ලාංකේය සිනමාවට පසුගිය මැයි මාසය දුක සතුට දෙකම කැන්දන මාසයක් වූයේය. දුක් වීමට කාරණාව නම් හෙළයේ නිළි රැජිනිය මාලිනී ෆොන්සේකාගේ සදාතනික නික්ම යෑමය. සතුටට කරුණ නම් මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ සිනමා කිවිඳීය සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැනු ළමයි චිත්‍රපටය 78 වැනි කෑන්ස් සිනමා උලෙළෙහි තිරගතවීමය. ඒ නිමිතිකොට ගෙන ගැහැනු ළමයි ප්‍රධාන චරිතය මැවූ ප්‍රතිභා පූර්ණ ප්‍රවීණ රූපණවේදිනී වසන්ති චතුරානි ඇතුළු මෙරටට නියෝජිතයින් කෑන්ස් රතු පළස මතින් ඇවිද යාමේ ප්‍රහර්ෂය ය.
සත්‍ය වශයෙන්ම මෙකී කාරණාව රටක් වශයෙන් අතිශයින්ම ආඩම්බර විය යුතු කාරණාවකි. කර්මාන්තයක් වශයෙන් අප වැනි කුඩා රටකට කෑන්ස් උළෙල යනු එක්තරා අන්දමක සිහිනයකි. එහෙත් මේ කුඩා කර්මාන්තයක් හිමි ශ්‍රී ලංකාව කෑන්ක්ස් උලෙළෙහි අවධානයට යොමු වූවා යන්නම මෙරටට මෙන්ම මෙරට සිනමා කර්මාන්තයට ලැබුණු සුවිශේෂී ගෞරවයකි.
ගැහැනු ළමයි සිනමා පටය නිර්මාණය වනුයේ 1978 වර්ෂයේදීය. සුමිත්‍රා පීරිස්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙසින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය හරහා මෙරට සිනමාවට නවක මුහුණු රාශියක්ද හඳුන්වා දුන්නේය. මෙවර කෑන්ස් උළෙලේ ගැහැනු ළමයි තිරගත වූයේ සංරක්ෂණය කරන ලද කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය නම් අංශය යටතේය. මේ සඳහා මෙවර ලංකාවෙන් සුමිත්‍රා පීරිස්ගේ චිත්‍රපටයක් සහ ඉන්දියාවෙන් සත්‍යජිත් රේගේ චිත්‍රපටයක් තෝරාගෙන තිබිණ.
කෑන්ස් උලෙළේ අභිමානවත් රතු පළස මතින් ඇවිද යන්නට ගැහැනු ළමයි හි ප්‍රධාන චරිතය වූ “කුසුම්ගේ චරිතය නිරූපණය කළ ප්‍රවීණ රංගන ශිල්පිනී වසන්ති චතුරාණි, අජිත් ජිනදාස, ශා්‍යමා ආනන්ද මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ වර්තමාන සභාපති සුදත් මහදිවුල්වැව ද සහභාගි විණ.
මෙම අභිමානවත් මොහොතේ රතුපළසේ ඇවිද යන ප්‍රවීණ රංගන ශිල්පිනිය වසන්ති චතුරානි සමඟ ශ්‍යාමා ආනන්ද පසුගියදා අප හමුවූයේ ඒ අසිරිමත් මොහොතේ අත්දැකීම් බෙදා හදා ගැනීමටය.
“ඇත්තටම මේ ගමන ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මේ වෙලාවේ අති විශේෂයෙන් මතක් කරන්න ඕන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිතා පීරිස් මැතිනියව. මේ දෙපළට මගේ ගෞරවනීය ආචාර්ය මේ මොහොතේ පිරිනමනවා. මට සිනමාවට එන්න අවස්ථාව ලැබෙන්නේ සුමිත්‍රා පීරිස් මැතිනිය නිසා. මම පාසල් යන ශිෂ්‍යාවක් විදිහට ඉන්නකොට තමයි ඇය මාව මේ චරිතයට තෝරගත්තේ. එදා ඉඳන් අද දක්වාම මාව මේ තලයට රැගෙන ආවේ මේ දෙන්නා. මගේ ජීවිතේ කොහේ හරි ආත්මයක මගේ ළඟින්ම හිටපු දෙන්නෙක් වෙන්න ඕන. සුමිත්‍රා මැතිනිය නිසා තමයි අද දවසේත් අපට මේ ගමන යන්න ලැබුණේ. කෑන්ස් උළෙලේ ජතචඵඵඪජ කියන අංශයට අදාළ මේ චිත්‍රපටය ඇගයීමට ලක්වුණේ ඇයගේ තිබුණු දක්ෂතාවය නිසයි ඇය ලන්ඩන්හි ඔක් ෆර්ඩ් වල කලාව පිළිබඳ, සිනමාව පිළිබඳ ඉගෙන ගත්ත කෙනෙක්. ඇය පරිපූර්ණ චරිතයක්. ඒ වගේම ඇය විවාහ වුණේ සිනමාව පිළිබඳ පරිපූර්ණ චරිතයක් වන ලෙස්ටර් පීරිස් මැතිතුමා සමඟ එතුමා අපේ ලංකාව ලෝකයට ගෙන ගිය කෙනෙක්.
නමුත් මම දන්නෙ නෑ ඇයි අපේ මිනිස්සු ඒක අගය කරන්නේ නැත්තේ කියලා. මට හරිම කණගාටුයි. මම කෑන්ස් ගියාම ඒ කෑන්ස් උළෙලේ අය දන්නේ ලෙස්ටර් පීරිස් නාමය විතරයි; ලංකාවෙන් කිව්වම. අපේ මිනිස්සුන්ට ඒක අගයක් නෑ. ඒ වගේම මට හිතෙනවා අපේ කෑන්ස් ගමනේ වුණ සුවිශේෂීත්වය පිළිගන්න කැමතිද අකමැතිද කියලා මට තේරෙන්නේ නෑ. නමුත් කැමති වුණත් අකමැති වුණත් අපි යන්න ඕන තැනට ගියා.
78 වැනි කෑන්ස් උලෙළේ ගැහැනු ළමයි තිරගත වූයේ සංරක්ෂණය කරන ලද කලාත්මක චිත්‍රපට ගණයටය. මෙම චිත්‍රපටය ඩිජිටල්කරණය උදෙසා භාරදී තිබුණේ ප්‍රංශයේ ඩඥපඪබචඨඥ ටධභදඤචබඪධද ආයතනය වෙතය. ඉන් ඩිජිටල් කර තැන්පත් කර තිබූ පිටපත එදින ප්‍රදර්ශනය වුණා.
චිත්‍රපටය නියෝජනය කරමින් මමත්, ශ්‍යාමා ආනන්දත්, අජිත් ජිනදාසත් මෙයට සහභාගී වූවා. සුමිත්‍රා මැතිනියගේ සහෝදරියගේ දියණිය වන ගයාත්‍රිත් මේ අවස්ථාව සඳහා සහභාගී වූවා. මේක ඇත්තටම හරි අමරණීය දෙයක්. මට පුදුම හිතුණා නැවත මේ චිත්‍රපටය නරඹද්දී. අපි තවමත් සිනමාවේ ඉන්නවා නේද කියලා දැනුණා. එදා ඒ කරපු රංගනය තවමත් අගය කරනවා. එදා එතුමියගෙන් ඉගෙන ගත්ත බොහෝ දේ ගැන යළි යළිත් මතකයට ආවා. මම හරි වාසනාවන්තයි කියලා මට දැනුණා. ඔවුන් දෙපළගේ ඇසුරින් සිනමාවට පිවිසීමට තරම් වාසනාවක් මට තිබුණා. අද මුළු ලෝකයක් බලා සිටින කෑන්ස් උළෙලේ ලංකාව නියෝජනය කරමින් රතු පළස මතින් ඇවිද යාමේ වාසනාව මට හිමි වුණා. ඒ ගැන නිහතමානි සතුටක් මට තිබෙනවා. ඒ වගේම චිත්‍රපටයේ මගේ යෙහෙළිය ශ්‍යාමාත් මාත් සමඟම මෙයට සහභාගි වීමට ලැබීමත් ලොකු සතුටක්.
ඇත්තටම මේ චිත්‍රපටය කාන්තාවකගේ පළමු සිනමා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය වගේම ඒ හරහා නවකයින් හඳුන්වාදීම මෙන්ම ඔවුන් ඒ ඒ චරිතයන්හි දැක්වු නිර්මාණශිලිත්වය සුවිශේෂිය. අනිත් පැත්තෙන් සංස්කරණය දක්ෂතාවය රූප රාමුවල ආකර්ෂණය නළු නිළියන් හැසිරවිම වැනි සියලු සාධක හේතු කරගෙන තයි මෙසේ මේ චිත්‍රපටය ඇගැයීමට ලක් වෙන්නේ. එහි සාමාජිකයා විදිහට අපිත් ඛ්චදදඥඵ රතු පලස මතින් යන්න වාසනාවන්ත වුණා. කලාකරිනියක් විදිහට යන්න පුළුවන් ඉහළම තැනට ගියා කියන සතුට අද මා ළඟ තියනවා. මේ ඇගයීමත් එක් අති විශාල පිබිදීමක් සිනමාව වෙනුවෙන් මගේ හදවත තුළ තිබෙනවා.
මේ සිනමා උළෙලට සහභාගි වෙන්න පුුළුවන් ආරාධිතයන්ට පමණයි. එදා මුළු ප්‍රේක්ෂාගාරයේම සම්පුර්ණයෙන් පිරිලා තිබුණේ ප්‍රංශ ජනතාවගෙන්. චිත්‍රපටයේ උපසිරුසි සකසලා තිබුණේ ප්‍රංශ භාෂාවෙන්. චිත්‍රපටය නිම වුණාට පස්සේ විනාඩි 15ක් වැනි දීර්ඝ කාලයක් නොනවත්වා ලැබුණු අත්පොළසන් නාදයෙන් අපට හිතාගන්න පුළුවන් වුණා මේ චිත්‍රපටයට ඔවුන් කොයිතරම් ආකර්ෂණය වෙලා තිබුණ ද කියන්න. ඇත්තටම ඒ වෙලාවේ දැනුණ සතුට කියන්න මට වචන නෑ.
පාසල් ශිෂ්‍යාවක ලෙසින් සිනමා ජීවිතය ඇරඹු ඇය අද මේ මොහොත වන විට සම්මාන ප්‍රභේද රාශියක් දිනා ගනිමින් කෑන්ස් රතුපලස මතින් ද ඇවිද ගොස් හමාරය. එහෙත් ඈ සිනමාවට පිවිසි ඒ අතීතය සිහිපත් කරත්දී ඈ පැවසුවේ මුල්ම දවසේ නම් කැමරාවට මුහුණ දී ගත නොහී ඇඬුම් ආ බවය.
ඇත්තටම සුමිත්‍රා මැතිනිය මාව මේ චිත්‍රපටියට තෝරගන්න විට මම සිනමා කැමරාවක් දැකල තිබුණෙත් නෑ. පාසල් වේදිකාවට සම්බන්ධ වෙලා හිටියට චිත්‍රපටියක් කියන්නෙ මොකක්ද කියලා මම දැනගෙන හිටියේ නෑ. පළවෙනි දවසෙම මම බයවෙලා ඇඬුවා. සමහරු කිව්ව මාව ආපසු යවන්න කියලත් ඒත් සුමිත්‍රා මැතිනිය මට නොදැනෙන්න පාසල් දර්ශන ටික මුලින් අරගෙන ඒ බය නැති කළා. ඒ කාලේ මම ශ්‍යාමා ආනන්දට හරි ආසයි. මම නිතරම සුමිත්‍රා ආන්ටිගෙන් අහනවා ශ්‍යාමා අද එනවද කියල. ඒ වන විට ඇය පළ පුරුදු නිළියක් නිසා ඇයගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. එදා ඉදලා අද වනතුරුම ඇයයි මමයි හොඳම යෙහෙළියෝ.
ගැහැනු ළමයි චිත්‍රපටයේ කුසුම්ගේ චරිතය ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් චරිතයක් වුණා. ඒකට විශේෂයෙන්ම හේතුව වුණේ අධ්‍යක්ෂවරිය මේ චරිතය ගොඩනඟපු ආකාරය. ඒ වගේම තමයි කුසුම් ගේ චරිතයට ඔබින අන්දමේ රූප රාමු ගොඩනැගුව මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වන එම්.එස්. ආනන්ද ඔවුන් දෙදෙනාගේ දක්ෂතාවය තමයි වැඩිපුරම ඒකට බලපෑවේ.
මට හිතෙනවා අද මේ චිත්‍රපටය නැවත පෙන්වුවොත් බලන්න අය ඉඳීවි කියල. විශේෂයෙන්ම අපේ නව පරපුරට මේ චිත්‍රපටය පෙන්විය යුතුයි. මම නැවත ඉපදුණා වගේ මට දැනුනා එදා කෑන්ස් උළෙලේ මේ චිත්‍රපටය නැරඹීමෙන් පස්සේ. ඉදිරි සිනමා දිවියට සුවිශේෂී ධෛර්ය මට මේක නිසා ලැබුණා කියලා දැනුණා.
වසන්ති සමඟ එදා රතු පළස මතින් ඈ අසලින් ඇවිද ගියේ ඇගේ හොඳම යෙහෙළිය මෙන්ම චිත්‍රපටයේද ඇගේ යෙහෙළිය වූ ශ්‍යාමා ආනන්දය. විදෙස්ගතව පදිංචි වී සිටින ඇය මේ දිනවල ලංකාවට පැමිණ සිටින්නීය.
වසන්ති සමග ඇයද අපේ කතා බහට එක් වූවාය.
“ඇත්තටම මේ ගැන මට දැනගන්න ලැබුණා. මොහොතෙදිත් ඒක මට පුදුමයට කාරණාවක් වුණේ නෑ. මොකද ඒ කාලෙ ඉඳන්ම මේ චිත්‍රපටයේ ප්‍රමිතිය පිළිබඳ අපි දැනගෙන හිටියා. මම දන්නා මේ චිත්‍රපටයේ මුල් සම්භවයත් කරුණාසේන ජයලත් ගේ නවල් එක. සුමිත්‍රා පීරිස්ගේ අධ්‍යක්ෂණය, ආචාර්ය පීරිස්ගේ නිෂ්පාදනය, නිමල් මෙන්ඩිස්ගේ සංගීතය, නීලා වික්‍රමසිංහගේ මුල්ම ගායනය, එම්.එස්. ආනන්ද මගේ පියාගේ කැමරාකරණය මේ අය සියල්ලම එකතු වුණ මොන තැන තවත් මොන කතාද?
නළු නිළියන් උණත් හරිම තාත්විකව රඟපාපු චිත්‍රපටයක්. හිත යටින් මම පුදුම සතුටක් ලැබුවා. මගේ තාත්තාගේ කැමරාකරණය කෑන්ස් යන්න මට අවස්ථාවක් ලැබෙයි කියලා හිතුනේ නෑ. නමුත් ඒ අවස්ථාව කොහොමහරි ලැබුණා.
මම චිත්‍රපටය බලද්දි සිහින ලෝකෙකට ගියා. ඒ කාලේ අතීතය සිහිපත් වුණා. වසන්ති නම් තාමත් සිනමා කර්මාන්තයේ ඉන්නවා. නමුත් දැන් මම සිනමාවෙන් ඈත් වෙලා නමුත් ඉතින් අපි කොච්චර වාසනාවන්තද කියල හිතුණා.
හේමාලි විජේරත්න