Home » දැන් මට සුවයි නැවත රඟපාන්න පුළුවන්

දැන් මට සුවයි නැවත රඟපාන්න පුළුවන්

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී සමන්ති ලැනරෝල්

by Thanushika
February 6, 2025 10:52 am 0 comment

60 දශකයේ දී සිනමාවට පිවිසි ඇය අද වන විට සිනමාව පමණක් නොව වේදීකාව, ටෙලිනාට්‍යය හරහා ද තම දස්කම් ඔස්සේ විවිධ චරිත නිරූපණය කරමින් සම්මාන ගණනාවක් මේ වන විට හිමි කර ගෙන ඇත. පසුගිය කාලයේ ‘දෙවෙනි ඉනිම’ ටෙලි වෘතාන්තයෙහි නපුරු ටීචර් ලෙස ජනාදරයට පත් වූ ඇය මෙවර අප හා පිළිසදරෙහි යෙදුනා. ඇය නමින් රංගන ශීල්පීනි ජ්‍යෙෂ්ඨ සමන්ති ලැනරෝල්.

මේ දිනවල ඔබේ වැඩ කටයුතු මොනවාද?

මම අවසානයට සහභාගී වුණේ දෙවෙනි ඉනිමේ.වාසනාවකට දෙවෙනි ඉනිමේ මගේ චරිතය ඉවර වෙන තුරු මට රඟපෑමට යන්න පුළුවන් වුණා. මගේ චරිතය ඉවර වුණාට පස්සේ බොහොම ටික කාලකින් හෘද සැත්කමට භාජනය වුණා. ඉන් අනතුරුව මාස කීපයක් ඇතුළත විශාල රිය අනතුරකට මං මුහුණ පෑවා. වැඩකටයුතුවලට දැන් සහභාගී වෙන්න අකමැති කමක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ශරීර සෞඛ්‍ය හොඳ තත්ත්වයට පත්වන තුරු කිසිම රූපගත කිරීමකට සහභාගී වුණේ නැහැ. ටිකක් සුවදායක තත්ත්වයට පත් වුණහම ඉදහිටලා පෝය නාට්‍ය දෙක තුනකට සහභාගී වුණා. දැන් මට සුවයි.

ඔබේ පවුලේ අයගේ විස්තර ටිකක් කියමු.

අපේ තාත්තා වතු අධිකාරීවරයෙක්. තාත්තා සහ සීයා වයඹ පළාතේ වතු යායවල් පාලනය කළා. අපේ පවුලේ අම්මා, තාත්තා, අක්කා, නංගීලා දෙන්නා, මල්ලී සහ මම ඉන්නේ. බාල නංගී අවිවාහකයි. මම ඇතුළු අනිත් සහෝදර සහෝදරියෝ විවාහකයි. බාල නැගණිය නමින් දේවිකා සුරම්මි.ඇය රංගන ශිල්පිනියක් වගේම ඇදුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කරනවා. අනිත් බාල සොහොයුරිය වසර කීපයකට ඉහතදී මිය ගියා.

ඔබේ පාසැල් කාලය පිළිබඳ මතක් කරොත් ?

මම මූලික අධ්‍යාපනය ලැබුවේ නාත්තණ්ඩියේ වලහපිටිය රෝමානු කතෝලික බාලිකා පාසැල් දීය. ඉන්පසුව නාත්තණ්ඩිය ලූර්දු පාසැලට 5 වසර දක්වා ගියා. නාත්තණ්ඩිය ලූර්දු පාසැලේ දී මම 4 වැනි පංතියේ ඉගෙනුම ලබන කාලේ විජය කුවේණී නමින් මුද්‍රා නාට්‍යයක් කරා. එහි විජය ලෙස මං රඟපෑවා. ඊළඟ වසරේ දී තව මුද්‍රා නාට්‍යයක් කළා රාධා ක්‍රිෂ්ණා කියලා. එහිදී රාධාට මං රඟපෑවා. ඒවා පාසැල් ජීවිතේ රඟපෑ කැපී පෙනුණු චරිත දෙක. ලූර්දු පාසැලේ 5 හේ පන්තියේදී සමස්ත ලංකා සාහිත්‍යය උළෙලදී පද්‍ය තරගවලින් පළමුවැනි ස්ථානයට මාව තේරුණා. ඊට පසුව වෙන්නප්පුවේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට මාව ඇතුළත් කලා. මම ඒ කන්‍යාරාමයේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා.

ඔබ පසුකාලීනව වේදිකා නාට්‍යවල රඟපෑවා ද?

වේදිකා නාට්‍ය 35 ක පමණ මං රඟපෑවා. මගේ මුල්ම වේදිකා නාට්‍යය ජයසේකර අපොන්සුගේ “සීමා බන්ධන”. මම පාසැල් අවධියෙන් පස්සේ වේදිකා නාට්‍යවල රඟපාලා නැති නිසා මුලින්ම සහභාගී වෙන්න අකමැති වුණත් ජයසේකර අපොන්සු මාව ඒත් ගත්තා. මම සීමා බන්ධනයෙහි රඟපෑවේ අනාථ නිවාසයක දැරියක විදිහටයි. 80 දශකයේ සීමා බන්ධන කළේ. අන්තිමට කරපු වේදිකා නාට්‍ය ගැන මට මතකයට ආවේ නැහැ.

රංගනයට වරම් ලැබුණේ කොහොමද ?

සරසවිය පුවත්පතේ පළ කර දැන්වීමක නවක නළු නිළියන් අවශ්‍යයි කියලා තිබුණා. මම ඒකට Application Fill  කර මගේ ජායාරූපයක් සමඟ අදාළ සමාගමට යැව්වා. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් 10 දෙනෙක් පමණ තෝරාගත්තා. ඒ දස දෙනා අතර විජය කුමාරතුංග, අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන් සහ මම ද ඇතුළත් වුණා. 1967 දී සුගතපාල සෙනරත් යාපා මහතාගේ පළමුවැනි චිත්‍රපටිය වන “හන්තානේ කතාවෙන්” අපි කලා ලෝකයට පළමුවැනි වතාවට අඩිය තිබ්බේ ඒ ආකාරයටයි.

රංගන ශිල්පිනියක වීමට ගෙදරින් බාධා පැමිණියේ නැද්ද?

පත්තරේට Application එක හොරෙන් දැම්ම නිසා ගෙදරින් බැනුම් අහන්න වුණා. තාත්තා ගේ Office Room එකට ගිහින් Letter Head  එකේ Application  එක ලියලා මං විශාල වැරැද්දක් කරලා තියෙන්නේ. මේ නිසා මට බම්බලපිටියේ Interview Board  එකට සගවන්න බැරි වුණා. දෙමව්පියන්ට හොරෙන් තනියම ආවාද කියලා එයාලා මගෙන් ඇහුවා. අම්මාගේ ඈතින් නෑදෑයෝ වෙන පුංචි කෙනෙක්ව එදා මං එක්කන් ගියා.

ඔබ වෘත්තීයෙන් රංගන ශිල්පිනියක් ද නැත්නම් මීට අමතරව වෙනත් ක්ෂේත්‍රයන්හි නියැළුනාද?

මට අධ්‍යාපන සුදුසුකම් තිබුණත් රංගන ජීවිතය පටන් ගත්තාට පස්සේ වෙන රැකියාවකට යන්න තරම් කාලවේලා තිබුනේ නැහැ. මම සතියකට එක චිත්‍රපටියක් ගානේ මාසෙකට චිත්‍රපටි 3, 4 ක රඟපෑවා.

ඔබේ ආදරණීය සැමියා හමූ වූ ආකාරය දැනගන්න ඔබට ආදරේ කරන රසික රසිකාවන් කැමතියි.

අපි ඒ පිළිබඳවත් කතා කරමු.

මම රඟපෑ “හන්තානේ” චිත්‍රපටිය රූපගත කර අවසාන වන විට ඒ චිත්‍රපටියේ සහාය අධ්‍යක්ෂකවරයා වන සෝමපාල ලැනරෝල් මහතාගේ යෝජිත විවාහයකට මං කැමැත්ත දැක්වූවා. 1969 දී අපි විවාහ වුණා. දෙමව්පියෝ තදබල ලෙස විරුද්ධ වෙන බව දන්න නිසා මුලින් මං කැමති වුණේ නැහැ. විජය කුමාරතුංග, ස්වර්ණා මල්ලවආරච්චි වන මගේ සමකාලීන යහළු යෙහෙළියන් ඔහු හොඳ කෙනෙක් කැමති වෙන්න කියලා මට බලකලා. දළුගම මට රූපගත කිරීමක් තිබුණ නිසාත් අපේ ගෙදර කොළඹට දුර නිසාත් අම්මයි මල්ලීයි අපේ නැදෑ කෙනෙකුගේ ගෙදර මාව නතර කළා. එහිදී අපේ ආච්චි එක්ක කතාබහ කරලා හිත දිනාගෙන ඔහු දෙමාපියන්ගෙන් කැමැත්ත ගත්තා. අපේ විවාහය උත්සවය හන්තානේ කතාව චිත්‍රපටියේ කැමරා අධ්‍යක්ෂක වන සුමිත් අමරසිංහ සහ එම මැතිනියගේ සහභාගිත්වයෙන් සිදු කළහ.

ඔබේ දියණිය ගැන සඳහන් කළොත්.

ඇය කලා ක්ෂේත්‍රයට යොමු නොවූයේ ඔබ අකමැති නිසාද නැත්නම් ඇය ඒ කෙරෙහි කැමැත්තක් නොතිබුණු නිසාද?

මමත් මගේ ස්වාමීපුරුෂයාත් දෙදෙනාම කලාවට සම්බන්ධ නිසා ඇයට පොඩි කාලේම කලාවට ඒමට ඉහළින්ම අවස්ථාව ලැබුණා. මගේ සැමියා විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටි කිහිපයක ඇය ළමා චරිත රඟපෑවා. ඇය ඉගෙන ගත් බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පාසැල් කාලය අවසන් වනතෙක් රඟපාන්න අවසර දුන්නේ නැහැ. ඇය බැලේ නර්තනය අවුරුදු 7 ක් හැදෑරුවා. වාණිජ අංශයෙන් උසස් පෙළ ඇය හැදෑරුවා. උසස් පෙළ විභාගයෙන් පසු ඇය ශ්‍රී ලංකා ගුවන් සමාගමේ රැකියාවෙහි නිරත වුණා. නමුත් එයා මගේ සැමියාගේ අධ්‍යක්ෂණ වැඩකටයුතු ඉගෙන ගත්තා. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්.

එදා මෙදාතුර සිනමාපටවල කොපමණ ගණනක් රඟපාලා තියෙනවාද ? එහිදී ඔබට අමතක නොවන චරිතයක් තියෙනවා ද?

චිත්‍රපටි 100කට වැඩිය දායක වෙලා තියෙනවා. මගේ මුල්ම චිත්‍රපටිය “හන්තානේ කතාව”. ලංකාවේ ප්‍රසිද්ධ කලාකාරිනියක් විදිහට මං ප්‍රසිද්ධ වුණේ “දුහුළු මලක් “චිත්‍රපටියේ ලෙච්චමී චරිතය තුළිනි. ඒක මගේ තුන්වෙනි චිත්‍රපටිය. මම දෙමළ තරුණියක් විදිහට හොඳට රඟපානවා කියලා 1988 දී ජාතික රූපවාහිනීයේ “නන්දන වින්දන” වැඩසටහන සදහා එහි Studio  එකේ ෆ්‍රෙඩී සිල්වා සමඟ සින්දුවකට රඟපෑවා. එම ගීතය වන “තේ කූඩය පිටේ බැදන් නුඹ එනවා කන්ද උඩින්” ගායනා කළේ ෆ්‍රෙඩී සිල්වා සහ කලාවතී.

සිනමාවේ ඔබට ගැලපෙන නළුවා කවුද?

දුහුළු මලක් චිත්‍රපටියේ මංගල දර්ශනය දැකලා එහි අධ්‍යක්ෂවරයා වන විල්ෆ්‍රඩ් සිල්වා මහතාගේ “අක්කේ මට අවසරයි” චිත්‍රපටියේ ෆ්‍රෙඩී සිල්වා එක්ක පළමුවැනි වතාවට රඟපෑවා. ඊට පස්සේ හර්බට් රංජිත් පීරීස් මහතාගේ “සිල්වා “කියන චිත්‍රපටියේ ෆ්‍රෙඩී සිල්වා එක්ක රඟපෑ අතර ඉන් අනතුරුව ඔහු සමඟ චිත්‍රපටි ගණනාවකම එක දිගට රඟපාන්න අවස්ථාව මට ලැබුණා.

ඔබ ටෙලිනාට්‍යවල රඟපෑම සඳහා අවතීර්ණ වුණේ කොයි කාලේද? දැනට ටෙලිනාට්‍ය කීයක පමණ රඟපාලා තියෙනවාද ?

80 දශකයේ “ලොකු අයියා” ටෙලිනාට්‍යයේ මම මුලින්ම රඟපෑවා. එහි අධ්‍යක්ෂකවරයා සෝමවීර බෝපිටිය මහතායි. මට අමතක නොවන එක් ටෙලිනාට්‍යයක් තමයි රතු අහස. එය අධ්‍යක්ෂණය කළේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතාය. 90 දශකයේ ටෙලිනාට්‍යයක් වූ රතු අහසෙහි මගේ පුතාට සිටියේ ධනංජය සිරිවර්ධන. ඉඳි ආප්ප විකුණමින් ලෑලී ගෙදරක ජීවත් වන දුප්පත් අම්මා කෙනෙක් ගේ චරිතයක් මං එහි රගපෑවේ. මම අන්තිමට රඟපෑවේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයෙහි නපුරු මල්ලීකා ටීචර් ගේ චරිතයයි. එයත් මට අමතක නොවන චරිතයකි.දැනට මං ටෙලිනාට්‍ය 200 ක පමණ රඟපාලා තියෙනවා.

සිනමාව හා ටෙලිනාට්‍ය රංගනයන් සදහා 2014 දී හිමි වූ කලා භූෂණ සම්මානය ත් ඒවගේම OCIC  සම්මාන, සරසවිය සම්මාන ඇතුළු සම්මාන 25 ක් පමණ මේ වන විට මට ලැබීලා තියෙනවා.

පුංචි තිරයේ ඔබ වැඩියෙන් රගපාන්න කැමති කුමන නළු නිළියන් සමග ද ?

ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙන හැම නළු නිළියන් සමඟම මං සුහදව කටයුතු කරනවා. මං කිසි කෙනෙකුගෙන් බැනුම් අහලා නැහැ. කතාන්දර අහලා නැහැ. හැමදෙනාම මට කැමතියි.

ඉදිරියේ දී කරන වැඩකටයුතු මොනවාද ?

1980 සිට අවුරුදු ගණනාවක අත්දැකීමක් මට උද්‍යාන අලංකරණය පිළිබඳ තියෙනවා. මං රඟපාන කටයුතු අතරතුර තමයි මේවා කළේ. තාමත් මං උද්‍යාන අලංකරණ කටයුතු සඳහා කවුරුන් හෝ විමසුවොත් ඊට දායක වෙනවා. ඉදිරියේදී මට ගැළපෙන ටෙලිනාට්‍යයකට හෝ චිත්‍රපටියකට ආරාධනා කළොත් ඊට මං සහභාගී වෙනවා.

අවුරුදු 60 කට ආසන්න කාලයක් මම කලා ලෝකයට කැපවීමෙන් කළ සේවය අගය කොට මට ජීවත් වීමට නිවසක් රජයකින් ලබාදිය හැකි නම් මම එය ඉතා අගය කොට සලකනවා.

 

වසුන්දරා කුමාරී ධර්මරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT