Home » තාත්තා වාසනාවට වඩා විශ්වාස කළේ කැපවීම

තාත්තා වාසනාවට වඩා විශ්වාස කළේ කැපවීම

තිලක් ගොඩමාන්නගේ පුත් චාමික ගොඩමාන්න කියයි

by Mahesh
October 24, 2024 12:30 am 0 comment

– සිනමාව වගේම ශාස්ත්‍රීය සංගීත කලාව ගැනත් හොඳ අවබෝධයක් තිබුණු අපේ තාත්තා ව්‍යාපාර ක්ෂෙත්‍රය ගැනත් පුළුල් දැනුමක් තිබුණා
– අපෙ තාත්තා ගැන අපට හරිම ආඩම්බරයි
– ජීවිතේට අපෙ තාත්තා මත්පැන් පොදක් දුම්වැටියක් අහලකටවත් අරගෙන නැහැ
– අපෙ තාත්තා රටට ආදරෙයි කලාවට ආදරෙයි
– රටෙන් කිසිම දෙයක් තාත්තා බලාපොරොත්තු වුණේ නැහැ

” සිනමාව වගේම ශාස්ත්‍රීය සංගීත කලාව ගැනත් හොඳ අවබෝධයක් තිබුණු අපේ තාත්තා ව්‍යාපාර ක්ෂෙත්‍රය ගැනත් පුළුල් දැනුමක් තිබුණා …

මේ හැමදෙයක්ම වගේම අපෙ තාත්තා හෘද සාක්ෂියට එකඟව ජීවත් වූ ප්‍රතිපත්ති ගරුක ඉතා හොඳ මනුස්සයෙක්…ඒ ගෞරවය අදටත් සමාජයෙන් අපටත් ලැබෙනවා…”     

මෙවර සරසවිය පාඨක ආදරණිය ඔබ වෙනුවෙන් සොඳුරු සිතැත්තකු පිළිබඳව සොයා යන්නට සිත සිතා සිටියදී මවෙතට නැඹුරු වූ අපේ සරසවිය ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා “මෙන්න ලිවිය යුතුම එක්කෙනෙක්” යැයි පවසමින් මා අත තැබූයේ එක්තරා දුරකතන අංකයකි…ඒ අනුව යමින් මම ගිය ගමනේදී හමුවූයේ මෙවර අපේ කතා නායකයාගේ වැඩිමහල් පුත්‍රරත්නය වන චාමික ගොඩමාන්න මහතාය…

ලාංකේය රෙදිපිළි කර්මාන්තයේ සුවිශේෂි නමක් දිනාසිටි මේ අපේ ආදරණිය කතා නායකයාණෝ ලාංකේය සිනමා රසිකයන්ගේ ආදර බහුමානයට පාත්‍රවූයේ රසික සිත්සතන්හි අදටත් ආදරයෙන් ළැගුම්ගත් සිනමා සිත්තම් තිළිණ කරවීම නිසාවෙනි..

මේ අන්කවරකු හෝ නොව තුඩ තුඩ ප්‍රසාදය මතුකරන්නට සමත් වූ ” බඹරු ඇවිත්” සහ ” පාර දිගේ ” සිනමා සිත්තම් නිෂ්පාදකවරයා වූ අපේ ආදරණිය තිලක් ගොඩමාන්න මහතාය…

මා අසලම පසුවන්නේ මා දයාබරිතව පිළිගත් එතුමාගේ ලොකු පුතු චාමික ගොඩමාන්න ය.. හෙතෙම සිනාමුසු මුහුණිනි.

සරසවිය ට කෘතවේදි වූ චාමික සිය පියාණන් පිළිබඳව සිත උපන් භක්ත්‍යාදරය මොනවට පළවූයේ ඔහු පැවසූ මෙකරුණෙනි..

” අපෙ තාත්තා ගැන අපට හරිම ආඩම්බරයි…කිසිම දේකින් අපටවත් ව්‍යාපාර ලෝකයටවත් අබැටක තරම්වත් අඩුවක් පාඩුවක් නොකළ එතුමා ඒ අපේම තාත්තා නේද කියා සිතෙද්දි දැනෙන හැඟීම් වචනයෙන් කියාගන්න බැරිතරම්…ඒ තරම් අපෙ තාත්තා විශිෂ්ටයි”

සිය කටහඬ අවදිකළ ආදරණිය චාමික එසේ කියන්නේය…

ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නමක් දිනූ ඇල්බට් ගොඩමාන්න සහ ලූසා ගොඩමාන්න යන දෙපළට දූ දරුවන් ම සත් දෙනෙකි. කොළඹ 14 ..හි ජීවත් වූ මේ මවුපිය දෙපළගේ වැඩිමහල් පිරිමි දරුවා වන්නේ අපේ කතාවේ සොඳුරු කතානායක තිලක් ගොඩමාන්නය..ඔහු මෙලොව එළිය දුටුවේ 1942 ක්වූ ජනවාරි මස 12 වනදාය…

දෙවැන්නී අයිරාංගනීය..තෙවැන්නිය මල්ලිකාය..රංජනී සිවිවැන්නී වන අතර මහිලා පස්වැන්නිය වන්නීය…සයවැන්නිය දමිතාය..සත්වැන්නිය හෙවත් පවුලේ බඩපිස්සී රෝහිණී (උංගී) ය..

තිලක් ගොඩමාන්න නම් අපේ ආදරණිය කතා නායක තෙමේ මුල්මවරට ඉගෙනුම ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණි හෙතෙම පාසල් අධ්‍යාපනය හදාරා අනතුරුව ලංකා කාර්මික විද්‍යාලයට බැදී ගණකාධිකරණය හැදෑරුවේය.

මේ වනවිට යමක් කමක් ඇති පන්තියක පසුවන ඔහුගේ තාත්තා වන ඇල්බට් ගොඩමාන්න මහතා රෙදිපිළි ව්‍යාපාරයෙහි සාරි මෝස්තර සහ එම්බ්‍රොයිඩර් ආදියෙහි නිපුණයකුව සිටින අතරේදී ඒ සඳහා ඇවැසි වන මැෂින් ආදිය සපයාගන්නට උත්සුක වූයේ එවක එම යන්ත්‍ර ක්‍රියා කරවනුයේ දෙපයින් පමණක් වීම හේතුවෙනි. එහෙත් ඒවා ආනයනය කළයුතු වන්නේ උතුරු ජර්මනියෙන් බැවින් පවරන ලද කාර්යයෙහි දක්ෂ බව ලොකු පුතු වෙතින් දුටු නිසාම තම පුතු ජර්මනියට පිටත් කරවන්නට තාත්තා තීරණය කළේය..ඒ අනුව අපේ කතා නායක තෙමේ ජර්මනිය බලා පිටත්ව ගියේය..

මම අපේ චාමික දෙස බලමි. හේ යමක් කියන්නට සැරසෙන්නේය.

” ඔව්. අමල්..අපෙ තාත්තාව අපෙ සීයා ජර්මනියට යැව්වානෙ. හැබැයි ඒ වෙද්දී ෆොටෝ ස්ටූඩියෝවක් ආරම්භ කිරීමේ සැලැස්මකුත් සීයාට තිබිල තියෙනවා. ඉතින් ..ඒ හින්දා සීයා අපෙ තාත්තාට කියල තියෙනව ඔය ගමන්ම කැමරාකරණය ගැනත් හදාරන්න කියලා…අපෙ තාත්තාත් දක්ෂයිනෙ. ඔන්න තාත්තා ඉන්පස්සේ වෙස්ට් ජර්මනියටත් ගිහින් ෆිල්ම්ස් ඩිවලොප්..එන්ලාජින්..ෆොටෝ ප්‍රින්ටින්..ලිතෝ ක්‍රම..ස්ක්‍රීන් ප්‍රින්ටින්.. ආදිය වගේම ඒ සම්බන්ධ තවත් බොහෝ දේ ප්‍රගුණ කරමින් සිනමාකරණයද තාත්තා ඉගෙන ගෙන ලංකාවට ආවේ…

ඒ කාලෙ සීයාට තිබුණු ශ්‍රියාණි ටෙක්ස්ටයිල් රෙදිපිළි ව්‍යාපාරයටත් තාත්තා මුල්ව කටයුතු කළා…”

අපේ චාමික කියන්නේය..

දැනුම සහ පළපුරුද්දෙන් යුතු අපේ ආදරණිය තිලක් ගොඩමාන්නයන් ෆොටෝ ස්ටූඩියෝවක් ආරම්භ කළේය..

චාමික කටහඬ අවදි කරන්නේය.

“ඉතින්..දැන් ඒ ෆොටෝ ස්ටූඩියෝවට නමක් දමන්න ඕනනෙ…කොළඹ 14..ස්ටේටිස් පාරේ …මේ ස්ටූඩියෝව…අලුත් අදහසක් ආවා..පවුලේ ඔක්කෝම නව දෙනයි. සීයයි ආච්චියි දූ දරුවන් සත් දෙනයි..ඔක්කොම නවයයි. ලස්සන නමක් දැම්මා..ඒ තමයි හදවත් නවය…නයින් හාර්ට්ස් ෆොටෝ ස්ටූඩියෝ…”

එදා මෙන්ම අදටත් ලාංකේය ජනසිත්සතන්හි නයින් හාර්ට්ස් නාමය අමතකව නැතැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ..එවක ඡායාරූප කලාවෙහි නම් දැරූ අතළොස්ස අතුරින් නයින් හාර්ට්ස් නාමයට හිමිවී තිබූ අසමාන ජනප්‍රියතාවයද අතිමහත්ය…1962 සමයේදී ඇරඹී ප්‍රමුඛස්ථානයෙහි වැජඹුණු මෙම ව්‍යාපාරයේහි නියමුවා වූයේ අපේ සොඳුරු කතා නායකයාණෝමය.

මේ අතරේදී ශ්‍රියාණි ටෙක්ස්ටයිල් රෙදිපිළි කර්මාන්තය ස්ක්‍රීන් ප්‍රින්ටින් දිසාවටද යොමු කරවමින් එවක චීත්ත රෙදි මෝස්තරයෙන් පෙරමුණට පැමිණියවුන් ඔවුන්ම වූහ.

” පිටකොටුව ප්‍රකට නගින්දාස් ව්‍යාපාරය සමඟ ප්‍රින්ටින් අංශයෙන් සම්බන්ධ වූ අපි එකල වැල්ලවත්ත සළුසල..වැල්ටෙක්ස්..ආදියෙන් පවා ලොකු ඉල්ලුමක් තිබුණා …දන්නවද අමල් ..ඒ කාලෙ පේෂ කර්මාන්තය ඉහළම තැනෙක තිබුණේ..අප පවුලේ ප්‍රගතියක් ලැබුවේද මේ ව්‍යාපාරයෙන්…”

අපේ ආදරණිය චාමික කතාව නතරකොට සුසුමක් හෙළීය…

“කියන්නත් කනගාටුයි.. අප රටේ දේශීය නිෂ්පාදකයන්ට මරු පහරක් වැදුණා වගේම අපේ සාමාන්‍ය ජනයාටත් අසුභ දසාවක් ආවා..77 විවෘත ආර්ථිකය සමග සියල්ල කඩා වැටුණා. ලොකු හානියක් ඉන් සිදුවුණා…කළු සුදු අංශයෙන් ඉදිරියෙන් සිටියේ අපියි..පස්සෙ කළු සුදු හිඟයක් ආවා…අපි ඡායාරූප සංගමයෙත් හිටියා ..අපෙ තාත්තා හංගේරියාවෙන් අවශ්‍ය බඩු ඉම්පෝර්ට් කළා..ස්ක්‍රීන් ප්‍රින්ටින් නැවතුණා..තාත්තා සතුව කෙමිකල් වගේම ඉමල්ෂන් පිළිබඳ දැනුම නිසා 86 වනවිට ෆොටෝ ප්‍රින්ට් ගෙන්වන තැනට අපෙ ව්‍යාපාරය සාර්ථක කරගන්න අපෙ තාත්තා දක්ෂ වුණා. ”

ස්ක්‍රීන් ප්‍රින්ටින් මැෂින් නොව ෆොටෝ ප්‍රින්ටින් අංශය දියුණුවටම ගෙනයන්නට තීරණය කරමින් ඩිජිටල් ඡායාරූපකරණය දක්වාම පිවිසෙන්නට හේ සමතකු වූ බව ලොවටම පෙන්නුම් කළේය..

අපේ ආදරණිය චාමික සැහැල්ලුවෙන් සිනාසෙන්නේය..ආගිය තතු විමසන්නේය…තම ගෞරවනීය පියාණන් පිළිබඳව මේ කතාබහ ඔහුට මහත් සතුටක්ම වැන්න.

චාමික තවමත් බිමබලාගත්වනම ය.

ෆොටෝ ප්‍රින්ටින් ව්‍යාපාරය හා සබැඳී නයින් හාර්ට්ස් ස්ටූඩියෝවට එතෙක් පැවැති කළු සුදු ප්‍රින්ටින් අතරට 82 වසරේදී වර්ණ ප්‍රින්ටින් භාවිතයට දොර හැරුණේය…

මේ සියල්ලෙහි නියමුවාණෝ අපේ සොඳුරු තිලක් ගොඩමාන්නයන්ගේ කාර්යශූර බව මොනවට පසක් වෙයි…

අපේ ආදරණිය විශිෂ්ටයාණෝ භාෂා පහක දැනුමකින් යුතුවූවෙකි. සිංහල..ඉංග්‍රීසි …දමිළ..හින්දි සහ ජර්මන් බසෙහිද හේ සමතෙකි.

” අපෙ තාත්තා ව්‍යාපාර ලෝකයේ ඉහළම තැනක සිටියත් ශාස්ත්‍රීය සංගීතයට පෑ කැමැත්ත නම් සුළු නැති..අමරදේවයන්ට හා නන්දා මාලනියට හේ ප්‍රිය කළේය. රෝහණ වීරසිංහයන් ඔහුගේ සමීපතමයෙකි. කේමදාස මාස්ටර් ඇතුළු ඔහුගේ වාද්‍ය වෘන්දය සිය නිවසට කැඳවා සංගීතය වින්දනයට රසවතකු විය.

“අපෙ තාත්තා රටට ආදරෙයි..කලාවට ආදරෙයි. ඒ වගේම ව්‍යාපාර අංශයේ කටයුතු කළත් හරිම සාධාරණ විදිහට හිතන පතන උතුම් මනුෂ්‍යයෙක්..අපෙ තාත්තා හරිම ප්‍රතිපත්ති ගරුකයි..අපේ සේවක පිරිසගෙ පාරිතෝෂික දීමනා …අර්ථසාධක දීමනා අකුරටම ඉටුකළ කෙනෙක්. අනුන්ගෙ දුකට පිහිට වුණ කෙනෙක්..ඒ වගේම පත්තර කලාවට..ඡායාරූප කලාවට පෙම් බැන්ද රසවතෙක්… රටෙන් කිසිම දෙයක් තාත්තා බලාපොරොත්තු වුණේ නැහැ..රජයට බදු කලට වෙලාවට ගෙව්වා..මට ඒ ටික වගකීමෙන් කියන්න පුළුවන් ..”

“තාත්තා නිසා දුකක් නැතිව තමන්ගෙ ගේදොර හදාගෙන අඹුදරුවන් ට හොඳීන් සලකාගෙන ඉන්න ලැබුණෙ අපෙ තාත්තා නිසාමයි කියල තාත්තාගෙ මළගමට ආපු බොහෝ අය හඬ හඬ කිව්ව හැටි මට තවමත් මතකයි.. අපට මෙහෙමයි කියල කියන්න කිසිම අඩුපාඩුවක් කරල නැහැ…අදටත් අපට ඇහෙන්නේ අපෙ තාත්තාගෙ වටිනා ගතිපැවතුම් ගැනමයි..”

අපේ ආදරණිය චාමික කියන්නේය..

“අපෙ සීයා නම් මත්පැන් ගත්තා..ගෙදර කට්ටිය රැස්වුණාම හැමෝටම බොන ජාති අල්ලන්නෙ අපෙ තාත්තා ..ඒත් කවදාවත් අපෙ තාත්තා ජීවිතේට මත්පැන් පොදක් දුම්වැටියක් අහලකටවත් අරගෙන නැහැ..දරුවන්ට ගොඩක් ආදරෙයි…පුතේ..දුවේ ප්‍රතිපත්ති ගරුකව ජීවත්වන්න..මේ ටික තමයි දරුවන්ට නිතර කියාදුන්නෙ…”

චාමික කියන්නේ බිඳුණු ස්වරයකිනි.

අපේ සුන්දරනීය කතා නායක තෙමේ ආදරයකට මුල පිරුවේය..පෙර පාසල් වෘත්තීය වෙනුවෙන් හදාරන ඕ වැලිමඩ ප්‍රදේශයේ රූමත් යුවතියකි. . ඇයගේ මව් තොමෝ පරසිදු ජයසුන්දර පරම්පරාවේය…

කෙටි කලෙකින් අපේ කතා නායකයාගේ ජීවන සහකාරිය වූ ඕ තොමෝ ලලිතා ගොඩමාන්න මෙනවියය. ඕ හැමතින්ම තම හිමිගේ සියලු කටයුතු වෙනුවෙන් දියහැකි හැම සහයක්ම ලබාදෙමින් ඔහුගේ සෙවණැල්ල වූවාය..

අපේ ආදරණිය තිලක් සහ ලලිතා විවාහයෙන් තිළිණ වූ දූ පුතුන් සිව්දෙනාගෙන් පළමුවැන්නා තවමත් මා හා ප්‍රිය සංලාපයේය..මේ අපේ චාමික ගොඩමාන්න ය..දෙවැන්නිය දිලූෂාය..තෙවැන්නිය ඉමෝෂි දියණිය ය..සිව්වැන්නා පුතු හර්ෂණ ය..

සිය පියාණන් ගත්මග යමින් ව්‍යාපාරික ඥානයෙන් හෙබි ආදරණිය චාමික සුහදශීලී රසවතෙකි.

හින්දි චිත්‍රපට නැරඹීමට වහවැටුණු අපේ කතා නායකයාණෝ අධ්‍යාපනය ලද සමයේ සමකාලීන මිතුරකු වූයේ ප්‍රකට සිනමාවේදී ධර්මසේන පතිරාජයන්ය…

හිතමිතුරු පතිරාජ දිනෙක යෝජනාවක් ගෙන ආවේය.

“තිලක්..අපි චිත්‍රපටයක් කරමුද…”

සිනමා කලාවටද පෙම්බැඳී අපේ රසවතාණෝ මුදල් ලාභ පතා නොව එකපයින්ම ඊට කැමැත්ත දුන්නේය…පතිරාජ සහ තිලක් සුසංයෝගයෙන් රිදී තිරයට පැමණියේ අදටත් කාගේත් මතකයේ රැඳී ” බඹරු ඇවිත්” චිත්‍රපටයය. ධර්මරාජයේ එකට හුන් අමරසිරි කලංසූරියද ඊට එක්විය…

එහි රඟපෑ විජය මාලනී..සේම සිරිල් වික්‍රමගේ ඇතුළු බොහෝ පිරිසක් එම චිත්‍රපටයෙන් පසු ඔහුගේ සමීපතමයන්ම වූහ.

මම චාමික දෙස බලමි.

“ලාබ බලාගෙන තාත්තා බඹරු ඇවිත් චිත්‍රපටය නිෂ්පාදනය නොකළත් මුදල් අතින් තාත්තාට පාඩු සිදුවුණේ නැහැ..චිත්‍රපටයට ඉල්ලුමක් තිබුණා ”

අපේ කතා නායකයාණෝ තවත් චිත්‍රපටයකට නිෂ්පාදනයෙන් අත ගැසුවේය…එය ” පාර දිගේ” චිත්‍රපටයය..එය අසාර්ථක වී…එහෙත් අපේ ජැක්සන් ඇන්තනී මහතා කීයේ මේ ටිකය.

“පාර දිගේ මම හරි කැමැති චිත්‍රපටයක්..නමුත් එය රසිකයින්ට තේරුම් ගියේ නැහැ..ඒ නිසා එයට පිළිගැනීම අඩුවුණා. ”

“කප්පම් දෙන්න වෙනවානම් ඒ ව්‍යාපාරයෙන් පලක් ඇත්තේම නැහැ…”

අපේ සොඳුරු කතා නායකයාණෝ නිතර කී කතාවකි ඒ..

“අපෙ තාත්තා බුදුදහමට භක්තිමත්..ඔය වාසනාව..ග්‍රහචාර නක්ෂත්‍ර මේ කිසිවක් විශ්වාස කළේ නැහැ. වාසනාව හැටියට අපෙ තාත්තා විස්වාස කළේ කැපවීම..උනන්දුව ආදී දේවල් විතරමයි. ඒ වගේම තාත්තා ට ලොජික්…මැතමැටික්ස් හොඳීන් පුළුවන්. ටෙක්නිකල් පැත්ත ගැනයි හැමවිටම විශ්වාසය තිබ්බේ… ”

අපේ ආදරණිය කතා නායක තිලක් ගොඩමාන්නයන් දැන් දැන් රෝගාතුර වන්නේය…දිවා රැයේ වෛද්‍ය ප්‍රතිකාරමය..

“අපෙ තාත්තා දවසකට බෙහෙත් කරල් පෙති වර්ග විස්සක් තිහක් ගත්තා..අනේ..අපෙ තාත්තාට හදිසි හෘදයාබාධ ආවා..ඒත් අපෙ තාත්තා හිත සතුටින්ම හිටියේ…එයාගෙ දරුවන් මුනුපුරු මිනිබිරියන් සතුටින් ඉන්නව කියන සතුට නම් තාත්තාගෙ හිතේ තිබුණා ..වෛද්‍ය උපදෙස් ලැබුණත් හැබැයි අපෙ තාත්තා එයාට ඕන විදිහටයි ජීවිතය ගෙන ගියේ…”

චාමිකගේ කටහඬ මලානිකය.

” ඇයි මේ අනේ ඔයාගෙ මුහුණ ඉදිමිලා තියෙන්නෙ..” ඔහු බිරිඳ ලලිතා විමතියෙන් ඔහු මුහුණට එබී විමසන්නීය. ඔහු සිනාසුණා පමණි.

තවත් ගතවූයේ විනාඩි විස්සකි…වහා රෝහල් ගත කෙරිණි …ඔහු කිසිවකුට හෝ කිසිත් නොකියාම රහසේ දෑස පියාගත්වනම කොහේදෝ නික්ම ගොස් තිබුණේය…

” වෛද්‍යවරුන් කීවෙ හෘදයාබාධයක් කියලයි. ඒත් එහෙම නෙවි. බෙහෙත් ඇලජික් එකක් වුණාමයි කියල අපට හිතෙන්නෙ….කාටවත් ම කරදරයක් නැතිව හදවතට එකඟව ජීවත් වූ අපෙ තාත්තා කොහේ හෝ ඉඳන් අපි දිහා බලා ඉන්නවා ඇති…”

ආදරණිය අපේ චාමික බිඳුණු හඩින් එසේ කියමින් ඉවත බිමබලාගත්වනම සිටින්නේය..

ඔහු අප වෙතින් අප හැරදා නික්ම යන්නට වූයේ 2023 ක්වූ ඔක්තෝබර් මස 11වනදාය…

ඒ වනවිට අපේ කතා නායකයාණෝ දිවිසිරිතෙහි 81 වන වියෙහි පසුවූයේය.

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT