Home » දැන් මට හැමෝම කතා කරන්නේ චූටික්කි කියලා

දැන් මට හැමෝම කතා කරන්නේ චූටික්කි කියලා

ළමා රංගන ශිල්පිනී සිධංගනා කුරේ

by Thanushika
April 24, 2025 11:40 am 0 comment

පියවරෙන් පියවර රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු අතර හෙමින් ගමනකින් තම ඉලක්කවෙත යන ඇයගේ මනබදනා සිනහාවත් පියකරු රූපයත් ඇයට අනන්‍ය වූ දක්ෂතාවයත් ඇගේ ගමනේ පහන් ටැඹයි. 2022 සිඟිති අවුරුදු කුමාරියත්, 2023 beauty modeln,  2024 වර්ෂයේ රයිගම් ටෙලි සම්මානයත්, 2025  music video  රංගනයෙන් ලොවක් මවිත කළ ඈ මැස්සා, සසර සෙවනැලි, දුරුතු මන්දාරම, හේල්‍යන්, ටෙලි නාට්‍ය, ඒකාංගික හා පෝය නාට්‍ය, වාර්තා වැඩසටහන් මෙන්ම වෙළෙඳ දැන්වීම් ගණනාවක, ප්‍රධාන භූමිකාවන් නිරූපණය කළාය. මේ දිනවල ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් විකාශනය වෙන නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ ජිත්මි ලෙස ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ඇය කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ තුන වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකි. ඉදිරියේදී තිරිගත වීමට නියමිත අත්පුඩි සිනමා පටයේ චුටික්කි ලෙස ප්‍රධාන රංගන ශිල්පීනියද වන ඇය නමින් සිධංගනා කුරේයි. මේ ඇය පසුගිය දින සරසවිය පුවත්පත සමග කළ කතාබහයි.

සිධංගනාට කලා ක්ෂේත්‍රය පිවිසෙන්නේ කොහොමද?

මම ගෙදර ඉන්න විට ඉඩ ලැබෙන සෑම මොහොතකම රූපවාහිනිය නරඹනවා. රූපවාහිනියේ යන විවිධ වැඩසටහන් සහ චිත්‍රපට, නාට්‍ය බලලා මටත් ආසාවක් හිතුණා කවදා හරි රඟපාන්න ලැබෙනවා නම් කොච්චර හොඳයිද කියලා. ඒ ඒ චරිත අනුකරණය කරමින් ප්‍රතිනිරූපණ චරිත මම අක්කත් එක්ක සහ අයියත් එක්ක ගෙදරදි රඟපාන්න පටන් ගත්තා. අක්කා සහ අයියා මට ඒ දේවල්වලට ගොඩක් උදව් කළා. ගෙදර පසුබිම තමයි මට නාට්‍යය කලාවට යොමු වෙන්නට ඉඩ ප්‍රස්තාව විශේෂයෙන් සලසා දුන්නේ.ඊට පස්සේ දවසක් සිරස රූපවාහිනීයට අක්කගේ වැඩකට අම්මත් එක්ක මමත් ගියා. ඒ ගියපු දවසක මට අවුරුදු නැකැත් සීට්ටුවේ වෙළඳ දැන්වීමකට පෙනී සිටින්නට අවස්ථාව ලැබුණා. ඒ වෙළෙඳ දැන්වීමෙන් පස්සේ මට වෙළෙද දැන්වීම් ගොඩක් කරන්නට අවස්ථාව උදාවුණා. ලයිෆ් බෝයි, සතොස, මංචි, විජය තේ, නිව්ඩෙල්, එච්.එන්.බී, කොමර්ෂල්, සම්පත් යන බැංකුවල වෙළඳ දැන්වීම් සමඟ මම කලා ක්ෂේත්‍රයට මුලින්ම අවතීරණය වෙනවා. ඒ ගමන මම අද වන විට මේ දිනවල කවුරුත් කතාබහ කරන නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ ජිත්මිගේ චරිතය දක්වා පැමිණියා.

මේ දවස්වල නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ ජිත්මි මොන වගේද?

අම්මා කියන දේ අහන් නැති ආදරේ නැති තාත්තටත් අක්කටත් ආදරේ කරන දඟ ළමයෙක්. මම අම්මට කොච්චර ආදරේ නැති උනත් අම්මා මට ආදරේ කරන හොඳ වගේම නරක ළමයෙක් ගේ චරිත ලක්ෂණ පෙන්වන ජිත්මි. මගේ අම්මා ලෙස රංගි රාජපක්ෂ නැන්දාත් තාත්තට රඟපාන්නේ කමල් දේශප්‍රිය මාමායි. අක්කට ඉන්නේ කනුෂ්කි අක්කියි. මේ තුන්දෙනත් එක්ක විනෝදෙන් සතුටින් මම නපුරු ජිත්මි ලෙස රඟපානවා.පද්මාලෙස ප්‍රියන්වදා නැන්දාත් අපි සමග රඟපානවා. කොළඹ අවට මේ ටෙලි නාට්‍ය රුපගත කිරිම් සිදු කරන්නේ. මේ වන විට දෙරණ නාලිකාවෙන් විකාශනය වෙන මෙම නාට්‍යය ප්‍රේක්ෂකයන් ආදරයෙන් බලන නාට්‍යයක් බවට පත්වෙලයි තියෙන්නේ. ගොඩක් දෙනෙක් මම ඉස්කෝලේ යන විට මේ ජිත්මි නේද කියලා අහනවා. මට සමහරක් අය නිකිණි කුසුම් නාට්‍යයේ නපුරු ළමයා නේද කියලත් කියනවා ඇහෙනවා. පාසලේ ගුරුවරු සහ සියලූම දෙනා යාළුවො මට ඒ චරිතය හොඳට රඟපානවා කියලා කියනවා. ගොඩක් දෙනෙක් මට සිධංගනා කියනවා වෙනුවට ජිත්මි කියලයි දැන් කතා කරන්නේ. ඒ නිසා හරිම සතුටක් දැනෙනවා මාව ඒ කට්ටිය අඳුරගෙන ඉන්න එක ගැන.

2022 වර්ෂයේ ඔබේ ගමන් මඟ වෙනත් දිශාවකට හැරෙව්වා නේද?

මගේ අම්මගේ හා අක්කගේ තිබුණු හීනයක් මම ඉෂ්ට සිද්ධ කළා කියලයි මම හිතන්නේ. ස්වර්ණවාහිනී නාලිකාවෙන් පවත්වනු ලැබූ සිඟිති අවුරුදු කුමාරී තරගයට අක්ක මාව දාලා ඇප්ලයි කරා. මේ තරඟය සඳහා රටේ හැම තැනින්ම ගොඩක් කට්ටිය ආවා. තරගයේ සඳහා වට පහක් විතර තියලා තමයි අවසාන දොළොස් දෙනා තෝරා ගනු ලැබුවේ. මේ අවුරුදු කුමාරි තරඟය විශේෂත්වය වන්නේ online අවුරුදු කුමාරි තරගයක් වීමයි. දොළොස් දෙනාගේ වටේට ආවට පස්සේ තමයි අපි සියලු දෙනාම සජීවී තරගයට සහභාගී කරගත්තේ. මේ තරඟය සඳහා සහන් රංවල සර් තමයි අපිට නැටුම් පුරුදු කළේ. ඒ කාලය තුළ මම හරිම විනෝදයෙන් කාලය ගත කරා. ලංකාවේ උතුරේ සිට දකුණටත් හැම පළාත් වලින්ම ආපු මගේ යාළුවොත් එක්ක පුදුම විදිහට අපි අපේ දේවල් හුවමාරු කරගත්තා. අවසාන මහා තරගයේදී මම අවුරුදු කුමාරිය වුණා. ඒ තරඟයේ තෑගි බෝග චොකලට්, මල් බොකේ එකක් ක්‍රවුන් එකක් සහ වව්චර් එකක් මට ලැබුණා.ඒ ලැබුණු තෑගිබෝග වගේ නෙවෙයි මම දුන්න තෑග්ග අම්මටයි අක්කටයි කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. ඒ දෙන්නා එකතුවෙලා මේ තරඟයට ඉදිරිපත් කිරීම නිසා අද මම කලා ක්ෂේත්‍රයේ දුර ගමනක් එන්න අවස්ථාව හිමි වෙලා තියෙනවා.

සිඟිති අවුරුදු කුමාරිය එලෙස ලැබුණු තෑග්ග ආල්‍යා මුස්ලිම් ළමා චරිතයක් නේද?

2022 සිඟිති අවුරුදු කුමාරිය ලෙස ස්වර්ණවාහිනී අභිෂේක ලැබුවාට පසුව. අවුරුදු තෑග්ගක් ලෙස මට ලැබුණේ. ඒ දවස්වල රූපගත කිරීම් කරන මැස්සා ටෙලිනාට්‍යයේ ළමා චරිතයක්. දුප්පත් පවුලක අම්මා තාත්තා දෙන්නම නැති මුස්ලිම් ගැහැනු ළමයකුගේ චරිතයක්. එයා නමින් ආල්‍යා ලෙස මැස්සා ටෙලි නාට්‍යයේ නම් කර සිටියා. මගේ මුල්ම ටෙලි නාට්‍ය ලෙස රංගනයේ යෙදෙන විට මම හරි බයෙන් ඒ චරිතය කළේ. පසුව නිෂ්පාදක කණ්ඩායම මගෙත් එක්ක යාළුවෙලා මට ඒ චරිතය කරන්න උදව් කළා. කොටස් දහයක සහ පහළොවක විතර මම ආල්‍යා රංගනයේ යෙදුණා. මම හරිම ආසාවෙන් ඒ චරිතයේ ජීවත් වුණා. මැස්සා ටෙලි නාට්‍යයෙන් පසු පෝය නාට්‍ය කිහිපයකම රංගනයේ නිරත වුණා. මේ කාල වකවානුවේම හේල්ල්‍ය කියලා ටෙලි ඩ්‍රාමා එකකද රඟපෑමට අවස්ථාවක් ලැබුණා. ප්‍රීති කියන චරිතයට ගොඩක් ප්‍රේක්ෂකයන් අවධානය යොමු කරලා මට සුභ පතන්න ගත්තා ඒ වෙනුවෙන්.

ප්‍රවීණ ගායන ශිල්පි ආත්මා ලියනගේ ගීතයක් කවර් මියුසික් වීඩියෝ එ⁣ක ඔබේ රඟපැම සමාජ මාධ්‍ය වැඩිම නැරඹුම් වාර සංඛාවක් සටහන් කළා නේද?

ආල්‍යා චරිතයෙන් හා ඉසුරු ද සිල්වා මාමාගේ පොඩි වැඩ්ඩෝ වැඩසටහනින් පසුව තමා මට මියුසික් වීඩියෝ එක රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. මම කරපු වෙළෙද දැන්වීම් සහ මැස්සා ටෙලි නාට්‍යයේ චරිතය මේ සියලු දේටම ඉවහල් වුණා. මියුසික් වීඩියෝ එකට මාව තෝරාගන්නා විට මම දැනගෙන හිටියේ නෑ ආත්මා ලියනගේ මාමාගේ කවර් ෂෝන් එකක් වෙනුවෙන් මට රඟපාන්න තියෙන්නේ කියලා.රවිදු ඒකනායක අයියගේ තමයි මේ කවර් ෂෝන් එක. අයියට සහ ඒක අධ්‍යක්ෂණය කළ මාමාට ඕන විදිහට මම රඟපෑවා ඒ මියුසික් වීඩියෝ එකේ. අද වන විට ගොඩක් දෙනෙක් ඒ music video එක නරඹලා තියෙනවා. කොළඹ අවට තමයි මේකේ රූපගත කිරීම් සිදු කළේ. තවත් මියුසික් වීඩියෝ කිහිපයකම රඟපාලා තියනවා. රුක්ෂානා දිසානායක මිස්ගේ අලුත් මියුසික් වීඩියෝ එකකටත් සම්බන්ධ වුණා. තවත් අලුත් කිහිපයකටම කතා කරලා තියෙනවා. ඒවට ඉදිරියේ සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ.

පාසලෙන් ඔබේ ගමනට ලැබෙන සහයෝගය කොහොමද?

පාසලේ මම ඇරොබික් ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරත වෙනවා. ඊට අමතරව මම නාට්‍ය වලට සහ නර්තනය හදාරනවා. ඊට අමතරව පාසලේ සෞන්දර්ය හැම කටයුත්තකටම සහ පාසල වෙනුවෙන් කරන අනිත් සියලූම කටයුතු සඳහා මගේ සහයෝගය ලබා දෙනවා. ඒත් තරඟ අංශ නියෝජනය කරන පාසලේ ප්‍රධාන පෙළේ නාට්‍යවලට මේ වෙනකම් මම සම්බන්ධ වෙලා නැහැ. ඒ සඳහා අවස්ථාවක් ලැබෙනකම් මම බලාගෙන ඉන්නවා. පාසල් වේදිකාවට මම හරිම කැමැත්තක් දක්වන ශිෂ්‍යාවක්. මේවන විට සුමිත් ගල්හේන සර්ගේ වේදිකා රංග කලාව පාඨමාලා කිහිපයක්ම මම හදාරලයි තියෙන්නේ. මේ දවස් වල ගොඩක් දෙනෙක් මට සිධංගනා කියනවට වැඩිය දැන් ජිත්මි කියලයි කතා කරන්නේ. ඒ දෙරණ නාලිකාවේ විකාශනය වන නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ ජිත්මි නිසයි. නාට්‍යයේ ප්‍රධාන භූමිකාව ජිත්මියි. පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය මට ගොඩක්ම මේ ගමනට උදව් කරනවා. ඒ සියලු දෙනාගේ ආශිර්වාදය මැද අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් කලා කටයුතු වල මේ වන විට නිරත වෙනවා.

2024 වර්ෂයේ රයිගම් ටෙලි සම්මානයක් හිමි වුණා නේද?

හේල්‍යන් ටෙලි නාට්‍යයේ පිංකිගේ චරිතය වෙනුවෙන් 2024 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයක් හිමිවුණා. මගේ පළවෙනි සම්මානය වෙන්නේ රයිගම් සම්මානයයි. පිංකිගේ චරිතය රඟපාන කොට ගොඩක් ආසාවෙන් කළේ. හේල්‍යන් ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් ගොඩාක් නරඹපු ජනප්‍රිය නාට්‍යයක් වුණා. පිංකිගේ චරිතය මට ගෙනත් දුන්න සම්මානය දවසේ අම්මයි අක්කත් ඇවිත් හිටියා ඒදෙන්නට සතුට වැඩි කමට ඇඩෙන්නත් ඇවිත්. එදා ලැබුණු සම්මානය සමග මට පාසලේ ගුරුවරු, මගේ යාළුවෝ නෑදෑ හිතවතුන් ගොඩක් දෙනෙක් වෙනදාට වැඩි ආදරේ කරන්න පටන් ගත්තා. ඉන් පසුව ගොඩක් ටෙලි නාට්‍යවල සහ ථභඵඪජ මඪඤඥධ සහ සිනමා පටයකටත් ආරාධනා ලැබුණා.නාට්‍යයේ අධ්‍යක්ෂතුමා ඇතුළු සියලූම නිෂ්පාදක කණ්ඩායමට ස්තුති කරනවා මට ඒ චරිතය ගොඩනගා ගන්නට අවස්ථාව දුන්නාට.

රයිගම් සම්මානය ලැබීමෙන් පස්සේ සිනමා පටයකට අවස්ථාව ලැබුණා නේද?

හේල්‍යා නාටයේ පිංකි මගේ රංගන ගමනට ලොකු අත්වැලක් සැපයුවා. ඉන් පසුව මම ආශාවෙන් බලා සිටි සිනමා පටයක රඟපාන්න අවස්ථාව ලැබුණා. මේ සිනමා පටය නම අත්පුඩියි. මගේ චරිතය වෙන්නේ පොහොසත් පවුලක දුවෙක්, රිය අනතුරකින් අම්මයි තාත්තයි දෙන්නම නැතිවුනාට පස්සේ අනතුරෙන් සිදුවූ කම්පනයත් සමඟ කතා කර ගන්න බැරි ගොළු චරිතයක් බවට පත්වෙනවා. සිනමා පටයේ ප්‍රධාන චරිතය ලෙස සින්දු බබා ලෙස හා චූටික්කී ලෙසයි සිනමාපටයේ රඟපාන්නේ. මේ සිනමා පටයේ බන්දු සමරසිංහ, රොඩ්නි වර්ණකුල මාමලා සමඟ තාරුකා වන්නිආරච්චි නැන්දා, දේශානි අක්කි හා තව ගොඩක් දෙනෙක් මමත් සමඟ රඟපානවා. කොළඹ අවට සහ බණ්ඩාරගම තමයි රූපගත කිරීම් සියල්ල සිදු කළේ.දැන් සියලුම රූපගත කිරීම අවසන් කරලා පසු නිෂ්පාදන කටයුතු අවසන් වීමෙන් පසු ප්‍රේක්ෂකයන්ට නරඹන්න එන දවස එනකම් මම ඇඟාලි ගනිමින් බලාගෙන ඉන්නවා.

වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන තුනෙන් වඩාත් කැමැත්ත දක්වන්නේ මොකටද?

මම වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ වේදිකාවට සහ ටෙලි නාට්‍යයවලටයි. ඒවගේම සිනමාවටත් කැමතියි. රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ වේදිකාවෙන්. මගේ අධ්‍යාපන කාලය තුළ පාසලෙත් වැඩිපුරම ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ වේදිකාවෙන්. අධ්‍යාපනයට මුල් තැන දෙමින් කාලය සමබරතාවයෙන් පවත්වා ගනිමින්.ළමයකුට රඟපාන්න පුළුවන් චරිත සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ළමයින්ගේ චරිත රඟපාන්න මම ගොඩක් කැමතියි. දැනට මම ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකා වල විකාශය වූ සසර සෙවණැලි, දුරුතු මන්දාරම, මැස්සා, හේල්‍යන්, නිකිණි කුසුම් සමඟ music video සහ වාර්තා වැඩසටහන්, වෙළඳ දැන්වීම් ප්‍රේක්ෂකයන් වැලඳ ගත්ත චරිත ගණනාවක්ම නිරූපණය කළා. ඒ තුළින් සම්මාන ලැබීමත් මට විශේෂත්වයක්. ඉදිරියේදී විකාශය වීමට හා තිරගත වීමට තියෙන නිර්මාණ තුළින් විවිධ චරිතවලින් මාව හඳුනා ගන්න පුළුවන්.

කලා ක්ෂේත්‍රය ඉන්න ප්‍රවිණ යන්ගෙන් ලැබෙන සහායෝගය කොහොමද?

මම ආධුනිකයකු ලෙස ක්ෂේත්‍රය පැමිණියා. ඒ වන විට කිසිදු අවබෝධයක් වත් තිබුණේ නෑ. එහෙම ඉන්න විට ප්‍රවිණ මාමලා නැන්දලා මගේ චරිතයට අවශ්‍ය සියලු උපදෙස් ලබා දුන්නා. ඉඩකඩ ලැබෙන සැම මොහොතකම රංගනය පිළිබඳව අලුතින් යම් යම් කියාදුන්නා. මම කරපු හැම චරිතයකටම මාව ඇගයීමට ඔවුන් ලක් කලා. මම හැමදාම දර්ශන තලයට ගියාම දන්නැති දෙවල් අහගෙන ඉගෙන ගන්නවා. බන්දු සමරසිංහ, කමල් දේශප්‍රිය මාමලාගෙන් ගොඩක් දෙවල් අහාගෙන ඉගෙන ගත්තා. රඟපානවා වගේම අධ්‍යාපන කටයුතු මඟ හැරගන් එපා හොඳට ඉගෙන ගත්තොත් මේ ඔයා කැමති හැම චරිතයක්ම ලැබෙයි කියලා මට හැමදාම කියාදුන්නා. ඒවා මගේ ජිවිතයට ගොඩක් වටිනවා. කලා පවුලේ සියලු දෙනාගෙන්ම මම දන්නැති දෙවල් ඉගෙන ගන්න මම හරිම කැමත්තෙන් ඉන්නේ.

නිරූපණ ශිල්පිනියක් විමේ අරමුණ මොකක්ද?

මම රඟපාන්න ආස වගේම තමයි,දැඩි රුචිකත්වයක් නිරූපණ ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වනවා .ලංකාවේ ප්‍රධාන පෙළේ නිරූපණ ශිල්පිනියන් ශිල්පීන් පුහුණු කරන මහරගම modelling school  එකක සති හයක පමණ කාලසීමාවක් මම නිරූපණය ඉගෙන ගත්තා.මාත් එක්ක ළමයි විස්සක් විතර නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ ඉගෙන ගන්න ඇවිත් හිටියා. පාඨමාලාවෙන් පස්සේ පවත්වනු ලැබූ Fashion show  එකේදී Beauty model උණා. මේ තරගයට ඉදිරිපත් විමේදී මම පොඩි බයකුත් මට ඇතිවුණා. ඒත් දෙවැනි වටයේදී මගේ බය නැතිවෙලා ගියා. එදා ඉගෙන ගත්ත දේ මට අද මගේ රඟපැම් වෙනුවෙන් යොදා ගන්නට ලැබෙනවා.

සිධංගනා වැඩියෙන්ම රඟපාන්න කැමති මොනවගේ ටෙලි නාට්‍යයවලද?

මම ආශා කරන්නේ ප්‍රෙක්ෂකයාට කෙටි කාලයක් තුළ පොතක් කියෙව්වා වගේ කියවලා කතාව මතක තියාගන්න පුළුවන් නාට්‍යයවලටයි. කොටස් 50/60ක කාලයකට ⁣ගෙනාපු ප්‍රෙක්ෂකයන් කැමති නාට්‍යයි. මෙගා නාට්‍යවලට මම කැමති නෑ. එහෙම වුණාම මගේ පාසල් වැඩත් මඟ හැරෙනවා.

පවුලෙන් ලැබෙන සහායෝගය කොහොමද?

මට අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි, ඉන්නේ. ඒ හතරදෙනා මගේ කලා කටයුතුවලට ගොඩක් උදව් කරනවා. ඒත් වැඩියෙන්ම මට උදව් කරන්නේ අම්මා තමයි මේ හැම කටයුත්තකටම මාව එක් කරගෙන ගිහිල්ලා. මේ වෙනකම් මම කලා කටයුත්තකට කිසිදාක අම්මා සහ අක්කා සමඟ ඇරෙන්න ගිහිල්ලා නැහැ. මට ගෙදර අය සහ අනිත් අය හැමෝම දැන් කතා කරන්නේ චූටික්කි කියලයි. ඒ මගේ ඉස්සරහට එන්න තියෙන සිනමා පටයේ චරිතය නිසා. මමත් පුළුවන් හැම වෙලාවෙම අම්මාගේ වැඩවලට උදව් කරනවා. අම්ම රැයක් දහවලක් බලන් නැතුව මම වෙනුවෙන් කාලය කැප කරලා රඟපාලා ඉවර වෙලා එනකන් බලන් ඉන්නවා ගෙදර එක්කරන එන්න. මගේ වැඩ කටයුතු වලට උපරිම සහයෝගයක් සියලු දෙනාගෙන්ම ලැබෙනවා.

ජිත්මි හා චුටික්කිගේ ඉදිරි ගමන මොනවගේද?

හොඳට අධ්‍යාපනය කටයුතු කරලා ඉදිරියේදී රංගනය සහ නිරූපණය කියන දේ හොඳීන් හදාරලා දක්ෂ ශිල්පිනියක් වෙන්න තමයි මගේ එක බලාපොරොත්තුවක් වෙන්නේ.ඒ වගේම මගේ තවත් හිනයක් තියෙනවා චෙෆ් කෙනෙක් වුණොත් හොඳයි කියලා. මට හොඳට කෑම උයන්නත් පුළුවන්. පරිසරය සහ සෞන්දර්යය කියන විෂයන් දෙක මගේ කැමතිම විෂයන් දෙක වෙනවා. අපි සියලු දෙනා මේ දෙකට ආදරය කළොත් තමයි ජීවිතයේ පැවැත්මක් තිබෙන්නේ. අපි අපිට උදව් කරගන්නවා වගේම අනුන්ටත් උදව් කරන්න මම හරිම ආසයි. මාව සම්මානයක් ලබාගන්න ඉහළට ඔසවා තිබ්බ සියලූම ප්‍රේක්ෂකයන්ටත් මට උදව් කළ නැන්දලා මාමලා අයියලා, අක්කලා සියලුම දෙනාටත් පාසලේ විදුහල්පති තුමිය ඇතුළු සියලූම ගුරු මව්,පියවරුන්ට මම මෙය අවස්ථාවක් කරගන්නවා ස්තුතිය පුද කරන්න. මේ දිනවල විකාශනය වන නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ ජිත්මිත් ඉදිරියේදී තිරගතවීමට නියමිත අත්පුඩි සිනමා පටයේ චුටික්කිත් කියන චරිත දෙක හැමදාම ප්‍රේක්ෂක ඔයාලට ආදරෙයි කියන්නයි මම කැමැති.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT