නිවස විශේෂාංග දැන් බලාපොරොත්තුව නවකතාවක් එළිදක්වන්නයි

දැන් බලාපොරොත්තුව නවකතාවක් එළිදක්වන්නයි

ගීත රචක, ලේඛක ජයන්ත ජෝතියරත්න

by Mahesh
September 5, 2024 12:30 am 0 comment

කවියකු, ගීත රචකයකු, ලේඛයකු ලෙස එකවර හඳුනාගත හැකි නිර්මාණකරුවන් සුවිශේෂය. ඔවුන්ගේ නිර්මාණ ඒ ඒ සුවිශේෂි ආකෘතිවල ඔවුන් තැටි කරන ආකාරය අලංකාරය, ඒ සමහර ඉසවු බොහෝ ප්‍රභාමත්ය.

ජයන්ත ජෝතියරත්න මේ මාර්ගවල ගමන් කරන අපූරු නිර්මාණකරුවකු ලෙස අපට නිරීක්ෂණය කළ හැකිය.

ඔබේ ගීත රචනා දිවියේ මූලාරම්භය කෙබඳුද?

මගේ මිතුරකුගෙ යෝජනාවක් තමයි මාව මේ ඔස්සේ ලොකු ගමනකට යොමු කරවන්නෙ. ඔහු මට පුවත්පතක පළවන ගීත රචනා බැංකුවක් පිළිබඳ විස්තර ඇතුළත් කූපන්පතක් ගෙනැවිත් දී මගේ ගීත ඊට යොමු කරන මෙන් මට යෝජනාවක් කළා. මොකද එතකොට මම ගීත රචකයකු විදියට මගෙ නිර්මාණ එකතුවක් එක්ක හිටියෙ. කොහොම හරි ඒ යෝජනාවත් එක්ක මම ඊට මගේ නිර්මාණයක් යොමු කළාම 1989 අගභාගයේ පමණ එය ඒ පුවත්පතේ පළ වුණා. ඉන්පසු 1990 වර්ෂයේ දී පමණ මට හිතවතකුගෙන් දැනගන්න ලැබුණා, මගේ ගීතයක් කැසට් පටයකට ඇතුළත් වී ඇති බව.

විජයබණ්ඩාර වැලිතුඩුව විසින් ගායනා කොට නිකුත් කරන ලද කැසට් පටයකයි ඒ ගීතය ඇතුළත්ව තිබුණේ. ඒ වෙනකොට මම පදිංචි වී සිටියේ ති‍්‍රකුණමලයේ. එකල රටේ යුද්ධය පැවැති අවධිය. රෙකෝඩ් බාර් ආදී තිබුණේම නැති තරම්. ඒ පළාතෙ තිබුණා අජිත් බේකරිය නමින් බේකරියක් එතන විතරක් තිබුණ එකම එක කැසට් පටයක්. මම ඔවුන් හමු වී මේ කාරණය පැහැදිලි කළාම මුලින් ඔවුන් අකමැති වුණත් මගේ ඉල්ලීම මත මට ඒ කැසට් පටය ලබා දෙන්න කැමැති වුණා. ඒ විදියට තමයි මගේ මුල්ම ගීතය ජනගත වුණේ. ඒ යුගයේ පෞද්ගලික නාලිකා කීපයක එය විකාශය වුණා. ඉන් පස්සේ ඒ හැඳුනුම්කමත් සමඟ ඒ යුගයේ, විශේෂයෙන්, තරුණ සේවා සභාවේ ගායන ශිල්පීන් ගණනාවක් මට හඳුනාගන්න අවස්ථාව හිමිවුණා. ඒ අහඹු අවස්ථාවෙන් පස්සෙ තමයි මම ගීත ක්ෂේත්‍රයට වැඩි නැඹුරුවක් ඇතිව දායක වුණේ.

ඊට පෙර ඔබ කවියකු විදිහටයි නිර්මාණකරණයේ නියැළුණේ?

ඇත්තෙන්ම. මුල් යුගයේ කවියට තමයි වැඩි නැඹුරුවක් තිබුණේ. 2009 වසරේ දී තමයි මගේ මුල්ම කවි පොත එළිදැක්වූයේ.

මගෙ රැකියාව ගැන සඳහන් කළොත් මම මුල් කාලයේ ත්‍රිකුණාමල වරායේ සේවය කළේ 2005 වසරේදී තමයි කොළඹ වරායේ සේවයට පැමිණියේ. ඉන් පසුව තමයි නිර්මාණකරණයට වැඩිපුර යොමුවුණේ.

ඔබ මුල් යුගයේ කවියකු විදිහට නිර්මාණකරණයේ යෙදෙන්නෙ. ගීත රචනයේ යෙදෙන්නෙ පසුකාලීනව. ගීතය හා කවිය අතර ඔබ සුවිශේෂ වෙනස්කම් දුටුවාද?

මට දැනෙන විදියට කවියා තමයි ගීත රචකයා වෙන්නෙ. එහෙම ඕිනෙ තරම් උදාහරණ තිබෙනවා. උදාහරණයකට දයාසේන ගුණසිංහ කවියාගේ ‘රන් තැටියක කඳුළු’ කියන පොතේ තියෙන නිර්මාණයක් තමයි ‘එතෙර ගිය දියණියට’ කියල කපුගේ ගායනා කරන්නෙ. කවිය ගීතය වූ එබඳු අවස්ථා බොහෝ තිබෙනවා.

කවිය සහ ගීතය නිවුන් සහෝදරයන් කියල මහගම සේකරයන් කිව්වෙ.

‘ගේය පද නැතිනම් ගැයිය හැකි පද ලෙස වීම එතනදි වැදගත් වෙන්නෙ.

බොහෝ ප්‍රවීණයන්ගෙ පවා අදහස ගීත රචකයෙක් වෙන්න කලින් හොඳ කවියෙක් වෙන්න කියන එකයි. මොකද හොඳ කවියෙක් ඇතුළෙ ඉන්නවා හොඳ ගීත රචකයෙක්. හොඳ කවියෙක් ඉන්නවානම් අනිවාර්යෙන්ම එතන හොඳ ගීත රචකයකුත් ඉන්නවා.

ඉතින් මේ වෙද්දි කවිපොත් හතරක් ගීත පොත් හතරක් මම එළිදක්වා තිබෙනවා.

ඒ අතරින් ගීතයට මම වැඩිපුර කැමැතියි. මොකද එයින් අපට යන්න පුළුවන් දුර වැඩියි කියලා මම විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා ගීතය ඔස්සේ වැඩි පිරිසක් අතර අපේ පණිවිඩය කියන්න පුළුවන් කියලා. ගීතය කියන්නෙ අද හොඳ ජනතා ඉල්ලුමක් තිබෙන මාධ්‍යයක්.

කෙටිකතාවට ඔබ ප්‍රවේශ වෙන්නෙ මොන අවධියේදී ද ?

දෙදහස් පහළොවෙන් විතර පස්සෙ. මගේ පළවෙනි කෙටිකතා පොත එළිදකින්නෙ දෙදහස් විස්සෙදි. කෙටිකතාවත් මම තාමත් අධ්‍යයනය කරමින් ඉන්නේ. මේකෙදිත් මම දැකපු දේ තමයි ඊටත් එක අදහසක් හෝ නිශ්චිත ආකෘතියක් නැහැයි කියන එක. විවිධ ලේඛකයන්ට අනුව කෙටිකතාවට නිශ්චිත හැඩයක් නැහැ කියල මට නිරීක්ෂණය වුණා. ඒ තුළ මම යම් අතරමං වීමක ඉන්නවා.

කෙටිකතා ව ගීතය හෝ කවිය මේ ඕනෑ ම මාධ්‍යයක මූලික පරමාර්ථය කුමක් විදියට ද ඔබ හඳුනාගෙන ඉන්නේ ?

ඒ ඕනෑ ම එකක රස වින්දනය මූලික යි. නමුත් එය ගොඩනඟා ඉවර වනවිට මෙන්න මේ පණිවිඩය මේ විදියට ම තියෙන්න ඕන කියල මම දකින්නේ නැහැ. නමුත් හැම නිර්මාණයකම පණිවිඩයක් තියෙනවා. ඒක විඳීන්නාට වෙහෙසකර නොවන විදියට සියුම් ව වියමන් වීම යි වැදගත්.

දශක හතරකට ආසන්න ලේඛන දිවියේ විශේෂ අවස්ථා ඉදිරි අරමුණු මොනවාද ?

මම ලේඛනයට යොමු වෙන්නෙ පාසල් අවධියේ සිටම. කලක් ප්‍රාදේශීය වාර්තාකරුවකු විදියටත් කටයුතු කළා. රැකියාව අතරතුර දිගටම ලේඛන කාර්‍යයේ නියැළුණා. තවමත් එහෙම යි. ඒ අතරතුර මගෙ ගීත රචනා ඇගැයීමට පාත්‍රවීම නිර්මාණ කාර්යයට විශාල උත්තේජනයක් විදියට මම දකින්නෙ.

මේ වනවිට තව කවි පොතක්, කෙටිකතා පොතක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා විශේෂයෙන් නවකතාවක්. ඒ සඳහා නම් මට යම් කාලයක් අවශ්‍ය යි කියල මම හිතනවා.

ගීත රචනයෙන් නම් මේ වනවිට යම් පමණකට බැහැර වී ඉන්නේ. ඒකට හේතුව තමයි නූතන ගීත රචකයන් නිෂ්පාදකයන් තත්ත්වයේලා බොහෝ දුරට සැලකීම. මේක ඒ තරම් සාධාරණ නැහැ

අතීතයේ එවැනි වටපිටාවක් තිබුණේ නැහැ. අද වෙනස්. නූතන වටපිටාවේ අපේ නිර්මාණයක් ගයන්න නම් බොහෝ අවස්ථාවල අපෙන් මුදලක් අපේක්ෂා කරනවා. ඉතින් ගීත රචකයාට එතකොට නිෂ්පාදකයකු වන්න සිදුවෙනවා. එහෙම කරලත් නිර්මාණයක් ජනප්‍රිය වන අවස්ථාවලදී ඔහු ඉස්මතු නොවන අවස්ථා තියෙනවා . එබඳු අවස්ථාවල ගායකයාගේ නිර්මාණයක් විදියට ඉස්මතු වන අවස්ථා වැඩියි. නවක රචකයකයන්ට මෙය දරාගැනීම පහසු නැහැ. මෙවැනි කාරණා බොහොමයක් එක්ක මම මේ මොහොතේ ගීත නිර්මාණ කටයුතු සමඟ ටිකක් නිහඬ ස්වරූපයෙන් කටයුතු කරන්නෙ.

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT