Home » තිරය පිටුපස සිට දක්ෂතා දක්වන්න කැමැතියි

තිරය පිටුපස සිට දක්ෂතා දක්වන්න කැමැතියි

ෂා එෆ් එම් හි සහකාර වැඩසටහන් කළමණාකාර රොෂාන් වික්‍රමසිංහ

by Thanushika
April 10, 2025 9:22 am 0 comment

අන් හදවත් තම කටහඬින් ස්පර්ශ කිරීමට හැකිනම් කෙතරම් අපූරුද. රුව නොපෙන්වා හඬින් කෙනෙකුගේ හදවතට සමීප වන්නට හැකිවන්නේ තමා සතු වාසනා ගුණය නිසාමය. තම රූපය ලොවට නොපෙන්වා තම හඬ පමණක් ලොවට අසන්නට සලස්වන්නට හැකිනම් එයත් විශේෂත්වයකි.

කට ඇති පුතයි, රුව ඇති දුවයි යනුවෙන් පැරණි කියමනක් ඇත. කට ඇති සහ රුවද ඇති පුතෙක් පවුලට සම්පතක්. වාසනාවක්. තම කට හඬින් අන් හදවතක් සියුම් ලෙස ස්පර්ශ කරන අපූරු චරිතයක් සරසවියට හමුවිය. ඔහු ෂා එෆ් එම් හි ශෙවාන්ය. එහෙත් එය ඔහුගේ සැබෑ නාමය එය නොවේ. ශෙවාන්ට හඬ මුසු කරන ඔහු රොෂාන් වික්‍රමසිංහය. ඔහු ෂා එෆ් එම් හි සහකාර වැඩසටහන් කළමණාකරුවෙකි. නිවේදකයෙකි. හඬ කැවීම් ශිල්පියෙකි. ගී පද රචකයෙකි. විශේෂයෙන් ඔහු නිවේදන කලාවට අති දක්ෂයෙකි. මනා පෞරුෂයකින් හෙබි හඬක් ඔහු සතුය. රොෂාන් තම නිවේදන වෘත්තියට අඩිතාලම දැමූ දා සිට ෂා එෆ් එම් හි සහකාර වැඩසටහන් කළමනාකරුවෙක් දක්වා ආ ගමන් මඟ පිළිබද ඔබ හමුවේ තබන්නට සරසවිය හමුවට පැමිණියේය. මෙතැන් සිට දිග හැරෙන්නේ ඔහුගේ හඬින් කියවෙන ඔහුගේ කතාවයි.

පුංචි කාලේ සිටම මම කලාකටයුතු වලට රුචියක් දැක්වූවා. මම පුංචි කාලේ ඉගෙන ගත්තේ කඩවත රෝමානු කතෝලික පාසැලේ. පසුව රාගම බැසිලිකා ජාතික පාසැලෙන් අධ්‍යාපනය හැදෑරුවා. පාසැල් කාලයේදී කථික තරඟ, සාහිත්‍ය සංගම් , කලා කටයුතු ආදියට සම්බන්ධ වුණා. ඒ කටයුතු වලදී මට නිවේදනය කරන්න අවස්ථා ලැබුණා. මම පාසැල් අධ්‍යාපනයෙන් පසුව මෝටර් කාර්මික විෂය ඉගෙන ගැනීමට උනන්දු වුණා. පසුව රැකියාවක නිරත වුණා. ඒත් මගේ වැඩි කැමැත්ත තිබුණේ නිවේදනය පැත්තට. ඒ පිළිබද හදාරන්න ආසාවක් ඇතිවූ නිසාම මම නිවේදනය පිළිබඳ විශේෂ පාඨමාලාවක් හදාරන්න පටන්ගත්තා. මගේ යාළුවෝ නිතරම මට කිව්වේ මගේ කටේ හැටියට හරියන්නේ එෆ් එම් එකක් කියලා. පාඨමාලාව හදාරන අතරතුරේම නෙත් එෆ්.එම් එකේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වුණා. එදා විසිහත් දෙනෙක් පැමිණ සිටියා ඒ සඳහා. අවසානයේ ඒ පැමිණ සිටි විසිහත් දෙනාගෙන් තේරුණේ මාව විතරයි. මට රැකියාව ලැබුණා. ඒ වන විට මම කරමින් සිටි පාඨමාලාව අවසන් කරල තිබුණෙත් නැහැ. එහි අවසන් විභාගයට පෙනී සිටියේ රැකියාව කරන අතරතුරමයි. එයින් මම බොහෝ දේ ඉගෙන ගත්තා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ඇසුර ලබන්නට හැකිවුණා. ඔවුන්ගෙන් දැනුම ලබා ගන්නට හැකිවුණා. රේඩියෝ කලාව පිළිබඳ, හඬ කැවීම්, නිවේදන කටයුතු පිළිබද අපට දැනුම ලබා ගන්නට අවස්ථාව ලැබුණා. ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ජනප්‍රිය චරිත රැසකගෙන් මට දැනුම සහ ඇසුර ලබා ගන්නට ලැබීම මගේ ජීවිතයට ලැබුණු වටිනා අවස්ථාවක්.

ෂා එෆ් එම් එකට මම සම්බන්ධ වුණේ එය එළිදකින්න මාස දෙකකට කලින්. මුලින්ම මට ලොකු වැඩක් පැවරුණේ නැහැ. එහෙත් අපි පුහුණුවුණා. ෂා එෆ් එම් එක ගලායන රිද්මය වෙනස්. සිංහල කතා කිරීමේදී ඒ අතරට ඉංග්‍රීසි භාෂාවත් මිශ්‍ර වෙමින් යන කතා විලාශයක් ෂා එෆ් එම් ඔස්සේ අසන්නට පුළුවන්. එහි කෙරෙන වැඩසටහන් වලදී මම පෙනී සිටින්නේ ශෙවාන් නමින්. මම මගේ ආයතනයට ගරු කරනවා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ෂා එෆ් එම් කිව්වොත් නිවැරැදියි. උදෑසන Early Bird Show එක ඉදිරිපත් කරන්නේ මම. ලග්න පලාඵල ඉදිරිපත් කිරීම, උපන්දිනයට සුබ පැතීම් වැනි දේවල් එම වැඩසටහන මඟින් ඉදිරිපත් කරනවා. ඒ වගේම මම ඉතාමත් ආසාවෙන් කරන කටයුත්තක් ලෙස හිරු Sports News හඳුන්වන්න පුළුවන්. ෂා එෆ් එම් එකේ ක්‍රීඩා වැඩසටහන්වල නිවේදකයෙක් ලෙස කටයුතු කරන්නෙත් හරි කැමැත්තෙන්. විශේෂයෙන් හිරු Sports News කියන්න ලැබීම මගේ නිවේදන ජීවිතයේ ලැබුණ වටිනා අවස්ථාවක්.

නිවේදයෙක් වගේම මම හඬ කැවීම් ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා. මම මුලින්ම හඬකැවීම් ශිල්පියෙක් විදිහට සම්බන්ධ වුණේ මා මුලින් කී පාඨමාලාව අතරතුරයි. ජාතික රූපවාහිනීයේ අතුල රන්සිරිලාල් මහත්මයා නිසා මට ඒ අවස්ථාව ලැබුණේ. අතුල රන්සිරිලාල් මහත්මයා හඬකැවීම් පිළිබද හසළ දැනුමක් ඇති දැවැන්තයෙක් සහ ප්‍රවීණයෙක්. ඔහු මාව තෝරාගත්තේ සුසුරන් ටෙලි කථාංගයට. එහි ප්‍රධාන චරිතයට.

මා පළමු දවසේ ගිහින් සුසුරන් සඳහා හඬ කැවීම් කළා. එහෙත් පසුව අතුල මහත්මයා මට දැනුම් දුන්නා ඒ චරිතයට මගේ හඬේ ප්‍රබලත්වය තරමක් අඩුයි කියලා. සරලව කියනවා නම් මගේ හඬ මෝරපු ගතිය අඩුයි කියලා තමයි අතුල සර් කිව්වේ. ඒත් මට වෙනත් චරිතයක් ලැබුණා. හඬ කැවීම් ශිල්පියෙක් ලෙස මාව තෝරාගත් එකම මට ලැබුණු භාග්‍යයක්. මට මුලින් ලබාදුන් චරිතය මට පසුව දීලා තිබුණේ හඬ කැවීම් පිළිබද ජ්‍යේෂඨ ශිල්පියෙක් වූ කස්සප සෙනරත් අයියට. මා ඔහුව දැක තිබුණේ නැහැ කලින්. එහෙත් ඔහු ගැනත් ඔහුගේ හඬත් මා අසා තිබුණා. මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා කස්සප කියන චරිතය සැබැවින් දකින්න සහ මුණගැසෙන්න. දිනක් මට ඒ අවස්ථාව උදා වුණා. එදා අප අතර ඇතිවූ මිතුදම අදටත් පවතිනවා.

හිතට හිතක් වැඩසටහන කරද්දී අමතක නොවන සිදුවීම් බොහෝමයි. දවසක් ගැහැනු කෙනෙක් මාව හොයාගෙන ආවා. ඇය රජයේ පිළිගත් රැකියාවක නිරතවන කාන්තාවක්. තවමත් ඇය රැකියාවේ නිරත වී සිටිනවා. ඇය මා සොයා එන්නට හේතුව විදිහට පැවසුවේ හරි අපූරු කතාවක්. ඇයගේ හිතේ තියෙන දේවල් මම වැඩසටහන ඔස්සේ කතා කරනවලු. ඒ වගේ සිද්ධීන් නිසා මට නම් තේරුම් යන්නේ බොහෝ අයට හිතට හිතක් වැඩසටහන තමන්ගේ ජීවිතයට සමීප දෙයක් විදිහට දැනිල තියෙනවා. මිනිසුන්ට දැනෙන විදිහට වැඩසටහන කරන්න මම නිතර උත්සාහ කරනවා. ගුවන් විදුලි වැඩසටහන් වලදී ඇසෙන්නේ අපේ හඬ පමණයි. අපේ රූපය දකින්න ලැබෙන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල මම ගැන කතා වෙනවා මගේ කනට ඇහිලා තියෙනවා. සමහර අය දොස් කියනවා. සමහර අය හොඳ කියනවා. මාව අගය කරනවා ඇහිලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල හිතට සතුටක් දැනෙනවා. අපිට පැවරුණු රාජකාරිය හොඳීන්, යහපත් ලෙස කළොත් ප්‍රතිඵලය සාර්ථකයි.

අපි නිවේදන වෘත්තියේ නියැලුණේ ඒ පිළිබද හැදෑරීමකින් පසුව. එහෙත් වර්තමානයේ ඒ තත්වය වෙනස් වෙලා. නළුවෝ නිළියෝ, ගායක ගායිකාවෝ නිවේදන කටයුතු කරන්න යොදාගෙන තියෙනවා. එසේ වීම නිසා වෙන්නේ සැබෑ නිවේදකයන්ටත් අසාධාරණයක් වෙන එක. අනෙක් කරුණ වන්නේ දැනුමක් නැතිව නිවේදන ක්ෂේත්‍රන්හි කටයුතු කරන්න අපහසුයි. එවිට ඒ පිළිබද පළපුරුදු අය වෙතම අවධානය යොමු වෙනවා. අදාළ දේ, තමාට කළහැකි දේ පමණක් කරගෙන සිටියෝතින් සෑම ක්ෂේත්‍රයක්ම මීට වඩා සුන්දරයි. ඒ අතර එක් දෙයක් ගැන පමණක්ම නෙවෙයි විවිධ දක්ෂතා කිහිපයක් ඇති අයද ඉන්නවා.

මට ගී ලියන්නත් හැකියාව තියෙනවා. මුලදී මට ඒ පිළිබද එතරම් අදහසක් තිබුණේ නැහැ. මට ගී ලියන්න හැකියාව ඇතිවුණේ පල්ලියෙන්. පල්ලියේ විවිධ කටයුතු වලදී ඒ සඳහා මම පිටපත් ලිව්වා. ඒ වගේම හින්දි ගී තනු වලට සිංහල වචන ලිව්වා. ඒ වෙනුවෙන් මට ලැබුණේ සුබවාදී ප්‍රතිචාර. මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් තිබුණා නත්තල් බැති ගීයක් ලියන්න. ඒ බලාපොරොත්තුව මට ඉෂ්ට කර ගැනීමට හැකිවුණා. ඒ අවස්ථාවේ මට විශේෂ කෙනෙක් හම්වුණා. ඔහු අශාන් ප්‍රනාන්දු. පළමුවෙන්ම ඔහුත් සමඟ එකතු වෙලා නත්තල් බැති ගීතයක් නිර්මාණය කළා. ඒ වගේම දිලීප තමෙල් , ගයාන් ටුටූ සමඟත් එකතු වෙලා නත්තල් බැති ගී කිහිපයක් නිර්මාණය කළා. ඒ විදිහට තමයි ගී ලියන්න කැමැත්තක් හිතේ ඇතිවුණේ. හින්දි ගීත වලට සිංහල වචන දැම්මා. එහෙම ලිව්වේ විනෝදෙට වගේ. හැබැයි ටික කාලයක් යනවිට හිතුණා ඒ වැඩේ හරි සුන්දරයි කියලා. ඒ විදිහට තමයි මම ගී ලියන්න පෙලඹුණේ. මගේ ගී ලිවීමේ කලාවේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ අමිල මුතුගල සහෝදරයා. ඔහු ඇරෝස්ටා සංගීත කණ්ඩායමේ කී බෝඩ් වාදකයා. ඒ වගේම ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙක්. අපි ඉතා සමීපව වැඩ කරනවා. ඔහුත් සමඟ එකතු වෙලා ජනප්‍රිය ගීත ගණනාවක් නිර්මාණය කළා. ඒවා නැරඹුම් වාර මිලියනය පසු කරල තියෙනවා.

මම ගීත ලියන බව හිරු ටීවී එකේ කසුන් ජයවර්ධන අයියට ආරංචි වෙලා තිබුණා. ඔහු මට ආරාධනා කළා ගීත ලියන්න. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි හිරු ටීවි හි රූමා කියන නාට්‍යයේ තේමා ගීතය ලියන්න ලැබීම පිළිබඳව. එය මට වැදගත් අවස්ථාවක්. මේ වන විට ටෙලිනාට්‍ය හයක හතක පමණ ගීත ලියා තිබෙනවා. ඒ අනුව මා අතින් මේ වනවිට ගීත සිය ගණනක් ලියවිලා ඇති. රූමා, ආදරෙයි මං ආදරෙයි , සීසන් ටිකට්, ඇස් දෙකට හොරෙන්, සිත් අහසේ ආදරෙන් වගේ නාට්‍ය මගේ ගීතවලින් හැඩවුණා.

හිරු නාලිකාවේ විකාශය වන හිරු ස්ටාර් ගායක ගායිකාවන් සඳහා මම ගීත ලියා තිබෙනවා. සුභානී හර්ෂණී, ශානිකා මධුමාලී, ඉඳුනිල් අන්ද්‍රමාන, පවනි පෙරේරා, නදීශා දයාරත්න ඇතුළු ගායක ගායිකාවන් විශාල සංඛ්‍යාවකට මා ගී රචනා කර තිබෙනවා. එයින් හිරු ස්ටාර් හරහා බිහිවූ තරු බොහෝ ප්‍රමණයක් ඉන්නවා.ඔවුන්ට පළමු ගීය රචනාව කර දුන්නේ මම.

අපේ ජීවිතවල හීන තිබෙනවා. එවැනි හීන මටත් තිබෙනවා. ප්‍රවීණ ගායන ශිල්පීන් දෙපළක් වූ කරුණාරත්න දිවුල්ගනේ සහ අමරසිරි පීරිස් යන දෙපළට ගීතයක් ලියන්න. එය ඔවුන්ගේ හඬින් එය ගායනය වනවා අසන්න. ඒ දොළදුක ඉක්මනින් සංසිඳවා ගන්න ආසාවෙන් බලා සිටිනවා. කවදා හරි සිනමා ගීත රචකයෙක් වෙන්නත් හීනයක් තියෙනවා. ඒ පිළිබද කතාබහක් සිදුකළා. එහෙත් තවම ස්ථීර නැහැ.

මේ හීන අතරින් මගේ සුන්දරතම හීනය වන්නේ මා රචනා කළ ගීත ඇතුළත් ප්‍රසංගයක් පවත්වන්න. ගීත රචකයෙක්ගේ ලොකුම හීනය එයයි. එයට අඩිතාලමක් දමා තිබෙන්නේ. කතාවක් ගලායන රිද්මයට ප්‍රසංගය පවත්වන්න තමයි සිතාගෙන ඉන්නේ. ඒ සඳහා ගීත විසිපහක් පමණ තෝරාගත යුතුයි. ගීත සිය ගණනක් අතරින් ගීත විසිපහක් තෝරාගැනීම තමයි අපහසුම කාර්යය. ඒ වගේම නිසඳැස් ලියන්න පුදුම ආසාවක් තියෙනවා. මා දැනට ලියා ඇති නිසඳැස් සියල්ල එක්තැන් කොට පොත් පිංචක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ දිනවල මා ලියූ ගීත හතරක් සඳහා වීඩියෝ නිර්මාණය වෙමින් පවතිනවා. මේ සෑම දෙයක් අතරතුරම Event Coordinator කෙනෙක් විදිහටත් කටයුතු කරනවා. සංගීත ප්‍රසංග සැලසුම් කිරීම තමයි ප්‍රධාන වශයෙන් සිදුකිරීමට බලාපොරොත්තුව.

ෂා එෆ් එම් එකට සම්බන්ධ වූ නිසා මගේ ජීවිතයේ වෙනසක් වුණා. මගේ හැකියාවන් වර්ධනය වෙන්න ඉවහල් වුණා. මේ ආ ගමනේදී ෂා එෆ් එම් හි සහකාර වැඩසටහන් කළමනාකාරවරයෙක් ලෙස අද වන විට මා පත් වි තිබෙනවා. එය මා ලද ජයග්‍රහණයක්. එතැනට මට එන්න උදව් කළේ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමාට සහ කෙවිබ් සර්. ඔවුන්ට ස්තූති කරන්න මා මේ අවස්ථාවක් කර ගන්නවා.

මා කතෝලිකයෙක්. මම මගෙ රැකියාව කරගෙන යන්නේ මගේ කටහඬින්. ඒ හඬට උපත ලබාදුන් මගේ මව්පියන් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේට මගේ ගෞරවය පුද කරනවා. කලාව, නිවේදනය, ගීත රචනය යන අංශයන් ගෙන් මගේ හැකියාව පෙන්වමින් සෙමින් ගමනක් යන්න තමයි බලාපොරොත්තුව. තිරයේ පෙනෙන කෙනෙක් නොවී තිරය පිටුපස දක්ෂතා පෙන්වන්න කැමතියි.

රොෂාන් වික්‍රමසිංහ තම උත්සාහයෙන්, හැකියාවෙන් දියුණුව කරා පියමං කරනා තරුණයෙකි.

රොෂාන් වික්‍රමසිංහ ගේ දක්ෂතාවලින් ඔබටත් ප්‍රයෝජනයක් ගැනීමට අවශ්‍ය නම් මේ අංකයට ඇමතීමෙන් ඔහුව සම්බන්ධ කරගත හැකිය.

0777742643.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT