Home » ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘අමුතු දීගේ’ හිමිකාරී

ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘අමුතු දීගේ’ හිමිකාරී

ප්‍රසිලා ගොඩහේවා

by Thanushika
May 22, 2025 10:59 am 0 comment

සාරදා , කවදාවත් කාටවත් ආදරය කරලා නැත්ද?

ම්…. ඕහ් … ඒකනේ එයාව දකින්නෙවත් නැතුව

ඔයාට කැමති වුණේ…..

‘ බොරු වෙන්නැති. කැම්පස් කෙල්ලෙක්ට මොකද කොල්ලෙක් නැත්තේ….‘‘

මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘අමුතු දීගේ’ ටෙලි නාට්‍යය ඔබට මකත ඇති. සාරදා සහ විකුම් අපට හමුවෙන්නේ මේ ටෙලි නාට්‍යය හරහායි. මේ දිනවල කාගේත් අවධානය දිනාගත් ‘අමුතු දිගේ’ ටෙලි නාට්‍යය හැදෙන්නේ ප්‍රිසිලා ගොඩහේවා විසින් රචනා කරන ලද ‘අමුතු දීගේ’ නවකතාව ඇසුරිනුයි. නවකතාකාරියක වශයෙන් කාලයක් පුරා ක්ෂේත්‍රයේ රැඳී සිටින ප්‍රිසිලා විසින් රචිත නවකතාවකින් ටෙලි නාට්‍යයක් නිර්මානය වන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

අමුතු දිගේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේ චාමර ජනරාජ් පීරිස්ය. ඔහු මෙරට ටෙලිනාට්‍ය නිර්මාණකරණයේ නව මානයන් හඳුන්වා දෙමින් අපූර්වතම ටෙලිනාට්‍ය රැසක් ලාංකේය කලා ලොවට දායාද කළෙකි. ඔහුගේ අදියුරුවෙන් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන අමුතු දීගය ටෙලි නාට්‍යයට පාදක වූ නවකාවේ හිමිකාරිය සමඟයි මෙවර අපේ කතා බහ.

ප්‍රසිලා ගොඩහේවා වන ඇය වර්තමානය වනවිට පදිංචිව සිටිනුයේ ඕස්ට්‍රෙලියාවේය. පසුගිය දිනක ඇය කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටි මොහොතක අපේ හමුව සිදුවිණ.

‘‘අමුතු දීගේ නවකතාව මගේ අතින් ලියවෙන්නේ දැනට අවුරුදු හතරකට පහකට උඩදි.මේ කතාවට පසුබිම් වෙන පොඩි කතා වස්තුවක් මගේ ඔලුවේ තිබුණා. නමුත් කතාව ලියාගෙන යනවිට ඒකේ සමහර තැන් වෙනස් වුණා.කොහොම හරි මේ කතාව ලියලා ඉවර වෙලා පොත ප්‍රකාශයට පත් කළාට පස්සේ, පොත කියවන බොහෝ පාඨකයින් මට දක්වපු ප්‍රතිචාර අතරේ මේ කතාව ටෙලි නාට්‍යයකට ඉතාම සුදුසුයි කියන අය හිටියා. මේ කාලසීමාවේ තමයි අධ්‍යක්ෂ චාමර පිරිස් සිඩ්නි වලට එන්නේ. ඒ ආපු මොහොතක මට ඔහුව මුණ ගැහෙනවා. මම ඒ වෙලාවෙ ඔහුට මේ පොතක් දෙනවා. මේකෙන් ටෙලිනාට්‍යයක් කරමු කියලා. එදා ඔහු ෆ්ලයිට් එකේ එන ගමන් මේ පොත කියවගෙන ඇවිත් තිබුණා. ඊට පස්සේ ඔහු මට යෝජනාවක් කළා මේ පොතෙන් අපි චිත්‍රපටයක් කරමු කියලා. නමුත් මට චිත්‍රපටයක් කරන්න කැමැත්තක් තිබුණත්, චිත්‍රපටයක් වෙනුවෙන් මට වියදම් කිරිමේ හැකියාවක් තිබුණෙ නෑ. නමුත් ටෙලිනාට්‍යයක් වෙනුවෙන් මට වියදමක් කළ හැකියි කියලා. ඒ අනුව තමයි මගේ පොතෙන් පිටපත ලියලා ටෙලිනාට්‍යයක් කරන්න කැමැති වුණේ. මේ ටෙලිනාට්‍යයේ නිෂ්පාදකවරියත් මමයි. මේ ටෙලිනාට්‍ය කොටස් හැටකින් විතර ඉවර වෙන ටෙලි නාට්‍යයක්. ‘‘

ප්‍රසිලා ලියන්නට පෙලඹෙනුයේ කුඩා කාලයේ සිටමය. අගේ පියාට ලිවිමේ හැකියාව හොඳීන් පිහිටා තිබුණි. වයස අවුරුදු හතක් වැනි ඉතාම ළාබාල වියේදි ඇය විවිධ පත පොත හා පත්තර ඇසුරු කර ගනිමින් සිය කියවීමේ රැචිය වැඩි දියුණු කර ගත්තාය. අතට අහුවන්නේ කුමක්ද එය කියවිම එකල ඇගේ පුරුද්ද විය. නිවෙසට සිනි, තේකොළ ඔතාගෙන එන කොළයක් වුවද ඇයගේ අවධානය දිනා ගනී. මේ කියවීමේ ප්‍රතිඵලය වුයේ පසුකලෙක ඇයද ලියන්නියක විමය. මුල් කාලයේ ඇය අතින් ලියවුණේ නිසදැස් සහ කවි කෙටි කතා වැනි දේය. ඒ අතරම ඇය පාසල් සිසුවියක්ව සිටියදී ඒ ලැබු අත්දැකිම් ඇසුරින් නවකතාවක් රචනා කරන්නටද පෙලඹීණ. කෙසේ වෙතත් පාසල් සමය නිමවිමෙන් පසු ඇය විවාහ දිවියට එළඹි අතර ඇයගේ ලිවිම ඇයටම අමතකවී ගියාය. එහෙත් විවාහයෙන් පසු දරු දෙදෙනා ලැබීමෙන් යළි ඇයට නිර්මාණ කාර්යයට අත ගසන්නට සිදු වන්නේ අහම්බයකිනි.

“දරුවෝ දෙන්න ඉපදුණාට පස්සේ ඒ දෙන්න බලා කියා ගන්න අතරේ ඒ දෙන්නට මට හරියට කතන්දර කියා දෙන්න සිද්ධ වුණා. කාලාන්තරයක් මම දන්න කතාන්දර කියා දිලා අන්තිමට මගේ කතා ඉවරවුණා. ඊට පස්සේ මම දරුවන්ට කතා හදලා කියන්න පටන් ගත්තා. ඔය කාලයේ තමයි මගේ සැමියා කිව්වේ ඔයා හදල කිව්ව කතන්දර ටික එකතු කරලා පොතක් කරන්න කියලා. ඒ කතා ටික එකතු කරලා තමයි ‘ නිදයන්න යනවිට කියවන්න කතා කියලා මගේ පළමු පොත බිහිවෙන්නේ. ඇත්තටම කිව්වොත් ඒක ළමා කතා පොතක්. ඊට පස්සේ මම වාසනා කියලා පොතක් ලිව්වා. ඒක මුද්‍රණය කරන්න කියලා අත්පිටපතක් එක්තරා තැනකට බාර දුන්නා. නමුත් කාලයක් ගතවුණා පොත මුද්‍රණය වුණේ නෑ. මම විමසා බලන විට අත් පිටපත නැතිවෙලා. මා ළඟ කොපියක් තියාගෙන වත් නොවෙයි මම ඒ පොත දුන්නේ. ඒකෙන් පස්සේ මට ලොකු දුකක් ඇති වුණා. මේ සිද්ධිය වුණේ 2006දී. ඊට පස්සේ 2014 වෙනතුරු මම කිසි දෙයක් ලියන්නේ නැතුව හිටියා. මම 2017 දි ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවා. මමයි දරුවෝ දෙන්නයි තමයි යන්නේ. ලංකාවෙන් ගිය අලුත ලොකු හුදකලා බවක් දැනුණා. මේ හුදකලා බව නිසාම මම ආයෙත් එහෙදි ලියන්න පෙලඹෙනවා. මේ කාලය ඇතුළත මම නව කතා දෙකක් ලියනවා. මේ පොත් දෙක මම මගේ උපන්දිනය දවසේ ඕස්ට්‍රේලියාවේදී එළි දකිනවා. ඒ පොත් දෙක තමයි ‘ජැෆ්නාදරය’ සහ ‘ගිමන් හරිමි’ කියන්නේ. මේ පොත් දෙක මගේ ඕස්ට්‍රේලියානු මිතුරන් අතරේ හරියට ජනප්‍රිය වුණා. ඔවුන් නිතර නිතර විමසන්න ගත්තා ආයෙත් අලුත් පොත් ලිව්වේ නැත්ද කියලා. ඉතින් මටත් ලොකු උද්යෝගයක් ඒ නිසා ලියන්න ඇති වුණා.

ලේඛිකාවකට ලියන්න උත්තේජන සපයන ප්‍රමුඛතම කාරණය වන්නේ තම පාඨකයින් තමන්ගේ ලියවිල්ල වෙනුවෙන් දක්වන ප්‍රතිචාරයයි. ප්‍රසිලාටද ලිවිමට උත්තේජන සපයා ඇත්තේ පාඨක ඉල්ලිමයි. ඇය දිගින් දිගටම ඉන්පසු නවකතා රචනා කරන්නට පෙළඹ්ණ.

මගේ පොත් අලෙවි කිරිමෙන් ලැබෙන මුදල් මම යොදන්නේ සමාජ සත්කාරක ක්‍රියාවන් සඳහායි. දුෂ්කර පාසල් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්න වැනි කාරණා සඳහා මම ඒ මුදල් යොදවනවා. මේ වෙනකොට මම පොත් අටක් ලියලා තිබෙනවා. ඒ වගේම තමයි පහුගිය අවුරුද්දේ මගේ අර නැතිවෙච්චි පොත මම නැවත වතාවක් ලිව්වා. සමහර තැන් ඒ විදියටම එන්න නැතුව ඇති. මට කතාව මතක තිබුණු හැටියට තමයි ලිව්වේ. නමුත් මට හිතෙනවා සමහර තැන් ඊට වැඩිය ලස්සනට ආවා කියලා. ඒ පොතේ නම ‘අයිරින්.’ මේ දවස්වල පොත් සාප්පුවලින් ලබා ගන්න පුළුවන්. මේ වෙනකොට මට ඒ පොත වෙනුවෙන් හරියට ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ප්‍රසිලාගේ මුල් ගම වනුයේ රත්නපුරයේය. එහෙත් ඇය ලොකු මහත් වනුයේ කොළඹ අවටය. නමුත් නිවාඩුවට ගමට යෑම නිසාම ඇයට ගම හොඳට හුරු පුරුදුය. ඇගේ නිර්මාණ වල සුපිරිසිදු ගම නිර්මාණය කරන්නට මේ නිසා ඇයට බාධාවක් නොවීය. අධ්‍යාපන කටයුතු වලින් පසු ඔවුන් පදිංචියට යන්නේ ඇරැව්වලටය. ඒ යුගය වනවිට ඇරැව්වලද ග්‍රාමිය බවින් මිදි නොතිබිණ.

ප්‍රසිලා ගේ නිර්මාණ දිවියට සැමදා අත්වැලක් වූයේ ඇගේ දයාබර සැමියා අර්ජුන්ය. ඒසේම ඇගේ දියණියන් දෙදෙනාද ඇගේ නිර්මාණ දිවියට මහත් ශක්තියකි. ඉදිරියේදිද තවත් නිර්මාණ රැසකින් පාඨකයන් හමුවට පැමිණෙන්නට බලාපොරොත්තුවෙන් සිටින ඇගේ නිර්මාණ දිවියට අපේ සුබ පැතුම්.

 

සේයාරූ – සුදත් නිශාන්ත

hemaliwijerathna@gmail.com

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

editor.sarasaviya@lakehouse.lk

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT