නිවස විශේෂාංග තාත්තා කොයිකාට වුණත් කෙළින් කිවයුතු දේ මූණටම කීවා

තාත්තා කොයිකාට වුණත් කෙළින් කිවයුතු දේ මූණටම කීවා

සුගතපාල සෙනරත් යාපාගේ දියණිය සුභානි කියයි

by Mahesh
October 17, 2024 12:30 am 0 comment

– මගේ ජීවිතය කියන්නෙම මගෙ රත්තරන් තාත්තා
– අපෙ තාත්තා නොනැමෙන චරිතයක්
– තාත්තාගෙ චිත්‍රපටවල ගීත බොහෝ විට ලිව්වෙ තාත්තාමයි
– අපෙ තාත්තා අපට ඉගෙන ගන්න කියා දැනමුතුකම් දුන්නෙත් කවියෙන්මයි

” මගේ ජීවිතය කියන්නෙම මගෙ රත්තරන් තාත්තා ..මගෙ මුළු ලෝකයම මගෙ තාත්තා ”

මෙවර සරසවිය පාඨක ඔබ වෙනුවෙන් ගිය ගමනේදී අපට හමුවූයේ අපේ හෙළ සිනමා වංශ කතාවේ පෙරළිකාර අද්විතීය චරිතයක් ලෙසින් සිය නාමය ප්‍රකට කළ සිනමාවටම උපන් සපන්කම් හෙළිපෙහෙලි කළ අපූර්වතම සිනමාකරුවෙකි…සිය නිර්මාණකරණයේදී දිගු ලැයිස්තුවකට හිමිකම් නොකීවද ඔහු විසින් අපේ සිනමාවට තිළිණ කළ විසල් සිනමා නිර්මාණ කිහිපයක් අතුරින් ඉහළම නමක් තබන්නට හේ සමත් වූයේය…

අකුරැස්ස ..මලිදූව ..එරළුවේ මහගෙදරවත්ත වලව්වේ ඩේවිඩ් සෙනරත් යාපා මහතා ප්‍රභූ පන්තියට සමගාමී ඉඩම් හිමි වැවිලිකරුවෙකි. තේ වතු හිමියෙකි. ඔහුටම කියා බස් සමාගමක්ද තිබුණේය. රටතොට ගෞරව සම්ප්‍රයුක්ත අයුරින් කැපී පෙනුණු ඔහුගේ බිරිඳ වූයේ සබරගමුව පළාතේ ඈත අතීතයේ තේජාන්විත ප්‍රභූවරයෙකු වූ මඩුවන්වෙල දිසාවේට සමීප ඥාතිවරියක වූ පල්ලෙවත්ත කෝරාල බ්‍රියට්‍රිස් මහත්මිය ය. මෙම දෙපළට සිටියේ එක් පුතකු සහ එක් දියණියකි.

මින් අපේ සංලාපයට බඳුන් වන 1935 ක්වූ නොවැම්බර් මස 10 වනදා මහගෙදරවත්ත වලව්වේ මෙලොව එළිය දුටු පුත්‍රරත්නය වූ අපේ ආදරණිය කතා නායකයාණෝ සුගතපාල සෙනරත් යාපා ය. ඔහුගේ නැගණිය වූයේ දයාවතීය.

අපේ ආදරණිය කතා නායකයාගේ ජීවන සිරිත අසිරිමත් කළ අපූර්වතම මතකයන් අවදි කරවන්නට…ආදරණිය සංලාපයක පසුවන්නට මා සමීපයේම පසුවන්නේ ඔහුගේ ආදරණිය දියණිය සුභානී ය…අප කතාබහේදී ඕ සිනාසෙන්නේ අහඹුව මෙනි. තම හිස මත මහබරක් තබාගත් නියායෙන් බොහෝ විට ඕ ගොළුවත රකින්නීය…

කතා කරන්නට මුලපුරද්දීම ඕ තොමෝ කඳුළු වගුරන්නට වන්නීය. “සමාවන්න” යැයි තොල් මතුරමින් සෙමින් තමන්ටම මෙන් කියාගත් අපේ සුභානී “මගෙ රත්තරන් තාත්තා ගැන කතා කරමු.. ” යි කීවේද බිඳුණු ස්වරයකිනි..

දිගු හුස්මකින් ඕ සිය කටහඬ අවදි කරන්නීය.

“ඔව්..අමල් ..අපෙ තාත්තා පුංචි කාලෙ හරිම දඟයිලු. ගහේ වැලේ එල්ලී දඟකාරකම්වලින් ළමා කාලය ගතකරල තියෙන්නෙ…අපෙ සීයාට..ඒ කිව්වෙ අපෙ තාත්තා එයාගෙ තාත්තාට හරිම බයයිලු. ලොකු දේපළකට හිමිකම් කී අපෙ සීයා පසුකලෙක ඒ තමන් සතු දේපළ වස්තුව ටික ටික අතහැරල දමන්න වුණාලු..තමන්ගෙ ඉඩකඩම් නැතිබැරි අසරණ අයට නිකම් දීල දැම්මාලු. වතුපිටි බලා කියාගෙන හිටපු මිනිස්සුන්ටම ඒවා සින්නක්කරේටම දීල තියෙනවා…සීයා අත්හැරීම පුරුදු කළා කියලත් මට වෙලාවකට හිතෙනවා.”

අපේ සොඳුරු කතා නායකයාගේ පියාණන් හදිසියේ මියපරලොව යන්නට වූයේ අපේ සුගතපාලට වයසින් අවුරුදු හතේදී පමණය..ඉන් තවත් වසර පහක් ඉක්මගිය තැන ඔහුගේ මෑණියන් ද කළුරිය කළාය.. ඒ වනවිට අපේ සුගතපාලට වයස අවුරුදු දොළහක් පමණය..

” ඉතින් අපෙ තාත්තාව හදාවඩාගෙන තියෙන්නෙ ආච්චි. ”

අපේ ආදරණිය සුභානී කියන්නීය.

එවක තැපැල් ඇමතිව සිටි රංගන ශිල්පියකුද වූ වී.ටී.ජි කරුණාරත්න මහතා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී අයෙකි. කවියට හපන් ළමාවියේ පසුවන අපේ කතා නායකයා හෙතෙම එම වේදිකාවට කැඳවා යන්නේ කොලුවා ලවා කවි කියවන්නටය. සබකෝලයකින් තොරව අපේ කුඩා සුගතපාල කවියෙන් ජනතාව රසවත් කරන්නේය..

මුලින්ම රක්වාන මහ විදුහලේ ඉගෙනුම ලැබූ හේ ගායනයද උගත්තේය. පසුව වෙන්නපුව ජෝශප් වාස් විදුහලේද එතැනින් නැවත රක්වාන විදුහලට ඇතුළත් වූයේය..උසස් පෙළ හදාරන්නට වූයේ පැල්මඩුල්ල ගන්කන්ද මහා විද්‍යාලයෙනි.

අපේ සුභානිගේ මුවට එකතු වන්නට වූයේ පුළුල් සිනාවෙකි.

” අපෙ තාත්තා ලෙනින් වාදියෙක්..අප්පේ..අපේ ගෙදර ගොඩ ගහල තිබ්බ මහ පොත් ගොඩවල්…සමසමාජ පිළිවෙතට අනුව හැඩගැසී ගිය අපේ සුගතපාල කතා නායකයාණෝ තමන් යමක් කමක් ඇති පවුලක කෙනෙක් යැයි කියන්නට මැළිකමක් දැක්වූයේය..කාලයාගේ ඇවෑමෙන් කරදඬු උස්මහත් වෙද්දී හෙතෙම එවක සමසමාජ දේශපාලනයට සෘජුවම සම්බන්ධව කටයුතු කළේය. එහිදී දැනහඳුනාගත් ආචාර්ය ඇන්.ඇම් පෙරේරා…අධිනීතිඥ කොල්වින් ආර්.ද සිල්වා පසුකලෙක ඔහුගේ කුලුපග සමීපතමයන්ම වී.සමසමාජය දක්ෂිණාංශික දේශපාලනයට නතුව යාමේදී අපේ කතා නායකයාණෝ ශ්‍රීලනිපයේ සමස්ත ලංකා උපදේශකවරුන් පස්දෙනාගෙන් කෙනකු විය

“ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා එහෙමත් ළඟ ඇසුරක් තියලත් කිට්ටු ඇසුරට අපෙ තාත්තා ගියෙ නැහැ…ඒ අපෙ තාත්තාගෙ හැටි. රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් දැකපු තැන කොහොමද සුගත් අයියෙ කියල අහනවාමයි….

අපෙ තාත්තා නම් නොනැමෙන චරිතයක්…කා ළඟවත් දණින් වැටෙන්නට කැමති නැහැ..

අපේ සොඳුරු කතා නායක තෙමේ දන්න දා පටන් හැඩ වැඩට අඳීන්න හරිම කැමතියි.

ඒ සතුට මම දන්න හින්දා මං තාත්තාට නිතර ඇඳුම් අරන් දෙනවා..”

එවක ප්‍රකට සිනමාකරුවකු වූ ඇල්.එම් පෙරේරා අපේ සුගතපාලගේ සමීප ඥාතියෙකි. එකල තිබුණේ ජංගම කූඩාරම් චිත්‍රපටයය. අලුත් චිත්‍රපටයේ නම හැමෝටම බලාගන්නට අපේ ආදරණිය සුගතපාල ඒ නම අඳීන්නේ මහපාෙර්ය. ඉන් ඔහු පෙන්නුම් කළේ චිත්‍ර ශිල්පයට ඇති සමත්කමය.

රංගනයටද ආශාකළ අපේ කතා නායකයාණෝ පාසල් වේදිකා නාට්‍යවල රඟපෑවේය. රක්වාන පාසලේ රඟදැක්වූයේ නිමල්ගේ ඉරණම නාට්‍යයේ දඩබ්බර ප්‍රධාන චරිතයය.

මෙදින ඔහු සවනත වැකුණේ අනපේක්ෂිත පුවතකි. නාට්‍ය නැරඹීමට මහපිරිසකි.

“සුගතෙ…ඔයාගෙ අම්මා නැතිවෙලා…” ඒ අසා හෙතෙම තදින් දෑස පියාගත්වනම සිටියේය.

“අපෙ තාත්තාගෙ හිත හයියයි.. අම්මාගෙ මිනිය ගෙදර…ඒත් තාත්තා නාට්‍යයේ රඟපෑවාලු..”

ආදරණිය සුභානීගේ නෙත් කෙමි කඳුළට බරවී පෙනෙයි…ඕ බිම බිමබලාගත්වනම සිටින්නීය.

සමීප ඥාතිවර ඇල්.එම් පෙරේරා අපේ කතා නායකයා කොළඹ කැඳවා ආයේය. එකල නවලංකා නමින් ප්‍රකට සිනමාහලේ ප්‍රවේශ පත්‍ර අලෙවිය බාරදුන්නේය. මේ අතරේදී සිනමා ප්‍රොජෙක්ටරයේ ක්‍රියාදාමයද මැනවින් හදාළ හේ ක්‍රමයෙන් චිත්‍රපට පිළිබඳ මුහුකුරා ගිය අවබෝධයක් ලබාගන්නට තරම් සමතකු වූයේය..

අපේ සුභානි යමක් කියන්නට සැරසෙයි.

“අපෙ තාත්තාගෙ බාප්පා සිරිසේන මහත්තයා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ටයිපින් ඉගෙන ගන්න තාත්තා ව යොමු කළා. කොහොම හරි අපෙ තාත්තාට කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපිකාර තනතුරක්ද ලැබුවා..ඕන්න එතැනදි තමයි අපෙ තාත්තාට මහගමසේකර මහත්මයයි ජි. ඩී.එල්. පෙරේරා මහත්තයයි හමුවෙලා තියෙන්නෙ.”

අපේ ආදරණිය කතා නායකයාණෝ රජයේ කලා සංගමයේ උප සභාපතිධූරයද ඉසිලීය. “මේ අතරේදී ය “සාමා”නමැති වේදිකා නාට්‍යයේ ‘ අන්දිරිස්’ ගේ චරිතය අපේ කතා නායකයා රඟපෑවේ..පසුව ඔහු හිතමිතුරු ජී.ඩී.එල් ට කියන්නට වූයේ “සාමා” චිත්‍රපටයක් කරමු කියාය. දැන් සාමා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට මුදල් ඕනෑය. ඒ වෙනුවෙන් තැන තැන යමින් මුදල් එකතු කළේය. සාමා චිත්‍රපටය නිපදවිණි. එහි සිරිසේනගේ චරිතයද රගපාමින් අපේ කතා නායකයා එම චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා ලෙසින්ද කටයුතු කළේය.

” හැබැයි..අමල්. අපෙ තාත්තා ඊට කලින් දස්කොන් චිත්‍රපටයෙ රඟපෑවා.

සුභානී කියන්නීය.

“සාමා” හි රඟපෑ ලියෝනි කොතලාවල.. දෙනවක හාමිනේ ආදීහු ජනප්‍රිය වූහ. නිෂ්පාදකවරයකු නොමැති මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ ජී.ඩී.එල් මාමා යැයි සුභානී යළි කියන්නීය.

අපේ සුභානී වරින් වර තම දෑස උතුරන කඳුළු ලේන්සුවකින් පිසලූවද උල්පතකින් මෙන් කඳුළු උනන්නී යැයි මට හැඟේ. ග්‍රන්ථ කතුවරයකු ප්‍රවීණ මාධ්‍යවේදියකු සේම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් අංශයේ ප්‍රවීණයකුද වන රොහාන් පියදාස මහතා අපේ ආදරණිය සුභානීගේ ආදරණිය සැමියාය..තම බිරිඳගේ පියාණන් පිළිබඳව කතාබහේදී ඔහු හඬ ස්වරයද ශෝකයට තුඩුදෙයි. ඔහු තම බිරිඳ අස්වසමින් තම මාමණ්ඩිය ගැන ආඩම්බර හැඟීමකින් මෙන් කතා කරන්නේය.

“එතුමා බොහොම අදීන චරිතයක්..කාටවත් කිසිවකට පහසුවෙන් නම්මවාගන්න නම් බැහැ. උස මහත පුද්ගලයකුත් නෙවි. ඒත් ඉහළම පෞරුෂයක් තිබුණා ..ඔය ලොකුකම් සතපහකට මායිම් කළේ නැහැ.”

අපේ ආදරණිය රොහාන් පියදාස අප පිළිසඳරට ඉඳහිට එකතුව කතා කරන්නේය..

” අපෙ තාත්තා ළඟ තිබුණෙ මම කියන වචනයට වඩා අපි කියන කතාවට තමයි වඩාත් කැමැත්ත තිබුණේ. ”

සුභානී කියන්නීය.

නිරන්තරේ යන ගමනේ නිමාවට
හෙමින් සැරේ මඟ අවුරා මුවා කොට
නුවන් පිරේ ගිනි වැදිලා විමානෙට…//

සාමා චිත්‍රපටයට තේමා ගීතය ලියන්නැයි මිතුරු ජී.ඩී.එල් අපේ සුගතපාලගෙන් ඉල්ලා සිටියදී අත තිබූ බස් ටිකැට්ටුවේ ඔහු එම පදවැල ලියුවේය..ගැයුවේ මල්ලිකා නානායක්කාර ය.

“අපෙ තාත්තාගෙ චිත්‍රපටවලදි ගීත බොහෝ විට ලියුවෙ අපෙ තාත්තාමයි. ඔය දෙවැනි ගමන චිත්‍රපටයට ගීතයක් ලියාදෙන්න කීවාම තාත්තා ගත්කටටම බැහැයි කියලා. පස්සෙ කේමදාස මාස්ටර් කිව්වාමයි ලියා දීල තියෙන්නෙ.”

වඩාත් ජනප්‍රියත්වයට පත්වූ ඉන්දුට මල් මිටක් චිත්‍රපටය අපේ කතා නායකයාගේය. පෙම්බර මධු අදටත් කාටත් මතකය.

අපේ විජය කුමාරණතුංගයන් සිනමාවට කැන්දා පැමිණි ගෞරවය නිතැතින්ම හිමිවන්නේ අපේ ආදරණිය සුගතපාල සෙනරත් යාපාටය. හන්තානේ කතාව ලියුවේද ඔහුමය.

හෙතෙම සැබැවින්ම පරාර්ථකාමීය…තවෙකුගේ සතුට තමන් නිසා නම් ඔහු ඉන් වඩාත් සතුටට පත්වූයේය. තමන් ලියූ ගීතයක් කුසලතා පෙන්නුම් කරනා අයකු හට පිළිගැන්වූයේද එහි අයිතියේ නාමයද ඒ තැනැත්තාගේ නාමයටම ලැබදෙන්නේය.

“අපෙ තාත්තා එහෙම කරන්නෙ එහෙම අයව ක්ෂෙත්‍රයේ ඉදිරියට ගන්නයි කියල තාත්තා දවසක් කීවා..අනේ අපෙ තාත්තා කොයිතරම් හොඳ මනුස්සයෙක්ද…”

ඕ තම දෑස පිටඅත්ලෙන් පිසදා ගන්නීය.

සරසවිය පුවත්පතේ පළවී ඇති දැන්වීමක් මෙසේය.

විශ්ව විද්‍යාල චිත්‍රපටයකට අලුත් කෙල්ලන් කොල්ලන් අවශ්‍යයි. අපෙ තාත්තාගෙ භාෂාවත් අමුතුයිනෙ. ඉතින් ..එහෙම තමයි පත්තරේ දාල තිබුණෙ. ඉතිං එන ලියුම් පින්තූර තෝරන්නම දවස් පහක් විතර ගියා. ඒව තෝරලා එම අයව ගෙන්නුවා”

හන්තානේ කතාව චිත්‍රපටයේ සම්මුඛ පරීක්ෂණ එක්තරා කාමරයකය. අපේ සුගතපාල මහතා ළඟම හිඳීන්නේ ඔහු හිතවත් විජය ධර්ම ශ්‍රී මහතාය. කාමරයේ දොරටුවක් ඇරගෙනම තරුණයකු ඇතුළට එමින් සිටී. අපේ සුගතපාලයන් විජය ධර්ම ශ්‍රී ගේ කනට රහසේ යමක් කෙඳුරුවේය.

“හන්තානේ කතාවෙ බන්දු එනවා”

ගෙලට වැටී තිබුණු කොණ්ඩය කපාගෙන එන්නැයි කළ ඉල්ලීමට එකඟ ව පොලීසියට යන්නට සිටි විජය සිනමා නළුවකු වූයේ එලෙසිනි. සිනමා තිරයට නොගැලපෙන අයුරින් තිබූ විජයගේ නාමයද වෙනස් කරවූයේ අපේ කතා නායකයාය.

“විජයයි චන්ද්‍රිකායි යාළුවෙලා තියෙන්නෙත් තාත්තාගෙ පෙම්බර මධු චිත්‍රපටය රූ ගත කරද්දිනෙ. නිෂ්පාදක රත්වත්තගෙ ගෙදරදිනෙ.”

අපේ සොඳුරු කතා නායක තෙමේ රැකියාවට යන්නේ දුම්රියෙනි. උදේ හවා දකිනා සොඳුරු රුව ඔහු සිත් ගති. ඕ තොමෝ බටුවත්ත..නාරංගොඩපාලුව..පදිංචි ආයුර්වේද රෝහලේ හෙද පාලිකාවකි.

අපේ සුභානී සමග පිළිසඳරට එතුමිය ද වරින්වර පැමිණ යටගිය තතු අලළා කතා කියන්නී..මුවපුරා සිනාසෙන්නීය. ඕ නමින් එඩිප්පුලි ආරච්චිගේ දෝන වයලට් සෝමලතා මහත්මිය ය.

“මම වසර 40ක සේවා කාලයක් සිටියා..අවුරුදු 20න් රස්සාවට ගියේ..”

එතුමිය කියන්නීය.

ඇය දුටු පහන් සිතින් ඔහු ඇයගේ නිවසටම ගොස් කැමැත්ත විමසා සිටියේය.

” උස මහත නැති නිසා මගෙ මහත්තයාට මගෙ මවුපියන් මුලදී කැමති වුණේ නැහැ. ඒත් පස්සෙ කැමති වුණා”

” හරියට කේන්ති යනවා. ඒ වුණාට හරියට සෝඩා බෝතලේ වගේ..” සෝමලතා..සුභානිගේ මව එසේ කියා සිනාසෙන්නීය.

ඕ මෙසේද කියන්නීය.

“අපෙ මහත්තයා තමන්ට සිද්ද වන පාඩුවකදි අලාභයකදි හුම් නැතිව ඉන්නවා..ඒත් අනුන්ට සිද්ධවෙන අසාධාරණයකදි නම් කෑ ගහනවා. අනුන් වෙනුවෙන් පෙනී ඉන්නවා”

අපේ සොඳුරු කතා නායකයාණෝ ඇය හා විවාපත් වූයේ 1967 ක්වූ මාර්තු මස 13 වනදාය.එම විවාහයෙන් තිළිණ වූ පුතු කංචන දසුන් සෙනරත් යාපාය. දෙවැන්නා මුදිත දර්ශන සෙනරත් යාපාය. හේ දිවයිනේ නැමෝ තාක්ෂණය පිළිබඳ අතළොස්ස අතරින් අයෙකි.

“අපෙ තාත්තා මොන ආකාරයකින්වත් මේ ක්ෂෙත්‍රයට සම්බන්ධ වෙනවාට කොහෙත්ම කැමැත්තක් පෙන්නුවේම නැහැ..අපෙ තාත්තා අපට ඉගෙන ගන්න කියා දැනමුතුකම් දෙන්නෙත් කවියෙන්මයි. ”

අපේ සුභානී කඳුළින් යුතුව වචන ගළපන්නීය.

“මගෙ ජිවිතය හැඩගැස්වූයේ අපෙ තාත්තා . අනේ ඒ කාලෙ කියවන්න හුරු කරන්න ගෙනැත් දීපු කතන්දර පොත්..අනේ ..කතන්දර කතන්දර පොතක් මට අරන් දීලා මාව පාසලට ඇරලවන්නෙ..තාත්තාත් කියවන්න රුසියා…අනේ අපටත් හුරු කළා”

ඈ අතැති ලේන්සුව දැනටමත් කඳුළටම පෙඟී නතුවී ඇතැයි මට සිතේ.

රුසියානු කතා පොතපත දරුවන්ට කියවන්නට දුන්නද ලෙනින් මාක්ස්වාදී පොතපත අල්ලන්නට පවා තහනම්ය.

සුභානීගේ මුහුණ සිනාවකට නතුවිය.

” අපි පුංචි කාලෙ තාත්තා වගෙ රතු තොප්පි දාගෙන ගේ වටේ පෙළපාලි යනවා.”

දේශපාලන බලවතුන් ඔහුගේ සමීපතමයෝය ඔවුන් හා කරටකර මිස ඔවුන්ගෙන් කිසිවක් ඉල්ලන්නට නම් ඔහු තුළ පැවතියේ පිළිකුලකි..අනුනට යම් පිළිසරණක් ලබාදුනිද තමන්ට හෝ තම වරිගේ කිසිවකු වෙනුවෙන් ඔහු නොවේ දේශපාලකයන් වෙත ගියේ..

පොදු සේවා රැසක්ම ඔහු දේශපාලනය හරහා ඉටු කළේය..

“අනේ ඇත්තමයි..අපෙ තාත්තා එදා කරපු සේවා මතක් කරල යන්න අදටත් බොහෝ අය ගෙදරට එනවා…”

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය නිසාම එතැනින් කරගතයුතු සේවයක් සලසා දෙන්නට හෙතෙම හැමවිටම පේවී සිටියේය.

” අපෙ තාත්තා ජීවිතේට කිසිම කෙනකුගෙන් සත පහක් අරගෙන නැහැ”

ඒ ටික කීවෙිද සුභානිය.

“අපි හාර්ෆ් ෂීට් ඕන කීවාම ඔෆිස් එකෙන් ගේන්නෙ නැහැ..කඩෙන් සල්ලි දීල අරන් එන්නෙ”

කාගෙන්වත් පිහිට අපට එපා. අනුන්ගෙ සල්ලි අපට එපා. මිනිසුන්ට උදව් කරන්න. අවශ්‍යතාව තේරුම් අරන්…ඉගෙනීමෙන් ජිවිතය ගොඩනඟා ගන්න. යැයි ඔහු තම දරුවන්ට නිතර කී කතාවය…වස්තු තණ්හා හෙතෙම පිළිකුලෙන් ඉවත දැම්මේය.

” මං අසනීප වුණ වෙලාවෙ අනේ තාත්තා කම්පා වූ තරම්. අනුර බණ්ඩාරනායක මහතාත් දොස්තරල හොයල දුන්නා. අනේ ගමනක් යද්දිත් එකට ගියේ අප දෙන්නා…මට මතක් වෙනවා..මං ලස්සනට අඳීනවට තාත්තා හරිම කැමතියි. මං අඳීන කොට තාත්තා පැත්තකට වෙලා හිනාවෙන් බලාගෙන ඉන්නවා…ඇඳුමක් අඳීන විදිහත් මට කියා දුන්නා..මාව හැඩවැඩ කළේ මගෙ තාත්තා ..තාත්තා තමයි මගෙ කොණ්ඩය කපන්නෙ. පිරිමි අතක් ස්පර්ශ වෙනවට තාත්තා කැමති නැහැ…

පස්සෙ කාලෙදි එයාගෙ රැවුල කොණ්ඩෙ මට කපන්න කීවා. තාත්තා නැතිවනතුරුම කොණ්ඩෙ රැවුල කැපුවෙ මමයි”

අපේ සුභානී එකවරම හඬන්නට වූවාය.

මම නිහඬවම හිඳීමි.

එවක මරදානේ සින්දු කාමරේ නමගිය ගායකයන්ගේ රසවත් තැනෙකි. එතැන අපේ කතා නායකයාටද ලොකු ඉල්ලුමක් තිබිණි.

” තාත්තා ලියන්න ගත්තාම සිගරට් පැකට් තුනයි මේසයෙ පෝලිමට. පස්සෙ වෛද්‍ය උපදෙස් මත නවතා දැමුවා. මං ලවා අම්මා පොල් ටික ගාව ගත්තත් තාත්තා අම්මාට දොස් නගනවා. ”

“අනන්ත වූ දෙරණ සරා” ගීතය ඔහුගේ නිර්මාණයේ රැගත් සුමියුරු ගීතයකි.

“තාත්තා සාහිත්‍යයට ආදරය කළා.පරිශිලනය කළා. පුස්තකාලයක් තාත්තාට තිබුණා . පොත් ගෙන යන අය ආපසු දෙන්නෙත් නැහැ. අපෙ ගෙදරට තුන්පාරක් හොරු පැන්නා..”

“හොරු පැන්නට කමක් නැහැ පුතේ..නැති බැරි කමටනෙ හොරකම් කරන් යන්න එන්නෙ”

තාත්තා කියන්නේ එහෙමමය.

ඇඳීවත පවා අනුනට දී මුවපුරා හිනැහෙන අපේ සොඳුරු කතා නායක තෙමේ එම ගම් පළාතේ ඔහු තරම් අනුනට දීපු අයෙක් තවත් නැතැයි කියැවේ.

සුභානී හඬන්නීය.

“අපෙ තාත්තා මාව අතහැරියා.. වචනයක්වත් කතා නැතිව..මා දිහා බලන්නෙවත් නැතිව නිහඬවම උන්නා..මං ඇහුව ඇයි එහෙම කරන්නෙ කියලා. එයා බිම බලාගෙනම ඉන්නවා. මම හඬනවා. එයා ඇහෙන්නෙ නෑ වගේ.. එක දෙයක් මම පස්සෙ තේරුම් ගත්තා. එයා නැතිවෙන්න පෙර හැමදෙයම තාත්තා කැමැත්තෙන්ම අතහැරියා. ඒ කාලෙ සීයා මැරෙන්න පෙර හැමදේ අතහැරියා වගෙ අපෙ තාත්තාත් හැමදේම අතහැරියා ..”

” මං හැමදේම කළේ අපෙ තාත්තාගෙ රූල්ස් වලටයි. ”

ඈ තිරහඬින් කියන්නීය.

ඔහුගේ මිනිසා සහ කපුටා අතිශය ජනප්‍රිය වූ වෘත්තාන්තය නවදිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේ රජත මයුර සම්මානිත විය.

රජයේ චිත්‍රපට අංශයේ පර්යේෂණාත්මක චිත්‍රපටයක් වූ ගරුඬ ගල ටෙහෙරාන් උළෙලට ගියේය..

ගී පබැඳුම් රැසක්ම ඔහු අතින් ලියැවී අතිශය ජනප්‍රියත්වයට පත්විණි. කාගේත් ආදරණිය ඇමතුම වූයේ ” සුගත් අයියා”ය.

” අනේ තාත්තා මට මැණික් කියනවා..වෙලාවකට පුතේ කියනවා. තාමත් මට ඇහෙනව වගේ…”

බුදු පහණට ඔහුගේ මුල්තැනය. පිනට දහමට හිතැතිය..දහම් පතපොත කටපාඩම්ය..දහම් දැනුම සේම සාමාන්‍ය දැනුමද ඉහළය. කලෙක හේ සිසු දරුදැරියන් වෙනුවෙන් සිංහල බස ඉගැන්වූයේය.

අහෝ…බුදු පහණට අත තියන්නේය..නොසිතූ ලෙසින් හිටිහැටියේ ඔහු එක් අතක් පහළට වැටිණි . වෛද්‍ය ප්‍රතිකාර මැද කෙටි දිනකින් ඔහු සුවපත් වූයේය..

දැන් දැන් හෙතෙම අහර අප්‍රිය කරන්නේය…රොහාන්..සුභානි එය හොඳ නැති බව කියන්නේය. ඔහු නිහඬව බිම බලා ගන්නේය.

මිදුලෙහි රූස්ස ගස් සෙවණේ සුවපහසු බංකුව ඔහුට ප්‍රියය..නැවත ගෙතුළට පැමිණ පිය නගන්නේය. හැකි හැමවිටම පිබිදුණු දෑසින් හිමිදිරියේම කුරුල්ලනට අහර තබන්නේය..ඉන් හේ නොමඳ සතුටකය.

මා සමඟ සංලාපයේ පසුවන සුභානී ඉහළම අධ්‍යාපනයකට හිමිකම් කියන්නීය..ගෝතමී බාලිකා විදුහලේ ආදි සිසුවියක වන ඕ පුරා විද්‍යාව..ජනසන්නිවෙිදනය පිළිබඳ බී .ඒ. උපාධිය ලැබ ගත්තීය.

පුරා විද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා එම්.ඒ සමත් ඇය පරිසර පුරා විද්‍යාව සම්බන්ධයෙන් එම්.ඒ. වෙනුවෙන් සැදී පැහැදී හුන්නීය.

තවත් ඉගෙනුමෙහි බොහෝ දුර යමින් දේශිය ජනශ්‍රැතිය හා මානව පරිණාමය පිළිබඳ හදාරමින් සිටියදී තාත්තා නිසාම අතහැරුණු බව අපේ ආදරණිය සුභානී කීවද ඊළඟට ඈ කීවේ ඉගෙනිම අතහරින්න එපා කියලමයි අපෙ තාත්තා මට කිව්වෙ යැයි කියන්නීය.

අපේ සොඳුරු කතා නායකයාණෝ නිහඬවමය. යම්තම් වටපිට බැලුවද කතාවක් නම් නැති.

ආලින්දයේ අසුනක පසුවන තාත්තාගේ දෙඅතින් අල්වාගත් සුභානි හා රොහාන් ඔහුගේ කාමරයේ යහන මතට කැඳවා යන්නට සැරසුණා පමණි.

ඔහු එකතැනම දෙපා අප්‍රාණිකව සේ නැවතිණි.

දියණිය සුභානී මහහඬින් හඬන්නට වූවාය…

පෙරළිකාර සිනමාවේදියකු..අධ්‍යක්ෂවරයකු හා ගී පද රචකයකු ලෙසින් මතු මත්තේද නමක් තැබූ අපේ සොඳුරු සුගතපාල සෙනරත් යාපා මහතා 2024ක්වූ අගොස්තු මස 25 වනදා රහසේ නික්ම යනවිටදී…ඔහුට වයසින් අවුරුදු 89 ක් ළඟාවී තිබිණි.

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT