” අපේ තාත්තා හැම තිස්සේම හරි කියන දේ වෙනුවෙන් පෙනී සිටියා මිසක් ඒ පුද්ගලයාගේ ලොකු තනතුරු හෝ වාසිය බලා ඇසුරු කළේ නැහැ..අසාධාරණ නම් වැරදි නම් තාත්තා එතැනින් වහා ඉවත් වෙනවා…අපෙ තාත්තා නිදහස් මතධාරියකු බව ක්ෂේත්‍රයේ කවුරුත් වගේ දැන සිටියා…”
” අපෙ තාත්තා ට කවුරුවත් කවදාවත් විශේෂ වූයේ නැහැ…දරුවන් වන අපට වුණත් තාත්තා නිදහස දී තිබුණා …විශ්වාසය බිඳීන්න එපා… ආයෙත් එය හදාගන්න බැහැ කියලත් තාත්තා නිතර කිව්වේ..”
හෙතෙම සිනමාවේ ප්‍රවීණයෙකි..සිය සිනමා නිර්මාණ තුළින් තම සිත පත්ලේ කැකෑරෙන සමාජ අසාධාරණය …සමාජ දේශපාලනික හා ආර්ථික ගැටලු පිළිබඳව නිර්මාණාත්මකව ජනගත කළ ඔහුගේ සිනමා නිර්මාණ පිළිබඳව අදටත් විචාරකයන්ගේ කතාබහට බඳුන් වෙයි..ඔහු අදීන මිනිසකු යැයි…අදීන සිනමාවේදියකු යැයි පැවසෙන්නේ ඒ නිසාම විය යුතුය…
මෙවර සරසවිය වෙනුවෙන් මේ ජ්‍යේෂ්ඨ සිනමාකරුවා පිළිබඳව යටගිය තතු සොයනු රිසියෙන් ගිය ගමනේදී හමුවූ මේ ප්‍රතාපවත් කලාකරුවාගේ එකම දියණිය කනිෂ්කා ඔබේසේකර මහත්මිය දැන් මා නුදුෙර්ය..
රූපත් ඕ තොමෝ සිනාවතිනි…
කොළඹ ..බම්බලපිටියේ ලෝරිස් මාවතේ පදිංචි නාවින්න ආයුර්වේදයේ ප්‍රකට වෛද්‍යවරයකු වන දොන් ධර්මදාස ඔබේසේකර මහතා ෂඩිභාෂා දැනුමැති බොහෝ ඇසූපිරූ තැන් ඇති ග්‍රන්ථ කතුවරයෙකි..ඔහුගේ බිරිඳ අමරා කන්නන්ගර මහත්මිය ය..මේ ආදරණිය මවුපිය දෙපළට සිටියේ පුතුන් දෙදෙනකු හා එක් දියණියකි..මින් වැඩිමහල් පුතු වත්මනෙහි ප්‍රකට මහාචාර්යවරයකු වන ගණනාත් ඔබේසේකර ය. දියණිය රෝහිණී ඔබේසේකර ය.. උප්පැන්නයේ සඳහන් අයුරින් 1934ක්වූ දෙසැම්බර් මස 29 දා මෙලොව එළිය දුටු පුතු ප්‍රවීණ සමිමානිත සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා අපේ මෙවර කතාවේ සොඳුරු කතානායකයාණෝය..
අපේ ආදරණිය සංලාපයට මුලපුරමින් සිය කටහඩ අවදි කරන ඔහු දියණිය අපේ කනිෂ්කා ඔබේසේකර දක්ෂ ක්‍රීඩිකාවකි..කොළඹ විශාඛා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකසේම ශ්‍රී ලංකා හොකී ජාතික කණ්ඩායම පුරා වසර හතරක් නියෝජනය කරමින් දක්ෂ ක්‍රීඩිකාවක ලෙසින් නමක් දිනූ ඇය ලිවීමෙහිද සමත් තැනැත්තියකි.
එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක්ද ලද ඇය ස්වාධීන අදහස් වලින් යුතු තැනැත්තියක යැයි හැඟේ.
“අපෙ තාත්තා දඩයම චිත්‍රපටය කරන්න අවුරුදු දෙකකට කලින් මම උපන්නේ..ඒ කියන්නෙ 78 දි විතර…මං අහල තියෙන දේ..දන්න දේ කියන්නම්..”
ඕ සිනාමුසුව කියන්නීය..ඈ කතාව සෘජුය…ඒ බැල්මද සෘජුය..
අපේ ආදරණිය කතා නායකයා මතුගම..මීගම පාසලට මුල්වරට අකුරට ගියේය..දෙවනුව මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ හෙතෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය හදාරා උපාධියකින් පිදුම් ලැබුවේය..
සිය ජීවිතයේ ප්‍රථම රස්සාව වූයේ ගුරු පදවියය..පසුව ලේක්හවුස් ආයතනයේ දිනමිණ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියකු ලෙසින් කටයුතු කරමින් සිටියදී ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රීය පරිචය ලද මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ ඇරයුමින් සිනමාවට එක්වෙමින් සම රචක හා සහාය අධ්‍යක්ෂවරයකු ලෙසිනි.
ඒ සම්මානිත සත් සමුදුර සිනමා සිත්තමෙනි.
” අපෙ තාත්තා බොහොම කෙළින් කතා කරන කෙනෙක්..ඒ අපෙ තාත්තාගෙ පෞරුෂය මම අදත් අගය කරනවා..ඒ වගේම තාත්තා හරිම අවංකයි..කවදත් තමන්ගේ මතය අනුව නිදහස් ජීවිතයක් ගතකළා..”
අපේ කනිෂ්කා කියන්නීය.
” අපොයි ඔව්…වෙලාවට වැඩ නොකළාම.. අසාධාරණයකදි එහෙම තාත්තා ට හරියට කේන්ති යනවා..”
කනිෂ්කා ඒ ටික කීවේ මා ඇසූ පැනයකදීය..
අපේ ආදරණිය විශිෂ්ටයාණෝ තම දියණිය කනිෂ්කාට වඩාත් සමීපව සිටියේය…විවේකය ගෙවා දමන්නේ ඇය හා කතාවෙනි…සිනමාව ..ජීවිතය..සමාජය..පිළිබඳව හෙතෙම කතා කරන්නේය… තාත්තා ගේ කතාවට වැඩිපුර සවන් යොමා සිටිනා ඇයද දන්නා තරමින් ඊට අදහස් දක්වන්නීය…
” අනේ ඉතින් අපෙ තාත්තා එක එක මාතෘකා වලින් මා එක්ක කතාකළාට මං එතකොට පොඩි ළමයෙක්..මට හිනහත් යනවා..ඒත් මට අද තේරෙනවා එදා තාත්තා අපෙ රටතොට ..සමාජය ගැන කියූ කතා හරි නේද කියලත්…”
” අපෙ තාත්තා කිසිම කෙනෙක්ව ගෙදරට කැඳවන්නෙ නම් නැහැ..ඒ හමුවීම් වෙනුවෙන් බම්බලපිටියෙ තාත්තාට කාර්යාලයක් තිබුණා ..ගෙදර තිබුණේ පිළියන්දලනෙ..එතැන තමයි සිනමාවට සම්බන්ධ අය වගේම තවත් අය සමඟ කතාබහ තිබුනේ..”
සිනමාවටම ඇරුණු කැපවුණු දිවිසිරිත තුළින් හෙතෙම සම්මානිත වූයේය..ඔහු ඔහුගේ සිනමා කෘතිය සමග බද්ධ වීම පිළිබඳව වරක් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය මහතා කීයේ ඔහුට ඔහුවම අමතකව යනවා කියාය..
දිනෙක එක් මාධ්‍යවේදියකු ඔහු සොයා පැමිණියේය..ඒ ඔහු පිළිබඳව පොතක් ලියන්නට ය…ඊට අකැමැති වූ අපේ කතා නායකයා ගත්කටටම කීයේ ” මේ මං ගැන මොන මඟුලක් ලියන්නද මනුස්සයො…වෙන දෙයක් බලාගන්න..” යි කියාය..මේ බව අපට කී දියණිය කනිෂ්කා මුවඅයා සිනාසෙන්නීය..
” බල්ලන්ට හැමදාමත් දඩාවතේ යන්න දෙන්න බැහැනෙ…එක්කො මරල දමන්න ඕනෙ..නැත්නම් බැඳලා දාන්ඩ ඕනේ..ඒ නිසා මං තමුසෙව බැඳගන්නවා…”
ප්‍රවීණ රූපණවේදිණිය ස්වර්ණා මල්ලවආරච්චි වේගවත් ස්වරයෙන් හා වෙහෙසබර ස්වරූපයෙන් වියරු වෙසින් කෑ ගසා කියන්නීය..ඇය දෙස වියරු බැල්මෙන් යුතුව බලා සිටින අපේ ආදරණිය රවීන්ද්‍ර රන්දෙණිය මා මතක තිරයේ මැවි මැවී පෙනේ…මේ අපේ සොඳුරු කතා නායකයාණෝ තැනූ සම්මානිත දඩයම සිනමා සිත්තමය…
” ඔව්..අමල්..දඩයම චිත්‍රපටය වගේම අපෙ තාත්තා තවත් චිත්‍රපට හැදුවානෙ…ඒ තමයි තාත්තාගෙ සතුට..අපිත් තාත්තාගෙ සතුට දිහා බලල සතුටු වුණා..එපමණයි…”
අපේ කනිෂ්කා දුන් පිළිතුරින් මා තව දුරක් ඇයගෙන් විමසුම් කළෙමි..
” මෙහෙමයි අමල්..අපෙ තාත්තාට අපි ගොඩාක්ම ආදරෙයි…අපි ගොඩාක් ගරු කරනවා..ඒත් අපෙ තාත්තා ජනප්‍රිය සිනමාකරුවෙක්…අපෙ තාත්තා සම්මානිත කෙනෙක් කියන අමුතු ආඩම්බරයක් මා ළඟ නැහැ.. මං ඉපදුණාට පස්සෙ තාත්තා හදාපු හැම චිත්‍රපටයටම සම්මාන හිමිවුණා..පළඟැටියෝ එකට සම්මාන ලැබෙන කොට මං ඉපදිලාවත් නැහැ…තාත්තා කරන චිත්‍රපට වලදි අපට එයින් අමුතු ආඩම්බරයක් නැහැ. ඒ වගේම සම්මානයට නම් කරල තිබුණත් ඒ සම්මාන ගන්න නොගිය අවස්ථාද තියෙනවා…ඒ ඉතිං…ඒ තුළ යම් යම් ගැටලුකාරී දේවල් තිබුණොත් ඒව අතහැර දමනවා..ඒක තමයි මං කලිනුත් කිව්වෙ අපෙ තාත්තා කෙළින් ජීවත් වෙච්ච කෙනෙක්ය කියලා..”
ආදරණිය කනිෂ්කා හිඳසිටි අසුනේ තවත් හරිබරි ගැසෙමින් කියන්නීය.
ඔහු තම නිදහස් ස්වාධීන මානසිකත්වය තම දරුවන්ට ද කියා දුන් පියෙකි..ඔහුගේ සමීප ඇසුරේ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය නායකකාරකාදීන් සිටියද ඔවුන්ගේ නොමනා ප්‍රතිපත්ති නොඉවසූ හේ වහා ඇසුරින් බැහැර වන බවද කීයේ අපේ කනිෂ්කා ය..
” ඕනම කෙනෙක් දන්නව අපෙ තාත්තා හරිදේට හරි කියල විතරක් කියන කෙළින් මනුස්සයෙක් කියලා..”
කනිෂ්කා කියන්නීය..
අපේ ආදරණිය කතානායකයාගේ පරම්පරාවේ කිසිවකු සිනමාව හා බැඳී නැති. ඔහුගේ පියාණන් වූ දොන් ධර්මදාස මහතා වෘත්තීය ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ අතර භාෂා හයකින් පරිණත අයෙකු විය.. ආයුර්වේද විෂය පිළිබඳව ද පොත් රැසක්ම ලියූ ඒ මහතා විශ්‍රාම යනවිටදී එම පොත් සියල්ල නාවින්න ආයුර්වේද රෝහලට පරිත්‍යාග කළේය. ඔහුගේ එක් පුතකු වන අපේ කතා නායක තෙමේ සිනමා කලාව තෝරාගැනීම සම්බන්ධයෙන් කිසිවක් නොකීවේ තමන්ට සුදුසු තීරණ ගැනීමේ අයිතිය දරුවන්ටම පවරා දී තිබූ නිසා විය හැකිය..ඒ අනුව යමින් අපේ ගෞරවනීය වසන්ත ඔබේසේකරයන් තම ජීවිතය නිදහස්ව තබාගනිමින් හේ සිය දරුවන්ටද එය මැනවින් කියාදී තිබූ බව මා සමග තවමත් ප්‍රිය සංලාපයේ පසුවන අපේ කනිෂ්කා කෙරෙන්ද දිස්වේ..
“ඔයා ඇහුවනෙ අමල් . විවේක වෙලාවට තාත්තා කොහොමද කියලා..අනේ එයා මා එක්ක වගේම මගෙ අයියා එක්කත් සතුටින් ඉන්නවා…අපි කැරම් ගහනවා..කාඩ් සෙල්ලම් කරනවා..තාත්තා සින්දු කියනවා..හරිම ආසයි අමරදේව මාස්ටර්ගෙ ගීත වලට..එයා අපූරුවට ගයනවා ….අපි තරුණ කාලෙ ඔය ජිප්සීස් වගෙ සින්දු කියද්දි ඕං තාත්තාට තරහ යනවා..තාත්තා කැමති නැහැ…අපේ නිදහස අපට දුන්නා..අපිත් ඒ නිදහස කවදාවත් අවභාවිතා කරලත් නැහැ..”
ආදරණිය කනිෂ්කා මුවපුරා සිනාසෙන්නීය.
අපේ කතා නායක තෙමේ මෙරට ප්‍රබල දේශපාලකයන්ගේ සහයට සිටියද කිසිවිටෙක තම ජීවිතය හා සබැඳී සමසමාජ දේශපාලන මතය නම් අත නොහැරියේය…කිසිවිටෙක ඔවුන්ගේ උදව් පතා නොගියේය…මේ පයුරුපාසානම් නොබිඳී පවතින්නේ ඔහු තබා ඇති විශ්වාසය පලුදු නොවනා තාක්කල් පමණි…විශ්වාසය බිඳුණේද ඔහු එතැනින් ඉවතට යන්නේය..
” අපෙ තාත්තාගෙ පවුල්වල අය තම තමන් කැමත්ත අනුවයි වැඩ කළේ..අපිත් එහෙමයි…තාත්තා අපට නිදහස දුන්නේ දුන් නිදහස ආරක්ෂා කරගන්න කියලයි…අපෙ විවාහ කටයුතු වලදි පවා එහෙමමයි…”
” අපෙ තාත්තා සිනමාකරුවකු වීම ගැන අපට ඇති කැමැත්තකුත් නැහැ..අකමැත්තකුත් නැහැ…මම එයාගෙ දුව හැටියට තාත්තා ගෙ හිතේ සතුට දැකල සතුටු වෙනවා. උපරිමය කළා කියා තාත්තා සතුටු වෙනවා..එපමණයි..අපෙ තාත්තා මෙහෙම කෙනෙක් සම්මාන ලබන කෙනෙක්..කියල නම් අපට අමුතු සතුටක් නැහැ..මගේ තාත්තා ජනප්‍රිය කෙනෙක් කියලවත් අපට ආඩම්බරයක් නැහැ…”
අපේ කනිෂ්කා තිර ස්වරයෙන් කියන්නීය..
අපේ ආදරණිය කනිෂ්කා සමඟ කතාබහද අපූර්වයක් උපදී..ඕ ලඳබොළඳ පිළිතුරින් බැහැරව සාටෝප නැති ඇයගේ කතා සිරිත යථාවත් යැයි වරෙකදී හැඟේ..
මා ඇසූ තවත් විමසුමකදී ඈ මෙසේ කියන්නීය.
” අපෙ තාත්තාට හිමිනමකටත් වඩා එහාගිය බුදුදහම සහ බුද්ධාගම පිළිබඳව ඉහළම දැනුමක් තිබූ කෙනෙක්..පොතපත ඇසුරත් එහෙමයි…හැබැයි ජනප්‍රිය සංකල්ප තාත්තා අනුගමනය කළේ නැහැ.. පන්සලට යන්නේම නැහැ.. කොටින්ම අමල්..අපෙ තාත්තා එයාගෙ පාංශුකූලය පවා ප්‍රතික්ෂේප කරල…අපෙ අම්මාවත් දැනුම්වත් කර තිබුණේ…”
අපේ සොඳුරු කතා නායකයාගේ ජීවන අත්වැල වූයේ වේයන්ගොඩ පදිංචි ස්වර්ණා ඔබේසේකර මෙනවියය…ඔහුගේ යුගදිවි සිරිත සිරිමත් වූයේ යෝජිත විවාහයකිනි.
එම විවාහයෙන් ඔවුනට තිළිණ වූයේ පුතු අසංක ඔබේසේකර සහ දියණිය කනිෂ්කා ඔබේසේකර ය..
මේ වනවිට අසංක පුතු ප්‍රකට රැකියාවක නිරත වන අතර අපේ කනිෂ්කා දෙදරු මවකි..ඇයගේ සැමියා මංජුල දිසානායක මහතාය… මහනුවර ප්‍රදේශයේය.. ව්‍යාපාරිකයෙකි. තවමත් 16 සහ 18 වියෙහි පසුවන ඇයගේ පුතුන් දෙදෙනා කේසර දිසානායක සහ ගුණිත දිසානායක රාජකිය විදුහලේය..
” අපෙ අම්මා සැලසුම් ශිල්පිනියක්..තාත්තාගෙ චිත්‍රපට වැඩකටයුතු වලදි සෙට් එක ඩිසයින් කරන වැඩ වලට අම්මාත් ගිහින් තාත්තා ට සහය වෙනවා..එතකොට මාත් යනවා..නැත්නම් මං තාත්තාගෙ චිත්‍රපට කටයුතු බලන්න යන්නෙ නැහැ.. තාත්තා කීවෙ එහෙම එන්න තරම් සුදුසු තැනක් නෙමේය කියලා..
ලේඛන කලාවෙහි සමත්කම් දියණිය කනිෂ්කා තිර රචනයට යොමුකරවා ගන්නට තාත්තා අදහස් කළද ඇයගේ අවිවේකී බව ඊට හරස් වූ බවද අපේ කනිෂ්කා කියන්නීය..
කනිෂ්කාගේ මව එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමඟ සමීප සුහදතාවයකින් එහි කටයුතු කළද සමසමාජ දේශපාලන මතයෙහි පසුවූ හෙතෙම කිසිවිටෙක ඊට එරෙහි වූයේ නැති…
“ඒක තමයි අපෙ තාත්තාගෙ ප්‍රතිපත්තිය..අම්මාගෙ මතයට තාත්තා නිදහස දී තිබුණා …තාත්තා ස්වාධීන චරිතයක්..”
තම දියණිය විශාඛා විද්‍යාලයේ කැපී පෙනෙන ක්‍රීඩිකාවකි…ඇය පාසලේ ක්‍රීඩා පුහුණුවේය…දියණියට ආහාර ගෙන එන තාත්තා පාසලේ ගේට්ටුව ළඟට විත් එය දියණිය අතට දී පිටව යන්නේය..
” ඔව්..අපෙ තාත්තා කවදාවත් ..කවදාවත් ම මම ක්‍රීඩා කරනව බලන්න පාසලට ඇවිත් නැහැ.. මම පාසලේ හවුස් කැප්ටන්..අවශ්‍ය උපකාරයක් පාසලට ලබා දෙනවා මිසක් මගෙ තාත්තා හැටියට පාසලට ඇවිත් නැහැ..එහි දොසක් මම දකින්නෙත් නැහැ…මම වසන්ත ඔබේසේකර ගෙ දියණිය කියලවත් කවුරුවත් දන්නෙ නැහැ..මගෙ තාත්තා එයා කියලවත් මං කාටවත් කියලත් නැහැ..පස්සෙ කාලෙ දවසක තමයි පාසලෙ අයත් දැනගත්තෙ..”
අපේ කනිෂ්කා තවදුරටත් කතා කරන්නීය..
” මගේ උත්සාහයෙන් අද මම මෙතැනට ඇවිත් තියෙන්නේ..අපේ ගෙදර අපි හතර දෙනා හතරක් හැටියට උන්නේ..උදව්වක් ඉල්ලුවාම තාත්තා කර දෙනවා..එහෙම අපි ඉල්ලන්නෙත් නැහැ…අපි අපේ තාත්තාගෙ හැටි දන්නවනෙ..
” මම ශ්‍රී ලංකා හොකී ජාතික කණ්ඩායම නියෝජනය කළා අවුරුදු හතරක්..එක දවසක්වත් මා තරඟ කරනව බලන්න තාත්තා ඇවිත් නැහැ..මං තාත්තාට එන්න කියලත් නැහැ…ග්‍රවුන්ඩ් එකට තාත්තා පය තියලවත් නැහැ..අපි අපේ තාත්තාට ආදරෙයි..තාත්තාත් අපට ආදරෙයි…ගොඩක් අය තාත්තාගෙ හයියෙන් ගොඩයන්න බලනවනෙ. එතකොට තමයි ප්‍රශ්න එන්නෙ..අපි එහෙම නැහැ..ඉතින් අපෙ තාත්තා අපට කියල දුන්නෙත් එහෙමනෙ…. තාත්තා හරි ..එයා අපෙ තාත්තා .
අපි ඒ තාත්තාගෙ දරුවන්…”
ඕ සිනාසෙමින් කියන්නී… උවමනාවෙන් මෙන් මදෙස බැලූ ඈ ” පුදුම වෙන්න දේකුත් නෑ. නිදහස් තීරණ ගන්න ඉඩදී තිබුණා ..වැරදි තීරණ ගන්න එපා…විශ්වාසය බිඳීන්න එපා කියා තාත්තා කීව වගේම අපි විශ්වාසය කඩ කරලත් නැහැ..විශ්වාසය කැඩුණොත් නැවත හදන්න බැහැ කියලත් තියෙනවා..”
එසේ පැවසූ ඕ සිනාසෙමින් බලා හිස වැනුවාය.
අපේ කතා නායකයාණෝ තම දරුපවුල කරළියට නොගෙනාවේය…තමන්ගේ පින්තූර ගැනීමටවත් හෙතෙම වැඩි කැමැත්තක් දැක්වූයේද නැති..ඔහුගේ සොහොයුරු මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ද එලෙසම බව අපේ කනිෂ්කා කියන්නීය..
පුරා වසර හතළිහක සිනමාව සමඟින් හරසර මැදින් කීර්තිමත් දිගු ගමනක යෙදුණු අපේ සොඳුරු විශිෂ්ටයාණෝ සත් සමුදුරෙන් ඇරඹි සිනමා ගමන් සිරිත නිමාකළේ ආගන්තුකයා නමැති නිර්මාණයෙනි..ඒ වනතුරු ඔහු තැනූ දොරකඩ මාරාව…මාරුතය…කැඩපතක ඡායා…පළඟැටියෝ..සලෙළු වරම…දියමන්ති…තීර්ථ යාත්‍රා … දඩයම ආදී විශිෂ්ට සිනමා කෘතීන් රැසකින් හෙළ සිනමාව ප්‍රභාෂ්වර කළේය….අධ්‍යක්ෂණය..හා තිර රචනාව වෙනුවෙන් දෙස් විදෙස් හරසර සම්මානයෙන් පිදුම් ලද හෙතෙම ජනාධිපති සම්මාන…සංජනනී හරසර ඇතුළු අනේකවිධ ගෞරව සම්මානයට බඳුන් වූයේය..
ආදරණිය කනිෂ්කා තවමත් කතාබහේය…
“මමයි තාත්තායි හරිම සමීපයි..මං මගෙ හැමදේම කියනව තාත්තා එක්ක..මගෙ විවාහය ගැනත් තාත්තා ට කීවාම එදා පටන් නිදහස දීලත් විශ්වාසය කඩවීමක් නොවුණ නිසා අපෙ තාත්තා කැමැත්ත දුන්නා..ඒ වගේමයි මං මගෙ දරුවන්ටත්…නිසි මග කියල දෙනවා..ඒ හරි මග යන්න එයාල දැනගන්න ඕනා..”
” අපෙ තාත්තා රටට පුදුම විදිහට ආදරෙයි…රටේ ප්‍රශ්නයක් වුණත් හරියට කම්පා වෙනවා..තාත්තා රෑ දාවල් නැතිව කෝල් කරනවා..ඉතින් අපට හිතෙන්නෙ මොකාක් හරි තාත්තාට කරදරයක්ද කියලා..බැලින්නම්…රටේ ප්‍රශ්න ගැනයි කියන්නෙ..
ඔහු හා කතාබහේදී ඔහුගේ වැඩි කැමැත්ත සිනමාව ගැනය..ජීවිතය ගැනය.. හොඳ අවබෝධයක් තිබුණු චරිතයක්…”
අපේ සොඳුරු වසන්ත ඔබේසේකරයන් රෝගාතුර වූයේය..කෙටි කාලීන අමතක වීමේ රෝගයකින් හේ පීඩා වින්දේය..එයට ප්‍රතිකාර ලබමින් සිටියදීම වාගේ සිදුවූයේ නොසිතු දෙයකි..
” අපෙ තාත්තා බාත්රූම් එකේ ඇද වැටුණා…වෛද්‍යවරුන් කිව්වෙ හාර්ට් ඇටෑක් එකක් ඇවිත් වැටිලා තියෙන්නෙ කියලයි..”
ඔහු ඇදවැටීමෙන් පසුව ඔහුගේ උකුල් ඇටයට හානි සිදුවී තිබිණි.හේ ගිලන් ඇඳටම වැටුණේය…වහා නවලෝක රෝහලට ඇතුළත් කෙරිණි ..දැන් අපේ කතා නායක තෙමේ ගිලන් යහනෙහි වැතිරගත්වනම පසුවෙයි. මේ අතරේදීය ඔහු නමින් සම්මානයක් පිදෙන බව දැනගන්නට ලැබුණේ…ඊට තාත්තා වෙනුවෙන් සම්මානය ගන්නට ගියේ අපේ ආදරණිය කනිෂ්කා ය..
” ඔය සම්මානය අපි තාත්තාට පෙන්වමු..එයා ගොඩාක් සතුටු වේවිනෙ”
අම්මා …ඔහු බිරිඳ ස්වර්ණා දියණියට යෝජනා කළාය.
මවත් දියණියත් ඔහු වෙත ගොස් ලැබූ සම්මානය පෙන්වා..”තාත්තට සම්මානයක් තාත්තෙ” යි කීවා පමණි.
“ඕවා මට පෙන්වල මගෙ ආසාව නැති කරන්න හදන්න එපා…” හේ තරහින් මෙන් සම්මානය දෙසවත් නොබලා කීවේය.
ඔහුගේ පැරණි චිත්‍රපටවල ගීත ඔහුට ඇසෙන්නට දැමූ විටදීද හේ එයද ඉවත දමා සිටියේය…
” අපෙ තාත්තාට ඉක්මනින් මේ ලෝකය අතහැරල නික්මයාමේ උවමනාව හොඳටම හිතේ තිබුණේ..මගෙ ආසාව නැති කරන්න එපා කියල කීවෙත් ඒකමයි…මමත් තාත්තාගෙ ඒ ආසාවට ඒ කැමැත්තට කැමැත්තෙන් සිටියේ..දුක්විඳීනවාට වඩා…”
තාත්තා කෙදිනකවත් මේ අවස්ථාවේදීවත් දරු පවුලට ලෝබ නොකළ බව කනිෂ්කා කියන්නීය. 𝗧𝗜𝗠𝗘 𝗧𝗢 𝗚𝗢 කීවෙිද ඒ නිසාමය. ඔහු තවදුරටත් ජීවත්වන්නට ඇති සතුට අතහැරදා සිටියේය..
” මේ විදිහට අපට වුණත් ඉන්න එකේ පලක් නෑ කියල මටත් හිතුණෙ..මිනිස්සු අල්ලාගෙන ඉන්නෙ තමන්ගෙ සතුට වෙනුවෙන්මනෙ…නේද.. මං මගෙ තාත්තාට ආදරෙයි. මට දුකයි..අයියා මට වඩා සංවේදී ඇති. හැබැයි ඒ කෝලම් අපේ පවුලේ නැහැ. ඊට වඩා අපි බුද්ධිමත් ..තාත්තාමනෙ අපව හැදුවෙ..අපේ පෞරුෂය ගොඩනැගුවෙත් තාත්තාමනෙ..අපි කොහොමත් මඟ හැරෙනවනෙ..අපි අපිව දාල යනවනෙ…ඇත්ත ඒකනෙ..ඒ හින්දා අපි හැමදේ තේරුම් අරන් හිටියෙ..”
ඈ කීවේ තිර හඬකිනි.
“පාංශුකූලයක් දෙන්න එපා කියලත් තාත්තා අම්මාට කියා තිබුණෙ..ඒ ගැන විශ්වාසයක් පිළිගැනීමක් තාත්තා ළඟ තිබුණෙත් නැහැ..මේ මං ළඟත් නැහැ..මං සමහර විට ඊටත් එහා වෙන්නැති. අම්මාට ගැටලුවක් වුණා .සංස්කෘතිය ගැන හිතල පාංශකුලයත් කළා..”
ඕ එකතු කරගත් තම දෑත තරයේ මිරිකා ගනිමින් සෘජු බැල්මෙන් යුතුව එසේ කියන්නීය..
සිනමා ලොව අද්විතීය තැනකට ඔසවා තබමින් දෙස් විදෙස් සම්මානයෙන් පිදුම් ලබමින් අදීන සිනමාකරුවකු ලෙසින් පූජිත වූ අපේ සොඳුරු කතා නායකයාණෝ ඒ ගිලන් යහනේදීම කිසිවක්ම කාටවත්ම නොකියා අවදි නොවනා දිගු නින්දකට පිවිසියේ ය..
ඒ 2017ක්වූ අප්‍රේල් මස 06 වනදාය..
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ