Home » ටී බෝයිගේ සිට අධ්‍යක්ෂවරයා දක්වා ඉගෙනගන්න දේවල් තිබෙනවා

ටී බෝයිගේ සිට අධ්‍යක්ෂවරයා දක්වා ඉගෙනගන්න දේවල් තිබෙනවා

යොවුන් රංගන ශිල්පී සුපුන් ප්‍රියසාද්

by Thanushika
February 20, 2025 3:31 pm 0 comment

මේ දිනවල ප්‍රේක්ෂක කතාබහට ලක්වන ‘අකුරට යන වේලාවේ, අහස්, බඹරෙක් ඇවිත්’ ටෙලිනාට්‍ය ත්‍රිත්වයෙන් ඔබ හමුවට එන නවක රංගන ශිල්පියකු වන ‘සුපුන් ප්‍රියසාද්’ සරසවිය හා මෙසේ එක්විය.

ඔබ මේ දවස්වල ටෙලිනාට්‍ය තුනකින්ම ප්‍රේක්ෂකයා අතරට එනවා නේද….?

ඔව්, හිරු නාළිකාවේ විකාශය වන ටෙලිනාට්‍ය තුනකින් මම ප්‍රේක්ෂක හමුවට එනවා. කසුන් තරින්ද අයියගේ “අකුරට යන වේලාවේ” ටෙලිනාට්‍යයේ නිමල් නමැති ගැමි චරිතයකින් ප්‍රේක්ෂකයා හමුවට එනවා. ඒවගේම “අහස්” ටෙලිනාට්‍යයේ කාර්යාල සේවකයකුගේ චරිතයක් කරනවා…එය අධ්‍යක්ෂණය කරන්නේ කපිල අයියා. අනික චරිත් අබේසිංහ අයියාගේ “බඹරෙක් ඇවිත්” ටෙලිනාට්‍යය.

විවිධාකාර චරිතවලින් අපි පුංචි තිරයේදී අපි ඔබට දුටුවා….?

මට එකිනෙකට වෙනස් විවිධාකාර චරිත රංගනයට අවස්ථාව ලැබුණා . ඒක ඇත්තෙන්ම ලොකු දෙයක්. ප්‍රේමවන්තයාගේ චරිතය , කාර්යාල චරිත, මැර චරිත වගේම යාචකයකුගේ චරිතයකුත් කළා. එවැනි විවිධ චරිත නිරූපණය කළාට මට ආසාවක් තිබෙනවා හාමුදුරු කෙනෙක්ගේ චරිතයක් කරන්න. එවැනි චරිතයක් ඉදිරියට ලැබේවි කියා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ දිනවල රඟපාන චරිත අතරින් ඔබට සුවිශේෂී චරිතයක් තිබෙනවාද…..?

“අකුරට යන වේලාවේ” ටෙලිනාට්‍යයේ “නිමල්”ගේ චරිතයට මට සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එය ගැමි චරිතයක්. බේකරියක සේවය කරන කොල්ලෙකුගේ චරිතයක් තමයි නිමල් කියන්නේ. ඊට අමතරව “අහස්” ටෙලිනාට්‍යයේ ඔෆිස් තරුණයාගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

කලා ලොවට පැමිණි ආකාරය සිහිපත් කළොත් ……?

මම නිකමට මුහුණු පොතේ උඩට පල්ලෙහාට යන අතරේ අහම්බයෙන් දකිනවා සිසිර කුමාර කියලා අයියා කෙනෙක් දාපු පෝස්ට් එකක්. ඒ පොස්ට් එකේ තිබ්බේ ටෙලිනාට්‍යයකට නවක රංගන ශිල්පීන් අවශ්‍යයි කියලා.ඊටපස්සේ එයාට මුහුණු පොත හරහාම මම මැසේජ් කළා මම කැමැතියි මට අවස්ථාවක් දෙන්න පුළුවන් ද කියලා . එයා කිව්වා ෆොටෝස් ටිකක් දාන්න කියලා. ඒ කතා කරලා තිබ්බේ “හඳයා” ටෙලිනාට්‍යයට. ඒත් ඔහු මට ලබාදුන් වේලාව සමඟ මට ඒ අවස්ථාව මඟහැරුණා. මම ඒ දවස්වල රත්නපුරයේ ගමේ හිටියේ. සිසිර කුමාර අයියා දුන්නු වේලාව පාන්දර වේලාවක්. ඒත් මට රත්නපුරයේ ඉඳන් ඒ වේලාවට කොළඹට එන්න බැරිවුණා . පසුව ඒ අයියම මට කතා කළා ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ “මිදුණු විශ්වය” චිත්‍රපටයට. ඒ චිත්‍රපටය තමයි මම මුලින්ම කැමරාවක් ඉදිරිපිට රඟපෑ පළමු අවස්ථාව . ටෙලිනාට්‍යයක මුලින්ම මට රංගනයට අවස්ථාවක් ලැබෙන්නේ “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ. ඒ සඳහා මට අවස්ථාව දුන්නේ පද්මා මෙන්ඩිස් අක්කා. ඊටපස්සේ ක්‍රමක්‍රමයෙන් වෙළෙඳ දැන්වීම් සඳහාත් අවස්ථාව ලැබුණා .

ඊටපසුව ටෙලිනාට්‍යවලට දිගටම ආරාධනා ලැබෙන්න ඇති…..?

ඔව්, “දෙවැනි ඉනිම”ට පසුව “රාවණා” ටෙලිනාට්‍යයට දායක වුණා.. “කොළඹ ඉතාලිය, කොඩි ගහ යට, හිත ළඟ හිනැහුණා” ආදී ටෙලිනාට්‍ය කිහිපයකටත් හිරු නාළිකාවේ “ඇගේ කතාව, 119” වැනි ටෙලිනාට්‍ය රැසකටත් පසුව අවස්ථාව ලැබුණා.

පාසල් අවධියේ කලා කටයුතුවලට යොමුවුණාද…..?

මගේ පාසල කලවාන ජයන්‍ති මධ්‍ය මහා විද්‍යාලය. පාසල් කාලයේ නම් රඟපෑවේ නැහැ. පාසලින් ඉවත්වුණාට පසුව ජාතික යොවුන් සේනාංකයේ මම පාඨමාලාවක් හදාරන්න යොමුවුණා. ව්ඍQ ඹ්ඥමඥත එක හදාගෙන යන අතරතුරේදී එහි තිබුණා වේදිකා නාට්‍ය කණ්ඩායමක්. එහිදී ඒ වේදිකා නාට්‍ය කණ්ඩායමෙන් කළ නාට්‍යයක වැදි චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ චරිතය රඟපෑවා. රඟපා අවසන් වුණාට පසුව මම එළියට ආවම මට සිතාගන්නවත් බැරි තරමට ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබුණා. ඒ වේදිකා නාට්‍යය නරඹන්න පිටතින් විශාල පිරිසක් ඇවිත් හිටියා. ප්‍රේක්ෂකයෝ ඒ වේලාවේ මගේ ළඟටම ඇවිත් කතා කළා. ෆොටෝස් ගත්තා. වැදි ඇඳුම් පිටින්ම ඉද්දී ඔවුන් මාත් එක්ක ඡායාරූපවලටත් පෙනීසිටියා. එතැනදී මට හිතාගන්න බැරිතරම් ප්‍රතිචාර ලැබුණා. වේදිකා නාට්‍යය රඟපාන්න එද්දි මම කාවවත් හඳුනන්නේ නැහැ . ඒත් නාට්‍යය අවසන් වුණත් හරි මාරම පිරිසක් මට ළංවුණා…

සිනමාවට ආරාධනා ලැබී නැද්ද….?

මෙහෙමයි, මට ආසාවක් තිබෙනවා මේ සම්බන්ධයෙන් ඉගෙනගන්න, ගැඹුරට හැදෑරීමක් කරන්න. මට ඕන මේ සිනමා කලා ක්ෂේත්‍රය තුළ හරවත්, වැදගත් වගේම ප්‍රේක්ෂකයාටත් , රටටත් වැඩදායී දෙයක් කරන්න. මිනිස්සුන්ගේ බුද්ධිය වගේම රසවින්දනය ඉහළ තලයකට ගේන්න යම් හොඳ දෙයක් කරන්න අවශ්‍යතාව මට තදින්ම තිබෙනවා . දෙයක් නොදැන ගිහින් අමාරුවේ වැටෙනවාට වඩා දෙයක් ඉගෙනගෙන ගිහින් යමක් කිරීම තුළ වටිනාකමක් තියෙනවා

එසේ ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරූ දැවැන්ත චරිත ලෙස ඔබ දකින්නේ කවුරුන් ද….?

ඔව්, ඇත්තෙන්ම එවැනි චරිත අපට සිටිනවා වගේම සිටියා. ඒ ගැන මම අධ්‍යයනය කළා. උදාහරණ ලෙස මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ජැක්සන් ඇන්තනී, මහේන්ද්‍ර පෙරේරා, සනත් ගුණතිලක, පාලිත සිල්වා වැනි දැවැන්තයන් අපට සිටියා සහ ඉන්නවා. ඔවුන් මේ රට ඇතුළේ ප්‍රේක්ෂකයාට, රටට දැනෙන්න යමක් කළ මිනිස්සු . ඔවුන් හරහා තමයි මේ කලාව ආරම්භ වුණේ සහ අදටත් කලාව ස්ථාවරව පවත්වාගෙන යෑමට හැකිවී තිබෙන්නේ. ඔවුන් යම් දෙයක් කළ නිසා තමයි අපිට අද මේ ක්ෂේත්‍රයට පය තියන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ ගමන ඉදිරියට අපි යන්නේ ඒ ප්‍රවීණයන් අපට හදලා දීපු මාර්ගය නිසානේ

ළඟදීම තිරගත වීමට නියමිත “ටියුෂන් සර්” චිත්‍රපටයටත් ඔබ දායක වුණා නේද….?

ඔව්, ඒ චිත්‍රපටයේ පෙන්වන ටියුෂන් පන්තිය ඇතුළේ ඉගෙනගන්න ශිෂ්‍යයෙක් ලෙසයි මම එහි රඟපෑවේ. රුවන් පෙරේරා අයියා තමයි අපේ ටියුෂන් සර්. දැනෙන චරිතයක් කළ පළමු චිත්‍රපටය ලෙස මේ “ටියුෂන් සර්” හඳුන්වා දෙන්න පුළුවන්

වේදිකාවට ආරාධනා ලැබුණේ නැද්ද…..?

වේදිකා නාට්‍ය සඳහා මට ඇත්තටම අවස්ථාවක් ලැබුණේ නැහැ. අවස්ථාව ලදහොත් අනිවාර්යයෙන් මම කැමැතියි වේදිකා රංගනයට.

රංගන කලාව හැදෑරීමේදී ඔබට ගුරුහරුකම් දීපු පිරිසක් ඇති….?

මම රංගනය ගැන සහ එහි සෙසු අංගයන් පිළිබඳ යම් දෙයක් ඉගෙනගත්තානම් එහි ගරුත්වය ලැබෙන්න ඕන ප්‍රියාන් අනුර ශ්‍රී ගුරුතුමාට. ඔහු ඇකඩමික් එකක් කළා සුදර්ශි ආයතනය තුළදී. මාස 03ක් පමණ අපි බොහෝ දේ ඉගෙනගත්තා. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ ඇඳුම් නිර්මාණකරණය, වේශ නිරූපණය ආදී අනෙකුත් විෂයයන් ගැනත් ඔහුගෙන් ඉගෙනගත්තා. රංගනය කියන්නේ මොකද්ද කියා මම ඉගෙනගත්තේ ප්‍රියාන් අනුරශ්‍රී සර්ගෙන්. ඉන්පසු මම දායක වූ නිර්මාණවල අධ්‍යක්ෂවරුන්ගෙන් බොහෝ දේ මම ඉගෙනගත්තා

රංගනය හදාරන අතරතුරේදී අධ්‍යක්ෂණය , තිර රචනය වැනි අංශයක් පිළිබඳ ඉගෙනගන්න ආසාවක් නැද්ද…….?

මට ලොකු ආසාවක්, බලාපොරොත්තුවක් තියෙනවා හොඳ අධ්‍යක්ෂවරයකු වීමට. ඒත් දැන්ම නෙවෙයි.ඒ ගමන යන්න නම් මේ ක්ෂේත්‍රය තුළ සියලුම දේ ඉගෙනගන්න ඕන කියලා මම දැඩි සේ විශ්වාස කරනවා. ටී බෝයිගේ සිට අධ්‍යක්ෂවරයා දක්වා අයගෙන් අපි ඉගෙනගත යුතුයි. එසේ එම අවශේෂ අංග හොඳීන් හදාරා තිබුණොත් කවදා හෝ හොඳ අධ්‍යක්ෂවරයකු විය හැකියි. ටී බෝයිගේ සිට අධ්‍යක්ෂවරයා දක්වා පිරිස ගැන මම ඔවුන්ට නොදැනීම ගැඹුරින් අධ්‍යයනය කරනවා. දැනට මම කෙටි චිත්‍රපටයක තිර රචනාවක් ලියා අවසන් කර තිබෙන්නේ

කෙටි චිත්‍රපට – යූ ටියුබ් චිත්‍රපටවලට දායකවුණේ නැද්ද……?

යූ ටියුබ්වල වැඩ දෙකකට පමණ සම්බන්ධ වුණා . කෙටි චිත්‍රපටවලට නම් සම්බන්ධ වුණේ නැහැ

ඔබේ කලා ගමනට පවුලේ අයගෙන් ලැබෙන සහාය සිහිපත් කරනවා නම් …..?

මුලින්ම මම මතක් කරන්න ඕනේ මගේ අම්මයි, තාත්තයි, මල්ලියි. අම්මා සහ තාත්තා දෙන්නා නිසා තමයි මම අද කලා ලොවේ යම් තැනක ඉන්නවානම් ඉන්නේ. මේ ක්ෂේත්‍රයට එන්න මට ගොඩාක් උදව් කළේ අම්මා. මේ ක්ෂේත්‍රයෙන් මම හොඳ ස්ථානයකට එනවා දැකීමයි අම්මාගේ එකම බලාපොරොත්තුව වුණේ. තාත්තත් ඔහුට හැකි විදිහට මට සහයෝගය ලබාදෙනවා

කලා ක්ෂේත්‍රයට ඔබ පැමිණි ආකාරය එක්ක අද වනවිට ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ ….? ඒ තුළ සුන්දර මතක එහෙමත් ඇති……?

කලා ලොවේ මගේ ගමන දෙස ආපසු හැරීබලද්දී මට ගොඩක් සතුටුයි. මම මේ ගමන එන්න ලොකු කට්ටක් කෑවා. රත්නපුරයේ කලවානේ ඉඳන් කොළඹ එන්නත් දුක් වින්ඳා. ෂූටින් අවසන් වුණාම මට කොළඹ ඉන්න තැනක් තිබුණේ නැහැ. බොහෝ අවස්ථාවල කොළඹ බස් නැවතුමක රෑ එළිවෙනකල් ඉන්නවා. හරියට කෑමක්වත් කන්න නැහැ. බඩගින්නේ සිටි දවස් අනන්තවත් තිබුණා. ඒ කටුක අතීතය එක්ක නැවත අද හැරී බලද්දී මාරම සතුටක් තිබෙනවා. කලාවට එන නවක පිරිසටත් කියන්නේ මම කාපු කට්ට ආදර්ශයට ගන්න කියලා. කැපවීමෙන්, උනන්දුවෙන්, කට්ට කාගෙන හිටියොත් මේ කලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න පුළුවන්

තරුණයකු ලෙස ඔබට ප්‍රේමවන්තියක් නැතිවෙන්නත් බැහැ ….?

මේ දිනවල නම් මට පෙම්වතියක් නැහැ. 2023 වෙනකල් පෙම්වතියක් හිටියා. පොඩි ප්‍රශ්නයක් මත ඒ සම්බන්ධය නැවතුණා. අද වෙද්දී මම තනිකඩයෙක්. සුපුරුදු පරිදි කලා කටයුතු කරගෙන නිදහසේ ඉන්නවා. හොඳ ප්‍රේමවන්තියක් ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා

ඔබේ ගමනට උදව් කළ පිරිස කවුද….?

ඔව්, එහිදී නම් වශයෙන් බොහෝ පිරිසක් ඉන්නවා. ලසිත, නුවන්, කසුන්, ඉසුරු, කපිල, ළහිරු, නලින් , ලකී, නිශාන්ත, අනුරුද්ධ යන අයියලත් පද්මා, දිල්රුක්ෂි, මානෙල්, රියෝෂී අක්කලත් විශේෂයෙන් මතක් කළ යුතුයි…

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT