නිවස කළා පුවත් ජෝතිපාලයන්ගේ ගීත හිතට කතාකරන ගීත

ජෝතිපාලයන්ගේ ගීත හිතට කතාකරන ගීත

-ගායන ශිල්පිී ලක්ෂ්මන් කුමාරතුංග

by Thanushika
August 22, 2024 10:50 am 0 comment

රංගන ශිල්පියකු ලෙස සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිස මේ වන විට ගායකයකු ලෙසින් සැලකියුතු පේ‍්‍රක්ෂක අවධානයක් දිනා සිටින කලාකරුවකු ලෙස ලක්ෂ්මන් කුමාරතුංග අපට හඳුනාගත හැකිය. වෘත්තීය ඡායාරූප ශිල්පියකු විදිහටත් අනන්‍යාතාවක් සහිත ලක්ෂ්මන් කුමාරතුංග සිය ගායන දිවියට සමගාමීව නියැළෙන තවත් සුවිශේෂි කලා කටයුතු කීපයක් පිළිබඳත් කළ කතාබහකි මේ.

ඔබ සිනමාවට ප්‍රවේශ වෙන්නේ කොහොමද?

දයා විමලවීරගේ ‘ඡායා’ කියන චිත්‍රපටය ඔස්සේ තමයි මම සිනමාවට පිවිසෙන්නේ.

එහි උප ප්‍රධාන චරිතයකට සම්බන්ධ වන අතරේ දයා විමලවීරගේ ‘රජ දරුවෝ’ කියන චිත්‍රපටයටත් ඊට පසු මට සම්බන්ධ වෙන්න ලැබුණා.

මගේ පළමු ටෙලි නාට්‍යය තිස්ස අබේසේකරයන්ගේ ‘තුන්කල් සිහිනය’ ටෙලි නාට්‍යයයි. පසුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ සිට ටෙලි නාට්‍යය හා වේදිකා නාට්‍ය ගණනාවකට සම්බන්ධ වුණා.

හඬකැවීම් ශිල්පියකු විදිහට කටයුතු කරන්න යොමු වෙන්නේ කුමන නිර්මාණ හරහාද ?

සිරස නාලිකාවේ විකාශය වූ ‘ප්‍රගති,’ ‘ශාන්ති’ වැනි දීර්ඝ ටෙලි නාට්‍ය මාලා ඔස්සේ.

ඒ වගේම වෙනත් රූපවාහිනි නාලිකා කීපයක විකාශය වූ නිර්මාණ ගණනාවකට හඬ කැවීම් ශිල්පියකු ලෙස සම්බන්ධ වුණා. ඔය අතරතුර තමයි මට විදේශගත වෙන්න අවස්ථාවක් සැලසෙන්නේ 1994 වර්ෂයේ. නැවත වසර පහකින් පමණ තමයි ලංකාවට පැමිණෙන්නේ. ඉන්පස්සේ ඡායාරූප ශිල්පියෙකු විදිහට තමයි නැවත මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ‘අරටුව’ කියන ව්‍යාපාරික පුවත්පතට සම්බන්ධ වී. වසර තුනක් පමණ එහි ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරනවා. ඒ අතරතුර මගේම ඡායාරූපගාරයකුත් ආරම්භ කරන්න පෙලඹෙනවා. ඊට පස්සේ මම අලුත් විදිහකට ඡායාරූපකරණය සමඟම මිනිසුන්ගේ රසවින්දනය ඉහළට ගෙනෙන්න තවත් විශේෂ දෙයක් සිදු කළා. ඒ ගැන විශේෂයෙන් කියන්න ඕන මොකද ඒක ලස්සන අලුත් දෙයක්.

ඡායාරූප ශිල්පියකු ලෙස මම සහභාගි වන හා ආවරණය කරන උත්සව අවස්ථාවලට සහභාගී වන කුඩා දරුවන්ගේ රසවින්දනය උසස් කරලන්න අද අපේ සවනින් ඈත්ව යන ගීත තැටි වාදනය කොට දරුවන්ට ඒ ගීත ගයන්න අවස්ථාවක් හදන්න මම කල්පනා කළා. ඒක අලුත් වැඩක්. ඇත්තටම ඒකට ලැබුණ ප්‍රතිචාරය ඉහළයි. ඉන්පසු බොහෝ දෙනෙකුගේ යෝජනාව වුණේ, ඇයි දරුවන්ට විතරක් අපටත් මේ විදිහටම හොඳ රසවින්දනාත්මක ගීත ටිකක් එක්ක ගත කරන්න කාලයක් ගන්න ඉඩක් දෙන්න බැරිද කියන අදහස එතනදි ඉදිරිපත් වුණා. ඊට පස්සේ මට ඒ වගේ වෙනස් ඉදිරිපත් කිරීමක් මගේ ඡායාරූපකරණ කටයුතු එක්ක ආරම්භ කළා. ඒ කියන්නෙ උත්සව අවස්ථාවන් සඳහා ගීත ප්‍රසංග පැවැත්විම ආරම්භ කළා. මේ වන විට එය ඉතා හොඳින් සිදුවෙනවා.

ගීත ගායනයට ප්‍රවේශ වෙන්නේ කොහොමද ?

ඒකත් විශේෂයි. නොසිතූ ලෙස සිදුවූවක් කොවිඩ් අවධියේ.

මිනිස් ඇසුරෙන් දුරස්ථව හිඳීනා කාලයක මම ගායනා කළ ගීයක් මුලින්ම මගේ මුහුණු පොතට යොමු කළා. ඒ ගීතයට මමවත් නොසිතූ ප්‍රතිචාරයක් හිමි වුණේ. මේ හොඳ ප්‍රතිචාරය නිසා ම මම දිගටම මගෙ ගීත මුහුණු පොතේ පළ කරන්න පෙලඹුණා. ඒ අතරතුර මේ ජනප්‍රියතාව නිසා වෙනත් අවස්ථා සඳහාත් ගීත ගායනා කරන්න ආරාධනා ලැබුණා. ඒ ඔස්සේ බොහෝ දෙනෙක් මාව හඳුනාගනු ලැබුවා. ඒ සමඟ විවිධ උත්සව සඳහා වගේම ප්‍රසංග සඳහා ආරාධනා ලැබුණා. ඔය අවධියේදී තමයි විශාරද ප්‍රියන්ත වීරකෝන් සමඟ මට හැඳුනුම්කමක් ගොඩ නැගෙන්නෙ. එතනදි මගෙ ගායන හැකියාව හඳුනාගන්නා ඔහු, ඔහුගේ නව ගීත සංගත තැටියට මගෙ නව ගීත දෙකක් තෝරාගන්නවා. ඒ, පෙරදා පැතූ ප්‍රාර්ථනා සහ හැටවිය පිරුණට නැත මහලු වෙලා කියන ගීත දෙක. එයින් දෙවැන්න යුග ගීතයක්. විශේෂයෙන් පෙරදා පැතූ ප්‍රාර්ථනා ගීතය හරිම ලස්සන හැඟීම්බර ගීතයක්.

එච්. ආර්.ජෝතිපාල ගායකයාණන්ගේ ගීත ගායනයෙහිලා ඔබ කැපී පෙනෙනසුලුයි

ඔව් . ඒක හරි. ඔහුගේ ගීත හරි රහයි. ඒ පබැඳුම් හරි විශේෂ යි. හඬ පෞරුෂය සුවිශේෂ යි. ජෝතිපාලයන් අභාවයට පත් වී දැන් වසර තිස් හතක්. ඒ කාලය පුරා ඔහු ගැයු ගීත ප්‍රමාණය දහස් ගණනක්. ඒ හැම ගීතයක් ම ඉහළ සඳළුතලේ සිට පහළ පොල් අතු පැල දක්වා වු මිනිසුන්ට දරාගත හැකි මට්ටමේ වූ ඒවා වී තියෙනවා. ඔහුගේ ගීත හිතට කතා කරන ගීත. එහෙම පසුබිමක මේ ගීත යළි ඇසෙන්නට සැලැස්වීමෙන්, ගායනා කිරීමෙන් තමයි ඒවා ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒ බව මෑතකදී කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා ඔහුගේ නව ග්‍රන්ථයක් දොරට වැඩීම වෙනුවෙන් පැවැති උත්සවයකදී පවා සඳහන් කරනු ලැබුවා.

මෑතදී පැවැත්වුණු ජෝති ගී ප්‍රංසගය පිළිබඳ කතා කරමු

එච්. ආර්. ජෝතිපාලයන්ගේ තිස් හත්වැනි ගුණ සමරුව නිමිති කරගෙන මේ ප්‍රංසගය පැවැත්වුණේ. එය වාර්ෂිකව පැවැත්වෙන ප්‍රංසගයක්. මටත් එහි ගායනා කරන්න අවස්ථාවක් ලැබුණා. මොකද මගෙ පුංචි කාලෙ ඉඳන් ම මම ආස කළ ආදරණීය ම ගායකයා එතුමා යි. ඉතින් එදා සිට අද වෙනතුරු මම එතුමා ගෙ ගීත ගායනා කරනවා.

ඉතින් ඒ සතුට සමඟ මගෙ කලා කටයුතු වගේම ගායන ක්ෂේත්‍රයේ තවදුරටත් ගමන් කරන්නයි මගෙ කැමැත්ත. විශේෂයෙන් ඉදිරියේ දී මගෙම ගීත කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තමයි මගෙ අවධානය යොමු වී තියෙන්නේ.

 

[email protected]

 

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT