ඒකාකාර , නීරස හා ඇල්මැරුණු ටෙලි නාටක විසින් , ටෙලි කාටකය යනු රසික නැණ නුවණ පොහොසත් කරවන නිර්මාණාත්මක පිවිසුමක් සේ දකින්නට මනාප රසික පාර්ශ්වය බල හීන කරනු පිණිස ගන්නා පියවර වත්මන් සිරිලක ටෙලි නාටකය වෙතින් පහසුවෙන් දත හැකිය. රූපවාහිනී නාලිකා ගණනාවක්ම ටෙලිනාටක විකාශය සිය පළමුවැනි කාර්යය හෝ පළමුවැනි කාර්යයක් සේ දකින වගද පෙනේ. උක්ත මාදිලියේ ආකල්පද විවිධාකාර බව අමතක නොකළ යුතුය. වරෙක ඉහළ හෝ ප්‍රමාණවත් ප්‍රමිතියකින් යුතු ටෙලි නාටකද එහිලා හඳුනා ගත හැකිවේ. මෙයින් කියැවෙන්නේ ඒකාකාර, නීරස හා ඇල්මැරුණු ටෙලි නාටක වුව නොවිමසා බැහැර කිරීමේදී අතිශයින්ම ප්‍රවේශම් විය යුතු බවයි.
මෙමඟට කිසිසේත්ම නොවැටෙමින් විකල්ප ලකුණුද සහිතව, ආකර්ෂණිය අංග නොමඳව ගලපා ගත් , විටෙක ප්‍රවේගවත් ගලා යාමකින් සමන්විත ටෙලි නාටකද ප්‍රමිතිය අරභයා නා නා විධ ප්‍රශ්න මතු කරන අවස්ථා හමු නොවනවාම නොවේ. මෙබඳු විටෙකදී විචාර කාර්යයෙහි වගකීම නිසි පරිදි හසුරුවා ගැනීමේදී විද්වත් රසික පාර්ශ්වය අදිසි සහයක් හෝ ලබා දීම වැදගත්ය. රසික සුරවීරආරච්චිගේ තිරනාටකයක් පාදක කොට ගෙන සුපුන් රත්නායක විසින් නිර්මාණය කරන ලදුව පසුගියදා ස්වාධින රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කළ ‘තත්පරයක් දෙන්න’ ටෙලි නාටකය ඉස්මතු කරන්නේම මෙම කාරණයයි.
එනම් ‘තත්පරයක් දෙන්න’ නිරනුමානවම ඒකාකාර , නීරස හා ඇල්මැරුණු ටෙලි නාටකයක් නොවීමයි. එසේම රසික නැණ නුවණ වෙසෙසින් වඩවාලීමේ අරමුණෙන් බැහැර වන්නට අදහස් නොකළ ටෙලි නාටකයක් වීමයි. ටෙලි නාටක නැරඹීම පුරුද්දක් කොට නොගත් පිරිස්ද මෙය නරඹනු පිණිස උත්සුක වීම මෙතැනට ගළපා ගත යුතු තවත් කාරණයක් සේ පෙනේ. ඒකාකාර, නීරස, ඇල්මැරුණු හා නිසරු ටෙලි නාටක නොකඩවා නැරඹීම පුරුද්දක් කොට ගත් රසික පිරිස් මේ හා නන් අයුරින් බැඳීමද තවත් කාරණයකි.
‘තත්පරයක් දෙන්න’ හි පෙරට ඒම හා පසුබෑම යන දෙඅංශය කෙරෙහිම වගකිව යුතු පළමුවැන්නා නිර්මාපක සුපුන් රත්නායකම වේ. එනමුදු තිරනාටක රචක රසික සුරවීරආරච්චිටද එම වගකීමෙන් මොහොතකටවත් ගැලවී යාම අසීරුය. මන්ද පහසුවෙන් දත හැක්කේ සුපුන් විසින් නිර්මාණය කරනු ලැබ ඇත්තේ රසිකගේම තිරනාටකය යන්න පෙනී යන නිසාවෙනි. ඉන් අදහස් කෙරෙන්නේ සුපුන් යනු , රසිකගේ තිරනාටකය විසින් අත්අඩංගුවට ගෙන පසුව අත්හිටවූ සිරදඬුවමක් නියම කෙරුණු අයකු බවට පත්ව ඇති බවය. එනමුදු ටෙලි නාටකයකදී ටෙලි නාටකකරුවාට හිමි ප්‍රමුඛත්වය වෙනස් කිරීමේ තැනකට නම් සුපුන් ගමන් නොකරයි.
චරිත ගණනාවක් ප්‍රධාන චරිත සේ හඳුන්වා දෙමින් දේශපාලන බලපුළුවන්කාරකම් නිසා සිදුවන නොයෙකුත් අතෝරයන් රසික සිත් තැති ගන්වමින් නිරූපණයට සුපුන් වෙහෙස වන්නේ ටෙලි නාටක අනන්‍යතාව පිළිබඳ අභිනව විවරණයකට ඉඩ හසර පාදා දෙමිනි. සුපුන් නිරන්තරයෙන්ම සමීප හා වරෙක අති සමීප රූප නිර්මාණය කරයි. ඒ ඒ චරිත සිය මුහුණු වෙතින් පළ කරන හැඟීම් අදාළ සියුම් ඉරියව් හරහා හසු කර ගැනීමට ඔහු දරන වෑයම සැලකිය යුතු තරම්ය. මෙතැනදී ඔහු කිසිදු චරිතයකට පක්ෂපාතී නොවන්නට වග බලා ගනී. ඔහුට වුවමනා වන්නේම විද්වත් රසිකයා ප්‍රබල නිරික්ෂකයකුගේ තනතුරකට පත් කරලීමයි. මෙයට අනුගත වන විද්වත් රසිකයා මහත් සැලකිල්ලෙන් ටෙලි නාටකයේ රුව හා ගුණ විශ්ලේෂණය කරයි. ඉන් තමාට අවැඩක් වන්නට වුව ඉඩ ඇතැයි වරෙක සුපුන් සිතන්නටද ඇත. එහෙත් රසිකගේ තිරනාටකය ඉන් ඔබ්බට යාමේ අවකාශයක් සුපුන් වෙත පාදා නොදෙයි.
මේ අනුව සඳහන් කළ යුත්තේ ‘තත්පරයක් දෙන්න’ නිසැකවම ටෙලි නාටකයක් නොවී සිනමාපටයක් වූයේ නම් මැනවිය යන අදහසයි. වෙසෙසින්ම රූප රචනය ඉඟි කරන්නේම සිනමානුරූපී ලකුණුය. එසේම පාදක වන පුවත හා සිදුවීම් පෙළ ඉල්ලා සිටින්නේද රූපවාහිනී තිරය අතික්‍රමණයට ඇති බරපතළ වුවමනාවයි. සුපුන් හා රසික මෙය වටහා ගෙන ඇති ප්‍රමාණය සම්බන්ධයෙන් උපකල්පන ඉදිරිපත් කිරීම අපහසුය. සිනමාපටයක් කරා ‘තත්පරයක් දෙන්න’ රැගෙන යාමේ අසීරුතා සමහරවිට ඔවුන් විසින් වටහා ගනු ලබන්නටද ඉඩ තිබේ. එසේම ටෙලි නාටකය නිර්මාණය කිරීමෙන් අනතුරුව එය වඩා උචිත සිනමා තිරයටය යන අදහස පැන නැඟී තිබුණා වන්නටද පුළුවන.
‘තත්පරයක් දෙන්න’ සිනමාපටයක් වූයේ නම් එය නිසැක වශයෙන්ම දේශපාලනික සිදුවීම් හා කරුණු ප්‍රවේගත්ව නිරූපිත නවමු අවස්ථාවක් වන්නට ඉඩ තිබිණි. සිරිලක සිනමාව වෙතින් දත හැකි වූ ‘සාගරයක් මැද’, ‘සත්‍යග්‍රහණය’ , ‘රාජ්‍ය සේවය පිණිසයි’, ‘කවුරුවත් දන්නේ නෑ’ බඳු සිනමාපට අතරට ‘තත්පරයක් දෙන්න’ සිනමාපටයද එක්වන්නට තිබුණේ වැඩි අවස්ථාවකි.
මෙසේ රසිකගේ තිරනාටකය සිනමාවට උචිත පරිදි සැකසුණේ නම් එහි එන ඇතැම් බරපතළ හා තීරණාත්මක ගැටලු සේම පරස්පරතා අවම කර ගැනීමට හෝ අතුරුදන් කරලීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙය මෙසමයේ ටෙලි නාටකය පොහොසත් කරලීමට කැස කවන සෙසු නිර්මාණකරුවන් විසින්ද සලකා බලනු ලැබිය යුතු කාරණයක්ම වේ.
‘තත්පරයක් දෙන්න’ හි එන්නේ කිසියම් බරපතළ රහසක් හා ඊට බැඳෙන අපරාධ සමුච්චයක් පිළිබඳ සත්‍ය තතු අනාවරණය කර ගැනීම සඳහා දරන නිල හා නොනිල ප්‍රයත්න කිහිපයක් දැක්වෙන පුවතක් හා සිදුවීම් දාමයකි. සෑම සිදුවීමක්ම සෙසු සිදුවීම් හා සම්බන්ධ වන වග රසිකයා වැටහෙන්නේ පළමු වටයේදීමය. මේ අතරට පැමිණෙන දේශපාලන සබඳතා හා දේශපාලන අත පෙවීම් යටපත් නොකරන්නටද, සුදුසු පරිදි ඉස්මතු කරන්නටද සුපුන් සූදානම් වෙයි.
මෙහිලා විශ්වාසනීයත්වය යන්න උචිත පරිදි සාක්ෂාත් කරගන්නටත්, එය උචිත පරිදි සනිටුහන් කරන්නටත් සිදුවේ. වැඩි වගකීමක් මෙතැනදී පැවරෙන්නේ තිරනාටක රචක රසිකටය. වෙසෙසින්ම ටෙලි නාටකයේ මැද භාගයෙන් අනතුරුව විශ්වාසනීයත්වය පිරිහුණු අවස්ථා කිහිපයක්ම හඳුනා ගත හැකිවේ. මේවා මඟ හරවා ගත හැකිව තිබූ ඒවාය. එහෙත් ප්‍රාසංගික ටෙලි නාටකයක රැඳී සිටින්නට සිදුවීමද නිසාවෙන් සිදුවූයේ විශ්වාසනීයත්වය යන්නට වැඩි වැදගත්කමක් පිරිනොනැමීමකි. මෙය මඟ හරවා ගන්නට ඇවැසි වැඩි සහයක් ලබා ගත යුතුව තිබුණේ සංස්කරණ පාර්ශ්වයෙනි. එනමුදු චරිත හා සිදුවීම් බහුල නිසාත්, ඒවා එකිනෙක හා සම්බන්ධ කරලීම අනිවාර්ය වීමත් නිසා සංස්කරණ කාර්යය අසීරු වූ සැටියකි. මෙතැනදීද උද්ධරණය කෙරෙන්නේ ‘තත්පරයක් දෙන්න’ වඩා සුදුසු හා වඩා සමීප සිනමාවටය යන්නය.
‘තත්පරයක් දෙන්න’ සිනමාවට සුදුසුය යන්න තහවුරු කරලීමට කැමරා අධ්‍යක්ෂණයද සූදානම්ය. සිනමාව හා ටෙලි නාටකය පිළිබඳ වැටහීමක් නොමැති රසිකයකුට ‘තත්පරයක් දෙන්න’ යනු රූපවාහිනියෙන් විකාශය කෙරෙන සිනමාපටයක්ය යන හැඟීම ඇති වන්නට ඕනෑ තරම් ඉඩ තිබේ.
ආකර්ෂණීය හා මතකයේ රැඳෙන සුලු ටෙලි නාටකයක් බවට ‘තත්පරයක් දෙන්න’ පත් කරලීම සඳහා රූපණ කාර්යය ලබා දෙන පිටිවහල අතිමහත්ය. පෙර සඳහන් කළ පරිදි මෙහි එන හැම චරිතයක්ම කවර මොහොතක වුව ප්‍රධාන චරිතයක් බවට පත්වේ. රූපණයෙහි පළපුරුදු පිරිසකගේ දායකත්වය සහතික කර ගත හැකිවීම සුපුන් ලබා ගත් ජයක් සේ නිර්වචනයට පමා නොවිය යුතුය. කිසිවකුත් වෙසෙසින් කැපී නොපෙනීමද අවධාරණය කළ යුත්තකි.
‘තත්පරයක් දෙන්න’ නවමු ටෙලි නාටක භාවිතයක් වෙනුවෙන් පෙනී සිටිමට නොපැකිළෙන තරුණ වුවමනාවක රසැති හා ගුණැති ඵලයක්ම වේ. ඔවුහු ජයගත යුතු සුවිශේෂ අභියෝගක් වනුයේ ටෙලි නාටකය හා සිනමාව අතරැති වෙනස මැනැවින් වටහා ගැනීමයි. ටෙලි නාටකයේ මීළඟ අදියර සිනමාව නොව ටෙලි නාටකයම බව වටහා ගැනීමට එය මහෝපකාරී වනු ඇත.
තුසිත ජයසුන්දර