Home » ඩිජිටලයිස් ප්‍රේමය ගැන අපූර්ව ගීතයක්

ඩිජිටලයිස් ප්‍රේමය ගැන අපූර්ව ගීතයක්

-ගීත රචක, නීතිඥ තරින්ද ගුණවර්ධන

by Thanushika
June 5, 2025 11:21 am 0 comment

චන්ද්‍රශ්‍රියාවි මම ඔබේ කුමාරයා
මට කියාගන්න බැරි දහසක් දේ
ලියා තියනවා මුහුණු පොතේ
මට ෂෙයාර්කරන්නට බැරි දේවල්
ඒවා තියන්නම් මැසෙන්ජරේ
වට්ස්ඇප් ටික්‌ටෝක් ඉන්ස්ට ඉමෝ
ට්විටර් කර කර කියාවී
මම ළඟදීම ඔයාගේ මුහුණු පොතේ
ඇඩ්මින් තනතුර දිනාවී

ඔය ආදර කවි ගී අසලා
මගේ ඇඩ්රිනලින් ඇත නැගල
තව ඉහළට ඉහළට එසඋනොතින්
හදවත යයි සත්කඩකට පැලිලා
චන්ද්‍රශ්‍රියාවි මම ඔබේ කුමාරයා

පනහයි සියයයි කියලා
දැන් බරටම රී ලෝඩ් කරලා
මගේ පොකට් එකට බරවැඩිඋණොතින්
ලව් එක යයි මග හැරිලා
චන්ද්‍රශ්‍රියාවි එදාට ඔබ මා බ්ලොක් කරලා

මේ දිනවල නිතර ඇහෙන ගීතයක් පිළිබඳ කතා බහට එක් වුණේ එහි රචකයා වන තරින්ද ගුණවර්ධනය. ඔහු මීට කලකට ඉහතදී ගීත රචනා ක්ෂේත්‍රයට පිවිසි තරුණ ගී පද රචකයෙකි. වෘත්තියෙන් නීතිඥයකු වන ඔහු පදිංචිව සිටිනුයේ ඕස්ට්‍රේලියාවේය. මීට ඉහත ඔහු විසින් රචනා කරන ලද නිලක්ෂි හැලපිටිය විසින් ගායනය කරන ලද ‘මගේ කොමළ පැටවුන්ගේ’ ගීතය අතිශයින්ම ජනප්‍රිය විය. කාලයේ තාලයට ගැළපෙන ආකාරයේ ගීතයක් වූ මෙය ගායනා කරන ලද්දේ ඉන්දික ලියනගේ විසිනි.

ඔබේ නවතම ගීතය රචනාවෙන්නේ කුමන පසුබිමකද?

මීට දශක කිහිපයකට පෙර ආදර හසුන් මාර්ගෙන් තමයි ප්‍රේමවන්තයා හො ප්‍රේමවන්තිය එකිනෙකාට ආදරය ප්‍රකාශකළේ. තාක්ෂණයේ දියුණුවත් එක්කම විශේෂයෙන්ම ස්මාර්ට් ෆෝන් එකත් එක්කම වත්මන් ආදර කතාවල ඇතිවීම පැවතීම සහ නැතිවීම ඩිජිටලයිස් වෙලා. ආදර හසුන් යුගය විතරක් නෙවේ දුරකථන යුගයත් දැන් අවසන්. අපි ඉස්සර ආදරය ප්‍රකාශ කළේ ලියුමක් ලියලා. වික්ටර් රත්නායකයන් ගැයූ තරු අත්අකුරින් ලියා එවමි ඔබට පෙම්පත හෝ ප්‍රේමපත්‍ර බොළඳ වචන කුළුගැන්වූ ආදරයක් වැනි ගීතත් මිල්ටන් මල්ලවාරච්ච් ගැයූ මධුමල ලෙස මුදු මගේ ප්‍රියාදර වැනි ගීතත් එයට සාක්ෂිදරනවා. පසුව දුරකථනය එනවා. කරුණාරත්න අබේසේකර සුරීන් ලියා එච් ආර් ජෝතිපාලයන් ගැයූ අතිශය ජනප්‍රිය ගීතයක් වූ දුරකථනයකින් මම ඔබ අමතමි ඒ දුරකථනය හරහා ආදරය ප්‍රකාශකළ යුගය සිහිපත් කරනවා. ආදරවන්තයාගෙන් හෝ ආදරවන්තියගෙන් ලිපියක් හෝ දුරකථන ඇමතුමක් ලැබෙනතුරු මග බලා සිටි කාලය අවසන්වෙලා. දැන් මේ සියලු ප්‍රේමකතාවල මුල මැද අග එකෙනෙකට යාකරමින් ආදර කතාව ගොඩනැගෙන්නේ වට්ස්ඇප් ටික්ටොක් ඉන්ස්ටග්‍රැම් ට්විටර් මැසෙන්ජර් ආදී නවීන සංනිවේදන මාධ්‍ය හරහා. කොටින්ම කිව්වොත් අද මිනිස්සුන්ගේ මුළු ජිවිතයම තියෙන්නේ ඔවුන්ගේ අතේ තියන ස්මාර්ට් ෆෝන් එකේ. අන්න ඒ ඩිජිටලයිස් වෙච්ච නවීන ආදර කථාව ගැන තමයි චන්ද්‍රශ්‍රියාවි ගීතයෙන් කියවෙන්නෙ.

මෙවැනි ගීතයක් ඔබ අතින් ලියවෙන්න හේතු තිබුණද?

ගේයපදරචකයෙකු ලෙස නිර්මාණකරනයේ යෙදෙන මම හැමවෙලාවේම උත්සහ කරන්නේ අපුර්වත්වයෙන් යුත් යමක් මගේ රසිකාගාරයට ලබාදීමට. මේ නිර්මාණයේදී මම උත්සහකළේ අපි හැමදාම අහන අපේ කනට හුරු සරළ ගීතයෙන් එහාට ගිය වෙනස් හැඩයක් සහිත ගීයක් නිර්මාණය කරන්න. ඒ මුලික අදහස අනුව තමයි මම පදමාලාව ලියන්නේ. මෙහි පදමාලාවට වැඩිවශයෙන් මම යොදාගත්තේ කටවහරේ අපි එදිනෙදා භාවිත කරන වචන. පදමාලාවක් මිනිස්සුන්ට ළංවෙන්න නම් ඒකෙ හුරුකමක් අහනකෙනාට දැනෙන්න ඕන. ගීතය කියන්නේ කෙටිකාලයකදී ලොකු අදහසක් අසුරු සැණින් අසන්නාට ලබාදෙන කලා මාධ්‍යක්. අද දවසේ කොතරම් ගීත බිහිවුණත් ඒ හැම ගීතයක්ම මට දැනෙන්නේ එකම රාමුවක් ඇතුළේ හදපු එකම අච්චුවේ නිමැවුම් වගේ. පද මාලාව ගත්තොත් බොහොවිට කාව්‍යමය බසක්, පැරණි කවිසමයෙන් ගත් උපහැරණ උපමා රූපක. ගත්වහරේ එන යෙදුම්. සංගීතය ගත්විට එක්කෝ උත්තර භාරතීය රාගධාරී සංගිත වර්ණය හෝ බටහිර සංගීත වර්ණය යොදා ගනිමින් ඒ ආශ්‍රිතව ගොඩනැගෙන සිංදු. එකම සංගීත භාණ්ඩ කිහිපයක හඬ පමණක්ම ම නිර්මාණවලින් ඇසෙන්නට ලැබීමත් තවත් සුලබ ලක්‍ෂණයක්. ඉතින් මේ සුලබ යෙදුම්වලින් භාවිතාවන්ගෙන් ඉවතට ගිහිල්ලා අලුත්ම හඬක් සහිත නිර්මණයක් කරන්නයි මට ඕන උණේ. ඒ නිසා මෙහිදී මම සංගීතඥ මාලක රත්නායක ව යොමුකරනවා

දක්ෂිණ භාරතීය කර්නාටක සංගීතයේ භාවිතය මේ ගීතය සඳහා යොදාගන්න. ඒ වගේම සරල ගීයෙන් ඔබ්බට ගිය සිනමාරුපී ගීයක වර්ණය සහ හැඩය චන්ද්‍රශ්‍රියාවි සඳහා යොදා ගන්නටත් මට අවශ්‍ය වුණා.

ඉන්දික වැනි ගායකයකු මෙවැනි ගීතයක් ගායනා කිරීමට යොදාගත්තේ ඇයි?

මට චන්ද්‍රශ්‍රියාවි සදහා මුලිකවම අවශ්‍යඋනේ ජවසම්පන්න හඬක්. ඒ වගේම පිරිමි හඬක්. ඒ පිරිමි හඬ ඇතුළේ ගීතයේ තිබෙන අලංකාර හැඩට ගයන්න පුළුවන් ගායන කෞශල්‍යක් තිබෙන හඬපෞර්ෂයක්. ඉන්දික ලියනගේ අද අපට සිටින දක්ෂතම ගායකයෙක්. විවිධ ළය පරිමාවන් යටතේ ඕනෑම ගීතයක් ගයන්න පුළුවන් ගායකයෙක් ඉන්දික. අවාසනාවකට ඉන්දිකගේ මේ හැකියාව අපේ නිර්මාණ ක්ෂේත්‍රයේ තවමත් හඳුනාගැනීමට ලක්වෙලා නෑ. චන්ද්‍රශ්‍රියාවි ගීතය ඉන්දික ලියනගේට ලංකාවේ සංගීතය තුළ ලැබිය යුතු නියම ස්ථානය සනිටුහන් කරාවි.

පසුගිය කාලය පුරාම ඔබ අතින් විවිධ ගීත නිර්මාණය වුණා. එගැන සඳහන් කළොත්.

ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ සිට ලංකාවේ සංගීතයේ අනෙක් අන්තයේ පෙළහර පෑ නැසීගිය ඩෙස්මන් ද සිල්වා, මරියසෙල් ගුණතිලක වැනි අතිවිශිෂ්ට නිර්මාණකරුවන් සමග මෙන්ම අලුත් පරපුරේ රමිෂ් සසංක හෙවත් රමියා වැනි ගායකයෙකු සමගත් නිර්මාණකරණයේ යෙදෙන්නට ලැබීම මා ලැබූ භාග්‍යක් කියලයි මට හිතෙන්නේ. වික්ටර් ගේ හිතේ හැංගි හැංගි ගීතයේ පද මාලාවට කාව්‍යමය බසක් සහ කව්‍යමය ආකෘතිය යොදා ගන්නා. මම ඩෙස්මන් ද සිල්වාටත් මරියසෙල් ගුණතිලකටත් ලියූ පද මාලාවන් එක්ක පර්යේෂණ කාර්යයක යෙදුණා කියලයි මට හිතෙන්නේ. ඒ ගීත දෙකේම වචන බොහොමයක් පෘතුගිසින්ගෙන් සිංහලට ලැබුණු වචන. ඒ එක්කම රමියට ලියූ රෙගේ ආරේ පදමාලව වෙනස්ම එකක්. උදානි රත්නායක ශිල්පිනිය ගැයූ දෙවසන්හිඳ පාමුල ඇහැළේපොල කතාව පදනම් කරගනිමින් ලියු එකක්. මම විශ්වාස කරන්නේ හොද ගේයකාව්‍ය රචකයෙකුට තිබිය යුතුම ලක්ෂණයක් තමයි තමන් ඉදිරියේ ඉන්න ගායකයාගේ ගායන භාවිතයේ වර්ණය හඳුනාගැනීමට ඇති හැකියාව. ඒ හදුනාගැනීම මත පමණමයි හොද පදමාලාවක් බිහිවෙන්නේ. හොද ගීතයක් බිහිවෙන්නේ.

ගීතරචකයෙකු ලෙස නිර්මාණලෝකයට එන්න ඔබට හේතුවුණේ කුමක්ද?

මම කුඩාකාලේ අම්මා කියලා දුන්නා වී එස් කුඩලිගම කවියාගේ කුරුලු කුඩුව කවි පංතියේ එන කවියක්. සිවියෙන් මිඳුණු බෝ විටියා ගෙඩිය සොයා ……. මේ කවි පන්තිය තමයි භාෂාව සහ සාහිත්‍ය කෙරෙහි මට ආසාවක් සහ උනන්දුවක් ඇතිකළේ. පාසලේ සංගීතය හදාරද්දී ගීතය පිළිබඳ වැඩිදුර හදාරන්න යොමුඋනා. මුලින් කළ සාහිත්‍ය හැදෑරීම මෙහිදී මට ආලෝකයක් වුණා. ඒත් මම පුරුද්දක් හැටියට කවි හෝ ගීත ලියු කෙනෙක් නෙවේ. හැබැයි මම හොද රසිකයෙක්. අසන්නෙක්. ඒකට ගොඩක්ම හේතුවුණේ කොළඹ අසෝක විද්‍යාලයෙන් සහ රාජකීය විද්‍යාලයෙන් ලැබුණු සාහිත්‍ය භාෂා දැනුම සහ සෞන්දර්යාත්මක පන්නරය. ඒ භාවිතය මුල්කාලයේ ඉදිරියට නොපැමිණයත් පසුකාලීනව ඉදිරියට ආවේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ට ලියු හිතේ හැංගි හැංගි ගීතයත් එක්ක.

ඔබට පුර්වාදර්ශ සැපයු ගීතරචකයෝ කවුද ?

1970 පමණ සිට 2000 පමණ කාලපරාසය තුළ ලංකාවේ ගීත සාහිත්‍ය කියන්නේ ගීතය නැමති කලා මාධ්‍ය හදාරන්නෙකුට මම හිතන්නේ විශ්වවිද්‍යාලයකටත් වඩා එහා ගිය මහා දැනුම් ගබඩාවක්. සාහිත්‍ය භාෂාව පමණක් නෙවේ සංගීත භාවිතය ගැන පවා ඉගෙන ගන්න පුළුවන් මහා භාණ්ඩාගාරයක්. ඒ යුග යුග ඔපවත් කළ සියළුම ගීත නිර්මාණ ගේය කාව්‍යරචකයන් මගේ නිර්මාණකාර්යයෙදී මට පුර්වාදර්ශ සපයා තිබෙනවා. හැබැයි මම එකක් කිවයුතුයි ඒ පුර්වාදර්ශ සහ ඒ මහා වනස්පතින්ගේ සෙවණ යට අලුත් නිර්මාණ කරුවා තමන්ගේම ස්වාධින ගමනක් යා යුතුමයි.

බොහෝ ගීතරචකයෝ ගී ලියන්නට පෙර හොද කවියෝ ඔබටත් ඒ අත්දැකීම තිබෙනවද ?

මම මුලින් කිව්වා වගේ කුඩලිගම කවියාගේ කුරුලු කුඩුව කවි පන්තිය තමයි මගේ රසවින්දනයේ සහ නිර්මාණ කරණයේ ආරම්භය. ඊට පස්සේ පත පොත කියවමින් දැනුම සොයාගන්න කොට විවිධ කවීන්ගේ විවිධ කාව්‍ය ආකෘති විතරක් නෙවේ භාෂා සාහිත්‍ය භාවිතයන්ද ඉගෙන ගන්නවා. ඒත් මම හිතන්නේ කවිය කියන්නේ උත්තම කලාවක්. කවියෙක් වෙන්න ලේසි නෑ. ඒක වාසනාමහිමයක්. ඒ උත්තරිතරබව නිසාම මම කවියෙක් වෙන්න කිසිදවසක උත්සහකළේ නෑ. හැබැයි අපි හැමෝම ළඟ කවියෙක් ඉන්නවා.

ඔබ ජිවත්වෙන්නේ විදෙස්ගතව. නිර්මාණ කාර්යයට එය බාධාවක් නොවේද?

විදෙස්ගතව ඉන්නේ මා පමණයි. නිර්මාණවලට දායකවෙන සියලුම සම්පත් දායකයින් ඉන්නේ ලංකාවේ. මම කරන්නේ නිර්මාණයේ සංකල්පය ගොඩනැගීම පද මාලාව සහ නිෂ්පාදනයට දායකවීම සහ අධීක්ෂණය කිරීමයි. ඉතින් මගේ නිර්මාණවල ගර්භාෂය ඔස්ට්‍රේලියාව උනාට ඒ නිර්මාණ හැදී වැඩිලා පෝෂණයවෙලා රසිකාගාරයට යන්නේ ලංකාවේදී. ඒක ඇත්තටම ලෙහෙසි කාර්යයක් නොවෙයි. මගේ හිතේ ගොඩනැගෙන සංකල්පය වචන බවට පත්වෙනකොට ඒකට උචිත සංගීත වර්ණයද මම තෝරාගන්නවා. ඒ සංගීත වර්ණය පිළිබඳව මම සංගීතඥයා එක්ක කතා කරනවා. අවශ්‍ය නාද රටා විතරක් නොවේ සංගීත භාණ්ඩ ගැන පවා අප කතාකරගන්නව. සමහරවිට ඒවාට යොදාගන්නා ශිල්පින් ගැන පවා. ඒ අතින් මා වැඩ කරන නිර්මාණ ශීල්පීන්ගෙන් ලැබෙන සහයෝගය ඉතාම ඉහළයි. ගීතයක් නිර්මාණය කියන්නේම සාමූහික වැඩක්.

මා දන්නා හැටියට ඔබ ගීත රචකයෙකු ලෙස දීර්ගකාලයක් ගීත රචනා ක්‍ෂේත්‍රයේ ඉන්නවා. වත්මන් ගීත කලාව ගැන මොකද හිතෙන්නේ.

ලංකාවේ ගීත කලාව උඩුයටිකුරුකරන්න ඕන කාලයක් මේක. අද ගීත නිර්මාණය වෙන්නේ ඇත්තටම ගීත රචකයාගේ උවමනාවට. මීටදශක කිහිපයකට පෙර නම් ජාතික ගුවන්විදුලිය තමයි ගීතය ජනතාව අතරට රැගෙන ගියේ. අදත් අපි අසාවෙන් රසවිඳීන ජනප්‍රිය ගීත සියල්ලම විතරක් නෙවේ ගායක ගායිකාවන් පද රචකයන් සංගීතශිල්පීන් ඒ තලයට ඔසවා තැබුවේ ජාතික ගුවන්විදුලිය. එදා ගීත නිර්මාණය වුණේ ගායකයාගේ හෝ ගායිකාවගේ ඇරැයුමෙන් ජාතික ගුවන්විදුලියේ අවශ්‍යතාවයට ඔවුන් ඒවා රැගෙන ගියේ ගුවන්විදුලියට. ඒ ගීත දවස පුරාම ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙනවා. ගායකයාට සංගීතඥයාට විතරක් නෙවේ පද රචකයාටත් ඒ නිසා ඉබේම නමක් හැදෙනවා. ගුවන්විදුලිය තමයි ගීතය නිෂ්පාදනය කරලා ජනගත කළේ. අද එහෙම නෑ. ගායක ගායිකාවෝ අලුත් සින්දු ගයන්නේ තමන්ට සින්දු අවශ්‍ය නිසාම නෙවේ. මුදල් අවශ්‍ය නිසා. සින්දු ලියන්නෙත් සිංදු නිෂ්පාදනය කරන්නෙත් බොහෝවිට පදරචකයා. ගායකයා කරන්නේ සල්ලිවලට සින්දුව ගයලා ගෙදර යන එක. ඊට පස්සේ සින්දුව ජනගත කරනනෙත් පද රචකයා. ඒ කියන්නේ අද ගීත නිර්මාණය වෙන්නේ ජාතික වශයෙන් නොවේ. මුදල් තියනනම් අද ලේසියෙන්ම ගායකයෙක් හෝ පදරචකයෙක් වෙන්න පුළුවන්. අනිත් අතට අද ගීතයක් ජනප්‍රිය වෙනවා නෙවෙයි ජනප්‍රිය කරවන තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ක්‍රමය ඇතුළේ ගීත එනවා යනවා විවිධ මුහුණුවරින්. මිලියනයක් ගීතයක් නැරඹු හෝ ඇසු පමණින් ඒ ගීතය ජනගත වෙනවාද කියන ප්‍රශ්නය අප අපෙන්ම අසන්න ඕන. ඒ එක්කම අප අපේ අතිනුත් වියයුතු වගකීම් ඉටුකරනවද කියලත් බලන්න ඕන. ලංකාවේ බොහෝ පද රචකයන් සහ සංගීතඥයන් ඉන්නේ තමන්විසින් ම හදාගත් සීමාවන් ඇතුළේ. ඒ හදාගත් සීමාව සමස්ත ලෝකය කියලා ඔවුන් හිතනවා. ඔවුන් නිර්මාණකරණයේ යෙදෙන්නේ ඒ ලෝකය තුළ පමණයි. ඒ නිසා නිර්මාණ අලුත් වෙන්නේ නෑ යාවත්කාලීන වෙන්නේ නෑ.හරියට එකම අච්චුවේ පාන් වගේ. පදමාලා සාහිත්‍ය අතිනුත් සංගීත නිර්මාණය අතිනුත් අලුතින් හිතන්න අවශ්‍ය නිර්මාණකරුවන් අද දවසේ ලාංකික ගීත කලාවට අත්‍යවශ්‍යයි.

මේ වෙනකොට ගීත කොපමණ ලියා තිබෙනවද?

මම ගීත ගණනට වඩා ඒවායේ තත්ත්වය ගැන ඉතාම අවධානය යොමුකරන කෙනෙක්. හොදම නිර්මාණයක් කරන්න කාලයක් ඕන. අසුරු සැනින් නිර්මාණ කරන්න බෑ. ගීතය කියන්නේ, මම හැමදාම විස්වාස කරන විදියට හීයක් වගේ වේගයෙන් ඇවිත් මල් පෙත්තක් වගේ හදවත ස්පර්ෂ කළ යුතු අපූරු සංවේදනාවක්. මම මගේ මුල්ම ගීත නිර්මාණය කරන්නේ 2021 වසරේ. එතැන් පටන් මේ වෙනකොට ගීත නිර්මාණ පනහක් පමණ කර තිබෙනවා.

මා දන්නා තරමට ඔබට වෙනත් වෘත්තිය ජීවිතයක් තිබෙනවා. කලාව සහ වෘත්තිය සමබර කරගන්නේ කොහොමද?

ඒ සමබර තාවය හොදින්ම පවත්වාගෙන යන නිසාම තමයි මේ නිර්මාණ මා අතින් බිහිවෙන්නේ. කිසිදු අනුග්‍රාහකයෙක් මට නෑ. මම එහෙම කිසිවෙකුගේ පසු පස යන්නෙත් නෑ. ලංකාවේ දී මම නීතිවෘතිකයෙකු වශයෙන් සේවය කළා. ඕස්ට්‍රේලියාවේ දැන් මම මගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඉතින් මට පුළුවන් කාලයක් ලංකාවේ ගීත සාහිත්‍යට අලුත් ගීත නිර්මාණ බිහිකරනවා.

ඉදිරි නිර්මාණ කටයුතු සැලසුම් වෙන්නේ කොහොමද?

අලුත් පරපුරේ ගීත රචකයෙකු හොද කියවන්නෙකු පමණක් නොවෙයි හොද අසන්නෙකු නරඹන්නෙකු සවන්දෙන්නෙකු මෙන්ම විශ්වීය රසවතෙකුද විය යුතුයි. ඔහුට සාහිත්‍යය පිළිබඳව පමණක් නොවේ සංගීතය සිනමාව නාට්‍යකලාව ආදී විවිධ කලාවන් පිළිබඳව ලෝක මට්ටමින් සියුම් හෝ අවබෝධයක් තිබිය යුතුයි. තමන්ගේ සීමාවන් තුළ කොටු වී නොඉද නව අත්හදා බැලීම් කරන්න බිය නොවිය යුතුයි. ඉතින් මාත් මගේ නිර්මාණ කරන්නේ මේ විදියට. අලුත් නිර්මාණ බිහිවේවි. නිර්මාණයක් කියන්නේ දරුවෙකු හදනවා වගේ කාර්යයක්. දැන් චන්ද්‍රශ්‍රියාවි කියන්නේ මේ වසරට දැනට කළ එකම නිර්මාණය. ඇත්තටම ඒ නිර්මාණයට මාස අටකට වඩා කාලයක් ගත කළා. නිර්මාණ සංඛ්‍යාවට වඩා ඒවායේ ගුණාත්මකබව සහ නිර්මාණාත්මක බව මට වැදගත්.

කලා කටයුතුවල යෙදෙන්න පවුලෙන් ලැබෙන ලැබෙන සහයෝගය කොහොමද?

මගේ බිරිඳගෙන් සහ දරුවන්ගෙන් මට මගේ නිර්මාණ කාර්යය සඳහා උපරිම නිදහසක් සහයෝගයක් ලැබෙනවා. මගේ දියණිය පියාණෝවාදන ශිල්පිනියක්. මගේ පදමාලාවලට සංගීත නිර්මාණකාර්යයෙදී ඇගෙන් ලැබෙන සහයෝගය ඉමහත්. ඒ අයගෙන් ලැබෙන සහයෝගය නොවෙන්න මේ තරම් නිර්මාණකාර්යයක් කරන්න අවස්ථාව නොලැබෙන්න තිබුණා.

හැමදාම විදෙස්ගතව ඉන්නද කල්පනාව.

ඒක මේ වෙලාවේ පිළිතුරැ දිය නොහැකි ප්‍රශ්නයක්. ඒක අපි කාලයට බාරදෙමු.

ලංකාවේ බොහෝ පද රචකයන් සහ සංගීතඥයන් ඉන්නේ තමන්විසින් ම හදාගත් සීමාවන් ඇතුළේ. ඒ හදාගත් සීමාව සමස්ත ලෝකය කියලා ඔවුන් හිතනවා. ඔවුන් නිර්මාණකරණයේ යෙදෙන්නේ ඒ ලෝකය තුළ පමණයි. ඒ නිසා නිර්මාණ අලුත් වෙන්නේ නෑ යාවත්කාලීන වෙන්නේ නෑ.හරියට එකම අච්චුවේ පාන් වගේ. පදමාලා සාහිත්‍ය අතිනුත් සංගීත නිර්මාණය අතිනුත් අලුතින් හිතන්න අවශ්‍ය නිර්මාණකරුවන් අද දවසේ ලාංකීය ගීත කලාවට අත්‍යවශ්‍යයි.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT