නමල නමල නමල නමල ඔළුව නමල අපට පුරුදු නෑ කියමින් ප්‍රහසනාත්මක නාට්‍ය රැල්ලකට මුල පිරුව සැන්ඩෝ හැරිස් වේදිකාවට රැගෙන ආ ප්‍රහසනාත්මක නාට්‍ය නිර්මාණ ගැන මතකයට නැගෙන මොහොතක් මොහොතක් පාසා එදා එම නාට්‍ය රසය විදි කාහට වුවද අද ද ඒ රසමතක මතකයට නැගෙන වාරයක් පාසා මුවට සිනහක් නැගෙන වා නොවනු මානයි. සැන්ඩෝ හැරිස්ගේ නාට්‍ය නිර්මාණ සේම ඔහුගේ හාස්‍ය රංගනය තුළින් එදා හැඩ වූ සිකුරිටි සින්නතම්බි, චෙරියෝ සාජන්ට්, ඩොක්ටර් චිකාගෝ, චෙරියෝ සාජන් – 2 සාජන්ට් සින්න තම්බි, සාජන්ට්ගේ නැන්දම්මා, ට්‍රැෆික් සාජන්ට් කෝචිචි මනමාලයා, ඔහුගේ හාස්‍ය රංගනයෙන් හැඩ වූ හැටි පේ්රක්ෂකාගාරය පිරී ඉතිරි යමින්. පේ්රක්ෂක ජනතාව සිනා සාගරයක ගිල්ලු හැටි. අදත් සිහිපත් වන්නේ මනසට සිනාසාගරයක් එක් කරලමිනි.
2021 වසරේ සැන්ඩෝ හැරිස් නම් වූ මේ ප්‍රහසනාත්මක නාට්‍යකරුවා රංගශිල්පියා හෘදයාබාධයක් වැලඳීමෙන් මුළු මහත් කලා ලෝකයෙන්ම සමුගෙන අප හැර නොයන්නට අදත් මෙරට සේම විදෙස් රටවල ප්‍රේක්ෂක ජනතාව ද මේ වනවිටත් ඔහුගේ හාස්‍යරසය මුසු නාට්‍ය නිර්මාණයන්ගෙන් මනස සුවපත් කරගන්නවා නොවනු මානය. එදා සැන්ඩෝ හැරිස්ගේ නාට්‍ය නිර්මාණයන් රසවිඳි ප්‍රේක්ෂක ජනතාවට යළිත් ඒ සුන්දර අත්දැකීම යළි යළිත් රැගෙන වින්දනය කිරීමට මේවන විටත් ඔහුගේ පුත් ශාක්‍ය හැරිස් පෙරමුණගෙන සිටීම ප්‍රහසනය ප්‍රියකරන රසික ජනතාවට සුබ ආරංචියක් ගෙන දෙන්නට පටන් ගෙන ඇත. එදා සැන්ඩෝ හැරිස් තම නාට්‍ය නිර්මාණයන් ඔස්සේ රංගනයෙන් ඉදිරිපත් කළ චරිත අද ඒ අයුරින් රංගනයෙන් ඉදිරිපත් කරන්නට ඔහුගේ බාලපුත් ශාක්‍ය මේ වන විටත් මුල පුරා අවසන්ය. පේ්රක්ෂක ප්‍රතිචාර ලබමින් රටපුරා මේ වනවිට ප්‍රදර්ශනය වන ට්‍රැෆික් සාජන්ට් නාට්‍ය ඔස්සේ මේ දිනවල ප්‍රේක්ෂකයන් සිනාසාගරයකට කැන්දාගෙන යන ශාක්‍ය හැරිස් හා කතාබස් කරමු.
ඉතිං ශාක්‍ය මේ දවස්වල කොහොමද ප්‍රේකෂක ප්‍රතිචාර?
ඉහළයි. ඉහළයි. අපි නාට්‍ය අරන් යන යන තැන හවුස් ෆුල්. ප්‍රේක්ෂකයෝ තාත්තාට වගේම මටත් ආදරෙයි. එයාල හිතන්නේ මම රඟපෑවට මේ රඟපාන්නේම තාත්තා කියලා. මේ දවස්වල ට්‍රැෆික් සාජන් නාට්‍ය සමඟ තමයි මගේ වැඩි ඉඩකඩක් වෙන්වෙලා තියෙන්නේ. ට්‍රැෆික් සාජන්ට් බලල හිනාවෙන මිනිස්සු දැකල මගේ හිතට දැනෙන සතුට වචනයෙන් කියල නිමකරන්න බෑ.
ඔබේ පියා සැන්ඩෝ හැරිස් ජීවතුන් අතර සිටින අවධියේම ද ඔබ රංගනයට එක්වුණේ?
මම තාත්තා ජීවත්ව ඉන්න කාලෙම තමයි තාත්තාගේ නාට්‍ය වල රඟපෑවේ. මුලින්ම මම තාත්තාගේ සාජන්ට් ගේ නැන්දම්මා නාට්‍යයේ තමයි රඟපෑවේ එතකොට මම කොළඹ ලුම්බිණි විද්‍යාලයේ නමවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් මගේ වයස ඒ වෙනකොට අවුරුදු දහතුනක් 2012 වසරේ තමයි මම මුලින්ම තාත්තාගේ නාට්‍ය නිර්මාණයක රංගනයක් ඉදිරිපත් කරන්නේ.
කොහොමද ඒ අවස්ථාවක ඔබට උදාවුණේ?
අහම්බෙන් තමයි මට තාත්තාගේ නාට්‍යයේ රඟපාන්න ලැබුණේ. ඒක වෙච්ච හැටි මම මෙහෙම කියන්නම් කෝ.
අපේ තාත්තාගේ බෙල්ලේ පොඩි ආබාධයක් ඇවිත් 2012 වසරේ පිළියන්දල නගර ශාලාවේ වේදිකාගත වෙන්න තිබුණු සාජන්ගේ නැන්දම්මා නාට්‍යයේ එදා තාත්තාට රඟපාන්න බැරිවුණා. මිලින්ද පෙරේරා, සුසිලා කෝට්ටෙගොඩ ආදී පිරිසක් මේ නාට්‍යයේ රඟපාන්න හිටියා. එදා තාත්තාට තමන්ගේ කැරැක්ටරය කරන්න බැරි නිසා ඒ තාත්තාගේ කැරැක්ටරය කළේ මිලින්ද පෙරේරා ඔය වගේ අවස්ථාවක නාට්‍යයේ කැරැක්ටර් අනුපිළිවෙළ අනුව එක් එක්කෙනා ඉදිරියට එනවා. රඟපාන්න තිබුණු තමන්ගේ කැරැක්ටරය අතහැර තමන්ගේ ඉදිරියෙන් තියන කැරැක්ටරය වෙත ඔය විධියට හැමකැරැක්ටරයක් වෙනුවෙන්ම තාත්තාගේ නාට්‍ය කණ්ඩායම කල්තියාම පුහුණුවක් ලබල තියෙනවා. හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න. ඔය නාට්‍යයේ තිබුණ චිත්‍රපට අධ්යක්ෂවරයකුගේ ගෝලයෙක්ගේ චරිතයක් මේ චරිතයට වෙනද රඟපාන කෙනාට මේ චරිත අඩුව පුරවන්න එදා චිත්‍රපට අධ්යක්ෂ වෙන්න සිද්ධ වුණා. ගෝලයාගේ කැරැක්ටරය කරන්න කවුරුවත් නැති වුණා. එදා මමත් ගියා තාත්තා එක්ක මේ නාට්‍ය බලන්න. තාත්තා මා ළඟට ඇවිත් කිව්වා අද නාට්‍යයේ ගෝලයාට රඟපාන්න කවුරුවත් නෑ. ඒ වෙනුවට මට රඟපාන්න කියල. ඔය කාළේ මම පාසලේ නාට්‍ය හා රංගකලාව විෂයයක් ලෙස හදාරන කාලය තාත්තා කිව්වා ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව හදාරනවා නම් මේක රඟපාන්න එක සුළු දෙයක් කියලා මේ චරිතය කරන්න. ලෑස්තිවෙන්න කියල රියසල් එකක්වත් නෑ. හැබැයි මහලොකු දෙබස් කියන්න එහෙමත් තිබුණේ නෑ. චරිතෙ වුණත් පොඩි එකක්. එදා තමයි මම ජීවිතයේ මුල් වතාවට ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවුණ දවස. වේදිකාවේ දැවැන්ත චරිතත් එක්ක එදා මට මුලින්ම රඟපාන්න ලැබුණා. නියම විධියට එදා ගෝලයාගේ චරිතය රඟපාන්න හිටියේ ශවීන්ද්‍ර වීරසිංහ කියල කෙනෙක්. එයා එදා නාට්‍යයේ ඩිරෙක්ටර් වුණා. නාට්‍යයට කොහෙවත් සම්බන්ධයක් නැතුව එළියෙ හිටිය මම නාට්‍යයේ ගෝලයට ගියා. ඒ වෙනකම් මම වේදිකානාට්‍ය නරඹපු පේ්රක්ෂකයෙක් තාත්තාගේ නාට්‍ය වුණත් මම පේ්රක්ෂකයෙක් හැටියට නැරඹුවා පමණයි කර තිබුණේ.
අහම්බෙන් තාත්තාගේ නාට්‍යයට රංගනයෙන් එක් වූ ඔබ එතැන් පටන් තාත්තාගේ නාට්‍යවල දිගටම රඟපෑව ද පාසල් ශිෂ්‍යයකුව ඉන්නා අවධියේම.
සෙනසුරාදා, ඉරිදා දවස්වල තිබුණ නාට්‍ය දර්ශන වල මම රඟපෑවා. දුර බැහැර දර්ශන සඳහා නම් ගියේ නෑ. කොළඹ අවට දර්ශන සඳහා නම් විවිධ අවස්ථාවල රංගනයෙන් දායක වූ අවස්ථා තිබුණා.
කොයි ආකාරයෙන්ද ඔබේ පියා පසුව ඔබව නාට්‍ය සඳහා සම්බන්ධ කරගත්තේ?
තාත්තාගේ නාට්‍යවල ලයිට්, සවුඩ් පැත්තේ වැඩ වලට මාව සම්බන්ධ කරගත්තා. පුංචිම තැන ඉඳල මට තාත්තා බොහෝ දේ කියල දුන්නා. ඒ වැඩවලට සම්බන්ධ කරගත්තා. එහෙම තමයි තාත්තා පියවරෙන් පියවර මාව උඩට ගෙනාවේ. සවුන්ඩ් ලයිට් කරන අයට උදවු කරන්න. හදිසි අවස්ථාවක චරිතයක් කරන්න වගේ දේවල් වලට මාව මුලින් අරගෙන තමයි මට තාත්තා මඟ කියා දුන්නේ.
තාත්තා පසුවට නිර්මාණය කරන නාට්‍ය සඳහාවත් ඔහු ඔබ වෙනුවෙන් චරිතයක් ගොඩනැගුවේ නැද්ද?
එහෙම දේකුත් කළා. ට්‍රැෆික් සාජන්ට් වේදිකා නාට්‍යයේ පොලීසියට පැමිණිල්ලක් දාන්න එන අමරපාලගේ චරිතය තාත්තා මා වෙනුවෙන් ගොඩනගල දුන්නා.
තමන්ටම කියා ප්‍රසිද්ධ වේදිකාවේ චරිතයක් ඔබ රඟපාන්නේ?
කොළඹ ටවර් රඟහලේ 2015 වසරේ පැවැති තාත්තාගේ ට්‍රැෆික් සාජන්ට් නාට්‍යයේ මේ නාට්‍යයේ අමරපාල වුණේ මම.
2015 වසරේ තමන්ටම කියා චරිතයක් තුළින් ට්‍රැෆික් සාජන්ට් සමඟ කළ එළි බසින ඔබට තාත්තාගෙන් මොනවගේ මඟ පෙන්වීමක් ද ලැබුණේ?
නාට්‍ය වෙනුවෙන් ගොඩක් පුහුණුවීම් කළා. හැමපුහුණු වීමක්ම තාත්තාට ඕනෙ විධියට හරියට සිද්ධ වෙන්න ඕනේ. එහෙම නොවුණොත් තාත්තාට හොඳටම කේන්ති යනවා. ආයෙ ලුණු ඇඹුල් ඇතුව අහගන්නත් පුළුවන්. මොනව කළත් තාත්තා අපිට අත උස්සල නම් කවදාවත් පාරක් ගහල නෑ. මගෙත් පුහුණුවේදී වන වරදකදී වුණත් තාත්තාට බනින්නත් බෑ. අපි හරිම විනෝදයෙන් නාට්‍යයේ පුුහුණුවීම් කළා.
ශාක්‍යගේ පවුලේ අනෙක් සහෝදර සහෝදරියෝ ඇයි තාත්තා ගේ නිර්මාණ පැත්තට දායක නොවුණේ?
මට ඉන්නේ අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි විතරයි. අක්කා යෙෂ්මින් හැරිස් ඇය පෞද්ගලික පාසලක ගුරුවරියක් ඇය මේ කටයුතු වලට සම්බන්ධ වුණේම නෑ. අයියා අයාන් හැරිස් තාත්තාගේ නාට්‍යවලට ගොඩක් සම්බන්ධ වෙලා හිටියා. අයියා තමයි තාත්තාගේ නාට්‍යවල සවුන්ඩ් කළේ. කීබෝඩ් එක ප්ලේ කළේ. අයියා සංගීතය පැත්තට ගොඩක් සම්බන්ධයි.
තාත්තාගේ නාට්‍යවල රංගනයට එක්වන ඔබ ඉදිරියටත් තාත්තාගේ නව නිර්මාණ වෙනුවෙන් රංගනයෙන් දායක වෙනවද?
ඔව්. තාත්තාගේ ට්‍රැෆික් සාජන්ට් නිර්මාණයෙන් පස්සේ 2018 වසරේ ඔහු නිර්මාණය කළේ කෝච්චි මනමාලයා නාට්‍යය. මේ නාට්‍ය තමයි තාත්තාගේ අවසන් නිර්මාණය. මගෙයි ප්‍රසන්න ෆොන්සේකාගෙයි සමුහ දර්ශනයකින් තමයි කෝච්චි මනමාලයා නාට්‍ය පටන් ගත්තේ. නාට්‍ය ආරම්භයේ සිට අවසානය දක්වා මගේ චරිතය නාට්‍ය තුළ දිගහැරෙනවා.
වේදිකාවේ වගේම සිනමාවේත් පෙරළිකාර නළුවෙක් ඔබේ පියා?
මගේ තාත්තාව වේදිකාවට හඳුන්වා දෙන්නේ. ස්ත්‍රී සහ වයිරා නාට්‍ය නිෂ්පාදක පද්මසිරි ගමගේ මහත්තයා ඒවගේම මගේ පියාව සිනමාවට හඳුන්වා දෙන්නේ විල්සන් කරුණාරත්න මහත්තයා.
සටන් නළුවෙකු ස්ටන්ට් නළුවකු සටන් අධ්යක්ෂවරයකු ලෙසින් තමයි ඔබේ පියා සිනමාව තුළ ගමනක් යන්නේ?
සිනමාවේ දුෂ්ටයා හැටියට ගුටිකාපු එකයි ෆයිට් කරපු එකයි තමයි තාත්තා කළේ. කිරුළපන පැත්තේ මෝටසයිකලයේ නැගී කරක් ගහනකොට විල්සන් කරුණාරත්න මහත්තයා දවසක් අහල තියනවා ෆිල්ම් එකක් තියනවා. ස්ටන්ට් එක කරන්න එනවද කියලා. තාත්තා කැමැති වෙලා තමයි ගිහින් තියෙන්නේ මුලින්ම ජයශක්ති චිත්‍රපටයට මේ චිත්‍රපටයේ බෝම්බ උඩින් බයිසිකලය පැදන් ගිහින් පිපිරුම් මැද ගිනි ජාලා මැදින් බයික් එක පන්නන ත්‍රාසජනක වික්‍රමයක් රඟපාල තමයි තාත්තා සිනමාවේ නළුවෙක් වෙලා තිබුණේ. චිත්‍රපට විශාල ප්‍රමාණයක තාත්තා සටන් අධ්යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කරල තිබුණා. රඟපාලත් තිබුණා.
ඔබ අසා තිබෙන ආකාරයට තාත්තා වේදිකාවට එක්වෙලා තියෙන්නේ මොන ආකාරයකින් ද?
සිනමාව තුළ දුෂ්ටයෙක් විධියට ගමනක් අරභන තාත්තා වේදිකාවට ඇවිත් තියෙන්නේ 1989 දී ස්ත්‍රී සහ වයිරා නාට්‍ය තුළින්. ඒ නාට්‍ය තුළ තාත්තාට කරන්න තිබිලා තියෙන්නේ මස්කඩ මුදලාලි කෙනෙකුගේ චරිතයක්. සිංහල කතා කරන්න අපහසු කෙනෙකුගේ චරිතයක්. ඔය නාට්‍ය බලන්න ඇවිත් හිටිය නීල් බී පෙරේරා මහත්තයා තාත්තාට යෝජනාවක් ගෙන ඇවිත් තිබුණා. තමන් නිෂ්පාදනය කරමින් සිටි සාජන්ට් නල්ලතම්බි චිත්‍රපටයේ නිහාල් සිල්වා මියගිය නිසා අතරමඟ නතර කරල තියෙන ඒ චරිතයේ ඉදිරි රූපගත කිරිම් කරන්න. එහි නිහාල් සිල්වාගේ චරිතයට රඟපාන්න එන්න කියල. ඒ ආරාධනය පිළිගෙන තාත්තා ඒ චිත්‍රපටයේ රඟපාල තිබුණා. තාත්තාගේ ඒ රඟපෑම් දැකල තිබුණු අශෝක සෙනරත් මුදලිගේ තාත්තාට කතා කරල තිබුණා ඔහුගේ සිකුරිටි සින්න තම්බි නාට්‍යයට. තාත්තා ඒ නාට්‍ය නිෂ්පාදනය කරමින් එහි ප්‍රධාන චරිතය වූ සිකුරිටි සින්නතම්බි චරිතයට රඟපෑවා. මේ නාට්‍ය බලන්න ඇවිත් හිටිය ක්ලයිව් මාටෙන්ස් මහතා තාත්තාගේ රංගනයත් ගැන පැහැදිලා චෙරියෝ සාජන්ට් කියල පිටපතක් ලියාගෙන ඇවිත් තාත්තාට යෝජනාවක් කරල තියෙනවා නාට්‍යයක් කරන්න. ඒකට තාත්තත් කැමැති වෙලා තමයි තාත්තා චෙරියෝ සාජන්ට් නාට්‍ය නිර්මාණය කළේ. ක්ලයිව් මාටෙන්ස් මහතා නිහාල් සිල්වා මහතාව සමීපව ඇසුරු කරපු ඔහුත් සමඟ සාජන්ට් නල්ල තම්බි නාට්‍ය නිර්මාණයට දායක වූ කෙනෙක්.
ඔබගේ පියාගේ නාට්‍ය නිර්මාණයක් වූ චෙරියෝ සාජන්ට් වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ පෙරළිකාර නිර්මාණයක් ලෙසින් වැජඹෙනවා නොවේද?
දර්ශන වාර 2500ක් මේ නාට්‍ය වේදිකාගත වෙනවා. මේ රටේ විතරක් නොවෙයි විදෙස් රටවල් 23කත් මේ නාට්‍ය ප්‍රදර්ශනය වෙනවා.
සිනමාවේ ගුටි කෑ සැන්ඩෝ හැරිස්ගේ හැරවුම් ලක්ෂ්‍යය චෙරියෝ සාජන්ට් කිව්වොත්?
නොපිළිගෙන බෑනේ එතනින් තමයි තාත්තා හාස්‍ය නිර්මාණ වැඩිපුර කරන්න පෙළඹෙන්නේ. ඊට පස්සේ තාත්තා ඩොක්ටර් චිකාගෝ, චෙරියෝ සාජන්ට් -2, සාජන්ට් සින්න තම්බි, සාජන්ට්ගේ නැන්දම්මා, ට්‍රැෆික් සාජන්ට්, කෝච්චි මනමාලයා නමින් ප්‍රහසන නාට්‍ය රැසක් නිර්මාණය කරනවා. ප්‍රේකෂක ප්‍රතිචාර ඉහළින්ම ලබමින්.
තාත්තා මියයන කොට මොන නිර්මාණ ද වේදිකා ගත කරමින් හිටියේ?
තාත්තා මියයන්නේ 2021 වසරේ ඒ වෙනකොට තාත්තාගේ කෝචිචි මනමාලයා නාට්‍ය දර්ශනවාර 160ක් කරලා තිබුණා. ට්‍රැෆික් සාජන්ට් නාට්‍ය දර්ශන වාර 500ක් කරලා තිබුණා. මේ නාට්‍ය දෙක ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ වේදිකා ගත වෙමින් තියන කොට තමයි කෝවිඩ් වගේම පාස්කු ප්‍රහාරයත් රට තුළ ඇතිවුණේ.
පියා මියගිය පසු දිගු නිහඬ භාවයක් තුළ සිට තමයි ඔබ තාත්තාගේ නාට්‍ය නැවත කරළියට ගෙන ඒම අරභන්නේ?
තාත්තාගේ මරණින් පසු අවුරුදු දෙකක විතර කාලයක නිහඬ බවකින් පසුව තමයි අපි නැවත ගමනක් අරභන්නේ. නමුත් ඒ කාලය තුළ විවිධ පුද්ගලයෝ අපිට යෝජනා ගෙන එනවා නාට්‍ය නැවත කරන්න. නාට්‍ය මුදලකට විකුණල දාන්න වගේ යෝජනාත් ආවා. අපිට මාසෙට ගාණක් දීල සමහරු නාට්‍ය දිගටම කරගෙන යන්නත් යෝජනා කළා. තාත්තා කාටවත් නොදීපු නාට්‍ය අපිට කොහෙත්ම දෙන්නත් බෑ. ට්‍රැෆික් සාජන්ට් නාට්‍යයේ 499 දර්ශන වාරය මාදම්පේත් 500 දර්ශන වාරය ටවර් රඟහලෙත් කරන්න සුදානමක් තිබුණා. 2018 වසරේ ඔක්තෝබර් මස 17 හා 25 වැනි දිනවලදී මෙහි 500වන දර්ශනය කරන්න තිබුණේ ස්වාධීන රූපවාහිනියේ සුබ සාධන කටයුතු වෙනුවෙන්. ඔය අතරේ තාත්තාට පළමු වරට හෘදයාබාධ තත්ත්වයක් ඇතිවුණේ 14 වැනිදා වෛද්‍යවරු කිව්වා තාත්තාට විවේකය අවශ්‍යයි. සති දෙකක් යනකම් මහන්සි වෙන්න එපා කියල. ඒ වෙද්දිත් ස්වාධීන රූපවාහිනියේ යනවා අහවල් දවසේ ට්‍රැෆික් සාජන්ට් වේදිකා ගත වෙනවා කියලා දැන්වීම. ඔය අතරේ 17 වැනිදා උදාවුණා. මගේ අක්කා ඇහුවා ශක්කා (ගෙදරට මට කියන නම) මොකද කරන්නේ මිලින්ද පෙරේරා අංකල්ට කරන්න කියමු ද කියලා. තාත්තා අක්කට කිව්වලු මට දෙන්න ඌ ඕක බලල හරියට කරයි කියල. ඒ වෙන කොට මම මේ නාට්‍යයේ චරිත දෙකක් කරනවා. පැමිණිල්ල දාන්න එන කෙනයි පොලීසියේ චරිතයයි. මෙතනදී තමයි මට මුලින්ම තාත්තා කරපු නල්ලතම්බි චරිතය කරන්න ලැබෙන්නේ. මම නාට්‍යයේ රඟපාමින් හිටිය චරිත දෙක වෙන දෙන්නෙක් කළා. මම තාත්තාගේ චරිතය කිසිම රිහසල් එකක් නැතුව එදා කළා. අපේ නාට්‍ය කණ්ඩායමටත් ලොකු ප්‍රශ්නයක් මම චරිතය හරියට කරයි ද කියලා. කොහොම හරි එදා මාදම්පේ ෂෝ දෙකම හවුස් ෆුල්. අපි නාට්‍ය අවසානයේ තමයි ප්‍රේක්ෂකයන්ට කිව්වේ තාත්තාගේ අසනීප තත්ත්වය නිසා අද සාජන්ට්ගේ චරිතය කළේ ඔහුගේ පුතා කියලා. එතකොට ඕඩියන්ස් එකෙන් ආවේ ඉහළට ඇදෙන ෂූ හඬක්. කාටත් පුදුමයි ඇත්තටම ඒ චරිත නිරූපණය තාත්තාගෙයි මගෙයි කියල වෙනසක් පේ්රක්ෂකයන්ට දැනිලා නැති තරම්. ඊළඟට අපේ නාට්‍යයේ පන්සිය වෙනි දැක්ම කොළඹ කරද්දී තාත්තාව ඉස්පිරිතාලෙන් ගෙදර ගෙනත් මම ටවර් එකේ 3.30 දර්ශනය කරල ඉවර කළා. 6.30 දර්ශනයේදී මගේ අක්කත් මස්සිනාත් මා සමඟ ඇවිත් කතා කරල ගියා. කොහොම හරි මම ගෙදර ගියහම තාත්තා මට කිව්වා පොඩි පොඩි වැරදි වගයක් තිබුණා ඒ ටික හදාගෙන ගියහම හරි කියලා. මම ඇහුවා කොහොමද ඒ වැරදි දැනගත්තේ කියලා. ඒ පාර තාත්තා මට කිව්වා මම ඇවිත් පේ්රක්ෂකාගාරයේ පිටි පස්සේ ඉඳන් බලාගෙන හිටියා කියලා.
තාත්තා නරඹන්නෙක් ලෙසත් ඔහුගේම නාට්‍ය රසවිදින්නත් භාග්‍යමත් වෙලා තියනවා?
ට්‍රැෆික් සාජන්ට් පන්සිය වෙනි දැක්ම ප්‍රේක්ෂකයෙක් විධියට බලපු තාත්තා මෙහෙම කිව්වා. මම අධ්යක්ෂවරයෙක් ලෙස වේදිකාව තුළ හදපු නාට්‍ය පේ්රක්ෂකයෙක් විධියට උපරීම අයුරින් නැරඹුවා. මට එතනින් එහාට ආයෙ දෙයක් බලන්න නෑ කියලා. ඊට පස්සේ තාත්තා අන්තිම කාළේ තවත් නාට්‍ය පිටපතක් ලිව්වා. ක්‍රයිම් සාජන්ට් කියලා. මේ පිටපත් රචනයට මමත් තාත්තාට උදවු කළා. කොහොමහරි තාත්තාට මේ නාට්‍යයේ පිටපත් ලියල අහවර කරන්න ලැබුණේ නෑ. අතරමඟදී ඔහු හදිසියේ මියගියා.
තාත්තාගේ මරණෙන් පස්සේ ඔබ යළිත් ට්‍රැෆික් සාජන්ට් වේදිකාවට ගේනවා ඔබේ දායකත්වය තුළ?
තාත්තා නැති වී වසර දෙකකට පස්සේ තාත්තාගේ උපන් දිනය දවසේ කොළඹ ටවර්හෝල් රඟහලේ ට්‍රැෆික් සාජන්ට් 501 වන දැක්මත් සමඟ යළිත් නාට්‍ය ප්‍රේක්ෂකයන් අතරට මම ගෙන ඒම අරභනවා.
501 වන දැක්මේ සිට ට්‍රැෆික් සාජන්ට් නව නිර්මාණයක් ලෙස ද ඔබ වේදිකාවට රැගෙන එන්නේ ?
අපි තාත්තාගේ පිටපතේ තිබුණු යම් යම් තැන්වල සංශෝධන කීපයක් කළා. අද කාලෙට ගැළපෙන විධියට. දෙබස් වගේම පසුතලයත් අපි වෙනස් කළා. මේ නාට්‍ය දැක්ම බලන්න තාත්තාගේ සමීප මිතුරන් එදා ආරාධිතයන් ලෙස මෙයට සහභාගි වුණා. සුරංග ද අල්විස්, චන්ද්‍රන් රත්නම්, ජීවන් කුමාරතුංග, සුසිලා කෝට්ටගේ මානෙල් වානගුරුවගේ ගොඩක් අය එදා මේ අවස්ථාවට ඇවිත් හිටියා. මටත් ලොකු සතුටක් මේ වගේ පිරිසක් ඉදිරියේ මටත් දෙයක් කරන්න ලැබීම ගැන තාත්තා නැතුව කරපු පළමු නිර්මාණදායකත්වය. මටත් පුදුමයි මටම කියල විශාල ප්‍රේක්ෂක පිරිසක් එදා මා වටාත් එකතු වීම. 2023 මැයි 18 වැනිදා තමයි තාත්තාගේ උපන්දිනය දවසේම නව ගමනට අපි මුල පිරුවේ.
තාත්තාගේ උපන්දිනය දවසේම නව ගමනකට මුල පිරුව ඔබට දැන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතා ඉහළයි. තාත්තාගේ රටවටා හිටිය නාට්‍ය සංවිධායකයෝ අද අපිත් එක්ක යළිත් එකතුවෙලා. දැනටමත් ට්‍රැෆික් සාජන්ට් දර්ශන වාර රට වටේම බුක් වෙලා එක පෙළට.
විදෙස් රටවලිනුත් මේ ඔබේ නාට්‍යට දැන් ඉල්ලුමක් ඇතිවෙලාද?
ඔව්. අපේ මේ නාට්‍යයේ රංගන ශිල්පීන් එකොළහක් ඉන්නවා. සෙට් හදන අයත් එක්ක ඔක්කොම 15ක්. අපිට ඕස්ට්‍රේලියාවෙන් ආරාධනයක් තියනවා. කටාර්වලිනුත් ආරාධනයක් ඇවිත් තියනවා.
තාත්තාගේ පිටපතත් නාට්‍යයත් ඉදිරියට අරන් යන්න ද ඔබේ තවදුරටත් මනාපය ඔබේම නිර්මාණයක් කරන්න කැමැත්තක් නැද්ද?
මම හිතනවා තව මම ගොඩක් දේ ඉගෙන ගත යුතුයි කියලා. තාත්තා අවසානයේ ලියමින් හිටිය පිටපතේ. අවසානය මට ලියන්න වෙලා තියනවා. ක්‍රයිම් සාජන්ට් පිටපත.
තාත්තාගේ තවත් නිර්මාණයක් වේදිකාවට ඔබේ දායකත්වය තුළ රැගෙන එන්න සූදානමක් තියනවද?
ඔව්. සාජන්ට්ගේ නැන්දම්මා යළිත් වේදිකාවට ගේන්න මගේ උත්සාහයක් තියනවා. ලබන වසරේ තාත්තාගේ උපන්දිනය දවසට ඔහුට උපහාරයක් ලෙස. තාත්තා ඉංගී්රසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබපු නිසා තාත්තාට සිංහලෙන් නිවැරැදිව ලියන්න බෑ. කවුරුහරි අරන් තමයි තාත්තා ලියව ගත්තේ. දෙබස් තිබුණේ තාත්තාගේ ඔළුවේ. සාරාංශය කවුරුහරි ලවා ලියවා ගෙන ඔළුවේ තමයි දෙබස් තියාගත්තේ. කාලයක් යනකොට පිටපත් කොහේද නෑ. සාජන්ට්ගේ නැන්දම්මා පිටපතත් යළි ලියල පසුගිය සතියේ තමයි මම ඉවර කළේ.
තාත්තාගේ නිර්මාණ ගොන්න තුළ ඉදිරියටත් කොටුවෙලා ඉන්න ද ඔබේ බලාපොරොත්තුව?
මට කලිනුත් ගොඩක් අය රඟපාන්න කතා කළා. නමුත් මම ඒ ආරාධනාවලින් කට්ටි පනිමින් හිටියා. මම මුලදී මේ පැත්තට කැමැත්තක් තිබුණේ නෑ. තාත්තාගේ යාළුවන් මාර්ගයෙන් මට ඕනෙ තරම් නිර්මාණවලට යන්න තිබුණා. ඒත් මගේ ආශාවේ අඩුව එයට තදින් බලපෑවා. නමුත් තාත්තාගේ වැඩකදී ඒවාට නොයා බේරෙන්න බැරි නිසා ඒවට ගියා.
දැන් ඔබ චිත්‍රපට නළුවෙක් ටෙලි නාට්‍ය නළුවෙක් බවටත් පත්වෙලාද?
සුරංග අල්විස් මහතාගේ ආරාධනයකට මම ඔහුගේ රූම් නම්බර් 106 චිත්‍රපටයේ රඟපෑවා. සත්‍ය කතාවක් පදනම් කරගෙන දිගහැරෙන චිත්‍රපටයක් දැනට මාස කීපයකට උඩ දී එහි සියලු රූපගත කිරීම් නිමා කළා. නුදුරේදී එය තිරගත වේවිමේ දිනවල තිරගත වන උදය කාන්තවර්ණසුරිය ගේ ගිනිඅවි සහ ගිනි කෙලි දෙක චිත්‍රපටයේ නිහාල් සිල්වාගේ ඇත්ත චරිතයකට මම රංගනයෙන් දායක වුණා. තුසිත මනම්පෙරුමගේ බඹරු ඇවිත් ටෙලි නාට්‍යයේ රංගනයත් සමඟ මම පුංචි තිරයටත් මේ වෙන කොට එක්වෙලා මේ දවස්වල එහි පළමු කොටස් පණහ රූපගත කිරීම් සිදුවෙමින් තියනවා.
මුලින්ම මොන වගේ චරිතයක් තුළින් ද ඔබ සිනමාවට පුංචි තිරයට එක්වන්නේ?
රූම් නම්බර් 106 චිත්‍රපටයේ මම හෝටල් සේවකයෙක් ලෙසින් බඹරු ඇවිත් ටෙලි නිර්මාණයේ මම. දුෂ්ටයෙක්ගේ මැරයෙක්ගේ චරිතයක් තමයි කරන්නේ.
හාස්‍ය රංගනය තුළ ගමනකට සිනමාවේ පුංචි තිරයේ ආරාධනා නැද්ද?
තවම නෑ. මම බොහොම සීරියස් පුද්ගලයෙක් හැටියට තමයි කවදත් ඉන්න උත්සාහ කළේ. ඒත් මම දන්නෑ ඇයි මම හාස්‍ය පැත්තට මෙහෙම යොමු වුණේ කියලා.
වේදිකාවට පුංචි තිරයට සිනමාවට අද වෙනකොට ඔබ රංගනයෙන් දායකවෙලා මේ ත්‍රිත්වයෙන් ඔබ වඩාත් පි‍්‍රය කරන්නේ?
වේදිකාවට ඒකට හේතුව මම පුංචි කාලේ ඉඳල ජීවත් වුණේ දැක්කේ වේදිකාව. වේිදිකාවේ තියන රසවත්ම දේ තමයි අපිට සජීවීව පේ්රක්ෂකයන් පිනවන්න ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ප්‍රතිචාරත් ඒ වෙලාවේම අත්දකින්න පුළුවන් වෙනවා. අපි කරන දේත් හරියට කරන්න ඕනේ. නැත්තම් ඉවරම තමයි.
වේදිකාව තුළ රංගනයේදී අකරතැබ්බ වලට එහෙම මුහුණ දෙන්න වෙලා නැද්ද?
මොකද නැත්තේ ට්‍රැෆික් සාජන්ට් මගේ මුලිකත්වයෙන් වේදිකා ගතවුණු පි‍්‍රමියර් ෂෝ එකේදී. පොලිසියේ අය හොර අරක්කු බීල වෙරි මතින් එනවා. ඒ වෙලාවේ මම හිනාවෙමින් දගල දගල තමයි වේදිකාවට එන්නේ. එදා පළවෙනි ෂෝ එක දවසේ මාව ලිස්සල වැටුණා. කට්ටිය හිතුවේ සීන් එකේ කොටසක් කියල. ඒ වෙලාවේ නාට්‍යයේ අය එතැනට දෙබසක් දාල ඔච්චර වැඩිය බොන්න එපා කියල ඒ අකරතැබ්බයට දෙබසකින්ම පිළිතුරක් එක් කල පේ්රක්ෂකයාට නාට්‍යයේ කොටසක් විධියට අගවමින් හැබැයි ඉතිං මට ඔළුව හදාගන්න විනාඩි දහයක් පහළොවක් ගියා. වැටුණට පස්සේ.
ඔබේ පියා ජනපි‍්‍රය චරිතයක් නිසාවෙන් පාසලේදී මොන වගේ ප්‍රතිචාරයක් ද ඔබට ලැබුණේ යාළුවන්ගෙන්?
සැන්ඩාගේ පුතා කියල කාඩ් එක වැදිල තිබුණා. අයියට කිව්වේ ලොකු සැන්ඩ්‍රො මට කිව්වේ පොඩි සැන්ඩ්‍රා කියල. තාත්තා නිතර ලුම්බිණි විද්‍යාලයට ආවා ගියා හෝල් එක බුක් කරන්න. ඈතදීම තාත්තාගේ දිලිසෙන තට්ටය දකින මගේ යාළු මිත්‍රයෝ මට කෑගහල කියනවා පොඩි සැන්ඩ්‍රා අන්න මහ සැන්ඩා එනවා කියලා.
ශාක්‍යගේ තට්ටේ ගෑවෙත් තාත්තා කියන්නේ ඇත්තද?
කොහොමද ඒ කතාව දන්නේ මම පුංචි කාලේ ඉඳල මගේ කොණ්ඩෙට හරි ආසයි. පීරල කරල ලස්සනට තියන් හිටියා. පාසල නිවාඩු දෙනකොට ගිහින් ලස්සන කට්ි එකක් කපල ඉන්න මම පුරුදු වෙලා හිටියා. දවසක් තාත්තා මට කිව්ව ගෙදර ෆෑන් එකක් හදන්න ඇවිත් හිටිය කෙනාට උදවු වෙන්න කියල. මම ඒ වැඩේට උදවු කර කර ඉන්නකොට මගේ පිටුපස්සෙන් එක පාරට චිරිස්ගාල සද්දයක් ආවා. ඔළුවේ කෙස් කැපිල බිමට වැටුණා. ආපස්සට හැරිල බලනකොට තාත්තා කතුරක් අරන් ඉන්නවා. ඊට පස්සේ මාව එළියට අරන් තාත්තා මුළු කොණ්ඩෙම කපලා දැම්මා. එදයින් පස්සේ මගේ කොණ්ඩෙට තිබුණ ආශාව මම අත්හැරියා. අද නම් චරිතෙ වෙනුවෙන්ම හිස මුඩු කරල ඉන්නේ. නමුත් හොඳට කොණ්ඩෙ වැවෙනවා අදටත්.
ට්‍රැෆික් සාජන්ට් නවමුහුණු වරකින් වේදිකාවට ගේන්න ඔබ උත්සාහ කරද්දි තාත්තා කළ කැරැක්ටරයේ බරපතළකමක් ගැන ඔබට වැටහීමක් තිබුණේම නැද්ද?
ස්ක්‍රිප්ට් එක වෙනස් කරල මාසයකටත් අඩු කාලයක් අපි රිහසල් කරල තමයි වැඩේට ලෑස්ති වුණේ. නමුත් චරිතෙ ගැන මට ලොකුවට ඔළුවට ආවේ නෑ. දැන් මමනේ මේ චරිතේ කරන්නේ කියල මේකප් කරල ඇඳුම ඇදගෙන චේන්ජින් රූම් එකෙන් එළියට එද්දී වීදුරුව ඉස්සරහදී කොස්ටියුම් එක ෆුල් පේන කොට තමයි මගේ ඇගට තාත්තගේ චරිතෙ මැවී මැවී පේන්න පටන් ගත්තේ.
තාත්තාගේ මෙතෙක් කළ හැම නිර්මාණයක්ම ඔබ යළි ප්‍රති නිර්මාණයකට යන්නද ලෑස්තිය?
සාජන්ට්ගේ නැන්දම්මා ලබන වසරේ නැවත වේදිකාවට ගෙන එනවා. ඒ අතරේ දැනට ලියාගෙන යන ක්‍රයිම් සාජන්ට් පිටපත වේදිකාවේ සැබෑවක් බවට පත්කරනවා. පිටපතේ අවසානය තමයි මේ වනවිට ලියමින් ඉන්නේ. ඒ නාට්‍ය වේදිකාවට එනකොට මටත් යම් දැනුමක් මේ ක්ෂේත්රයේ ගොඩ නැගෙයි මගේම ගමනකට පියවර තබන්න.
ඔබේ පියාගේ නාට්‍ය නිර්මාණවල සාජන් චරිතය පැති මාරු කිරීමක් ද මේ කරන්නේ?
නෑ. සාජන්ට් කියන චරිතය විතරයි මෙතනදී ගන්නේ. ඔහු විවිධ දේට සම්බන්ධයි. පොලීසියට, ආදරයකට, ගෙදරකට ඔය වගේ ගොඩක් පැතිවලින් යන කතාන්දර තියනවා. සාජන්ට් කිව්වහම පොලිසිය මතක් වෙන්න අවශ්‍යතාවයක් නෑ. චරිතෙ අරන් විවිධ කතා නිර්මාණය කිරීමක් කරල තියෙන්නේ. මේ කතා සියල්ල තාත්තාගේ ස්ව නිර්මාණ අධ්‍යක්ෂණය නිෂ්පාදනය රචනය මේ සියල්ල තාත්තාගේ.
සමාජ මාධ්‍ය හරහා ඔබ අලුත් වැඩක් කරන්න යනවා කියලත් ආරංචියි?
විනාඩි විස්සක පමණ හාස්‍ය පිරි ක්ලිප් වගයක් මම සමාජ මාධ්‍ය ජාලයට කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් ඒ සඳහා පිටපත් රචනය ලියල අවසන්. තාත්තාගේ නාට්‍යවලත් විඩීයෝ පටිගත කිරීම් සිදු කරල නෑ. මට මතක හැටියට චෙරියෝ සාජන්ට් – 2 විතරක් වීඩියෝ පටිගත කිරීමක් කරල තියනවා. තාත්තා එවැනි දේකට ඒ කාලේ උත්සාහ කිරීමක් කරල නෑ. එහෙම තිබුණා නම් අද සමාජ මාධ්‍ය ජාලයේ තවත් හොඳ වැඩක් කරන්න තිබුණා. තාත්තා වටා සිටි රසික ප්‍රජාව වෙනුවෙන්.
සැන්ඩෝ හැරිස්ගේ පුත් ශාක්‍ය හැරිස්ගේ ලිපිනය මතක් කළොත්?
අංක 22, ශ්‍රී සරණංකර පාර, කළුබෝවිල, දෙහිවල.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන