Home » ටෙලි තරු රැයක් 22 දා B.M.I.C.H හිදී

ටෙලි තරු රැයක් 22 දා B.M.I.C.H හිදී

- ජනප්‍රිය ටෙලි නාට්‍ය නිෂ්පාදක, ටෙලි තරු රැයක් නිර්මාතෘ චාමර සමරවික්‍රම

by Thanushika
March 20, 2025 10:48 am 0 comment

අධිෂ්ඨානශීලි අරමුණු ඇතොත්, නොපසුබට උත්සාහයෙන් ඒ පසුපස හඹා ගියහොත් කෙදිනක හෝ තම අරමුණු කරා ළඟා විය හැකිය. යන්න වර්තමාන සමාජයට ඔප්පු කර පෙන්වූ ආදරණිය හිතැත්තෙකු පසුගියදා හමුවිණ. ඔහු මෙරට කලා ක්ෂේත්‍රෙය් ප්‍රකට ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙකු වශයෙන් දිර්ඝ ගමනක නියුතු වුවෙකි. මේ වනවිට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ටෙලිනාට්‍ය 50 ට අධික සංඛ්‍යාවක් දායාද කිරීමේ හිමිකමද ලැබූවෙකි. මෙම ටෙලිනාට්‍ය බොහොමයක්ම මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ ආකර්ෂණය දිනාගත් ඒවා මෙන්ම, ප්‍රේක්ෂක ජනතාව ඥානනය කරවීමේ ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටින්නෙකි. ඔහු චාමර සමරවික්‍රමය.

ඔහු පිළිබඳ හඳුන්වාදීමට තවත් අටුවා ටිකා අවශ්‍ය නොවේ. එක්තරා කාලවකවානුවක මෙරට ජනප්‍රියතම ටෙලිනාට්‍යය වී පැවතුණ ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා වූයේ ඔහුය.

චාමර ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මුදල් තිබෙනවාට ටෙලිනාට්‍ය කිරීමට නොවේ. ඔහුගේ එකම අභිප්‍රාය වී තිබුණේ කෙදිනක හෝ කලා ක්ෂේත්‍රයේ යම් තැනකට පැමිණිමටය. එබැවින් ඔහු ඒ වෙනුවෙන් සුදානම් වූයේය. තම අරමුණු සාක්ෂාත් කර ගැනිම උදෙසා ඒවා පසුපස හඹා ගියේය. එවන් උත්සාහයක්, අධ්‍යයනයක් සමඟින් තම සිතැඟියාවන් ඉටුකර ගත් ඔහු වර්තමානය වනවිට මෙරට ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයා බවට පත්වි සිටියි.

චාමර ජන්ම ලාභය ලබනුයේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමයේ දෙබරවැව ග්‍රාමයේය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලබනුයේ දෙබරවැව ජනාධිපති විද්‍යාලයෙනි. පහ වසර ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු චාමර මාතර රාහුල විද්‍යාලයට ඇතුළත් වූයේය. චාමරගේ ජීවන ගමන් මඟ සකසුරුවම් අන්දමින් සකස්වනුයේ සිය ආදරණිය මවුපියන් නිසාය. සෞඛ්‍ය සේවයේ නියුතු වු සිය පියා, තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාව කළ මව, තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීම මේ ගමන් මඟට නිසි නිසි අඩිතාලමක් වැටෙන්නට හේතු වුයේය. චාමරටත්, බාල නැගණියටත් නිසි අධ්‍යාපනයක් සහ නිසි රැකවරණයක් ලබාදිම සඳහා කලකදි ඔවුනගේ මව රැකියාවෙන්ද ඉවත් වන්නීය. ඒ කැප කිරීම අද වනවිට ඔවුන්ගේ ජිවිතයේ අසිරිමත් බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමේ සතුට විඳීම දක්වා රැගෙන විත් තිබේ. අද චාමර මේ රටේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයා වී ඇත. එසෙම ඔහුගේ නැගණිය ගුරුවරියක ලෙසින් මෙරට සුවහසක් සිසු දරු දැරියන්ගේ දෙනෙත පාදන්නියක බවට පත්ව තිබේ. එසේ නම් මවුපියන් වශයෙන් ඔවුන්ට සතුටු වන්නට තවත් කාරණා තියේවිද?

චාමර පාසල් වියේ සිටම කලාවට පෙම් බැන්ද තරුණයකු වුයේය. පාසලේ සන්නිවේදන කවයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් ඔහු නිරන්තරයෙන් කටයුතු කළේය. අධ්‍යාපන කටයුතු අතරතුරදිම පාසල් කාලයෙන් වැඩි කාලයක් ඔහු වැය කළේ විෂයට බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙනි. පාසල් සාහිත්‍ය සංගමය, කථික සංගමටය, පාසල් වේදිකාව, නිවේදන කටයුතු ඇතුළු මේ සියලු තැන්හි චාමර නොමැති තැනක් නොවුයේය.

“ඉස්කෝලෙ යන කාලේ ඉඳලම මම උත්සාහ කළා පොඩි හරි අවස්ථාවක් අරගෙන කලාවට එන්න. නමුත් ඒ කාලේ මට එහෙම අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් මට අවස්ථාවක් ලැබුන තැනදි මම මගේ තැන හදා ගන්න උත්සාහ කළා.”

චාමර කියනුයේ වර්තමානයේ සිට අතිතය දෙස තම දිවි ගමන් මඟ ස්මරණය කරමිනි.

චාමර මාතර රාහුල විද්‍යාලයේදී උසස් පෙළ සඳහා තෝරා ගනුයේ ගණිත විෂයයන්ය. එහෙත් ඔහුගේ ආධ්‍යාත්මය පුරා පැතිරි ඇත්තේ කලාව බව ඔහු හොඳීන් දැන සිටියේය. එනමුදු ඔහු උසස්පෙළ සමත් වීමෙන් පසු භෞතික විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාලයට සමත් වන්නේය. ඔහුගේ මවුපියන්ට අවශ්‍ය වුයේ තම පුතු විශ්වවිද්‍යාලයට ගොස් එතැනින් වෘත්තිකයෙකු බවට පත්වනු දැකීමටය. එහෙත් මේ අතරතුර ඔහුට බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් ලැබීම නිසා ඔහුගේ ගමන්මඟ සම්පුර්ණයෙන්ම වෙනතකට යොමු වන්නේය.

විශ්වවිද්‍යාලයට ඇතුළත් විම පසෙකට දමන චාමර බැංකුවේ රැකියාව බාර ගන්නේ සතුටිනි. පුහුණුවන බැංකුකරුවෙකු වශයෙන් සේවය කරමින් සිටියද, ඔවුන් ස්ථිර සේවයට එක්කර නොගැනීම හේතුවෙන් චාමරගේ ඒ සිහිනයද බොඳ වෙමින් පැවතියේය. එහෙත් ඔහු කිසිදු දිනක තම අභිප්‍රායන් ඉෂ්ට කර ගැනිමෙන් මිස තෘප්තිමත් නොවූවෙකි. ඒ නිසාම ඔහු ඇතුළු තවත් ස්ථිර නොවූ බැංකු සේවකයෝ 340 ක් දෙනෙකු සමඟ රැකියාව ස්ථිර කිරිම වෙනුවෙන් සටන් බිමට බසින්නට චාමර නායකත්වය දුන්නේය.

“අපි අපේ රැකියාවේ ස්ථිරත්වය වෙනුවෙන් සටන් කළා. මම තමයි හැම දෙනාටම නායකත්වය දුන්නේ බැංකුවට එරෙහිව නඩු මඟට බසින්නට තමයි මම ඉස්සරලම කොළඹට පැමිණෙන්නේ. බැංකුවට විරුද්ධව අපි දාපු නඩුවෙන් අපි පැරදුණා. නමුත් පස්සේ කාලෙක අපේ සහෝදරවරුන්ට රැකියාව ලැබුණා. ඒත් මම නැවතත් ඒ රැකියාවට ගියේ නෑ.”

චාමර තම අතීත දිවිය දෙස හැරි බලන්නේය.

චාමරට කොළඹ පැමිණ එහි නවාතැන් ගැනීමට නිසි ස්ථානයක් තිබුණේ නැත. තම මිතුරකුගේ ඥාති නිවසක නවතින ඔහු ඇතුළු පිරිස එහි සිට නඩුව වෙනුවෙන් වෙහෙසුණේය. ටික කලක් යත්දිම අතමිට තිබු මුදල් ඉවර වු බැවින් තව දුරටත් කොළඹ රැදි සිටිමින් ජිවත් වීම අර්බුදයක් බවට පත් වුයේය. මේ නිසාම ඔහුට සිදුවනුයේ කොළඹින් වෙනත් රැකියාවක් සොයා ගැනීමටය. බොහෝ අවස්ථාවල ජිවත් වීම අතිශය දුෂ්කර කාර්යයක් වුයේය. එහෙත් පැමිණි දුක් පැණිරස යැයි සිතමින් තම අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනිම සඳහා ඔහු උත්සාහයෙන් කටයුතු කළේය. බොහෝ අවස්ථාවන් වලදී දිනකට එක් වරක් පමණක් ලැබුණු දෙයකින් කුස පුරවා ගන්නටද ඔහුට සිදුවුණි. මෙවන් අසීරු කාලපරිච්ඡේද ගෙවමින් ඔහු ටිකෙන් ටික තම අරමුණු කරා ළඟා වන්නට විය. ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ ආසාව වු කලාව වෙතද සමීප වීමේ හැකියාව ඔහුට ලැබිණ. තෙකරම් බාධක පැමිණියද ඔහු තම අධිෂ්ඨානය අත් හැරියේ නැත. එක අරමුණක් වෙනුවෙන් තම සිත මෙහෙය වන්නට ඔහු තමන්ටම පොරොන්දු දී තිබිණ. ඒ අරමුණට ළඟා වීමේදී ඔහු බාහිර දේ පිළිබඳ නොසලකා හැරිය අතර, තම ජීවිතයට ළඟාකර ගත නොගත යුතු ත්‍රිත්වයක් පිළිබඳ ඔහු හඳුනාගෙන සිටියේය.

ඒ අතර ඔහු හොරකම ප්‍රතික්ෂේප කළේය. ජිවිතයේ කෙදිනකවත් හොරකමට යොමු නොවු අතර, හොරකම් කරන්නන් කෙරෙහිද තදබල අප්‍රසාදයක් පැවතිණ. එසේම ඔහු නයිට් ක්ලබ් යෑම සහ මත්පැන්ද ප්‍රතික්ෂේප කළේය.

“කෙනෙක් විනාශ වන ප්‍රධාන කාරණා හැටියට තමයි මම ඔය කියන ත්‍රිත්වය හඳුනාගෙන තිබෙන්නේ. කාන්තා ඇසුර, මත්ද්‍රව්‍ය, සොරකම් කිරිම කියන මේ සියල්ලෙන්ම වැළකිලා තමයි මම ජිවත් වෙන්නේ. ඒ නිසා මේ කාලය ඇතුළත මට යම් මුදලක් ලැබුණා. ඒ හැමදේම මම අර පරෙස්සමින් එකතු කළා. ඒක පොඩිකාලේ සිටම මට අම්මා, තාත්තා පුරුදු කරපු දෙයක්. ඒ විදියට මම සෑහෙන්න ඉතිරි කළා. සමහර කාලවල කන්නේ බොන්නේ නැතුව පවා මම ඉතිරි කළා. නමුත් දැන් මම අවශ්‍ය දේට වියදම් කරනවා. මට ආදායමක් තිබෙන නිසා. මට ලැබෙන ආදායමට සාපේක්ෂව මම දැන් වියදම් කරනවා.”

තම අභිප්‍රායන් මුදුන් පත් කර ගැනීමේ අධිෂ්ඨානයෙන් යන ගමනේදී නොකළ යුතු, ඇබ්බැහි නොවිය යුතු දේ පිළිබඳ ඔහු දුන් මේ උපදෙස් සැබවින්ම අනාගතයේ දිර්ඝ ගමනක නියුතු වන්නන්ට සැබැ උපදෙසකි.

චාමරට කලාවට පිවිසෙන්නට මුල්ම අවස්ථාව හිමි වනුයේ ටෙලි නාට්‍යයක කුඩා චරිතයක් රඟපාන්නට ලැබිමෙනි. එසේම එම ටෙලිනාට්‍යයේ නිෂ්පාදන කළමණාකරුවෙකු වශයෙන් කටයුතු කරන්නටද ඔහුට අවස්ථාව ලැබිණ. මාස 5-6ත් වැනි කෙටි කාලයක් ඇතුළත ඔහුට එහි රේඛීය නිෂ්පාදකවරයකු වශයෙන් කටයුතු කරන්නටද අවස්ථාව හිමිවිණ.

“ඇත්තටම මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ආවේ රඟපාන්න තිබෙන ආසාවට. නමුත් නිෂ්පාදකවරයෙකු වශයෙන් ක්ෂේත්‍රයේ නැඟි සිටින්නට මට අත දුන්නේ බුද්ධික කුලසේකර. ඔහු එවකට ස්වර්ණවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරියා. මට ඔහුත් සමඟ නාට්‍යයක් කරන්න ලැබෙනවා. ඔහුට මම කියනවා මේ නාට්‍යයේ මම අතිරේක චරිතයක් රඟපානවා කියලා. මම ඒ නාට්‍යයේ රේඛිය නිෂ්පාදකවරයා. ඒ නිසාම මම කාස්ට් කරන නිසා මට චරිතයක් ගන්න පුළුවන්. නමුත් ඔහු මට කියනවා ඔබ ඒක කරන්න එපා කියලා. ඔබ ප්‍රධාන නළුවා නොවී අතිරේක චරිත කරන්න එපා. කියලා. ඔයා නිෂ්පාදකවරයෙක් විදියට නිෂ්පාදනය පැත්තෙන් හිතන්න කියලා. නළුවෙක් විදියට ඔයාට යන්න තිබෙන පරාසය අඩුයි. ඒ නිසා ඒ ගැන හිතන්න එපා කියලා ඔහු කියනවා. ඔහු තමයි මගේ චින්තනය වෙනස් කළේ. ඔහු මට මේක කියන්නේ 2011 දී. ඒ ගැන හිතලා මමත් මගේ චින්තනය වෙනස් කර ගත්තා. එයින් පස්සේ මම මගේම නාට්‍ය 50ට වැඩිය කළා. එකම නාට්‍යයකවත් එක ෆ්‍රේම් එකකවත් මම ඉඳලා නෑ. ඔහු ඒක මගේ හිතට තදින් කාවැද්දුවා. ඒ නිසා බුද්ධික කුලසේකර තමයි මගේ ගමන වෙනස් කළේ කියලා මම හිතනවා.”

චාමරගේ මුල්ම ටෙලිනාට්‍ය නිෂ්පාදනය වුයේ ‘සිටු මැදුර’ය. ඉන්පසු ඉටිමල්, මුතු පලස, කලු අරලිය, මොනර කඩදාසි, හංස පිහාටු, හාරකෝටිය, කෝටිපතිනියෝ, නාඩගම්කාරයෝ, බොහිමියානුවා, පාරදිගේ, ආදි ටෙලි නාට්‍ය 50ට අධික ප්‍රමාණයක් මේ වනවිට ඔහු නිෂ්පාදනය කර ඇත. ඒ අතර ඔහු මෙ රටේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියම තලයට ඔසවා තබන්නට ද මේ ටෙලි නාට්‍යය සමත් වූයේය. විවිධ වාර ගණනක් ජනප්‍රියම ටෙලිනාට්‍යය වෙනුවෙන් ඔහු සම්මාන දිනා ගත් අතර, සිවු වතාවක්ම හොඳම ටෙලි නාට්‍ය වෙනුවෙන් ඔහුගේ නිර්මාණ නිර්දේශද වී ඇත. මෙතෙක් ඔහුට ලබා ගත නොහැකි වූ සම්මානය වූයේ හොඳම ටෙලිනාට්‍යයට හිමි සම්මානයයි. මතු යම් දිනක එය ලබා ගැනිම ඔහුගේ ඒකායන අරමුණයි.

“මම හිතන්නේ අද මම මෙතනට එන්න හේතු වුණේ මගේ තිබුණ ඒකායන අරමුණයි. මම ඒ අරමුණට වැඩ කළා. ක්ෂේත්‍රයට ආවේ රඟපාන්න තිබුණ ආසාවට වුණාට ඒ අරමුණ බුද්ධික වෙනස් කළා. ඊට පස්සේ මම අරමුණක් ඇතුව නිෂ්පාදකවරයෙක් බවට පත් වුණා. ඉස්සර මම සම්මාන උත්සවවලට ගියේ අනිත් සම්මානලාභීන්ට අත්පුඩි ගසන්න. ඒ කාලේ මමත් හිතින් හිතුවා කවදහරි දවසක මමත් මේ වේදිකාවේ සම්මාන ගන්නවා කියලා. ඒකටත් මට ලොකු ආසාවක් අරමුණක් තිබුණා. මම මුලින්ම සම්මාන ගන්න නැග්ගේ ‘නාඩගම්කාරයෝ’ වෙනුවෙන්. ජනප්‍රිය සම්මාන මට කිහිප අවස්ථාවකදිම ලැබිලා තිබෙනවා. හොඳම ටෙලිනාට්‍ය වෙනුවෙන් මගේ බොහිමියානුවා, සහ රතු අහස යන ටෙලි නාට්‍ය නිර්දේශ වෙලා තිබෙනවා. නමුත් තවමත් මට ඒ සම්මාන ගන්න ලැබිලා නෑ. ඒක තමයි මගේ ඊළඟ අරමුණ. පසුගිය අවුරුදු 10 ඇතුළත මගේ ටෙලිනාට්‍ය රැසක් ප්‍රමුඛ ටෙලිනාට්‍ය 10 අතරේ රැඳීලා තියෙනවා. මම වැඩිපුරම ටෙලිනාට්‍ය කරලා තිබෙන්නේ සිවගුරුනාදන් සමඟ ටෙලි නාට්‍ය 20-30ත් වගේ කරලා ඇති. මම නිෂ්පාදකවරයෙක් යන අර්ථයෙන් ගත්තම මුදල් යොදවනවා විතරක් නොවෙයි. මම කලාවට ආදරෙයි. පිටපත ගැන, නළු නිළියන් ගැන සොයනවා. කලාව ගැන හැම මොහොතෙම අප්ඩේට්. මට අවශ්‍ය වෙන්නේ හොඳ නිර්මාණ කරන්න. මුදල් ගැනම හිතන්නේ නැහැ. නිර්මාණයේ ගුණාත්මක බව ගැන තමයි වැඩියෙන් හිතන්නේ. ඉදිරියටත් නිර්මාණ කිහිපයක් කරන්න සූදානම් කරලා තිබෙනවා. මේ දිනවල පාට කුරුල්ලෝ විකාශය වෙනවා.

පුංචි තිරයේ සිටින ඕනෑම කෙනෙකුගේ ඊළඟ බලාපොරොත්තුව වනුයේ රිදි තිරය. චාමරටද ඒ පිළිබඳ අදහසක් නැත්තේ නොවේ. ඉදිරියේදි ඒ පිළිබඳ අවධානය යොමු කරන්නටද ඔහු බලාපොරොත්තු වෙයි. මේ දිනවල ඔහුගේ මූලික අවධානය යොමු වී ඇත්තේ ඔහුගේම සංකල්පයකට අනුව නිර්මාණය වූ ‘ටෙලිතරු රැයක්’ ප්‍රසංගය වෙනුවෙනි. පසුගිය වසරේ ආරම්භ කරන්නට යෙදුණු මෙම ප්‍රසංගය මේ වසරේ මාර්තු 22 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පස්වරු 7ට අති උත්කර්ෂවක් අන්දමින් පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත. ලියා ගෝල්ඩ් කරු පිරි රැයක් නම් මෙම ප්‍රසංගය සියයට සියයක් දේශීය සමාගමක් වන ඇලරික් සමුහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්විමට නියමිතය. පුංචි තිරයේ ජනකාන්ත තරු 40ට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වන අතර මෙම ප්‍රසංගය මෙම අප්‍රේල් මස 13 වන දින රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වීමටද නියමිතය.

‘ටෙලිතරු රැයක්’ සුපුරුදු පරිදි මේ වසරේදිද කලාකරුවන් කිහිපදෙනෙකුට උපහාර පිදෙන අතර, අයිරාංගනි සේරසිංහ, විජේරත්න වරකාගොඩ සහ ප්‍රවීණ රංගවේදි සනත් ගුණතිලක මෙම සම්මානයන්ට හිමිකම් කියයි.

චාමරගේ ජිවිතය මේ සියල්ල සිදු කරමින් ඉදිරියට ගලාගෙන යනුයේ ඔහු පුසුපස සිටින ඔහුගේ නිබද සෙවණැල්ල වන ප්‍රිය බිරියගේ ධෛර්යය උපකාරය නිසාය. ආදරණිය පුතුන් දෙදෙනෙකු ගේ දයාබර පියෙකු වන ඔහුට සදාතන ශක්තිය වනුයේ ඔහුගේ පවුලය.

ඉදිරියේදිත් යහපත් කලාවක් වෙනුවෙන් කැපවෙන ඔහුට ශුභාසිංසන මේ සමඟ

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT