Home » තාත්තා යන වේදිකාවලට මාත් එක්ක ගියා

තාත්තා යන වේදිකාවලට මාත් එක්ක ගියා

ආනන්ද කවිරත්නගේ දියණිය සරෝජිනි කවිරත්න

by Thanushika
June 12, 2025 12:23 pm 0 comment

” විරිදු ගායන කලාව පෝෂණය කරවන්නට අපෙ තාත්තා ජීවිත කාලයම කැපකළා…”

” අද ඇසෙන්නේවත් නැති කාගෙත් පිදුමට බඳුන් වූ විරිදුව මට හැකි පමණින් ඉදිරියට රැගෙන යනවා ”

” කම්පල දෙදරන එකොළොස් ගිනිකඳු යළි මතු නොවන්න

දම් සක්විති පදවි ලැබුවෙ මොනවා කරලද අහන්න.

අම්මා පෙව් කිරි බිඳකින් ඔබෙ සිරිපා යුග තෙමන්න.

සම්මා සම්බුදු හිමියනි

මගෙ හදමල් උයනට වඩින්න..”

විරිදු රබානද එක් ඇලයකට ගෙන තුරුලුකොට තම පියාණන් එදවස ගැයූ විරිදු පන්තියක් මා සමීපයේ සිට වයමින් ගයන්නී සම්මානනීය කලා ශිල්පිනි සරෝජිනී කවිරත්න මහත්මියය.

රත්නපුර, තිරිවානකැටි⁣ය, මල්වල ගම් පියසේ උපන් රටක් පරසිදු ආනන්ද කවිරත්න කිවිඳුන් මෙලොව එළිය දුටුවේ 1915ක්වූ ජනවාරි මස 10 වනදාය.

අධිනීතිඥ යූ.ඒ.ඇස් පෙරේරා ( සිරි අයියා ) මිණිපුර ජයසේන, ජී.එම්. ගුණදාස, සේන ගණේවත්ත, ටියුඩර් ප්‍රේමචන්ද්‍ර , ගුණවංශ අල්ගම , ආදී විරිදු ගායනයෙන් හිටිවන කවියෙන් සිරිලක නම රැන්දූ විශිෂ්ටයන් අතරේ අපේ කතා නායක ආනන්ද කවිරත්නයන්ට හිමිවන්නේද ඊට නොදෙවැනි තැනෙකි.

විරිදු කලාවට දිවිහිමියෙන් පෙම්බැඳී අපේ ආනන්ද කවිරත්න ශූරීන්ගේ දූ දරුවන් අතර පවුලේ බාලම දියණියක වන සරෝජිනී කවිරත්න මහත්මිය අපට මුණගැසුනේ ද වේදිකාවක විරිදු ගායනා කරමින් සිටියදීමය..

” අපේ තාත්තා ආර්ථික ප්‍රශ්න මැද ගුවන් විදුලියට ගිය හැටි…විරිදු කලාවට රෑ නිදිවරාගෙන ඇපකැපවී කටයුතු කළ සැටි කවුරුවත් දන්නෙ නැහැ..අද ඒ පරම්පරාවල ඈයොත් ජීවතුන් අතර නැහැ…ඇත්තටම විරිදු කලාව වෙනුවෙන් අපෙ තාත්තා වගේම අපෙ අම්මාත් ඉෂ්ට කරගිය උතුම් මෙහෙවර ගැන කතා කරන්න ආපු සරසවිය පත්තරේට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා..”

මහරගම..දඹහේන පාරේ නිවසන ඕ තොමෝ රුවැත්තියකි…මවුපියන් ගත් මඟම යනෙනා ඇය විරිදු කලාවට අමතරව වේදිකා හා ටෙලි නාට්‍ය ශිල්පිනියක සේම නාට්‍යය රචනාවේද නිරතව සිටින්නීය.

අපේ ආනන්ද කවිරත්නයන් පිළිබඳව යටගිය තතු අසා දැනගනු රිසියෙන් පැමිණි මා දැන් පසුවන්නේ ඇයගේ නිවහනේය…

” විරිදුවට අපෙ තාත්තාගෙ කාලෙ ලොකු අගැයීමක් වගේම ලොකු පිළිගැනීමක්ද තිබිල තියෙනවා…ඒ බව කීවෙත් අපෙ තාත්තා.”

රත්නපුර, මල්වල ගමේ එකල දෑස් අඳ අයෙකු ගම්මානයේ කෙළවරකට ගොස් සීපද කියන්නට පුරුද්දක් කර සිටියේලු. මිහිරට සීපද ගයනා ඔහුට කවුරුත් ආදරය කළ අතර ආදරයට ඔහු ඇමතුවේද සීපද අප්පු කියාය. එදවස ගැටවර වියෙහි හුන් අපේ කතා නායක තෙමේ ඔහුගේ සීපද ගැයුමට වසඟව සිටියේ කෙතරම්ද යත් සීපද අප්පුගේ ඇසුරේම පසුවන්නට වූයේය..ඒ අතරේදී සීපද අප්පු ගැටයාට රබන් පද කියා දුන්නේය..සීපද කියා දුන්නේය..ගමේ කොතැනක හෝ තිබෙන කවි මඩුවකට කැඳවා ගියේය..

කුඩාකලදීම රබාන වයමින් විරිදු සීපද ගැයුමෙහිද හපන් අපේ ආනන්ද කවිරත්නට උවමනා වූයේ කෙසේ හෝ කොළඹ ගුවන් විදුලියට එන්නටය..වත්කම්ද නැති හෙතෙම කාසි කිහිපයක් අතැතිව ගුවන් විදුලිය සොයා ආයේය…

” එතකොට 1930 දි විතර..අද තියෙන තැන නෙවෙයි එදා ගුවන් විදුලිය තිබිල තියෙන්නෙ..බොරැල්ල කොටා පාරෙලු..පොඩි ගෙයකලු. එච්.එම් ගුණසේකර , ඩී.ඇම් කොළඹගේ මහත්වරු තමයි එතැන ඉඳල තියෙන්නෙ..”

අපේ සරෝජිනී කියන්නීය.

විරිදු රබානක්ද අතැතිව අපේ ආනන්ද තරුණයා එලෙසින් ගුවන් විදුලිය සොයා ආයේය.

” ඒ කාලෙ උත්සව කාලෙට මඩු ගහලා ඒ වේදිකා මත්තෙ හිටිවන කවි, විරිදු, නූර්ති ගීතත් ගායනා කරනවා. වේදිකාව ඉස්සරහ ඉන්න අය එක එක විදිහෙ ප්‍රශ්න අහනව අපෙ තාත්තාගෙන්. ඉතිං අපෙ තාත්තා විරිදුවෙන් පිළිතුරු දෙනවලු..”

අපේ ආදරණිය ආනන්ද කවිරත්නයන්ගේ කුසලතා පිරික්සා බැලූ ගුවන් විදුලියේ සිරි අයියා, ඩී.එම් කොළඹගේ, මිණිපුර ජයසේනයන් වඩාත් පැහැදුණාහ..එහි ප්‍රතිඵලය වූයේ ඔහුට ගුවන් විදුලියේ වැඩ සටහන් ලබාදීමය..එහෙත් එදා එහි පටිගත කිරීම් ආදී තාක්ෂණ මෙවලම් කිසිවක්ම නැත…සජීවිව ගායනා කළ යුතුය. වැරදුණොත් වැරදුණාමය.

ඒ වෙනුවෙන් ගෙවීම සත 75 කි. එය එකල සරු මුදලකි.

තම හැකියාවෙන් ගුවන් විදුලිය ඇල්ලූ අපේ රසවතාණෝ දැන් නිතර නිතර එහි එන්නේය..විවිධ වැඩසටහන් හි පෙළහර පාන්නේය..ඔහු වෙනුවෙන් වාදක මඩුල්ලක්ද පේවී සිටින්නේය. ගුවන් විදුලියේ සියලු දෙනාම පාහේ සුහදව පසුවන්නේය.

” අපෙ තාත්තාගෙ ඇඳුම ජාතික ඇඳුම..තාත්තාගෙ උස අඩි පහයි අඟල් පහයි. ”

සරෝජිනී සිනාමුවින් කියන්නීය.

කවි මඩුවකට ආරාධනා ලැබ පැමිණි අපේ කතා නායකයාට සිය ජීවන සහකාරිය හමුවූයේද මේ වේදිකාවේදීමය..

ඕ තොමෝ නමින් හේමා විජයහේවා කවිරත්නය.ඇය උපන්නේ 1923ක්වූ මැයි මස 28 වනදාය..ඒ මහනුවර , කටුකැලේය..අපේ කතා නායකයා මෙන්ම ගැයුමෙහි හපනියක වූ ඕ ඔහුට නොදෙවැනි පිළිගැනීමකට බඳුන් වන්නීය.

එම දෙපළගේ විවාහයෙන් දූ පුතුන් පස්දෙනකු තිළිණ වූයේය..ඉන් පලමුවැන්නී පද්මිණී කවිරත්නය..දෙවැන්නා චන්ද්‍රකුමාර ය. පුෂ්පකුමාර තෙවැන්නාය..සිව්වැන්නා වූ ජනරංජන කවිරත්න පියා මෙන්ම රටතොට නමක් දිනූවකු විය. පස්වැන්නිය වූයේ මා සමඟ සිනාවතින් යුතුව සංලාපයක යෙදෙන්නාවූ සම්මානනීය සරෝජිනී කවිරත්නය..

තම පියාගේ තුරුලට ඕ වඩාත් සමීප ව සිටියේ පියාගේ ගායනා අසාදැනගනු රිසියෙනි..වේදිකා නාට්‍ය සංගීතඥයකු හා විරිදු හිටිවන කවි ගායකයකුද වූ පුත් ජනරංජන හැරුණුවිට දියණිය සරෝජිනී ට තාත්තා වඩාත් ආදරය පෑයේ…” ඔයා තමයි මං නැතිකාලෙක මගෙ නම අරගෙන යන්නෙ..” යැයි කියමිනි.

” අපේ පවුලේ හැමෝටම තාත්තාගෙ හැකියාව තිබුණා..පසුකාලෙ අනික් අය කලාවෙන් බැහැර වුණා.ජනරංජන අයියයි මමයි අල්ලාගෙන සිටියා.”

” දන්නවද..අපෙ තාත්තා දක්ෂතම ජපන් මැන්ඩලීන් වාදකයෙක්…විරිදුවට වාදනය එකතුකර වයන කොට අහන් ඉන්න ආසාවෙ බැහැ…පස්සෙ කාලෙ ගුවන් විදුලියෙන් අපෙ තාත්තාට වැඩ සටහන් පැවරුවා…විරිදු සංග්‍රහය අපෙ තාත්තාගෙ. මාසෙකට දෙවරක් ගුවන් විදුලියෙන් තාත්තාට වැඩ පැවරුවා..විරිදු සංග්‍රහයට පෑ බාගයක් තාත්තාට දුන්නා..ඒ වටිනා අවස්ථා ලැබුණෙ අපෙ තාත්තාට විතරයි…”

” පාරමිතා පිරු සූර මහා නැණ
සාගරයෙ ඉතිහාසෙ ලියා
පාර කපා හරි වීරියකින්
නිර්වාණපුරේ ඉතිහාසෙ ලියා
මාර පරාජිත ක්ලේශ නිවාරණ
ලොක විදූ දින රාජ පියා..

සාර පොහෝ දින ප්‍රීතිවෙමු අපී
දෝත නඟා වැඳ සාදු කියා ”

සිය පියාණන් රචනයෙන් හා ගැයුමින් එකල ගුවන් විදුලියෙන් රටට මුදාහළ කව් පන්ති තවමත් සරෝජිනී ට කටපාඩම්ය.

ඕ අපූරුවට රබානද වයමින් මිහිරට ගයන්නීය.

අපේ සොඳුරු කතා නායක තෙමේ ” විරිදු සක්විති ” පදවියෙන් පිදුම් ලැබීය..

එවක අගමැති ඩඩ්ලි සේනානායක මහතා දෙමටගොඩ දේශපාලන වේදිකාවකට පිවිසියේය. ඒ අපේ ආනන්ද කවිරත්නයන් නාගරික මන්ත්‍රී පදවියට පත්වූ දවසේය..ඒ සමඟම ආනන්දයන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රචාරක නිලධාරි ලෙසින්ද පත්වූයේය.

” තාත්තා යන යන වේදිකාවලට මාවත් එක්කගෙන යනවා..මටත් ගයන්න හුරු කරවන්න.

මහකිවි සිරි අයියා සූරීන් මේ සරෝජිනි දැරිය වේදිකාවේ මහපුටුව අරාහුන් ඩඩ්ලි මහතා ළඟට කැඳවා ගියේලු. මෙසේද කීවේලු.

“මේ පොඩි බිලින්දී.

මලක් මෙන් සෙව්වන්දී

කියන ගී සින්දු

අසනු මැන කවුරුත් සවන් දී..”

වයසින් අවුරුදු තුනහමාරක් පමණ වූ අපේ ආදරණිය සරෝජිනී වේදිකාවේ සිට අපූරුවට ගැයූ විරිදු පන්තියෙන් පිනාගිය ඩඩ්ලි මහතා වහා දැරිය වඩා මුව සිප සාක්කුවට අතක් දමා මුදලක් ගෙන ලඟ සිටි අයකුට දී චොකලට් එකක් ගෙනැවිත් දැරියට දෙන්නැයි කියා සිටියේය.

ඇය අදටත් මිහිරට ගයන්නීය..වේදිකා නාට්‍යයේ ගයමින් රඟන්නීය…ටෙලි නාට්‍යයේද රඟන්නීය..විවිධ අවස්ථාවලදී රබාන වයමින් විරිදු ගයමින් පෙන්වූ කුසලතා මතින් ඇය සම්මානයටද හරසරටද පාත්‍රව සිටින්නීය.

” අපෙ අම්මයි තාත්තයි තරම් එකමුතුවෙන් ආදරයෙන් හිටපු දෙන්නෙක් මට මතක නැහැ..ඒ දෙන්නා එතරම් ආදරෙයි..හැමදේම කවියෙන්…ගෙදර කටයුතුත් දෙන්නා ගායනයෙන්..අනේ ඒක නම් මට තවමත් හොඳට මතකයි..”

“තාත්තා අක්කාවත් වේදිකාවලට එක්ක යනවා. මාර්ෂල් ටිටෝ ලංකාවට ආව දවසෙදි අක්කා විරිදු ගායනා කරල පළිඟු වාස් එකක් තෑගි ලැබුවා..”

අපේ කතා නායකයාණන් දරු කැල සමග විසුවේ දෙමටගොඩ කුලී නිවසකය. හෙතෙම ප්‍රතිපත්තිගරුකය…ඉඳහිට බුලත් විටක් කටේ රුවාගන්නා ඔහු සුරාසූදූවෙන් පවා දුරුවූ යහපත් ස්වාමියකු හා ආදර්ශවත් පියෙකු බවද ප්‍රකට කළේය..

දැන් දැන් අපේ කතා නායක තෙමේ රෝගාතුර වන්නේය. හෙතෙම වකුගඩු ආබාධයකින් පෙළෙන්නට වන්නේය.

” අපෙ තාත්තා මුකුත් ලබාපු දිනාපු කෙනෙකු නෙමෙයි..කාගෙන්වත් මුකුත්ම ඉල්ලා ගියෙත් නැහැ..තාත්තා ළඟ තිබුණු වටිනාකම් රටට දුන්නා. ඒ වෙනුවට අපෙ තාත්තාට මුළු රටම මනුස්සකම දුන්නා..මිනිස්සුන්ගෙ ආදරය දුන්නා. තාත්තාට මුකුත්ම ලැබුණෙ නැහැ කියල තාත්තාට අමුතු දුකක් තිබුණෙත් නැහැ..එයාට වටිනාකම් දැනුණේ අපෙ අම්මා හා එයාගෙ දරුවන් ගැනයි එයාගෙ කුසලතා ගැනයි විතරයි…

මට තවම මතකයි..අපෙ තාත්තා රැ නිදිවරාගෙන නිර්මාණ හදනවා…ගායනා කර බලනවා…තාත්තා හැම තිස්සෙම තමන් කරන කාර්ය ගැන ලොකු කැපවීමකින් සිටියා…තාත්තා උපයා ගත් හොඳ නාමය දරුවන් වන අපට ලොකු ආශීර්වාදයක්..අදටත් අපට ශක්තියක්…අපෙ තාත්තා කොහේ හරි තැනෙක ඉඳන් අපි දිහා බලා ඉන්නව කියලනම් දැනුත් මගෙ මේ හිතේ තියෙනවා.”

සරෝජිනී දිගු සුසුමක් හෙළන්නීය..ඕ බිම බලාගත්වනමය..

“තාත්තා ළඟ ලස්සන තාල තිබුණා..ඒ තාත්තගෙ ලස්සන තාල මම අරගෙන මගේ නිර්මාණ වලට ගළපාගෙන ඉදිරිපත් කරනවා. මේ කාලයට උචිත කාලීන සිදුවීම් හරහා තාත්තගෙ ලස්සන තාල මගෙ රචනාවට එකතු කරගන්නවා.ඇත්තමයි හොඳ ප්‍රතිචාර ලැබෙනවා.”

අපේ සරෝජිනී තාත්තාගෙ මිහිරි තාල මුසුකොට මේ වනවිට විවිධ ඛේදනීය සිදුවිම් අලළා කැසට් පට 22ක් පමණ එළිදක්වා ඇත්තේය..විරිදු ගායන ශිල්පිනියක ලෙසින් 1984 වසරේ සිට වේදිකා මත ඇය පෑ කුසලතා අගනේමය..ඕ නිළියක, නාට්‍ය රචිකාවක, ගායන ශිල්පිනියක ලෙසින් නමක් දිනා සිටින්නීය..සම්මානිතව සිටින්නීය.

” මගෙ එකම වෑයම මගෙ මවුපියන් පෝෂණය කළ විරිදුව..හිටිවන කවිය අගාධයට යා නොදී අනාගතයට රැකදීමයි..විරිදු පන්තියකින් කළහැකි වටිනාකම් අද දරු පරපුර දැනුම්වත් ඉන්නවාද කියා සැක සහිතයි…විරිදුව එතරම් වටිනාකමින් පූර්ණයි.

කියන්න කනගාටුයි..මගේ විරිදු නිර්මාණ වෙනත් අයවලුන් අනවසරයෙන් අරන් ඔවුන් ගයා මුදල් උපයනවා..එය වරදක්..”

සරෝජිනී කියන්නීය.

ගුවන් විදුලියේද සිය ප්‍රතිභාව පෑ සරෝජිනී සංයුක්ත තැටි හරහාද සිය නිර්මාණ ජනගත කර ඇත්තේය…ප්‍රකට රජ විරිදු නාඩගම ඇයගේය.

සිය නිසග කුසලතාවෙන් රටක් විරිදු ගායනයෙන් පිනවාලූ අපේ ආදරණිය විශිෂ්ටයාණෝ ආනන්ද කවිරත්නයන් කලක් ප්‍රතිකාර මධ්‍යයේ පසුවෙමින් කාගේත් ආදරයටම බඳුන් වූ හෙතෙම තම අවසන් සුසුම්පොද වාතලයට මුසුකළේ 1981ක්වූ මැයි මස 11 වනදාය…

ඒ වනවිට ඔහු 67 වන වියේහි පසුවූයේය…සිය හිමිගේ නික්මයාමෙන් කවියද සමග හුදෙකලාවකට මැදිවූ හේමා විජයහේවා කිවිඳීයද රෝගාතුර ව පසුවන්නට වූවාය..ඔහු පිළිබඳව ම මතකයන් අතර ගිලන් යහනටම එක්තැන් වූ ඇය පිළිකාවකින් අසාධ්‍ය වූවාය.

ඕ තම දෑස පියාගත්තේ 1985ක්වූ නොවැම්බර් මස 8 වනදාය.

ඒ වනවිට ඇය පසුවන්නට වූයේ 62 වන වියේය..

 

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT