මීට දශක තුනහමාරකට පමණ පෙර තිඹිරිගස්යායේ, ෆයිෆ් පාරේ මගේ හිතවතකු ගේ නිවසේ දී ප්‍රථම වරට මාලිනී හමුවුණා මට මතකයි. ඒ වන විට ඇය සාමාන්‍ය තරුණියක වූවා මිස, අද දවසේ මෙන් අප කව්රුත් දන්නා හඳුනන ජනප්‍රිය, දක්ෂ නිළියක නම් නො වීය. ඉතා පියකරු සිනහවකින් සහ මුදු මොළොක් හඬින් මා සමඟ කතා කිරීම නිසා ම ඇය මගේ සිත් හි තැන්පත් වුණේ කිසි දා අමතක නො වන පරිද්දෙන්. ඊට අවුරුද්දකට පමණ පසු හැව්ලොක් ටවුමේ ලුම්බිණී රඟහලේ දී ‘එරබදු මල් පොට්ටු පිපිලා’ නමැති නාට්‍යය මා බලන්න ගියේ, එවකඉතා කුඩා දරුවකුව සිටි අදවන විට නීතිඥයකු වී සිටින නිමල් කුරුවිටබණ්ඩාර මේ නාට්‍යයේ
ප්‍රධාන ළමා භූමිකාව නරඹනු අටියෙනි. පුදුමයකි! මෙහි ප්‍රධාන ස්ති‍්‍ර භූමිකාව ඉදිරිපත් කළේ එදා මගේ හිත ඇඳ බැඳ ගත් අර පියකරු සිනහව සහ කතා විලාසය ඒ වන විටත් මගේ මතකයෙන් ඈත් නො වුණු ළඳ බොළඳ තරුණිය මාලිනී යි. එදා මගේ යටි හිත කියා පෑවේ ඇය නම් කවදාහෝ දක්ෂ නිළියක විය හැකි බවයි. මගේ ඒ සිතුවිල්ල ලුම්බිණී වේදිකාව මත සැබෑවිය. පුංචි නිමල්ටත්, දක්ෂ රංගනයක යෙදුණු මාලිනීටත් හදපිරි සතුටින් සුබ පැතුවෙමි.
කාලයා ගේ ඇවෑමෙන් මුළු මහත් ශ්‍රී ලංකාවේ ම ජනතා සම්භාවනාවට පත් වී සිටින නිළි රැජින මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා, සිංහල සිනමා වංශ කතාවේ පිටු කීපයක් ඉතා හරබර ලෙස සරසන්නට අයිතිවාසිකම් ලබා ඇත. පැල්පතේ සිට මහා මන්දිරය දක්වා මාලිනී ෆොන්සේකා නමැති නිළිය පිළිබඳ තතු නොදන්නෝ කවරහු ද? අඳුරේ වුව ඇයව නොහඳුනන්නෝ නො බැලුවෝ කවුරුන් හෝ අප රටේ ඇද්ද? ඇය රඟන චිත්‍රපටයක් ලංකික ජනතාව ගේ හෘදස්පන්දනයට හේතු වූවාට කිසිදු සැකයක්, සාංකාවක් නැත.
මාලිනී රඟපා ඇති අති විශාල චිත්‍රපට ගොන්නෙන් චිත්‍රපට කීපයකට ඇය ගේ රංගනය සඳහා මට ද ගීත ගයන්නට ලැබුණු අවස්ථා මා සිහිපත් කරන්නේ ඉතා සතුටින්. ඇය වෙනුවෙන් මා ගැයූ “ආදරවන්තයෝ” චිත්‍රපටයේ කිංචි බිංචි පුංචි පුංචි, “මොනරතැන්න’ චිත්‍රපටයේ හඳ හාවුන් හඳේ පැන යා දෙන් ඔහේ යන ගීත සඳහා දක්ෂතම ගායිකාවට හිමි සම්මාන මා ලබා ඇත.
ඒ සම්මාන මා වෙත පුදන්නට ඇය ගේ ආකර්ෂණීය රංගනය ද හේතු වූ බව මගේ විශ්වාසයි. ඒ නිසා මා ලැබූ සම්මානයන් හි අයිතිය ඇයට ද පුද කළ යුතු ම වේ. තවත් දශක ගණනාවක් මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා නනමැති ශ්‍රී ලාංකීය නිළිය රසික සිත් තුළ රැඳෙනු නො අනුමානයි. එයයි මගේ ප්‍රාර්ථනය.
මාලිනීගේ දශක හතරක රංග අභිනන්දනය වෙනුවෙන් පළකළ ‘මාලිනියේ’ ග්‍රන්ථයට ලියන ලද්දකි.