Home » ජි්විතයේ හොඳම දවස් The Perfect Days

ජි්විතයේ හොඳම දවස් The Perfect Days

by Mahesh
November 21, 2024 12:30 am 0 comment

– 96 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටය අංශය වෙනුවෙන් ජපානය නියෝජනය කළ චිත්‍රපටය
– සිනමා ලොවේ දැවැන්තයකු වන ජර්මානු ජාතික විම් වෙන්ඩර්ස්ගේ අධ්‍යක්ෂණයක්
– මිනිස් දිවියේ අර්ථසම්පන්න බව කදිමට සාකච්ඡාවට ලක් කරන අපූරු සිනමා කෘතියක්

උදෑසන අවදි වීම, දත් මැදීම, වැසිකිළි යෑම, ආහාර ගැනීම, කාර්යයන් හි නිරතවීම, රාත්‍රි නිදා ගැනීම යනාදි දෛනික චක්‍රීය ජීවිතයේ ඒකාකාරී වූ පිළිවෙළ විසින් ජීවත් වීම යන සාධකයේ වටාපිටාව නිරායාසයෙන්ම නිර්මාණය කරනවා. පෘතුවියේ බිලියන අටකට ආසන්න ජනගහනයක් තුළ ඉන් මිලියන 40ක් වෙසෙන ජපානයේ තෝකියෝ නුවර ‘හිරයාමා’ නම් මැදි වයස ඉක්ම වූ සාමාන්‍ය වැසියෙකු වාසය කරයි. ඔහු තෝකියෝ⁣ නගර මධ්‍යයේ ම කුඩා නිවාසයක හුදෙකලාව දිවි ගෙවයි. ඔහුගේ වෘත්තිය වනුයේ තෝකියෝ නුවර පිහිටි වැසිකිළි ශුද්ධ පවිත්‍ර කිරීමයි. උදෑසනම අවදිව, වෘත්තිය සඳහා හැඳ පැලඳගෙන නිවසින් දොර විවෘත කරන ‘හිරයාමා’ ප්‍රබෝධමත්ව හිස් අහස් කුස දෙස බලා සිනහවක් පළ කරයි. කාසි කිහිපයක් දමා සිසිල් බීම පිරි යන්ත්‍රයෙන් බීම එකක් රැගෙන පානය කරති. අනතුරුව සිනහ මුසු මුහුණින් වෑන් රිය පදවාගෙන තෝකියෝ මාර්ග දිගේ වෘත්තිය සඳහා පිටව යයි. තෝකියෝ නගර මධ්‍යයේ අහස් කුස අරා සිටන ‘ස්කයි ට්‍රී’ කුලුන දෙස නෙත් ඉහළට යොමා පුදුමයෙන් මෙනි. ප්‍රේක්ෂකයාට කොළඹ නගර මධ්‍යයේ පිහිටි විසල් නෙළුමි කුලුන සිහි ගන්වයි. විනෝදාංශ ලෙස නිවසේ කුඩා ඉඩක මල් පැළ වවති. රොක් ශෛලියේ ගීතවලට සවන් දෙති. පොත් කියවති. අව්‍යාජත්වයේ ප්‍රතිමූර්තියකි. තම වෘත්තියට අවංක මේ අපූරු මිනිසාගේ දෛනික ජීවිතය ගෙවෙන්නේ මේ ඒකාකාරි වූ චක්‍රයට අනුව ය.

‘හිරයාමාගේ’ ජීවිතය අල්පේච්ජ වූවකි. වචනයකින් හෝ අනෙකා හිංසාවට පත් නොකරන අහිංසක මිනිසෙකි. මේ අපුරු සලරුව Perfect Days’ චිත්‍රපටයයි. දින 17ක් වැනි කෙටි කලකින් රූගත කර නිම කළ ‘Perfect Days’ අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ සිනමා ලොවේ දැවැන්තයකු වන ජර්මානු ජාතික ‘විම් වෙන්ඩර්ස්’ විසිනි. සිනමාපටයේ මහ ලොකු සිනමා හාස්කම් නොමැත. කතාවට සාපේක්ෂව අති සරල සිනමා භාවිතාවක් පිහිටුවා ඇත. සමීප රූප, මධ්‍යම රූප සමඟ දුර රූප මොහොතින් මොහොත ජේදනය වෙති. චිත්‍රපටයේ රිද්මය වාර්තා චිත්‍රපටයක් මෙනි. නරඹන්නා ‘හිරයාමා’ නමි මිනිසා දෙස බලන සක්‍රීය නිරීක්ෂකයකු බවට පත් කරයි. සාමාන්‍ය මිනිසෙකුගේ සාමාන්‍ය දිවි පෙවත විම් වෙන්⁣ඩර්ස් විසින් නිරූපණය කරන්නේ යථාර්ථවාදී දෘෂ්ටි කෝණයෙනි. මුළු චිත්‍රපටය වැය වන්නේ සතුට (happy) යනු කුමක් දැයි සෙවීමට ය. එනම් ජීවිතය යනු කුමක් දැයි අර්ථකථනය කිරීමට ය.

මඳක් සිතන්න! ඔබගේ අවට සමීපයේ සිටින කමිකරුවකුගේ දිවිය ගෙවෙන්නේ කෙලෙසදැයි කියා? සාපේක්ෂව වරප්‍රසාද සහිත පිළිගත් වෘත්තියක යෙදෙන පුද්ගලයකුට වඩා කම්කරුවකුගේ ජීවිතය එතරම් සංකීර්ණ නොවේ. විම් වෙන්ඩර්ස් ‘පර්ෆෙක්ට් ඩේස්’ චිත්‍රපටය හරහා මිනිසෙකුගේ දෛනික දිවිය හොඳම දවස්වලට පෙරළා ගන්නට දරන තැත පිළිබඳව ය. ලංකාවේ වැඩ කරන ජනතාව වෘත්තියට හදවතින් එකඟව අවංකව සිදු කරනවාද? යන්න නැවත වරක් සිතා බල කරන්නට යෝජනා කරන චිත්‍රපටයකි. එක් පසෙකික් හුදෙකලා වූ මිනිසෙකු තම ජීවිතය විනෝදාංශවලින්, කලාවෙන්, සාහිත්‍යයෙන් සරසා ගන්නා අයුරු පිළිබඳ කදිම වූ ආදර්ශයක් පෙන්වා දෙයි. ‘Perfect Days’ චිත්‍රපටය නිර්මාණය වීමට පසුබිම් කතාවක් තිබේ.

එනම් COVID-19 වසංගත තත්ත්වය පහ වූ වහාම ලොව පුරා ආරාධිත භූමි අලංකරණ නිර්මාණකරුවන් 16 දෙනෙකුගේ සහාය ඇතිව තෝකියෝ නුවර ෂිබුයා ප්‍රදේශය පුරා ස්ථාන 17ක පොදු වැසිකිළි ව්‍යාප්තියක් ආරමිභ කරන ලද අතර, එය ‘The Tokyo Toilet’ නිරීක්ෂණය කිරීමට ව්‍යාපාරික Koji Yanai කචදචඪ විසින් විමි වෙන්ඩර්ස් හට ටෝකියෝ වෙත ආරාධනා කරන ලදී. මෙම එක් එක් පහසුකම්වල සුවිශේෂත්වය දෙස බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට Wenders හට ආරාධනා කරන ලදී. විම් වෙන්ඩර්ස් වාර්තා චිත්‍රපටයකට වඩා වෘත්තාන්තමය චිත්‍රපටයක් නිර්මාණය කිරීම සුදුසු බව තීරණය කරන්නේ එය ප්‍රේක්ෂකයන් වෙත නවමු සිනමා අත්දැකීමක් ලබා දීමේ අරමුණ ඇතිවයි. විම් වෙන්ඩර්ස් හට මෙම කතා සංකල්පය පහළ ⁣වන්නේ මෙම ජපාන සංචාරය නිසාවෙනි. දින තුනක කුඩා කාලයකින් චිත්‍රපටයේ තිර රචනාව විම් වෙන්ඩර්ස් සහ ‘ටකුමා ටකසාකි නමි තිර රචකයා අතින් ලියවෙයි. චිත්‍රපටය ජපානයේ තෝකියෝ නුවර අවට රූගත කරන අතර දින 17ක කුඩා කාලයකින් චිත්‍රපටය රූගත කර අවසන් වෙයි.

චිත්‍රපටයට ලැබුණ ජනප්‍රියත්වය සහ ගුණාත්මක ප්‍රතිචාර නිසාවෙන් ජපානයේ පොදු වැසිකිළි පද්ධතිය පිළිබඳ ව්‍යාප්තිය පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබීම සුවිශේෂී තත්ත්වයක්. චිත්‍රපටයේ ශෛලිය (style) ජපන් සිනමාවේ ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂකවරයකු වන ‘යෂිජුරෝ ඕෂුගේ’ සිනමා ශෛලිය බෙහෙවින් බලපෑ බව අධ්‍යක්ෂ විම් වෙන්ඩර්ස් විසින් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා. යෂිජුරෝ ඕෂුගේ ‘The Tokyo Story’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ‘හිරයාමා අම්මාගේ’ නම ‘Perfect Days’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ නම සඳහා යොදාගත් බව විම් වෙන්ඩර්ස් සඳහන් කරනවා. හිරයාමා චරිතය නිරූපණය කරන්නේ ජපන් සිනමාවේ සම්මාන පිට සම්මාන දිනූ විශිෂ්ට රූපණවේදියකු වන ‘Koji Yakusho’ විසිනි. 2024 පැවති ආසියානු සිනමා සම්මාන උළෙලේදී සහ කෑන්ස් සම්මාන උළෙලේදී හොඳම නළුවා සඳහා පිදෙන සම්මාන ද්විත්වය දිනා ගැනීමට ‘Koji Yakusho’ සමත් විය. 96 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී ‘හොඳම විදේශ භාෂා චිත්‍රපටය’ ⁣යන අංශය වෙනුවෙන් ජපානය නියෝජනය කළ චිත්‍රපටය වූයේ ‘perfect Days’ චිත්‍රපටයයි. ‘පර්ෆෙක්ට් ඩේස්’ යනු සැවොම නැරඹිය යුතු විශිෂ්ට ගණයේ චිත්‍රපටයකි. මිනිසකුගේ වෘත්තිමය ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් සමබර කරගන්නා සැටි පෙන්වමින් මිනිස් දිවියේ අර්ථසම්පන්න බව කදිමට සාකච්ඡාවට ලක් කරන අපූරු සිනමා ව්‍යායාමකි.

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT