Home » තෙවැනි ලෝක යුද්ධයට එරෙහිව ඊතන් හන්ට්ගේ අවසන් වික්‍රමාන්විතය

තෙවැනි ලෝක යුද්ධයට එරෙහිව ඊතන් හන්ට්ගේ අවසන් වික්‍රමාන්විතය

Mission: Impossible - Final Reckoning

by Thanushika
June 12, 2025 1:35 pm 0 comment

පසුගිය මැයි 22 වැනිදා කොළඹ ‘හැව්ලොක් සිටි’ සාප්පු සංකීර්ණයේ පිහිටි ස්කෝප් අයිමැක්ස් සිනමාශාලාවේදී ‘Mission : Impossible – Final Reckoning චිත්‍රපටයේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රතු පළස මතින් විශේෂ මාධ්‍ය දර්ශනයක් පැවැත්වුණා.

‘Mission Impossible’ චිත්‍රපට මාලාව (Movie Franchise) ලොව පුරා සිනමා රසිකයන් අතර ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වුණු චිත්‍රපට මාලාවක් වගේම අති සාර්ථකත්වයක් ලබාගත් ක්‍රියාදාම පන්නයේ චිත්‍රපට මාලාවක්. ‘Mission Impossible’ චිත්‍රපට මාලාව මේ තරම් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව වූයේ හොලිවුඩ් සිනමාවේ සිටින කඩවසම් රූපකායෙන් හෙබි සුපිරි නළු ටොම් කෲස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ඊතන් හන්ට් වෙනුවෙන් සිදු කරන ප්‍රශස්ත රංගනය නිසාමයි. ඊතන් හන්ට් යනු සුපිරි බුද්ධියකින් සහ සටන් කිරීමේ අද්විතීය හැකියාවක් සහිත රහස් ඔත්තු සේවා නියෝජිතයෙකි. ජේම්ස් බොන්ඩ් වැනි චරිතයකි. රහසිගත රාජ්‍ය ආයතනයක් වන ‘Impossible Mission Force(IMF)’ හි කළ නොහැකි මෙහෙයුම් සිදු කරන්නට භාර වන්නේ ඊතන් හන්ට් ප්‍රමුඛ ඔහුගේ බළකාය වෙතටයි. ලෝක සාමයට තර්ජනයක් එල්ල කරන ත්‍රස්තවාදී සංවිධාන, පාතාල කල්ලි මර්දනය කිරීම සහ ලෝකය මෙම සංවිධානවලින් එල්ල කරන තර්ජනයන්ගෙන් බේරා ගැනීම ඊතන් හන්ට්ගේ කාර්යභාරය බවට පත්වෙනවා. මේ වනවිට ‘Mission Impossible’ චිත්‍රපට අටක් නිර්මාණය වී ඇති අතර, මේ වනවිට මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට අට විසින් ලබා ඇති මුළු බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.5කි.

1966 වසරේ විකාශය වූ ‘Mission : Impossible’ රූපවාහිනි කතා මාලාව පාදක කරගෙන නිර්මාණය වුණු මිෂන් ඉම්පොසිබල් පළමු චිත්‍රපටය නිර්මාණය කරන්නේ 1996 වසරේදී. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ බ්‍රයන් ඩී පැල්මා විසින්. ඇමරිකානු ඩොලර් මිලියන 80ක පිරිවැයක් දරමින් තැනුණු අතර චිත්‍රපටය විසින් ලබාගත් බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 457ක් වශයෙන් සටහන් වෙයි. එතැන් පටන් මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට හත පිළිවෙළින් 2000, 2006, 2011, 2015, 2018, 2023 යන වසරවලදී තිරගත වුණා. මිෂන් ඉම්පොසිබල් දෙවැන්න හොංකොං ජාතික ‘ජෝන් වූ’ විසින් අධ්‍යක්ෂණය කළ අතර ‘ජේ. ජේ. ඒබ්‍රහම්ස්’ තෙවැනි චිත්‍රපටයද ‘බ්‍රැඩ් බර්ඩ්’ විසින් හතරවැනි චිත්‍රපටය වූ ‘Mission : Impossible – Ghost Protocole’ n ’ ද ඉන් අනතුරුව පස්වැනි චිත්‍රපටය වූ ‘Mission: Impossible – Rogue Nation’, හයවැනි චිත්‍රපටය වූ ‘Mission: Impossible – Fallout’, හත්වැනි චිත්‍රපටය වූ ‘Mission: Impossible – Dead Reckoning Part 1’ සහ අටවැනි චිත්‍රපටය වූ ‘Mission: Impossible – Final Reckoning’යන චිත්‍රපට ත්‍රිත්වය ‘ක්‍රිස්ටෝපර් මැක්කූරි’ විසින් අධ්‍යක්ෂණය කෙරිණ. මෙම චිත්‍රපට මාලාවේ අටවැනි චිත්‍රපටය ලෙස නිර්මාණය වන’Mission: Impossible – Final Reckoning’ පසුගිය මැයි 23 (සිකුරාදා) දින ලොව පුරා තිරගත වීම ආරම්භ කළා. ‘Mission: Impossible – Final Reckoning’ චිත්‍රපටය ඊට පෙර චිත්‍රපටය වූ ‘Mission: Impossible – Dead Reckoning’ චිත්‍රපටයේ දෙවැනි කොටස වේ.

සුපුරුදු පරිදි ඊතන් හන්ට් විසින් නැවත වතාවක් ලෝකය බේරාගන්නට දරන අසීරුතම උත්සාහයක් වටා ‘Mission: Impossible – Final Reckoning’ චිත්‍රපටයේ කතාව දිවෙන අතර මෙවර චිත්‍රපටයේ කතන්දරය වන්නේ ඊතන් හන්ට් ප්‍රමුඛ IMF (Impossible Mission Force) බළකාය විසින් ලෝකයේ පාලන බලය සියතට ගත හැකි ‘එන්ටිට්’ නම් බලගතු තාක්ෂණික ආයුධය ක්‍රියාත්මක කිරීමට ඇති බලගතු යතුරක් (key) ත්‍රස්තවාදී සංවිධානයක් අතට පත්වීම වැළැක්වීමේ අසීරු මෙහෙයුමක් වටායි. ඊතන් හන්ට් විසින් මෙම යතුර සුරක්ෂිතව තම සන්තකයට ගැනීමට සිදු කරන දැවැන්ත මෙහෙයුමේ සංකීර්ණ ස්වභාවය චිත්‍රපටයේ කේන්ද්‍රය බවට පත් වෙයි. හොලිවුඩි ක්‍රියාදාම ශානරයේ සිනමාව සැමවිටම ලෝකයේ සාමය සහ පැවැත්ම ආරක්ෂා කරන්නට ඇමරිකානු රාජ්‍ය විසින් සිදු කරන මැදිහත්වීම පිළිබඳ දෘෂ්ටිවාදයක් ලෙස කටයුතු කරයි. අනාගතයේ ලෝක සාමයට තර්ජනයක් විය හැකි බව පුරෝකථනය කරන තෙවන ලෝක සංග්‍රාමයක් හෝ න්‍යෂ්ටික යුද්ධයක් වැනි අදහස් සැමවිටම හොලිවුඩි සිනමාපටවල තේමා වීම සුලභය. න්‍යෂ්ටික යුද්ධයක් හෝ ත්‍රස්තවාදය මර්දනය කිරීමට ඇමරිකානු රාජ්‍යයෙන් වීරයකු පැමිණෙයි. ඊතන් හන්ට් යනු ඇමරිකානු සිනමාව විසින් නිර්මාණය කළ එවැනි පන්නයේ ප්‍රබන්ධ වීරයෙකි.

ඇමරිකානු වීරයා පැමිණ ලෝකයට සිදුවන දැවැන්ත අනතුර දිවි පරදුවට තබා කෙසේ හෝ මැඩ පවත්වයි. එය හොලිවුඩි සිනමාව විසින් ඇමරිකාව පිළිබඳ ලෝකය පුරා පතුරුවන ප්‍රබල ප්‍රචාරණයකි. ඇමරිකාව විසින් වියට්නාමය යටත් කරගැනීමට විශාල යුද්ධයක් කරන ලදී. නමුත් වියටිනාමය ඉදිරියේ දරුණු පරාජයක් ලැබුණ්. එය ඉතිහාසයේ ලියවෙන්නේ ඇමරිකාව විසින් රාජ්‍යයක් ඉදිරියේ ලැබූ අන්ත පරාජයක් පරිද්දෙනි. එම ලැජ්ජාසහගත පරාජයෙන් බේරීමට රැම්බෝ වැනි සිනමා වීරයෙකු ඇමරිකාව විසින් නිර්මාණය කරන ලදී. ඊතන් හන්ට් යනු එහි දිගුවකි. ඇමරිකානු ජාතිකත්වය ලෝකයේ ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වන්නේ ‘Mission: Impossible’ වැනි සිනමාපටවලිනි. ඇමරිකානු රජය සතුව ඇති යුද ශක්තිය ද බලය ද මෙවැනි සිනමාපටවලින් ප්‍රචාරය කරයි. නිදර්ශනයක් ලෙස’Mission: Impossible – Final Reckoning’ චිත්‍රපටයේ රූගත කිරීමි ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS ජෝර්ජ්. ඩබ්ලිව්. බුෂ්’ නම් ප්‍රහාරක ගුවන් යානා ගෙනයන නෞකාවේ සිදු කර ඇත.

අවුරුදු 62ක් වයසැති ටොම් කෲස් විසින් චිත්‍රපටයේ සිය සටන් ජවනිකා සහ ක්‍රියාදාම දර්ශන සඳහා ආදේශක නළුවකු (stunt) නොමැතිව තමන් විසින්ම සිදු කිරීම චිත්‍රපටය තවත් සුවිශේෂී වන්නට හේතු වෙනවා. බොහෝ විචාරකයන් විසින් ටොම් කෲස් නම් කරන්නේ අපේ කාල⁣යේ අවසන් ක්‍රියාදාම සිනමාවේ වීරයා බවයි. එය සත්‍යයකි. ටොම් කෲස් හොලිවුඩ් සිනමා කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ තම ජීවිතයේ හොඳම අවධිය සිනමාව වෙනුවෙන් කැප කළ නළුවෙකි. මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාව පුරාවටම ටොම් කෲස් විසින්ම ක්‍රියාදාම දර්ශන සහ ගුවන් යානා, හෙලිකොප්ටර් ක්‍රියාදාම දර්ශන සඳහා ඔහු විසින්ම පෙනී සිටින අතර මෙවර’Mission: Impossible – Final Reckoning’ චිත්‍රපටයේ ද ටොම් කෲස් විසින් ගුවන් යානයක සිට අඩි 8, 000ක පමණ ඉහළ ආකාසයේ සිට කරන දැවැන්ත සටන් හරඹ දර්ශනය ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබේ.

ටොම් කෲස් තම ජීවිත අවදානම පවා නොතකමින් ත්‍රාසජනක ක්‍රියාදාම දර්ශන සඳහා පෙනී සිටිම සඳහා විශාල ප්‍රසිද්ධියක් ලබා සිටින අතර ‘Mission : Impossible – Ghost Protocole’ චිත්‍රපටයේදී ලොව උසම ගොඩනැඟිල්ල වූ බර්ජ් කලීෆා මුදුන පවා තරණය කරන්නට සමත් විය. ‘Mission: Impossible – Dead Reckoning Part One’ චිත්‍රපටයේ ද ටොම් කෲස් විසින් මෝටර් බයිසිකලයකින් අඩි 4,000ක පමණ උස ප්‍රපාතයකින් පහළට ඇද වැටෙන දර්ශනය ලොව පුරා අවධානය දිනා ගත්තා. තම ජීවිත අවදානම ගැන පවා නොහිතමින් ආධාරකයක් පවා

නොමැතිව අඩි 4,000 පමණ උස මෙම ප්‍රපාතයෙන් පහළට ඇද වැටෙන අතර අඩි 1,000 පමණ වනවිට පැරෂුටයකින් නිරුපද්‍රිතව යළි පොළොවට පැමිණේ. මෙම දර්ශන සඳහා ඔහු විසින් පුහුණුවීම් අවස්ථා දහසකට අධික ප්‍රමාණයක් සිදු කළ බව චිත්‍රපට කාර්ය මණ්ඩලය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

පැය 2 යි මිනිත්තු 49 ක කාලයක් පුරා දිවෙන “The Final Reckoning” චිත්‍රපටය, මිෂන් ඉම්පොසිබල් ෆ්‍රැන්චයිස් හි දීර්ඝතම චිත්‍රපටය බවට පත්ව ඇත. ‘Mission Impossible’ චිත්‍රපට මාලාවට ආවේණික ලක්ෂණය වන මිෂන් ඉම්පොසිබල් තේමා සංගීතයත් සමඟ ආරම්භ වන ආරම්භක ක්‍රියාදාම දර්ශනය (Opening scene) කැපී පෙනෙනවා. ටොම් කෲස් විසින් ඊතන් හන්ට්ගේ චරිතය සඳහා පණ පොවන අතර චිත්‍රපටයේ අවශේෂ චරිත සඳහා Hayley Atwell, Ving Rhames , Simon Pegg, Rebecca Ferguson, Esai Morales , Vanessa Kirby , Pom Klementieff සහHenry Czerny ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.‘Mission : Impossible 6 – Fallout’ චිත්‍රපටය, ‘Mission: Impossible – Dead Reckoning Part One’සිදු කළා සේම ‘Final Reckoning’ හි තිර රචනය සහ අධ්‍යක්ෂණය ද ‘ක්‍රිස්ටෝෆර් මැක්‍කූරි’ විසින් සිදුකර තිබෙනවා. මෝල්ටාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නෝර්වේ සහ ඉතාලිය යන රටවල රූගත කර ඇති අතර, ඇමරිකානු ඩොලර් මිලියන 400ක් (ලංකා මුදලින් රුපියල් බිලියන 100ට වැඩි) වැනි අති විශාල පිරිවැයක් දරමින් නිර්මාණය කළ ‘Mission: Impossible – Final Reckoning’ චිත්‍රපටය ලොව පුරා බෙදාහරින්නේ පැරමවුන්ට් සිනමා සමාගමයි. කෙසේවෙතත් ‘ද ෆයිනල් රෙකනිං’ මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාව අවසන් චිත්‍රපටය නොවන බවත් අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් මාධ්‍ය වෙත පවසා තිබුණා. ඊතන් හන්ට් ලෙස තවත් මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටයක රඟපෑම සඳහා ටොම් කෲස් විසින් කැමැත්ත පළ කර ඇති අතර එය ප්‍රේක්ෂකයන්ට චිත්‍රපට මාලාව කෙරෙහි බලාපොරොත්තු දල්වන පුවතකි.

‘Mission: Impossible – Final Reckoning’ චිත්‍රපටය මේ වනවිට අන්තර්ජාතික IMDB සිනමා දර්ශකයේ අගය 7.6/10ක් ලබා ඇති අතර රොටෙන් ටොමැටෝස් විචාරක වෙබ් අඩවියෙහි 80%ක් ලබාගෙන තිබෙනවා. හොලිවුඩයේ සිටින විශිෂ්ටතම ක්‍රියාදාම නළුවා තමන් බව නැවත වරක් තහවුරු කරන්නට ටොම් කෲස් විසින් සමත් වී ඇති බව විචාරකයන්ගේ අදහසයි. නොනවතින ක්‍රියාදාම දර්ශන සමඟ ඇඩ්‍රිනලීන් නෑවෙන, ලොමුදැහැ ගැන්වෙන ක්‍රියාදාම චිත්‍රපටයක රසය විඳගන්න නම් ‘Mission: Impossible – Final Reckoning’ කියන්නේ සිනමා ශාලාවකට ගොස් අසුනක් වෙන් කරගෙන නැරඹිය යුතුම ක්‍රියාදාම චිත්‍රපටයක්.

 

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT