” කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී ජාතික තරුණ සේවා සභාවේ උන්නතිය වෙනුවෙන් මා කැපවීමෙන් සිදුකළ ව්‍යාපෘතීන් අදටත් දක්නට ලැබීම ගැන මම අපමණ සතුටට පත්ව සිටිනවා..”
“ජාතික තරුණ සේවා සභාවෙන් එදා රටටම ගෙනදුන් වැඩසටහන්වල ආලෝකය ඇතැම් දේශපාලකයන් හා ඇතැම් නිළධාරීන්ගේ මැදිහත්වීමෙන් එක් එක් යුගවල ඒ ආලෝකය නැතිවී ගියත් මම බෙල්වුඩ් වෙනුවෙන් කළ ව්‍යාපෘති අදටත් ක්‍රියාත්මකව තිබීම ගැන මහත් සතුටකට පත්ව සිටිනවා…”
මේ ආදරණිය කතාබහට මුල්වන ආදරණිය කතා නායකයා යටගිය සමයෙහි කුසලතා පිරිපුන් ලක් දූ පුතුන් එකම තැනකට ගෙන එමින් සෞන්දර්ය විෂයයෙහි ඔවාදුන් අපූර්වතම නිර්මාණයෙහි නිපුණ විද්වතෙකි..නොඑසේනම් එදා ජාතික තරුණ සභාවේ පුරා වසර හතළිහක පමණ කාලයක විවිධ නිලතලද හොබවමින් ඔහු විසින් දියත් කරන ලද විවිධ සංස්කෘතිකාංග ව්‍යාපෘති නිසාම එදා ජාතික තරුණ සේවා සභාව අද්විතීය ස්ථානයක පැවැති අයුරු අපට මතකය…
ඔහු රටපුරා යමින් කුසලතා පූර්ණ තරුණ තරුණියන් ඒකරාශී කොට නර්තනය..ගායනය..රංගනය..ආදී විවිධ කලා හැකියාවන් ඔප්නංවන්නට ඉටුකළ මෙහෙවර පිළිබඳ අපි අගය කළයුතු වෙමු..
සරසවිය වෙනුවෙන් පිළියන්දල ..කොට්ටාව මාර්ගයේ ..කුඩමාදූව ප්‍රදේශයේ විශ්‍රාමික සුවයෙන් පසුවන සම්මානිත අපේ ආදරණිය කතා නායකයාණෝ දැන් මා සමීපයේ අසුනකට බරදී සිනාමුසු මුහුණින් යුතුව මදෙස බලා හිඳී.
අවිස්සාවේල්ල ..යටියන්තොට සිට සැතපුම් අටක දුරකින් පිහිටි මලල්පොල ග්‍රාමයේ විදුහල්පතිවරයකු වූ ඩී.වයි. දනන්සූරිය සහ වයලට් සෙනෙහෙලතා දනන්සූරිය මවුපිය දෙපළට සිටියේ පුතුන්ම සත්දෙනකු සහ එක් දියණියකි. මේ පවුලේ වැඩිමහල් දැරිය වූ මාලනි දෝන මාගරට් මහත්මිය විශ්රාමිකය.
1950 ක්වු පෙබරවාරි මස 28 වනදා මලල්පොල දි උපත ලද අපේ සොඳුරු කතා නායකයාගේ උප්පැන්නයේ නම ශ්‍රියාරත්න දොන් එඩ්මන්ඩ් දනන්සූරියය..
ඔහුට මම සවන් දෙමි.
” අපේ තාත්තාට තමන්ගේ දරුවන්ගෙ නම් වලට දමන්න ඕනවුනේ කෙටි නම් නෙමේ දිගු නම්..මගේ ශ්‍රියාරත්න නම පොඩි කාලෙදිම ශ්‍රියා නමින් කෙටි වුණා…”
ශ්‍රියාරත්න ඉගෙනුමට මුලින්ම අතපොත් තැබුවේ මලල්පොල කනිටු විදුහලෙනි.. පසුව තම මෑණියන් විසින් ඔහු රුවන්වැල්ල ප්‍රාථමික අංශයට ඇතුළත් කිරීමෙන් අනතුරුව..එනම් හයවන පන්තියට ඇතුළත් ව එතැන් සිට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය තෙක් ඉගෙනුම ලැබුවේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙනි.
ඔහු හා ආදරණිය මේ කතාබහේදී වරෙක හෙළිවූයේ ඔහුගේ සහෝදරයන් පිළිබඳය..
” මගේ එක අයියා කෙනෙක් ප්රඥාරත්න දනන්සූරිය..එකල පරසිදු සළුසල ආයතනයේ රාජකාරි කළ සමයේ නිල ලාංඡනය නිර්මාණය කළේද ඔහුයි..අද එයා ජිවතුන් අතර නැහැ ..මගේ ලොකුම අයියා විද්‍යාරත්න එඩ්වඩ් දනන්සූරිය..එයා ඉංග්‍රීසි ගුරුවරයකු වගේම චිත්‍ර සහ සංගීතය පිළිබඳ බොහොම දක්ෂයෙක්..රුවන් දනන්සූරිය කියන්නෙ මගෙ මල්ලි..එයා මාධ්‍ය කටයුතුවල වගේම නාට්‍ය නිෂ්පාදකවරයකු ලෙසින් කටයුතු කරනවා..අද මට වැඩිමහල් බොහෝ අය ජීවතුන් අතරත් නැහැ…”
ශ්‍රියාරත්න කියන්නේය..
ශ්‍රියාරත්න දනන්සූරිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ 1970 දී පමණ ය..
සිය ළමා අවධියේ සිටම පාසල් වේදිකාවේදී නාට්‍ය රංගනයෙන් මෙන්ම දහම් පාසල් ගායනා තරඟාදියෙන්ද ජයග්‍රහණ රැසක්ම දිනා ඇති හේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉහළම ජයග්‍රහණ ලැබුවේ ගායනයටය..
පසුව …සංගීතය හදාරන්නට කැපවූ ඔහුගේ මුල්ම සංගීත ගුරුවරයා වූයේ සිරිමාන්න තෙලිජ්ජගොඩ මහතාය..ඔහු යටතේ හෙතෙම ගායනය හා වාදනය හදාරා අනතුරුව තවදුරටත් මහාචාර්ය සනත් නන්දසිරි යටතේද සංගීතය හදාරමින් ප්‍රාරම්භ සහ මධ්‍ය සාමාර්ථ්‍ය ලැබීය.
“ඔන්න ඒ කාලෙ නාට්‍ය අංශයට හොඳ නමක් දිනාසිටි කෙනෙක් තමයි දයානන්ද ගුණවර්ධන මහත්තයා ..එතුමා මගේ නැන්දගෙ පුතෙක්. එතුමා මගේ පාසල් වේදිකාවෙ ගායනා අහල වේදිකාවෙන් ගුවනට කියන වැඩ සටහනට මාව තෝරාගත්තා…ඒක වටිනා අවස්ථාවක්. එහෙම ගිහින් 1973දි කොළඹ විශ්වවිද්‍යාලයේ හොඳම ගායකයාටත් තේරුණා..”
එහිදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සහ ධම්ම ජාගොඩ යටතේ ඇරඹි රංග ශිල්ප ශාලිකාව ලයනල් වෙන්ඩට් හි ආරම්භ කළේය.
“රවින්ද්‍ර රන්දෙනිය..මැණිකේ අත්තනායක ආදි අය බිහිවුණෙත් එතැනින්..”
ශ්‍රියා කියන්නේය.
එදා ගුවන් විදුලියේ “මාසික රැඟුම” වැඩසටහන ප්‍රථමවරට පිටතට ගෙනයමින් විශ්වවිද්‍යාලයේදි පටිගත කිරීමද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින් සිදුකෙරිණි. එහිදී ශ්‍රියා දනන්සූරිය අපේ කතා නායකයාටද ගායනයට වරම් ලැබිණි.
විශ්වවිද්‍යාලීය කටයුතුවලට අමතරව එහි විවිධ සංගම් ආදියෙහි විවිධ නිලතල හොබවන ක්‍රියාකාරියකු ලෙසින් කැපීපෙනුණු හේ එහි සමාජ විද්‍යා පීඨයේ ලේකම්ධූරයෙන් දෙවරක්ම පිදුම් ලැබීය.
අපේ ආදරණිය කතා නායක තෙමේ ශාස්ත්‍රවේදී. හා දර්ශනවේදී ගෞරව උපාධියෙන් පිදුමට බඳුන්ව ඇති අතර ආර්ථික විද්‍යා විශේෂ උපාධියද ලබා ඇත්තේය..
” එදා මා සිටි බොහෝ අය අද උසස් තනතුරුවල ඉන්නවා දැකීමත් ලොකු සතුටක්.. අපේ රංග ශිල්ප ශාලිකාවෙන් බිහිවූ නම්දැරූ අය දකිනවිට මට ආඩම්බරයක් දැනෙනවා..”
” විශ්වවිද්‍යාල ජීවිතයේ දි කලාව..දේශපාලනය හැමදේම කළා..නමුත් දේශපාලනයම නිසා ලැබෙන්නට තිබූ බොහෝදේට අවස්ථාව මඟ හැරුණා..”
ශ්‍රියා කියන්නේය..
විශ්වවිද්‍යාලයෙන් පිටතට පැමිණිමෙන් අනතුරුව ගෞරව උපාධියටද හිමිකම් කී හේ 3 වන ශ්‍රේණියේ ලිපිකාර තනතුරකින් රාජ්‍ය ස්කාගාර සංස්ථාවේ රැකියාවක නිරත වූයේය. එහි වසරක් පමණ කටයුතු කළ ඔහු ක්‍රම සම්පාදන නිලධාරි තනතුරකට ඉල්ලුම් කරමින් සම්මුඛ පරීක්ෂණයෙන්ද සමත්ව ජාතික තරුණ සේවා සභාවේ ක්‍රම සම්පාදන තනතුරට අමතරව ව්‍යාපෘති බාර නිලධාරියකු හැටියටත් පත්වීම් ලැබීය..
එහි ප්‍රධාන කාර්යාලයේ මසක් පමණ කටයුතු කළ ඔහු ලද ස්ථාන මාරුව හුංගම..එරමිණියාය තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයටය..දුරබැහැර පළාත්වල තරුණ තරුණියන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන් එහි සිදුකෙරිණි. එහි අපේ කතා නායකයාට ඉහළින් සහකාර අධ්යක්ෂවරයකු වූ අතර ඔහු දෙවැනි නිලධාරියාය.
“එතැන හිටිය දූලා පුතාලා ව යොදාගෙන නියමිත වැඩසටහන් වලට අමතරව විවේක කාලවේලාවලදි මම නාට්‍ය හැදුවා..ඒ දරුවන් ට. මගේ අතීතයේ රංග ශිල්ප ශාලිකාවෙන් උපයාගත් පරිබාහිර දැනුම් සම්භාරයම මම ඒ දරුවන්ට ඉගැන්වූවා.. ගීත ගායනයත් ඉගැන්වූවා..කොටින්ම කියනවානම් මම ඉගෙනගත් දේවල් එතැන තිබුණු විෂය නිර්දේශයන්ට පරිබාහිරව දරුවන්ට කියා දුන්නා..”
ඒ අනුව 1978 දී ශ්‍රී ලංකා කැනඩා තරුණ හුවමාරු වැඩසටහන්ද ක්‍රියාත්මක කළේය. කණ්ඩායම බාර නිලධාරියා ලෙසින් 1978 ජුලි මසදී මගේ තරුණ කණ්ඩායම් සමඟ කැනඩාවට යන්න අවස්ථාව ලැබුණා. කණ්ඩායම් හතරක් මා යටතේ කැනඩා ගියා. මගේ ව්‍යාපෘති කටයුතු …සංස්කෘතික කටයුතු ..සංදර්ශන කටයුතු කැනඩාවේදි සාර්ථක ව කළා. මාස හතරහමාරකින් ආපසු ලංකාවට ආවා..”
ඉන් අනතුරුව ඔහු ජාතික තරුණ සේවා සභාවේ බදුල්ල දිස්ත්‍රික් බාර නිලධාරි ලෙස පත්විමක් ලැබ සේවයට ගියේය.
” මම හරිම තෘප්තිමත් ..බදුල්ලේ දි තරුණ දරුවන් එකතු කරන් ජාතික තරුණ සේවා වැඩසටහන් වගේම විශේෂ වැඩසටහන් රැසක්ම කළා…”
ඔහුගේ මුහුණ සතුටින් පිරේ..
දිවයින පුරා භක්ති ගීත තරඟාවලියක වැඩ සටහන් දියත් කැරෙමින් එහිදී තමන් යටතේ සිටි තරුණ දූ දරුවන් කණ්ඩායම දිස්ත්‍රික් ගණනාවක් අතුරින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබන්නට සමත් වූ බවද ඔහු කියන්නේ තමන් වෙතින් කණ්ඩායමේ දරුවන් ලද පන්නරය පිළිබඳ තෘප්තිමත් වු සිතකිනි. ඒ 1979 දීය.
ඉන් අනතුරුව ක්‍රීඩා අංශයටද අතගැසූ ඔහු එහි පාපන්දු පුහුණුකරු සරත් බුලත්සිංහල මහතාද එක්ව ක්‍රීඩා සමාජවල දරුවන් තමන්ගේ ජාතික සේවා වැඩසටහන් දරුවන් ද එකතුකොට ඉදිරිපත් කළ කාන්තා පාපන්දු ක්‍රීඩාව අරඹන්නන් මහත් ඕනැකමකින් කටයුතු කළහ.
ඒ මීට වසර හතළිහකට පෙරදීය.
ඒ හරහා ජාතික තරුණ සේවා සභාය ආරම්භ කළේය..විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විණි.අධ්‍යාපන සම්මන්ත්රණ ..ශ්‍රමදාන..විවිධ ළමුන් හැකියාවන්..ආදී වැඩසටහන් රැසක්ම එයද ක්‍රියාවට නැංවිණි. එහි අවසන් දිනයේ නැටුම් හා සංගීත සංදර්ශනයක් ද ඉදිරිපත් කෙරිණි.
අපේ කතා නායක ශ්‍රියාරත්න දනන්සූරිය මහතා යමක් කියන්නට සැරසෙයි.
“ඔය කාලේ අපේ සභාපති චරිත රත්වත්තෙ මහත්මයා..එදා ගුවන් විදුලියේ වාදක මණ්ඩලය හා නැටුම් ඉදිරිපත් කළේ පණීභාරත මහතා. මේ සියල්ල අපේ සභාපතිතුමා හරහා සිදුවුණා…”
ඉතින් ..කිව්වාම මොකද..මගෙ මේ විසල් මෙහෙවරට මට ලබාදී තිබුණේ එක් නිලධාරියකු හා ලිපිකාරිනියක් විතරයි. මගෙ කණ්ඩායමේ ළමයි එකතුව තමයි මට පහසුවට හිටියේ. ”
ඔහු කියන්නේය..
දිනෙක එහි සභාපති චරිත රත්වත්තේ මහතා අපේ ශ්‍රියාරත්න තම රියට නංවා ගත්තේය. සභාපතිවරයා එහිදී කීවේ මෙබඳු කතාවෙකි.
“අපි අපේ වැඩ කරගන්නෙ පිටස්තර කණ්ඩායම් ගෙනැල්ලනෙ. අපට බැරිද අපේම අය එක්ක මේව කරන්න..”
සභාපතිවරයා උවමනාවෙන් ශ්‍රියා දෙස බලා ඇසුවේය. කාර්යශූර අපේ කතා නායකයාද සභාපතිවරයාට එමොහොතේදිම කීවේ අපේ දරුවන් ලවා අපට හොඳටම කරන්න පුළුවන් බවය.
ඒ කතාබහට පසුව ආපසු කොළඹ ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන්නට සිටි ශි්රයාට බදුල්ලේ මැති ඇමතිවරුන්ගේද නිලධාරින්ගේද බලවත් විරෝධය එල්ලවූයේ තවදුරටත් අපේ කතා නායකයා බදුල්ලේ සිටියයුතුම බව කියමිනි. නමුත් ඔහු බැගෑපත්ව ඉල්ලා සිටියේ තමන්ට පැවරී ඇති රාජකාරි කටයුතු නොපිරිහෙලා ඉටුකරන්නට නම් කොළඹ කාර්යාලයට යා යුතුම බවය.
“මම කොළඹ ආවා..සංස්කෘතික කණ්ඩායම් ගොඩනැඟිමේ ව්‍යාපෘති පිළිබඳ වාර්තා සම්පාදනය කරන්න මට අවස්ථාව දුන්නා. සංගීතය කියන විෂය පසුබිමේ විශාල කාර්යභාරයක් තියෙනවනෙ. ඒ සඳහා මම හොඳ සම්පත්ධාරීන් එකතු කරගෙන සභාපතිතුමාගේද උපදෙස් මත එම ව්‍යාපෘති වාර්තා සකස් කළා.. සංගීත කණ්ඩායම් ගොඩනැගුවේ එහෙමයි. ඒ ව්‍යාපෘති සියල්ල 1979දි අනුමත වුණා..”
පුවත්පත් දැන්වීම් පළකොට නර්තන කණ්ඩායම් සඳහා දරුවන් රැස්කොට වාර්තාද සකස් කැරෙමින් සංගීත කණ්ඩායම් හා හේවිසි තූර්ය වාදන කණ්ඩායම් සමඟ බටහිර තූර්ය කණ්ඩායම් සූදානම් කරන්නට මුල්වූයේ ශ්‍රියා ය.
අවිස්සාවේල්ල ..බටංගල පුහුණු මධ්‍යස්ථානයේ කණ්ඩායම් පුහුණුව ආරම්භ කළේය. ඒ වෙනුවෙන් ඉල්ලුම් පත් 11. 675 ක් එවා තිබිණි.
” ඇත්තම කියනවානම් මට මේ වැඩ කටයුතු කරගන්නට දීල තිබුණෙ එක් නිලධාරිනියක සහ කාර්යාල කාර්ය සහායක විතරයි..මම ඒ ගැන නෙමේ බැලුවෙ..මගෙ වැඩ කොටස උපරිමයෙන් ඉටුකිරීමයි.
” පළමුවෙන් දිස්ත්‍රික් මට්ටමින්..පලාත් මට්ටමින්..පසුව ජාතික මට්ටමින් සම්මුඛ පරික්ෂණවලිව් ඉතාම හොඳ කණ්ඩායම් තෝරා ගත්තා.. මම තනිව මේ වැඩ කරගෙන යද්දී සමහරු මගෙන් ඇහුව ඕවා කරන්න පුළුවන් වැඩද කියලත්..එහෙමත් සමහර අය හෑල්ලු කළා. ඒත් මම සැලුණේ නැහැ…ඉන් මම තවත් සවිමත් වුණා”
ඔහුගේ මුහුණේ ප්‍රසන්න සිනහවක් පෙනේ.
තෝරාගත් කණ්ඩායම් එකතුකොට බටංගල පුහුණු මධ්‍යස්ථානයේ නැටුම් අංශයේ උපදේශක ලෙසින් පත්වූයේ කුලසිරි බුදවත්තයන්ය.. සංගීත අංශයේ උපදේශක වූයේ විශාරද ෂර්ලි වෛජයන්තය.. තූර්ය වාදක කණ්ඩායමයට උපදේශකයකු පත් කරගන්නාතුරු දරුවන්ට පුහුණුවීම් කරවූයේ කණ්ඩායම් නිලධාරිවරයා ලෙසින් කටයුතු කළ මා සමග තවමත් ආදරණිය සංලාපයක පසුවන ශ්රීයාය.. පසුව කුසුම් වික්‍රමසූරිය මහත්මිය තූර්ය වාදක උපදේශිකාව ලෙසින් පත් කෙරිණි.
“එම මුල්ම කණ්ඩායමේ තමයි අපේ ප්‍රවීණ ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය. සෝමසිරි මැදගෙදර සිටියා. ඒ වගේ හොඳම අය තෝරා පුහුණු කර පත්කරගත් නිසා මේ කණ්ඩායම් ගොඩ නගන්න පහසු වුණා..”
අපේ කතා නායක තෙමේ කළ යෝජනාවකට අනුව දිවයින පුරා “යොවුන් ගී” වැඩසටහන ක්‍රියාත්මක විණි.
“ඒ කාලෙ දැන් වාගෙ රටේ හැමතැනම සංගීත කණ්ඩායම් තිබුණේ නැහැ..”
ඔහු කියන්නේය.
ශි‍්‍රයාගේ නිර්මාණශීලි බව කාගේත් පැසසුමට බඳුන් කෙරුණේ සංචාරක අමාත්‍යාංශය හා එක්ව නැටුම් කණ්ඩායම් ජාත්‍යන්තරයටද පිවිසීමත් සමගිනි.
මා සමඟ ප්‍රියමනාපව සංලාපයේ පසුවන ශ්‍රියාරත්න දනන්සූරිය මහතා මුණගැසෙන්නට අත දුන්නේ ජාතික තරුණ සේවා සභාවේ සිසුවියක ලෙසින් සිට සිය ප්‍රතිභාව සනිටුහන් කරමින් ඉහළම තනතුරුවලටද පාත්රවූ ජාතික රූපවාහිනීයේ සිංහල අංශයේ වැඩසටහන් අධ්‍යක්ෂිකාව ලෙසින් නික්ම විශ්‍රාමික සුවයෙන් පසුවන එරීන් විජේකෝන් මහත්මිය අප නිසාය.
“එරීන් විජේකෝන් මහත්මිය අපට මැණිකක්. ඊට බොහෝ වටිනා හේතූන් තියෙනවා. එතුමිය දක්ෂ නිවේදිකාවක්..අධ්‍යක්ෂිකාවක්..ගීත පද රචිකාවක්..රුප මාධ්‍යයේ පුහුණුවන්නියක ලෙසින් පැමිණි එතුමිය අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකාව බවට පත්ව විශ්‍රාම ගියා”
මේ වනවිට ජාතික තරුණ සේවා සභාව යටතේ බොහෝ පිරිසක් සිය කුසලතා මතින් ජනප්‍රිය වෙමින් සිටියා.
” ඒ කාලෙ තිබුණෙ කැසට් පටනෙ..අපි කල්පනා කළා ගැයුමින් සමත් අපේ දරුවන්ට කැසට්පට 47ක් නිෂ්පාදනය කරන්න.. ඒ මඟින් අපේ ශිල්පීන් ඉදිරියට ගෙන ඒමය. එකම අරමුණ වුණේ.. තරුණ සේවා නැටුම් සමාගම..සංගීත සමාගම…යනුවෙන් සමාගම් දෙකක් බිහිකරල ඒ පිළිබඳ මම අධ්‍යයනයෙහි යෙදී සිටියා. ඒ අධ්‍යයනයේදි මම අපේ චිත්‍රසේන ඇතුළු පිරිසකුත් සංස්කෘතික උපදේශකවරුන් විදියට කටයුතු කළා..සංදර්ශන කළේ අය කරලා..ඒ නිසා ඒ හරහාම ශිල්පීන් ට ගෙවීම් කරන්නත් හැකියාව ලැබුණා .. ”
මඳක් නිහඬව සිටි ඔහු ” මං වසර හතළිහක් බොහොම කැපවිමෙන් වැඩ කළා..ඒ හොඳ නම මට හොඳටම ඇති.. අපට තනතුරු දී තිබුණාට අපට වැටුප් නැහැ. එය කනගාටුවට කාරණයක් වුවත් කිසිත් බලාගෙන වැඩ කළේ නැහැ.. මා සතු බොහෝ දේ සමඟ මට පවරපු දේවල්ද එක්කාසු කොට විශාල ගොඩනැගීමකට මුල්වුණා. ඒ සතුට ඇති මට..”
” ඉතින් අපේ දරුවන්ගෙ කැසට්පට මම නගරයේ අලෙවි කළා. ඒ දරුවන්ට අප සවියක් විය යුතුම නිසා..”
” මේවාට මුල්ව කටයුතු කරපු මටත් කැසට්පටයක් කරන්න කියල යෝජනා ආවා..ඒත් දරුවන් වෙනුවෙන් මා කළ හැමදේම කර තිබෙන්නේ මට ඉහළට යන්නයි කියල සමහරු හිතාවි කියා හිතල මම ඒ යෝජනාව කාරුණික ව ප්‍රතික්ෂේප කළා…”
” අපට ඉතින් විශ්‍රාම වැටුප් කියා දෙයක් නැහැනෙ..”
අපේ සොඳුරු කතානායකයා රංගන ශිල්පියෙකි..ඔහුගේ පළමු සිනමා රංගනය හසන්ත දිසානායකගේ කෙටි චිත්‍රපටයකය. තවත් චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසකද රඟපෑ හෙතෙම සිනාසී කියන්නේ
” මං මහලොකු නළුවෙක් නෙමේ කියාය
ආරාධනා ලැබුනාම ගීත ගයන්නට යනවා.
අපේ ප්‍රවීණ ගායන ශිල්පිනියක වන දමයන්ති ජයසූරිය මහත්මිය සමඟ ඔහු ගැයූ “අන්සතු වන ඔබ මගේ කියා..”ගීතය පිළිබඳත් දමයන්ති ජයසූරිය ගායන ශිල්පිනිය පිළිබඳත් කතාකළේ මහත් අභිරුචියකිනි.
ඔහු විශ්‍රාම යනවිටදී රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘති අධ්යක්ෂ ලෙසින් පසුවූයේය. තමන් තුළ කුඩාවියේ සිට තිබූ සිහිනයක් වූයේ ප්‍රසංගයක් කිරීමටය.
“හැබැයි ඒ මගෙ සිහිනයට 2011 විශ්‍රාම යද්දි මගේ ශිෂ්‍යයන් මා එපා කියද්දී මා නමින් මට උපහාරයක් සංවිධානය කළා.. එයින් මගේ සිහිනයත් ඉබේම සැබෑවක් වුණා..එදා ප්‍රසංගයෙදි ජනප්‍රිය ශිල්පීන් 23 දෙනෙකු ගී ගැයුවා. එදා ශිල්පීන් 16කගෙ ගිත තනිවම මම ගායනා කළා..යුග ගීතවලට දමයන්ති ජයසූරිය මහත්මිය වගේම චනද්රලේඛා මහත්මියත් එක්වුණා.
වේදිකා නාට්‍ය රංගනයෙහිද සමත් අපේ ශ්‍රියාරත්න දනන්සූරිය නම් දරුවන් තිදෙනකුගේ ආදරණිය පියෙකි. ප්‍රිය බිරිඳ නාලිනී ශ්‍රියාලතා දනන්සූරිය.
ලොකු පුතු ගයාන් මදුසංකය. දෙවැන්නිය ගයත්‍රී මධුභාෂිනි දනන්සූරියය. ලක්ෂ්මන් මධුරංග දනන්සූරිය තෙවන දරුවාය. ඔවුහු විදේශගතව සිටිති.. ඔහු තම දරුවන් හා මුනුපුරු මිනිබිරියත් ගැන අපමණ සතුටකිනි.
ජාතික තරුණ සේවා සභාවෙන් මම බෙල්වුඩයටත් ආවා..හැමෝම මට ආදරෙයි..මගේය කියන සිසු සිසුවියන් දහස් ගණනක් රටපුරාම ඉන්නවා. ඒ සතුටම මට ඇති. මා ලියූ ව්‍යාපෘති අදටත් එහි ක්‍රියාත්මකව තිබිම ගැනත් ලොකු සතුටක් මට තියෙනවා”
2019දී කලා භූෂණ රාජ්‍ය සම්මානයෙන් හා දේශබන්දු ඇතුළු තවත් ජයග්‍රහණ රැසකින් සම්මානිත අපේ සොඳුරු කතා නායකයාණන් හට සරසවිය වෙනුවෙන් අප චිර ජීවනයම පතමු.
අමල් යශෝමන් ජයසිංහ