සිය පියාණන් තමන් සතු සර්පිනාව නිවසේ බරාඳයට ගෙන එලාගත් පැදුරක් මත එය තබා මිහිරට වයමින් ඈතටද ඇසෙනසේ ගයමින් පසුවන දසුන පවුලේ හැමදෙනාටමත් වඩා දැනී තිබුණේ පවුලේ දරු දැරියන් සත්දෙනා අතර පස්වන දරුවාටය. නොඑසේනම් බාල දියණියන් දෙදෙනා හැරුණුවිට ඒ තාත්තාගේ පුතුන් පස්දෙනාගේ බාලම පුතුටය..
පුතු තාත්තාගේ මුව දෙසද වරෙක සර්පිනාව මත දිවෙන ඇඟිලි දෙසද ඇසපිය නොහෙලා බලා හිඳී..පසුව තාත්තාගේ ඇරයුමින් පුතුද දන්නා තරමින් වයනවිට තාත්තා බලාසිටින්නේ උතුරාගිය දරු සෙනෙහසකිනි..
යම්දිනෙක මෙපුතු සංගීත ඥානයෙන් පරිණතව දෙස් විදෙස් ප්‍රකට සම්මානිත සංගීතඥයකු වන්නේ යැයි දැනසිටියාදැයි නොදනිමි.
මා විසල් නිපුණතාවෙන් පිරිපුන් සංගීතඥයකු වන්නේම යැයි තිර අදිටනින් පෙරටම ගිය මෙවර අපේ සොඳුරු කතා නායකයාණෝ සංගීතඥ පී. වී. නන්දසිරි මහතාය..
මෙවර සරසවිය මවුපිය වරුණ කතා සිරිත සිරිමත් කරනු රිසියෙන් මා ගොඩවැදුණේ මේ කීර්තිමත් ගාන්ධර්වයන්ගේ පුතුන් දෙදෙනාට මැදිව උපන් එකම දියණිය වන ගල්කිස්ස..කලාපුරයේ පී.වී.නන්දසිරි කලා කේන්ද්‍රයේ සහ ඉතාලියේ ..මිලාමෝහි මමෝමංජරී සංගීත නිකේතනයේ අධිපතිනිය සේම ප්‍රධානාචාර්යවරිය වන ශාස්ත්‍රපති..කථිකාචාර්ය සංගීත් නිපුන් ..විශාරද පී.වී. මමෝමංජරී මහත්මිය ගේ නිවසටය..
ඕ ප්‍රථමයෙන් ස්තුතිවන්ත වූයේ සරසවිය පුවත්පතට හා එහි කර්තෘතුමාට මෙන්ම මේ මා වෙතය..
” අපෙ තාත්තාගෙ ජීවිතයම වුණේ සංගීතයමයි. කුඩා කාලෙ ඉඳන්ම කැපවුණා..මං දන්නා තරමට අපෙ තාත්තාගෙ මුල්ම ගුරුතුමා අපෙ සීයා. ඒ කියන්නෙ අපෙ තාත්තාගෙ තාත්තා ..”
අපේ ආදරණිය කතා නායකයාගේ එකම දියණිය පී.වී. මමෝමංජරී මහත්මිය අපේ සංලාපයට මුලපුරමින් එසේ කියන්නට වූවාය..
කොළඹ ..කොලොන්නාවේ. මීතොටමුල්ලේ ..මාටින් මහතාට සහ එම මහත්මියට හිමි දූ පුතුන් සත්දෙනෙකි..1934ක්වූ සැප්තැම්බර් මස 01 වනදා මෙලොව එළිය දුටු පාලනගම..විදාන ආරච්චිලාගේ නන්දසිරි දරුවා එම පවුලේ පස්වන දරුවාය..
නුගේගොඩ..ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලැබ ජ්‍යෙෂ්ඨ විභාගයටද පෙනී සිටිමින් සංගීතය හැදෑරීමේ අරමුණින් ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සහ ලක්නව් බලා පිටත්ව ගියේය…
අපේ ආදරණිය මමෝමංජරී සිනාබරව යමක් කියන්නට සැරසෙයි.
” අපෙ තාත්තාට සමීපව සිටියා ස්ටැන්ලි පෙරේරා අන්කල්..එයා කල්කටාවෙ. මුම්බායිවලට නැවෙන් යන්න හිටිය පළමු ගමන.. ඒත් නැවෙන් යන්න එදා බැරිවුණාලු. ඉතිං ..ඉන්දියාවේ යන්න ගිහින් බැරිවුණ නිසා ගමට එන්න බැරි ලැජ්ජාවට හඳුනන පන්සලකට ගිහින් නැවතී ඉඳලා පසුදා තමයි ලක්නව් ගිහින් තියෙන්නෙ..”
අපේ සොඳුරු කතා නායකයාණෝ තම කුසලතා මතින් ඉන්දියාවේ ලක්නව් සංගීත කථක් කේන්ද්‍රයේ අධ්යක්ෂ ලාංකිකයකු වන ජිනදාස වික්‍රමසිංහ මහතාගේ ගෞරවාරදරයට පාත්‍රවන්නට වැඩිකලක් ගත නොවිණි..ජිනදාස වික්‍රමසිංහ මහතා ඔහු මහරාජ් පරපුරේ පණ්ඩිත් බිර්ජු මහරාජ්ට හඳුන්වා දුන්නේය.. එහිදී හෙතෙම තබ්ලා වාදනය හැදෑරීමට යොමු වූයේය.. ඉන්දියාවේ භාත්ඛණ්ඩ අධ්‍යාපන ආයතනයෙන් ගායනයද තබ්ලාව උගත්තේ මහත් දුෂ්කරතා මධ්‍යයේය..ගුරු ඔස්තාද් හෆාක් හුසේන් ඛාන්ගේ සමවයසේ පුත්‍රයාද සමඟින් හේ මැනවින් තබ්ලාව හැදෑරුවේය..උත්තර ප්‍රදේශයේ පැවැති සංගීත තරඟවලදී ප්‍රථම ස්ථානයෙන් පිදුම් ලබන්නට සමත් වූයේද අපේ ආදරණිය පී.වී නන්දසිරියන්ය..ගුරු කලීතා වජීත් හුසේන් ඛාන්..ඔස්තාද් හෆාක් හුසේන් ඛාන්..ඔස්තාද් ඉල්මාන් හුසේන් ඛාන් ආදීහු ඔහුගේ ගුරු පරම්පරාවය..
ඉන්දියාවේ වසර පහක අධ්‍යාපනයෙන් අනතුරුව අපේ ආදරණිය කතා නායකයා පෙරළා සිය මවුබිමට පැමිණියේ මෙරට පළමුවන සංගීත් නිපුන් තබ්ලා වාදකයා ලෙසින් සම්මානිතවය. ඒ සමඟම ආදරණිය පී.වී නන්දසිරියන් සංගීත විශාරද විභාගයද ඉහළින්ම සමත්ව සිටියේය..
අපේ ආදරණිය මමෝමංජරී මහත්මිය යමක් කියන්නට සැරසෙනු පෙනෙයි…
” අපෙ තාත්තා සංගීතයටම ඉපදුණු කෙනෙක්..එයාගෙ පුංචි කාලෙදිත් සර්පිනාවට දක්ෂයෙක් කියලත් මං අහල තියෙනවා..ඉතින් ..අපෙ තාත්තා ලංකාවට ඇවිත් ඉස්සෙල්ලාම මහනුවර සංගීත කලායතනයක් ආරම්භ කළානෙ…පස්සෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීතය පිළිබඳ පරීක්ෂකවරයකු හැටියටත් ..සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරයකු හැටියටත් තාත්තා කටයුතු කළා..අනේ..අපෙ තාත්තා සංගීතයටම ජීවිතයම කැපකළ කෙනෙක්…”
ඕ සිනාමුසුව කියන්නීය..
සංගීත විශාරද හා සංගීත් නිපුන් අපේ ආදරණිය විශිෂ්ටයාණෝ ඔහුගේ පාසල් වේදිකාවේ ගීත ගායනා කරමින් ප්‍රථම ස්ථාන ලද අයුරුද අපේ ආදරණිය මමෝමංජරී යටගිය මතක අතරේ සැරිසරමින් කියන්නීය.
“අනේ නැහැ..අපෙ තාත්තාට කවදාවත් කේන්ති ගිය දවසක් නම් අපි දැකලාම නැහැ..හැබැයි අමල්…කවුරුහරි රාගධාරී සංගීතය විවේචනය කළොත් නම් හරියට තරහා යනවා .. ” යි මා කළ විමසුමකකදී පැවසූ ඕ තොමෝ “තාත්තාගෙ එකම වැඩේ අභ්‍යාස කරන එකමයි..”
ඈ සිනාසෙන්නීය..
හිමිදිරියේම අවදිවන හෙතෙම ගායන පුහුණුවෙහි නිරත වෙයි. ඉන් පෑ දෙකකට පමණ පසුව උදෑසන තේ කෝප්පයේද රස බලා දෙවනුව හිඳගන්නේ වාද්‍ය පුහුණුවටය…ඉන් තවත් පෑ දෙකක් පමණ ගතව ගිය පසුවය ඔහු රැකියාවට යන්නට සූදානම් වන්නේ..සේවය නිමකර පෙරළා නිවසට පැමිණි පසුව හෙතෙම යළි අභ්‍යාසයේ නිරත වන්නේය..
“දන්නවද අමල් ..අපි මොනවා කීවත් මොනව කළත් ඒ හැම දෙයකටම ” හා..හා ..හරි..හරි..හා” කිය කිය අභ්‍යාසයේම ඉන්නවා… ඒ වැඩේ ඉවර වෙලා තමයි අපි එයාගෙන් අහපු දේට අපට උත්තර දෙන්නේ..(සිනාසෙමින්) ඔන්න අපි ගමනක් යන්න ලෑස්ති වුණාය කියමුකෝ.. ප්‍රමාද බව කීවත් තාත්තා ” හා..හා..පොඩ්ඩක් ඉන්ඩකෝ..ඉන්ඩකෝ..කිය කියා අභ්‍යාසයේ යෙදෙනවා..” යි කී ඔහු දියණිය මමෝමංජරී දිගු සුසුමක් හෙළා ලය සැහැල්ලු කරගත් නියායෙන් තමන්ට පමණක් ඇසෙනසේ කියන්නට වූයේ “අනේ අපෙ තාත්තා සංගීතය හදාරන හැටි මට තවමත් මැවී පේනවා වගේ…” කියාය..
ඔහුගේ මහනුවර සංගීත කලායතනයෙන් රටට බිහිකළ ප්‍රකට සංගීතවේදී ෂර්ලි වෛජයන්ත ඇතුළු දක්ෂතාවෙන් පිරිපුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක්ම ලොවට තිළිණ කළේය..
රාගධාරී සංගීතයට අනුව යමින් ඔහුගේ කමලාසනී නම් ප්‍රකට ගීතය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් පද්ධතියට මුසුවූයේය..
” අපෙ තාත්තා 1959 සිට 1966 දක්වාම හේවුඩ් සිටියේ..පස්සෙ 1969 ඉඳන් 1972 වනතුරු තාත්තා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු හැටියට සිටියෙ…දිගටම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ස්ථිර සේවයේ කටයුතු කළා..සෞන්දර්ය කලායතනයේ අංශ ප්‍රධානි හැටියටත් වැඩ කළා..ඉංග්‍රීසි පුහුණු විද්‍යාලයේත් තාත්තා වැඩ කළා..”
අපේ ආදරණිය පී.වී නන්දසිරියන් තම ගී සිරිත සිරිමත් කරමින් ගැයූ “ආයාචනා හද ආදරේ..ඔබගේ නළලේ කුංකුම තිලකේ..පංකජ නයනී…වන්දේ පා බුද්ධ සමින්දේ..ආදී තවත් ගීත එකල ගීතලෝලී රසිකයන් අතර ජනප්‍රිය විය.
තම ආදරණිය පියාණන් පිළිබඳව කතාබහ කරන්නට ලැබීම තරමේ තවත් සතුටක් තමන්ට තවත් නැතැයි අපේ ආදරණිය මමෝමංජරීගේ මුහුණින් කියැවෙයි.
” අනේ නැහැ අමල් ..කවදාවත් අපේ තාත්තා අපට බලපෑම් කරලා නැහැ..අපට නිදහස්ව හිතන්න කටයුතු කරන්න දුන්නා..ඇත්තටම මට වගේම මගෙ අයියා උපුල මධුශංක..දැන් අයියා ගෘහ නිර්මාණ ශිල්පී වෘත්තීයේ..අයියාත් තබ්ලාව සංගීත් නිපුන් වනතුරු හැදෑරුවා..එතකොට මගෙ මල්ලි සජන ජයශංක..අපි හැමෝටම තාත්තා නිදහස දුන්නා.. තාත්තා අපත් එක්ක එකතු වුණාම හරිම රසවත්..සංගීතය ගැන කතා කරන එක තරම් අපෙ තාත්තා ට වෙන සතුටක් නැහැ..ඒකට හරිම කැමතියි..සැරපරුෂ නැහැ..නීතිරීති දැම්මෙ නැහැ..මම වයලීනය සමඟ ගායනය ඉගෙන ගත්තේ..අනේ ඉතිං..ඒ කාලෙ මේ මං පොඩිද ලොකුද කියලවත් හිතන්නෙ බලන්නෙ නැතිව ගෙට පය ගහපු ගමන් අහන්නෙ ” කෝ..අභ්‍යාස කළාද..කෝ..කළාද” කියලමයි. ඔය තාත්තාගෙ සංගීත වැඩසටහන්වලදි වාදන සහයට මාවයි අයියවයි තමයි එක්කගෙන යන්නෙ..”
හිඳසිටි අසුනේ තවත් හරිබරි ගැසෙමින් මමෝමංජරී මේ ටිකද කියන්නීය..
” ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ විවිධ උත්සවවලට තාත්තාට ආරාධනා ලැබෙනවා..මොකද එහෙ ඉන්දියන් මියුසික් නිසා..එහි තාත්තා භජන් ගීත ගයනවා..එහෙම අපි ගොඩක් වැඩ සටහන් කරල තියෙනවා..අයියයි මමයි පොඩිකාලෙ ඉඳන්ම තාත්තා එක්ක ගුවන් විදුලියටත් යනවා..”
අපේ සොඳුරු කතා නායකයාගේ මහනුවර සංගීත කලායතනයට පැමිණෙන සිසුවියකගේ තනිනොතනියට එන්නේ ඇයගේම සොහොයුරියකි. පසුව ඇයද තබ්ලා වාදනය ඉගෙනුමට එහි පැමිණියාය. එහිදී ඔහුගේ “හිරෝෂිමා” නාට්‍යයේ ප්‍රධාන නිළිය වූයේද ඇයමය..ඔහු සිත ඈ වෙත බැඳී අවසන ඇය ඔහුගේ ජීවන අත්වැල වෙමින් 1965 ක්වූ ජනවාරි මස 20වනදා විවාපත් වූවාය.. ඕ තොමෝ මහනුවර කුණ්ඩසාලේ…සළුවඩන මුදියන්සේලාගේ සුජාතා කුමාරිහාමි මෙනවියය..
මම අපේ මමෝමංජරී දෙස බලමි.
” ඔව්..අපෙ අම්මා ගුරුවරියක්..පාසල් කිහිපයකම නැටුම් ගුරුවරියක් විදිහට සේවය කළා..”
අපේ ආදරණිය රසවතාණෝ ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය වූ ඩී.බී. නිහාල්සිංහයන්ගේ ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයේ සංගීත අධ්යක්ෂවරයා වෙමින් චිත්‍රපට ගණනාවකද සංගීත අධ්යක්ෂ ලෙසින් ප්‍රතිභාව විදහා දැක්වූයේය.
ජර්මනියේ ලාංකිකයන් හා එක්ව වාර්තාමය වැඩ සටහන්ද නිර්මාණය කළේය..
” ශාස්ත්‍රීය සංගීතය අපෙ තාත්තාගෙ ජීවිතයම වුණා..”
අපේ ආදරණිය මමෝමංජරී තම පියාණන් ගත්මඟ එලෙසින් ම යමින් ඇයද මේ වනවිට සංගීත කුසලතාවෙන් සම්මානිතව සිටින්නීය. ඉන්දියාවේ ලක්නව් හි ගායන විශාරද ලෙසින් පිදුම් ලබා බෙනාරෝ විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය එන්රාජම් මහත්මිය යටතේ ද මහාචාර්ය ජී. බාලා ජී යටතේද හැදෑරූ වයලීන වාදනයෙන් සංගීත් නිපුන් ලෙසින් සමත්ව මවුබිමට පැමිණි අපේ මමෝමංජරී ශාස්ත්‍රපති උපාධියෙන්ද පිදුම් ලැබුවාය…
අනතුරුව ඕ තොමෝ ජයවර්ධනපුර සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයන්හි කථිකාචාර්යවරියක ලෙසින් කටයුතු කළාය..
” ඉන්පස්සේ මට ඉතාලියට යන්න වුණා..මගෙ කෙවින් සංජන කරුණාතිලක..සුභාංග මනුෂංක කරුණාතිලක පුතුන් දෙදෙනා මට ලැබුණෙත් ඉතාලියේදි..මගෙ මහත්තයා තමයි ගාමිණී කරුණාතිලක..මගෙ අම්මා තාත්තා මා ළඟට ගත්තා.. පාසල් අධ්‍යාපනයට මම දරුවන් දෙන්නා ලංකාවට එක්කන් ආවා..ලොකු පුතා ඉංජිනේරු…දෙවන පුතා විශ්වවිද්‍යාලයේ දෙවන වසර…”
ඇයගේ මුවමත පිරුණු සුන්දරනීය සිනහව එහෙමමය..
ඉතාලියේ මිලාමෝහි මමෝමංජරී සංගීත් කලා නිකේතනය ඇයගේය..එහි ළමුන් බොහෝ පිරිසක් ඉගෙනුම ලබති. ගල්කිස්සේ කලාපුරයේ පී.වී. නන්දසිරි කලා කේන්ද්‍රයද ඇයගේමය..ඇය තැනූ ගැයුමෙහි වැයුමෙහි කුසලතා පිරිපුන් ගෝලබාලයන් රැසක්ද මේ වනවිට රටට දායාද කොට ඇත.
” මගෙ පුතාලා දෙන්නත් ගායනයෙන් විශාරද සාමර්ථ්‍යය ලබා ඉන්නෙ..”
ඈ සතුට ඈ වෙතින් පළවෙයි.
සිය පියාණන්ගේ ප්රවීණතම සමකාලීනයන්ගේ ඇසුර තමන්ටද ආශිර්වාදයක් වූ බව පැවසූ ඕ ගෙදර පරිසරය වඩාත් සුවපහසු වූයේ ඒ නිසා බවද කියන්නීය.
අපේ කතා නායක තෙමේ රෝගාතුර වූයේය..
“අපෙ තාත්තාට බයිපාස් දෙකක් කරන්න සිදුවුණා. 87දි ස්විස්ටර්ලන්තයේදි. ඉන් වසර 25කට පස්සෙ ඉතාලියේදි කළා..අනේ තාත්තා හොඳට හිටියා..තාත්තාව ලංකාවට එක්ක ආවා…අනේ ඉතිං…”
ඇයගේ මෙතුවක් දුටු මුහුණේ සෝභාව අඳුරකට හැරුණාක් මෙනි. සුළු පරීක්ෂණයක් සඳහා ඔහු රෝහල් ගතකෙරිණි. ඒ පරීක්ෂණයේදී වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් විෂබීජ ශරීර ගත වී තිබිණි. ගත වෙවුලා උණකින් පෙලිණි. ඔහුගේ ම බලකිරීමෙන් යළි නිවසට රැගෙන ආවේය.
එදින උදයේ අපේ කතා නායකයාණෝ තම දියණියට සංගීතය උගන්වමින් සිටියේය.
” මට..මට..දිව යට තියන පෙති දෙන්න..පපුව රිදෙනවා..මගෙ..”
හෙතෙම තවත් පෙති ඉල්ලා සිටියදී ඇය වහා තාත්තා රෝහලට ගෙන ගියාය ..එහිදී සිහි විසඥ විය..
” ආයෙත් හාර්ට් ඇටෑක් එකක් කියල වෛද්‍යවරුන් කීවාම මට තරහත් ආවා..තාත්තා ..අනේ..මගෙන් අසරණ විදිහට අහනව ඇයි..ඇයි දුවෙි කියලා..මං මොනවා කියල කියන්නද..
අම්මා ට එන්න කියල කරදර කරන්න එපාය කිව්වා..තාත්තා රෙස්ට් කරන්න කියල අනේ..මං තාත්තා ව අත ගෑවා..අයියයි මල්ලියි හිටියෙ පිටරට..මගෙ රත්තරන් තාත්තා ළඟ හිටියෙ මං විතරයි…කලිනුත් මෙහෙම අමාරු වෙලා පස්සෙ ගෙදර එක්ක ගිය නිසා අනේ අපෙ තාත්තාගෙ හිතේම තිබුණෙ ගෙදර යන්න ලැබෙයි කියලා…”
අපේ ආදරණිය පී.වී.නන්දසිරි දියණිය මමෝමංජරී මවෙතින් දෑස් ඉවතට ගෙන ඈත බලා සිට මට රහසේ නෙත නැගි කඳුළක් පිටඅත්ලෙන් පිසදාගන්නට වෑයම් කරන්නීය..
ජීවිතයම සංගීතය වෙනුවෙන් කැපකරමින් රටට දැයට ඉමහත් මෙහෙවරක යෙදුණු අපේ සම්මානිත සොඳුරු කතා නායකයාණෝ 2004ක්වූ මාර්තු මස 03 වනදා කිසිවකුට හෝ නොකියා නොදන්වා රහසේ ම යළි අවදි නොවනා දිගු නින්දකට වැටුණේය…
ඒ වනවිට අපේ ගෞරවනීය සහෘදයාණෝ ජීවන මංපෙත 70 වියෙහි පසුවූයේය…
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ