බෝඩිං වල ගෙවුණු බණ්ඩාරවෙල ජිවිතය තාත්තාට දුන්න කරදරය නිසාම ඉවරවෙන තැනට කටයුතු යෙදුණා. තාත්තාටත් අපි ගැන අනුකම්පාවක් හිතෙන්න ඇති. තාත්තා බණ්ඩාරවෙලින් ගෙයක් කුලියට අරන් අපි ඔක්කොම එතෙන්ට එක්කගෙන ගියා. දැන් තමයි අපේ හිත් සතුටින් පිරුණේ. මොනව වුණත් තාත්තයි නංගියි මල්ලියි අපිව බලාගන්න ඉන්න අක්කයි අපි ඔක්කොම දැන් එකට ජීවත් වෙනවා.
ඒකාලේ තාත්තා පඩි දවසට ගෙදරට ඕනකරන බඩු මුට්ටු එක්කොම එකපාර අරන් එනවා. අපේ ගෙදර කවදාවත් මාමයිට් , බටර් නම් වැරදුණේ නෑ. සමහර විට තාත්තා අපට මේවා අරන් දුන්නේ අමාරුවෙන් වෙන්න ඇති. ඒ හැම දෙයක්ම තාත්තා කළේ එයාගේ ආසාවන් එයා කැමති දේවල් සියල්ලම යටපත් කරගෙන කියලා පස්සේ දවසක මට තේරුණා. බණ්ඩාරවෙල මේ සීතල පරිසරයේ , තරුණවියේ සිටි තාත්තාට මධුවිතක් තොල ගාන්න , එයා කැමැති විදියට ජීවත් වෙන්න , ජීවිතේ විඳීන්න ලැබුණේ නෑ කියලා මට විශ්වාසයි. එයා එයාගේ ආසාවන් යටපත් කරගෙන ඒ හැම දෙයක්ම අපි වෙනුවෙන් කැප කළා.
‘ මට බියර් එකක් බොන්න ආසාවක් ඇති වුණා. ආයෙත් මට පොඩි කට්ටිය මතක් වෙලා ඒ ගොල්ලන්ට රස කැවිලි ටිකක් අරන් ආවා……“
දවසක් අපේ ගෙදර හිටපු අපිව බලා ගත්ත අක්කට තාත්තා කියනවා මට ඇහුණා.
තාත්තා කරපු සමහර කැපකිරිම් හරියටම තේරුම් ගන්න මට කාලයක් ගියා. ඒ කාලේ මගේ පුංචි මොළේට තේරුණේ නැති වුණාට මම යෞවනියක්ව වැඩෙද්දි, යමක් කමක් තේරුම් බේරුම් එන වයසට එනවිට එයා කරපු කැපකිරීම් වල බරපතළකම මට තේරුම් ගියා.
අම්මා තාත්තාගෙන් වෙන්වුණාට, අපිව බලන්න නිතරම ආව ගිය එකට තාත්තාගේ වැඩිහිටියන් එච්චර කැමැති වුණේ නෑ. අවුරුදු 32ක් වැනි තරුණ වයසෙදිම තනිකඩ වුණු තාත්තාට සීයා ආයේත් පාරක් විවාහ යෝජනාවක් ගෙනත් තිබුණා. දවසක් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආපු මට අපිව බලා ගන්න ඉන්න අක්කා මෙහෙම කිව්වා.
‘‘ නංගි ඔයා දන්නවද වැඩක්?
ඇයි අක්කේ මොකක්ද?…..
‘ සීයලා මාමාට විවාහ යෝජනාවක් ගෙනත්. ..
මම එක පාරටම ඇහුවේ ‘‘ ඉතිං තාත්තා මොකද කිව්වේ ‘ කියලයි.
මගේ ජීවිතේ එකපාරටම නැවතුණා වගේ මට දැනුණා.අනේ මේ මොකක්ද අපට වෙන්න යන්නේ , තාත්තාත් අපට නැතිවෙයිද ? වගේ හැගීමකින් මාව වෙලා ගත්තා.
අපේ ජීවිතේ අම්මා හා සමානවම, අම්මා නොවුණට අපට අම්මා වුණු අපිව බලාගත් නෝනක්කා. මල්ලි පුංචි නිසා නෝනක්කාට එයා හරියට වද දුන්නා. ඒ වුණාට කවදාවත් එයාගෙන් අපට දඬුවම් තිබුණේ නැහැ. අපේ ජීවිත පිටිපස්සේ එයාගේ හයිය හැමදාම තිබුණා.
අපේ තාත්තා මේ විවාහ යෝජනාවට ප්‍රතිචාර දක්වලා තිබුණේ වෙනත් විදියකට. තාත්තගේ අම්මටයි තාත්තටයි එයා මෙහෙම කියලා තිබුණා.
‘ආයේ විවාහයක් ගැන මම හිතන්නේ නෑ. මගේ දරුවන්ට අම්මෙකුත් නැති එකේ තාත්තෙකුත් නැති කරන්න මට බෑ.
මම දරුවෝ බලාගෙන ඉන්නවා‘
එදායින් පස්සේ තාත්තා ට කිසිදිනක කවුරුත් විවාහ යෝජනා ගෙනාවෙත් නෑ ඔහු ඒ ගැන හිතුවෙත් නෑ.
අපේ අම්මයි තාත්තායි විවාහ වෙලා ටික කාලයක් ගියාම අම්මගේ අම්මා ඇවිත්. තියෙනවා එයාලව බලන්න. ඒ එනකොට අත්තම්මා අම්මා ට ලී බඩු වගයකුත් දීලා තිබෙනවා. කාලයක් තිස්සේ ඒ ලී බඩු අපේ ගෙදර තිබුණා. නමුත් අම්මයි තාත්තයි වෙන් වුණාට පස්සේ තාත්තා ඒ ලී බඩු අම්මට අරගෙන යන්න කියනව. අම්මා කොළඹ ගිහින් ජීවත් වුණේ පුංචි ගෙවල් වල නිසා ඒ ලී බඩු ගිහින් තියා ගන්න ඉඩක් එයාට තිබුණේ නෑ. තාත්තා ඒ ගැන කීවාම අම්මා කිව්වේ
‘ අනේ එපා ස්ටැන්ලි , මට ඕවා ගෙනිහින් තියා ගන්න තැනක් නෑ ‘ කියලයි.
අන්තිමේ තාත්තා ඒ ලී බඩු ඔක්කොම අම්මගේ මහ ගෙදරට යවනවා. මම හිතන්නේ තාමත් හඟුරන්කෙත වලව්වේ ඒ ලී බඩු ඇති. අම්මගෙයි තාත්තගෙයි අතරේ අන්න ඒ වගේ සාමකාමි සබැඳීයාවක් තමයි තිබුණේ.
අම්මා තමයි තාත්තගෙන් දික්කසාදය ඉල්ලන්නේ. ඒකත් බොහොම සාමකාමි විදියට. තාත්තා උසාවියට යනවා. අපිව ගෙනියන්නේ නෑ. නමුත් අපේ බාරකාරිත්වය තාත්තා බාර ගන්නවා. අම්මා උසාවියෙදි ඉල්ලනවා දරුවෝ බලන්න ඉඩ දෙන්න කියලා. ඒකටත් තාත්තා කැමති වෙනවා. අපි ඉන්න තැනට ඇවිත් දරුවෝ බලන්න කියලා තමයි අම්මට කියලා තිබුණේ. නමුත් පස්සේ කාලෙකදි අම්මා අපිව ගෙනියන්නත් ඉල්ලනවා. අපේ තාත්තා ඒකටත් විරුද්ධ වෙන්නෙත් නෑ.
තාත්තාත් එක්ක අපි බණ්ඩාරවෙල ඉන්න කාලේ තමයි මම අපො.ස සා.පෙල විභාගය ලියන්නේ සා පෙල සමත් වෙලා උසස් පෙළ කරන්න බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයටත් යනවා. හැබැයි මාස හයයි උසස්පෙළ පන්තියේ ඉන්න ලැබෙන්නේ. ආපහු සැරයක් තාත්තව නුවරට මාරු කරනවා. දැන් ආපහු සැරයක් අපිට ඉස්කෝලෙ නැති ප්‍රශ්න බලපානවා. මේ වෙලාවට ඉතින් හැමදාමත් අපේ පිහිටට ආවේ අපේ අම්මානේ. සුපුරුදු විදියට අම්මා අපිට ඉස්කෝල හොයන්න පටන් ගන්නවා. උසස්පෙළ කරන්න අම්මා මාව දාන්නේ නුවර මහාමායා බාලිකාවට. උසස් පෙළට අවුරුද්දක් තියෙද්දි තමයි මම මහාමායාවට එන්නේ. ඒකාලේ අධ්‍යාපන ඇමති වුණු බදුර්දීන් මොහොමඩ් මහතාගෙන් ලිපියක් අරගෙන තමයි අම්මා මාව මේ ඉස්කෝලෙට ඇතුළත් කරන්නේ. අම්මා ගම්පොළ සහිරා විද්‍යාලයේ උගන්වන කාලයේ අම්මගෙන් ඉගෙන ගත් ශිෂ්‍යයෙක් විදියට බදුර්දින් මොහොමඩ් අම්මට ඒඋදව්ව කරලා තිබුණා.
මහාමායාව ඇතුළේ උසස්පෙළ කරන්න මට තිබුණු එකම ප්‍රශ්නය වුණේ ඉතිහාස විෂය එහි නොමැති වීමයි. නමුත් මට කරන උදව්වක් විදියට විදුහල්පතිවරිය මට ඒ වෙනුවෙන් ගුරුවරියක් සොයා දුන්නා. රණතුංග ටීචර් ගෙන් තමයි මම ඉතිහාස විෂය ඉගෙන ගත්තේ. ඇය සමහරදාට මාව ගෙදරට අරන් ගිහිනුත් උගන්වලා තිබෙනවා. හැබැයි මම කොහොම හරි පාඩම් වැඩ ටික නිසි පරිදි කරගෙන යන්න කැප වුණා.
මහාමායාවට යන්න අම්මා මාව නතර කළේ බෝඩිමක. මුල් ගම්පොළ. ඒකාලේ තිබුණා සුදර්ශි ටුවර්ස් කියලා තැනක්. එතන ලොකු බෝඩිං හවුස් එකක් තිබුණා. මේ බෝඩිමේ වැඩි හරියක් හිටියේ පේරාදෙණිය කැම්පස් එකේ මෙඩිකල් ෆැකල්ටියේ ශිෂ්‍යයෝ සහ ශිෂ්‍යාවන්. මේ බෝඩිමේ පහළ කාමරයක් මට දෙන්න ඒ අය කැමැති වුණා. ජීවිතේ ඊළඟ කඩ ඉම පනින්න මම සුදානම් වෙන්නේ මේ බෝඩිං හවුස් එකේ ඉඳන්.
ලබන සතියේ
විභාගය අස්සේම ආ පළමු සිනමා රංගනය
හේමාලි විජේරත්න
