” අපේ තාත්තා රෝගාතුර වුණ වෙලාවෙත් තාත්තා ට සමීපවම සිටි ගාමිණී ෆොන්සේකා මහත්තයා නිතර වාට්ටුවට බලන්න ආවා විතරක් නෙමෙයි..අපෙ තාත්තා ඉක්මනින් සුවකර දෙන්න කියා ගාමිණී මහත්තයා කතරගම දේවාලයටත් බාරහාර වෙලා තියෙනවා..
අපෙ තාත්තා හාපුරා කියා ඇතුල් කෝට්ටේ හදාපු අලුත් ගෙදරට මුල්ගල තබා තියෙන්නෙත් ගාමිණී මහත්තයාමයි..”
” අපෙ තාත්තා මට සිහිනයක් වගේ… සිනමාවෙ ගොඩක් අය තාත්තාට හරිම ආදරෙයි කියල මම අහල තියෙනවා. තාත්තා එක්කල සමීපව ම හිටපු මාලිනී ෆොන්සේකා මහත්මිය ආ..මේ අපේ නෙල්සන් ගෙ පුංචි පොඩ්ඩා නේද කියල මාව වඩාගෙන ඉම්බා කියල අපෙ අම්මා මා එක්කල කියල තියෙනවා…මාලිනී මහත්මිය මාව ටෙලි නාට්‍යයකටත් පසුකලෙක සම්බන්ධ කළා..එතුමිය අපේ මුළු පවුලටම සමීපයි”
මෙවර සරසවිය “මවුපිය වරුණ” වෙනුවෙන් මා සිත්හි ලැගුම්ගත් ආදරණිය රංගන ශිල්පියකු පිළිබඳව ඔබට කියන්නට අහඹුව ලද අවස්ථාව සැබැවින්ම මසිතට සතුට ගෙනදෙයි.
මෙවර අපේ සොඳුරු කතා නායකයාණෝ හෙළ සිනමා රිදී තිරය ඔපලූ අයකු යැයි කිවහොත් වඩාත් නිවැරදිය…
ගුවන් විදුලියේ ගායන ශිල්පියකු…ගුවන් විදුලි නාට්‍ය හඬකැවීම් ශිල්පියකු හා වේදිකා නාට්‍ය ශිල්පියකු ලෙසින් සිය රංගන ප්‍රතිභාව සිරිමත් කළ ඔහු අනතුරුව සිනමාවට පිවිසියේ “සිහිනය ” නමැති සිනමා සිත්තමෙනි..
සිකුරු තරුව..වීර විජය..සුමුදු භාර්යා..හතර පෙරළිය..පරසතු මල්..සංදේශය..සැඟවුණු මැණික..ඔක්කොම හරි..අදට වැඩිය හෙට හොඳයි..සුවිනීත ලාලනී..සූර චෞරයා..හදවත් නැත්තෝ..සංගීතා..සුසී….ආත්ම පූජා ආදී තවත් චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපණය කරමින් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පැමිණි ඔහු රංගවේදී නෙල්සන් කරුණාගම මහතාය.
අපේ කතා නායකයාට පුතුන් දෙදෙනෙකි..එක් දියණියකි…මින් ඔහුගේ බාලම පුතු වෙසෙන්නේ ඇතුල් කෝට්ටේය..
එම නිවසෙහි ආලින්දයේ සුව පහසු අසුනකට බරදුන් අපේ කතා නායකයාගේ බාලම පුතු හැටන් නැෂනල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරීවරයකු වන කාංචන කරුණාගම දැන් මා සමීපයේ සිනාමුසු මුහුණිනි..ප්‍රථමයෙන් සරසවිය ට මුව නොසෑහෙනසේ ස්තුතිවන්ත වූ හේ අප සංලාපයට කටහඬ අවදිකළේ මෙලෙසිනි..
” අපේ තාත්තා සිනමාවට වගේම අපටත් අහිමි වෙනකොට මට වයස අවුරුදු පහයි. අපෙ තාත්තා මාව වඩාගත්තාද කියාවත් මම දන්නේ නැහැ….
ඒත් අපෙ අම්මා තාත්තා ගැන ගොඩාක් දේවල් අප සමඟ කියා තියෙනවා. අපෙ අම්මා තාත්තා ට හරි භක්තිවන්තයි. අපට තිබුණු ආදරය ගැන වගේම මිනිස්සුන්ට දක්වපු ලෙන්ගතුකමත් අපෙ අම්මා අපට කියා තියෙනවා…අපේ තාත්තා ට ආදරය නොකළ කෙනෙක් නැහැ කියලත් අපෙ අම්මා කියා තියෙනවා…පසුකාලෙ පිටස්තර අයගෙනුත් ඒ ටික මං අහල තියෙනවා .”
තම ආදරණිය පියාණන් කෙරෙහි තවමත් සිත පැළපදියම්ව ඇති නොතිත් ගෞරවය මුසු ආදරයම ඔහු කෙරෙන් දිස්වෙයි..
එංගලන්තයේ උපත ලද නුවරඑළිය කඳපොල වතුයායේ වතු අධිකාරිවරයකු වූ භාෂා දහඅටක් දැනුමැති එඩ්වින් කරුණාගම සහ එම වතුයායේ වින්නඹු නිලධාරිනියක වූ කර්ලැයින් කරුණාගම යන මවුපිය දෙපළට සිටියේ දූ පුතුන්ම සිව්දෙනෙකි.
මින් පළමුවැන්නිය රූබී කරුණාගමය…ඇය අපේ කතා නායකයාගේ ලොකු අක්කාය..දෙවැන්නා වික්ටර් ය..තෙවැන්නිය හෙලන් කරුණාගමය..සිවිවැන්නා හෙවත් පවුලේ බඩපිස්සා වූයේ අපේ ආදරණිය කතා නායකයාණෝ ය..
නෙල්සන් කරුණාගමයන් උපත ලද්දේ දෙනියායේය..ඒ 1925 ක්වූ දෙසැම්බර් මස 28 වනදාය…සිය පියාණන්ගේ වතු අධිකාරි වෘත්තීය නිසාම නුවරඑළියේ පදිංචිව සිටි අතර අපේ කතා නායකයා ප්‍රථමයෙන් ඉගෙනුම ලද්දේ නුවරඑළිය ගාමිණී විද්‍යාලයේය…එහි දීප්තිමත් සිසුවකු වූ හෙතෙම පාසල් වේදිකාවේ රංගන ශිල්පියකු විය. ඒ ශ්‍රී විජය වේදිකා නාට්‍යයේය.. ගී ගයමින් විජයගේ ප්‍රධාන චරිතය නිරූපණය කළේය. පසුව යටියන්තොට විද්යාලා්ක විදුහලට පැමිණි හේ එහිදී ද කලා කටයුතුවල සේම සමාජ කටයුතු වලටද සම්බන්ධ වූයේය..
අපේ සොඳුරු කතා නායක තෙමේ ඉගෙනුමින්ද සිරිමත්ව රැකියාවකට පිවිසියේ ය..ඒ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිකරුවකු ලෙසිනි..පසුකලෙක හේ කොළඹ මහරෝහලේ ප්‍රධාන හෙද නිලධාරියකු වූයේය..මුල්දී රෝහල් පරිශ්‍රයේ නේවාසිකාගාරයේ නවාතැන්ගෙන සිටියේය…..ගායනයට සේම රංගනයට ද සිත ඇල්මෙන් ඔහු රස්සාවේ නිරතව කලා කටයුතුවලටද එක්වූයේය..
රංගනයේහි කුසලතා පෙන්නුම් කළ හේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ..මහගමසේකරයන් හැදූ කුණ්ඩලකේෂී ..මූදු පුත්තු ..වාසවදත්තා..රත්නාවලිය…සඳ කිඳුරු..ආදී එවක නාට්‍ය ලොව සුපතල නිෂ්පාදකවරුන්ගේ වේදිකා නාට්‍යවලට හෙතෙම එක්වූයේ කොළඹට පැමිණීමෙන් අනතුරුව ය..
අපේ ආදරණිය කාංචන කරුණාගම යමක් කියන්නට මෙනි..
” අපෙ තාත්තා වේදිකා නාට්‍යවලට විතරක් නෙවි..ගුවන් විදුලියේ ගායන ශිල්පියකු හැටියටත් හඬකැවීම් ශිල්පියකු ලෙසත් ජනප්‍රිය නාමයක් දිනාගෙන සිටියා.. අද නම් එදා තාත්තා ගැයූ ඒ ගීත අහන්නත් නැති තරම්..කරුණාරත්න අබේසේකර මහත්මයාත් තාත්තාගෙ සමීපතමයෙක්නෙ…”
ආදරණිය පුතු කාංචන කියන්නේය..
” ඔබගේ සෙනෙහෙ මල් පිපිලා..මඳ සුළඟේ සැලෙනා…”
ඔහු ගැයූ එදා ජනප්‍රිය එම යුග ගීතය ගැයුවේ ජී.එස්.බී රාණි මහත්මිය සමඟිනි…
ඝන රෑ ලොවේ පිරී තියේ..ආදරේ බැඳී රැඳී”
ගීතය ඔහු ගැයුවේ ශ්‍රීමතී තිලකරත්න මහත්මිය සමඟඟය..ලාලනී සෝමසිරි මහත්මිය සමඟද
තවත් ගීත රැසක් ද ගායකයකු ලෙසින් හෙතෙම ගුවන් විදුලි අසන්නන්ගේ යුගසවන්පත් සැනසුවේය..
එපමණක් නොව…ගුවන් විදුලියේ පී.වැලිකල මහතා අපේ කතා නායකයාගේ සෞම්‍ය සුපැහැදිලි කටහඬ ට වසඟ වූයේය..
ඔහුගේ “ගුවන් විදුලි රඟ මඬලෙහි” නාට්‍ය වෙනුවෙන් හඬකැවීම් ශිල්පියකු ලෙසින් තෝරාගෙන තමන් නිෂ්පාදනය කරන හැම නාට්‍යයකටම අපේ කතා නායකයාගේ දායකත්වය ලබාගත්තේය..
හෙළ සිනමාවට පිවිසි අපේ කතා නායක තෙමේ ටී. ජානකිරම් අධ්‍යක්ෂණය කළ ” සිහිනය” චිත්‍රපටය ඔහුගේ මුල්ම රංගනය විය. ඒ 1959 වසරේ ජුලි මස 3 වනදාය..ප්‍රේක්ෂක සිත්සතන් ඇදබැඳ තබාගන්නට සමත් වූයේය.. අපේ කතා නායකයාණෝ පුණ්‍යා හීන්දෙණිය සමඟ රඟපෑ ” සිකුරු තරුව” සිනමා සිත්තමෙන් සිනමා ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වූයේය..එය තිරගත වූයේ 1963 වසරේදීය..
කාගේත් සිත්ගන්නා සුලු අතිශය කඩවසම් රූ සම්පත්තියකට හිමිකම් කී අපේ සොඳුරු රූපණවේදියාණෝ ඊටත් එහාගිය ඔහු සතු මානව දයාගුණයෙන් ප්‍රචලිතව සිටියේය..
මා දෙස සිනාමුසු මුහුණින් යුතුව බලා හිඳීනා කාංචන ට මම සවන් දෙමි.
“අපෙ තාත්තාගෙ එකම දෝෂයක්වත් අපේ කනට මේ දක්වාම ඇහිල නැහැ..මහරෝහලේනෙ තාත්තා වැඩකළේ..දන්න නොදන්න කාට වුවත් කරුණබරව උදව් උපකාර කරනවාලු..අපේ තාත්තාට කවදාවත් තරහකාරයො ඉඳලත් නැහැ…සිනමාවට සම්බන්ධ අයත් අපෙ තාත්තා ලඟ තිබුණු නිවුණු සංවේදි ගතිපැවතුම් ගැන උනන්දුවෙන් කතා කරනවා..ඉක්මනින් හිත රිදෙන කෙනෙක්… හිත උණුවෙන කෙනෙක්..තව කෙනකුට දුකකදී සොයා බලා පිහිටවෙන කෙනෙක්..තාත්තාගෙ කටහඬත් හරි ළයාන්විතයිනෙ ..මාලිනී ෆොන්සේකා මහත්මිය පවා අපෙ අම්මා එක්ක තාත්තාගෙ මනුස්සකම ගැන කතා කර තියෙනවාලු…”
දිනෙක සිකුරු තරුව චිත්‍රපටයේ රූගතකිරීම් සඳහා වෑන්රියකින් යමින් සිටියේ කොළඹ සිට මීරිගමටය…එහි අපේ කතා නායකයා සමඟ ඩී.ආර්.නානායක්කාර ඇතුළු තවත් නළුනිලියන් කිහිපදෙනකුද සිටියහ. අතරමගදී දුටුවේ වාහනයකට හැපුණු පා පැදිකරුවකු මහමඟ පසෙක ලේ ගලන තුවාල සහිතව අසරණ ව පසුවන අයුරුය. වාහනය නවතා තුවාලකරුට පිහිටවන්නට ගියහොත් රූ ගත කිරීම් අරඹන නියමිත වෙලාව ඉක්මගොස් පාඩු ලබන්නටද සිදුවෙයි…රෝහලට ගෙන යාමටද නොහැකිව ගියේ රෝහලද බොහෝ දුරක නිසාය..
” අනේ.. අපට තිබුණෙ ඒ මනුස්සයව රෝහලට ඇතුළත් කරල එන්න..”
බොහෝ දුරක් පැමිණ සිටියදී අපේ කතා නායකයා පිරිසට කීවේය…කිසිවකු ඊට කිසිත් නොකීවේය..
සිකුරු තරුවේ රූප ගතකිරීම් ඇරඹිණි..අධ්‍යක්ෂකවරයා ඔවාදෙන දේ අසාසිට කවදත් අවබෝධයෙන් යුතුව රංගනයෙහි යෙදෙන හෙතෙම මෙදා හත්අටවාරයක් ම වැරැද්දුවේය…
” මොකද..මිස්ටර් නෙල්සන් මේ…කෝ වෙනදා ඔයාගෙ රඟපෑම් අද…” අධ්යක්ෂවරයා එසේ ඇසූවිටදී හේ නිහඬවම සිටියේය..පසුව අපේ ඩී.ආර් වෙතට සමීප වූ හෙතෙම මෙසේ කීවේය..
“අර මනුස්සයාව ඉස්පිරිතාලෙට දාල එන්න අපට බැරිවුණානෙ ඩී.ආර්..මට අද මුකුත් කරන්න බැහැ වගේ…මගෙ හිතට හරි නැහැ…පව්..ඒ අහිංසක මනුස්සයා…”
ඔහු කම්පාවෙනු දැක ඩී.ආර්. ඔහු අස්වැසුවේය..
එදා එම සිද්ධිය හා අපේ ආදරණිය කතා නායකයාගේ සංවේදී හිත පිළිබඳව ඩී.ආර්..පුවත්පතකට ලියා තිබෙන අයුරු පුතු කාංචන තම ලිපිගොනුවක් අතර පරිස්සමින් තබාහුන් පුවත්පතක පිටුවක් මට පෙන්වූයේ…” මගෙ තාත්තා මෙතරම් හිත උණුවන මනුස්සයෙක්..” යැයි පහත් ස්වරයෙන් පවසමිනි.
අපේ ආදරණිය රංගවේදී නෙල්සන් කරුණාගමයන් ට දැන් දැන් චිත්‍රපට ගලාගෙන එන්නේය.
ගාමිණී ෆොන්සේකා මහතාගේ පරසතු මල් චිත්‍රපටයේ මෙන්ම චිත්‍රපට රැසක ඔහු කැපී පෙනෙන චරිත නිරූපණය කළේය.. තවමත් තම ප්‍රධාන හෙද නිලධාරි රැකියාවද ආරක්ෂා කරගනිමින් දිගටම රඟපෑමේ නිරත වූයේය.. ඔහුගේ සිනමා ජිවිතයේ ඔහු සමඟ එක්ව වඩාත් රගපෑවෙි එවක ජනප්‍රිය ජීවරාණි කුරුකුලසූරිය මහත්මිය සමගය.. හෙතෙම ..සන්ධ්‍යා කුමාරි..පුණ්‍යා හීන්දෙනිය..ඇතුළු තවත් නමගිය නිළියන් සමඟද රඟපෑවේය…දැන් අපේ සොඳුරු කතා නායකයාණෝ මුළු රටම පරසිදු ජනප්‍රිය නළුවෙකි..සමීපතම හිතවතා අපේ ගාමිණී ෆොන්සේකා ය…ගාමිණී හා ඔහු අතර රහසක් නොවීය..එතරම් ගාමිණී ඔහුට ආදරය කළේය..ජෝ අබේවික්‍රම…ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න..රෝයි ද සිල්වා ඔහුගේ හෘදයාංගම මිතුරන්ය..ඔව්හු නිතර ඔහු සොයා ආහ…ඔහු ද ඔවුන් සොයා ගියේය…
” අපෙ තාත්තා ට කළුපාට කාර් එකක් තිබුණා….මම ගෙයි දොරකඩට වෙලා තාත්තා එනතුරු මග බලන් ඉන්නවා…මට අවුරුදු පහක කාලෙ යන්තමට මතක කතාවක් මේ මං කියන්නෙ…කාර් එක කොරිඩෝවට ඇවිත් නවත්තලා තාත්තා කාර් එකෙන් බැහැල එනවා..තාත්තාගෙ අතක පත්තරයක්..මම තාත්තා දිහා බලා ඉන්නව..මා ලඟ ටිකක් නැවතුණු තාත්තා හොඳට මා එක්කල හිනාවෙල අතේ පත්තරෙන් මගෙ ඔලුවට සෙමින් තට්ටුවක් දාල ගෙතුළට යනව…මට ඒ ටික තවමත් මතකයි ..”
ආදරණිය පුතු කාංචන…බිමබලාගත්වනම සිට සෙමින් කීයේ..” අපෙ තාත්තා අදත් හිටියානම්…” හේ සුසුමක් හෙළීය..
රූපකායෙන්ද මමෝකායෙන්ද සුන්දරනීය අපේ කතා නායක තෙමේ අතිශය රූ සම්පත්තියකට හිමිකම් කී යුවතියකට පෙම් බැන්දේය..ඕ තොමෝ කොළඹ මහරෝහලේම සේවයෙහි නිරත හෙද නිලධාරිනියකි…වසර කිහිපයක්ම ඔවුනොවුන් අතර ඇසුර ප්‍රේමණීයව ගලායමින් ඔහු ඇය හා අතිනත ගත්තේය..
ඕ තොමෝ හංවැල්ලේ රණවක ආරච්චිගේ පියසීලි රණවක මෙනවියය…දෙවන මනාලයා වූයේ අපේ රෝයි ද සිල්වාය..නෙල්සන් සහ පියසීලි ආදරණිය විවාහයට අත්සන් තැබුවේ ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න මහතා සහ චිත්‍රපට නිෂ්පාදක විජේපාල හෙට්ටිආරච්චි මහතාය…ඕ පසුව පියසීලි කරුණාගම නම් විය..විවාහයෙන් පසුව නව යුවල පැමිණියේ ඇතුල් කෝට්ටේ..උස්වත්ත පාරේ නිවහනටය…
ප්‍රේමණීය විවාහයෙන් එම දෙපළට පුතුන් දෙදෙනකු සමඟ එක් දියණියක තිළිණ විණි. මින් අපේ කතා නායකයාගේ වැඩිමහල් පුතු විදේශයේය. ඔහු මෝහන්ජිත් කරුණාගමය.. දෙවැන්නිය සුප්‍රියා චන්ද්‍රමුඛී කරුණාගම දියණියය..තෙවන දරුවා මා හා තවමත් ආදරණිය සංලාපයක පසුවන හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සහකාර සාමාන්‍යාධිකාරී …රංගනයට මෙන්ම ගායනයටද ඇළුම් පානා කාංචන කරුණාගම බාල පුතුය.
කාංචන සිනාසෙමින් මදෙස බලා සිට…..
” ඔය අපේ නම් දාල තියෙන්නෙ කරුණාරත්න අබේසේකර මහත්මයා..ඒ කාලෙ හින්දි චිත්‍රපට රැල්ලක් අප රටේ තිබුණානෙ..ඉතිං..කොහෙන් කොහොම හරි කරුණාරත්න අබේසේකර මහත්තයා අපට දාපු ස්ථිර නම්වලට පස්සෙ අපෙ අයියාට රාජේශ් නමක් දාල අක්කට ආශා පරේක් කියා දැම්මා. මට දිලිප් කුමාර් කියා නම දැම්මා…කවුරු හරි මාව හොයාගෙන ආවාය හිතමුකො..කාංචන කීවාට මේ පළාතෙ කවුරුවත් දන්නෙ නැහැ…අර දිලිප් ගෙ ගේ කොහෙද ඇහුවොත් නම් ටක් ගාල මාව පෙන්වයි…”
එසේ කියමින් කාංචන සිනාසෙද්දී තම ස්වාමියා සමීපයට පැමිණි ඔහුගේ ආදරණිය බිරිඳ රන්මුතු නාඔටුන්න මහත්මිය ද මේ කතාව අසා නැග ආ සිනහව තම අතෙකින් මුව වසා වසන් කරගන්නීය. ඇයද හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාරවරියකි…එම දෙපළගේ සිත්මි දිනූදා ආදරණිය එකම දියණිය ද පසෙකට වී සිනාසෙයි.
ඒ සමඟම මා සමීපයට පැමිණ අසුන් ගන්නට වූයේ අපෙ සොඳුරු කතා නායකයාගේ සොහොයුරියකගේ දියණියක වන මාලා පද්මිණී මහත්මිය ය.
පළමුව සරසවිය ට තම සතුට කියා පෑ ඕ තම ආදරණිය නෙල්සන් කරුණාගම මාමා ගැන මහත් උවමනාවකින් යුතුවම මතකයේ කතාවන් කියන්නට වන්නීය..
” අනේ…අපේ නෙල්සන් මාමා දෙවි කෙනෙක්…එයා ළඟ තිබුණු යහපත්කම් ගැන කවුද කතා නොකළේ..හැමෝම වර්ණනා කරනවා…මාමාගෙ හිතේ මිනිස්සු ගැන පුදුම සහගත අනුකම්පාවක්…ආදරයක්ම තිබුණේ…මේ චූටි මල්ලිත් අපෙ නෙල්සන් මාමා වගේමයි…ඇරපු අතක් නෑ..ඒ ගතිගුණමයි….හරියට හිත උණුවෙනවා…” යි පද්මිණී මහත්මිය කාංචන කරුණාගම පෙන්වමින් කියන්නීය…
නෙල්සන් සහ පියසීලි සුසංයෝගයේ ආදරණිය යුග දිවිය සිය දරුවන් තිදෙනාද සමඟින් මිහිරටම නෑකම් කියමින් ගලා යන්නේය…
ඔහු ඉදිකරන්නට යුහුසුලු වු ඔහුගේ ම නව නිවසට සුභ නැකතට මුල්ගල තබන්නට පැමිණියේද ගාමිණී ෆොන්සේකා සහ විජේපාල හෙට්ටිආරච්චි ය. කාලය තවත් දුරකට ගලා යන්නේය..
දැන් දැන් රටම දන්නා රංගන ජීවිතයේද අතිශයින් කාර්යබහුල අපේ කතා නායකයාණෝ වරින් වර රෝගාතුර වන්නේය…ඒ තම උදරය ආශ්රිත රෝගයකිනි. ඒ නිසාම තමන් ගිවිසුම් කරගත් චිත්‍රපට කටයුතු ද මඟහැරී යන්නේය..මෙතුවක් නිදහස්ව තමන් මහත් කැපවීමකින් හා ඕනෑකමකින් ඉදිරියටම රැගෙන ආ කලා කටයුතු මෙලෙසින් අතපසුව යාම පිළිබඳව ද හේ තනිවම ශෝකී වූයේය…ඒ සෝකය තම බිරිඳ පියසීලී මහත්මියට කියා සිත සැහැල්ලු කරගත්තේය..ඇයද කීවේ..ඔයා බයවෙන්න එපා…ආයෙත් ඒවාට යන්ක ඔයාට අවස්ථාව එනවා කියාය.. වෛද්‍ය පරීක්ෂණ තුළින් අසන්නට ලැබුණු පුවතින් ඔහු සසලව ගියේය…බිරිඳ ද දුර්මුඛව ගියාසේය..ඈ වැඩි කතාබහක් නැතිවම තම ප්‍රේමණීය සැමියා දෙස බලාගත්වනම හිඳීන්නීය. ඈ දෑස කඳුළින් තෙත් නොවූ දවසක්ද නැති…තමන්ට දැනෙනා වේදනාව ඔහු හා කතා නොකළ යුතුය..ඕ එය තනිව දරා සිටින්නීය..
අපේ සොඳුරු කතානායකයාගේ උදරයේ පිළිකාවක් බවට වෛද්‍ය නිර්දේශය විය.. බිරිඳ පියසීලී ඒ ඇසූ මොහොතේ සිට කම්පිත හදිනි..ඇය තම දරුවන් තිදෙනා තුරුලුකරගත්වනම පසුවන්නීය.. පවුලේද කාගේත් හිත් සසලව ගියාක් වැන්න..අපේ ගාමිණී නිතර පැමිණ ඔහුගේ සුවදුක් විමසන්නේය..එඩී ජයමාන්නයන් ද ඔහු පිළිබඳ විමසන්නේය..
” සැත්කමක් තියෙනව කියල දොස්තර කියනවනෙ. ඒ සැත්කම කළාට පස්සෙ මම ආයෙත් රගපාන්නට එනවා..” ඔහු එඩී ජයමාන්න ට එසේ කීවේය..බරපතළ අසනීප තත්ත්වය ගැන තමන් විමසා සිටියදී …ඉදිරියේදී තමන් චිත්‍රපට වෙනුවෙන් කැපවන බව පැවසීමෙන් වඩාත් සතුටට පත්වූ එඩී ජයමාන්නයන් එය පුවත්පතකටද ලියුවේ එතරම් ඔහු සිනමාවට දක්වන ළෙන්ගතුකම නිසාවෙනි.
අපේ කතා නායකයාණේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණි..දැන් අපේ කතා නායක තෙමේ වයසින් අවුරුදු 49 වියට ආසන්නයේය..
” අපිත් හරි පොඩියි…අයියාට අටක් විතර ඇති….අක්කාට හතයි..මට වයස අවුරුදු පහයි…අපෙ අම්මාට මේ තත්ත්වය කොහොමට දැනෙන්න ඇතිද කියා මට හිතාගන්නත් බැරි තරම්..”
කාංචන ඒ ටික කීවේ ඉවත බිමබලාගත්වනම ය.
ගාමිණී බොහෝ උදව් උපකාරයට කැපවී සිටියා පමණක්ම නොව තම සමීපතම මිත්‍රයා නෙල්සන් සුවපත් වේවායි පතා කතරගම දේවාලයටද බාරහාර වූයේය.
අපේ කතා නායකයාගේ සුවදුක් බැලීමට රෝහලට පැමිණියේ කලෙක සිට දන්නා කියන ඔහුගේ හිතමිතුරු මාධ්‍යවේදියෙකි…
” ඔයා මගේ කලා ජිවිතය ගැන ගොඩක් දේ පත්තරයට ලියා තියෙනව මට හොඳීන් මතකයි..ඒවාට ඔයාට මං ස්තුතිවන්ත වෙනවා…මට ආයෙත් රඟපාන්නට එන්න බැරිවෙයි…මං මැරුණාමත් ඔයා ඒ බව රටටම කියන්න…අපි උපන්නොත් මැරෙනවාමනෙ…”
අපේ ප්‍රේමණීය නෙල්සන් කරුණාගම බිඳුණු ස්වරයෙන් කියන්නේය.
” අපෙ තාත්තාගෙ අසනිපයත් එක්ක අපෙ අම්මාට ගෙදර බර වැඩිවුණා..අපෙ අම්මාගෙ හිතේ කවදත් තිබුණේ අපෙ තාත්තා ගැන ලොකු භක්තියක්…ආදරයක්…”
කාංචන කියන්නේය…
” අපෙ අම්මා අපට කියල තියෙනව අපෙ තාත්තා චිත්‍රපට රඟපෑම වෙනුවෙන් ලොකු කැපවීමක් කරල තියෙනව කියලා..මම දන්න තරමට අපෙ තාත්තා අන්තිමට රඟපෑවෙ සංගීතා කියන චිත්‍රපටයෙ…එය උප ප්‍රධාන චරිතයක්…මටත් ඒ ක්ෂෙත්රයට ලොකු ආසාවක් තිබුණා..ඒත් ඒ ගැන කුසලතාව උරගා බලන්නවත් අවස්ථාවක් ලැබුණෙ නැහැ…මාලිනී ෆොන්සේකා මහත්මිය මට ටෙලි නාට්‍යයක රඟපාන්න යොමු කළා..එතුමිය අපෙ තාත්තා ට තියෙන ලැදියාවත් අපේ පවුලටම දැක්වූ හිතවත්කමත් නිසාත් එම අවස්ථාව මට ලැබුනේ..හැබැයි මගෙ වෘත්තීය පැත්තෙන් වෙනත් පළාතකට මාරුවීම් ලැබුණා නිසා මට මගේ ගමනක් හදාගන්නට බාධා මතුවුණා…”
” ඒ කාලෙ අපෙ මාමාගෙ ගීත නිතරම වගේ ගුවන් විදුලියෙන් ඇසුණත් දැන් ඒ ගීත ඇහෙන්නෙම නැහැ…”
ඒ ටික කීවේ මෙතෙක් නිහඬව හුන් මාලා පද්මිණී ය.
“අපෙ තාත්තා ගැයූ ගීත තවදුරටත් ආරක්ෂා කරන්න ගුවන් විදුලිය සමඟ මම කටයුතු කරන්න සූදානමින් ඉන්නෙ..ඉදිරියේදී චිත්‍රපට කර්මාන්තයට නිෂ්පාදකවරයකු හැටියට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා..” කාංචන ඒ ටික කීවේ මා විමසූ පැනයකට පිළිතුරු ලෙසිනි.
අපේ කතා නායක තෙමේ උදර පිළිකාවකට බඳුන්ව ඇති බව දැනගත් රෝයි ද සිල්වා සිය බිරිඳ සුමනාද සමගින් නිවසට පැමිණ විමසා මහත් කම්පාවට පත්වූයේය..
” මට නෙල්සන්ව හඳුනාගන්න අවස්ථාව ලැබුණෙ සැඟවුණු මැණික චිත්‍රපටයෙදි…එදා සිට මේ වනතුරු අපේ යාළුකම එන්න එන්න වැඩිවුනා මිසක් අඩුවක් වුණේ නම් නැහැ..ඒ තරම් හොඳ යාළුවෙක්…හොඳ මහත්මයෙක්..නෙල්සන් වගෙ කෙනකුට මෙහෙම අසනිපයක් හැදුණාය කියල අහපු වේලේ මම කම්පාවට පත්වුණා…මේ වගේ හොඳ මනුස්සයකුට මෙහෙම වුණේ ඇයි කියලා..”
රෝයි පුවත්පතකටද එසේ කියා තිබුණේය..
එම අසනිපයෙන් අපේ කතා නායකයා බෙහෝ දුකකට බඳුන් වූයේය…බිරිඳගේ දෑස තෙත්වන වාර අනන්තය. ඕ තම දරු තිදෙනා දෙස බලා සුසුම්ලන්නීය..
” කවදාවත් කාගේවත් හිතක් රිදවන්න අපෙ මාමා කැමති නැහැ…මම රටම දන්න කෙනෙක් කියා හිස උදුම්මවා ගත්තෙත් නැහැ. මාමා ළඟ තිබුණේම සරල ගති පැවතුම්…අපෙ මාමාට පැවිදි උතුමන් පවා බොහොම සමීපව සිටියා..හරීම නිහතමානියි.”
මාලා පද්මිණී කියන්නීය..
අපේ සොඳුරු කතා නායක තෙමේ තවමත් පෞද්ගලික රෝහලේ ගිලන් යහනක වැතිරගත් ගමනිනි…වහලය දෙස බලාගත්වනම වේදනාවෙන් පසුවන්නේය.
තවත් පැයක් දෙකක් ගතවන්නට ඇත…ඔහුගේ රෝගී තත්ත්වය තවත් උත්සන්න වන්නේය.
සැත්කම සිදුකෙරිණි…තත්ත්වය එලෙසමය…
තවත් ගතවුයේ කෙටි කාලයකි…අපේ ආදරණිය මානව හිතවාදී කතා නායකයා වෙනුවෙන් එම රෝහල් වාට්ටුවේ අපේ කතා නායකයාට කළ සැත්කම හා ප්‍රතිකාර වෙනුවෙන් ඉදිරිපත් කළ බිල්පත ගෙවා දැමූවේ ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රමයන්ය..
ඔවුහු කතාබහක් නැතිවම නිහඬව ම පසුවන සිය හෘදයාංගම සහෘදයාණන් දෙස කම්පිත හදින් බලා සිටියහ…
රිදී තිරය…වේදිකාව සේම සිය ගැයුම් සිරිතද සිරිමත් කරමින් සහසක් දෙනාගේ ගෞරවයට..ආදරයටම බඳුන් වූ නෙල්සන් කරුණාගමයන් වයසින් අවුරුදු 49 ට පා තබමින් තම දෑස පියාගත්වනම යළි අවදි නොවනා දිගු නින්දකට වැටී සිටියේය….
එනම් ඔහුට පෙම්බැඳී සියල්ලනගේ නෙත් කඳුළට බර කරමින් ඔහු නික්ම යන්නට වූයේ 1975ක්වූ ජනවාරි මස 21 වනදාය…
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ