නිවස කළා පුවත් ජාතික රූපවාහිනිය කියන්නේ විශ්වවිද්‍යාලයක් කියලා තාත්තා එදා කිව්වා

ජාතික රූපවාහිනිය කියන්නේ විශ්වවිද්‍යාලයක් කියලා තාත්තා එදා කිව්වා

වැඩසටහන් අධ්‍යක්ෂ රංග ප්‍රේමරත්න

by Mahesh
July 4, 2024 12:30 am 0 comment

– මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධවෙනවට තාත්තාගේ එතරම් කැමැත්තක් තිබුණේම නෑ
– ජාතික රූපවාහිනිය කියන්නේ ජාතික වගකීමක්
– වැඩසටහන්වල ගුණාත්මක භාවයේ වෙනසක් අපි ඇති කළා
– අපිට ස්වයං විවේචනයක් තුළ හිදිමින් ප්‍රේක්ෂකයා අපේ ග්‍රහණයට ගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවා
– චිත්‍රපටයක් කිරීමේ සිහිනය තවම මා තුළ තියනවා
– ටැලන්ට් එක තියෙනවා නම් ඕනෑම ක්ෂේත්‍රයක වැඩක් කරන්න පුළුවන්

කිසියම් හෝ දිනක අධ්‍යක්ෂවරයකු වීමේ සිහිනය කුඩා කල පටන් හඹා ගිය ඔහු ඒ සිහිනය සැබෑවක් වන දවස අතැගිලි ගනිමින් පසුවුයේ තම අධිෂ්ඨානය මල්පල ගැන්වෙන තේක්ය. තම පියාණන් මෙරට සිනමා ක්ෂේත්‍රයේ නම් දැරූ සිනමාකරුවකු වුවද රංගනයට කොතරම් අවස්ථා තිබුණ ද ඒ දෙස සිත්යොමු කරන්නට ඔහු එතරම් කැමැත්තක් නොදැක්වීය. උසස් පෙළ විභාගය ලියා නිවසට වී සිටින අතරේ තම පියා අධ්‍යක්ෂණය කළ විසිදැල චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් කටයුතු කිරීම ඇරැඹී අද අපේ කතා නායකයා අධ්‍යක්ෂණයේ මුලිකාංගයන් පරිශිලනය කරන්නට පෙලඹුණේ විසිදැල සිනමා නිර්මාණයේ සහය අධ්‍යක්ෂවරයකු ලෙසින්ය. අදටත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ සිහිනයෙන් තම සිත පුරවාගෙන සිටින ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වනුයේ 1997 වසරේ ස්වර්ණවාහිනී ආයතනයේ කාලීන සිදුවිම් ඒකකයේ පුහුණු වැඩසටහන් සහකාරවරයෙක් ලෙසිනි. නමින් ඔහු රංග පේ‍්‍රමරත්නය. මෙරට සම්මානනීය ඇගැයුම් පැසසුම් ලැබු සම්භාවනීය සිනමා කෘති රැසක් අධ්‍යක්ෂණය කළ සිනමා වේදියෙකු වූ එච්.ඩි. පේ‍්‍රමරත්නයන්ගේ පුත්‍රරත්නය වූ රංග පේ‍්‍රමරත්න ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙක් ලෙසින් අද කටයුතු කරයි. වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ උසස් පෙළ තෙක් අධ්‍යාපනය ලැබු රංග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාධාරියෙක් ද වේ.

1999 ජනවාරි මස 11 වැනිදා නිෂ්පාදන සහකාරවරයකු ලෙසින් ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකයට එක්වන ඔහු 2009 වසරේ වැඩසටහන් නිෂ්පාදක තනතුරට උසස්වීම් ලබනුයේ විවිධ වැඩසටහන් අංශයේ තරුණ වැඩසටහන් ඒකකයට අනුයුක්ත වෙමිනි. 2023 වසරේ ජ්‍යේෂ්ඨ නිෂ්පාදක තනතුරට උසස්වීම් ලබන රංග මේ වනවිට ජාතික රූපවාහිනියේ ආගමික වැඩසටහන් සහ ඉසව් කළමනාකරන ඒකකයේ ඒකක ප්‍රධානී ලෙස කටයුතු කරනු ලැබේ. ජාතික රූපවාහිනියේ වසර විසි හයක සේවාකාලයක් සපුරා ඇති ඔහු මේ වනවිට රූපවාහිනී පේ‍්‍රක්ෂකයන්ට දායාද කර ඇති වැඩසටහන් බොහොමයකි. තරුණ පේ‍්‍රක්ෂක හදවතට නිරන්තරයෙන් රූපවාහිනි මාධ්‍ය තුළ ආමන්ත්‍රණය කරන විවිධ වූ වැඩසටහන් පෙළහරක් සමඟින් නිරන්තරයෙන් ඔබ හා සම්බන්ධ වන රංග පේ‍්‍රමරත්න හා කතා බස් කරමු.

මේ දවස්වල ජාතික රූපවාහිනියේ ඔබේ කාර්ය වෙලා තියෙන්නේ?

ඒකක ප්‍රධානී තනතුරත් එක්ක මගේ කාර්යභාරය මේ වෙනකොට වෙනස් වෙලා තියෙන්නේ. ආගමික වැඩසටහන් සමඟ ආගමික වැඩසටහන් ඒකකයේ නිෂ්පාදනය වන සියලු වැඩ සටහන් වල වගකීම් දරන්නේ මම ඇතුළු මගේ කාර්ය මණ්ඩලයේ ඉන්න අනෙකුත් නිලධාරීන් සෑම පොහොය දිනයක්ම අලලා කෙරෙන ආගමික වැඩසටහන් ශිලව්‍යාපාර අපේ ඒකකය තුළින් සිද්ධ කරනවා. ඊට අමරතරව සෑම ඉරිදාකම උදේ 6 සිට 7 දක්වා ධර්ම දේශනයක් විකාශය කරනවා. මම ආගමික ඒකකයේ ප්‍රධානී වුවාට පසුව තමයි සම්මාදිට්ඨි නමින් ඒ වැඩසටහන පටන් ගත්තේ. එහි නිෂ්පාදකවරයා ලෙස මංජුල සිංහපෘතුවි කටයුතු කරනවා. මීට අමතරව අපි ලංකාවේ සතර දිග්භාගයේම තියන බොහෝ ෙඓතිහාසික පෙරහැරවල් අපේ නාළිකාව තුළ විකාශය කිරීම සිද්ධ කරනවා.

ඔබ ඒකක ප්‍රධානී නතතුරට සපැමිණි මොහොතේ පටන් ඔබ අංශයෙන් වැඩසටහන්වල ඇතිකළ වෙනස මොන වගේද?

එතෙක් අප ඒකකයෙන් කරගෙන ආ වැඩසටහන්වල ගුණාත්මක භාවයේ වෙනසක් අපි ඇති කළා. මේ වෙනකොට අපිට ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාරවලින්. ඒ වෙනස හොඳම පැහැදිලියි. ඒ වෙනස මම තනිව කරපු දෙයක් නොවෙයි. මගේ නිෂ්පාදන කණ්ඩායම ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ ශ්‍රමය තුළින් තමයි ඒ ජයග්‍රහණය අපි ලබල තියෙන්නේ.

මේ වෙනකොට අපිට පොහොය වැඩසටහන් වලට පවා අනුග්‍රාහක දායකත්වය ලැබෙමින් පවතිනවා. අද වෙනකොට සෑම සතියකම ඉරිදාට විකාශය වන සම්මා දිට්ඨි වැඩසටහන තුළ ධර්ම දේශනය ගොඩක් දෙනා අතර ජනපි‍්‍රයයි. ඒ වැඩ සටහන ඕනෙම කෙනෙකුට තමන්ගේ දායකත්වය ගෙන විකාශය කරගන්න අපි අවස්ථාව දීල තියනවා. තමන් කැමැති ස්වාමින් වහන්සේ නමක් ලවා හෝ අපේ දායකත්වයෙන් ලබාදෙන ස්වාමීන් වහන්සේ නමක් ලාවා ධර්ම දේශනය කරගන්න පුළුවන්. තමන්ගේ මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදනයත් සමඟ මේ වැඩසටහනට දැන් විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතිනවා. ඒ නිසාම අපි ඉහළ පාලන අධිකාරිය දැනට දැනුම්වත් කරල තියනවා අපිට සෙනසුරාදා දිනයෙත් පැයක කාලයක් මෙවැනි ධර්මදේශනයක් සඳහා වෙන්කරල දෙන්න කියලා.

ඔබ ඔය කියන ධර්ම දේශනය සඳහා දායකත්වයක් ලබා ගන්න අදහස් කරන කෙනෙක් මොනවගේ දෙයක් ද කළ යුතු වන්නේ?

මේ වැඩසටහන සඳහා දායකත්වය ලබාගන්න පුළුවන් තිදෙනකුට එක් අයෙකුට පුද්ගලයන් දස දෙනෙක් සම්බන්ධ කරගන්න අපි අවස්ථාව ලබාදිල තියෙනවා. මේ සඳහා දායකත්ව මුදලක් ලෙස අපි රුපියල් පණස් දහසක මුදලක් ලබාගන්නවා. කලින් පටිගත කළ වැඩසටහනක් විධියට තමයි අපි මේක ප්‍රචාරය කරන්නේ.

ජාතික රූපවාහිනිය සමඟ රංග අත්වැල් බැදගන්නේ ඔබගේ පියානන් වූ එච්. ඩී ප්‍රේමරත්නයන්ගේ මඟපෙන්වීමක් තුළින් ද?

මම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධවෙනවට තාත්තාගේ එතරම් කැමැත්තක් තිබුණේම නෑ. තාත්තා හැමවේලාවේම කිව්වේ වෙනත් හොඳ රැකියාවක් කලොත් හොඳයි කියන එක තමයි.

1997 දී මට ස්වර්ණවාහිනියට සම්බන්ධවෙන්න ලැබුණා. ඒ වෙනකොට තාත්තා ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකයේ තමයි වැඩ කළේ. මම ප්‍රවෘත්ති සාකච්ඡා සඳහා නිතර අපේ ආයතනය නියෝජනය කරමින් සහභාගි වුණා. අපෙත් හොඳ වයස ඒ වගේ සාකච්ඡාවකට ගියහම දිගට හරහට ප්‍රශ්න කරනවා. අපිට ප්‍රශ්නයකුත් නෑ පෞද්ගලික නාලිකාවක් නිසාම මේ වගේ සෘජු ප්‍රශ්න කිරීම් නිසාම ප්‍රවෘත්ති සාකච්ඡා සඳහා එන දේශපාලනඥයන් අතරත් අපි ගැන හොඳ මතකයක් තිබුණා. ඒ දවස්වල ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේ මංගල සමරවිර මහතා. දවසක් මමත් මොහාන් කරුණාරත්නත් ප්‍රවෘත්ති සාකච්ඡාවකට ගිහින් ඉන්නකොට මංගල සමරවීර මහතා අපි දෙන්නාගෙන් ඇහුවා ජාතික රූපවාහිනීයට සම්බන්ධ වෙන්න කැමැති ද කියා. අපි දෙන්නා කිව්වා කල්පනා කරල බලලා වචනයක් කියන්නම් කියලා. මම මේ ගැන තාත්තාට කිව්වා. තාත්තා කිව්වා රාජ්‍ය ආයතනයක්නේ රූපවාහිනිය ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ජාතික රූපවාහිනිය සතුව තියන අසීමිත සම්පත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළට යනකෙනෙකුට හරියට විශ්වවිද්‍යාලයක් ඒ නිසා ඒකට ගියාට කමක් නෑ කියලා. තාත්තා කිව්වා ඔය විධිහට මංගල සමරවීර ඇමැතිතුමාගේ ආරාධනයකට තමයි මම ජාතික රූපවාහිනියට පියවර තැබුවේ.

මාධ්‍ය පැත්තට ඔබ යොමුවෙනවාට පියා එතරම් කැමැත්තක් දැක්වුයේ නෑ කියල ඔබම කියනවනේ? එහෙම මතයක සිටි පියා කොහොමද නැවත ඔබට ආශිර්වාද කරන්නේ?

තාත්තා වුණත් ටෙලිවිෂන් මාධ්‍ය ආයතනයක රැකියාවට එන්නේ චිත්‍රපට හැදෙන්නේ නැති නිසානේ. නැත්නම් තාත්තාගේ ලෝකය සිනමාව. තාත්තාට යම් බයක් තියෙන්න ඇති මේ ක්ෂේත්‍රය තුළ ස්ථිර ගමනක් නැති වෙයි කියලා. රජයේ රැකියාවක් නිසාවෙන් තාත්තා වුණත් තමන් හිටිය මතය පසුව වෙනස් කරගන්න ඇති කියලා මම හිතනවා.

හා පුරා කියා ඔබ ජාතික රූපවාහිනියට පැමිණීමත් සමඟ මොන වගේ වැඩසටහන් සඳහා ද දායකවීම ඇරඹියේ?

කාලීන සිදුවීම් ඒකකයේ තමයි මගේ රාජකාරි කටයුතු ආරම්භ වුණේ. එදිනෙදා කාලීන වැඩසටහන් නිෂ්පාදනය කිරීමට මම නිෂ්පාදන සහාකාරවරයෙක් ලෙස සම්බන්ධ වුණා.

රංග පේ‍්‍රමරත්න කියන සලකුණ ඔබ මොන වැඩසටහන් ඔස්සේ ද මුලින්ම ඇති කළේ?

ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගෙන් මම ඉල්ලීමක් කළා ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකයෙන් විවිධ වැඩසටහන් ඒකකයට මට මාරුවක් ලබා දෙන්න කියල ඒ ඉල්ලීම ඉෂ්ඨ වුණා. ඒ අවස්ථාවේ මට ධම්මික ගංගානාත් මහතා යෝජනාවක් කළා වැඩසටහන් නිෂ්පාදනය කරන්න කියලා. ඒ අනුව ලංකාවේ පළවෙනි සජීවි ෂෝ එක ලෙස මමත් සුනේත්‍රා කුමාරිත් අතුල දිසානායකත් එකතුව නිෂ්පාදනය කළ ෆන්ටයිම් මේ වැඩසටහන ගොඩක් ජනපි‍්‍රය වුණා. ඔය අතරේ දයාරත්න රටගෙදර මහතා මට ආරාධනා කළා විවිධ වැඩසටහන් ඒකකයෙන් තරුණ වැඩසටහන් ඒකකයට එන්න කියලා. දයාරත්න රටගෙදර මහතාගේ මුලිකත්වයෙන් තමයි තරුණ වැඩසටහන් ඒකකය ආරම්භ වුණේ. ඒ ඉල්ලීමට මම තරුණ වැඩසටහන් ඒකකයට සම්බන්ධ වුණා. එහිදී මම තරුණ සංගීත වැඩසටහන් පටන් ගත්තා. ෆීලින් ඔෆ යුත් නමින් මට මතක හැටියට 2014 වගේ මේ වැඩසටහන ගොඩක් ජනපි‍්‍රය වුණා. ඊට පස්සේ 2017 වසරේ වගේ මේ වැඩසටහනනේම දිගුවක් ලෙස ටෝන් පොයම් වැඩසටහන මම නිෂ්පාදනය කළා. රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ මම එක් නිෂ්පාදකයෙක් ලෙස කටයුතු කළා. සිනෙ ඡායා තාල මාරිම්තාරි ආදි බොහෝ සංගීත වැඩසටහන්වල මම නිෂ්පාදකයෙක් ලෙස කටයුතු කළා.

ඔබගේ වැඩසටහන් නිෂ්පාදනයත් බොහොමයක් සම්මානනීය ඇගැයුම් අතරට එක්වුණා නොවේද?

ටෝන් පොයම්, ෆීලින් ඔෆ් යුත් ‘තාල, රණවිරු රියල් ස්ටාර් වැඩසටහන් හොඳම සංගීත වැඩසටහන් හැටියට සුමති, රයිගම, රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ වෙනකොට මා අතින් නිෂ්පාදනය වූ සංගීත වැඩසටහන් හයවතාවක් සම්මානනීය ඇගැයුමට ලක්වුණා. හොඳම සංගීත වැඩසටහන විධියට.

වැඩසටහන් ගණනාවක් ඔබ අතින් නිෂ්පාදනය වන අතරේ රංග ජාතික රූපවාහිනියේ සලකුණක් බවට පත්කරන්නේ මොන වැඩසටහන් සමඟින්ද?

ටෝන් පොයම් වැඩසටහනින් හා දැනට විකාශය වන සඳ රූ සුයාමය වැඩසටහන තුළින්. සෙනසුරාදා නුගසෙවණ වැඩසටහනේ නිෂ්පාදක ලෙසත් මම වැඩකරනවා.

රංග වැඩි වශයෙන් සංගීත වැඩසටහන් වෙත ඔබේ නිර්මාණ කාර්ය යොදවන්න විශේෂ හේතුවක් තියනවද?

තරුණ වැඩසටහන් ඒකකයට මාව අනුයුක්ත වුණාට පස්සේ එහි ප්‍රධානීන්ට අවශ්‍ය වුණා තරුණ අයට සංගීත වැඩසටහනක් කරන්න. සංගීත වැඩසටහන් අංශයක් තිබියදී තරුණ වැඩසටහන් ඒකකයට අරඹා වෙනසක් ඇති කරන්න. උත්සාහ ගනු ලැබුවේ ඒ තුළින් වෙනසක් අපේක්ෂා කළ නිසා ඒ අනුව තමයි ෆීලින් ඔෆ් යුත් පටන් ගත්තේ. කසුන් කල්හාරාව හා ඉන්දිකා උපමාලිව අරගෙන තමයි අපි මේ පළමු වැඩසටහන කළේ. වෙනස්ම ආකාරයක පිටපතකට කරපු වෙනස්ම වැඩසටහනක්. මේ වැඩසටනේ විශේෂත්වයන් කීපයක් තිබුණා. සංගීතයට වගේම ඉදිරිපත් කිරීමත් වෙනස්ම ආකාරයකින් සිද්ධ කළා.

ඔබ විසින්ම ස්ක්‍රිප්ට් ලියල වැඩසටහන් කරන් නැද්ද?

නෑ මම ස්ක්‍රිප්ට් ලියන්නෑ. ඩිරෙක්ෂන් විතරයි.

ජාතික රූපවාහිනියෙන් ඇත්වුණු ප්‍රේක්ෂකයා නැවත ඔබගේ නාළිකාව වෙත කැන්දාගෙන ඒමට මොන වගේ වැඩ පිළිවෙළක් ද දැනට ඇතිකරගෙන තියෙන්නේ?

විවිධ වූ ආර්ථික අර්බුද හමුවේ පේ‍්‍රක්ෂකයා අපෙන් ඇත්වුණා. ඒ සඳහා විවිධ හේතු කාරණා බලපෑවා. නමුත් අපේ අලුත් පාලක පන්තිය පේ‍්‍රක්ෂකයා නැවත අපේ ග්‍රහණයට නතු කරගන්න. විශාල වැඩ කොටසක් දැනට ආරම්භ කරල තියනවා. අපේ වැඩසටහන්වල වෙනසක් ඇති කරමින් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් යයි නමුත් වසර හතළිහක් ආපු ගමන අපිට එක පාරට වෙනස් කරන්න බෑ. වෙනස්ම ආකාරයක සංගීත වැඩසටහන් කීපයක්ම අපි ආරම්භ කරන්න දැනට සැලසුම් කරල තියනවා. ඒ අතරින් රියලිටි වැඩසටහනකුත් ඇතුව. අපිට ස්වයං විවේචනයක් තුළ හිදිමින් පේ‍්‍රක්ෂකයා අපේ ග්‍රහණයට ගැනීමේ වැඩපිළිවෙළක අපි ඉන්නවා. ජාතික රූපවාහිනිය කියන්නේ ජාතික වගකීමක්. හිසදරා කටයුතු කරන ආයතනයක් ගුණාත්මක වැඩසටහන් පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනිය හැකි වැඩසටහන් විකාශය කළ යුතුයි කියන තැන අපි ඉන්නවා. කාලය ඒක තීරණය කරයි සෙමින් ගුණාත්මක ගමනක් යන්න තමයි අපේ අපේක්ෂාව.

ඔබගේ පියාණන් මොනවගේ සහයෝගයක් ද ඔබට මේ ගමන තුළ ලබාදුන්නේ.

මට සහ මගේ නංගිට තාත්තා කිසිම දවසක කිව්වේ නෑ. අහවල් දේ කරන්න කියලා. හැබැයි තාත්තා හැමදාම කිව්වේ හොඳ සහ නරක කියලා දෙකක් තියනවා. මේ දෙක තේරුම් අරගෙන ජිවත්වෙන්න කියලා. තාත්තා නැතිවෙන්නේ මම රූපවාහිනියට සම්බන්ධ වූ මුල් වකවානුවේ 2005 වර්ෂයේ. ඔහුගේ අභාවයත් සමඟ මම මගේ ගමන වෙනස් කළේ නෑ. නමුත් තාත්තා ගොඩක් උදවු කළා. ජීවිතයේ ගොඩක් දේ හදාගන්න. අදටත් කොහේ ගියත් මිනිස්සු තාත්තාව මතක් කරනවා. අදටත් මට පිළිගැනීමක් ගෙන එනවා. එච්.ඩී. පේ‍්‍රමරත්නගේ පුතා කියලා.

තාත්තාගේ චිත්‍රපටවලට එහෙම දායක වෙන්න ඔබ පෙළඹුණේ නැද්ද?

මම කුඩා කාලයේ තාත්තාගේ පාලමයට චිත්‍රපටයේත්, උඩු සුළඟ චිත්‍රපටයෙත් රඟපෑවා. උසස් පෙළ අවසන් කර ඉන්න අවධියේ තාත්තාගේ විසිදැල චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කළා.

පාලමයට චිත්‍රපටයේ ඒ පරිසරය තුළ රස්තියාදු ගහන කොල්ලෙක්ගේ චරිතය කළා. උඩු සුළඟ චිත‍්‍රපටයේ වසන්ති චතුරාණිගේ පුතාට රඟපෑවා. උඩු සුළඟ චිත්‍රපටය තිරගත වුණේ නෑ. මේ චිත්‍රපට දෙක විතරයි මම රඟපෑවේ. විසිදැල චිත්‍රපටයේ විතරයි සහය අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කළේත්. මගේ නංගි රේඛා ප්‍රේමරත්න තමයි තාත්තාගේ චිත්‍රපටවල ගොඩක් වැඩ කළේ.

තාත්තා රඟපාන්න දිගටම ඔබට ආරාධනා කළේ නැද්ද?

මගේ එහෙම ආශාවක් තිබුණේ නෑ රඟපාන්න. මට ගොඩක් ඕනෙ කළේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න. චිත්‍රපටයක් කිරීමේ සිහිනය තවම මා තුළ තියනවා.

රූපවාහිනිය මාධ්‍ය හැදෑරීමක් තුළ යන ගමනක්ද ඔබට තියෙන්නේ?

අත්දැකීම් ලබමින් යන ගමනක් මට තියෙන්නේ. රූපවාහිනියට සම්බන්ධ වීම තුළ ලබන අත්දැකීම් මත තමයි මම මේ ගමන යන්නේ. රූපවාහිනිය අපිට විශ්වවිද්‍යාලයක් මේ ආයතනය තුළ තියන සම්පත් වෙන කිසිම ආයතනයක නෑ. මේ ආයතනය තුළ ඉන්න ජ්‍යේෂ්ඨ අත්දැකීම් බහුල සේවක පිරිසක් තුළ වැඩකිරීම තුළ ලබන අත්දැකීම් වගේම මගේ ජීවිත අත්දැකීම් මත තමයි මං අද මේ තත්ත්වයට පත්කරලා තියෙන්නේ.

ඔබව විදෙස් ශිෂ්‍යත්ව පවා ලැබෙනවා නොවේද?

මට විදෙස් ශිෂ්‍යත්ව දෙකක් ලැබුණා. ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන දෙකකින් ජපානයේ ජයිකා ආයතනයෙන් 2016 වසරේ ඩිජිටල් මාධ්‍යකරණය පිළිබඳවත් කොරියාවේ කොයිකා ආයතනයෙන් 2018 වසරේ ඩිජිටල් වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ.

රංග ජාතික රූපවාහිනිය වෙනුවෙන් කර තිබෙන කාර්ය ගැන සිහිපත් කිරීමක් කළොත්?

මම විසින් නිර්මාණය කරපු නිර්මාණශීලී සැලසුම් කීපයක් තුළින් අතිශයින් ජනාදරය දිනූ සංගීත වැඩසටහන් කීපයක්ම කරගන්න ලැබුණා. රූපවාහිනි කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් ඒක මම ලබපු ජයග්‍රහණයක්. මම කරපු වැඩසටහන් වෙනුවෙන් රූපවාහිනියට ජාතික මට්ටමේ සම්මාන හයක් මට ලබාදෙන්න හැකිවුණා. මෙවර චීනයේ පැවති ආසියානු ටෙලි විෂන් වැඩසටහන් පිළිබඳ සම්මේලනයේ මගේ සඳ රෑ සුයාමය වැඩසටහන එහි ප්‍රදර්ශනය කිරිම ආදී කාර්ය භාරයත් මම ජාතික රූපවාහිනයට ඉටු කරල තියනවා.

රූපවාහිනිය තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තු කොයි වගේද?

අලුත් සංගීත වැඩසටහන් කීපයක්ම කරන්න අදහසක් තියනවා. සඟරාමය වැඩසටහනක් කරන්නත් මගේ බලාපොරොත්තුවක් තියනවා.

වැඩසටහන් නිෂ්පාදනයේ ඔබට තියන අභියෝග මොනවාද?  

අද සිතන පතන විධිය වෙනස්. ඇහීම දැනිම් වෙනස් දැන් ඉන්න පරපුර සිතන පතන හැටියට අපි රූපවාහිනිය ගෙනියන්නේ කොහොමද කියන අභියෝගය අපිට තියනවා. අපි ටික ටික හැඩ ගැහෙන්න ඕනේ ඒ සිතුම් පැතුම් සමඟ යන්න එහෙම නොවුණොත් අපිත් අර ගිලෙන නැව බවට පත්වෙයි. නව වැඩසටහන් නිෂ්පාදනයේදී නව සිතුම් පැතුම් වලට අපේ වැඩසටහන් අනුගත කළ යුතු වෙනවා. මේ දේ අපි කරන්නත් ඕනේ. අපේ ආයතනයේ ගරුත්වයක් රකිමින් අපිට ශ්‍රම සම්පත තියනවා. කාර්මික සම්පත් ඉහටත් උඩින් තියනවා. නමුත් නැති එකම දේ මුල්‍ය සම්පත අද වුණත් ආයතනික පැත්තෙන් මට ආගමික වැඩසටහන් පැත්ත ලැබිල තිබුණත් මම ඇත්තෙන්ම කැමති අධ්‍යක්ෂණය පැත්තට.

ආශාවක් නැද්ද තාත්ත වගේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන්න?

ආශාවක් තියනවා. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න කොරෝනා එන්න කලින් මගේ සුදානමක් තිබුණා චිත්‍රපටයක් කරන්න. ඒත් අපේ ඒ දවස කවදා ඒවි ද කියල මම දන්නෑ. ලබන අවුරුද්දට තාත්තා නැතිවෙලා අවුරුදු විස්සක් වෙනවා. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කරනවා. එයින් පස්සේ මගේ බලාපොරොත්තුවක් තියනවා. ඉදිරි පියවරක් වෙනුවෙන්.

අධ්‍යක්ෂණයට පි‍්‍රයකරන ඔබට චිත්‍රපටයක් ලැබෙන තුරා රූපවාහිනිය තුළ සිටම ඒ වෙනුවට ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න පුළුවන්නේ?

මම සංගීත අංශයෙන් ඉඳල නෙමේ ජාතික රූපවාහිනියට සංගීත වැඩසටහන් කරන්නේ ඒ වගේ ජාතික රූපවාහිනීය මට අවස්ථාවක් දුන්නොත් මම ටෙලි නාට්‍යයක් කරනවා. ඒකට ආයතන මට්ටමින් තීරණය කළ යුතු දෙයක් මිස මම බලෙන් ගිහින් දෙයක් ඉල්ලන භාරගන්න කෙනෙක් නොවෙයි.

සංගීත අංශයේ සේවය නොකර සංගීත වැඩසටහන් නිෂ්පාදනය කරමින් සම්මාන ගේන ඔබව ඇයි සංගීත අංශය බැහැර කරල තියෙන්නේ?

මම සලකන්නේ මිනිහෙක්ගේ ටැලන්ට් එක තියෙන්නේ එක තැනක නෙමේ කියල ඔහු දක්ෂනම් ඕනෙම ක්ෂේත්‍රයක වැඩක් කරන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. මට ඕනෙකමක් තිබ්බෙත් නෑ. සංගීත අංශයේම නිෂ්පාදකයෙක් වෙන්නත්.

සංගීත අංශයට ගියා නම් මීට වැඩියමක් ඔබට කළ හැකියි කියා හිතෙන් නැද්ද?

නෑ. මට මේ ඉන්න විධිය නිදහස් මම ආඩම්බර වෙනවා ජාතික රූපවාහිනියේ ජ්‍යේෂ්ඨ නිෂ්පාදකවරයෙක් ලෙස වැඩකරන්න ලැබීම ගැන අපිට ලොකු නිදහසක් දීල තියනවා. වැඩකරගෙන යන්න. ඉහළ කළමනාකාරිත්වයෙන් ඒ නිදහස අපිට උපරිම ලබල දීලා තියනවා. ඒ නිදහස කවදාවත් පෞද්ගලික නාළිකාවකින් ලබාදෙයි කියලා මම හිතන්නෑ. මටත් තිබුණ මුදල් වෙනුවෙන් මගේ දායකත්වය පෞද්ගලික නාලිකා වෙනුවෙන් කැප කරන්න. මට ආරාධනාත් ගලා ගෙන ආවා. මගේ නිදහස මට වටිනවා මුදල් වලට වඩා මම ආඩම්බර වෙනවා. ජාතික රූපවාහිනියේ වසර විසිහයක් පුරාවට සේවය කරන්න ලැබීම කිසිම දොසක් අහන් නැතිව කොහෙන් කොහෙන් කොතරම් ආරාධනා ආවත් මට ජාතික රූපවාහිනියෙන් වරදක් වෙලා නෑ. සංතෝසෙන් වැඩට එනවා. සංතෝසෙන් ගෙදර යනවා. එන දේකට උපේක්ෂාවෙන් මුහුණ දෙනවා. සියල්ල නැසෙන සුළුයි. ඒක තේරුම් ගෙන ජීවත් වුණොත් බොහෝ දේ පහසුයි.

කොහොමද පවුලේ තොරතුරු?

අම්මා චන්ද්‍ර පද්මිණි ප්‍රේමරත්න. නංගි රේඛා දිලානි මගේ බිරිය බුද්ධි ශෂිකා විජේසේකර ඇය ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවය කරනවා.

චන්දන දයාසිරිවර්ධන සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT