ඉන්දියානු සිනමාව තුළ ජනප්‍රිය ගණයේ වාණිජ සිනමා ධාරාවට විකල්පව කලාත්මක ධාරාවේ සිනමාව දැවැන්ත මෙහෙවරක් ඉටු කරමින් සිටී. ඉන්දියාවේ මහ පොළව මත දැවෙන සමාජ ප්‍රශ්න පිළිබඳ සවිඥානිකබවින් යුතුව ඉන්දියානු සිනමාකරුවන් තම සිනමා ප්‍රකාශන වෙත කේන්ද්‍ර කර ගනී. දරිද්‍රතාවය, විරැකියාව, අවවරප්‍රසාදිත තාරුණ්‍යය, අධ්‍යාපනික ගැටලු, ආගමික මුලධර්ම මත පිහිටි ව්‍යාජ ආවරණ පිළිබඳ යනාදි අටෝරාසියක අර්බුද සහ ප්‍රශ්න සිනමාපට සඳහා තේමා වෙති.
වර්තමානයේ පවතින තාක්ෂණික ධනවාදය (Technocapitalism) විසින් ලෝක ජනගහනය වෙත ඇති කර ඇති බලපෑම දරුණු විධියේ ප්‍රතිවිපාක ගෙන දෙමින් තිබේ. වර්තමානයේ සුහුරු ජංගම දුරකථනයේ (Smart Phone) සිට ටෙස්ලා මෝටර් රථය දක්වා මිනිස් ජීවිතවල සාරය සම්පූර්ණයෙන්ම පාහේ ගිල ගනිමින් සිටිනවා. සරල ජීවිතයක් ගෙන ගිය මිනිසාට සුහුරු ජංගම දුරකථනය අතට පත් වීම මඟින් අවශ්‍යතා මොහොතින් මොහොත ඉහළ දමමින් පවතින්නේ නොසිතූ විරූ අන්දමට. ජංගම දුරකථනය මානවයාගේ ශරීරයේ අවශේෂ අස්ථියක් බවට පත්ව ඇති තරමටම එය බද්ධ වී ඇත. ජංගම දුරකථනය නොමැතිව ජීවිතයක් පවත්වා ගත නොහැකි තරමට අපගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කර ඇත. වර්තමානයේ විරැකියාවට තාවකාලික විසඳුමි පවා දෙන්නේ ජංගම දුරකථනයයි. ජංගම දුරකථනය හා බැඳුණු වෘත්තින් අතර වර්තමානයේ භාණ්ඩ හුවමාරු කිරීමේ ජංගම සේවා වෘත්තිය පිළිබඳ තේමා කරගත් අපුරු චිත්‍රපටයක් නිර්මාණය වෙයි.
බොලිවුඩයේ නිළියක සේම අධ්‍යක්ෂිකාවක් ද වන නන්දිතා දාස් විසින් 2023 වසරේදී අධ්‍යක්ෂණය කළ ‘Zwigato’ (ස්විගාටෝ) බොලිවුඩ් චිත්‍රපටය හරහා ප්‍රකාශ වන්නේ තාක්ෂණික ධනවාදය හරහා උප්පත්තිය ලද ‘Zwigato’ නමි ඩිලිවරි ඇප් එකක් භාවිතයෙන් ආහාර බෙදා හරින මෝටර් සයිකල් රියදුරකුගේ(Food Delivery Driver) ජීවිතයක එක් පැතිකඩකි. මෝටර් සයිකලයෙන් පාරිභෝගිකයන් ඇණවුමි කරන ආහාර බෙදා හැරීම ජීවිතය කරගත් ‘මානස්’ නමැති මැදි වියේ පුද්ගලයා විවාහකයෙකි. ඔහු දැඩි වගකීම් සහිත අයෙකි. ආර්ථික අපහසුතාවවලින් දැඩි සේ බැට කන්නෙකි. බිරිඳ, මහලු වී එකතැන් වූ මව, පාසල් වයසේ පසුවන තම දරුවන් දෙදෙනා පෝෂණය කිරීම මනස්ගේ වගකීමයි. ඔහු ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිල වනුයේ දාඩිය මහන්සිය වගුරුවන තම වෘත්තියයි. පාරිභෝගිකයාගේ අවලාද, බැණුමි ඉදිරියේ ආත්ම ගෞරවය දිය වෙන, සොච්චම් මුදලක් උපයා ගැනීම මනස්ගේ ජීවිතයේ අරමුණයි.
මානස්ගේ ශ්‍රමය වෙනුවෙන් ඔහුට සාධාරණ වටිනාකමක් නම් ලැබෙන්නේ නැත. ඔහුගේ ශ්‍රමය සුරාකෑමට ලක්වනවා පමණක් නොව ඔහුගේ අයිතිය වෙනුවෙන් කිසිවෙකු ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. තම වැටුප සහ වෘත්තිය අයිතිවාසිකම පිළිබඳ ආයතනයේ වගකිව යුත්තන් හමුවේ ප්‍රශ්න කළ විට ඔවුන් මානස්ට කන් දීමට සුදානමි නැත. ඔහුගේ වෘත්තිය වෙනුවෙන් මිලියන ගණනින් රැකියා විරහිතයන් එළියේ බලා සිටින බව පවසමින් මානස්ව අසරණ කරයි. විරැකියා හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 235ක් දෙනා පීඬා විඳීති. ඉන්දියාවේ විරැකියාව සම්බන්ධ තත්ත්වය නම් සෑහෙන දරුණු ය. ජනගහනයට සාපේක්ෂව මිලියන ගණනක ජනතාව විරැකියාවෙන් බැට කති. මානස්ගේ රස්සාව අහිමි වෙයි. ඔහුගේ අයිතිවාසිකම්වලට හඬක් නැත. Zwigato ආයතනයෙන් මානස් එළියට විසි කර දමන්නේ කිසිදු සදාචාරාත්මකභාවයකින් තොරව ය. සේවක අයිතීන් නැත. රැකියාවේ සුරක්ෂිතභාවයක් ද නැත. මේ යුගය තාක්ෂණික ධනවාදය අත්පත් කරගත් කුරිරුසම්පන්න එකක් යැයි කියන්නේ එහෙයිනි.
‘මානස්ගේ’ බිරිඳ ‘ප්‍රතිමා’ ද නගරයේ සාප්පු සංකීර්ණයක මෙහෙකාරියක ලෙස වැඩට යන්නේ පවුලේ ආර්ථිකයට සම්මාදම් වනු පිණිස ය. ගෘහනියක් ලෙස ද මෙහෙකාරියක ලෙස ද ජීවිතයේ සමබරතාව රඳවා ගැනීමට ඇය නිරත වන අරගලය වර්තමානයේ කාන්තා ප්‍රජාව මුහුණ දෙන තත්ත්වය පිළිබඳ ප්‍රකාශිත වෙයි. ආර්ථික දුෂ්කරතා විසින් විවාහ ජීවිතය මත යොදන දැඩි පීඩනය ඛේදනීය වේ. ආර්ථික දුෂ්කරතාවලින් හෙමිබත් වීම නිසා ම මේ දෙපළට ලිංගික ජීවිතය ද මඟ හැරෙයි. මානව සබඳතා මඳකට විසන්ධි වෙයි. මුහුණේ අව්‍යාජ සිනහවක් රැඳෙන්නේ නැත. මුහුණු පුරා ප්‍රශ්නවලින් බෙිරෙයි.
මානස්ගේ චරිතය නිරූපණය කරන්නේ සුප්‍රකට ප්‍රහසන රංගන ශිල්පියෙකු වන කපිල් ශර්මා විසිනි. ඔහු චිත්‍රපටයේ ‘මානස්’ චරිතය වෙනුවෙන් සිදු කරන දැඩි සංයමයක් සහිත රඟපෑම අව්‍යාජ වූ සිත්ගන්නා එකක් බවට පත් වෙයි. ප්‍රතිමා චරිතය නිරූපණය කරන්නේ බොලිවුඩයේ සම්මානලාභි රංගන ශිල්පිනියක වන ‘ෂහානා ගොස්වාමි’ විසිනි. මේ වසරේ ජනවාරි මස පැවති ’69වැනි ෆිල්ම්ෆෙයාර්’ සම්මාන උළෙලේදී ‘Zwigato’ චිත්‍රපටය ‘හොඳම චිත්‍රපටය’, හොඳම නිළිය’ සහ ‘හොඳම කලා අධ්‍යක්ෂණය’ යන සම්මාන ත්‍රිත්වයක් වෙනුවෙන් නිර්දේශ විය. ‘ස්විගාටෝ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘නන්දිතා දාස්’ ඉන්දියාවේ කලාත්මක ධාරාවේ සිනමාව තුළ කැපී පෙනෙන අධ්‍යක්ෂකවරියකි. ඈ විසින් 2008 වසරේ පළමුවරට අධ්‍යක්ෂණය කළ ‘Firaaq’ චිත්‍රපටය සම්මාන පිට සම්මාන දිනු විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් විය. ඇය දෙවන වරට 2018 වසරේ අධ්‍යක්ෂණය කළ ‘Manto’ චිත්‍රපටය ද සම්මානනීය චිත්‍රපටයක් විය.
‘ස්විගාටෝ’ යනු නන්දිතා අධ්‍යක්ෂණය කළ තුන්වැනි වෘතාන්තමය චිත්‍රපටයයි. ‘ස්විගාටෝ’ චිත්‍රපටය පිළිබඳ ‘ද හින්දු පුවත්පතේ එස්.ආර් ප්‍රවීන් විචාරකයා සඳහන් කළේ ‘අති දක්ෂ ලෙස වියන ලද. නව කම්කරු පන්තියේ සංවේදීමය යථාර්ථවාදී කතාවක්’ ලෙසිනි. ‘Zwigato’ චිත්‍රපටය මුළු ඉන්දියාවේ වෙසෙන විරැකියාවෙන් පෙළෙන ප්‍රජාවගේ යථාර්ථවාදී වු නිරූපණයකි. ‘ගිග් ආර්ථිකය’ පිළිබඳ විවේචනය කරමින්, එය සමකාලීන ඉන්දියාවේ සමාජ-ආර්ථික අසමානතාවයේ කැඩපතක් ලෙස හැසිරෙයි. නාගරික පහසුව සඳහා ඉඩ සලසන මුහුණු නැති කම්කරුවන් සමඟ සංවේදීව සිතීමට නරඹන්නන් වෙත බල කරයි. සිනමාපටයේ තේමාව ලංකාවේ සමාජයටත් අතිශය සමීප වේ. ජීවිතය සමඟ පොරබඳන අස්ථායී ජීවනෝපායන්ට මුහුණ දෙන අසංඛ්‍යාත ඉන්දියානුවන්ගේ කලකිරීම සහ බලාපොරොත්තු සුන්වීම පිළිබිඹු කරන ගැඹුරු වූ කාලෝචිත ප්‍රකාශනයක් ලෙස ‘Zwigato’ යනු වසරේ නැරඹු කදිම චිත්‍රපටයකි.
ඉමල්ක විතානගේ