Home » දන්නා, දැනෙන දේ ගැන ලියන්න මං නිරායාසයෙන් පෙලඹෙනවා

දන්නා, දැනෙන දේ ගැන ලියන්න මං නිරායාසයෙන් පෙලඹෙනවා

- ලේඛක චමිල් හර්ෂණ එදිරිසිංහ

by Thanushika
February 20, 2025 1:07 pm 0 comment

ලාංකේය නූතන සාහිත්‍යය තුළ චමිල් හර්ෂණ එදිරිසිංහ ස්ථානගතවන්නේ නවකතාකරුවකු ලෙසයි. ඔහු දැනට වෘත්තියෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරයි. ඔහු කුලුඳුලේම රචනා කළ ‘සිරිසාලවන්‍යා’ කෘතිය 2022 වසරේ බණ්ඩාරනායක අනුස්මරණ ලේඛකත්ව සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට සමත් විය. ඔහුගේ නවතම කෘතිය වන ‘දිවිදෙනක සිහිනෙක’ නවකතාව පාඨකයන්ගේ අවධානයට ලක්ව තිබේ.

මුලින්ම මම මෙහෙම අහන්නම්, ඔබේ කුලුඳුල් කෘතිය වන සිරිසාලවන්‍යා නවකතාවේ එන. ‘වර්ණමූර්ති නයනානන්ද’ සහ ‘ලාවන්‍යා’ චරිත දෙක බිහිවෙන්නේ කොහොමද? මනසේ පිළිසිඳගත් චරිතද? එහෙමත් නැත්නම් ඒක ඔබ ලැබූ පොදු අත්දැකීමක්ද?

මං හිතන්නෙ ඒ දෙකේම මිශ්‍රණයක් විදියට කියලයි. හොඳ නිර්මාණයක් ඉබේටම වගේ වර්ධනය වෙමින් ගලායන්නක්. මගෙ හිතේ පිළිසිඳ ගන්න කතාවක ඇතුලත් වෙන චරිත සංවර්ධනය කරගෙන ලියාගෙන යනකොටත් ඇත්තට ම වෙන්නෙ ඒ දේ. ඒව ඉබේට ම වගේ ජීවය ලබල ජීවත් වෙන්න පටන් ගන්නව ව‌ගේ හැඟීමක් මට දැනෙන්න ගන්නවා. පස්සෙ හමුවන නොයෙක් සිදුවීම්වලට ඔවුන් ප්‍රතිචාර දක්වනකොට ඒ සිදුවෙන දේවල්වලට මගේ ජීවිතය තුළ හමුවුණ චරිතවල, නැත්තම් මගේ ම ජීවිතයේ අතීත සිදුවීම් වල ඇති සමානකම පේන්න ගන්නව. සමහර වෙලාවට කතාවට හරියටම ගැළපෙන සැබෑ සිදුවීමක් මට මතක් වෙනව. ඉතින් ඒක වෙනත් නමකින් වෙනත් තැනක ලියවෙනවා. සමහර විට සැබෑ ලෝකයේ කර කියාගන්න බැරිවුණ තවත් පියවරකුත් එකතු වෙලා.

ඉතින් සිත්තරාගෙ චරිතය මගෙත්, මා දන්නා කියන සිත්තරුන්ගෙත් මගේ අනාගත සිහිනයකුත් සම්මිශ්‍රණයෙන් හැදුණ චරිතයක් කියල කියන්න පුළුවන්. ලවන්‍යා මට මුණගැහුණු දුරින් ළඟින් ඇසුරු කළ, මා චිත්‍ර අඳින හැටි බලා සිටි, මගේ චිත්‍රවලට පෙනී සිටි, ආදී නොයෙක් සුන්දර ස්ත්‍රී චරිත රාශියක එකතුවක්. ළඟදිත් මගෙ යාළුවෙක් මුණගැහුණ වෙලාවක ඇහුව පාසැල් කාලෙත් කිසිම ප්‍රේම සම්බන්ධයක් තියා ගැහැනු ළමයින් එක්ක කතාබහටවත් නොගිය කුලෑටි චරිතයක් වෙච්ච මම කොහොමද? මෙච්චර තාත්වික විදියට ස්ත්‍රී චිත්තය හඳුනාගෙන හැසිරීම ග්‍රහණය කරගත්තෙ, විස්තර කළේ කියල. මං කිව්ව ඒක ම තමයි හේතුව, මම හිත ඇතුළෙනුයි ඔවුන්ට ළංවුණේ, හැගීම් බෝ කළේ, ඒව කවි කතා බවට පෙරළුවේ කියල. ගොඩක් ළඟට යන අයට නොපෙනෙන දේවල් එහෙම නැත්තම් සමස්ත චිත්‍රය සමහර විට දුර ඉන්න කෙනෙකුට දකින්න පුළුවන්.

ඔබ චිත්‍ර හා මූර්ති ශිල්පියෙක් විදියට ‘සිරිසාලවන්‍යා’ කෘතිය බිහිවෙන්නේ ඔබේ විෂයට සමගාමීව සහ සමීපව. චිත්‍ර කර්මය ඔ⁣බේ සාහිත්‍ය කටයුතුවලට කරන බලපෑම මොනවගේද?

දන්නා, දැනෙන දේ ගැන ලියන්න මං නිරායාසයෙන් පෙලඹෙනවා ගොඩක් වෙලාවට. එහෙම ලියාගෙන යනකොට නොදන්න අඩවිවලට උපකල්පනයෙන් යන වෙලාවලුත් තියෙනව. කොහොම නමුත් චිත්‍ර විෂය මට ගොඩක් සමීපයි. මං හිතනව ඒක මගෙ උපකල්පනය ගොඩක් දියුණු කරනව කියල. හැම දෙයක්ම දෘශ්‍ය ස්වරූපයෙන් චිත්තරූප මවන්න මට පුළුවන් වෙන්නෙ මගේ ඒ චිත්‍ර පුහුණුවත් එක්කයි කියල මං විශ්වාස කරනවා. තත්වාකාරයෙන්ම මං එහෙම හිතේ මවන දේවල් වචනවලින් කියවන්නාටත් දකින්න සලස්වන්න තමයි මං උත්සාහ කරන්නෙ. වෙනත් විදියකින් කියනවනම් කියන්න නෙමෙයි පෙන්නන්න.

ඉතින් කවියත් කතාවත් තවත් සිතුවමක් විදියට ම හඳුන්වා දෙන්න පැහැදිලි කරන්න මං කැමැති. සමහර කවි කතා වේගවත් කටු සටහන් වගේ. සමහර දේ සියුම්ව නිවීහැනහිල්ලෙ ඇදපු චිත්‍ර වගේ. සමහර ඒව දුර්වබෝධ ධාරණවාදී චිත්‍ර වගේ. මං කැමතී මං අඳින චිත්‍රයක් දැකල ඒ දිහා ආසාවෙන් බලා ඉන්න මිනිහෙක් දකින්න. පුදුම වෙලා බලන මිනිහෙක් දකින්න. ඒක හදවතට ම දැනෙන සියුම් හැඟීම් මතුකරන විත්‍රයක් වෙනවට. ඉතින් මගෙ අතින් ලියවෙන කවියක් කතාවක් වුණත් ඒ විදිය වෙන එක තමයි මගේ පරම පැතුම. මගේ හදවත පිරෙන්නෙ එතකොට.

‘දිවිදෙනක සිහිනෙක’ ඔබේ අලුත්ම නවකතාව. මේ නවකතාව රචනා වෙන්න පසුබිම සහ ඔබ මේ නවකතාවෙන් කියන්නට උත්සාහ දරන්නේ මොකක්ද?

කියන්න උත්සාහ කරන දේ කියන එක හරි අමාරු ප්‍රශ්නයක්. මට ඒකට උත්තරයක් නැහැ සහ තිබුණත් මම නොකිය ඉන්න කැමතියි. එකක් ඒකෙන් කතා රසයට හානි වෙයි කියල හිතන නිසා. අනිත් එක මගේ අරමුණ යමක් කියන එක නොවීම නිසා. මගේ අරමුණ යමක් දැනවීම. ඒක අරිට වඩා සියුම් දෙයක්. නොයෙක් දෙනාට නොයෙක් විදියට ඒක දැනෙනව. එතකොට ඒ ගොල්ලො ඒක නොයෙක් විදියට කියවා ගන්නව සහ යමක් ඒ තුළින් ලබාගන්නව. විය යුත්තෙත් ඒකයි කියලයි මං හිතන්නෙ. ඒක ගොඩක් වෙලාවට මානව සම්බන්ධතා පිළිබඳ අනුවේදනීය, සංවේදී යමක් විය හැකිය. ඔබට පුළුවන් එහෙම යමක් මේ තුළින් එකතු කරගෙන එකලස් කරගන්න. අන්න ඒක ම තමයි මං ඹබට කියන්න හැදුවෙ.

කතාව ලියවෙන පසුබිම ගැනත් මට කියන්න තියෙන්නෙ ඒ වගෙ දළ අදහසක්. මේක එක දිගට කතා කීපයක් ලියවුණ කාලයක ලියපු කතාවක්. මේ කතාවෙ මූල බීජය ආවෙ පරණ පාසැල් මතකයන්, පරණ යාළුවන් ගැන පොඩි කතාවකින්. ඉන්පස්සෙ ඒක සංකීර්ණ කතාවකට අතු ඉති දමා වැඩුණා. පාසැල් ශිෂ්‍යයකු විදියට මගෙ අත්දැකීමුත්, මං කලින් චිත්‍ර ගුරුවරයකු ලෙස වසර දෙකක් පමණ සේවය කළ කාලයේ ලබපු අත්දැකීමුත් ඒකට හරියට ම පෑහිලා ගැළපිලා ලියවුණා. අවසානයේ නොසිතූ විරූ ගුප්ත අවසානයකට තමයි ඒ සියල්ල ගැටගැහිල ගොඩනැඟිල ආවෙ.

‘දිවිදෙනක සිහිනෙක’ නවකතාවේ දිව්‍යා කියන චරිතය සුවිශේෂි චරිතයක් වගේම කෘතියේ ආඛ්‍යාන ශෛලිය වෙනස් ස්වරූපයක් ගන්නවා. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

ඇත්තටම පොතේ පෙරවදනෙත් මං සඳහන් කරල තියෙන විදියට ම ඒ චරිතය ගොඩනැඟුණේ පාසැල් වියේ මට හමුවූ සුන්දර යෙහෙළියක් පදනම් කරගෙන. පාසැලෙන් සමුගන්නා දවසේ සිට අද දක්වාත් යළි කිසිදාක ඇය හමුවුණේ නැහැ. ඇගෙන් පටන් ගත්ත ඒ චරිතය එතැනින් ඉදිරියට ගොඩක් දුර ගිහින් වෙනස් ම චරිතයක් බවට පත්වෙලා තමයි නතර වුණේ..මගේ ආඛ්‍යාන ශෛලියත් භාෂාවත් චරිත හැසිරවීමත් ගොඩක් වෙලාවට නිරායාසයෙන් වගේ ගොඬනැඟී එන එකක්. සියුම් ව නිරීක්ෂණය කළොත් කතාවේ මේ ශෛලිය මඳක් වෙනස් වෙමින් ගමන් කරනවාත් කෙනෙකුට නිරීක්ෂණය කරන්නට පුළුවන්. ඒක කතාවේ ඒ ඒ කාල වකවානු තුළ චරිතයන් මුහුණදෙන සිද්ධිවල වෙනස්කම් සහ ඔවුන්ගේ චිත්ත ස්වභාවයන්ගේ වෙනස්කමුත් නිසා ඇතිවන වටපිටාවේ ස්වභාවය දනවන්න කරපු උත්සාහයක්. සමහර තැනක කතාව වේගයෙන් යන ගතියකුත් සමහර විට සෙමෙන් යන ගතියකුත් සමහර තැනක එක තැන තියෙන ගතියක් පවා දැනෙන්න පුළුවන්. ඒ අදාළ අවස්ථාවන්වල ඒ චරිතවලට දැනෙන ඔවුන්ගේ ජීවිත ගමන් කරන ආකාරයමයි.

ඉතින් යම් නිර්දය විවේචකයකුට ඕන නම් ඒව දුර්වල තැන් විදියට පෙන්නන්නත් පුලුවන්. ඒත් මං හිතන්නෙ වෙන විදියකට. ගහක් මෙතන ඇද වුණේ ඇයි, මෙතන ඇඹරුණේ ඇයි, මෙතන ගැට හැදිල තියෙන්නෙ ඇයි කියල අහන්න පුළුවන්, ඒත් ඒ ගහ කාලයත් එක්ක නිරායාසයෙන් වැඩුණෙ එහෙම තමයි. ඒක හැදෙන්න ඕනෙත් එහෙම ම තමයි.

ඔබ වඩාත් ප්‍රිය කරන කෘති මොනවද? කියලා ඇහුවොත්?

ඇත්තම කතාව කිව්වොත් නම් මං මගේ ම කෘතිවලට තමයි වඩාත් ම කැමති. ඒ අතරිනුත් කැමති ම කුමක්දැයි ඇසුවොත් නම් උත්තරයක් නැහැ. ඒ හැම පොත ම වගේ මම සිය දහස් වර කියවල ඇති. ඉස්සරහටත් කියවයි. ඒ කියවන හැම පාරක ම ඒ පොත තමයි මං කැමැතිම. වෙනත් අයගෙ පොත් ගත්තොත්, පී.බී. ජයසේකර – මරියා සිලෝනිකා වස්තුව, නිශ්සංක වි‌ජේමාන්න – තාරා මගේ දෙව්දුව, මංජුල වෙඩිවර්ධන – බත්තලංගුණ්ඩුව, සමන් අතාවුදහෙට්ටි සහ සුනේත්‍රා රාජකරුණනායක – හර්ද සූත්‍රය, වගේ ඒව මට ඉක්මනින් මතක් වෙනව. තවත් බොහොමයක් පොත් තියෙනව.

ඇතැම් පාඨකයන් නඟන චෝදනාවක් තමයි නූතනයේ බොහෝ නවකතාකරුවන් අතින් ලියවෙන නවකතා පශ්චාත් යටත්විජිතවාදී, ඓතිහාසික ශානරයට රාමුගත වී තිබෙන බව. නවකතාකරුවකු විදියට නවකතාව මෙි විදියට රාමුගත වීම දකින්නේ කොහොමද?

මගේ හැම පොත ම ලියවුණේ වර්තමානයේ සහ මෑත ඉතිහාසයේ සිදුවීම් පාදක කරගෙන. සමහර විට අනාගතේ ඓතිහාසික කතාවක් ලියවෙන්න බැරි නැහැ. නමුත් කිසිම ශානරයක හෝ කිසිම කාල වකවානුවක් භාවිතයේ හෝ කිසිම සමාජ පැතිකඩක්, ප්‍රශ්නයක් කතා කිරීම හෝ වැරැද්දක් විදියට මං දකින්නෙ නැහැ. ඒ කියවන බොහෝ දෙනාට වැරැද්දක් අඩුපාඩුවක් ලෙස දැනෙන්නෙ ඒ තෝරාගෙන ඇති විෂය හෝ කාලය නෙමෙයි. එයින් ලියවී ඇති කතාවේ ඇති දුර්වලතා, නීරස හෝ දුර්වබෝධ කොටස් ආදිය නිසයි.

ඔබට කියන්නට ඇති කතාව ඉතා ප්‍රබල නම් එය මොන ශානරයක මොන කාලයක එකක් වුණත් එය හදවත් වලට කිඳා බහීවි. එය දුර්වල නම් සමහර විට පාඨකයන්ට ඒ ශානරය ම ශෛලිය ම එපා කරවන්නත් හේතු වෙන්න පුළුවන්. ඒ හින්ද මුලින්ම කරන්න ඕනෙ ප්‍රබල කතාවක් ගොඩ නඟන එක. මං ගොඩක් කල් අරගෙන, නැවත නැවත ලියල, ගොඩක් දුර කල්පනා කරල, බරපතළ ම වෑයමක් ගන්නෙ ඒකට. මහන්සියෙන් හම්බ කරන කීයක් හරි දීල මනුස්සයෙක් අපි ලියපු දෙයක් ගන්නව කියන එකම මට මහමෙරක්. මං ඔවුන්ට ණය ගැතී. ඒ හින්ද මගේ පැත්තෙන් උපරිම උසස් තැනකට ඒක ගේනන මං මහන්සි වෙන්න ඕනෙ ඒකයි.

ඔබේ සාහිත්‍යමය ජීවිතයට වැඩිපුරම⁣ බලපෑම් කරපු සාහිත්‍යධරයන් සහ කෘතීන් මොනවාද?

අනන්තවත් මිනිසුන් මට බලපාන්න ඇති. මම පාසැල් කාලයෙත් පිස්සුවෙන් වගෙ පොත් කියවපු මනුස්සයෙක්. එක එක කාල වල ඒක අඩුවැඩි වුණත් කියවීම කියන්නෙම හිත පුරවන සාධනාවක්. කලිනුත් සදහන් කළා වගේ පී.බී. ජයසේකර, මංජුල වෙඩිවර්ධන, නිශ්ශංක විජේමාන්න, සමන් අතාවුදහෙට්ටි, සුනේත්‍රා රාජකරුණානායක, ලියනගේ අමරකීර්ති, එදිරිවීර සරච්චන්ද්‍ර, මහගම සේකර, සයිමන් නවගත්තේගම වගේ බොහෝමයක් මතක් කරන්න පුළුවන්. පරිවර්තන ගත්තත් විශාල ගනනක් රුසියන් සහ වෙනත් කතුවරු.

විශේෂයෙන් සයිමන් නවගත්තේගම ගැන මතක් කළොත් මං පාසල් යන කාලේ මිනුවන්ගොඩ පුස්තකාලයට යනවා. සංසාරණ්‍යයේ අසබඩ පොත තිබුනෙ විමර්ශන අංශයේ. ගෙනියන්න දෙන්නෙ නැහැ. මම නිවාඩු කාලේ හැමදාම උදේට ගිහින් කොටස කොටස කියවල ඉවර කළා පොත. ඒක හරි සුන්දර මතකයක් පාසල් ජිවිතේ.

ඒත් එක්කම මම විශාල වශයෙන් චිත්‍රපට බලන කෙනෙක්. ස්ටීවන් කින්ග්, හරුකි මුරකමි වගෙ අයගෙ පොත්වලින් හැදුණ චිත්‍රපටිවලට මම ගොඩක් කැමැති. ඒ වගේම නොයෙක් වෙබ් අඩවිවල, යූටියුබ්වල තියෙන කතුවරුන් ගැන තොරතුරු ඔවුන්ගෙ උපදෙස් වගේ ඒවත් ගොඩක් ම මගේ ගමනට අත්වැලක් සපයල තියෙනව. ඇත්තටම දුටු නොදුටු අනන්තයක් ගුරුවරුන්ට හදවතින්ම ස්තුති කළ යුතුයි.

ඔබේ රචනා ශෛලිය සහ භාෂාව හැසිරවීම ඔබටම ආවේණික වූ එකක්. මේ සමිබන්ධයෙන් ඔබ දක්වන අදහස මොකක්ද?

රචනා ශෛලිය වෙනමම වෙහෙසක් දරා ගොඩනඟා ගත්තක් නෙමෙයි. මම කොහොමත් වඩා කැමැති ඉතාම සරල වාචික ශෛලියකිනුත් නොවන, ඉතා සංකීර්ණ බර වචන පැටලෙන ශෛලියකිනුත් නැතුව මැද මාවතේ යමින් පාඨකයන්ටත් අපහසුවක් නොවන නමුත් ඔවුන්වත් යම් මට්ටමකට රැගෙන එන විදියේ බරක් තියෙන, පැහැදිලි විස්තරාත්මක, ගලා යාමක් සහිත හැඩයකට. ඉතින් ඒ රුචිකත්වයෙන් සහ හුරුවෙන් ලියවුණ ශෛලියක් තමයි මෙතනදිත් ගොඩ නැඟිල තියෙන්නෙ.

ඒත් ඒක්කම අවසාන වශයෙන් ඔබටත් සරසවියටත් ස්තුති කරන්නටත් මට ඉඩක් දෙන්න. මගේ හදපතුලෙන් ම එන මොනවා හෝ දෙයක් ලියා පළ කළ පසු, ඊළඟට සිදුවිය යුතු ම දේ තමයි ඒක පාඨකයන් අතරට පැතිර යන එක‍.

 

[email protected]

 

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT