” අපි පුංචි කාලෙ ඉඳන්ම අපෙ තාත්තා නිතරම වගේ අපට කිව්වෙ බොරු කියන්න එපා..බොරු කරන්න එපා..තමන් හරි නම් කාටවත් ඔළුව පහත් කරන්න එපා කියලයි..”
” අනේ..අපේ තාත්තා පොඩ්ඩ ඇත්නම් කෑ ගහනවා තමයි..ඒත් ඒවා ඒ වෙලාවට විතරයි..අපෙ තාත්තා හරීම ආදරණිය චරිතයක් ”
මෙවර ඔබට හමුවන අපේ සොඳුරු කතා නායකයාණෝ ක්ෂේත්‍ර කිහිපයකින් ජනවිඥානයට කතාකළ අපූර්වතම කලාකරුවෙකි. වරෙක හෙතෙම පුවත්පත් කතුවරයෙකි. ජනමාධ්‍යවේදියෙකි. චිත්‍රපට අධ්‍යක්ෂ හා සහය අධ්‍යක්ෂවරයෙකි. වරෙක චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. තිර පිටපත් රචකයෙකි. තවත් වරෙක ගී පද රචකයෙකි. මේ සැමටම වඩා මනුස්සකමින් පිරිපුන් සෘජු පිළිවෙතෙහි පිහිටා කටයුතු කළ සහෘදශීලී මහත්මයෙකි.
සරසවිය වෙනුවෙන් අපේ ආදරණිය ඩී.බී වර්ණසිරි නම් කලාකරුවා පිළිබඳ කතාබහ කරන්නට අපට හමුවූයේ සිය පියාණන් මෙන්ම මාධ්‍ය වෘත්තීයට පිලිපන් ඔහුගේ ආදරණිය කනිටු දියණියයි.. ඕ නමින් උපුල් නුවන් සාගරිකා වර්ණසිරි මහත්මියය…ඕ රුවැතිය. ප්‍රියමනාප කතාබහය..තම සෙනෙහෙබර පියාණන් පිළිබඳ හදරුවාගත් අපරිමිත ස්නේහයේ සිරිත ඈ මුදු වදනින් තවත් ලෙන්ගතු වෙයි.
මා සමීපයේ පසුවන ඇයට මම සවන් දෙමි.
“අපෙ තාත්තාට ඉන්නෙ දූලාම දෙන්නෙක්නෙ..ඒ ගැන නම් එයාගෙ හිතේ මොකක්දෝ බරක් තිබුණා . මටත් කොල්ලෙක් උන්නානම් කියලත් සමහර වෙලාවලදි අපෙ තාත්තා කියනව මටත් ඇහිල තියෙනවා. ම්..ම්… මට හිතෙන්නෙ තාත්තා ඒ පුතෙක් නැති අඩුව පුරවගන්න මාව සැලකුවාද කියලත්…මගෙ නමට පිරිමි නමකුත් දාල තියෙනවානෙ..තාත්තාගෙ හැම දෙයටම මම ළඟින් උන්නා වගේම හැමදෙයකදිම තාත්තාත් මාව බලාපොරොත්තු වුණා කියලත් මට හිතෙනවා..”
අපේ ආදරණිය සාගරිකා එසේ කියන්නී සිනාසුණු මුවිනි.
කොළඹට නුදුරු අයි.ඩී.එච් නමින්ද කියැවෙන ගොතටුව ග්‍රාමයේ දී 1940 ක්වූ දෙසැම්බර් මස 28 වනදා මෙලොව එළිය දුටු අපේ සොඳුරු කතා නායකයාණෝ දික්මාදුගොඩගේ බර්නාඩ් වර්ණසිරි මහතාය..බොහෝ දෙනා ඔහු ඇමතුවේ “ඩික්” යන ආදරණිය නමිනි.
අපේ ආදරණිය කතා නායකයාට නංගිලා සිව්දෙනෙකි. මල්ලිලා දෙදෙනෙකි. සත් දෙනකුගෙන් යුත් දරු දැරියන් අතර අපේ “ඩික්” පවුලේ වැඩිමහල් දරුවාය.
කොලොන්නාවේ ටෙරන්ස් ඇන් ද සිල්වා විද්‍යාලයට ඉගෙනුමට ගිය හේ උසස් පෙළ දක්වාම උගත්තේ එම පාසලේමය..ඉගෙනුමටද සැබෑ හපනෙකි.
“අපෙ තාත්තා පාසලේ ඉගෙන ගන්නා කාලයේ පටන් ළමයින්ට ටියුෂන් දුන්නා” යැයි දියණිය සාගරිකා කීයන්නීය..
ඉගෙනුමට පමණක් ම නොව බාහිර ක්‍රියාකරකම් අතින්ද අපේ කතා නායකයාට පාසලේදී හිමිව තිබුණේ නොදෙවැනි තැනකි..වරෙක රගර් ක්‍රීඩකයෙකි. වරෙක පිහිනුම් ශූරයෙකි..ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
“ඔය පිහිණුම් පුහුණුව කියල දෙන්න කැලණි ගඟට ගිහින් ගහගෙන යන කෙනෙක් බේරාගන්න ගිහින් අපෙ තාත්තාත් ගිලෙන්න ගිහින් අනූනවයෙන් දිවි ගලවාගෙන තියෙන්නේ..එදා නම් තාත්තා සීයාගෙන් හොඳටම ගුටිකාලත් තියෙනවා..”
සාගරිකා දෑස් ලොකුකර කියන්නීය.
හෙතෙම පාසලේ කීර්තිමත් ශිෂ්‍යයකු ලෙසින් ප්‍රකට වූවා පමණක් නොව ” ඩික්” කියූ සැණින් නොදන්නා කෙනකු නැති තරමි. ඔහුගේ සහසක් මිතුරන් අතරේ හොඳම යහළුවා අමරසිරිය. පසුකලෙක අමරසිරි ඔහුගේ මස්සිනා වූයේ ඔහුගේ නංගියකු හා අතිනත ගැනීමෙනි.
සාගරිකා යමක් කියන්නට සැරසෙයි..
” මම අපෙ අම්මාට වඩා එකතු අපෙ තාත්තා එක්කයි..අපෙ තාත්තාව දැක්කාම හරි වස කෙනෙක් කියල වගේ පෙනුණාට අනේ අපේ තාත්තා හරිම ආදරණිය මනුස්සයෙක්. මටයි මගෙ අක්කටයි තාත්තා ළඟ තිබුණු ආදරය අපට අමතක වෙන්නේම නැහැ..අක්කගෙ මහත්තයටයි මගෙ මහත්තයටයි තිබුණු ආදරයත් එහෙමමයි..”
” හපෝ..කෑ ගහනවා. ගෙදර ඉන්න කොට අපිත් බයයි. හරි ඉක්මනින් කේන්ති යනවා..අනේ..ඒ වුණත් ඒ කේන්තිය ඉක්මණින් නිවිල යනවා..පස්සෙ තේරුම් ගන්නවා මොකටද තරහ ගත්තෙ කියලා..”
අපේ සාගරිකා කියන්නීය.
සමාජශීලි තැනැත්තකු වන අපේ ආදරණිය “ඩික්” මිතුරන් වෙනුවෙන් ම පේවී සිටින්නේය..ඔවුන්ගේ දුකකදී අවශ්‍යතාවකදී නොපැකිළවම ඉදිරිපත් වන්නේය..ඒ ඔහුගේ හැටිය. විශ්වාසය බිඳීගිය තැන ඔහු ඒ අහලකවත් ඉන්නේ නැත.
” අපෙ තාත්තාට යහළුවො නම් ගොඩක් හිටියා..දුම්වැටි බොන මත්වතුර බොන අයත් එහෙමයි. ඒත් අපෙ තාත්තා ලඟ කවදාවත් ඒ පුරුදු නැහැ.. කොහෙත්ම නැහැ..”
දැන් අපේ සොඳුරු කතානායක තෙමේ පාසලින් ඉවත්ව කාලය ගෙවන්නේ ටියුෂන් දීමෙනි. පාසල් යමින් සිටියදීම වාගේ පුවත්පත් වලට හේ ලිපි ලියුවේය.. සහය ඉංග්‍රීසි ගුරුවරයකු ලෙසින් කොලොන්න විදුහලින් ඔහුගේ ජීවන වෘත්තීය ඇරඹිණි..ඒ 1963 දීය. අනතුරුව දවස පත්තර කන්තෝරුවේ සෝදුපත් බලන්නෙකු වූයේය..
” අපෙ තාත්තා පත්තරේ වැඩ කරමින් ඉන්න ගමන් තමයි ජර්මනියට යන්න අවස්ථාව ලැබුණෙ. මට මතක හැටියට ඒ 68-69 වගේ කාලේ..මාධ්‍ය පැත්තෙන් ඉගෙනීමට තාත්තා ගියේ..කෙටි කලකින් තාත්තා ආපහු ලංකාවට ආවා…
“පත්තර කලාවේ නමගිය අය කිහිපදෙනෙක්ම තාත්තා ඇසුරු කළා..ඒ.ඩී. රන්ජිත් කුමාර මහත්තයා බුද්ධි කීර්තිසේන..නිහාල් කුමාර පතිරණ..ප්‍රේම් දිසානායක..මහත්තුරු හිටියා..ඒ.ඩී. රන්ජිත් කුමාර මහත්තයා ගොඩාක් සමීපයි..රන්ජිත් කුමාර අන්කල් අපෙ ගෙදර එනවා.තාත්තා රන්ජිත් කුමාර අන්කල්ගෙ ගෙදරට යනවා .”
අපේ ආදරණිය සාගරිකා කියන්නීය.
දවස…සවස..රිවිරැස..ඉඋව් ලක්බිම…සරසවිය පුවත්පත් සහ දෙසතිය මාසික සඟරාවේද කටයුතු කළ අපේ ඩී.බී. වර්ණසිරි මහතා එහි සිනමා පිටුව .ක්‍රීඩා පිටුව සහ විශේෂාංග කර්තෘ වූයේය.
කාලයක් තිස්සේ සිත පැළපදියම්ව තිබූ සිහිනයද සැබෑ කරගනිමින් පසුව හෙතෙම සිනමාවටද එක්වූයේය..
86 වසරේ තිරගත වූ ව්ර්‍ණ ඕර්‍ණච්ක ධ්ඉ ර්‍ථඡ්අජ්ඡ්ඛ්ඊ ඉංග්‍රීසි චිත්‍රපටයේ නිෂ්පාදක වූ ඔහු 87 දී සත්‍යග්‍රහයණය චිත්‍රපටයේ අධ්‍යක්ෂක හා සම නිෂ්පාදකවරයකුද විය.
විදේශයේදී සිනමාව පිළිබඳව හැදෑරූ අපේ කතා නායක තෙමේ ජාත්‍යන්තර චිත්‍රපට රැසක පලමු සහය අධ්‍යක්ෂක හා දර්ශන තල සම්බන්ධීකාරක ලෙසින් ද කටයුතු කළේය..
අචථනචඨඥ…ට්ධඤ ම්ඪදඨ..ඡ්තඥනඩචදබ ඕධර..ර්ධභදබචඪද ඪද බඩඥ බ්භදඨතඥ..ච්භපචද..ච්භපචද .ආදී තවත් විදෙස් චිත්‍රපට රැසක කටයුතු කළේය..
ගාමිණී ෆොන්සේකා ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රඟපෑ “සත්‍යග්‍රහණය” සිනමා සිත්තම හෙතෙම අධ්‍යක්ෂණය කරමින් සම නිෂ්පාදකවරයකු ද වූයේය.
තාත්තලගෙ ජීවිත ගැනනෙ සත්‍යග්‍රහයණය චිත්‍රපටයෙන් කියැවෙන්නෙ..ඒ වගේම අපෙ තාත්තා ඉන්දියානු චිත්‍රපට සම්බන්ධව සම්බන්ධීකාරක විදිහටත් කටයුතු කළා . ”
අපේ ආදරණිය සාගරිකා කියන්නීය.
ආදර කතාව..කළුදිය දහර..සීතා දේවී..යුගාන්තය..උතුමාණෙනි..සාගරයක් මැද..කොළඹ සන්නිය..චිත්‍රපටවල හෙතෙම සහය අධ්‍යක්ෂ වූයේය..
“චන්ද්‍රරත්නම් මහත්තයා කළ නිර්මාණවලත් තාත්තා සහය අධ්‍යක්ෂ වුණා…චිත්‍රපට වලට තිරකතා ලියලත් තියෙනවා..ගීත රචනා කරලත් තියෙනවා…සිනමා විෂය ගැන අපෙ තාත්තා ට හොඳ අවබෝධයක් තිබුණා ”
” අපොයි නැහැ.. අපිව චිත්‍රපටවලට සම්බන්ධ කරන්න නම් තාත්තාට කොහෙත්ම උවමනාවක් තිබුණේම නැහැ .”
අපේ සාගරිකා ඒ ටික කීවේ මම විමසූ පැනයකදීය.
අපේ සොඳුරු කතා නායකයාණෝ වරෙකදී ඇමෙරිකාවෙන් ” වෝනර්” නමැති ගෞරව නාමයකින් පිදුම් ලැබීය..
ස්පිල්බර්ග් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඔහුගේ සමීපතම මිතුරෙකි.
අපේ ගාමිණී ෆොන්සේකා මහතාගේ සමීපතමයකු අපේ කතානායක තෙමේ ගාමිණී මහතාට ගාමිණී නමින් ඇමතූ අතලොස්සක් දෙනා ඔහු ද එක් අයෙකි.
තමන් ඉගෙනුම ලද ගෝතමී බාලිකා විද්‍යාලයේ අඩුපාඩු සපුරා දීමට තාත්තා මුල් වූ බවද අපේ සාගරිකා කියන්නීය..
“සරත් අමුණුගම ඇමතිවරයා තාත්තා සමඟ බොහොම කුලුපගයි..ඒ නිසාම තාත්තා ඔහුගේ දේශපාලනයට අත හිත දුන්නා..ඒත් කිසිම දෙයක් තාත්තාට හෝ ගෙදරට දරුවන්ට හෝ ඉල්ලලා නැහැ…සත්තකින් ම අපෙ තාත්තාගෙ සෘජු චරිතයට අදත් මම ගරු කරනවා…අපෙ තාත්තා අදීන මනුස්සයෙක් .”
” අපෙ තාත්තා අමාත්‍යාංශ කිහිපයකම මාධ්‍ය ලේකම් හැටියටත් හිටියා…කිසිම දෙයක් තාත්තා බලාපොරොත්තු වුණේ නැහැ..මම ඕනම තැනක කියනව ..අපෙ තාත්තා කියන්නෙ පොළවෙ පය ගහල හුන් කෙනෙක් ..අදත් අපේ තාත්තා ගැන මමත් අක්කත් ආඩම්බර වෙනවා..අපෙ රත්තරන් තාත්තා ට පින්සිදුවන්න අපිත් පොළවෙ පය ගහල ඉන්න පුරුදු වුණා ”
අපේ සොඳුරු විශිෂ්ටයාණෝ මාධ්‍ය ක්ෂෙත්‍රයේ ඉහළම නමක් රඳවා සිටියේය..කාටත් උදව් උපකාරයට කැපවන අයකු ලෙසින් ද ඔහු ගෞරවයක් දිනා සිටියේය..
අපේ ආදරණිය වර්ණසිරියන් තමන් තැනූ චිත්‍රපටවල සුළු චරිතද නිරූපණය කළේය..කොටි වලිගය චිත්‍රපටයේ රූපගත කිරීම් වලදී එක්රොක්වන ජනයාගෙන් මතුවන අපහසුතා එමටය. අපේ ගාමිණී ෆොන්සේකා මහතා එම මහ පිරිස පාලනය කරන්නට පවරන්නේ අපේ ආදරණිය ඩික් ටය..ඩික් ගේ කටහඬ සැරය…ඩික් ඒ මේ අත යමින් කෑගසමින් ජනයා හසුරුවන සැටි බලාහුන් ගාමිණී පසුදිනෙක අපේ සාගරිකා ට කීයේ…”
” සෙනඟ හසුරුවන්න ඔයාලගෙ තාත්තාට මම බාරදුන්නෙ.. තාත්තා දක්ෂයෙක්..හරියට වැඩේ කළානෙ..” යි ගාමිණී කීවේය.
” කොහොමත් අපෙ තාත්තාගෙ කටහඬ සද්දයිනේ..”
සාගරිකා මුවපුරා සිනාසෙමින් හිඳසිටි අසුනේ හරිබරි ගැසෙන්නීය..
” ඔය චිත්‍රපට වැඩවලදි අපෙ තාත්තා මාව පුංචි කාලෙ පටන්ම එක්කගෙන යනවා. චිත්‍රපට වැඩවලටත් මම එකතු වෙනවා..තාත්තා ට මම සමහර තැන්වලදි සවියක් හැටියට පෙනුණා කියලත් මට අද හිතෙනවා. ඒ අතේ එල්ලිලා මං ගිය හැටි මට කවදාවත් අමතක කරන්න බැහැ..”
ඒ අන්තිම වචන පෙල සාගරිකා කීවේ බිඳුණු හඬකිනි..ඕ බිමබලාගත්වනම ය..
“අපෙ තාත්තාට අපෙ ඉස්කෝලේ ආචාර්ය මණ්ඩලය බොහොම ගරුත්වයක් දැක්වූවා..පාසලේ යමක් කරන්න සැලසුම් කරන කොට අපේ මැඩම් තාත්තාගෙන් ඒ ගැන විමසනවා. උපදෙස් ගන්නවා…තාත්තාගෙ අදහස්ද අහගන්නවා..කාවද පාසලේ උත්සවයට කැඳවන්නෙ කියල අහනවා..තාත්තා ඉස්කෝලෙම කෙනෙක් තරමට සමීපයි. පාසලට කළහැකි උදව් උපකාරද තාත්තා කළා..”
ඕ තොමෝ යළි බිමබලාගත්වනම ය…
තාත්තා තෝරාගත් මාධ්‍ය ක්ෂෙත්‍රය පිළිබඳ සිතෙහි උපන් තම කැමැත්ත නිසාම අපේ සාගරිකා ද ස්වාධීන රූපවාහිනීයේ ප්‍රධාන විධායක වැඩ සටහන් අංශයේ සහය අධ්‍යක්ෂිකාවක ලෙසින් සේවයෙහි නිරත වූවාය.
ඇයට එකවරම සිනා පහළ වූවාය…
” ඉස්කෝලෙ උත්සවයකදි මැඩම් මගෙ මුහුණ බැලුවා. එතකොට මම පාසලින් පිටවෙලා…විවාහත් වෙලා. අපෙ තාත්තාගෙ වාසගම නැතිව මගෙ මහත්තයාගෙ ලියනගේ වාසගම ගැන ඇහුවා කියමුකෝ.. මම කලබල වුණා..ඇයි තාත්තා ගෙ වාසගම කෝ ..? කියලනෙ ඇහුවෙ..පස්සෙ මැඩම් නොමනාපෙන් වගේ මහත්තුරු ලොකු කරගෙනනෙ..ඒකනේ.. කියල මැඩම් හිනාවුණා.”
අපේ ආදරණිය කතා නායකයාණෝ දිනෙක අවුරුදු උත්සවයකට ඇරයුම් ලද්දේය..
අවුරුදු කුමරිය තරඟයේ විනිශ්චයටද හෙතෙම අසුන් ගත්තේය.. අවුරුදු කුමරිය ලෙසින් තේරුණු යුවතිය රූමත්ය..ඔහු වශීකෘතව මෙන් ඈ දෙස බලා සිටියේය..ඇය පිළිබඳ ඔහු සිත නැවතිණි..
පසුව ඔහු හා ඇය පෙම්වතුන් වී …..නමුදු දෙපාර්ශවයෙන් බාධක නැඟී ආයේය..එහෙත් පසුව එහැම සමනය වී..1973 දී පමණ ඈ අත ගත්තේය.
අපේ කතා නායකයාගේ ජීවන අත්වැල වූයේ කොළඹ තන්ත්‍රීගේ පුෂ්පා චන්ද්‍රකාන්ති පෙරේරා මෙනවියය..
එම විවාහයෙන් දියණියන් දෙදෙනකු තිළිණ විණි. ඉන් පළමුවැන්නී ලොකු දුව දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන කුමුදුමාලී නයන ප්‍රභා ය..දෙවැන්නී මා හා ආදරණිය සංලාපයක තවමත් පසුවන උපුල් නුවන් සාගරිකා වර්ණසිරි ය..
“අක්කගෙ මහත්තයා ජනක් රත්නායක..මගෙ මහත්තයා ඉංජිනේරු ලලිත් ලියනගේ..මේ බෑණලා දෙන්නාටත් තාත්තා ගොඩාක් ආදරය කළා .එයාලත් හැමදේම අපෙ අම්මා තාත්තා ගැන හොඳීන් සොයා බලනවා”
“අපෙ තාත්තාට වගේ ෂාප් මෙමරි එකක් මටත් ඇති නිසා තාත්තාගෙ වැඩවලට මාවත් හවුල් කරගන්නවා . ඒ වගේම මට කොල්ලෙක් හිටියානම් කියලත් තාත්තාගෙ කටින් කියැවෙනවා..””
“ගැහුවොත් ගහන්න..අඩාගෙන එන්න එපා…කියල තාත්තා කිව්වා.. තාත්තාත් ඒ කාලෙ එහෙමයි කියලා හිනාවෙනවා..”
සාගරිකා තාත්තා පිළිබඳ මතක කතාවෙන් අපමණ සතුටකිනි.
කතරගම දෙවියන් භක්තියෙන් ඇදහූ හේ වසරකට වරක්වත් කතරගම ගොස් පුදපූජා තබා ආවේය…කේන්දර..නැකත් ග්‍රහබල ..රාහු කාල පිළිබඳව බලවත් විශ්වාසයකින් සිටියේය.
තම දරුවන්ට ඔහු නිතර කියාදුන්නේ තමන් හරි නම් හරි..කාටවත් බොරු කරන්න එපා. කාටවත් ඔළුව පහත් කරන්න එපා කියාය…
කෙතරම් ඉහළ පෙළේ හිතමිතුරන් ඔහුට සිටියද හේ කිසිවක් ඉල්ලා නොගියේය..තමන්ට ලැබෙන දෙයක් නැති අයකුට එය ලබාදී ඔහු සතුටට පත්වූයේය..
” ප්‍රේමදාස මහත්තයා ෆ්ලැට් එකක ගෙයක් දෙන්න කතා කළා. මට කුලියට හරි ඉන්න පුළුවන්. වෙන කෙනකුට දෙන්න. කියල තාත්තා කීවා..මුකුත්ම කාගෙන්වත් තාත්තා බලාපොරොත්තු වුනේ නැහැ..අපිට ඔය ලොකු තැන්වල රස්සා අරන් දෙන්න හොඳටම පුළුවන්කම තිබුණා. තාත්තා එහෙම කැමති නැහැ..අපෙ තාත්තා ගැන අපට ආඩම්බරයි..”
තමන් තැනූ චිත්‍රපටය නිසිකලට ප්‍රදර්ශනයට ඉඩක් නොලැබීමෙන් හෙතෙම දේශපාලනය ගැන කලකිරුණේය දේශපාලනය ගැන පැහැදීමක් ද නොතිබුණේය. එහෙත් ඔහු පක්ෂ මාරු කළ තැනැත්තකු නොවීය.
” චිත්‍රපටවල ලොකේෂන් බලන්න යන්න.. මුදල් කටයුතු වලදිත් තාත්තා අම්මාව එකතු කරගන්නවා.. දැන් අපෙ අම්මාට මතකයත් අඩුයි..වයසයිනෙ..තාත්තා හරිම එකමුතුයි..”
” තාත්තාට කියලවත් තාත්තා මුදල් ඉතිරි කරගත්තෙ නැහැ..අනික් අයට ඕනතරම් උපකාර කරනවා..එයින් තාත්තා ලොකු සතුටක් ලබනවා..”
සාගරිකා කියන්නීය..
බයිපාස් සැත්කමකට පෙරදාකදී වෛද්‍යවරුන් නිර්දේශ කළද එයට අකැමැති වූ අපේ කතා නායක තෙමේ එය ප්‍රතික්ෂේප කළේය..
දැන් දැන් හෙතෙම රෝගාතුර වන්නේය..ඔහු බිරිඳ පුෂ්පාද අසනීප වන්නීය..එයද ඔහුට සිතට බරකි. අසනීප වූ විටදී ලොකු දුව කුමුදුමාලිට කතා කරන්නේය..ඇයගේ ස්වාමියා පැමිණ අවශ්‍ය කටයුතු සකසා යන්නේය.
තමන් කෙතරම් ප්‍රශ්නයක සිටියද මිතුරන්ගේ උදව් ඔහු නොපැතුවේය. ඒ ඔහුගේ හැටිමය..
“දන්න කාලෙ ඉඳන් අපෙ තාත්තාට අසනීපයක් තිබුනෙ නැහැ..දියවැඩියාව ආවා..වකුගඩු අමාරු ආවා..වකුගඩු අමාරුවට හේතුව කොකා කෝලා තමයි. තාත්තා වතුර වෙනුවට බීවෙ කොකා කෝලා..අත සේදුවෙත් ඒවයින්මයි..අනේ..අපෙ තාත්තා අන්තිම කාලෙ අනේ…තාත්තා එක්තැන් වුණා. අනේ..එක තැන ඉන්න අකැමැති නිසා ඇවිදින්න හදනවා. අපි ඇවිදින්න දුන්නෙ නැහැ .”
බොහෝ වියපත් වියෙහි පසුවන ඔහු බිරිඳ පුෂ්පා මහත්මියට ඔහු වෙතින් කිසිත් අඩුවක් නොවිණි..ඇය පසුවූයේ සතුටිනි..දැන් ඇයද වියපත්ය..
” අපෙ තාත්තා ට රටට ලොකුවට පේන්න ඉන්න ඕනෑකමක් තිබුණෙම නැහැ. කෙතරම් ප්‍රශ්න තිබුණත් කාගෙන්වත් උදව් බලා හිටියෙත් නැහැ…අම්මා ට අපට අපෙ තාත්තා කිසිම අඩුපාඩුවක් කළේත් නැහැ..”
දැන් දැන් අපේ ආදරණිය වර්ණසිරි මහතාගේ තත්ත්වය දකින දූලා නෙත කඳුළින් පුරවා ගනිති. තාත්තාගේ ආදරයටම වඩාත් බඳුන් වූ සාගරිකා තාත්තා දෙස බිමබලාගත්වනම ය..ඇයගේ හඬ ඔහුට ඇසුණිද හේ නිහඬව ඈ දෙස බලා හිඳී.
” තාත්තේ….”
ඔහු වහා රෝහල් ගත කෙරිණි..ඒ ගිලන් රථයකිනි.
රෝහල් වාට්ටුවේ ගිලන් යහන මත වැතිර හිඳීනා අපේ සොඳුරු කතා නායක තෙමේ කතාබහක් නැති.
ඒ රාත්‍රිය පහන් වෙමින් තිබිණි…ඔහු ළඟ උපස්ථානයට සිටි හිතවත් තැනැත්තා කලබලයෙන් ඔහුගේ ගෙදරට දුන් දුරකතන ඇමතුමකින් ගෙදර සියල්ලෝ ඉහඅත් බදා වැලපෙන්නට වූහ.
ඔහුගේ රුව ගෙයි හැමතැනම පෙනෙන්නාක් මෙනි..ඔහු හඩ ඇසෙන්නාක් මෙනි…
” අපෙ තාත්තා අපට කියාදුන් හැම දෙයක්ම අපට තවමත් මතකයි”
අපේ සාගරිකා බිමබලාගත්වනම ය..
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සේම ක්ෂෙත්‍ර ගණනාවකින් රටක් දැනුම්වත් කළ අපේ සොඳුරු කතා නායකයාණෝ සියල්ල හැරදා..කිසිවකුටත් නොකියා නොදන්වාම කොහේදෝ නික්ම ගියේය.
ඒ 2023ක්වූ අප්‍රේල් මස 27 වනදාය..
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ