ඔහු මේ දිනවල තිරගත වන ‘තේජා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. තම කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වූ තේජා ඔහු නිම කළේ මිට වසර ගණනාවකට ඉහතදිය. එහෙත් රටේ පැවති විවිධ වාතාවරණයන් හමුවේ එය තිරගත කරලීම දිනෙන් දිනම කල් ගියේය. අවසානයේ ඊට නිසි අවස්ථාව එළඹියේ පසුගිය මාර්තු 3 වැනි දින, එනම් අන්තර්ජාතික කාන්තා දිනය නිමිති කොට ගෙන එය එළි දැක්වීමට අවස්ථාව එළඹීමයි. ඔහු මෙරට රූපවාහිනි හා කලා මාධ්‍යයන්හි විවිධ අන්දමින් තම හැකියාවන් දක්ෂතාවයන් පෙන්වමින් පැමිණි නිලන්ත හපන්වීරය. මෙවර අපේ පිළිසඳර යොමු වුයේ ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වූ ‘තේජා’ චිත්‍රපටය තේමා කොටගෙනය.
තේජා හදන්න ඔබට හේතු වුණේ කුමක්ද?
තේජා හදන්න මූලික පසුබිම සැකසෙන්නේ අහම්බයක් විදියට. මම එහෙම කියන්නේ මම චිත්‍රපටයක් කරන්න හිතපු මොහොතක නොවෙයි මේ චිත්‍රපටය කරන්නේ. මම වෙනත් ආයතනයක ටෙලිවිෂන් සම්බන්ධ බාරව ඉන්න මොහොතක පොඩි යෝජනාවක් ආවා. ඒ මොහොතෙදි මම ඒක බාර ගත්තා. එහෙම තමයි චිත්‍රපටය හැදෙන්නේ.
තේජා තිර රචනය ඔබ ලියන්නේ කොහොමද? මොනවද පසුබිම් වුණ කාරණා?
මේක මගේ හිතට කම්පනයක් ඇතිකළ සිද්ධි දාමයක් නිසා නිර්මාණය වීමක්. අතීතේ තිබුණු සිද්ධීන් කියවලා, දැකලා ඒ වගේම මගේ වෘත්තිය සමිති සමඟ තිබෙන සබඳතාවයන් සමඟ මට දැනුණ මේ ඇඟලුම් ක්ෂේත්‍රයේ තිබෙන ඛේදනිය තත්ත්වය. ඒක පොදු තත්ත්වයක්. අනිත් රටවලට සාපේක්ෂව ලංකාවේ තත්ත්වය හොඳයි. ඒකත් කියන්න ඕන. ඔය සිද්ධි තමයි ප්‍රධාන වශයෙන් මාව කම්පනයට පත්කළේ ඒක තමයි මම චිත්‍රපටයට ගොඩනගන්න උත්සාහ කළේ.
තේජා චිත්‍රපටයේ සිදුවන මේ සිදුවීම මීට කලින් ඔබ අහලා දැකලා තිබුණද? මෙය සත්‍ය සිදුවීමක්ද ? නැතිනම් මනඞකල්පිතයක්ද?
ඇත්තටම මේක සත්‍ය සිදුවීමක්. අපට මේක අමුතු වුණාට ලෝකය මේක දන්නවා. අන්තර්ජාතික ප්‍රජාව දන්නවා. මොකද 1977 විවෘත ආර්ථිකයක් එක්ක අපිට ගොඩක් දේවල් එනවා. එහි එක් කොටසක් තමයි නිදහස් වෙළෙඳ කලාප සංකල්පය. නිදහස් වෙළෙඳ කලාප සංකල්පය ඇතුළේ අපේ ග්‍රාමිය තරුණ තරුණියෝ බුරුතු පිටින් මේ සමඟ අත්වැල් බැඳ ගත්තා. අපි මේ කතා කරන කාල වකවානුව වෙත්දි මන්ත්‍රි කෙනෙකුගේ හෝ එවැනි බලවන්තයකුගේ ලියුමක් අරන් එන්න ඕන ගාමන්ට් එකකටත් යන්න. ඉතින් එහෙම තත්ත්වයක් තුළ මේ නිදහස් වෙළෙඳ කලාපය තුළට වන ළමයින්ට මොකද වෙන්නේ ? මේ අයගේ ශ්‍රමය කොහොමද සුරා කන්නේ ? මේ සංස්කෘතියට අනුගත වෙත්දි ඇතිවන ගැටලු ආදිය දිහා බැලුවම ඒවා හරිම අමානුෂිකයි. ඒ අමානුෂික තත්ත්වය සිනමානුරූපීව ගොඩනඟන්න තමයි මම උත්සාහ කළේ. මේක ඇත්තටම සත්‍ය සිදුවීම් මාලාවක් මුල් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ.
මේ චිත්‍රපටයේ එන ප්‍රබල වෘත්තිය සමිති නායිකාව අපේ රටේ සිටි වෘත්තිය සමිති නායිකාවක්ද?
ඔව්. ඒක විශේෂ කාරණාවක්. අයිරාංගණි සේරසිංහ මහත්මිය තමයි මේ චරිතයට පන පොවන්නේ ඇගේ චරිතය වෙන්නේ ‘අයිරින්’ අයිරින් කියන චරිතය අපේ ලංකාවේ වෘත්තිය සමිති නායිකාවක් වන, අපේ කාන්තාවන්ගේ වෘත්තිය අයිතාවාසිකම් වෙනුවෙන් නිරන්තර හඬ නැගූ විවියන් ගුණවර්ධන මහත්මියගේ චරිතය.
නමුත් ඔබ ඒ චරිතය කෙලින්ම හඳුන්වා දෙන්නේ නෑ නේද?
ඔව්. කෙළින් හඳුන්වා දෙන්නේ නෑ. අපි ආසියානු කලාපය ගත්තම විවියන් ගුණවර්ධනව හඳුන්වන්නේ ධ්පධද එධථචද යකඩ ගැහැනිය කියලා. ඒ වගේම මම මේ චරිතය ගොඩ නැංවීමේදී විශාල පහසුවක් වුණා අයිරාංගණි සේරසිංහ මැතිනිය ගේ හොඳම යෙහෙලිය ඇය වීම. මේ දෙන්නා එක පන්තියේ යෙහෙළියන්. අනිත් පැත්තෙන් මේ දෙන්නා සමීපතම නැදැයන්.
එතනදි අයිරාංගණි සේරසිංහ මැතිනිය ට මම මේ කතාවේ මේ චරිතය ගැන කිව්වම ඇය මේ සිද්ධි දාමය ගැන හොඳීන් දැනගෙන හිටියා. ඇයගේ පන්තියේ යෙහෙළිය වුණත් ඇය කිව්වා මට විවියන් ගේ චරිතය ඒ විදියට කරනවා තියා මට විවියන් විදියට හැරෙන්නවත් බෑ. මොකද විවියන්ගේ ගමන මෙහෙමයි, එයා කතා කරන්නේ මෙහෙමයි කියලා මට විවියන් ගැන බොහෝ විස්තර අයිරාංගණි මැතිනිය කිව්වා. ඇය වරෙක කිව්වා මට විවියන්ගේ ඇත්ත තත්ත්වෙන් මේ චරිතය කරන්න බෑ. නිහතමානිව එතුමිය ඒක කිව්වා. ඒ වෙලාවේ මම කිව්වා එතුමියම නොවෙයි. මේ ඉන්නේ මිනිස්සු ඇයව හඳුනා ගනී. කියලා. ඒ නිසා අයිරාංගණි මැතිනිය විවියන්ගේ සමිපත්වය මට විශේෂ පහසුවක් වුණා මේ චරිතය ගොඩනඟන්න.
තේජා ගේ චරිතයට නීටා ප්‍රනාන්දුව තෝර ගන්නේ කොහොමද?
මෙය සත්‍ය සිදුවීම් මාලාවක්නේ. කොටින්ම කිව්වොත් ‘පොලිටෙක්ස් අරගලය තමයි මෙහි පදනම. දැන්නම් මේ සමාගම් වහලා තියෙන්නේ. පොලිටෙක්ස් අරගලයේදී සම්පූර්ණයෙන්ම අරගලය මෙහෙයවන්නේ කාන්තාවෝ. ඔවුන්ගේ දෙවැනි පෙළ නායිකාවෝ කිහිප දෙනෙක්ම තව ඉතිරි වෙලා ඉන්නවා. අනිත් අයගෙන් සමහරුන්ට ජීවිතය අහිමි වුණා. මේ සිද්ධි දාමය සමඟ නීටා ප්‍රනාන්දු මෙහි නිෂ්පාදිකාවක් විදියට එනවිට, ඇයට හිතා ගන්න බැරිවුණා මෙහෙම දේවල් ලංකාවේ වෙනවද කියලත්. ඇය තමයි කිව්වේ අපි මේක කරමු කියලා. ඒ අනුව තමයි තේජා ගේ අභියෝගය නීටා ප්‍රනාන්දු බාර ගත්තේ. එහි විශේෂත්වය තමයි මේ චරිතේ නමින්ම අපි චිත්‍රපටයත් නම් කිරීම.
මේ චිත්‍රපටය වසර ගණනාවකට කලින් කරපු චිත්‍රපටයක්. ඒ තරම් කාලයක් මේක නිදහස් නොකළේ ඇයි?
ඒකට කාරණා කිහිපයක් බලපෑවා. මේ චිත්‍රපටය නිපදවු වර්ෂය සඳහන් කලාට මට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ සර්වකාලින ප්‍රශ්නයක්. කම්කරුවන් හා හාම්පුතුන් අතර තිබෙන ප්‍රශ්නය අදටත් වලංගුයි. හෙටටත් වලංගුයි. ඒක නිසා මේක පරණ වෙන කතාන්දරයක් නොවෙයි. කම්කරු අරගලය අටසිය ගණන්වලත් වුණා. නවසිය ගණන්වලත් වුණා. මේක හෙටත් වෙනස් ආකාරයකින් සිද්ධ වේවි. ඉතින් මේ චිත්‍රපටය 2010 චිත්‍රපටය හදනකොට තිබුණ, සමාජ, දේශපාලන පසුබිමත් සමඟ මේ චිත්‍රපටය 2011 වනවිට යම් වාරණයකට ලක් වෙනවා. ඒක නිල වාරණයක් නොවෙයි. නමුත් නිල වාරණයකට වඩා අනීතික වාරණය ටිකක් ප්‍රබලයිනේ. එහෙම වුණාම ඒක සාකච්ඡා කරලා 2011 යම් අවසරයක් අරගෙන, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අවසර අරගෙන ඒක පෙන්වන්න සුදානම් වෙනකොටම 2011 ඔබට මතකයි අපට ඛේදනිය තත්වයක් එනවා. ඒ තමයි ලංකාවේ විශ්‍රාම වැටුප් අරගලය. රොෂෙල් වෙඩි තියලා මරලා ඛේදනිය තත්ත්වයක් උද්ගත වෙනවා. මේ සිද්ධිය හා සමපාත වෙනවා චිත්‍රපටයේ සිද්ධි දාමය. මම ඒ වෙනුවෙන් සාක්ෂි දෙන්න යන්න වෙනවා. එතැනදි තේරුම් යනවා මේක සදාතනික අරගලයක් බව. එතැනදි නැවත අපට සිද්ධ වෙනවා ආපස්සට යන්න. වාරණය ආවේ නෑ. නිල වාරණයට වඩා නොනිල වාරණය ප්‍රබලයි කියලා මම නැවත කියනවා. මේක දැම්මොත් මෙහෙම වේවි කියලාවගේ අදහසක් ආවා. අපි මේක වෙනස් කරලා තිරගත කරමු වැනි අදහස් කීපයකුත් ආවා. මේ සිද්ධිය නිසා මේ විදියටම දාමු කියලත් සමහරු කිව්වා. සමහරු දේශපාලන වශයෙන් මේක පාවිච්චි කරන්න උත්සාහ කළා. ඒ වෙලාවේ නිෂ්පාදිකාව විදියට නීටා ප්‍රනාන්දු මහත්මිය කිව්වා නෑ අපි මේක වෙනස් නොකර තියාගමු කවදහරි පුළුවන් වුණ දවසක දාමු කියලා. ඊට පස්සේ රටේ විවිධ ව්‍යාසන ආවා. වසංගත ආවා. ආර්ථික අර්බුද ආවා. ඒවා සේරටම මේ චිත්‍රපටය අහු වුණා. ඒ නිසා දින දිනම චිත්‍රපටය ප්‍රදර්ශනය විම පස්සට ගියා.
මේ පාර රිලීස් කරන්න බාධාවක් වුණේ නැත්ද?
නෑ. මේක කාන්තා දිනයට නිමිති කරගෙන තමයි මෙවර ප්‍රදර්ශනය ආරම්භ කළේ. එතැනදි විශේෂයෙන් කියන්න ඕන කාරණාව තමයි මේක කාන්තා ප්‍රශ්නයක් නොවෙයි. නමුත් කාන්තාව මුල් කරගෙන අපේ ශ්‍රමිකයෝ ඉන්න ක්ෂේත්‍රය තමයි ඇගලුම් ක්ෂේත්‍රය. ලංකාව පුරාම කර්මාන්ත ශාලා 324 ට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේවායේ ලක්ෂ 5ට අධික සංඛ්‍යවක් කාන්තාවෝ සේවය කරනවා. ඔවුන්ට ගෞරවයක් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සහ මානුෂිකව ඔවුන් දිහා බලන්න, සාමාන්‍යයෙන් බලන සමාජයීය කෝණය වෙනස් කරලා හිතන්න අපේ සහෝදරියෝ විදියට දකින්න තමයි මට ඕන වුණේ.
අනිත් පැත්තෙන් දශක 6ක් සිනමාවේ හිටපු නීටා ප්‍රනාන්දු මහත්මිය ඇගයිමත් මෙය පාදක කරගෙන සිදුකළා.
නිලන්තගේ සිනමා ජිවිතේ පළමු සිනමා අධ්‍යක්ෂණය මෙය. ඔබට සිනමාව ගැන අනන්දුව ඇති වෙන්නේ කොහොමද?
හැමෝම කතා කරන විදියට තමයි මටත් සිනමාවට ඇල්මක් ඇති වෙන්නේ. නමුත් සුවිශේෂී කාරණාවත් තිබෙනවා. මම අවුරුදු 15 දි වගේ සම්බන්ධ වෙනවා මුතුහර ළමා සමාජයට. අංක 01 මුතුහර ළමා සමාජය තිබුණේ පොල්ගහවෙල. එහි ලේකම් විදියට මම සම්බන්ධ වෙනවා. ඒ හරහා නිර්මාණ ගොඩකට මම සම්බන්ධ වෙනවා. 1998 දී මම වේදිකා නාට්‍යය කරනවා. එතැනින් තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ. 1998 රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවැනි වටයත් නියෝජනය කරනවා. ඊට පස්සේ නාට්‍ය ගණනාවක් කරනවා. ඒ අතරේ ගුවන් විදුලියට සම්බන්ධ වෙනවා. ඔහොම තමයි කලාවට සම්බන්ධ වෙන්නේ.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න