නිවස සංවාද දර්ශන් අයියා‍ට මං ණයගැතියි

දර්ශන් අයියා‍ට මං ණයගැතියි

රංගන ශිල්පිනී ක්‍රිෂ්ණන් හමීෂා දේවි

by Thanushika
September 5, 2024 12:30 am 0 comment

ඇයට කුඩා කල සිටම නිළියක් වීමට ආසාවක් ඇති වූවාය. එනිසාම පාසල් අධ්‍යාපනය හමාර වී විශ්වවිද්‍යාලට තේරී පත්වීමත් සමඟින් ඈ රංගන ශිල්පිනියක බවට පත්වූවාය. ඒ වේදිකා නාට්‍ය ශිල්පිනියක ලෙසින් ක්ෂේත්‍රයට එක්වීමෙනි. උපතින්ම හින්දු වුවද සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා රංගනයෙන් සිංහල, දමිළ මාධ්‍ය නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වීමටද ඇයට අවස්ථාව ලැබුණාය. එලෙසින් දායක වූ සිංහල මාධ්‍ය කලා නිර්මාණ හරහා වඩාත් ජනප්‍රිය වීමට වාසනාව උදාවූ බවද ඈ පැවසුවාය. විශේෂයෙන් මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවෙන් (ටී.වී දෙරණ) රාත්‍රී අටයි තිහට (8.30) විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සාරා ලෙසින් ඈ ජනප්‍රිය වී හමාරය. යොවුන් රංගන ශිල්පිනියක් වන ඈ නමින් ක්‍රිෂ්ණන් හමීෂා දේවි වේ.

මුලින්ම සම්පූර්ණ නම කිව්වොත්?

ක්‍රිෂ්ණන් හමීෂා දේවි

ඉන්නේ කොහෙද?

කොළඹ දෙල්කඳ ප්‍රදේශයේ තමා ඉපදුණේ. දැන් පදිංචි වෙලා ඉන්නෙත් එහෙම තමා.

පාසල් ගියේ?

මම පාසල් කිහිපයකටම ගියා. ප්‍රථමයෙන් ශ්‍රී රේවත රාජකීය විද්‍යාලයට ඊට පස්සේ මහරගම මධ්‍ය මහා විද්‍යාලයට උසස් පෙළට ගියේ ලුම්බිණි විදුහලට. මං ලුම්බිණි විද්‍යාලය ඒ සඳහා තෝරා ගත්තේ නාට්‍ය හා රංග කලාව, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, නර්තනය යන විෂයන් තුනම ඒකේ හදාරන්න තිබුණ නිසා.

හමීෂගෙ පවුලේ විස්තරත් කියමු නේද?

අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි, මමයි. මං පවුලේ බාලයා තාත්තා හින්දු අම්මා මුස්ලිම් අක්කලාගෙන් ලොකු අක්කා ලංකා පත්තරේ මාධ්‍යවේදනියක ලෙස වැඩ කළා. දැන් එයා මැරි කරලා (විවාහ වෙලා) ඒකෙන් අයින් වෙලා ඉන්නේ. අනිත් අක්කා ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්තයක මැනෙජර් කෙනෙක් විදිහට සේවය කරනවා. මම තවම කොළඹ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා.

දැන් කීවෙනි අවුරුද්දද යන්නේ?

තුන්වෙනි අවුරුද්ද මැද වගේ තමා දැන් ඉගෙන ගන්නේ.

ඇත්තටම ඔයාට සිංහල හොඳට පුළුවන් වුණේ කොහොමද?

මං හැදුණේ වැඩුණේ සිංහල පරිසරයක. ඒ වගේම මං ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්, විශ්වවිද්‍යාලයේදීත් එහෙමයි. ඉතින් මට සිංහල, දමිළ හොඳට පුළුවන්. මට ජාතීන් අතර සම්බන්ධතා ගොඩනැගීම වගේ වැඩක් වුණත් දැන් ඒ නිසා හොඳට කරන්න පුළුවන්. අද යාපනයේ දෙමළ අයෙක් ගත්තාම එයාට අපිට වගේ සිංහල බෑ. හැබැයි මට එහෙ ගිහින් දෙමළ බසින් වැඩ කරලා ඒ කියන කරන දේ සිංහල අයට කියලා දෙන්නත් දෙමළ අයට සිංහල සංස්කෘතිය සමඟ සම්බන්ධීකරණයක් ඇතිකරන්නත් භාෂාව සන්නිවේදනය කරන්නත් මට හැකියාව තියෙනවා. මම හිතනවා ඒ තුළින් ජාතීන් අතර සුහඳ බව සමීපතාව ඇතිවෙලා ජාතිභේද නැතිවෙලා අපි ඔක්කොටම එකට සිට එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ඉන්න පුළුවන් කියලා.

හමීෂට පොඩි කාලෙ ඉඳලම නිළියක් වෙන්න ආසාවක්‌ තිබ්බා කියන්නේ ඇත්තද?

මම පුංචි කාලේ ඉඳලම දෙමළ ෆිල්ම්ස් බලනවා. ඒවායේ ඉන්න නළු නිළියන්ව දැක්කාම අනේ මටත් කවදහරි එහෙම කෙනෙක් වෙන්න ඕනේ කියලා ආසාවක් ඇති වුණා. ඉතින් ඉස්කෝලෙදි පුංචි පුංචි නාට්‍ය කලා. විශ්වවිද්‍යාලයේදී වේදිකා නාට්‍යයක් ඉතා පුලුල්වා හැදෑරුවා. ඉතින් ඒව එක්ක මගේ ගමන සාර්ථක වුණා.

එතකොට ඔයා විශ්වවිද්‍යාලයේදීද කලාවේ ප්‍රසිද්ධ මාධ්‍යයන් තුළින් එළියට එන්නේ?

මං මුලින්ම ඩබින් ආර්ටිස්ට් (හඬ කැවීම් හා ඒ හඬට අනුව රඟපෑම) කෙනෙක් ලෙස වැඩ කරමින් පොඩි පොඩි දේවල් වලට සම්බන්ධ වුණා. එතැනින් විශ්වවිද්‍යාලයට ආවට පස්සේ වේදිකා නාට්‍යයවලට සම්බන්ධ වුණා. ඒ විදිහට වේදිකා නාට්‍යවලින් මගේ දක්ෂතාවය දැකපු අය මං ගැන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ / සහාය අධ්‍යක්ෂවරුන්ට කියලා මං ගැන ඒ අය දැනගෙන තමයි මට නිර්මාණවලට රංගනයෙන් දායක වෙන්න එන්න කියල යම් යම් අවස්ථාවන් ලැබුණේ. මොකද මම ලොකුවට දමිළ හෝ සිංහල කලා නිර්මාණ අධ්‍යක්ෂකවරුන්ව දන්නේ නැති නිසා එහෙම චාන්ස් නැති වුණා.

හමීෂා ඔයාගේ මේ දක්ෂතාවය දැකලා ඔයාව ටෙලි නාට්‍යයකට හඳුන්වා දුන්නු අයෙක්ව මෙලොව හැර යන තෙක්ම ඔයා නොදැන සිටියා. ඒ කතාවත් අපිට කියමු නේද?

ඇත්තටම මම ඒ කතාව කියන්නම ඕනේ. විශ්වවිද්‍යාලයේදී මං කරපු ඒ වේදිකා නාට්‍යවල මගේ රඟපෑම් දැකලා වෙන්නැති මං ගැන ටෙලි නාට්‍යය සහය අධ්‍යක්ෂකවරයෙකුට කියලා තියෙනවා කෙනෙක්. ඒ කෙනා මාව දැකල තමා දර්ශන ධර්මරාජ් අයියා (නැසීගිය ජ්‍යෙෂ්ඨ දමිළ සිංහල රංගන කලාවේදී දර්ශන් ධර්මරාජ් මහතා) ඇත්තට මට හිතාගන්නත් බැරි වුණා. ඔහු මියගියාටත් පසුව තමයි මට මේ ක්ෂේත්‍රයේ කෙනෙක් කිව්වේ මාව මුලින්ම ටෙලි නාට්‍යයක චරිතයකට හඳුන්වා දීලා තිබුණේ එයා කියලා. මට ඒ වෙලාවේ ඒක දැනගත්තට පස්සේ ලොකු දුකක් කනගාටුවක් ඇතිවුණා. ඇත්තට මම දර්ශන අයියට ගොඩාක් ණයගැතියි.

මේ වෙනකොට නිර්මාණ කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවද?

මං සිනමා, ටෙලිනාට්‍ය, හඬකැවිම්, ටී.වී. කමර්ෂල්, මියුසික් විඩියෝ, ෂෝර්ට් ෆිල්ම්ස්, ඩොකියුමන්ට්‍රි වගේ නිර්මාණ රැසකටම මේ වෙද්දි දායක වෙලා ඉන්නවා.

වේදිකා නාට්‍ය චිත්‍රපටවලටත් හමීෂා රංගනයෙන් දායක වෙලා තියෙනවද?

මං උපාලි ගම්ලත්ගේ වීඩු කියන චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ඉන්නවා ළඟදිම ඒ හරහා සිනමාවෙන් මාව දැකගන්න පුළුවන් වෙයි. මියුසික් වීඩියෝ කිහිපයක්ම කරලා තියෙනවා. අසනියේ, හිතක් පුරා, එ අතර විශේෂයි. කෙටි චිත්‍රපට 3කට දායක වෙලා තියෙනවා. අ සීක්‍රට් ස්ටෝරි, වලෛකාප්පු, සුයිසයිඩ්. ඒ අතර විශේෂය වලෛකාප්පු කෙටි චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි රාජ්‍ය සම්මානයක් පවා මට ලැබුණා. මීට කලින් මං රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ සාවිත්‍රිගේ චරිතයට පණ දුන්නා. මේ වෙද්දි දෙවැනි ඉනිමේ සාරාගෙ චරිතයට පණ දෙනවා. ඊට අමතරව වේදිකා නාට්‍ය කිහිපයකමත් වේදිකාවෙන් පිටුපස ඉදන් මං සහයෝගය ලබා දෙනවා. ගර්භ ඒ අතර මට හොඳම නිළිය කියන සම්මානය ලබා දුන්නු වේදිකා නාට්‍යයයි.

ඔබ දමිළ මාධ්‍ය නිර්මාණවලින් රඟපාලා තියෙනවද? ඒ මොනවද චිත්‍රපට ටෙලි නාට්‍ය ආදී නම් වශයෙන් ඒවායේ චරිත ගැනත් කියමු ?

සීක්‍රට් ස්ටෝරි, සුයිසයිඩ්, වලෛකාප්පු, ජී.එම්.ආර් මං දමිළ මාධ්‍යයෙන් දායක වු නිර්මාණ. මං මේ අතරින් වැඩිපුරම වලයිකාපු කෙටි චිත්‍රපටයේ නිත්‍යගේ චරිතයට සහ උපාලි ගම්ලත් විසින් අධ්‍යක්ෂණය කරන ලද වීඩු චිත්‍රපටයේ තරණිකාගේ චරිතයටත් මං හුඟක් ඇලුම් කරනවා. ඒ චරිත සාමාන්‍ය කාන්තා ස්වභාවය ඉක්මවා ගිය අභියෝගාත්මක ඒවා නිසා වැඩිපුර මං ඒවට ඇලුම් කරනවා.

සිංහල මාධ්‍ය නිර්මාණයක මුලින්ම හමීෂා රඟපෑවේ දැන් (TV දෙරණ) යන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේද?

නැහැ. මම ප්‍රථමයෙන්ම ටෙලි නාට්‍යයක යම් ප්‍රධාන චරිතයකින් ආවානම් ඒ ආවෙ රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ සාවිත්‍රිකාගේ චරිතය හරහා. එතනින් පස්සේ තමයි මට දෙවෙනි ඉනිමේ සාරාගේ චරිතය ලැබෙන්නේ. ඒ චරිත දෙකටම වෙනස් විදිහේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මට ලැබෙනවා.

ඔයා වඩාත් කැමති කලාව සිංහලද දෙමළ මාධ්‍ය නිර්මාණවල රඟපාන්නද?

මං ඇත්ත වශයෙන්ම සිංහල මාධ්‍ය නිර්මාණවල රඟපෑමට වඩාත් කැමති. ඒත් එකෙන් දෙමළ මාධ්‍ය නිර්මාණවලට අකමැතියි කියලා මං අදහස් කරන්නෙ නෑ. සිංහල මාධ්‍ය මට පුංචි කාලෙ නම් හරිම සමීපයි. උපතින් හින්දු ආගමික දමිළ කෙනෙක් වුණත් මම සාමාන්‍ය පෙළ විභාගයේදීත් බුද්ධාගම සහ සිංහල මාධ්‍ය සඳහා ඒ සමාර්ථ්‍ය ලබා ගත්තා. මං ඒ භාෂාවට හරි ආසයි. මට වැඩියෙන්ම සිංහල මාධ්‍ය නිර්මාණවල රඟපාන්න ලැබීම පහසුවක් කියලා හිතෙනවා.

දෙවෙනි ඉනිමේ රඟපාන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

විශ්වවිද්‍යාලයේ හිරුෂාන් නම් ශ්‍රේෂ්ඨ විද්‍යාර්ථ සහෝදරයකු විසින් තමයි මට මේ සදහා ආරාධනාව ලැබෙන්නෙ. මගේ ජීවිතයට ලැබෙන හැම කලා නිර්මාණයක්ම මම අගනා අවස්ථාවක් හැටියට භාරගන්න දෙපාරක් හිතන්නෙ නෑ. ඉතින් දෙවෙනි ඉනිම කියන්නෙත් ඒ වගෙ අවස්ථාවක් මට.

එහි චරිතය ගැන කිව්වොත්?

සාරාගේ චරිතය මට හුඟාක් සමීපයි. දෙවෙනි ඉනිම නාට්‍ය තුළින් තමයි මම ප්‍රථම වතාවට ප්‍රේමණීය චරිතයකට ඇතුල් වෙන්නෙ. ඉතින් සාරා කියන්නෙත් හරිම ආදරණීය, නිවසට කීකරු, චුට්ටක් විතර නපුරු, සමාජශීලි නොවු අහිංසක චරිතයක්.

මෙහි රංගන කටයුතු කරද්දි සිදුවුණු විශේෂ සිදුවීම් මොනවාද?

ඇත්තටම දෙවෙනි ඉනිම කෘවු එක හරිම මිත්‍රශීලී‍යි. හරිම සතුටින් තමයි රංගන කටයුතුවල නිරත වෙන්නේ මොකද රඟපාන හැමෝගෙන්ම උපරිම සහයෝගය හම්බවෙනවා.

කොහොමද සිංහල මාධ්‍යයේ දෙවන ඉනිමේ කණ්ඩායමේ අයගෙන් දමිළ ඔයාට ලැබෙන සහාය?

කවදාවත් එහෙම සිංහල මාධ්‍ය දෙමළ මාධ්‍ය කියලා විශේෂයෙන් බෙදීමක් නෑ. ඒක දෙවෙනි ඉනිමට විතරක් නෙමෙයි මගේ විශ්වවිද්‍යාලය සහ මං වැඩ කරන හැම තැනටම පොදුයි. තරමක් විශේෂ සැලකිල්ලක් ලැබෙනවා මිසක කවදාවත් කිසිම වෙනස්කමක් මට සිද්ධ වෙලා නෑ.

මේ වෙනකොට ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් වෙලාවට සාර්ථක ප්‍රතිචාර ලැබෙනවා. මගේ චරිතයට මම උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියන එක ප්‍රේක්ෂක ප්‍රතිචාර හරහා මට දකින්න ලැබෙනවා.ඒවගේම මාව පොදු ස්ථානයක දැක්කත් සාරා කියලා අඳුරගන්න පිරිසකුත් මේ වෙද්දී ඉන්නවා. තවත් ප්‍රේක්ෂකයෝ යම් යම් තැන්වල මගේ අඩුපාඩු පෙන්වා දෙනවා. ඉතින් ඒවත් හදාගෙන මං ඉස්සරහට යනවා ඒ නිසා මාව දකින ප්‍රේක්ෂකයන්ට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ.

දෙවෙනි ඉනිම නිසා මේ වෙනකොට ඔබට සිංහල මාධ්‍ය වෙනත් නිර්මාණවලටත් ආරාධනා ලැබිලා තියෙනවද? ඒවායේ නම් ආදී විස්තරත් කියමු නේද ?

ගොඩාක් වෙලාවට ආරාධනා ලැබිලා තියෙන්නෙත් දෙමළ චරිත වලටම තමයි. ටී. වී කමර්ෂල් (TV commercial)  කීපයක්ම මම දෙවෙනි ඉනිමෙන් පස්සේ සිදු කළා. තවම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන නිසා වැඩ කිහිපයක්ම එක දිගට සිදු කරන්න අමාරුයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවර කළාට පස්සේ නිර්මාණ රැසකින් සාර්ථක කලාකාරිනියක් විදිහට ඔබ හමුවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

හමීෂට රංගනය වෙනුවෙන් සම්මානත් ලැබිලා තියෙනවද?

මං සම්මාන බලාපොරොත්තුවෙන් විතරක් නිර්මාණවලට දායක වෙන කලාකාරිනියක් නෙවෙයි. මට ජනප්‍රිය ප්‍රසිද්ධ නිළියක් වෙනවට වඩා මේ මහ පොළොවේ පය ගහන කලාකාරිනියක් වෙන්න අවශ්‍යයි. කොහොම වුණත්

මට සම්මාන තුනක් මේ වෙද්දි ලැබිලා තියෙනවා. එකක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පවත්වනු ලැබු ඒක පාත්‍ර නාට්‍ය උළෙලේ ගර්භ කියන වේදිකා නාට්‍යය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය මට හම්බවෙනව 2021 වසරේදී. දමිළ කලාකාරිනියක් විදිහට ඇගයීමට ලක් කරමින් 2022 වසරේදී ග්ලොරියස් අයිකොනික් ඉන්ටර්නැෂනල් අවෝර්ඩ්ස් එකක් හම්බෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ (2024) වලෛකාපු කෙටි චිත්‍රපටය සඳහා පසුගියදා ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රමාත්‍යතුමා වන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අතින් රාජ්‍ය සම්මානයක් මට රංගනය සඳහා ලැබෙනවා.

ඉස්සරහට රඟපාන්න හමීෂා වඩාත් කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවද?

හැමදාම එකම තැන පල් නොවෙන වෙනස් විදිහේ චරිත කරන්න මං ගොඩාක් ආසයි. සිංහල දමිළ කියන භාෂා දෙකෙන්ම මගෙන් වැඩ ගන්න පුළුවන් අධ්‍යක්ෂවරයකු මුණගැසෙනකම් මං මඟ බලන් ඉන්නේ. අභියෝගාත්මක චරිතත් ලැබෙනවා නම් ඒ චරිතයේ කොයි තරම් කටුක වුණත් ඒ අභියෝගය භාර අරගෙන ඒ නිර්මාණය සාර්ථකව කරන්න මම සැදී පැහැදී ඉන්නවා. මේ සමාජය තියෙන විදිහෙන් අංශුවක් හෝ යහපත් මට්ටමකට වෙනස් කරන්න පුළුවන් නිර්මාණ, මානව සබඳතා සහ මේ සමාජය වැඩිදුරට කතා බහට ලක් නොවෙන සමාජ විෂමතා සම්බන්ධ නිර්මාණවලට එහෙම දායක වෙන්නත් මං හරි කැමතියි.

අනාගතයේ හමීෂා වෘත්තීය රංගන ශිල්පිනියක් වෙනවද, නැතිනම් උපාධියට පස්සේ වෙනත් රැකියාවක් කරනවද?

උපාධිය මං හිතන විදිහට ගෑනු ළමයෙකුට තිබිය යුතු වටිනා ආභරණයක්. රංගනය පිළිබඳ උපාධියෙන් පසුවත් වැඩිදුර අධ්‍යාපනය ලබන්න මම ආසාවෙන් ඉන්නවා. හරි අවබෝධයක් දැනුමක් තියෙන වෘත්තීමය රංගන ශිල්පිනියක් වෙන්නත් මම කැමතියි. ඒ වගේම ආර්ථික මට්ටමෙනුත් ස්ථාවර වෙන්න පුළුවන් කලා ක්ෂේත්‍රයටත් බාධා නොවෙන රැකියාවක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අපිට ඔයාගේ වයස කියන්න පුළුවන්ද?

මට අවුරුදු විසිතුනයි (23).

හමීෂට පෙම්වතෙක් ඉන්නවද නැතිනම් මොන වගේ කෙනෙක්ද හොයන්නේ? සිංහල අයෙක්වද/දෙමළ අයෙක්ව ද?

තවම මම පෙම්වතියක් නෙවෙයි. අනාගත පෙම්වතා සම්බන්ධයෙන් ජාති භේද භාෂා භේද නැහැ. ආදරය කියන්නේ සුන්දර ඇක්සිඩන්ට් එකක් ඒක අහම්බයකින් වෙයි. එතකන් බලන් ඉන්නවා. හදිස්සියක් නෑ. පොතපතට ආදරය කරන කලාකාමි කෙනෙක්ව තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

කලාවේ අයෙක්ටද, වෙනස් ක්ෂේත්‍රයේ අයෙක්ටද ඔයා වඩා කැමති?

ක්ෂේත්‍රය මොකක් වුණත් හැම තැනකම ඉන්නේ මිනිස්සුනේ. මට දැනෙන කෙනෙක් නම් මං අනිවාර්යයෙන්ම කැමති වෙනවා.

විවාහය සිදුවෙන්නේ කවදා වගේද?

තාම ඒ ගැන අදහසක් නෑ. ජීවිතයට අවශ්‍ය විදිහට ගලාගෙන යන්න ඉඩ දෙනවා. අපි බලමු ඉස්සරහට.

වෙඩින් එක අපිටත් කියනවද?

අනිවාර්යයෙන්ම

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවද?

මං තවම ආධුනික රංගන ශිල්පිනියක් රංගනය මඟින් ජීවිතේ ඉගෙන ගන්න සරල කලාකාරියක් ඉතින් ප්‍රේක්ෂකයෝ විදිහට ඔවුන්ගෙන් මේ වෙද්දි මට ලැබෙන වටිනාකමට මං හුඟාක් ණයගැතියි. ඒවගේම මේ ක්ෂේත්‍රයට එන්න උදව් කරපු පුබුදු ගමගේ. මගේ උසස් පෙළ ගුරුවරයා. එම්. සෆීර් ගුරුතුමා, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, මගේ ගෙදර අය, මගේ විශ්වවිද්‍යාල යාළුවෝ හැමෝටම මේ වෙලාවේ මං ස්තූති කරන්න ඕනි. ඒ වගේම සරසවිය පුවත්පතටත් බොහොම ස්තූතියි මං වෙනුවෙනුත් පිටුවක් වෙන් කළාට.

 

[email protected]

හේමන්ත බණ්ඩාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT