්මිගේ චරිතය හරියට තේරුම් ගන්න පුළුවන් වුණේ.
නිශ්මි කියන්නේ සංකීර්ණ චරිතයක් චිත්‍රපටය ඇතුලේ. නිශ්මි නිරූපණය කරන්න ඔබ සූදානම් වුණේ කොහොමද?
මම මේ චරිත නිරූපණය ඇත්තටම කළේ ඔය දේවල් ගැන වැඩිය හිතන්නේ නැතුව. මම මුලින්ම කරපු දේ තමයි චත්රත් එක්ක මේ ගැන සාකච්ඡා කිරීම. චත්‍ර කියන්නේ මේ යුගයේ ඉන්න සිනමාව ගැන මනා අවබෝධයක් තිබෙන හොඳ අධ්යක්ෂවරයෙක්. චත්‍ර මට මේ චරිතය ඇතුළේ ලොකු නිදහසක් දුන්නා. ඔහු මට දුන්න පළවෙනි උපදෙස තමයි ඔයා හිතන්න ඔයාට මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඔයා ප්‍රතිචාර දක්වන්නේ කොයි ආකාරයටද කියලා. මම කටයුතු කළේ චත්‍රගේ ඒ උපදෙසට අනුවයි. එයාට අවශ්‍ය වෙලා තිබුණේ ඒ ස්වාභාවිකත්වය මේ චරිතයට එකතු කරගන්නයි.
ඒ ස්වාභාවිකත්වය මේ චරිතයට එකතු කරගන්න ඔබට පුළුවන් වුණා කියලා ඔබ විශ්වාස කරනවද?
ඔව් මම විශ්වාස කරනවා. චත්‍රගේ උපදෙස් මත මම ක්‍රියා කළා. මම හිතනවා මම ඔහුට අවශ්‍ය දේ දුන්නා කියලා. මම සිනමාවට අලුත්. නමුත් මම වේදිකාව ගැන දන්නවා. වේදිකාවේ අත්දැකීම් ලබලා තියෙනවා. අනිත් පැත්තෙන් මට නිශ්මිගේ චරිතය ගොඩ නගන්න මාත් එක්ක රංගනයට එකතු වුණු මගේ අම්මගේ චරිතය රඟපෑව මාලිනී ෆොන්සේකා මහත්මිය, මගේ සැමියා ලෙස රඟපෑව අශාන් ඩයස් වගේම මාත් සමග ප්‍රධානම චරිතය රඟපෑ ජගත් මනුවර්ණගෙන් සුවිශාල සහයෝගයක් ලැබුණා. ඒ වගේම මාත් එක්ක රඟපාපු චූටි දරුවා කෙනාර රණතුංග පවා මේ චරිතය ගොඩනගන්න මට උදව් වුණා මේක මගේ පළවෙනි චිත්‍රපටය වුණාට කෙනාරාත් මීට කලින් චිත්‍රපට දෙක තුනක වැඩ කරලා තිබුණා. ඒ නිසා ඒ සෙසු නළු නිළියන්ගේ අත්දැකීම් සපිරි බව මගේ චරිතය ගොඩනඟන්න උදව් වුණා.
ඔබ සිනමා මාධ්‍යයට පැමිණෙන්නේ කොහොමද?
ඒ අවස්ථාව මට ලැබෙන්නේ ප්‍රඩක්ෂන් මැනේජර් කෙනෙකුගේ මාර්ගයෙන්. ඔහුත් සම්බන්ධ වුණු ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්යක්ෂ ප්‍රසන්න ජයකොඩිගේ කොමර්ෂල් එකකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතනදි මම රඟපාන්නෙත් ළමා රෝග වෛද්‍යවරියකගේ චරිතය. ඒක දැකලා එහි ප්‍රඩක්ෂන් මැනේජර් තමයි මගේ නම චත්‍රට දීලා තියෙන්නේ. චත්‍ර මට දුරකථනයෙන් කතා කළා. ඊට පස්සේ තමයි මේ ආයු දක්වා ආපු ගමන පටන් ගන්නේ.
ඔබේ කලා ගමන් මග ආරම්භ වෙන්නේ සහ ඔබ කලාවට කැමති වෙන්නේ කොතනින්ද?
මම පොඩි කාලෙ ඉඳලා ලියන්න කැමති කෙනෙක්. ඒ ලිවීමත් එක්ක ඉස්කෝලේ වේදිකාවේ පොඩි පොඩි නාට්‍ය කලා. පිටපත් ලියුවා. වේදිකාවේ ලොකු අත්දැකීම් ලැබෙන්නේ බ්‍රිතාන්‍ය කවුන්සිලය හරහා. මම එන්නේ ඇත්තටම ඉංග්‍රීසි වේදිකාවෙන්. සිංහල වේදිකාවේ මට අත්දැකීමක් ඇත්තටම නැහැ. බ්‍රිතාන්‍ය කවුන්සිලය හරහා කරපු නාට්‍ය පුහුණුවීම්වලට මම සම්බන්ධ වෙනවා. ඒ කාලේ ඔවුන් කරපු නිෂ්පාදනවල පුංචි චරිත මට කරන්න ලැබෙනවා. ඒ එක්කම ඉංග්‍රීසි වේදිකාවේ බර චරිත වුණු රිචඩ් ද සොයිසා, ඔහුගේ මව මනෝරානි සරවනමුත්තු , පීටර් ඩි අල්මේදා, මාරියා ඩි අල්මේදා වැන්නෝ ඒ නිෂ්පාදනයේ හිටියා. මේ අය අතර ඉන්න ලැබීමම මට ලොකු අත්දැකීමක් වෙනවා. ඒක තමයි මගේ වේදිකාවේ මුල් අත්දැකීම. ඊට පස්සේ ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ ඇන්ඩෲ ඩේවිඩ්ගේ නිෂ්පාදනයක හිටියා.
ඊට පස්සේ මගේ ගමන ආරම්භ වෙන්නේ වෙළෙඳ ප්‍රචාරණය හරහා. Advertising එතනදි මට පොඩි පොඩි චිත්‍රපට කරන්න ලැබෙනවා. මුලින්ම මං හිටියේ ලියන කෙනෙක් විදිහට. රඟපෑම පැත්තට පස්සේ තමයි යොමු වෙන්නේ. මට එක අවස්ථාවක් ලැබෙනවා බූඩි කීර්තිසේනගේ “සත්‍ය” කියන ටෙලි නාට්‍යයේ 2002 රඟපාන්න. ස්වර්ණවාහිනිය තමයි විකාශය වුණේ. ඒකෙ මම රඟපාන්නේ මහේන්ද්‍ර පෙරේරා මහත්මයා සමග. ඒ ටෙලි නාට්‍යයක් කරපු පළමු අවස්ථාව.
ඔබ වේදිකාවෙන් ආවට පළමු චිත්‍රපට රංගනයේදීවත් වේදිකා ලක්ෂණ අපි දැක්කේ නෑ. ඒ මාධ්‍ය දෙක හඳුනා ගත්තේ කොහොමද?
මම දන්න විදිහට වේදිකාවේ තමයි අපේ රංගනය උච්චතම අන්දමින් ප්‍රධානය කළ යුතු තැන. අවමයෙන් රඟපාන්නේ සිනමාවේ කියලා මම දැනගෙන හිටියා. සිනමා රංගනය කියන්නේ හරි සියුම් තැනක්. මුහුණේ සියුම් ඉන්ගිතයන් පවා කැමරාව කැප්චර් කර ගන්නවා. ඒ විදිහට තමයි මම හිතා ගත්තේ. ඒක මට එන්නේ මම හිතන්නේ ඇඩ්වර්ටයිසින් වලින්. මම මේක දකින්නේ කැමරාව පිටිපස්සේ ඉඳලා.
ඔබ කලාව තුළ ඉන්න අතර ඔබට පූර්වාදර්ශ තිබුණද? චිත්‍රපට නැරඹුවාද?
මම චිත්‍රපට බලන්න හරි ආසයි. ලංකාවේ අලුත් චිත්‍රපටයක් ආවම ඉක්මනටම ගිහින් බලනවා. මම නිතර බලන්නේ විනෝදාස්වාදය සපයන වර්ගයේ නිර්මාණ. ඒක මගේ අධ්‍යයනය සඳහා බලන එකක් නොවේ. මම ඒ පැය එකහමාර ඇතුළත එන්ටර්ටේන්මන්ට් තමයි බලන්නේ.
ඔබේ පළවෙනි චිත්‍රපටයෙන්ම ඔබට මාලනී ෆොන්සේකා නිළි රැජින සමග රඟපාන්න ලැබෙනවා. ඒ දුර්ලභ ගණයේ අත්දැකීම කොයි වගේද?
මම හිතන්නේ මම හරිම වාසනාවන්තයි කියලා. ඇය රඟපාන්නේ මගේ අම්මගේ චරිතය. රඟපාන අතරතුරේදී කවදාවත් මම ආධුනික රංගන ශිල්පියෙක්ගේ යන හැඟීම මට ඇතිවෙන්න ඇය ඉඩ දුන්නේ නෑ. ඒ තරමට ඇය සුහදශීලීයි. නව පරපුරට ආදරණීයයි. සෙනෙහසින් දෑත දිගු කරන මම ඇගේ රසිකාවක්. ඇය මගේ හැකියාවට ගෞරව කළා. කැමරාව ඉදිරියේ මට ඈත් සමග ඉන්න ලැබීමම මම ලබපු අති විශාල ගෞරවයක්. ඇගේ අත්දැකීම් වලිනුත් මගේ චරිතය ඔපවත් වුණා කියලා මට හිතෙනවා.
ඔබේ චරිතය ගොඩනැගෙන්නේ ප්‍රධාන පිරිමි භූමිකා දෙකක් මැද. මේ චරිත ද්විත්වයෙන් ලැබුණු සහයෝගය කොයිවගේද?
අශාන් ඩයස් සහ ජගත් මනුවර්ණ මම ගොඩක් ගෞරව කරන නළුවන් දෙදෙනෙක්. මම හිතනවා මේ චිත්‍රපටයේ ඔවුන් දෙදෙනා කරන චරිත දෙකත් කවදාවත් ඔවුන් කරපු චරිත දෙකක් නොවෙයි. ඒ ගොල්ලන්ටත් ඒක චැලෙන්ජ් එකක් මම හිතන්නේ. ඒ දෙන්නත් කවදාවත් මට දැනෙන්න දුන්නේ නෑ මම ආධුනික නිළියක්ය කියන එක. ඒ අය මගේ මයින්ඩ් එක ඉහළ තලයක රැඳෙව්වා. ඒක මට ලොකු සහයෝගයක් වුණා මේ චරිතය ගොඩ නගන්න.
ඉස්සරහට ඔබ සිංහල සිනමාවේ නිළියක් විදියට දකින්න ලැබේවිද?
මම ආසයි රැඳීලා ඉන්න. මට ආරාධනා ලැබුණොත් මම අනිවාර්යයෙන් රඟපානවා. මගේ රංගන හැකියාව පිළිබඳ කවුරුත් තවම දන්නේ නෑනේ. ආයු හරහා තමයි ඒක දකින්නේ.
ස්තූතිවන්ත වෙනවා චත්‍ර වීරමන්ට මේ අවස්ථාව මට දුන්නට. නිෂ්පාදකවරු දෙදෙනාට වගේම අපිට හිටියා හොඳ කණ්ඩායමක්. ඒ හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. මේ අය සමග වැඩ කරන්න ලැබීම මට ලොකු ගෞරවයක්.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න