” අපෙ තාත්තාගෙ ආත්මයම වුණේ සංගීතයයි. තාත්තාට ඒ දේ නොලැබුණානම් තාත්තාගෙ ජීවිතයට මුකුත්ම නොලැබී යන්න ඉඩ තිබුණා…”
ජීවිතයම සංගීතයම කරගත් ඔහුට ඔහු ම ගුරුවරයා වූයේයැයි කිවහොත් වඩාත් නිවැරදි යැයි හැඟේ. ගිටාරයත් ජීවිතයත් දෙකක් නොව එකක් යැයි කියැවෙන තරමට හෙතෙම ගිටාරයට පෙම් බැන්දේය. අන් සිත්සතන් ගායන රසාස්වාදයෙන් නිවා සනහාලන කුසලතාවෙන් පිරිපුන් නිසාම ඔහු ගායන ලොව හිණිපෙත්තේ පසුවූයේය…මෙවර සරසවිය පාඨක ඔබට හමුවන අපේ මේ සොඳුරු කතා නායකයාණෝ අන් කිසිවකු හෝ නොව ග්‍රේෂන් ආනන්ද නම් සංගීත අධ්‍යක්ෂකවරයාය. සිනමා රිදී තිරය ප්‍රේමණීය හඬ පෞරුෂයෙන් ඔපකළ ප්‍රවීණ ගායකයාය. ඉතා අවම කාල පරාසයකදී පද රචනයට තනු රචනා කොට සංගීත භාණ්ඩ කිහිපයකටම සමත් බව ප්‍රකට කළ ප්‍රවීණ වාදකයාය.
සරසවිය මවුපිය වරුණ වෙනුවෙන් ඔහු පිළිබඳ තතු සොයා ගිය ගමනේදී මට හමුවූ ඔහුගේ පුතු ප්‍රකට ගායන ශිල්පී මරියෝ ආනන්ද දැන් මා සමීපයේමය.
මම ඔහුට සවන් දෙමි.
“මේ තාත්තාම මට ලැබීම මා ලද භාග්‍යයක්ම විදිහටයි මම අදහන්නේ. ඇත්තමයි ..ග්‍රේෂන් ආනන්ද කියන කලාකරුවාගෙ පුතා වීමත් මා ගැන මටම පුදුමයක්…”
අපේ ආදරණීය මරියෝ ආනන්ද ගතානුගතික සිතිවිල්ලෙන් බැහැරව නිදහස් අදහස් ගරු කෙරෙමින් අව්‍යාජව සෘජුව කතා කරනා අයකුම යැයි මට වරෙක සිතේ. පියා ගත් මඟ ගනිමින් අපේ මරියෝද ගායනයේහි වාදනයේහි මෙන්ම සංගීත ප්‍රසංග වේදිකාවෙහිද සමතෙකැයි ඉඳුරාම දැන සිටිමි.
අපේ ආදරණීය කතා නායකයාණෝ බජ්ජල වලව්වේ ග්‍රේෂන් ආනන්ද අබේකෝන්ය..ඒ ඔහුගේ උප්පැන්නයේ සඳහන් නමය. උපන් දිනය වනුයේ 1957ක්වූ මාර්තු මස 15 වනදාය. ඉපදුණේ මහනුවර අනිවත්තේය…පොලිස් නිලධාරියකු වූ ෂෙල්ටන් අබේකෝන් පියාණන්ගේ රැකියාව නිසාම විවිධ ප්‍රදේශවලට ස්ථාන මාරුවීම් ලැබීමෙන් පදිංචිය ද වරින්වර වෙනස් විණි. ඔහුගේ මව වූයේ බර්නඩීන් ජයවර්ධන අබේකෝන් ය. අපේ කතා නායකයා උසස් පෙළ හදාරන විට උගත්තේ ශාන්ත ජෝශප් විදුහලේය.
“අපෙ තාත්තාට සහෝදර සහෝදරියන් හත් අට දෙනෙක්ම ඉඳල තියෙනවාලු. මගෙ මතකයේ ඉන්නෙ තාත්තාගෙ අයියා කෙනෙක් හා නංගියෙක් ගැන විතරයි.”
අපේ මරියෝ කියන්නේය.
හයහතර තේරෙන වියේ සිටම සංගීතයට සංගීත භාණ්ඩයට මහත්සේ ඇලුම් පෑ තම කැමැත්ත හැඳීනූ සංගීත ගුරුවරියක වූ අම්මා පළමුවරට පුතු අත තැබුවේ මවුත් ඕගනයකි. දෙවනුව තිළිණ කළේ පියාමෝවකි. සහජ ඥානයෙහි මැනවින් පිහිටියේය…
“අපෙ තාත්තාම තාත්තාගෙ ඉදිරි ගමන තනිවම ගොඩ නගා ගත්තා. ඕනෑම සංගීත භාණ්ඩයක් අතපත ගාන ඉක්මනින් එය ඉගෙනීමෙහි හපන්කමක් අපෙ තාත්තා ට තිබුණාය කියල මං අහලත් තියෙනවා..ඒ වගේම තාත්තාගෙ ඒ හැකියාව ගැන මටත් අවබෝධ වුණා…”
අපේ මරියෝ ආනන්ද සතුටු සිනහවකිනි.
“අපෙ තාත්තා මට හොඳම යහළුවෙක්. තමන්ගෙ දරුවාට යහළුවෙක් වගේ ඉන්න එකේ වටිනාකම් ගොඩක් තියෙනව කියල මමත් විශ්වාස කරනවා. අපෙ අම්මාත් මට එහෙමයි. ”
අපේ සොඳුරු කතා නායකයාණෝ දරුවන් මත්තේමය. කෙතරම් කාර්ය බහුල වුවත් දරුවන් සමඟ එක්වීම තරම් දෙයක් ඔහුට තවත් නැති.
“මාව වඩාගෙන යන තරමේ වයසෙ..තාත්තා ස්ටුඩියෝ වලට යන හැම ගමනකදිම මාව එක්ක යනවා මට තවම මතකයි. අපිව මේ මගේ දරුවන් කියල ලොවටම පෙන්වන සතුටක් අපෙ තාත්තාට තිබුණා .ඒ අතින් මම හරිම වාසනාවන්තයි. මගෙ ජීවිතයේදි මා ළඟම වැඩිම කාලයක් ඉඳල තියෙන්නෙ මගෙ අම්මා ”
තම පියාණන්ට තම කුඩාවියේ සිටම අනාගතය පිළිබඳව කිසියම් දැක්මක් තිබුණු බව පුතු කියන්නේය. ඒ ගායකයකු ..වාදකයකු වීමේ නොතිත් වෑයමයි. හැමදේම එතී තිබුණේ සංගීතය මත්තේමය. තමන් විසින්ම ප්‍රගුණ කළ ගායන වාදනයේහි හැකියාව ඔහු කරළියට ගෙන ගියේය…සපන්කම් පෑවේය…එවක ප්‍රකට සංගීතවේදියකු වන අර්නස්ට් ද සොයිසා අපේ කතා නායකයාගේ සපන්කම් දැක ඔහුගේ සංගීත කණ්ඩායමට සේම ගීත පටිගත කිරීමේ කාර්යයටද එක්කර ගත්තේය. ඒ සමගම ඔහුට සංගීත ක්ෂෙත්‍රයේ තවත් ප්‍රවීණයන්ගේ සහයද නොඅඩුවම ලැබිණි …ඉන් අපේ ආදරණීය කතා නායකයා ඉදිරියටම ගියේය.
ඒ වනවිට අපේ ප්‍රවීණ රූපණවේදියකු වන රෙක්ස් කොඩිප්පිලි මහතා “බයිසිකලේ ” චිත්‍රපටය තනන්නට සූදානමිනි. ප්‍රවීණ සංගීතවේදී ස්ටැන්ලි පීරිස් මහතාද එක්ව අපේ කතා නායකයා එම චිත්‍රපටයේ ගැයුමට කැඳවා ගත්තේය..අදටත් ඉමහත් ජනප්‍රියතාවයට බඳුන් වූ “තරු යායේ ඈතින් ඈතට” හාපුරා කියා ගැයූ එම ගීතය ද සමඟින් අපේ ආදරණීය ග්‍රේෂන් ඉදිරියටම තල්ලු වී ගියේය.
“අපෙ තාත්තා එක් කෙනකුට හෝ එක් කණ්ඩායමකට කොටුවී සිටියේ නැහැ. අපෙ තාත්තාට ක්ෂේත්‍රයේ හැමෝම වගේ ගොඩක් ආදරය කළා…ඒ නිසා තාත්තා හැමෝම එක්ක එකට එක්ව ප්ලේ කළා. ”
පුතු කියන්නේය.
දිනෙක අපේ කතා නායක තෙමේ මංගල ප්‍රිය සාදයකට ගයන්නට වයන්නට ගියේය. ඔහු ගිටාරයද වයමින් ගයනු දුටු ප්‍රවීණ සංගීතඥ සරත් දසනායකයන් කෙතරම් පැහැදුණේද යත් ඔහුගේ වාදක මණ්ඩලයේ සහය සංගීත අධ්‍යක්ෂක ලෙසින් බඳවා ගත්තේය.
දේවස්ථානයේ ජෝන් හේරත් පියතුමා ද ඔහුට අත දුන්නේය. පියාමෝව, ට්‍රම්පට්, ගිටාරය, විදුලි ඕගනය ආදී සංගීත භාණ්ඩ වාදනයෙහි සමත් හෙතෙම හදිසි අවශ්‍යතා මතුවන තැනකදී ඩ්‍රම්ස් වාදනයෙහිද නියැළුණේය.
“අපෙ තාත්තා මහ පුදුම විදිහට ගිටාරයට ආදරය කළා. අසනීපයකදී රෝහල් ගතවූවත් ගිටාරය තිබුණේ තාත්තාගෙ තුරුළේමයි… ඒකයි..මං කීවෙ අපෙ තාත්තාට සංගීතය හැර වෙන දෙයක් තාත්තාගෙ ජීවිතයේ තිබුණෙ නැහැ කියලා..තාත්තාගෙ සාර්ථකත්වයේ රහසත් එයමයි”
පුතු මරියෝ කතා කරන්නේ තම ආදරණීය පියාණන් පිළිබඳව මහත් භක්ත්‍යාදරයකින් යැයි හැඟේ.
” අපෙ තාත්තා ගීත ලියන්න ගත්තෙ වයසින් අවුරුදු 14 ..15 දි තරමෙදි . ගී තනු හදන්න ගත්තෙත් ඒ වයසෙදිමයි. ”
අපේ ආදරණීය කතා නායකයා රෝහල් ගතවූවත් වෛද්‍ය උපදෙස්ද නොතකා රෝහලින් පිටව පැමිණ තම සංගීත කටයුතුවල නිරත වන්නේය..
“ඔයාට මහන්සි වෙන්න හොඳත් නැහැනෙ.”
බිරිඳ එලෙසින් කියන විටදී ” මං මැරුණත් කමක් නැහැ ..මට කරන්න වැඩ තියෙනවා” යැයි හෙතෙම පිළිතුරු දෙන්නේය.
ගායකයකු සමග එක්ව වැඩිම සංඛ්‍යාවක් යුග ගායනයෙහි නියැළුණේ අපේ ආදරණීය ග්‍රේෂන් ආනන්ද ය..ඒ අපේ ආදරණීය එච්.ආර්. ජෝතිපාලයන් සමඟිනි. ජෝතිගේ බලවත් කැමැත්ත මත බොහෝ විට මෙම යුග ගායනා ගායනා කෙරිණි. එතරම් ජෝති ද ඔහුට සමීප ව සිටියේය. මේ දෙදෙනාගේ සමීප ඇසුර ඉවසනු බැරිවූවන් ජෝති හරහා තවත් ඉහළට එන්නට යන්නේ යැයි කතා හැදෙන විට අපේ කතා නායකයා එළිපිටම කීයේ තමන් ජෝතිට මුවාවී හෝ ජෝතිට පිටුපසින් සිට හෝ ගී ගයන්නකු නොව ජෝතිගේද සතුට මත තම උපරිමය ජෝති සමග එක්ව ඉටුකරන බවය.
“ජෝති සර් අපෙ තාත්තාට හරිම කැමතියි ..තාත්තාගෙ ගායනයට ජෝති සර් එකසිතින්ම කැමතියි වගේම තාත්තා එක්ක යුග ගායනයටත් කැමැත්ත තිබුණා. තාත ජෝති සර් එක්ක ගයපු යුග ගී ගණන වැල නොකැඩී මට නම් කරන්න පුළුවන්. දෙන්නාගෙ කිට්ටු ආශ්‍රය සමහර අයට සමහරුනට රුදාවක් වුණා විතරක් නෙවි ..අපෙ තාත්තාවයි ජෝති සර්වයි බිඳවන්නත් සමහරු කටයුතු කළා…නිතර ජෝති සර් කීවෙ ආනන්ද ගයන්නෙ ආනන්දගෙ කටහඬින්. .මම ගයන්නෙ මගෙ කටහඬින්. මමත් කැමතියි ආනන්ද එක්ක ගයන්න .එය මට ප්‍රශ්නයක් නැහැ කියලමයි ජෝති සර් කිව්වෙ.. අපෙ තාත්තා ජෝති සර්ට සැලකුවේ තාත්තා කෙනකුට වගේ.”
අපේ ආදරණීය මරියෝ ආනන්ද කියන්නේය.
අපේ ආදරණීය කතා නායකයාණෝ අතිශයින් සංවේදී චරිතයකි. මා විමසූ පැනයකදී පුතු මරියෝ කීවේ මේ ටිකය.
“අපෝ.. එහෙම බැලුවාම අපෙ තාත්තාට වඩා මං සැරයි. අනේ …කවදාවත් අපි එක්කල තාත්තා තරහා අරන් නැහැ. සත්තකින්ම අපෙ තාත්තා මට ජීවිතේට ඇඟිල්ලක්වත් උස්සල නැහැ. අපෙ තාත්තා කාවවත් රිදවන්න කැමැති කෙනෙක් නොවෙයි. . දරුවනට හදවතින්ම ආදරය කරපු කෙනෙක්. “මිතුරන්ට ක්ෂේත්‍රයේ අයට හදවතින්ම හුන් කෙනෙක්. ඒකනෙ ඕනෑම බෑන්ඩ් එකක ප්ලේ කරන්න දෙන්න තරම් කට්ටිය තාත්තාට කැමති වුණේ.””
අපේ ආදරණීය ග්‍රේෂන් ගේ තරුණ අවධිය ගෙවුණේ කොළොන්නාවේය. ඔහුගේ අම්මාට හිතවත් පිරිසක් පදිංචිව සිටියේ කොළොන්නාවට නුදුරු වැල්ලම්පිටියේ ය. අපේ ග්‍රේෂන් ද කැටුව දිනෙක අම්මා එහි ගියාය. …වැඩිහිටියන් සතුටු සාමීචියේ පසුවෙමින් සිටියදී අපේ කතා නායකයාගේ නෙත ගැටුණේ එම නිවසේ සිටි රුවැත්තියක වූ යුවතියක වෙතය. ඔහු ඈ සමීපයට ගියේය.
“ඔයාටත් සින්දු පිස්සුව තියෙනවද ” ඔහු ඇයගෙන් එසේ විමසුවේ ඇය අමරදේවයන්ගේ ගීත ප්‍රියකරන තැනැත්තියක නිසාවෙනි. ඕ චිත්‍ර ශිල්පයෙහිද හපනියකි. අපේ ග්‍රේෂන්ද චිත්‍ර ශිල්පියෙකි. කෙසේ හෝ දෙදෙනාට දෙදෙනාගේ කතාබහද සුහදතාවය ද දළුලා..ලියලා වැඩී…හද පැතුම් ඵල නංවමින් දෙදෙනා යුග දිවියට පා තැබූහ. ඒ 1984 වසරේදීය.
එම විවාහයෙන් එම දෙපළට හිමි වූ පළමුවැන්නී දුලාංජලී ආනන්ද නමැති දියණියය. දෙවැන්නා මා සමග තවමත් සංලාපයෙහි පසුවන වාදකයකු මෙන්ම ගායන ශිල්පියකු ද වන පුතු මරියෝ ආනන්ද ය.
තම පුතුටද තමන් යන සංගීත මාවතෙහි ම එන්නැයි ඒ තාත්තා නම් කිසිදිනෙක කියා නැති. පුතුගේ එකම ආසාව වූයේ තාත්තා ගැයූ ගීත රැගත් කැසට් පටයක් දමාගෙන ඇතිවනතුරු ශ්‍රවණය කිරීමය. ගහේ කටු උල් කරන්නට ඕනෑ නැතැයි කීවාක් මෙන් පුතුද ක්‍රමයෙන් සංගිත මගට පිවිසියේය. තාත්තා යන යන තැන පුතු කැඳවා යනවිට පුතු ආසාවෙන් බලා සිටිනා ඩ්‍රම්ස් වාදනය සිත තබා ගෙදරට ආපසු ටින් කබල්වලින් තනාගත් ඩ්‍රම් එකට ගසන්නේය. වයන්නේය.
තාත්තෙ මට ඩ්‍රම් එකක් අරගෙන දෙන්නැයි පුතු කළ ඉල්ලිමට සවන් දුන් තාත්තා පුතුගේ ඉල්ලීම ඉටු කළේය.. පසුව පුතුගේ උනන්දුව දැක ගිටාරයට පුතු යොමු කළේය. පියාමෝවක්ද ලොකු මුදලක් ගෙවා පුතුට රැගෙන දුන්නේය. සංගීත ලොවේ ඇසෙනා..පෙනෙනා වාදනයන් ගෙදර ඇවිත් කරන පුරුද්දක් තමන්ට තිබුණු බව අපේ ආදරණීය මරියෝ කියන්නේ සිනාමුසුව ය.
“අපෙ තාත්තා මාව තේරුම් ගත්තා කියා මම හිතන්නෙ. මට නිදහසේ ගමන යන්න දුන්නා. කවුරු හෝ මා ගැන විමසුවත් තාත්තා කීවෙ එයා ඉදිරියේදී නිසි තැනට ඒවි කියලයි.”
අපේ කතා නායකයාගේ දියණිය දුලාංජලීද තාත්තා ගත් මඟ යන්නට වූවාය. තාත්තා මෙන් තනිවම නැගිට යාමේ කැපවීමකින් පුතු කටයුතු කරනු දුටු තාත්තා නිහඬවම සතුටු වූයේය.
“ස්වර ප්‍රස්තාරයක්..මෙලඩි එකක් හදන්න අපෙ තාත්තාට යන්නෙ හරිම සුළු වෙලාවයි. තාත්තා ලියූ පද රචනා බැලුවාම පද රචනයෙන් තාත්තාට වෙනම ගමනක් යන්න තිබුණා. ඒවා තාත්තා ප්‍රසිද්ධ කළේ නැහැ”
පුතු මරියෝ මහත් සොම්නසකින් යුතුවම තාත්තා ගැන කතා කරන්නේය.
මුදල් පසුපස හඹා නොයන චරිතයක් වූ අපේ ආදරණීය කතා නායක තෙමේ සිය නිසග නිර්මාණයන් තුළින් ඉහළම වින්දනයක් ලැබුවේය.
“අපෙ තාත්තාට තිබුණෙ සල්ලි පිළිබඳ ඉලක්කයක් නෙවි. කරන නිර්මාණ ගැන හොඳ ඉලක්කයක්.”
අපේ ආදරණීය ග්‍රේෂන් ලියූ ගීත 5000කට වැඩි යැයි පුතු කියයි.
“අපේ තාත්තාට හොඳ ආත්ම විශ්වාසයක් තිබුණා. සල්ලි කියන තැනට වඩා අතේ ඇති මුදලින් හිත හදා ගැනීමේ ප්‍රතිපත්තියක් තාත්තාට තිබුණෙ. මමත් එය අගය කරනවා…දේවත්වයට කෙනකු ළඟාවන්ට සිතයි නම් මුදල් ඊට බාධාවක්”
එක්වරම අපේ පුතු මරියෝ නිහඬ ව හුන්නේය. හෙතෙම බිම බලාගත්වනමය. මම ඔහු දෙසම බලා සිටිමි.
දිගු සුසුමක් හෙළූ මරියෝ මෙසේ කියන්නට විය.
“මම ලොකු අසාධාරණයක් කළා. අම්මා තාත්තා ව මම අවතක්සේරුවකට ලක්කරල තියෙනවා. එය තමයි මගෙ ජීවිතයේ මා කළ ලොකුම වරද…දැන් තමයි මට අවබෝධ වන්නේ. එයාලව එහෙම අවතක්සේරුවකට ලක් කළාට අද මට අවබෝධයක් තියෙනවා තාත්තා අම්මා මොන තරම් කැපවීමක් කළාද කියලා.
අපේ ආදරණීය මරියෝ මෙරට මත්ද්‍රව්‍යයට නතුව අකාලයේ වැනසී යන මඟට පැමිණි දරුවන් නිසි මගට යොමු කරවිමේ දැවැන්ත ව්‍යාපෘතියක නියැළී සිටින්නේය. ඊට ඔහුගේ මව මෙන්ම එකම අක්කාද තමන්ට සහය වන බවත් රටපුරා යමින් වල්මත් හිසින් යුතු දරුවන් ට ඉලක්කයක් තුළ රැඳී යහමගෙහි යමින් ජීවිතය දිනාගන්නට මග සකස් කරදීම ඔහුගේ නවමු වැඩ පිළිවෙළෙහි අරමුණ වී තිබේ.
“අම්මා තාත්තා ට හරිම සමීපයි. හැම අභියෝගයකදීම අම්මා ගැහැනියකට එහාගිය පෞරුෂයකින් තාත්තා වෙනුවෙන් හිටගෙන තියෙනවා. අම්මා එතැනදී තාත්තා ට වඩා සවිමත්.”
එක්තරා දේශපාලකයකු අපේ ග්‍රේෂන් සමඟ උරණ වූයේ ආරාධනා කළ ඔහුගේ සාදයේ ගී ගයන්නට නොපැමිණි නිසාවෙනි. හෙතෙම මැරයන් කිහිප දෙනකු නිවසට එවා අපේ ග්‍රේෂන්ට අඩන්තේට්ටම් කරවන්නට වූ අවස්ථාවකදී තම සැමියා රැකගන්නට මැර බලය පරදවන සුළු තරමට නැගී සිටි අම්මාගේ ප්‍රබල චරිතය පුතු අවධාරණය කරන්නේය.
අපේ සොඳුරු කතා නායකයා කා සමඟත් මිතුරු වන්නට කාලය ගන්නේ ඉතා සුළුවෙනි. ඔහුට වඩාත් ළෙන්ගතුව ආදරය කරන්මෝද එමටය. ඕනෑම අයකුට පහසුවෙන් සමීපවීමේ අපූර්ව ගුණයකින් යුතු ඔහුට ලොකු පොඩි භේද කිසිත් නැති. අනුර බණ්ඩාරනායක මහතා සාදයකදී හමුවී කරට අතක් දමාගෙන සිටි අවස්ථාවක් දුටු මිතුරන් එගැන විමසද්දී කීයේ තමන්ට මිතුරු සියලු දෙනාම අනුර බණ්ඩාරනායක මහතා වගේම යැයිද පන්ති බේද තමන් තුළ නැති බවය.
සැබැවින්ම ඔහුට කවුරුත් ආදෙර්ය.
දුම්පානයට හිත නැති අපේ කතා නායකයා මධුවිතට පෙම් බැන්දේය. නොදැනිම හෙතෙම එයටම ඇදී ගියේය. ඒ නිසාමදෝ ඔහු වරින්වර රෝගී වූයේය.
“තාත්තායි මමයි හරිම සමීපයි. මටත් ඕනවුණේ තාත්තා ළඟින්ම ඉන්නයි. තාත්තා මට ආශීර්වාදයක් කියලයි මගෙ හිතට දැනුණේ. මගෙ අතින් මගෙ තාත්තා ට මං බත් කටක් කැව්ව පුතෙක් නේද මම කියල මම හිත නිවා ගන්නවා…”
පුතු මරියෝගේ දෑස රත්පැහැ වී පෙනේ. තම පියාණන් පිළිබඳ මතකයෙන් ඔහු දෑස කඳුළට බරවී ඇතැයි මට සිතේ. මමයි මගෙ අක්කයි තාත්තා ළඟම උන්නා. තාත්තාට හිතෙන්න ඇති මගෙ දරු දෙන්නා මා ළඟම නේද කියලා.”
අපේ මරියෝ ආනන්දගේ කටහඬ බිඳුණු ස්වරයකි.
දැන් අපේ සොඳුරු කතා නායක තෙමේ ළඟ ළඟ රෝගාතුර වෙයි. එම පවුලට වඩාත්ම සමීප නීතිඥ රනඹ මහතා අපේ ග්‍රේෂන් පිළිබඳව උනන්දුවෙන් සොයයි.බලයි.විමසයි. දෙවරක්ම රෝහල් ගතවී ඔහු ගෙදරට ආවද තවමත් හරිහැටි සුවයක් නැත. ඔහු සිරෝසීස් රෝගයට බඳුන් වී ඇතැයි වෛද්‍යවරුන්ගේ නිගමනය විය.
“අපෙ තාත්තා හොඳටම අමාරු තත්වයෙන් සිටියදි පවා ගිටාරය වයමින් ගී ගැයුවා. ඒ අසනීප බවක් පේන්නවත් නැහැ. ඒක දේවාශීර්වාදයක්මයි. ”
අපේ ආදරණීය පුතු මරියෝ කියන්නේය.
අපේ ආදරණීය කතා නායකයාණෝ යළි රෝගාතුර වූයේය. මිතුරු නීතිඥ රනඹ මහතා ද මඳක් අසනීපයෙනි…තම මිතුරු ග්‍රේෂන් ඔහු අමාරුවෙන් ඔසවා ගත්තේය. වහා රෝහලට ගෙන යා යුතුය. ඔහු රියට නංවන්නට ආසන්නයේදී අපේ ආදරණීය ග්‍රේෂන් ආනන්ද තම බිරිඳ දරුවන් දෙස මඳක් හැරී බැලුවේය. ඒ දෑස තෙත් වී තිබිණි .
“මේ යන ගමන මං ආපහු එන්නෙ නැහැ…”
ඔහුට ඉබේටම මෙන් සෙමින් දුක්මුසුව කියැවිණි. තවත් ගතවූයේ පෑ කිහිපයකි..
මෝහනීය ගායනයෙන්..වාදනයෙන් ගුවන් විදුලිය සේම සිනමාවද ප්‍රසංග වේදිකාවද රසාලිප්ත කළ වයසින් අවුරුදු 53 පසුවූ අපේ සොඳුරු කතා නායකයාණෝ වචනයකුදු නොදොඩාම යළි අවදි නොවනා දිගු නින්දකට වැටී සිටියේය..
ඒ …අවපැහැ දවස වූයේ 2010ක්වූ දෙසැම්බරයේ 29 වනදාය…
අමල් යශෝමන් ජයසිංහ