ඈත කඳු වළලු පිසගෙන එන හී ගඩු පිපෙන සුළං පාර විඳීන්න මම ආසයි. මේ කඳු වළලු මැද්දේ ගෙවුණු ජීවිත කාලේ පුරාම ඒ හීතල මගේ උණුසුම් හදවතට තනි රැක්කා කියලා මට හිතෙනවා. අද මම ඉන්නේ කොහෙද? මොනවද කරන්නේ කියලා හිතනකොට එදා පුංචිම පුංචි ගැහැනු ළමයෙක් විදියට ගෙවුණු මගේ අතීතයට අදටත් මම හරි ආදරෙයි. අදටත් මට ආදරේ කළ හැකි, ඉසිඹුවක් ලද සැණින් යන්නට කැමැති ඓතිහාසික සෙංකඩගල පුරවරයත් එක්ක මට තියෙන බැඳීම කොතෙක්ද කියලා කියන්න අමාරුයි.
මගේ ජිවිතේ අක්මුල් සියල්ලම මේ ඓතිහාසික පුරවරය අවට ම සැරි සරනවා. මම කියන කෙනා මේ ලෝකෙට පැමිණෙන්නේ මගේ අම්මගේ තාත්තගේ බල මහිමයෙන්. මේ දෙන්නම මගේ ජීවිතේට දැඩි විදියට බලපෑම් කල දෙදෙනෙක්. මම කියන තැනැත්තිය අද නිර්මාණය වෙලා තිබෙන්නේ මගේ මව නම්වු අපූර්ව ගැහැනියගේ සහ පියා නම් වූ අපූර්ව මිනිසාගේ සුසංයෝගයෙන්. මේ දෙදෙනාම සතුවු හැකියාවන්, දක්ෂතාවයන්, අඩු වැඩි වශයෙන් නිසර්ගයෙන්ම ජාන ගතව මා සතු විම විශ්වයේම ආශිර්වාදයක් බව මම සිහිපත් කරනුයේ විශ්ව මාතාවට ස්තුති පෙර දැරිව.
මගේ පියා දිසානායක විජේසූරියගේ ස්ටැන්ලි ගුණසේකර මෙලොව එළිය දකිනුයේ ගම්පොළ උඩහේන්තැන්න ප්‍රදේශය ආශ්‍රිතවය. ඉහළ මධ්‍යම පාංතික පවුලක උපන් මගේ පියා ගේ පියා ඉඩම් හිමි වැවිලිකරුවෙකු හා ව්‍යාපාරිකයෙකු ලෙස පළාතේ ජීවත් වූ වැදගතෙකි. එවකට ගමේම තිබූ නිවෙස් අතරින් විශාලම නිවෙස හිමිව තිබුණේ මගේ පියාගේ පියා වූ මගේ සීයාටය. පියාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් දස දෙනෙකි. පිරිමි දරුවන්ගෙන් වැඩිමලා වූයේ මගේ පියායි. පියාට වැඩිමල් සහෝදරියන් සහ බාල සහෝදරයන්ද සිටියා මට මතකයි. අප කුඩා කාලයේ බලා කියා ගන්නට මගේ පියා ගේ වැඩිමල් සහෝදරියගේ දියණිය සහ පුතු අපත් සමඟම ජීවත් වූවා අදටත් මට මතකයි. ඉතාමත්ම ආදරයෙන් ඔවුන් කුඩා අපිව ඔවුන් බලා කියා ගත්තා.
තාත්තා ඉගෙන ගෙන රැකියාවක නියුතු වු පසු ඔහුගේ බාල සොයුරන්ගේ අධ්‍යාපන වියදම්ද ඔහු විසින් දරා ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ බාප්පාගේ බොහෝ උවමනා එපාකම් සපුරා ඇත්තේ ද තාත්තා විසිනි.
තාත්තට ඕන වුණේ මට ඉහළට උගන්වන්න. ඒකට පසුබිම සැකසෙන්න ඇත්තේ තාත්තගේ පවුල් පසුබිමෙන්ම වෙන්න ඇති. තාත්තගේ බාල සහෝදරා, අපේ බාප්පා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබපු කෙනෙක්. ඒ නිසා තාත්තා හැමමොහොතෙම අපට උදාහරණයට ගත්තේ බාප්පව.
ඉස්සර තාත්තා මමත්, නංගිත්, මල්ලිත් අරගෙන ගම්පොළ යනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලය අපට පෙන්වනවා.
“ඉස්කෝලෙ ගිහින් ඉවර වුණාම ඔයා යන්න ඕන මෙතන්ට තමයි.”
තාත්තා පුංචි මට කියනවා.
“බාප්පා වගේ කොහෙම හරි විශ්ව විද්‍යාලේ යන්න ඕන”
තාත්තා මගේ ඔළුව අතගාමින් කියන කොට පුංචි මගේ හිතේ විවිධ සිතුවිලි මතු වෙනවා. මෙතෙන්ට කොහොමද එන්නේ? මෙතෙන්ට එන්න මොනවද මම කරන්න ඕන. කොහොම හරි තාත්තාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕන වගේ කාරණා වලින් මගේ හිත පිරෙනවා. මේ සිතුවිලිත් එක්ක ඈත මීදුමෙන් වැහෙන කඳු යාය සිසාරා හමන සීතල සුළං පොදක් මගේ මුහුණ මත පතිත වෙද්දි දන්නෙම නැතුව මට බස් එකේ නින්ද යනවා.
අනේ ඒ අතීතේ කොයි තරම් ලස්සනද?
තාත්තගේ උණුසුමට තුරුලු වුණු අපි තුන්දෙනා ජීවිතේ දිනන්න ඒ උණුසුමෙන්ම ඉගෙන ගන්නවා.
තාත්තාගේ පවුලේ අනිත් සහෝදරයොත් හොඳට ඉගෙන ගත්තා. එක්කෙනෙක් යුධ හමුදාවේ සේවය කළා. තව එක්කෙනෙක් පොලීසියේ සේවය කළා. තාත්තා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළා. තාත්තාගේ පවුලේ ගැහැනු සාමාජිකයන් නම් රැකියාවන් කළේ නෑ. ඔවුන් හොඳ පවුල් ජීවිත ගත කළා.
තාත්තා ඒ කාලේ ඉස්කෝලෙ ගිහින් තියෙන්නේ නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලයට. තාත්තාගේ මහ ගෙදර ළඟ ඉඳලා සැතපුම් 6ක දුරක් පයින් ඇවිදගෙන ඉස්කෝලෙට ගිහින් තියෙන්නේ. මේ පාර වැටිලා තියෙන්නේ පුංචි පුංචි අඩි පාරවල් ඔස්සේ. මේ හින්දම සීයා ඒ කාලේ තාත්තා ඉස්කෝලෙ ළඟ ගෙදරක බෝඩිං කරවනවා. ඒ වුණාට තාත්තා ඒ බෝඩිමේ දවසක් දෙකකට වඩා ඉඳලා නෑ. ගෙදර මතක් වෙනවා කියලා ආපහු ඇවිදින්.
ඊට පස්සේ උදේ පාන්දර 4ට ගෙදරින් පිටත්වෙලා පයින්ම පාසලට යන්න පිටත්වෙනවලු .තාත්තාගේ තනියට ගෙදර වැඩ කරන ළමයා එළිය වැටෙන තුරු පස්සෙන් එනවලු. දවසට සැතපුම් 12ක් ඇවිදින්න ඕන නිසා ඉක්මනට සපත්තු ගෙවෙනවලු. ඒ නිසාම උදේ ගෙදරින් යනකොට දාගෙන යන්නේ සෙරප්පු දෙකක්ලු.
තාත්තා ඒ කාලේ කියපු කතා තවමත් මට මතක් වෙනවා.
“පුතේ …. මම ලෝකෙ වටේ ඇවිද්ද තරමට ඉස්කෝලෙ යන්න ඇවිද්දා.. ..
පස්සේ කාලෙක තාත්තා කියනකොට මට ඇතිවුණේ පුදුම තරම් දුකක් ඒ වගේ අත්දැකීම් කවදාවත් අපට විඳීන්න තාත්තා ඉඩ තිබ්බේ නෑ
අපේ තාත්තාට හොදට මහන්න පුළුවන්. ඒකාලේ මට යුනිෆෝම් මහල දුන්නෙත් තාත්තා. මම දවසක් අහනවා තාත්තාගෙන් එයා මහන්න ඉගෙන ගත්තේ කොහොමද කියලා. ඇත්තටම එයා මහන්න ඉගෙන ගෙන තියෙන්නේ එයා විසින්මයි. දවසක් එයා කමිසයක් මහ ගන්න රෙදිත් අරගෙන ටේලර් ෂොප් එකකට ගිහින් තියෙනවා. ටේලර් ෂොප් එකෙන් කියලා තියෙනවා රෙදි ප්‍රමාණය ෂර්ට් එකක් මහන්න මදි කියලා. මේ නිසා තාත්තා ගෙදර ඇවිත් එයාගේ පරණ ෂර්ට් එකක් ලෙහලා ඒකට තියලා අලුත් ෂර්ට් එක කපාගෙන තනියම මහගෙන. ඒ විදියට තමයි මහන්න ඉගෙන ගෙන තියෙන්නේ. මම ඉස්කෝලෙ යනකාලේ තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකම් මඟබලාගෙන ඉන්නේ. මගේ හෝම් වර්ක් කියලා දෙන්නේ තාත්තා. කොයිතරම් මහන්සි වෙලා ආවත් කවදාවත් ඒවා අතපසු කළේ නෑ.
ලබන සතියේ
අම්මගේ පරම්පරාව…..
හේමාලි විජේරත්න