Home » ‘සංයුග’ දක්ෂතාවලින් පිරිපුන් තරුණ පිරිසට තැනූ වේදිකාවක්

‘සංයුග’ දක්ෂතාවලින් පිරිපුන් තරුණ පිරිසට තැනූ වේදිකාවක්

ජ්‍යේෂ්ඨ නිෂ්පාදක / ‘සංයුග’ අධ්‍යක්ෂ සුමින්ද තිලකසේන

by Thanushika
January 2, 2025 11:16 am 0 comment

ජාතික රූපවාහිනිය ආරම්භය සනිටුහන් කරන්නේ 1982 පෙබරවාරි 15 දාය. එතැන් පටන් අද දක්වා රූපවාහිනී තිරය මත දිග හැරුණු වැඩසටහන් බොහෝය. අධ්‍යාපන, දේශපාලන, වාර්තා, සඟරාමය, කලා, ආර්ථික, ආගමික, ළමා ඇතුළු තවත් බොහෝ පැතිකඩ ගැන විකාශය වූ වැඩසටහන් අපට එදා මෙදාතුර නරඹන්නට හැකි විය. එදා අද මෙන් සෑම නිවසකම රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැත. යහමින් අතමිට සරු නිවසකට පමණක් සීමා වූ රූපවාහිනී යන්ත්‍රය අදවන විට නැති නිවසක් සොයාගැනීමට පවා අසීරුය. එකල ගුණාත්මක බවින් යුත් වැඩසටහන් රැසක් ජාතික රූපවාහිනියේ විකාශය විය.

විවිධ වෙනස්කම් වලට ලක්වෙමින් පවත්වාගෙන ගිය ජාතික රූපවාහිනිය, අද වනවිට වෙනස් මඟක ගමන් කරමින් සිටී. ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීම ජාතික රූපවාහිනියේ ප්‍රධානතම අරමුණ වී තිබුණි. පසුව කෙමෙන් කෙමෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකා ඇරඹීමට පටන් ගැනීමත් සමඟ ජනතාව ඒ වටා ද රොක්වීමට පටන් ගත්හ. එහෙත් ජාතික රූපවාහිනිය නොසැලී තම අභිමානය රැකගනිමින් ඉදිරියට ගමන් කළ අන්දම අපට දැකගත හැකිවිය .අනෙකුත් නාලිකා සමඟ තරඟකාරීව හැසිරීමට ජාතික රූපවාහිනියට සිදුවිය.

එහෙත් ජාතික රූපවාහිනියේ අභිමානවත් සලකුණ වන සැළලිහිණියා කිසි ලෙසකින්වත් පසු බැසීමට උත්සාහ නොගත්තේය. විවිධ වකවානුවලදී විවිධ පරිපාලනයන් යටතේ ක්‍රියාත්මක වූ සැළලිහිණියා ඇතැම් අවස්ථාවල වෙහෙසට පත්වූ අවස්ථා ද අතීතයේ දක්නට ලැබුණි.

එවන් තත්වයක් යටතේ ජාතික රූපවාහිනී තිරය මත අලුත් වැඩසටහන් පෙළක් විකාශය කිරීම ආරම්භ කර ඇත. එම වැඩසටහන පිළිබඳ ප්‍රේක්ෂකයන් දැනුම්වත් කිරීමට සරසවිය ඉඩකඩ වෙන් කළේය.

තරුණ නිර්මාණකරුවන්ගේ විලාසිතා, රංගනය, චිත්‍ර, සංගීත, නර්තනය, සිනමාව සහ තවත් බොහෝ දක්ෂතා පිළිබඳ සහ ඔවුන්ව ප්‍රේක්ෂකයාට හඳුන්වාදීම “සංයුග” හි ප්‍රධානමතම අරමුණයි. සෑම ඉරුදිනකම රාත්‍රී 7 සිට 7.30 දක්වා ජාතික රූපවාහිනි තිරය මත “සංයුග” දිගහැරේ. එය රසවත්ව මෙහෙයවනූ ලබන්නේ නාරද බක්මීවැව විසිනි.

“සංයුග” වැඩසටහන පිළිබඳ සවිස්තරාත්මකව ප්‍රේක්ෂකයන් දැනුම්වත් කිරීම සහ එහි හැඩය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට එහි අධ්‍යක්ෂවරයා වන සුමින්ද තිලකසේන සරසවිය සමඟ සම්බන්ධ විය.

“සංයුග” යන්නෙන් අදහස් කරන්නේ ?

” සංයුග” කියන්නේ සඟරාමය වැඩසටහනක්. විලාසිතා, සංගීතය, රංගනය, චිත්‍ර, සිනමාව ඇතුළු විවිධ කලාවන් ඇතුළත් කර සැදුම්ලත් වැඩසටහනක් නිසා “සංයුග” යනුවෙන් නම් කළා. අංශ රාශියක සංයෝගයක් කියන දේ තමයි ” සංයුග” යන්නෙන් අදහස් කරන්නේ .

තරුණ පිරිස ඉලක්ක කරගෙන මෙවැනි වැඩසටහනක් කරන්න අදහස් කළේ ඇයි?

වර්තමානයේ රාජ්‍ය පාලනයේ වෙනස්වීමත් සමඟ ජාතික රූපවාහිනියේ පරිපාලනයත් අලුත් වුණා. ඒ නිසා අලුත් වැඩසටහන් කරන්න තීරණයක් ගත්තා. විවිධත්වයකින් යුත් වැඩසටහන් ඉදිරිපත් කරන්න යෝජනා වුණා. ඒ පිළිබඳ අපේ අදහස් යෝජනා අපි ඉදිරිපත් කළා. ඒකට පරිපාලනය පැත්තෙනුත් අලුත් අදහස් ඇතුළත් කළා.

ඒ අනුව තමයි “සංයුග” සඟරාමය වැඩසටහන ආරම්භ වෙන්නේ. මේ වැඩසටහනින් විවිධ අංශයන්ට දක්ෂතා ඇති තරුණ පිරිසට අවස්ථාව ලබා දෙනවා. අද බොහෝ තරුණ තරුණියන් රියැලිටි වැඩසටහන්වලට සහභාගී වෙන්න පෙලඹිලා ඉන්නවා. ඒත් ඒවාට යන්න ඉඩක් නොලැබෙන අයට, රියැලිටි වැඩසටහන්වලට ඉදිරිපත් වෙන්න අකමැති තරුණ පිරිසට ” සංයුග” වැඩසටහනේ දොර විවෘතයි. ඉතින් එවැනි තරුණ චරිත ඉලක්ක කරගෙන ඔවුන්ව රටට හඳුන්වාදීමට “සංයුග” සූදානම්. ඉදිරියේදී තරුණ පිරිස වැඩි වශයෙන් “සංයුග” වැඩසටහන වටා රොක් වේවි.

කෙසේද සංයුග” වැඩසටහනට තරුණ තරුණියන් සම්බන්ධ වෙන්නේ?

සංයුග පටන් අරගෙන තාම වැඩි කාලයක් නැහැ. අපි තාම දක්ෂතා ඇති තරුණ පිරිස සොයමින් ඉන්නේ. මේ වැඩසටහන ජනතාව අතරට ගිහින් තාම ටික කාලයයි. මේවන විට අපිට ඉල්ලීම් තියෙනවා. සංයුග වැඩසටහනට සම්බන්ධ වෙන්න. අමාරුම දේ තමයි හොඳ නිර්මාණකරුවන් තෝරා ගැනීම. දක්ෂතාවලින් සපිරි නිර්මාණකරුවන් සඳහා අපි අවස්ථාව ලබා දෙන්න සූදානම්.

සංයුග සඳහා මේ වනවිට ලැබෙන ප්‍රතිචාර කෙසේද ?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දුරකතන ඇමතුම් මඟින් සුබ පැතුම් සහ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍ය හරහා ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි. ජනතාවගෙන් ධනාත්මක ඇඟයීම්, ප්‍රශංසා ලැබෙන එක ගැන සතුටුයි.

සංයුග වැඩසටහන සඳහා අනුග්‍රාහක භවතුන්ගේ දායකත්වය කෙබඳුද?

ආරම්භය තරමක් අපහසුයි. සංයුග වැඩසටහන විකාශය වෙන්න පටන් ගත් කෙටි කාලය තුළ සංයුග ජනතාව අතරට ගිහින් තියෙනවා. ජාතික රූපවාහිනී අලෙවි අංශයෙන් ලොකු සහයෝගයක් ලබා දෙනවා අනුග්‍රාහකයන් සොයා ගැනීම සඳහා.

තරුණ පිරිස වෙනුවෙන් වෙන්වූ සංයුග වැඩසටහනේ රිද්මය ගැන කතා කළොත් ?

සංයුග විකාශය වෙන්නේ ඉරිදා ප.ව. 7 සිට ප.ව 7.30 දක්වා. පැය භාගයක කාලයක් තමයි අපිට තියෙන්නේ. ඒ කෙටි කාලය තුළ වැඩි පිරිසක් අපිට ඒ සඳහා සහභාගී කරවා ගන්න අපහසුයි. උදාහරණයක් විදිහට සම්මානයට පාත්‍ර වූ කෙටි චිත්‍රපටයක් ගැන කතා කළොත් එහි අධ්‍යක්ෂවරයා පමණයි අපිට සහභාගී කරවාගන්න හැකියාව තියෙන්නේ. පැය භාගයක කාල සීමාව ඇතුළත බොහෝ දේවල් කතා කෙරෙනවා. ඒ ආකාරයෙන් තමයි සංයුග වැඩසටහන රූපවාහිනී තිරය මත දිග හැරෙන්නේ.

ගම්බද ජීවත්වෙන දක්ෂතා ඇති තරුණ පිරිසට ඉඩක් ලබා දෙනවාද සංයුග වැඩසටහනින්?

ඔව්. අනිවාර්යයෙන් ඒ අයට ඉඩක් ලබා දෙනවා. ඔවුන්ටත් අපි ඒ වෙනුවෙන් තමන්ගේ දස්කම් ගැන තොරතුරු එවන්න කියල ඉල්ලීමක් කරනවා. එසේ එවන නිර්මාණ සහ ඔවුන්ගේ දක්ෂතා සොයා බලා ඒව තෝරා බේරා ගැනීමකට ලක්කරනවා. සෑම නිර්මාණයකම හොඳ ප්‍රමිතියක් තිබිය යුතුයි. නුදුරේදීම පිට පළාත්වලට ගිහින් දක්ෂ තරුණ පිරිස හඳුනාගන්න බලාපොරොත්තු වෙනවා. අපිට මෑතකදී හමුවුණා ගොක් කොළ වලින් නිර්මාණ කරන පුද්ගලයෙක්. වර්තමානයේ අපේ ජනකලාවලට හොඳ තැනක් ලැබිලා තියෙනවා. සුපිරි හෝටලයක මංගල උත්සවයකට ගිහාම අපිට දකින්න ලැබෙනවා ගොක් කොළ නිර්මාණ. ඒ නිර්මාණ ඉතා ආකර්ෂණීයයි. ගම්බද ඉන්නවා කුසලතාවලින් ඉහළ තරුණ තරුණියන්. ඔවුන්ව සංයුග ඔස්සේ රටටම හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

” සංයුග” රූපවාහිනී තිරය මත දිගහැරීමට සහයෝගය දෙන මතක් කළොත් ?

විශේෂයෙන් අපේ හිටපු සභාපතිතුමා මතක් කළ යුතුයි. ආචාර්ය සෙනේශ් දිසානායක බණ්ඩාර. ඔහුගේ උපදෙස් මත අලුත් වැඩසටහන් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීම ඇරඹිලා තියෙනවා. ඒක අගය කළ යුතුයි. අපි මේ වැඩසටහන දැනට රූගත කරන්නේ මැදිරියක් ඇතුළේ. එහිදී අපිට කැමරාශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන්, අංගරචනා ශිල්පීන් සංස්කරණ සහ පටිගතකිරීමේ ශිල්පීන් විශාල සහයෝගයක් ලබාදෙනවා. ඒ වගේම තමයි වැඩසටහන් මෙහෙයවන ශිල්පීන් සහ ජාතික රූපවාහිනියේ ඩිජිටල් මාධ්‍ය ඒකකය සංයුග සඳහා ඉහළ දායකත්වයක් සපයනවා. විශේෂයෙන් අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නන් සහ අලෙවි අංශයත් මතක් කරන්න අවශ්‍යයි. මේ හැම දෙනාම අපිට ලොකු ශක්තියක්.

අපි ඉදිරියේදී පිට පළාත්වලට ගිහින් රූගත කිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා. ගම්වල ඉන්න දක්ෂතා ඇති අය සොයා යා යුතුයි. එවිට තවත් බොහෝ අයගේ සහයෝගය ලැබේවි සංයුග සඳහා.

ජාතික රූපවාහිනිය නව හැඩයක් ගැනීම ගැන ඔබේ අදහස?

සතුටුයි . වෙනස් වෙමින් පවතිනවා වැඩසටහන් පැත්තෙන්. එක පාරටම ලොකු වෙනසක් කරන්න අමාරුයි. පියවරෙන් පියවර ආපු ගමන අද වනවිට සාර්ථක මට්ටමකට ඇවිත් තියෙනවා. සැළලිහිණියාට අලුත් හැඩයක් ඇවිත්. එය විශේෂයෙන් තේරෙන්නේ රූපවාහිනිය නරඹන පිරිසට, ඔවුන්ට දැනිල ඇති ඒ වෙනස.

සංයුග ඔස්සේ සමාජයට ලබාදෙන පණිවිඩය කුමක්ද ?

නිර්මාණශීලි තරුණ පිරිසක් අපේ රටේ ඉන්නවා කියන පණිවිඩය අපි ජනතාව අතරට ගෙනියනවා. ඔවුන්ව රටටම හඳුන්වා දෙනවා. දස්කම් ඇති , ඒ දස්කම් ලෝකෙට එළිදැක්වීමට නොහැකි තරුණ තරුණියන්ට සංයුග ඔස්සේ කළඑළි බැසීමට හැකියාව තියෙනවා කියන පිණිවිඩය අපි ලබා දෙනවා.

“සංයුග” සඟරාමය වැඩසටහන මඟින් තරුණ පිරිසට ලැබෙන විශේෂ අවස්ථාවන් මොනවාද?

අද වනවිට රූපවාහිනි නාලිකාවල රියැලිටි වැඩසටහන් කෙරෙනවා. ඒත් ඒවා සංගීතයට සහ නර්තනයට පමණක් සීමා වෙලා තියෙනවා. ඊට එහා ගිය හැකියාවන් ඇති පිරිසක් ඉන්නවා. උදාහරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන් අපේ රටේ සිටින කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්. ඔවුන්ට මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලැබෙනවා මදි. ඇතැම් අය සම්මාන පවා ලබාගත් අය. ඔවුන් වෙනුවෙන් මාධ්‍යයෙන් ලැබෙන ඉඩකඩ අල්පයි. ඔවුන්ගේ කුසලතා පෙන්වන්න මාධ්‍යයේ වේදිකාවක් තැනිලා නැහැ .

ඒ හිඩැස පුරවන්න අපි උත්සාහ කරනවා. සංයුග ඔස්සේ ඔවුන්ව හඳුන්වාදීම තුළින් තරුණ පිරිසකට අලුත් මාර්ගයක් තැනෙනවා. ඔවුන් සතු යූ ටියුබ් නාලිකාවල ලින්ක් එක අපි නරඹන්නට දැක ගන්න සලස්වනවා. ඒක නිර්මාණකරුවන්ට ලොකු වාසියක්. ඔවුන්ට හොඳ ප්‍රචාරයක් ඒ ඔස්සේ ලැබෙනවා. විවිධ දේ නිර්මාණය කරන ශිල්පීන්ට වෙළෙඳ පොළක් නිර්මාණය වෙනවා. ඒ මඟින් ඔවුන්ට ආර්ථික වාසි ලබා ගන්න අවස්ථාව සැලසෙනවා.

හිටපු සභාපති ආචාර්ය සෙනේශ් දිසානායක බණ්ඩාරයන්ගේ ” ගුණාත්මක ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ගුණාත්මක රූපවාහිනියක් ” යන සංකල්පය යටතේ බිහිවූ වැඩසටහනක් ලෙස සංයුග හැඳීන්විය හැකිය. මෙතෙක් සරසවිය පිටු අතර දිගහැරුණේ සංයුග වැඩසටහන පිළිබඳවයි. සංයුග ජාතික රූපවාහිනිය මත දිගහරින්නට මඟපෙන්වන්නා වනුයේ එහි අධ්‍යක්ෂ සුමින්ද තිලකසේනයන්ය. සංයුග පිළිබඳ ඔහුගේ මුවින් සියලු දේ හෙළි කළාක් මෙන් සරසවිය පිටුව මත ඔහු ගැනද කෙටි සටහනක් තැබිය යුතුය.

සුමින්ද තිලකසේන සැළලිහිණියාගේ තුරුළට පැමිණෙන්නේ 1997 වසරේදීය. එවකට ඔහු විශ්වවිද්‍යාල සිසුවෙකි. සුමින්ද ලලිත කලා උපාධිය ලබා ඇත්තේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙනි. ජනසන්නිවේදන ක්ෂේත්‍රය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇති සුමින්ද ජාතික රූපවාහිනිය සමඟ ගතකර ඇති කාලය වසර 28 කි. එම වසර 28 තුළ ඔහු ලබාගත් අත්දැකීම් , කළ අධ්‍යනයන් සමඟින් ජාතික රූපවාහිනිය ඔස්සේ විවිධ හරවත් වැඩසටහන් ඔහුගේ අතින් නිර්මාණය වී ඇත.

එම නිර්මාණයන් සඳහා සුමින්ද ලබා ඇති සම්මාන බොහෝය.

2008 වසරේදී ඔහු නිෂ්පාදනය කළ “Rhythm of Christmas  ” වසරේ හොඳම සංගීත වැඩසටහනට හිමි රාජ්‍ය සම්මානය දිනා ගත්තේය.

” මාලිමා” නමින් සුමින්ද අධ්‍යක්ෂණය කළ විද්‍යා සහ තාක්ෂණ නව නිපැයුම් වැඩසටහන වෙනුවෙන් 2013 වසරේ හොඳම සඟරාමය වැඩසටහන ලෙස සුමති සම්මානයත් , 2014 වසරේදී එම වැඩසටහන සඳහාම රයිගම් සම්මානයත්, 2016 වසරේදී හොඳම වැඩසටහන ලෙස රාජ්‍ය සම්මානයත් ” මාලිමා” වෙනුවෙන් හිමි කරගත්තේය.

එමෙන්ම ” යථාරූප” නමින් කළ මිත්‍යාවට එරෙහිව විද්‍යාව අවදි කිරීම වෙනුවෙන් නිපැයූ සජීව වැඩසටහන් මාලාව 2019 වසරේ හොඳම කතිකාමය වැඩසටහන වෙනුවෙන් රූපවාහිනි රාජ්‍ය සම්මානයත්, 2018 වසරේ හොඳම අධ්‍යාපනික වැඩසටහන සඳහා වූ ජනාධිපති සම්මානයත් දිනා ඇත.

2024 වසරේදී ජර්මනියේ මියුනිච් හී Prix Jeuneses International 2024 media bar  සඳහා සුමින්ද තිලකසේන අධ්‍යක්ෂණය කළ ” දිරියක ආනන්දය” නැමැති වාර්තා වැඩසටහන තේරී පත්විය.

තවද ඔහු කළ විවිධ වැඩසටහන් කිහිපයක්ම නිර්දේශ නාම අතරට පැමිණ තිබීම ද විශේෂත්වයකි.

සම්මානනීය නිර්මාණශීලී නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයකු වූ සුමින්ද තිලකසේන ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ට සාහිත්‍යධරයෙක් වූ අජිත් තිලකසේනයන්ගේ ආදරණීය පුත්‍රයාය.

තම තරුණ වියේදී ම ජාතික රූපවාහිනී සෙවණට පැමිණි සුමින්ද එවන් තරුණ පිරිසක් උදෙසා වූ සංයුග නිර්මාණය කර අධ්‍යක්ෂණය කිරීම අපූරු කටයුත්තක් ලෙස හැඳීන්විය හැකිය.

සෑම ඉරුදිනකම සවස 7 සිට 7. 30 දක්වා ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන සංයුග සමඟ එක්වන්නට ආරාධනා කරමින් සුමින්ද තිලකසේනයන් සරසවියට ආයුබෝවන් කීවේ තවත් හරවත්, ගුණාත්මක වැඩසටහන් ප්‍රේක්ෂකයාට තිළිණ කිරීමේ බලාපොරොත්තුවෙනි.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT