නිවස විශේෂාංග ජීවිතය ගැන අම්මාට පුළුල් දැනුමක් තිබුණා

ජීවිතය ගැන අම්මාට පුළුල් දැනුමක් තිබුණා

චිත්‍රා වාකිෂ්ඨගේ පුතු ප්‍රාන් වාකිෂ්ට කියයි

by Mahesh
September 5, 2024 12:30 am 0 comment

– අපෙ අම්මා හරිම අවිහිංසක චරිතයක් කීවොත් වඩාත් නිවැරදියි
– කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ හාපුරා කියා පෙන්වූ පළමුවන වේදිකා නාට්‍යයේ රඟපෑවෙත් අපෙ අම්මා
– අපෙ අම්මා මුදල් හම්බ කළා..ඒත් ගෙදරට එනකොට ඒ මුදල් මගදිම මිනිස්සුන්ට වියදම් කළා
– රුක්මණී ඇන්ටි හදිසියේ නැතිවුණු බව එදා දැනගත්තාම අපෙ තාත්තා හඬා වැලපුණේ පොඩි දරුවෙක් වගේ
– අපෙ තාත්තා අපට නිතර කියාදුන්නෙ කෙළින් කතා කරන..සෘජුව වැඩ කරන..වැඩක් හරිහැටියට කරන්න බැරිනම් එතැනින් ඉවත් වෙන්න..

“අපෙ අම්මා අපට යෝධ ශක්තියක්…හරියට හිත උණු වෙනවා…අපෙ අම්මයි තාත්තයි කලාවෙන් පෝෂණය වුණා නෙමෙයි. ඒ දෙන්නම කලාව පෝෂණය කළා…”

මෙවර සරසවියෙන් ඔබට හමුවන මේ ආදරණිය සොඳුරු දෙපළ අමුතුවෙන් හඳුන්වා දිය යුතු දෙදෙනකු නොවේ යැයි මට හැඟෙයි..එතරම් මේ දෙපල කලා රසික හදවත්හි තවමත් ජීවමානය..   

මෙහි අපේ ආදරණිය කතා නායිකාව සිනමාව..රූපවාහිනිය..වේදිකාව සහ ගුවන් විදුලිය ඔස්සේ හුරුපුරුදුමය…ඕ වරෙක රූපණවේදිණියකි. තව වරෙක ගුවන් විදුලියේ නාට්‍ය අතර හඬ කැවීමේ ප්‍රකට ශිල්පිනියකි…ඕ තොමෝ චිත්‍රා ධනවල විතාන හෙවත් සහසක් රසික දනන් දැනහැඳීන සිටි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ය..

කොළඹ. පුංචි බොරැල්ල ..ඒබ්‍රහම් අප්පුහාමි මහතා සහ එම මැතිණියට හිමි දූ දරුවන් නව දෙනකුගෙන් යුතු පවුලේ තෙවැන්නිය ලෙසින් 1936 ක්වූ දෙසැම්බර් මස 23දා උපත ලද අපේ කතා නායිකාවගේ පියාණන්ගේ ගම් ප්‍රදේශය ගාල්ලේය..පුංචි බොරැල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ කීර්තිමත් සිසුවියක වූ ඇයගේ ලොකු අයියා සිරිසේන ධනවල විතානය…දෙවැනි සහෝදරයා ධර්මදාසය. තෙවැන්නිය අපේ ආදරණිය චිත්‍රාවන් වූ අතර නන්දා ඇයගේ ළඟම සොහොයුරියය. මල්ලි ලීලාරත්නය.. ඊළඟ සහෝදරිය ගම පුංචි ලෙසින් හැඳීන්වෙන අතර යසවතී සත්වැන්නිය වූවාය..අටවැන්නිය නන්දනීය.පවුලේ බඩපිස්සිය කාන්ති නවවැන්නිය වේ..

එම පවුලේ වෙනත් කිසිවකු කලාවට කොහෙත්ම සම්බන්ධකම් නොමැති වූවද අපේ කතා නායිකාව චිත්‍රාවෝ පාසල් වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් ලෙසින් ඉදිරියටම පැමිණියහ…

සරසවිය වෙනුවෙන් තම ප්‍රේමනීය මවුපිය දෙපල පිළිබඳ කතාබහ කරන්නට මා සමීපයේම දැන් පසුවන්නේද කලා ක්ෂෙත්‍රයේ නියැළුණු රටක් දන්නා හඳුනන කලා ශිල්පියෙකි.

නොඑසේනම් ස්වාධීන රූපවාහිනී සේවයේහි විධායක නිෂ්පාදකවරයකු මෙන්ම එහි නාට්‍ය ඒකකයේ හඬ කැවීම් අංශයේ ප්‍රධානියා ලෙසින් හා නිවේදක ශිල්පියකු ව මේ වනවිට විශ්‍රාමික සුවයෙන් පසුවෙමින් දැනටත් හඩ කැවීම් ශිල්පියකුව කටයුතු කරන ප්‍රකට නිදහස් මාධ්‍යවේදී අපේ කතා නායිකාවගේ ආදරණිය දූ පුතුන් පස්දෙනා අතුරින් තෙවැන්නා වන අපේ ප්‍රාන් වාකිෂ්ඨ මහතාය..

ඔහු වඩාත් ප්‍රියමනාපය…හඬ පෞරුෂයද අසමානය. හේ තවමත් සිනාමුසු මුහුණකිනි.

අපේ ආදරණිය ප්‍රාන් සිය කටහඬ අවදි කරන්නේය.

“අපෙ අම්මා හරිම අවිහිංසක චරිතයක් කීවොත් වඩාත් නිවැරදියි. පොඩ්ඩක් ඇත්නම් හිත උණු වෙනවා. පුංචි සන්දියෙත් අපෙ අම්මා එහෙමමලු..”

” අපෙ අම්මා රංගන ජීවිතය ආරම්භ කළේ පාසල් වේදිකාවෙන්..පාසලේ හැම නාට්‍යයකටම අම්මාව තෝරාගෙන තියෙනවා. දක්ෂතාවය නිසා.. මුල්ම වේදිකා නාට්‍ය “පන්ති ගෝට්ටිය” ..ඒ එක්කම ගුවන් විදුලියට යන්න අපෙ අම්මා ට අවස්ථාව ලැබී තියෙනවා.. ඒ ගුවන් විදුලියේ නාට්‍යවලට හඬ කැවීම් ශිල්පිණියක විදිහට..

ඈ පුත් ප්‍රාන් තම මව්තුමිය පිළිබඳ කතාකරන්නේ හදපිරුණු බලවත් ස්නේහයකින් යැයි මට සිතේ.

අපේ සොඳුරු කතා නායිකාව චිත්‍රා වේදිකා නාට්‍යවල රඟපෑමට යන මුල් අවධියේදීම එහි රඟපාන්නට පැමිණි තරුණයකු දැනහඳුනාගන්නට වූවාය. ඔහු ඇයගේ ආරක්ෂකයා වූවාසේය..ගුවන් විදුලියට..නාට්‍යයට යන මග ඇයගේ තනි නොතනියට ඔහු ඈ සමීපයේමය. එය ඇයට මහත් සවියක්ම විය. දැන් දැන් හොඳීන් දැනහඳුනාගත් තරමය.. ඔහුට ඇයද ඇයට ඔහුද නොදැක නොබලා හිඳීන්නටද අපහසු තරමි.

එහෙම ඉතින් එකට හමුවන විට අපෙ අම්මා හා ඔහු අතර ලොකු හාදකමක් ඇතිවී ඒ හාදකම පස්සෙ ලොකු ආදරයකට බඳුන් වුණා.. එයා එක්ක තමයි පස්සෙ විවාහ වුණේ.. ඒ තමයි අපෙ තාත්තා ”

අපේ ප්‍රාන්ගේ මුවග මෙතුවක් නොදුටු විසල් සිනහවකින් වසා පැතිර ගියේය..අපේ ආදරණිය චිත්‍රාගේ ජීවන සහකරු වූයේ අන් කිසිවකු හෝ නොව කලා ක්ෂෙත්‍රයේ නමක් රැන්දූ ගුවන් විදුලියේ හඬ කැවීමේ ශිල්පියකුසේම රංගන ශිල්පියකුද වූ අපේ ආදරණිය ලොයිඩ් වාකිෂ්ඨයන්ය.

මේ ගතවන්නේ හැටේ දශකයයි. අපේ චිත්‍රාවන් “කාලගෝල” වේදිකා නාට්‍යයේ දික්තලාව වෙමින් ගැයුම් සිරිතෙහිද ඕ සිරිමත් බව ප්‍රකට කළාය..

අපේ ප්‍රාන් යමක් කියන්නට සැරසෙයි.

“අමල්..ඔයාටත් මතක ඇති..ඇන්නෑවේ මළකෝලම්..පාරෙ යන්නට බෑ මුන්දෑ සමගින්..” එතකොට ” රතගන සිරියා..පරදන නිමල කොමළ..”

“ඔය වගේ ගීත එදා ප්‍රථම වරට ගායනා කළේ වෙන කවුරුවත් නෙමෙයි. අපෙ අම්මාමයි..ඒ ගීත එදා ගුවන් විදුලියේ පටිගත කළා..අදටත් එහි ඒවා සුරැකිව තිබෙනවා..පස්සෙ ..පස්සෙ ඒ ගීත වෙන වෙන අයත් ගයන්න ගත්තානෙ.. අපෙ අම්මා ඒ කාලෙ බොහොම ලස්සන තරුණියක්…ඒ වගේමයි ගායන කුසලතාව වගේම රංගනයත් .ඕනෑම චරිතයක් රඟපාන්නට අම්මා තුළ පුදුම හැකියාවක් තිබුණා. දෙබස් උච්චාරණය..චරිතයට ම ඈඳෙන ශබ්දාර්ථය ..ඒ නිසයි රසිකයාට තවමත් අපෙ අම්මාව හොඳීන් මතක තියෙන්නේ..”

සිරිසේන විමලවීරයන් ඇතුළු බොහෝ දෙනකු ඇයට අතහිත දුන්නේ තමන් වෙත පවරන කාර්යය ඕ නොපිරිහෙලා ඉටුකරන නිසාවෙන්මය. කාලගෝල හි කාලගෝලයාට සිටියේ එවක ප්‍රකට ගුණපාල නළුවෙකි. ඉමහත් ජනප්‍රසාදයකට පාත්‍ර වූ කාලගෝල හි පසුව රඟපෑවේ විනී රන්වලය. පොතේ ගුරා වූයේ ධර්ම ශ්‍රී මුණසිංහයන්ය.

“අමල්..ඔය කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ හාපුරා කියා පෙන්වූ පළමුවැනි වේදිකා නාට්‍යයේ රඟපෑවෙත් අපෙ අම්මා ..”

එදින එම නාට්‍ය නැරඹීමට පැමිණි පිරිස විශාලය .ඒ පිරිස අතර මුල් පෙළේ පසුවූයේ තම දියණියගේ රැඟුම් බලන්නට ආසාවෙන් පැමිණි චිත්‍රාගේ අම්මා තාත්තා ඇතුළු ඇයගේ සහෝදර සහෝදරියන්ය. චිත්‍රාවෝ වේදිකාවේ ඒ මේ අත යමින් අපූරු රංගනයකය…ප්‍රේක්ෂකයාට ඉවසුම් නැති නියායෙන් අත් පොළසන් දිදී ප්‍රීතිය හඬ ගා පළකරද්දී හැම අතකින්ම වාගේ මුදල්ද වේදිකාව දෙසට විසි කෙරිණි..එදෙස සතුටින් බලාසිටි ඇයගේ නැගණිය යසවතී එම මුදල් අහුලන්නට යාමෙන් අම්මාගෙන් බැණුම් අසා පසෙකට වී මුහුණ එල්ලාගෙන සිටින්නට වූ වාය “අපෙ යසවතී පුංචිටත් පස්සෙ ලැජ්ජා හිතුණා “යි ද කීයේය..

“ගෙදර ඈයෝ නම් මුලදි අපෙ අම්මා රඟපාන්නට යන බව නම් දන්නේම නැතිලු..දැනගෙන අපෙ ආච්චි විරුද්ධවෙලත් තියෙනවා. ඉතින් ඒවාට අම්මා ගිහින් තියෙන්නෙ ගෙදරට හොරෙන්..”

අපේ සොඳුරු කතා නායිකා චිත්‍රාවන් රඟපෑ වේදිකා නාට්‍ය ගණන සියයකට අධිකය… ඒ අතරේදී ඕ තොමෝ වේදිකා නාට්‍ය සමඟ රටපුරා ගියාය..ගුවන් විදුලියේ නාට්‍යවලදීද අතිශය කාර්ය බහුල විය. රූපවාහිනිය පැමිණීමත් සමග ඕ මුලින්ම රඟපෑවේ “දිමුතු මුතු” ටෙලි නාට්‍යයේය. ප්‍රකට නිළි ප්‍රියා රණසිංහ ගේ මවට රඟපෑවේද ඇයයි.

හෙළ සිනමාවටද පිවිසි ඇය මුලින්ම රඟපෑ සිනමා සිත්තම වූයේ සිරිසේන විමලවීරයන්ගේ “පොඩි පුතා”ය .

අපෙ අම්මා චිත්‍රපට සෑහෙන සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණය කළා..හරිම බඩු තුනක්..තවලම 2..තට්ටු ගෙවල්… සීතල වතුර.. ඔන්න බබෝ ඇතින්නියා..ඔබටයි ප්‍රියේ ආදරේ.. පරසතු මල්..යුගාන්තය.රෑන ගිරව්…වගේ තවත් චිත්‍රපට රැසකම අපෙ අම්මා රඟපෑවා..එතකොට ගුවන් විදුලියේ තක්සලාව..ගුවන් විදුලි රඟමඬල..ආදී නාට්‍ය රැසකම අපෙ අම්මා හඬ කැවීම් ශිල්පිනියක ලෙසින් කටයුතු කළා..”

අපෙ අම්මා මුදල් හම්බ කළා..ඒත් ගෙදරට එනකොට ඒ මුදල් මගදිම මිනිස්සුන්ට වියදම් කරලා.. නැති බැරි අයට උදව් කරන්නමයි අම්මා ගෙ හිත තිබුණෙ..එයාගෙ හිත හරිම සංවේදියි.. ඉක්මනින් හිත උණුවෙන කෙනෙක් අපෙ අම්මා ”

ජනාධිපති සම්මානය පිරිනැමීමේ වැඩ සටහන ඇරඹුණේ 1977 වසරේදීය.. එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යුගයය. රටට ප්‍රකට වූ ප්‍රථම ජනාධිපති සම්මාන මහෝත්සවයේදීම ගැහැනු ලමයි” සිනමා සිත්තමේ රඟපෑම වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන්නට චිත්‍රාවෝ භාග්‍යවන්තියක වූවාය.

“අපෙ අම්මා තුළ ජීවිතය ගැන පුළුල් දැනුමක් වගේම සෑම විෂයයක් ගැනම දැනුම් සම්භාරයක් තිබුණා .. එතුමිය අපට යෝධ ශක්තියක්ම වුණා.. එතුමිය එදා අපට දුන් අවවාද උපදේශවල වටිනාකම් අදටත් වලංගුයි..”

ප්‍රාන් තම මව්තුමිය සමග අතීත මතක සටහන් ඔස්සේ සැරිසරන්නේ යැයි ඔහු මුහුණින් මොනවට විද්‍යාමාන වෙයි…

මම අපේ පිළිසඳර වෙනතකට යොමු කරවීමේ අදහසකින් ආදරණිය චිත්‍රාවන්ගේ ආදරණිය සැමියා වූ ලොයිඩ් වාකිස්ඨ ගැන විමසන්නට වූයෙමි.

“අපේ තාත්තා ” යැයි සෙමින් තමන්ටම මුමුණා ගනිමින් ටික වේලාවක් බිමබලාගත්වනම නිහඬව සිටින්නේය..

“අපෙ තාත්තා හදවතින්ම අවංක මනුස්සයෙක්…වැඩ පොළේදී නොදැනුවත්ව ඇල්පෙනෙන්තක් ඇඳුමේ දැවටිලා ගෙදර ගෙනාවාය කියල හිතමුකො.. ඒකත් පසුදා ගියාම ආයතනයට බාරදෙන ජාතියේ උතුම් මනුස්සයෙක් .. ”

“කෙළින් කතා කරන්න..සෘජුව වැඩ කරන්න..වැඩක් හරිහැටියට කරන්න බැරිනම් එතැනින් ඉවත් වෙන්න..තමන්ගේ හිතට එකඟව කටයුතු කරන්න .. මෙහෙමයි අපෙ තාත්තා අපට නිතර කියාදුන්නෙ..ඒ කියාදුන් දේවල් අදටත් ඇහෙනව ඇහෙනව වගේ..ඇත්තමයි..අපෙ තාත්තා නීතිගරුකයි..”

ප්‍රාන්ගේ කටහඬ හැඟීම්බර යැයි මට හැඟේ.

අපේ චිත්‍රාවන්ගේ සැමියා ලොයිඩ් වීරතුංග වාකිස්ඨ හෙවත් අප කවුරුත් දන්නා ලොයිඩ් වාකිෂ්ඨ ය. කතා නායක තෙමේ 1930 ක්වූ අගොස්තු මස 18 වැනිදා මාතරදී උපත ලබා ඇත.. ඇන්ඩ්‍රෘ වීරතුංග වාකිෂ්ඨ මහතා ඔහුගේ පියාණන් වූ අතර අපේ ලොයිඩ්ට අක්කලා දෙදෙනකුද මල්ලි කෙනකුද සිටියේය . ඔහු පවුලේ තෙවැනි පිරිමි දරුවාය.

මාතරින් කොළඹට පැමිණි හෙතෙම කොළඹ කේරි විද්‍යාලයේ ඉගෙනුම ලැබීය. උපාලි විජයවර්ධන සමූහ ව්‍යාපාරයට අයත් කොලෝනියම් මෝටර්ස් ආයතනයේ ගබඩා පරිපාලක ලෙස රැකියාවේ යෙදෙමින් කලා ක්ෂෙත්‍රයට එක්වූයේය..

“අපෙ තාත්තා “ඔන්න බබෝ ඇතින්නියා” වේදිකා නාට්‍යයේ රඟපානකොට විජය කුමාරණතුංග මහත්මයත් ඒ නාට්‍යයේ රඟපාලා තියෙනවා. රුක්මණී දේවී මහත්මිය සමඟත් සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා සමගත් තාත්තා රඟපෑවා.. පස්සෙ සිනමාවටත් රංගනයෙන් එකතු වුණානෙ..රුක්මණී දේවියට තිර පිටපත ඉංග්‍රීසියෙන් ලියා දීල තියෙන්නෙත් අපෙ තාත්තා තමයි. ”

“අපෙ අම්මා අපට නිතර කීවෙ මුදල් බලන්න එපා.. තමන්ගේ වැඩේ හරියට කරන්න කියලයි.

අම්මායි තාත්තායි දෙන්නම කිව්වෙ මිනිසුන්ට උදව් කරන්න..ඇත්තෙන්ම අපෙ අම්මා තාත්තා දෙන්නාම බොහොම දුක් විඳලා කලාව පෝෂණය කළා කියලා මම අදටත් ඉහළින්ම විශ්වාස කරනවා…ඒ දුන්න වටිනා උපදෙස් අනුව අපි ජීවත් වෙනවා.. ”

රුක්මණී ඇන්ටි හදිසියේ නැතිවුණු බව දැනගත්තාම අපෙ තාත්තා හඬා වැලපුණු තරම්..පොඩි දරුවෙක් වගේ එදා තාත්තා හඬා වැලපුණේ..”

වාකිෂ්ඨ ලොයිඩ් හොඳට කෑවේය..හොඳට බීවේය.. ඒද තමන්ගේ ගරුත්වය හැම තැනකදීම ඉහළින්ම රැකගත්තේය..ඔහුගේ ප්‍රථම සිනමා සිත්තම වූයේ “දීපශිඛා “ය.

“ඒ චිත්‍රපටයෙ තාත්තා රඟපාන්න ගියේ අපෙ අම්මා ට බොරු කියලා. ”

චිත්‍රා සහ ලොයිඩ් දෙපලගේ විවාහයෙන් පසුව ඔවුනට හිමිවූ පළමු දරුවා වූයේ රන්ජන් වාකිෂ්ට ය. දෙවැන්නා ෂම්මිය.. තෙවැන්නා මා හා සුහද පිළිසඳරේ පසුවන අපේ ප්‍රාන් වාකිෂ්ඨ ය. ප්‍රසන්න සිව්වැන්නාය. පස්වැන්නිය වන්නේ රුවනී දියණියය.

80 දශකයේදී ප්‍රවීණ මාධ්‍යවේදී…ප්‍රවෘත්ති නිවේදකයකුද වන ප්‍රාන්ද ප්‍රංශ චිත්‍රපටයක රඟපෑමට වරම් ලද්දෙති. එහි ප්‍රාන්ගේ සොහොයුරාට රඟපෑවේ නර්තන ශිල්පියකු වන චන්දන වික්‍රමසිංහ ය. ටෙලි නාට්‍ය රංගනයටද පිවිසි ප්‍රාන් තම මවුපියන්ගෙන් ලද ආභාසය අනුව යමින් ගුවන් විදුලියේ හඬ කැවීම් ශිල්පියකු ලෙසින් කටයුතු කරන්නේය.

හිමකතර චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවන අතරේදී ලොයිඩ් වාකිෂ්ට සදහටම දෙනෙත පියා ගත්තේය.

එහි ඉතිරි වැඩ කටයුතු වින්සන්ට් වාස් රංගන ශිල්පියාට පැවරිණි.

වයසින් අවුරුදු 51 ක් පසුකරමින් සිටියදී තම හිමි සමුගෙන නික්ම යාම චිත්‍රාවෝ අපහසුවෙන් දරා ගන්නට ඇත.

ලොයිඩ් නික්ම යන්නට වූයේ 1981 ක්වූ මාර්තු මස 19 වැනිදාය..

සිදුවන සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි චිත්‍රාවෝ කලෙක සිට වැලඳුණු පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගත්තාය.. දූ පුතුන් මැද තමන් බලවත්සේ රෝගාතුරව සිටීයැයි ගණන් නොගන්නා තරමට සැහැල්ලුවෙන් කල් හැරි අතර ඇය දූ දරුවන් ගේ සතුට දැක ඉහවහා ගිය සතුටින් එදෙස බලා සිටියාය.

“අපෙ අම්මා පුදුම සැහැල්ලුවකින් කාලය ගතකළේ..අම්මාට ජිවිතය ගැන හොඳ අවබෝධයක් තිබුණ නිසා වෙන්නැති.”

තම දූ දරුවන්ගේ නොමඳ ආදරයට..රැකවරණයට පාත්‍ර ව පසුවූ චිත්‍රාවන් කිසිවකුට හෝ නොකියා නොදන්වාම 2019 වසරේ මැයි මස 31 වනදා රහසේ ම නික්ම ගියාය.

ඒ වනවිට ඇයට වයස අවුරුදු 83කි.

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT