නිවස සංවාද ‘ටේක් කෙයා’ කියන්නේ ලොකු අභියෝගයක්

‘ටේක් කෙයා’ කියන්නේ ලොකු අභියෝගයක්

'Take Care' අධ්‍යක්ෂ අනුෂ්ක රසාංජන ද සිල්වා

by Thanushika
August 8, 2024 12:30 am 0 comment

‘Take Care’ කියන්නේ මෙි දිනවල ලංකාවෙි අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. ලංකාවෙි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අලුතින් පා තබන නවමු අධ්‍යක්ෂකවරයෙක් විදියට අනුෂ්ක රසාංජනද සිල්වා විසිනුයි ‘Take Care’ ටෙලිනාට්‍යයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය සිදු කරන්නේ. මෙවර සරසවියේ ඉඩ වෙන්වන්නේ ‘Take Care’ ටෙලිනාට්‍යයේ නිර්මාණකරුවා වන අනුෂ්ක රසාංජන ද සිල්වා සමඟයි.

අනුෂ්කගේ පළවෙනි ටෙලිනාට්‍ය විදියට ‘Take Care’ කියන්නේ මෙි දිනවල අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. මොකක්ද මෙි ‘Take Care’ කියන්නේ? කොහොමද මේ නිර්මාණය බිහි වෙන්නේ?

Take Care  කියන්නේ අද සමාජයේ බහුතරයක් දෙනා මුහුණ දෙන සහ අද සමාජය තුළ සුලභව අහන්න දකින්න ලැබෙන මාතෘකාවක් වෙනස් විදියකට අරගෙන එන්න උත්සහ කරපු ටෙලි නිර්මාණයක්. මේක මං මුලින්ම කරන්න ගන්නේ යු ටියුබ් වෙබ් සීරිස් එකක් විදියට..ඒත් අන්තිමට මේ වැඩේ මට ඕන විදියට කරගන්න බැරි වෙනවා..ඒකට හේතුව අපිට අවශ්‍ය කාලය හා මුදල් මේ නිර්මාණය වෙනුවෙන් මුල් නිෂ්පාදකවරුන්ගෙන් නොලැබීම…අන්තිමට මේ වැඩේ ගැන ලොකු පැහැදීමක් හා මේකේ වටිනාකම ගැන තේරුම් ගත්ත සාරංග අයියා මට කිව්වා, මල්ලි අපි මේක කරමු කියලා..ඒ විදියට Take Care  වෙබ් සීරීස් එක ටෙලිනාට්‍යයක් විදියට සාරංග දිසාසේකර නිෂ්පාදනයක් යට⁣තේ නිර්මාණය වෙනවා…

ඇයි මෙි ටෙලිනාට්‍යට ‘Take Care’ කියලා නම යොදන්න හිතුණේ?

ඇත්තටම මේකේ මුලින්ම තිබුණ නම ටේක් කෙයා නෙවෙයි.. මුලන්ම මේකට නම තිබ්බේ “කෑම ලෑස්තියි” කියලා…ඒක තමයි අපේ Working Title එක…ඊට පස්සේ අපි රූගත කීරීම් කරගෙන යද්දි පළවෙනි දවසේ එක දර්ශනයකදි මම සාරංග අයියා රෙබේකා අක්කා අපි කතා කරද්දි අපිට ආපු අදහසක් නිසා මේකේ නම ⁣Take Care  වෙනවා…

නිර්මාණයේ චරිතවලට නළු නිළියන් තෝරගත්තේ කොහොමද?

නළුනිළියන් තෝරාගැනීමේදි ඩිනක්ෂි ප්‍රියසාද්, රෙබේකා දිල්රුක්ෂි මගේ ඔළුවේ මේක ලියනකොට මුලින්ම හිටියා…මොකද මං ඒ දෙන්නා එක්කම කලින් වැඩ කරලා ඒ දෙන්නාගෙම රංගන පරාසය කොහොමද කියලා දැනගෙන හිටපු නිසා වගේම කවුරුත් තාම ඒ දෙන්නාගෙන් හරියට වැඩක් අරගෙන නැති නිසා.. සාරංග දිසාසේකර මේ වැඩේට හොඳයි කියලා මුලින්ම මට හිතුණත් මං බය වුණා සාරංග-දිනක්ෂි සැමියා බිරිඳ නිසා ප්‍රේක්ෂකයින් මේ නිර්මාණය කොහොම භාරගනීද සහ එයාලට කොහොම බලපෑමක් කරයිද කියලා.. ඒත් සාරංග අයියා එක්ක වැඩක් කරන්න තිබුණ ආසාව නිසාම අන්තිමට මං ඒ අවධානම ගත්තා..

ලංකාවේ මෙගා ටෙලිනාට්‍යවලට අත්වුණ ඉරණමම ”Take Care” එකටත් වෙයිද? කොටස් කොචිචර ප්‍රමාණයකින් නාට්‍ය ඉවර කරන්න බලාපොරොත්තු වෙනවද?

මං මෙගාවලට කැමති කෙනෙක් නෙවෙයි..මෙගා ලියන්න මට බැහැ සහ ඒක කවදාවත් නොකරන තැන මං ඉන්නවා..ඒ නිසා රූපවාහිනි තිරයේ දිගහැරෙන මගේ පළවෙනි වැඩේට එහෙම දෙයක් වෙන්නේ නැහැ..මේකේ අවසානය කොටස් 28කට සැලසුම් කරලා ලියාගෙන යන ගමන්…ඉතිං ටේක් කෙයා කොටස් 28යි..උපරිමය කොටස් 30ක් වෙයි..

අනුෂ්කගේ තිර රචනා ලීව්ම ආරමිභ වෙන්නේ කොහොමද? මොකක්ද ඒකට පසුබිම?

මං පොඩි කාලේ ඉඳලා ලියන්න ආසයි. කොහොමහරි මේ ලිවීම හා අධ්‍යක්ෂණය කලාවක් විදියට කරන්න මං ආස වෙන්නේ මං හය වසරේදි මොරටුවේ වේල්ස් කුමර විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ..අපේ පාසල කාලාගාරයක් කිව්වොත් නිවැරදියි..තිස්ස ගුණවර්ධන ශූරීන් තමයි අපේ පාසල කලාගාරයක් කරන්න මහන්සි වුණ ගුරුඇදුරුතුමා.. එතුමා අද අප අතර නැහැ..කොහොම හරි එතුමාගේ අවසන් කාලයේ නිර්මාණ දකින්න අපිට වාසනාව තිබුණා..ජගත් චමිල, කාංචන කොඩිතුවක්කු, රජිත හිරාන් වගේ අය එතුමා ය⁣ටතේ පෝෂණය වෙලා කලාව ඇතුළේ ගිය ගමන අපි දැක්කා..ඉතිං මටත් ඕන වුනා තිස්ස සර් වගේ කෙනෙක් වෙන්න..ඉතිං මං පොඩිවට වේදිකා නාට්‍යය ලියන්න ගත්තා..මං හිටියේ පාසලේ නේවාසිකාගාරයේ..ඉතිං මං නාට්‍යය ලියලා මගේ මිතුරන් එක්ක එකතු වෙලා නේවාසිකාගාරයේ අයටම පෙන්නනවා…ඒ විදියට තමයි මං මාව කලාවෙන් පෝෂණය කරගත්තේ. ඊට පස්සේ මං උසස්පෙළ කරන කාලයේ කලාව මගෙන් ඈත් වෙනවා..උසස්පෙළ ගණිත විෂයෙන් අවසන් කරලා මං අවුරුදු 5ක් පෞද්ගලික ආයතනයක රැකියාවක් සිදුකරනවා..ඒත් එතනදි මට මගේ අඩුවක් දැනුණා..අන්තිමට මං තේරුම් ගත්තා මං දක්ෂ මොකටද සහ මං කැමති මොකටද කියලා..ඉතිං අවසානයේ මං රැකියාවට සමු දීලා තිරරචනය හරහා කලාව මගේ වෘත්තිය හා විනෝදාංශය කරගන්නවා..

අනූෂ්ක ‘Take Care’ ටෙලිනාට්‍යට පෙර නිර්මාණය කරපු නිර්මාණ මොනවද?

මං ඊ⁣ට කලින් කෙටි චිත්‍රපට 2ක් ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙනවා..Monalisa කියන්නේ මගේ පළවෙනි කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය වගේම මං කලාකාරයෙක් විදියට මගේ මුල්ගල තියන තැන..දෙවනි නිර්මාණය The Guest. ඊට පස්සේ මං කලින් කිව්වා වගේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්නේ මං තිරරචනය කරපු ජෝ දිසානායක අධ්‍යක්ෂණය කරපු  “There is a body”වෙබ් සීරිස් එක..ඒක තමයි මං වත් හරියට දැ⁣නගෙන හිටපු නැති මගේ ඇතුලේ හිටපු කලාකරුවා එළියට ගත්ත සහ මං මාව හොඳ නිර්මාණකරුවෙක් විදියට හඳුනගත්ත නිර්මාණය… ඊට පස්සේ “එකවහලක් යට” වෙබ් සීරිස් එක..ඒකෙත් මං තිරරචනය හා අධ්‍යක්ෂණය දෙකම සිදු කරනවා.

අනුෂ්ක රූපවාහිනියට අධ්‍යක්ෂණය කරන පළමු ටෙලිනාට්‍ය විදියට ඒ අත්දැකීම කොහොමද දැනෙන්නේ?

අත්දැකීමක් කියන්නේ ඒක ලොකු අභියෝගයක්..රූපවාහිනිවල ටෙලිනාට්‍යය ප්‍රදර්ශනයේදි නීති රීති තියෙනවා..නිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ගැන ලොකු අවබෝධයක් නැතුව තමයි ටේක් කෙයා මුලින්ම නිර්මාණය වෙන්නේ…ඒකට හේතුව මේක මුලින්ම වෙබ් සීරිස් එකක් විදියට නිර්මාණය වෙන්නේ. රූපවාහිනි විකාශයත් එක්ක තමයි අභියෝගය පටන් ගන්නේ..මේක ඇත්තටම මට වගේම මගේ කණ්ඩායමේ හැමෝටම ලොකු අත්දැකීමක් වුනා කිව්වොත් හරි.

‘Take Care’  අධ්‍යක්ෂණය කරද්දි ආපු අභියෝග මොනවද?

කලින් කිව්වා වගේ මේක ලොකු අභියෝගයක්..රූගත කිරීමේ ඉඳලා රුපවාහිනි ප්‍රදර්ශනය දක්වාම ටේක් කෙයා කියන්නේ ලොකු අභියෝගයක්..අපිට මුලදී ටේක් කෙයා වෙනුවෙන් කලින් හිටපු නිෂ්පාදකවරුන් එක්ක අඩු වියදමකින් මහ අඩු කාලයකින් අඩු කොටස් ගාණක් තමයි කරන්න සිද්ධ වුණේ..ඒක ඒ විදියට වුණා නම් අද ටේක් කෙයා ගැන කවුරුත් මේ විදියට කතා කරන්නේ නැහැ..එතනදී අන්තිමට සාරංග අයියා සහ දිනක්ෂි අක්කා මේකේ නිෂ්පාදනය එයාලා අතට ගන්න ඉදිරිපත් වීම නිසාම ටේක් කෙයා මෙච්චර දුරකට අද ඇවිත් තියෙනවා. එ වගේම මං කිව්වා වගේ ටේක් කෙයා අපි මුලින්ම කළේ වෙබ් සීරිස් එකක් විදියට..ඒ නිසා මම කො⁣තනවත් සීමා වලට යටත් වුණේ නැහැ..නිර්මාණකරුවෙක් විදියට මං මගේ නිර්මාණය වෙනුවෙන් ඒ නිදහස තිරරචනයේදි වගේම අධ්‍යක්ෂණයේදිත් උපරිමයෙන් තියාගත්තා..ඒත් ඒ නිසාම රූපවාහිනි ප්‍රදර්ශනයේදි ˜ ITN වගේ පවුලේ නාලිකාවකින් මේක ප්‍රදර්ශනය කරන්න අපි ගත්ත තීරණය අපිට වගේම ඒ නාළිකාවටත් අභියෝගයක් වුණා..ඉතිං එතනදි මං ˜ ITN නාළිකාවේ ගරු සභාපතිතුමා සුදර්ශන මහතාව මතක් කරන්න ඕන..එතුමා අපේ නිර්මාණය වෙනුවෙන් ගත්ත අභියෝගය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා..

ටෙලි නාට්‍යය සාර්ථක කරගන්න සහයෝගය ලබා දිපු පිරිස ගැන කිවිවොත්?

මුලින්ම මං කලින් මතක් කළා වගේම සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් දෙන්නා මතක් කරන්න ඕන..එයාලා නිසා තමයි ටේක් කෙයා මෙච්චර දුර ගමනක් ඇවිත් තියෙන්නේ..ඊට පස්සේ රංගනයෙන් දායක වුන රෙබේකා දිල්රුක්ෂි..ඇය ලොකු දායකත්වයක් දුන්නා මේ නිර්මාණය වෙනුවෙන්..ඊළඟට කසුන් තාරක රත්නපාල,තුරේෂා සෙනාලි ඇතුළු ටේක් කෙයා සහය නළු නිළියන් සියලු දෙනා. ඊළඟට ටේක් කෙයා ටෙලි නාට්‍යයේ කැමරාකරණයෙන් මුලින්ම දායක වුණ විශ්වජිත් කරුණාරත්න අයියාවත් මතක් කරනවා. කලින් නිෂ්පාදකවරු යටතේ ටේක් කෙයා හොඳ තැනකට අරගෙන එන්න ඔහු ලොකු වෙහෙස මහන්සියක් දැරුවා..ඊළඟට මගේ දැන් ඉන්න කැමරාකරණ ශීල්පීන් දෙන්නා මතක් කරන්න ඕන..අමයුරු විතානගේ හා සසංක එස් උදයංග..ඔවුන් දෙදෙනා මේ ක්ෂේත්‍රයට නවකයින් නමුත් දක්ෂයින්. හොඳ අවබෝධයක් වගේම අපි තුන්දෙනා නිර්මාණයක් ඇතුලේ හිතන පතන විදියට ගොඩාක් දුරට සමාන නිසා ඒ දෙන්නා එක්ක වැඩකරන එක මට පහසුවක් වුණා…

අමයුරු සසංක වගේම එතනින් එහාට මගේ සහය අධ්‍යක්ෂකවරු වුණ දවිදු,චලිඳු, චාමිනී අය සංගීත අධ්‍යක්ෂක ලසන්න, සංස්කරණ ශිල්පියා ⁣වන ඩිලාන්, වර්ණ සංයෝජන ශිල්පියා වන භවන්ත, නිෂ්පාදන කළමනාකරු වින්සිත, ඇදුම් නිර්මාණ ශිල්පියා වුන දක්ෂි, කලා අධ්‍යක්ෂණය සිදු කළ දසුන්,තරංග සහ වේෂ නිරූපණ ශිල්පීන් වුණ රන්දික, මධුසංක ඇතුළු ඔහුගේ කණ්ඩායම කැමරාකරණ සහය ජනිත් මේ අයව මතක් කරන්න ඕන..එයාලා දීපු සහයෝගය මෙච්චරයි කියන්න බැහැ..වැදගත්ම දේ මේ අය සේරම අනූව සහ දෙදහා දශක වල අය..ගොඩාක් අය මේ ක්ෂේත්‍රයට නවකයින්…ඒ නිසාම අපි හැමෝටම මේක ලොකු අත්දැකීමක්..

Take Care ‘ ටෙලිනාට්‍යයට මේ දිනවල රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

මුලදී හොඳ ප්‍රතිචාර වලට වඩා නරක ප්‍රතිචාර සෑහෙන්න ආවා..පස්සේ හොඳ නරක මිශ්‍රවත් දැන් නරක ප්‍රතිචාර වලට වඩා හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා..විශේෂයෙන්ම ඩිනක්ෂි ප්‍රියසාද්, රෙබෙකා දිල්රුක්ෂි ගැන හොඳ ප්‍රතිචාර ලැ⁣බෙනවා…මට ලැබෙන ප්‍රතිචාරවලට වඩා මේ නිර්මාණයේ මගේ කණ්ඩායමේ අයට ලැබෙන ප්‍රතිචාර නිසා ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා…

නූතන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදියට අනුෂ්කට ලංකාවෙි වර්තමාන ටෙලිනාට්‍ය කලාව ගැන තියෙන අදහස මොකක්ද?

ඒ ගැන කතා කරන්න කැමති නැහැ ඇත්තටම මම.. හැමෝම මේක කරන්නේ රැකියාවක් විදියටනේ…මොන දේ කළත් අපිට අපි ගැන හිතන්න වෙලා තියෙනවා වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වයත් එක්ක.. අද නිර්මාණයක් කරන්න යන වියදම පහුගිය අවුරුදු හතරකට පහකට වඩා තුන් හතර ගුණයකින් වැඩි වෙලා තියෙනවා…නමුත් නාළිකා වලින් ගෙවන ප්‍රමාණය වෙනසක් නැහැ..එතනදි නිර්මාණකරුවන් අසරණ වෙලා තියෙන්නේ….එහෙම ප්‍රශ්න තියාගෙන අද කාලේ ටෙලිනාට්‍යයවල කිසිම ගුණාත්මකබවක් නැහැ, අද කාලේ බිහිවෙන නිර්මාණ බොහොමයක් බාල ගණයේ නිර්මාණ කියලා ප්‍රේක්ෂකයෙක් විදියට අදහස් දක්වන්න සහ චෝදනා කරන්න පුළුවන් වුණාට නිර්මාණකරුවෙක් විදියට මේ ක්ෂේත්‍රය ගැන මුකුත් කියන්න මට බැහැ..

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදියටත්, පිටපත් රචකයෙක් විදියටත් අනුෂ්කගේ නිර්මාණවලට බලපෑම් කරපු වෙනත් නිර්මාණ හෝ නිර්මාණකරුවන් කවුද?

මං ලියන විදිය සහ මගේ රුචිකත්වය අනුව මට ලොකු බලපෑමක් සිදු කළේ සහ මං සිනමා ආභාසය ගත්තේ මාර්ටින් ස්කෝසේසි, ඇල්ෆඩ් හිච්කොක් වගේ හොලිවුඩ් අධ්‍යක්ෂකවරුන්ගෙන්..ඒ වගේම ලංකාවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි වගේ අයගේ නිර්මාණ මං අධ්‍යයනය කරලා ඒවාගෙන් ඇතැම් දේවල් උකහා ගන්නවා.

 

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT