නිවස විශේෂාංග තාත්තා අඳුරට අකැමැති වුණා ආලෝකය ප්‍රිය කළා

තාත්තා අඳුරට අකැමැති වුණා ආලෝකය ප්‍රිය කළා

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ එකම දියණිය අනුරාධා නන්දසිරි කියයි

by Thanushika
June 27, 2024 12:42 pm 0 comment

” අපෙ තාත්තාට ගම්භීර පෙනුමක් වගේම ගම්භීර හඬ පෞරුෂයක් තිබුණාට තාත්තා හරිම සෞම්‍ය හදවතක් තිබුණු සරල ජීවිතයම ප්‍රිය කළ කෙනෙක්. තාත්තා ඉන්න තැන කොහෙද.. එතැන හරිම සුන්දරයි….”

ලාංකේය සංගීත අම්බරයේ තවත් බොහෝ කලකට ඔහු පිළිබඳව ද..ජන සන්තානයේ නිදන් කළ ඔහුගේ නිර්මාණ පිළිබඳව ද වැඩිමනත් කතාබහකට අනාගතයද සූදානමකින් ඇතැයි වරෙක හැඟේ.

එතරම් ඔහු දේශීය සංගීත කලාවට සේම ගායන ක්ෂේත්‍රයට ඉටුකළ මෙහෙවර අභිමානනීයය.

මෙවර සරසවිය පාඨක ආදරණිය ඔබට හමුවන මේ අපේ මහා ගාන්ධර්වයාණෝ සංගීත විෂයෙහි ප්‍රකට කළ නිපුණ බව අසමානය.

මේ අන් කවරකු හෝ නොව සංගීත ගායන නිර්මාණ විෂයෙහි හිණිපෙත්තේ පසුවූ සංගීත් නිපුන් සනත් නන්දසිරි නම් අපේ අද්විතීය සොඳුරු ගාන්ධර්වයාණෝය….

අපේ ආදරණීය කතා නායකයාගේ ස්වකීය ජීවිතයේ ලෝකයම බඳු වූ ඔහුගේ ආදරණීය එකම දියණිය නිශාමනී අනුරාධා නන්දසිරි මහත්මිය දැන් මා සමීපයේය…ඕ මුවපිරුණු සිනාවෙනි..

“අපෙ තාත්තා ගැන මට හැමදාම වුණත් කතා කරන්න පුළුවන්. ඒ තරම් අපෙ තාත්තා වටිනා පිරුණු ජීවිතයක්…”

කන්ද උඩරට පරම්පරාවකට නෑකම් කියන කොළඹට නුදුරු ගොතටුව නම් ගම් පියසේ වෘත්තීයෙන් ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු වූ එච්. එම්. විලියම් පෙරේරා සහ කොළඹට නුදුරු කඩුවෙල ගම් පියසේ දෝන අමලින් කටුගම්පල යන දෙපළට හිමි දූ දරුවන් පස්දෙනකු අතරින් එම දරු පවුලේ හරි මැදට උපන්නේ මේ අපේ ආදරණීය කතා නායකයාණෝය. ඔහුගේ ලොකු අක්කා ඊඩා සුමනපාලීය..අයියා වූයේ රංජිත් ධර්මසිරිය. මල්ලී වූයේ නිමල් චන්ද්‍රසිරිය. ඔහුගේ එකම නැගණිය වූයේ කුසුම් චන්ද්‍රපාලීය….

1942 ක්වූ පෙබරවාරි මස 15 වනදා එම පවුලේ තෙවන දරුවා ලෙසින් මෙලොව එළිය දුටු අපේ කතා නායක තෙමේ හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි ය. ඒ ඔහුගේ උප්පැන්නයේ නමය.

මම අනුරාධා මහත්මිය දෙස බලමි.

” අපෙ තාත්තා පාසල් දෙකකට ගියා. ම්..ම්..මුලින්ම ගියේ ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයට..පස්සෙ ගියේ දෙමටගොඩ ශාන්ත මැතිව් පාසලටයි ..සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙක වෙනුවෙන් උසස් අධ්‍යාපනයට ගියේ මරදාන ස්ටැෆඩ් සහ මහාබෝධි විදුහලටයි ”

“ඔව්. අමල්..අපෙ තාත්තා හරිම වෙනස් චරිතයක්. තාත්තාගෙ පවුලේ අයත් කියල තියෙන්නෙ ගොඩක් නිවුණු තැන්පත් වෙනස්ම ගතිපැවතුම් ඇති දරුවකු විදිහටයි…ඔය අපේ බාප්පලා වුණත් අපෙ තාත්තා ගැන හඳුන්වන්නෙ අර මඩෙහි නොගෑවී පිපුණු සියපත විදිහටයි. පවුලේ අනික් අය අතරේ හරි මැද උපන් අපෙ තාත්තාගෙ කැපී පෙනුණු ගතිපැවතුම් ඉස්සර ඉඳල එයාල දැකල තියෙනවා. අපෙ තාත්තා අනික් අයට වඩා රූපයෙනුත් හරිම වෙනස්. සුදුම සුදුයි. කතාබහ හැසිරීම හරි වෙනස්. රංජිත් මහප්පා නම් කුකුල් කේන්ති. නිමල් බාප්පා නම් දඩබ්බරයි. ඒ අය අතර අපෙ තාත්තා හැම අතින්ම නිවිලා ඉන්නවාලු .”

ඕ ආදරණිය පියාණන් පිළිබඳව තම හද තබා සිටිනා ගෞරවය මුසු ආදරණීය බවද ඇයගේ කතා සිරිතෙන් මට හැඟේ.

හිඳ හුන් අසුනෙහි මඳක් හරිබරි ගැසුණු ඕ තොමෝ තවත් දේ කියා යන්නීය.

” මේ හැමෝම මැද්දෙ නිවිලා ඉන්න අපෙ තාත්තා ගමේ හා නෑදෑයෝ සමඟත් හොඳීන්මයි ඉඳලා තියෙන්නෙ. ඉතිං.. අමල්. ඒ කාලෙ අපෙ සීයා තාත්තා ළඟ ඒ කියන්නෙ අපෙ තාත්තාගෙ තාත්තා ගාව ග්‍රෑමෆෝන් එකක් තිබුණලු. ගමටම තිබුණු එකම එක ග්‍රෑමෆෝන් එක තමයි ඒ. ”

අපේ කතා නායකයාගේ පියාණන් හවසට වැඩ ඇරී ගෙදරට ආ විගස තම ග්‍රැමෆෝනය ක්‍රියාත්මක කරන්නේය.

ඉන් විකාශය වන ගීත රාත්‍රිය නිසාදෝ වඩාත් හොඳීන් ඈතටම ඇසේ. ග්‍රැමෆෝනය හිමි පියාටත් වඩා ඊට ඇලුම් පෑයේ අපේ කතා නායක තෙමේය. ඔහු රෑ බෝවනතුරුම ඒ සමීපයේ හිඳ ගීත අසන්නේය…රස විඳීන්නේය.

පාසල් අවධියේ සිටම ගායනයට..වාදනයට සමත් ආසක්ත සිසුවකවූ හේ පාසල් වේදිකාවේදී ගායන වාදන තරඟාදියටද ඉදිරිපත්ව සිය සමත්කම් පෙන්වීය. කොළඹ සුචරිත ව්‍යාපාරයේ ද හේ සාමාජිකයකුව සිටියේය..

“ඒ කාලෙ අපෙ තාත්තාගෙ මාමලා එහෙම ගම්මුලාදෑනිලා..විදුහල්පතිවරුලු. තාත්තාගෙ පුංචි අම්මාත් විදුහල්පතිනියක්ලු. ඉතිං. තාත්තා එක එක සමිතිවලදි සින්දු කියනවලු. හැබැයි ඒ ගයන ගීත ඔක්කෝම අර ගෙදරදි ග්‍රෑමෆෝන් එකෙන් අහපු ගීතමයි. ඒ ගීත වැඩිහිටි අයගෙ ගීතනේ.”

ඕ උස්හඬින්

සිනාසෙන්නීය…

” ඉතිං…පාසල් වේදිකාවෙදිත් තාත්තා ගයල තියෙන්නෙ ඒ ප්‍රේම ගීතලු. එතකොට තාත්තාට වයස 12ක් විතර ඇතිලු. එහෙමට අවබෝධයක් ඇති වයසකුත් නෙමේනෙ. තාත්තාත් ඉතින් රසට ගයලා. ඒ වෙලාවෙ කවුරුවත් කිසිම බාධාවක් කරලත් නැහැ. පස්සෙ විදුහල්පතිතුමා ගමේ අම්මා ට..ඒ කියන්නෙ අපෙ ආච්චිට..තාත්තාගෙ අම්මාට කියල තියෙනවලු පාසල්වලදි ගයන්න සුදුසු සින්දු විතරක් දරුවාට කියාදෙන්න කියලා. ” යි කියූ අනුරාධා තවදුරටත් කියන්නට වූයේ ….

” බලන්න අමල්..ඒ විදුහල්පතිවරුන්ගෙ තිබුණු බුද්ධිමත්කම. තාත්තා ගයපු වෙලාවෙදිම නරඹන්නො ඉස්සරහම බාධා කරල එහෙම දොසක් තාත්තාට කිව්වානම් ඒ ලැජ්ජාවටම අපෙ තාත්තා සින්දු කියනවා තියා වේදිකාවකටවත් ආයෙත් නගින එකක් නැහැ…”

අපේ සොඳුරු කතා නායකයාගේ නැන්දා වන කෙනකුගේ නිවසක නතරව සිටියේ සංගීතය පිළිබඳව සම්මාන සහතික කිසිත් නොලද ..එහෙත් සංගීත විෂය පිළිබඳ ව මුහුකුරා ගිය දැනුම් ඇත්තෙකි. ඔහු නමින් හේමතිලක දයාරත්න මහතාය.

“අපෙ සීයා තාත්තාගෙ කීම පිට හේමතිලක මහත්තයා අපෙ තාත්තාට සංගීතය ගැන පුළුල්ව කියා දීලා තියෙනවා… ඉතින් ..අපෙ තාත්තාගෙ සංගීත ජීවිතයේ පළමුවන සංගීත ගුරුතුමා වන්නෙත් ඒ හේමතිලක මහත්මයාමයි. දැන් බලන්න අමල්..ජෝ අබේවික්‍රම මහත්තයා. සංගීතය හදාරා නැතිවුණත් තිබුණු පරිණත දැනුම…එතුමා ට තිබුණු ඒ දැනුම ගැන අපෙ තාත්තාත් අපට කියල තියෙනවා.”

අපේ ආදරණීය අනුරාධා අවධාරණයෙන් කියන්නීය.

අපේ ආදරණිය කතා නායකයාණෝ එතුමා යටතේ ගායනය මනාව ප්‍රගුණ කළේය.

ඉන්දියාවේ සිට සංගීත විෂයට මෙන්ම ලංකාවේ ජ්‍යේෂ්ඨතම මුල්ම තබ්ලා වාදකයා ලෙසින් පැමිණි ඩී.ආර්. පීරිස් මහතා ගැන ලද තොරතුරින් සංගීතයට උපන් සපන්කම් පානා තම පුතුට අත්වැල වෙමින් පියාණන් වහා තම පුතු පීරිස් මහතාට බාරදුන්නේය. විශිෂ්ට තබ්ලා වාදකයකු වූ ඩී.ආර්. පීරිස්ගේ ප්‍රථම ශිෂ්‍යයා වූයේද අපේ ආදරණිය කතා නායකයාණෝය. හේ මැනවින් තබ්ලාව උගත්තේය.

“අපෙ තාත්තා පොඩි කාලෙ ගුවන් විදුලියේ ළමා පිටියෙත් ගීත ගායනය කළා. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ තාත්තා රජයේ සංගීත විද්‍යාලයට (හේවුඩ්) එකට ඇතුළත් වුණා…දන්නවද අමල්.. ඒ විතරක් නෙවි. අපෙ තාත්තා දක්ෂ ක්‍රීඩකයෙක්. ”

අපේ ආදරණිය අනුරාධා කියන්නීය

උපතින් නිවුණු සිතක් හිමිවුණිද හෙතෙම ක්‍රීඩාවෙහිද ඉදිරිපෙළෙහි කැපී පෙනුණේය. මල්ලව පොර…..බයිසිකල් රේස් ..ආදියෙහි දක්ෂයෙකි. ඒ තුළින් තරඟ වැද ඔහු දිනූ පදක්කම්ද බොහෝය.

දැන් අපේ ආදරණිය කතා නායකයාණෝ තුරුණුය. ක්‍රීඩාවෙහිද සමත්කම් ඇති නිසාම රැකියාවක් වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක තනතුරකට ඉල්ලුම් පතක් ඉදිරිපත් කළද ඒ ගැන නම් අම්මා තුළ ඇතිවූයේ බලවත් නොසතුටකි.

“මගෙ දරුවා පොලිසියට යවන්න නම් මං කැමතිම නැහැ..”

තම බිරිඳගේ අදහසට එක්වෙමින් සැමියාද කියන්නට වූයේ මමත් ඔය පොලිස් රස්සාවට යනවට කැමති නැහැ…”

ඒ අසා හුන් අපේ කතා නායක තෙමේ ගත්කටටම කීයේ..” මං පොලිසියට යනවාට අකමැති නම් එහෙනම් සංගීතය ඉගෙන ගන්න මාව ඉන්දියාවට යවන්න…” කියාය..

පියාණන් ඊට විරුදුව කිසිත් නොකියාම තම පුතුගේ ඉල්ලීමට අනුව යමින් තම වියදමින් පුතු ඉන්දියාවට පිටත් කරවන්නට කටයුතු කළේය.

රජයේ සංගීත විද්‍යාලයේදී අපේ කතා නායකයාගේ සිත බිඳුණු රිදුණු තැන්ද නැතිවා නොවේ…කෙනහිලිකම් ඉවසා සිටි අවස්ථාද අඩුවක් නැති. ඒ ඔහුගේ දක්ෂතාවන් නිසාමය.

රජයේ සංගීත විද්‍යාලයේ කටයුතු කළ අපේ ප්‍රවීණ ගායිකා චම්පා කල්හාරි මහත්මියගේ පියාණන් විශාරද එච්.ඩී. එස් ජයසේකර මහතා දීප්තිමත් ශිෂ්‍යයකු වූ අපේ කතා නායක කෙරෙහි බැඳී සිටියේය.

එකල ඉන්දියාවේ කථක් නර්තනයට ප්‍රකට වික්‍රමසිංහ මහතාට ලියුමක් ලියා දුන්නේ අපේ කතා නායකයාට උදව් කරන ලෙසටය.

අපේ ආදරණිය කතා නායක තෙමේ ඉන්දියාවට ගියේය…සියලු වියපැහැදම් තම පියා වෙතිනි. ජයසේකර මහතා එවූ ලිපිය කියැවූ වික්‍රමසිංහ මහතා මෙසේ කීවේලු.

” වික්‍රමසිංහ මහත්තයා අපෙ තාත්තාට කියල තියෙනව “ෂා.. ඔයා ඉන්දියාවට ආවෙ අද හොඳම දවසක. අද තමයි මෙහෙ සංවත්සරය. අද රෑ එලිවෙනකම් ශාස්ත්‍රීය ගායන වාදන ප්‍රසංග තියෙනවනෙ..කියලා”

ඔස්තාර් අහමඩ් ජාන් තිරක්වා…ඉස්ලාමීය ජාතිකයෙකි. පූජනීයත්වයෙන් සලකන ලොව වැඩිම වේගයකින් තබ්ලාව වයන විශිෂ්ට වාදකයාද වන එතුමා ද මේ ප්‍රසංග වේදිකාවේය.

“ඔව්.. ඔස්තාර් ජී හරියට දේව සභාවක දෙවි කෙනෙක් වගේ. එහෙමයි එදා තාත්තාට හිතිලා තියෙන්නෙ.. ඔස්තාර් ජී ගෙන් තබ්ලාව ඉගෙනගත් ඔහුගේ එකම ලාංකික ගෝලයා වුණෙත් අපෙ තාත්තා. තාත්තා විශාරද දක්වා උගෙන ලංකාවට ආවා..”

අනුරාධාගේ සිතෙහි උපන් පියාණන් පිළිබඳ සාඩම්බරනීය හැඟුම් පෙළ ඈ මුහුණින් කියැවෙන්නාසේය.

අපේ ආදරණිය කතා නායක තෙමේ ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්ව විද්‍යාලයේ වසර හයකදී ගායනය හා වාදනය මනාව හැදෑරුවේ ය. ශාස්ත්‍රීය සංගීතයෙහි නිපුණ බවද මොනවට කියා පෑවේය.

අනුරාධා නිහඬව තම පියාණන් පිළිබඳ මතක ලොවෙහි සැරිසරන්නී යැයි මට පෙනේ. වහා ඉන් මිදුණු ඕ මා හා පිළිසඳරට යළි එකතු වන්නීය.

“ඩී. ආර්. පීරිස් මහතා ළඟට තබ්ලාව ඉගෙන ගන්න තාත්තා ගියා කියල මං කීවනෙ. එතකොට තාත්තා ට වයස 17 ක් විතර ඇති. කොට කලිසමින් තමා ගිහින් තියෙන්නෙ. පස්සෙ දක්ෂතා දැකපු අමරදේව මහත්තයා එතුමාගෙ ගායනා වලදිත් අපෙ තාත්තාව තමයි තබ්ලා වාදනයට අරන් තියෙන්නෙ. අමරදේව මහත්තයා ගොඩක් සතුටු වෙලා තියෙනවා තාත්තාගෙ තබ්ලාව වාදනය ගැන…”

ගායනය හා වාදනය පිළිබඳව පළමු පෙළ සාමර්ථය ලබමින් දිවයිනට පැමිණි අපේ සොඳුරු කතා නායකයාණෝ විශාරද සනත් නන්දසිරියන් ගුරු වෘත්තීයට පිවිසියේය.

හාපුරා කියා ඔහු පළමු ගුරු පත්වීම ලද්දේ අම්පාර..උහන විදුහලටය.

අපේ අනුරාධා යමක් සිහි වී නැග ආ සිනහව වළකා ගන්නීය. අනතුරුව කටහඬ අවදි කරන්නීය.

“අපෙ තාත්තා ඉන්දියාවට යනවිට හරි ලස්සන මුතු කර්ල් කොණ්ඩයක් තිබුණනෙ. ඒ මුතු වගෙ කොණ්ඩය හින්දා ඉන්දියාවේ වෙළෙඳ දැන්වීමකටත් පෙනී ඉන්න තාත්තාට අවස්ථාව ලැබී තියෙනවා. අනේ ඉතින් ..එහෙදි තාත්තාට උණ සන්නිපාතය හැදිලා. ඒකට කොණ්ඩය ගිහින් තියෙන තරම කීවොත් ගැලවුණු කෙස් කොට්ටෙන් එකයිලු. ඒ ගැන කියපු අපෙ තාත්තා කිවේ මගෙ කොණ්ඩය ඉන්දියාවට දීලා එහෙ සංගීත ශාස්ත්‍රය මං මෙහෙට අරන් ආවා කියලා”

ඈ දෙවුර සලා සිනාසෙන්නීය.

අපේ කතා නායක තෙමේ උහන විදුහලට කෙතරම් පෙම් කළේද යත් ඔහුගේ දෙවන ගම වූයේද උහනය. ඔහු ගැයූ මුල් ම ගීතය වන “ඇවිළුණු ගිනිදැල් නිවි නිවි යද්දී ” හා ” ඈත එපිට ගම්මානෙන් ….” ආදී ගීත ඔහු අතින් නිර්මාණය වූයේද එහි සිත්ගත් රමණීය පරිසරයට ඒකාත්මික වෙමිනි.

” සිතාර් වාදනයෙන් ප්‍රකට ඉන්දියාවේ සිට ලංකාවට ආපු පළමු විශාරදවරයා ලයනල් එදිරිසිංහ මහත්තයා …අපෙ තාත්තාට එතුමා හරිම ආදරෙයි. රජයේ සංගීත විද්‍යාලයට ගුරුවරුන් බඳවා ගන්න බව එතුමා තමයි තාත්තා ට කියා තියෙන්නෙ. තාත්තාගෙ ඉල්ලුම් පත පවා රතු පෑනෙන් කටු ගා තිබුණලු. එදා හිටිය ලක්ෂ්මන් ජයකොඩි ඇමතිවරයා තමයි මැදිහත් වෙලා තාත්තාට සම්මුඛ පරීක්ෂණයට අවස්ථාව අරන් දීල තියෙන්නෙත්.. ගායනයට වගේම වාදනයටත් විශාරද සාමර්ථය තිබුණේ අපෙ තාත්තාටයි”

අපේ ආදරණිය අනුරාධා කියන්නීය.

අපේ කීර්තිමත් කතා නායකයාණෝ කැළණිය විශ්වවිද්‍යාලය සෞන්දර්ය අධ්‍යාපන ආයතනය බවට පත්වීමත් සමඟ එහි කථිකාචාර්යවරයකු බවට පත්වූයේය. එහි අංශ ප්‍රධානී ලෙසින් ද කටයුතු කළේ ඔහු ය. කොළඹ තවත් සෞන්දර්ය පීඨ තිබුණද පසුව කැලණිය ලංකාවේ ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත්වීමේදී ඔහු වෙතින් ඒ වෙනුවෙන් සිදුවූ මෙහෙවරද පැසසුම් කටයුතු ය. ස්වාධීන විශ්ව විද්‍යාලය බිහිවීමත් සමග පීඨ ත්‍රිත්වයේම පළමු පීඨාධිපති වුයේද අපේ ආදරණිය කතා නායකයාණෝය.

“අපේ තාත්තා එම තනතුරු හොබවමින් ම එහි ඉගැන්වීම් කටයුතුත් කළා.”

සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් සංගීත ක්ෂෙත්‍රයට බිහිවූ ප්‍රථම මහාචාර්යවරයාද ඔහුමය.. රජයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ගුරුවරයකු අංශාධිපති වෙමින් සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ ද අංශාධිපතිවරයා වූයේද අපේ කතා නායක තෙමේය. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය බවට පත්වීමේදී එහි ප්‍රථම කුලපතිවරයා වූයේද මේ අපේ ආදරණිය කතා නායකයාණෝ ය.

“මහාචාර්යධුරයට පත්වුණාම තාත්තා එතෙක් කළ දේවල් ඉදිරිපත් කරන්න වුණා. තාත්තා සංගීතය ගැන ලියු පොත්පත් ඉදිරිපත් කළා. ඇත්තමයි.. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි ගැන පළමු වරට ගීතයක් ගැයුවේ අපෙ තාත්තා කියල මං පසුකලෙකයි දැනගත්තෙ. තාත්තා කළ ගොඩාක් සංගීත නිර්මාණ ඉදිරිපත් කළා. ගුවන් විදුලියේ තැටිගත කළ ගීත ලැයිස්තුවක්ද තාත්තා ගත්තා.”

අපේ කතා නායකයාණන් ගැයූ ගීත ලැයිස්තුවට අනුව 2001 වසර වනවිටදී ගීත 1133ක් බව ගුවන් විදුලියේ පරිඝනක ගතවී තිබෙන බවද ඕ කියන්නීය.

ලස්සනට අඳීන්නට වඩාත් රුචිකත්වය දක්වමින් පිරිසිදුවට හිඳීන්නටද රසැති ආහාරපානයටද ඇලුම් පාමින් සරලව හිතන සිරිතකින්ද යුතු වූ හෙතෙම අනුන්ද ලස්සනට ඉන්නවානම් යැයි සුභවාදී සිතිවිල්ලෙන් සිතුවේය.

“තමන්ට ඇතිදේ අනුන්ටත් තියෙනවානම් කියල තමයි තාත්තා නිතර හිතුවේ. අනේ අපෙ තාත්තා අනුනට කොච්චර උදව් කරල තියෙනවද. ගෙදරට එන කෙනකු මොනවා හෝ අඩුපාඩුවකින් නැතිබැරිකමකින් ඉන්නව කියල යාන්තමින් හරි දැනගත්තොත් උදව් නොදී ඉන්නේම නැහැ. අඩුපාඩු අරන් දෙනවා. සල්ලි හරි දෙනවා. ඒ තාත්තාගෙ හැටි.”

කිසිවකු ඔහු සන්තකයේ ඇති කිසිවක් එය ලස්සන යැයි කිවහොත් එය ඔහුටම දෙන්නට දෙවරක් සිතන්නේද නැති.

“අපෙ තාත්තා අනුනට දුන් දේවල් කිසිම දෙයක් ප්‍රසිද්ධියේ දුන්නෙ නැහැ. තාත්තාට තිබුණෙ අනුන්ට දෙන්නම කැමති හිතක්මයි”

දූ අනුරාධා කියන්නීය.

මා ඇයගෙන් කළ විමසුමකදී …..

“ඔව්.අමල්.. තාත්තා විශාරද කරල ඉන්දියාවේ ඉඳන් එනවිට අපෙ අම්මාත් ළමා පිටියේ ජනප්‍රිය ගායිකාවක්. ගායනය..නාට්‍ය ..කවි ආදියෙන් බොහොම ප්‍රසිද්ධයි. ඔන්න ළමා පිටියේ ශ්‍රීමතී ජයවීර මහත්මියගෙ සැමියා විමලධර්ම ජයවීර මහතා ගීත නාටක ලියන කෙනෙක්. ඒ කාලෙ අම්මා නුගේගොඩ. වෙසක් නාට්ටියකට ගයන්න එයාල අම්මාව එක්කන් යන්න ඇවිත් තියෙනවා…. ඉන්දියාවේ ඉඳන් සංගීතවේදීන් කට්ටියක් එනවා කියලත් එයාලා අම්මාගෙ අම්මාට කියල තියෙනවා.. ආපු අයත් හින්දියෙන්මලු කතාවත්. අම්මා හිතල තියෙන්නෙත් මෙයාලා ඉන්දියාවේම උපන් අයමයි කියලා. අම්මා ගයන්න ගිය වෙසක් නාට්‍යය මාර පරාජය “නාට්‍යයයි. ”

” ඉතින් ..මේ පටිගත කිරිම් හමුවෙදි අම්මායි තාත්තායි හිතවත් වෙලා තියෙනවා.. එතකොට ඒ කාලෙ තාත්තා එදා හිටපු අල්ප දෙනාගෙන් සරල ගී ගායනය..ශාස්ත්‍රීය ගායනය..ශාස්ත්‍රීය වාදනය.. සහ තබ්ලාව ආදියෙන් විශිෂ්ට ශ්‍රේණි තුනක සමත්කම් ලබා සිටියේ. පස්සෙ ඉතින් .. සංගීත ප්‍රසංග වේදිකාවේ ගායනයට තාත්තා අම්මාටත් එන්න කියනවාලු . ”

ප්‍රේමකීර්ති මාමා අතින් ලියැවුණු “මිහිරාවී ” කියන යුග ගීතය අම්මා තාත්තාගෙ පළමු යුග ගායනයයි. අම්මා මුලදී ප්‍රසංගවලදී ගැයුවේ අනුන්ගේ ගීත. අම්මාගෙ ස්වතන්ත්‍ර පළමු ගීතය වුණේ “සහසක් පැතුමන්” ගීතයයි. එය දෙන්නාගෙ පළමු සරල ගී වැඩසටහන වුණා.”

හිතවත්කම තිර ආදරයකට මුලපුරමින් බාධක මැදින් එම දෙපල යුගදිවි ප්‍රාප්ත වූයේ 1971 වසරේදීය .

“අම්මා දැඩි කතෝලික පවුලක කෙනෙක්. තාත්තාගෙ පවුලත් දැඩි බෞද්ධාගමිකයෝ. එය තමා තිබුණු අකමැත්තට හේතුව…. ඒ වෙද්දි තාත්තා ලොකු ස්ථාවරයකනෙ හිටියෙ. හරස් වඅණේ ආගම් භේදය වුණත් අම්මා තාත්තාගෙ අරමුණු ජයගත්තා. ”

දූ අනුරාධා සිනාසෙන්නීය.

අපේ සොඳුරු කතා නායකයාණෝ අතිනත ගත් ඔහුගේ ජීවන සහකාරිය වූයේ රංජනී මල්කාන්ති පීරිස් මෙනවියය. ඔහුගේ ආදරබර ආමන්ත්‍රණය “ටුටූ” නාමයය.

” කොහොම හරි පවුලේ හැමෝටම තාත්තාගෙ සෙවණ ආදරය ඉහළින්ම ලැබුණා යැයි අපේ ආදරණිය අනුරාධා කියන්නීය.

“ඔය සංගීත ක්ෂෙත්‍රයේ අය එකට ඉන්න තැනෙක පොඩි දරුවන්ට ඉන්න බැහැ. කට කැඩිච්ච ඩබල් මීනිං කතා නුසුදුසුයිනෙ. ඒවා කියවෙනවා…ඒත් අපෙ තාත්තා ඒ අතින්ද හරිම බුද්ධිමත් . තාත්තා කතා කර කර ඉන්න තැනක පොඩි දරුවන්ට වුණත් ඉන්න පුලුවන්. නරක කතා නෑ”

ඕ බිම බලාගත්වනම එසේ කියන්නීය .

හද රසාලිප්ත කරවන ගැයුම් සිරිතෙන් හෙළ ගී අඹර සිරිමත් කළාවූ අපේ සංගීත් නිපුන් සනත් නන්දසිරි නම් සොඳුරු කතා නායකයාණෝ වයසින් අවුරුදු 81 දී සිය දිවිසැරිය නිමා කළේ ඔහුට පෙම්බැඳී රසික නෙතද උණු කඳුළකට හරවමිනි.

එනම්…එදවස 2023 ක්වූ මාර්තු 28 වනදාය.

 

[email protected]

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT