නිවස විශේෂාංග දශක හයක් පුරා කලාවේ සිටීමට හැකිවූයේ ඈ සතු නිහතමානීත්වය නිසයි

දශක හයක් පුරා කලාවේ සිටීමට හැකිවූයේ ඈ සතු නිහතමානීත්වය නිසයි

- ප්‍රවීණ රූපණවේදී ක්ලීටස් මෙන්ඩිස්

by Thanushika
July 4, 2024 12:30 am 0 comment

මට ශ්‍රියාණි අමරසේනව මුල්වරට මුණගැසෙන්නේ ඇන්ටන් ග්‍රෙගරි අධ්‍යක්ෂණය කළ “පාරමිතා” චිත්‍රපටයෙන්. එය මගේ දෙවැනි හෝ තුන්වැනි චිත්‍රපටය. එහිදී මම ඉතා ආධුනික මට්ටමෙන් හිටියේ. ඇය ඒවනවිටත් ප්‍රවීණ නිළියක්…එහිදී ශ්‍රියාණිට අමතරව විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, ඩී.ආර්. නානායක්කාර වැනි දැවැන්තයන් හතරදෙනෙක් සමඟ රඟපාන්න ලැබීමම මට ලොකුදෙයක් වුණා. එකී දැවැන්ත චරිත එක්ක කරට කර රඟපෑම ගැන එවිට මට සිතාගන්නවත් බැහැ. එහි මම දුෂ්ටයා ලෙස ශ්‍රියාණිට ආදරය කරනවා. මම එහිදී ආධුනිකයෙක් වුණත් ඇය මාව කොන්කළේ නැහැ .අනෙක් ප්‍රවීණයන් සමඟම මටත් සැලකුවා. ඇත්තෙන්ම ශ්‍රියාණි අමරසේන කියන්නේ හිතාගන්නවත් බැරි නිහතමානී නිළියක්. “පාරමිතා” රූගතකිරීම් කරද්දියි මුල්වරට ඇය සමඟ මම කතා කළේත්. ඇය එතරම් නිහතමානී කියලා මම සිතුවේ නැහැ. ඇගේ ඒ නිහතමානීත්වය එදා සිට අද දක්වාම අඩුවක් නැතිව තිබීමත් අගය කළ යුතුයි. ඒක අනෙක් රංගන ශිල්පීන්ටත්, ක්ෂේත්‍රයට එන නවක පිරිසටත් ආදර්ශයක්. ඒවගේම ශ්‍රියාණිගේ බාහිර ස්වරූපය පිළිබඳවත් මට හරිම පුදුමයි. ඇගේ රූප සොබාව එදා වගේමයි අදත්. ඇය රංගනයට පැමිණ දශක 06ක් වුණත් එවා වගේම සුන්දරත්වයක් අදත් ඇගෙන් අපි දකිනවා .නිළියක ලෙස ඇගේ රූසපුව මෙතෙක් කාලයක් රැකගෙන තිබීමත් අනෙක් අයට මනා ආදර්ශයක්.. ඒවගේම ඇය හරිම ආදර්ශවත් චරිතයක් .එමෙන්ම වසර 21ක් පුරා සිනෙස්ටාර් පදනමේ සාමාජිකාවක් ලෙස සිට මේ කලා ක්ෂේත්‍රයට, කලාකරුවන්ට විශාල සේවාවක් කළා වගේම අදටත් ඒ දේවල් සිදු කරනවා. කලාකරුවන් හෝ යම් සංවිධානයක් හෝ එකතුවී යම් ඉල්ලීමක්, යෝජනාවක් කළොත් ශ්‍රියාණි එම ඉල්ලීම්වලට අනිවාර්යයෙන්ම උදව් කරන නිහතමානී කාන්තාවක්. ඇයට ක්ෂේත්‍රය පිළිබඳවත් කලාකරුවන් පිළිබඳවත් දැනුම් සම්භාරයක් තිබෙනවා .නවක කලාකරුවන්ට ශ්‍රියාණිගේ හැසිරීම් රටාව දුටුවම ජීවත්වෙන්න ඕන කොහොමද කියලා ඉගෙනගන්න පුළුවන් .ඇගේ පවුලේ පිරිස සමඟ මම හරිම හිතවත්. ඇත්තෙන්ම අපි එකම පවුලක සාමාජිකයන් වගේ ඉන්නේ. මම දකින විදිහට ඇය මේ ක්ෂේත්‍රයේ අඛණ්ඩව වසර 60ක් පමණ රැඳී සිටියේත් ඇගේ නිහතමානීත්වය නිසා කියා සිතනවා . ඇය ඇගේ පෞරුෂත්වය රැකගැනීම වටිනා දෙයක්.ආධුනිකයන්‍ට එයද ආදර්ශයක් වෙනවා. යම්කිසි කාර්යයක් කිරීමේදී සංවිධානාත්මක බව සහ ශක්තිය ඇයට නොඅඩුවම තිබෙනවා. ඇයත් සමඟ ටෙලිනාට්‍ය කිහිපයකමත්, චිත්‍රපට කිහිපයකමත් මම රඟපා තියෙනවා. “විරාගය” චිත්‍රපටයේ අපි දෙදෙනාම රඟපෑවට එකට රඟපාන්න ලැබුණේ නැහැ. එහෙත් දර්ශනතලයේදී මුණගැසී සුහදව කටයුතු කරනවා. ශ්‍රියාණිම නිෂ්පාදනය කළ “තරණය” චිත්‍රපටයෙත් තිරගතවීමට නියමිත “යාත්‍රා” චිත්‍රපටයේත් ඇය එක්ක රංගනයේ යෙදුණා .එම රංගනයන් තුළදී මගේ චරිතය හොඳින් රඟපෑමට ඇගේ සහය නොඅඩුව ලැබුණා. මට චරිතයක සාර්ථකත්වයට පත්වෙන්න ලැබුණා නම් ඒ ශ්‍රියාණි අමරසේන නමැති දැවැන්ත නිළියගෙන් ලද සහයෝගය නිසා බව මම මේ අවස්ථාවේ කියනවා. ඇය මගේ රංගන දිවියට විශාල ශක්තියක් වුණා. ඒවගේම ඇගේ පවුල් දිවියත් හරිම සුන්දරයි වගේම ආදර්ශවත්. ආතර් අයියා (ආතර් යූ. අමරසේන) ඇය ගැන නිතරම සොයා බලනවා. ඇය ගෙදර එන්න ටිකක් ප්‍රමාද වුණත් කෝල් කරකර සොයා බලනවා. ඒවගේ මනා බැඳිමක් ඔවුන් දෙදෙනා අතර තිබුණා. ඔවුන්ගේ දුව සහ පුතාවත් මම හඳුනනවා. ඔවුන් දෙදෙනාත්, ශ්‍රියාණි සහ ආතර් යුවළ වගේම හරිම නිහතමානියි. ශ්‍රියාණි අමරසේන වෙනුවෙන් සිදුකරන්නාවූ මෙම උපහාර උළෙල හරිම වටිනවා. මෙවැනි උපහාරයක් ජීවිත කාලය් තුළ හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. මෙම උලෙළ ඉතා ලස්සනට, සාර්ථකව සිදුකරන්න ලැබේවායි මම එකසිතින් ප්‍රාර්ථනා කරන ගමන් ශ්‍රියාණි අක්කාටත් ආතර් අයියාටත් නිදුක් නීරෝගි චිරජීවනය ප්‍රාර්ථනා කරනවා.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT