ගායනය, වාදනය නර්තනය ආදී අංශයන්ගෙන් සිය දක්ෂතා පෙන්වන ඇය, අදවනවිට පානදුර ශාන්ත ජෝසප් බාලිකාවේ දරුවන්ට සිප්සතර බෙදාදෙමින් සිටින්නීය. ඉන්දියාවේ භාත්ඛණ්ඩ විද්‍යාපීඨයෙන් සංගීත විශාරද ඉහළ සාමර්ථ්යයකට හිමිකම් පෑ ඇය, සංගීත් නිපුන් විභාගය සඳහා ද පෙනීසිටීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. අනුදි යසාරා නම් තරුණ ගායන,වාදන,නර්තන ශිල්පිනිය සිය නිර්මාණාත්මක කලාදිවිය පිළිබඳ කතා කිරීමට සරසවිය හා මෙසේ එක්වූවාය.
අනුදි, ඔබේ පාසල් සමයේ අධ්‍යාපන කටයුතු ගැන මතකාවර්ජනය කළොත් …..?
මම පානදුර ශාන්ත ජෝන් බාලිකා විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට සා. පෙළ දක්වා ඉගෙනීම් කළා . 2015 දී සා. පෙළ සමත්ව උසස් පෙළ හැදෑරීමට පානදුර බාලිකාවට ඇතුළුවුණා. ඉන්පසු ශ්‍රී ජ’පුර විශ්වවිද්‍යාලයේ කලා අංශයෙන් බාහිර උපාධියට පෙනීසිටියා. පානදුර ශාන්තජෝන් බාලිකාවේ සිටි අවධියේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේත්, බාල දක්ෂිකාවක ලෙසත් , නර්තන කණ්ඩායමේත් අපරදිග ගීත ගායනා කණ්ඩායමේත් කැපීපෙනෙන සාමාජිකාවක් වුණා. පානදුර බාලිකාවේ මාධ්‍ය ඒකකයේත් , නර්තන සහ පෙරදිග ගීත ගායන කණ්ඩායමේත් සාමාජිකාවක් ලෙසත් කටයුතු කළා. දහම්පාසල් ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස සිටි මා, දහම් අධ්‍යාපනයට අදාළ විභාග සියල්ලත් හොඳීන් සමත් වී දහම් පාසල් ගුරුවරියක ලෙසත්, දැනට, මා ඉගෙනගත් පානදුර ශාන්ත ජෝසප් බාලිකාවේ දරුවන්ට ගුරුවරියක ලෙසත් සිප්සතර කියාදෙනවා
මේ දිනවල ඔබේ කලාකටයුතු ගැන කීවොත් ….?
ගායන අංශයෙන් නව නිර්මාණ රැසක වැඩ කරගෙන යනවා. ගිටාරය, ඕගනය, වයලීනය වැනි වාද්‍යභාණ්ඩ ගැන වැඩිදුරටත් හදාරමින් ඉන්නවා. නර්තන අංශයෙන් ගත්තොත් උඩරට සහ භරත නර්තන අංශ දෙකෙන්ම විශාරද විභාගයට පෙනීසිටින්න බලාපොරොත්තු වෙනවා. බටහිර නර්තනයත් මේ දිනවල ඉගෙනගන්නවා.
අනුදි, ගුවන්විදුලියේ සරල ගී ගායිකාවක්. එකී භූමිකාව ගැන කීවොත් ……?
ගුවන්විදුලියේ ළමා ගී කටහඬ පරීක්ෂණය සඳහා පාසල් කාලයේම සම්බන්ධ වුණා. එයින් සමත්වූ මට ඕ ශ්‍රේණියේ සාමර්ථ්‍යයක් හිමිවුණා. මේ අතර වැඩසටහන් නිෂ්පාදිකාවක් වන ප්රියන්තිනී ගමගේ යහම්පත් නැන්දා, ළමා වැඩසටහනක් ආරම්භ කර තිබුණා. එහි තේමා ගීතය ගයන පිරිස අතරට මට එකතුවෙන්න ලැබුණා. එහිදී කුමාරතුංග මුනිදාස මැදිරියේදී ‘නොනිමෙන ලොව හිරිත් අපි දොළොස්මහේ පහන අපි’ නමැති ලස්සන තේමා ගීතය ගැයීමට සංගීතඥ දර්ශ රත්නායක මාමා අපව පුහුණු කළා. ඉන්පසු ‘ රුවනාරා, සමනල ලන්ද’ වැඩසටහන්වලටත් දායකවෙන්න ලැබුණා. ඒ ප්රියන්තිනී යහම්පත් නැන්දාගේ ගුරුහරුකම් මැදයි. ඊටපස්සේ නැන්දා මාව ගායනයට පමණක් සීමා නොකර නිවේදනයත් පුහුණු කළා. ඔය අතරේයි ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වුණේ. ඉන් සමත්වී ගුවන්විදුලි සරල ගී ගායන ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා . සුභාවිත ගී වැඩසටහන්වලද ගීත ගායනා කරනවා. ප්රියන්තිනී යහම්පත්, සංගීත අංශ ප්‍රධානි දිනේෂ් බෝගොඩ, චන්දිම කරුණාරත්න , කුමුදු මහන් වජිර, දිනූෂා වෙත්තසිංහ, දිල්කා විමර්ශනී, විජය මාපා යනාදීන් මෙහිදී ආදරයෙන් සිහිකරනවා.ගුවන්විදුලි මහගෙදරින් මගේ දිවියට ලැබුණු වගේම ඉගෙනගත් දේත් බොහෝමයි.
සංගීත දිවියේ ආරම්භය ගැන කීවොත් …….?
මගේ සංගීත දිවියේ ආරම්භය දහම්පාසලයි. වසර 13ක් අඛණ්ඩව දහම්පාසල් පැමිණීමේ ත්‍යාගයත් මට ලැබුණා . මුලින්ම ගීතයක් ගයන්න ලැබුණේ දහම්පාසල්දීයි. තෑගි බෙදාදීමේ උලෙළවල ගී ගයන්නත් අවස්ථාව ලැබුණා .
පාසල් සමයේත් ගායන දක්ෂතා දක්වලා ඇති…….?
අපරදිග සංගීත කණ්ඩායමේ හා පෙරදිග ගායන කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස කටයුතු කළා. ‘සැදහැගි සරණි’ ආදියේ මම අනිවාර්යයෙන් ගී ගැයුවා. සා. පෙළට මම තෝරාගත්තේ නර්තනය. දහම්පාසලේදී ‘සැදැහැ ගි’ සංයුක්ත තැටිය කළා.ඒ සියල්ල නව නිර්මාණ. එය “ළා දලු බෝපත්’ නමින් හැඩවුණේ. ඒ ගීත සියල්ල රචනා කළේ දහම්පාසල් ආචාර්ය ප්‍රදීප් ප්‍රනාන්දු මහතා සහ චන්ද්‍රා සෝමරත්න මහත්මිය. ගී සඳහා තනු නිර්මාණය කළේ දිසුර වරුසවිතාන අයියා.
අනුදි, ඉන්දියාවේ ලක්නව් සංගීත විශාරද ඉගළ සාමර්ථ්‍යයක් ලැබුවා නේද….?
ඔව්, මුලින්ම මතක් කළ යුතුයි මගේ මුල් ගුරුවරයා වූ අමරසිරි මුණසිංහ මහතා. ඔහුගෙන් මම වයලීනය පිළිබඳවත් , ගායනය පිළිබඳවත් පුහුණු වුණා. ප්‍රවේශිකා විභාගයට මුහුණදුන්නේ ඔහු යටතේ හැදෑරීම් කරලා. ඉන්පසුවයි පානදුරේ සියරැසි කලායතනයට එක්වුණේ. එහිදී මම ප්‍රාසංගික කලාවේදී සංගීත විශාරද සංගීත් නිපුන් මංචන තරුෂාන් යටතේ රාගධාරී සංගීතය හදාරා 2022දී ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත විද්‍යාපීඨයේ විශාරද විභාගයට මුහුණදී පළමු ශ්‍රේණියේ සාමර්ථ්‍යයක් ලබාගන්න මට පුළුවන් වුණා.
සංගීතය වැඩිදුර ඉගෙනුමට බලාපොරොත්තුවකුත් ඇති……?
සංගීතය කියන්නේ මහා සාගරයක් වගේ දෙයක්. එහි ඉගෙනගන්න බොහෝදේ තියෙනවා . සංගීත් නිපුන් විභාගය කරන්න මම බලාපොරොත්තු වෙනවා . එසේම ශබ්ද පරිපාලනය ගැන ර්ථඥපචත ඡධර ආයතනයේ රංග දසනායක මහතා යටතේ ඉගෙනීම් කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
අනුදි තුළ සැඟවී සිටින ගායිකාව හඳුනාගත්තේ කොහොමද ….?
දහම්පාසලෙන් තමයි. පුණ්‍යා චන්ද්‍රසේන මහත්මිය වගේම දහම්පාසලේ සංගීත අංශය භාර ආචාරිනී විශාරද මනූෂා සාරංගි රණතුංග මහත්මියත් සිහිපත් කළ යුතුයි. දහම්පාසලේ ලොකු අයියලා, අක්කලා එක්ක මම හරිහරියට ගායනා කළා. එසේම දහම්පාසලේ ගොඩනැඟිල්ලක් විවෘත කිරීමකට විජමු ලොකුබණ්ඩාර මහතා පැමිණීමට නියමිතව තිබුණා දවසක්. ඒ උත්සවයේ පිළිගැනීමේ ගීතය මම ගායනා කළේ. ඒ අවස්ථාව සුවිශේෂියි . එදා පැමිණි දක්ෂ වාද්‍ය ශිල්පීන් අපේ අම්මාව හමුවෙලා කියා තිබුණා මට හොඳට සංගීතය උගන්වන්න , අනාගතයේ මම සංගීතයෙන් ඉදිරියට යයි කියලා.
නර්තනයටත් දක්ෂයි නේද….?
පාසල් කාලයේදීමයි නර්තනය තෝරාගත්තේ. කොළඹ විශාඛා විදුහලේ ආචාරිනී විශාරද ආශා ගීතාංජලී මහත්මිය යටතේ නර්තනය හැදෑරුවා. එහිදී භරත නර්තනය, උඩරට නර්තනය හැදෑරුවා. භරත නර්තනයේ ගෙජ්ජි බැඳීම හා උඩරට නර්තනයේ පායිම්පත් දක්වාම ඉදිරියට ගියා. ආශා ගීතාංජලී මහත්මිය මාව ලංකාව නියෝජනය කරමින් පැවති සංදර්ශනයකට ඉන්දියාවට රැගෙන ගියා. පානදුර බාලිකාවද මගේ නර්තනයට මනා තෝතැන්නක් වුණා. පාසලේ ජ්‍යේෂ්ඨ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් වූ මම දිස්ත්‍රික්, පළාත්, සමස්ත ලංකා තරග රැසක් ජයගත්තා.
සංගීතයෙන් ලද ජයග්‍රහණ ගැන කීවොත් …..?
දහම්පාසල් සිසු නිපුණතා පද්‍ය ගායනා, පාලි පද්‍ය ගාථා ගායනා, මවුගුණ ගායනා ආදී තරඟ ඉසව් රැසකින් ජයග්‍රහණ ලැබුවා.
නර්තනයටද, ගායනයටද වඩාත් කැමැති…..?
ඒකනම් කියන්න අමාරුයි . මේ දෙකටම කැමැතියි . ගායනයෙන් වගේ නර්තනයෙන් ඉදිරියට යන්න ලැබුණු අවස්ථා අඩුයි.
ඔබ ගැයූ ගීත ගැන මතක් කළොත් …….?
“වඳීමි සිය දහස් වර” නමින් මගේපළමු ගීතය 2021 වසරේ පෙබරවාරි 03 වැනිදා ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාවේ 05 වැනි මැදිරියේ පටිගත කරන්න මම වාසනාවන්ත වුණා. තවද ‘ සඟ පිරිවර මැද’ ගීතයත්, පොසොන් පොහෝ දිනය ගැන ලියවුණු ගීතයකුත් , “සිය රට ඉඳලා මෙරටට ඇවිදින්” නමැති ගීතයකුත් පොසොන් පොහෝ දා අනුරපුරයේ අසිරිය ගැන කියවෙන ‘ගලා සඳ දිය’ නම් ගීතයකුත්, ‘පොසොන් සඳේ කිරණ ගලාලා’ නමැති ගීතයකුත් මා ගායනා කළා. පියගුණ ගීතයකුත් ගායනා කළා. ‘ඔබ ඉරක් වගේ එළිය අරන්’ නමැති විරහ ගීතයත් , ‘ සමනොළින් නැඟී එන උතුම් බුදු අනුහසින්’ නමැති දේශාභිමානී ගීතයත් මගේ හඬින් ගායනා කර තිබෙනවා . එසේම මගේ නවතම ගීතය වන ‘සුසුමකින්’ ගීතය පසුගිය දා පටිගත කළා.
රියැලිටි තරඟවලින් බිහිවන නව ගායක, ගායිකාවන් ගැන මොකද සිතෙන්නේ……?
ගොඩක් දක්ෂයෝ ඒ තුළින් මුණගැසෙනවා. ඔවුන්ට ඉදිරියට යන්න රියැලිටි තරඟ අත්වැලක් වෙනවා. ඔවුන් ගයන ගීතවල මුල් ගායන ශිල්පීන්ටත් සාධාරණයක් වෙනවානම් හොඳයි .
ගීපද රචකයා_ සංගීතඥයා, තනු නිර්මාණ ශිල්පියා සමඟ ඔබේ ගනුදෙනුව කොහොමද වෙන්නේ……?
කියන්න සතුටුයි, මම ගායනා කළ ගීතවල එකඳු හෝ පද රචනයකට මට මුදල් අවශ්‍ය වුණේ නැහැ . ඒ සියල්ල නොමිලේ ලැබුණේ. තනු නිර්මාණය , සංගීතය ආදිය හොඳ ප්‍රමිතියකින් යුතුව මගේ කටහඬට ගැළපෙන ආකාරයටම කරන්න ඔවුන් මට සෑහෙන්න උදව් කළා.
අනුදි, උසස් අධ්‍යාපනය ලබනවා නේද….?
ඔව්, මාස්ටර්ස් එක කරන්න සිතාගෙන ඉන්නවා. ගුරු වෘත්තියට අදාළ පාඨමාලා හදාරන්නත් බලාපොරොත්තු වෙනවා.
ඔබේ කලාදිවියේ ගුරුතත්හිලා සලකන පිරිසක් වේ නම් ……?
මා හට සිප්සතර පෙවූ ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට, විදුහල්පතිවරුන්ට හිස නමා ආචාර කරනවා. මාහට නර්තනය කියාදුන් ආශා ගීතාංජලී, ශ්‍රීනා කුමාරි, ධම්මිකා, අරුන්දතී සේනාරත්න, නදීෂා ප්‍රියදර්ශනී, වරුණි ආදී ගුරු මහත්මීන්ව, නර්තනාචාරීන්ව මේ මොහොතේ සිහිපත් කරනවා. සංගීතාචාර්ය විශාරද කථිකාචාර්ය මංචන තරුෂාන්, අමරසිරි මුණසිංහ යනාදී මහත්වරුනුත් මතක් කරන්න කැමැතියි.
ඔබේ ගීතවල මාධ්‍යයන් රැසකම ප්‍රචාරය වුණා නේද……?
මගේ ගීත සියල්ලටම ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථා අනුමැතිය ලැබී තිබෙනවා. ඒවා ‘ස්වදේශීය සේවය, සිටි එෆ්.එම්., බෞද්ධයා නාළිකාව, ලක් හඬ, සිත, හිරු, රන්ගිර, ශ්‍රීලංකා රුහුණු සේවය, කඳුරට ගුවන්විදුලිය’ ආදී එෆ්.එම්. නාළිකාවල ප්‍රචාරය වෙනවා. ‘දිදුල රූපවාහිනී නාළිකාවේද, සඳ, චරණ, බෞද්ධයා’ ආදී රූපවාහිනී නාළිකාවලත් මගේ ගීත ප්‍රචාරය වෙනවා. එසේම යූටියුබ් ඇතුළු අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ද මගේ ගීත රසවිඳීන්න පුළුවන් . මගේ ගීත ප්‍රචාරණය වෙනුවෙන් සියලු මාධ්‍ය ආයතවලටත් ස්තුතිය පිරිනමනවා
අනාගත බලාපොරොත්තු එහෙමත් ඇති …?
ටෙලිනාට්‍ය තේමා ගීතයක් ගැයීමටත්, යුග ගායනයක් ඉදිරිපත් කරන්නත් කැමැත්තෙන් ඉන්නවා.
පවුලේ විස්තර කීවොත් ………?
මගේ පවුලේ අම්මයි, තාත්තයි මමයි ඉන්නේ. අම්මා මගේ සංගීත දිවිය පිළිබඳ සොයාබලා කටයුතු කරනවා. තාත්තා තමයි මාව සෑම ස්ථානයකටම රැගෙන යන්නේ. මගේ සංගීත දිවියට නිරන්තරයෙන් සහාය වෙන නදීෂ ප්‍රනාන්දු මහතාවත් , ආදරණීය ආචිචි, සීයා, මව, පියා ලබාදෙන ශක්තිය ආදරයෙන් සිහිපත් කරනවා.
මනෝජ් රුක්මල් කුමාරසිංහ
